V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Monday, September 30, 2013

සිත්තර මීයෝ

සිත්තර මීයෝ

දවසම එළිය පතුරවපු ඉර මාමා බැහැලා යනවා. කුරුල්ලෝ කැදලිවලට පියාඹලා යනවා. සිතුම් බබා ගෙදර මිදුලට වෙලා පාර දිහා බලාගෙන හිටියා තාත්තා ගෙදර එනකම්.
තාත්තා එනවා දැකපු සිතුම් බබා දුවලා ගිහින් තාත්තගේ අතේ එල්ලුණා. තාත්තා සිතුම් බබාත් එක්කම ගේ ඇතුළට ආවා. තාත්තා පුංචි මල්ලක් අරගෙන සිතුම් බබාට දුන්නා. ඒකේ තිබුණේ ලස්සන දිය සායම් පෙට්ටියක්‍.
බබා උදෙන්ම ඇහැරලා දිය සායම් පෙට්ටියත් අරගෙන හරිම සතු‍ටින් ඉස්කෝලේ ගියා. සිතුම් බබා දිය සායම් පෙට්ටිය යහළුවන්ටත් පෙන්නුවා. චිත්‍ර අඳින වෙලාවට ලස්සන චිත්‍රයක් ඇන්දා.
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු බබා ඇඳපු චිත්‍ර අම්මටත් පෙන්නලා, බෑග් එක පැත්තකින් තියලා නංගිත් එක්ක සෙල්ලම් කරන්න ගියා.
බබා ආපහු එනකොට බෑග් එකේ තිබුණ දිය සායම් පෙට්ටිය එළියේ විසුරුවලා තිබුණා. බබාට හිතාගන්න බැරිවුණා කවුද මේ වැඩේ කළේ කියලා. බබා දිය සායම් ටික එකතු කරලා බෑග් එකේ දාලා තියලා නිදාගත්තා.
උදේත් සිතුම් බබා බලනකොට දිය සායම් පෙට්ටිය තිබුණේ එළියේ. බබාට හරි පුදුමයි. බබාට හිතුණා කවුරුහරි බබාව පුදුම කරවන්න මෙහෙම කරනවා ඇති කියලා. බබා ඉස්කෝලේ ගියේ අද හවසට දිය සායම් ඉහිරවන කෙනා හොයාගන්නවා කියලා හිතාගෙන.
සිතුම් ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් දිය සායම් පෙට්ටිය එළියෙන් තියලා නංගිත් එක්ක හැංගිලා බලාගෙන හිටියා.
හරිම පුදුමයි ටික වේලාවකින් පුංචිම පුංචි මීයෝ තුන්දෙනෙක් ඇවිත් දිය සායම් පෙට්ටිය ඇරියා. එක මීයෙක් එතැනම ඉද්දි අනිත් මීයෝ දෙන්නා බබාගේ දිය සායම් සේරම අරගෙන ගියා. ඉක්මනින්ම දිය සායම් ආපහු ගෙනත් තියපු මීයෝ තුන්දෙනාම ගබඩා කාමරේට රිංගගත්තා.
සිතුම් නංගිත් එක්ක ගිහින් හෙමිහිට ගබඩා කාමරේට එබිලා බැලුවා. මීයෝ බිත්තිය මුල්ලේ බරටම වැඩ.
මීයෝ තුන්දෙනා චිත්‍ර අඳිනවා. එක මීයෙක් එයාලගේ ගේ පාට කරනවා. බබාට හරි පුදුමයි. බබා කල්පනා කළා මෙහෙම හැමදාම වුණොත් බබාගේ දිය සායම් ඉක්මනට ඉවර වෙනවා.
එ‍තකොටයි නංගි කතා කළේ “අයියා මට දීපු පරණ දිය සායම් පෙට්ටිය අපි මෙයාලට දෙමු”.
සිතුම්ට මතක් වුණා එයාගේ පරණ දිය සායම් පෙට්ටිය. සිතුම් ඒක අරගෙන ගබඩා කාමරේට ගියා. එතකොට මීයෝ හිටියේ නෑ. සිතුම් දිය සායම් පෙට්ටිය ගබඩා කාමරේ තියලා ඈතට ගිහින් බලාගෙන හිටියා. කොහෝදෝ ඉඳලා ආපු මීයෝ තුන්දෙනා දිය සායම් පෙට්ටිය දැකලා නටන්න පන්ගත්තා.
සිතුම් නංගිවත් අඬගහගෙන එතනින් අයින් වුණේ එයාලා එතැන ඉන්නවා අම්මා දැක්කොත් සිත්තර මීයන්ට වැඩි ආයුෂක් නොවන නිසයි.

ඒ.ඒ.ඒ.ශ්‍රීමාලි අධිකාරි
12 ඒ‍ ශ්‍රේණිය (කලා), පුෂ්පදාන බාලිකා මහ විදුහල, මහනුවර.

http://www.silumina.lk/2013/09/15/_art.asp?fn=au130915

දරුවාගේ දත් ගලවන්නට පෙර මේ ලිපිය කියවන්න

දරුවාගේ දත් ගලවන්නට පෙර මේ ලිපිය කියවන්න

මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම ඕනෑම අයකුගේ නිරෝගී දිවියට අත්‍යවශ්‍ය සාධකයකි. සෑම වසරකම සැප්තැම්බර් මස 17 වැනි දින “ජාතික මුඛ සෞඛ්‍ය දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එබැවිනි.
මහරගම පිහිටි ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනය අප රටේ මුඛ සෞඛ්‍ය සුරැකීමට අංශ කීපයකින්ම උපකාරී වන ආයතනයකි.
මෙම ආයතනය ආරම්භ කිරීමට පියවර ගත්තේ සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍ය තුමාය. මෙම ආයතනය ආරම්භ කිරීම පිළිබඳ කතාවද ඉතා අපූර්වවූවකි.
සර් ජෝන් කොතලාවල මහතා අප රටේ සිටි කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙකි. කොතලාවල අග්‍රාමාත්‍යතුමාගේ කාලයේ කොළඹ ක්‍රමය ක්‍රියාත්මක විය. එහිදී කොළඹ ක්‍රමය යටතේ මිත්‍ර රටවල් හා සාකච්ඡාවකට නවසීලන්තයට යාමට කොතලාවල අග්‍රාමාත්‍යතුමාට සිදුවිය.‍
එම සාකච්ඡාව පැවැත්වුණේ එවකට නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ ය. සාකච්ඡාව පැවැත්වෙන අතරතුර ඊට යාබද කොටසක සුදු ඇඳුමින් සැරසුණු සුන්දර යුවතියන් පිරිසක් එහේ මෙහේ ගමන් කරන ආකාරය කොතලාවල අගමැතිතුමාට දැකගත හැකි විය. ඔවුන් කවුදැයි කොතලාවල අගමැතිතුමා නවසීලන්ත අගමැතිතුමාගෙන් විමසා සිටියේ ය. නවසීලන්ත අගමැතිතුමාගේ පිළිතුර වූයේ ඒ යුවතියන් පුහුණුවන දන්ත චිකිත්සකවරියන් බව ය. ඔවුන්ගේ පුහුණුවට ලබාදී තිබුණේ නවසීලන්ත අගමැතිතුමාගේ නිල නිවසේ ම කොටසකි.
දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ දන්තාබාධ විශාල ගැටලුවක් විය. එය හැඳින ගත් නවසීලන්ත රජය විසින් ඊළඟ පරම්පරාවේ දන්ත සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී. ඒ; කුඩා දරුවන් අතර ඇති දන්ත ගැටලු විසඳීමෙනි‍.
ඒ සඳහා දන්ත චිකිත්සකවරියෝ යොදා ගනු ලැබූහ. මේ සඳහා යොදා ගන්නේ තරුණියන් පමණි. තරුණයන්ට ඒ සඳහා අවස්ථාව නොලැබිණි. මෙහිදී තරුණියන්වම තෝරාගත්තේ ඔවුන් තුළ මවු ගුණය තිබෙන නිසා ය. ඔවුන් දරුවන්ට ඉතා සමීප නිසා ය. මේ සියලු තොරතුරු නවසීලන්ත අග්‍රාමාත්‍යතුමාගෙන් සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යතුමා දැනගත්තේ ය.
කොතලාවල අග්‍රාමාත්‍යතුමා පෙරළා ලංකාවට පැමිණි පසුව ලංකාවේ දරුවන් අතර ද දන්ත ගැටලු රාශියක් ම ඇති බව එතුමාට ප්‍රත්‍යක්ෂ විය. එවිට එතුමාට නවසීලන්ත අග්‍රාමාත්‍යතුමාගේ වැඩපිළිවෙළ සිහියට ආවේ ය. අනතුරුව ලංකාව තුළ ද දරුවන්ගේ දන්ත සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා දන්ත චිකිත්සකවරියන් පුහුණු කිරීමට කොතලාවල අග්‍රාමාත්‍යතුමා පියවර ගත්තේ ය.
පළමුව කොළඹ ක්‍රමයේ බලධාරීන් සමඟ සාකච්ඡාකර ඒ සඳහා අවශ්‍ය සහයෝගය නවසීලන්ත රජයෙන් ඉල්ලා සිටියේ ය. මෙම ආයතනය ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීම කොතලාවල අගමැතිතුමාට තරමක අසීරු කාර්යයක් විය.
මහරගම පිහිටි තම පෞද්ගලික නිවස ඒ සඳහා ලබාදීමට අවසානයේ දී කොතලාවල අගමැතිතුමා තීරණය කළේ ය. එම නිවස හැඳින්වූයේ wessendon නමිනි. මෙම නිවසත් රත්මලානේ කඳවල පිහිටි එතුමාට අයත් කඳවල වලව්වත් සමාන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිර්මාණය කර ඇති නිවාසයන් ය.
1955 දී කොතලාවල අග්‍රාමාත්‍යතුමාගේ මහරගම wessendon  නිවස දන්ත චිකිත්සකවරියන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය බවට පත් විය. දන්ත චිකිත්සකවරියන් ලෙස පුහුණුවට බඳවා ගත් මුල් ම කණ්ඩායම් දෙක පුහුණුව සඳහා නවසීලන්තයට පිටත් කර හරින ලදී. ඒ සඳහා වන වියදම අධික නිසා wessendon  නිවසේ දී තුන්වන කණ්ඩායමේ සිට පුහුණුව ආරම්භ කරන ලදී.‍ ආයතනය සඳහා අවශ්‍ය සියලුම උපකරණ ගෙන්වන ලද්දේ නවසීලන්තයෙනි. උපකරණ පමණක් නොව දන්ත වෛද්‍ය විශේෂඥයෝ කීපදෙනෙක් ද නවසීලන්තයෙන් කැඳවා ගෙන එනු ලැබූහ. සර් ජෝන් කොතලාවල අගමැතිතුමාගේ මහරගම පිහිටි පෞද්ගලික wessendon  නිවස ජාතික මුඛ සෞඛ්‍ය ආයතනය වූයේ එලෙස ය‍.
ආරම්භක යුගයේ සෑම දිස්ත්‍රික්කයකින් ම එක් තරුණිය බැගින් වාර්ෂිකව පුහුණුවීම සඳහා බඳවා ගනු ලැබීය. මේ වනවිට මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
මෙම ආයතනයෙන් පුහුණුව ලබන දන්ත චිකිත්සකවරියෝ ලංකාව පුරා දන්ත සායනවල දන්ත චිකිත්සකවරියන් ලෙස සේවයට යොදවනු ලබති.
මුල් යුගයේ දී මෙම ආයතනයෙන් වැඩි අවධානයක් යොමු කළේ වයස අවුරුදු 12 ට පසු කුඩා දරුවන්ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳව ය. කලක් ගතවන විට දන්ත චිකිත්සකවරියන් පමණක් නොව දන්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ශල්‍යාගාර කම්කරු සේවකයාගේ පටන් දන්ත වෛද්‍යවරුන් දක්වා සියලු ම දෙනා පුහුණු කිරීමේ ආයතනයක් ලෙස මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය පරිවර්තනය විය. දැන් පුහුණු කිරීම්වලට අමතරව දන්ත ගැටලු ඇති රෝගීන්ගේ බොහෝ අවශ්‍යතා ඉටුකරදීමට මෙම ආයතනය ක්‍රියා කරයි. මේ වනවිට මෙම ආයතනයෙන් වැඩිහිටියන්ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳව ද සොයා බැලේ.
මේ වනවිට ආයතනයේ විශේෂඥ දන්ත වෛද්‍යවරු හත් දෙනෙක් සේවය කරති. ඔවුහු එම ස්ථානයට පැමිණෙන දරුවන්ගේ මෙන් ම වැඩිහිටියන්ගේ ද දන්ත රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාදෙති. ඊට අමතරව මෙහි සිටින විශේෂඥ වෛද්‍යවරු එම ආයතනයට එන පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ දන්ත වෛද්‍ය පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන වෛද්‍යවරුන්ගේ පුහුණු කිරීමේ කටයුතු වලට ද දායකවෙති.
මේ වන විට මෙම ආයතනය තුළ දන්ත වෛද්‍යවරු 70 ක් පමණ සේවය කරන අතර සමස්ත කාර්ය මණ්ඩලය 250 ක් පමණ වේ. පසුකලෙක මෙම ආයතනය මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනය ලෙස නම් කෙරිණි.
ලංකාවේ තිබෙන ප්‍රධානතම දන්ත වෛද්‍ය පර්යේෂණ අංශය පිහිටා තිබෙන්නේ මෙතැනය. මෙම ආයතනයේ මැදිහත් වීමෙන් වසර 4 කට හෝ 5 කට වරක් ජාතික මුඛ සෞඛ්‍ය පර්යේෂණයක් පැවැත්වේ. එම පර්යේෂණය මෙහෙයවන්නේ මෙම ආයතනයේ පර්යේෂණ අංශයෙනි.
එසේම සෑම වසරකම සෑම පළාතකම අඩුම තරමින් එක් වතාවක්වත් දන්ත සෞඛ්‍ය පුහුණු සැසියක් සංවිධානය කෙරේ. මේ සඳහා එම පළාතේ සිටින දන්ත සෞඛ්‍ය සායනවල සිටින සියලුම කාර්ය මණ්ඩල සහභාගි කරවා ගැනේ.
රටේ දන්ත සෞඛ්‍ය සුරැකීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෑත දී යොදාගත් තේමාව වන්නේ “චාර්වක දත සුරකිමු” යන්නය. මෙය ඉතා අගනා තේමාවකි. පසුගිය කාලයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ, අප රටේ ජීවත්වන වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ කටේ එක දතක් හෝ නැති බවය. එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ.
මේ වන විට ලාංකිකයන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 75 දක්වා වර්ධනය වී ඇත. එම පිරිසෙන් භාගයකගේ කටේ එකම දතක් හෝ නැතිවීම ඔවුන්ට විශාල ගැටලුවකි. වයස අවුරුදු 60 දී කටේ දත් නැති වූ විට තවත් අවුරුදු 15 ක් 20 ක් පමණ දත් නැතිව ජීවත්වීම ඉතාම අපහසුය. එය ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත වැටීමට හේතුවකි. සෑම දෙනෙකුම තමන්ගේ චාර්වක දත ආරක්ෂා කර ගැනීමට උනන්දු වූවොත් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යනු ඇත.
අපගේ මුඛයේ පළමුවෙන්ම එන ස්ථිර දත වන්නේ චාර්වක දතයි. වයස අවුරුදු 6 වන විට හක්කේ චාර්වක දත මතු වේ. අපේ ජීවිත කාලය තුළ දී මෙම චාර්වක දත විනාශ වීමට තිබෙන හැකියාව ඉතා වැඩිය. මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනයෙන් චාර්වක දත් සුරැකීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ; චාර්වක දත සුරැකීමට ආරක්ෂණයක් යෙදීමෙනි.
“චාර්වක දත සුරකිමු” යන වැඩ පිළිවෙළ ආරම්භ වූයේ මෙම වසර මුලදීය. මෙම වැඩ සටහනින් නිවැරැදි ප්‍රතිඵලයක් ලබාගැනීමට නම් මෙම වැඩපිළිවෙළ නොකඩවා වසර 5 ක්වත් ක්‍රියාත්මක වීම අවශ්‍යය. මෙම වැඩසටහනේ අරමුණ වයස අවුරුදු 80, 100 ගතවී කිසියම් පුද්ගලයකු මිය ගියත්, එවිට අඩුම තරමින් මුඛයේ දත් 20 වත් තිබීමය.
ඉතාම කලාතුරකින් උපතින්ම තල්ලේ හිලක් ඇතිව උපදින දරුවෝ සිටිති. එම දරුවන්ට මවුකිරි උරා බීමටවත් හැකියාව නැත. එම දරුවන් කිරි උරා බොන විට එම කිරි නාසය දිගේ පෙණහල්ලට ගොස් විවිධ ආබාධ ඇති කරයි. එම නිසා මොවුන්ගේ තල්ල ශල්‍යකර්මයක් මඟින් එක්කළ යුතුය. එහෙත් එම දරුවාට කිරි උරා බීමට කෘත්‍රිම තල්ලක් අවශ්‍ය වේ.
මහරගම මෙම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනය මඟින් එම කෘත්‍රිම තල්ල සාදා දීමට කටයුතු කරයි. එසේම පිළිකා නිසා තල්ල ඉවත් කළ පුද්ගලයින්ට ද මෙම ආයතනයෙන් කෘත්‍රිම තල්ල සාදා දෙයි.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින අයකුට මෙම මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනයේ සේවය ලබාගත හැකි වුවත්, ඕනෑම පුද්ගලයකු පළමුව යොමුවිය යුත්තේ තම ප්‍රදේශයේ තිබෙන දන්ත වෛද්‍ය සායනය වෙතටය. ලංකාව පුරා සිටින සෑම කෙනෙක්ම මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනයට යොමු වූවොත් එය අනවශ්‍ය තදබදයක් ඇතිවීමට හේතුවකි. වඩාත් සුදුසු වන්නේ පළාතේ දන්ත සායනයෙන් ලබාගත නොහැකි සේවාවක් සඳහා පමණක් මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනයට යොමු වීමය
.

Sunday, September 29, 2013

පියකරු ළපැටි මුහුණට නොගැළපෙන තරම් පිරිපුන් සිරුරක්!

වයස අවුරුදු අටයි පපුව ලොකුයි ලැජ්ජයි!

දැරියන්ගේ ළමාවිය හොරු අරන්
අර බලන්නකො ඛේමා පන්තියේ හැම ළමයටම වඩා සඳුනි කැපිලා පේනවානේ. හොඳ උස මහතයි. තුනේ පන්තියේ හිටියට අටේ නවයේ පන්තියේ ළමයෙකුගේ වගේ පපුවත් හොඳටම ආරලා නේද?
“ඒක තමයි. එයා හරියට පන්තියේ හැමෝගෙම ලොකු අක්කා ‍වගෙයි”
මේ බාලිකා පාසලක තුන්වන ශ්‍රේණියේ බාලිකාවන් පිරිසක් අතරින් හොඳට උස මහතට හැදුණු කැපී පෙනුණු දැරියක ගැන ඇගේ පන්තියේ ගුරුවරියන් දෙදෙනකු අතර ඇති වුණු කතා බහක්.
තුනේ පන්තියේ ඉගෙනගන්නා සඳුනිගේ වයස අවුරුදු අටයි. ඒත් ඇගේ පෙනුම හොඳින් වැඩුණු යුවතියකගේ වගෙයි. පියකරු ළපැටි මුහුණට නොගැළපෙන තරම් පිරිපුන් සිරුරක්! පන්තියේ අනෙක් ළමයින් හැමෝටම වඩා ඈ උසයි. මහතයි. හරියට අවුරුදු පහළොවක දාසයක යුවතියකගේ තරම් පෙනුමට පියයුරුත් වැඩිලා. සුදු ගවුමවත් තනියම ඇඳගන්න බැරි තරම් පුංචි කෙල්ලගේ යට ඇඳුම් අතරට මහ ගෑනු අඳින තිසරපටයකුත් එකතු වෙලා
මේ පුංචි දැරියගේ ළමා කාලය හොරු අරන් ගිහින්. වයසට වඩා මෝරපු පෙනුම වගේම බරපතළ සිරුරත් ඇගේ ළමා සිත වෙහෙසට පත් කරවලා. ඇගේ වයසේ යෙහෙළියන් තවමත් අම්මාගේ උකුලේ නැළවෙන, සුරතල් වෙන දැරියන්. සඳුනිට විතරක් නෙවෙයි අද අපේ රටේ පුංච් දරු දැරියන් බොහෝ දෙනෙකුට මේ තත්ත්වයට මුහුණ පාන්නට සිදු වෙලා. අධි බර හෙවත් ළමා වියේ ස්ථුලතාවයයි මෙයට හේතුව.
“ළමයකු වුණාම හොඳ පෙනුමට සිරියාවට බෝලෙ වගේ ඉන්න ඕනෑ” කියලා සතුටු වුණු කාලෙ දැන් ගෙවී ගිහින්. බෝල වගේ වටකුරු පිරුණු ඇඟපත සෞඛ්‍ය සම්පන්න බවේ සංකේතයක් විදිහට දැන් කාලෙ සලකන්නේ නෑ. ළමයි තරමට වඩා මහත්වීම හෙවත් උසට සරිලන ප්‍රමාණයට වඩා බර වැඩි වීම අද කාලෙ රෝගයක් විදිහටයි සලකන්නේ.
ළමා වියේ ස්ථුලතාව ප්‍රශ්නයක් වන්නේ ඇයි?
අනාගතයේ මවුවරුන් බවට පත්වන්නට සූදානම් වන දැරියන් ස්ථුලතාවට ‍ෙගාදුරු වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක්.
ළමා වියේ ස්ථුලතාව පුද්ගලයකුගේ අනාගත දිවියේ නිරෝගී භාවයට විශාල ලෙසින් අහිතකර බලපෑම් එල්ල කරනවා. ළමා වියේ ස්ථුලතාව ශරීරයේ සමස්ත පටක පද්ධතියට මෙන්ම ඉන්ද්‍රිය පද්ධතින්ටත් හානි සිදු කරනවා. දියවැඩියාව, කොලොස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය වකුගඩු රෝග අස්ථි වර්ධනය අඩාල වීම, ඔස්ටියෝපො‍රෝසිස් ආතරයිටිස් වගේම ඇතැම් පිළිකා සඳහාත් ස්ථුලතාවය හේතු වන බව ඔබ දන්නවාද?
ස්ථුලතාවයෙන් වැළකීම කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ දරුවකු උපන් දා පටන්මයි. සාමාන්‍ය බරක් සහිතව උපදින දරුවන් මෙන්ම අඩු බර සහිතව උපන් දරුවන්ට පවා මුල් හය මාසය තුළ මවුකිරි පමණක්ම ලබා දීමෙන් ඔවුන් ස්ථුලතාවයට ගොදුරු වීමේ අවදානම අඩුවන බව දැන් සොයාගෙන තිබෙනවා.
අඩු බරැති දරුවකුට පවා මුල් මාස හය තුළ මවුකිරි පමණක්ම ලබා දීමෙනුත් හය මාසයෙන් පසුව‍ පෝෂණ උපදෙස් අනුව අමතර ආහාර සමඟ අවම වශයෙන් වසර දෙකක් සම්පූර්ණ වන තුරු මවුකිරි ලබාදීමෙනුත් දරුවාට ප්‍රමාණවත් තරම් පෝෂණයක් ලැබෙනවා.
ඉපදී පළමු මාස හයේ සිට මාස දහඅට දක්වා මවුකිරි සමඟ සමබර අමතර ආහාර ලබා දීම වැදගත්. දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහනේ උපත් බරට සාපේක්ෂව එම තීරුවේම බර වැඩිවීම ප්‍රමාණවත් බව අලුත්ම වෛද්‍ය මතයයි.
උපතේ සිට පළමු වසර පහ තුළ දරුවකු මහත් වෙන්නේ ශරීරයේ මේද සෛල ප්‍රමාණය වැඩි වීමෙන්. එසේ වැඩිවන මේද සෛල තුළ වැඩිපුර මේද තැන්පත් වීමෙන් එම දරුවන් වැඩි වයසට පත්වීමේ දී තව තවත් තරබාරු වෙනවා. කුඩා කාලයේ පිරුණු සිරුරකින් යුතු දරුවන් වැඩිහිටියන් බවට පත්වීමේ දීත් ඔවුන් ගේ මහත අඩු නොවන්නේ එම මේද සෛල තුළ අධික ලෙස මේදය තැන්පත් වන නිසයි.
එහෙයින් ළදරු වියේ පටන්ම දරුවා කන්නේ බොන්නේ නෑ කියමින් දරුවාට අවශ්‍ය ප්‍රමාණයට වඩා බලෙන් ආහාර කැවීම හෝ අමතර පිටිකිරි හෝ ශක්ති ජනක ආහාර පාන ලබා දීම අවශ්‍ය වන්නේ නෑ.
දරුවා ඉපදී වසරක් යනතුරු ආහාරයට ලුණු හෝ සීනි එකතු නොකළ යුතුයි. එමඟින් දරුවා අනාගතයේ ස්ථුලතාවයට ගොදුරුවීම වළක්වා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් දරුවකුට දිනකට ප්‍රධාන ආහාර වේල් තුනක් සහ සුළු ආහා‍ර වේල් දෙකක් ලබා දීම හොඳටම ප්‍රමාණවත්.
මාස හයෙන් පසුව අමතර ආහාර ලබාදෙන විට කිරි ආහාර වේල් ප්‍රමාණය අඩු කළ යුතුයි.
අමතර ආහාර ලබා දෙන විට පිෂ්ඨය, ප්‍රෝටීන, ඛණිජ ලවන, විටමින්, තෙල් සහ මේද අඩංගු සමබර ආහාර වේලක් ලබා දෙන්න. කෙඳි සහිත ආහාර ධාන්‍ය හා පියලි වර්ග මස් මාළු එළවළු පලතුරු හා පලා වර්ගවලින් දරුවාගේ ආහාර වේල සම්පූර්ණ වන්නේ නම් දරුවාට කිරි අත්‍යවශ්‍ය වන්නේ නෑ.
කිරි ආහාර වන යෝගට්, චීස්, බටර් වැනි ආහාර මඟින් දරුවාගේ පෝෂණයට අවශ්‍ය කැල්සියම් හා විටමින් බී 12 වැනි පෝෂක කොටස් ශරීරයට ලැබෙනවා.
ඒත් අයිස්ක්‍රීම්, චොක්ලට්, පුඩින් වර්ග පැණි බීම, ශක්තිජනක පාන පේස්ට්‍රි සොසේජස් හා කෘත්‍රිම ක්ෂණික ආහාරපාන ලබාදීම ළමා ස්ථුලතාවයට සෘජුවම බලපානවා.
අදින් දශක කිහිපයකට කලින් සාමාන්‍යයෙන් දැරියන්ගේ මුල් යොවුන් විය ලක්ෂණ පහළ වුණේ වයස අවුරුදු 10 - 12 පමණ කාලයේ පටන්. ඒත් දැන් ඇතැම් දැරියක් වයස අවුරුදු 7 - 8 පටන්ම මුල් යොවුන් වියේ ලක්ෂණ පෙන්නුම් කරනවා. එපමණක් නොවෙයි ඇතැම් විට යෞවනෝදයේ අවසන් අදියර වෙන මල්වර වීම හෙවත් ඔසප් චක්‍රයත්් ඇරැඹෙනවා. ඔවුන්ගේ පියයුරු වර්ධනය වෙනවා.
එවැනි ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟම ඔවුන්ගේ මානසික වර්ධනයත් වේගයෙන් සිදු වෙනවා. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වීම, තමා පිළිබඳව විශේෂයෙන් උනන්දු වීම, විරුද්ධ ලිංගිකයන් ගේ ආකර්ෂණය තමා වෙත ආකර්ෂණය කරගන්නට වෙහෙසීම වැනි දේත් දරුවාට නොදැනීම සිදු වෙනවා. මේ තත්ත්වය කුඩා දරුවාට හානිකරයි. ඇගේ ඉගෙනීමට බාධා ඇති වීමට වගේම ආත්ම අභිමානයට පහර වැදීමට ද මෙය හේතු වන්නට පුළුවන්.
වයස අවුරුදු අටක නවයක දැරියකට ඔසප් වීම ඇරැඹුණොත් එය ඈට විශාල කරදරයක්. ලිංගිකව සක්‍රිය වන වයසට නො ආවාට ඇගේ කුස තුළ ගැබක් ඇතිවන්නට පුළුවන්. ඇගේ පියකරු පෙනුම ඇයට විශාල අවදානමක් වෙන්නට පුළුවන්.
පුංචි දැරියගේ වයසට නොගැළපෙන තරම් මානසික විප්ලවයකට ගොදුරු වන හෙයින් ඈ නොදැනුවත්වම අමාරුවේ වැටෙන්නට පුළුවන්. නිවසේදී පවා ඇයට නිසි ආරක්ෂාව රැකවරණය නොලැබී යන්නට පුළුවන්.
ළමා වියේ ස්ථුලතාව ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම අභියෝගයක්. අධි බරැති දියණියක අනාගතයේදී පියයුරු පිළිකාවකට හෝ බඩවැල්වල පිළිකාවකට ගොදුරු වීමට ඇති හැකියාව වැඩියි. එමෙන්ම මදසරු බව හෝ වඳ භාවයටත් අධික ස්ථුලතාවය බලපානවා.
කල් ඇතිව මල්වර වන දැරියන් ගේ සිරුර උස යාමේ ක්‍රියාවලිය මල්වර වීමෙන් පසුව බොහෝ විට නතර වෙනවා. එවිට ඇය සම වයසේ දරුවන් අතර උසට මහතට කැපී පෙනුණාට වැඩිහිටි වියට පත්වන විට වයසට ගැළපෙන තරමට වඩා මිටි වන්නට පුළුවන්.
අස්ථි වර්ධනයට අහිතකර ලෙස බලපෑමෙන් දිගු අස්ථිවල වර්ධනය අඩාළ වීමත් අඩු වයසින් උකුල් ඇටය බිඳීම්වලට ලක්වෙන්නටත් හැකියාව තිබෙනවා. වයසට යන්නට කලින්ම ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරු වන්නටත් ඉඩ තිබෙනවා. අක්මාවේ ලිපිඩ තැන්පත් වීමෙන් සුව කළ නොහැකි සිරෝසිස් ඇති වෙන්නටත්, පිත්තාශයේ ගල් ඇතිවෙන්නටත් ළමා වියේ ස්ථුලතාවය හේතු වෙනවා.
මහත දරුවන් බොහෝ විට නින්දෙන් ගොරවනවා ඔබ අසා ඇති මෙයට හේතුව අධි බර නිසා මොළය තුළ පීඩනය වැඩි වීමයි. එය සුව නින්දට බාධාවක්. රාත්‍රියට ගෙරවීම පුරුද්දට ගියාම එය හෘදය වස්තුවට අහිතකර ලෙස බලපානවා. එමඟින් හෘදය වස්තුව අනවශ්‍ය ලෙස වෙහෙසට පත්වී කලක් යන විට හෘදය ඉදිමීමෙන් හෘදයාබාධ හෝ හදවත් රෝග ඇති වෙන්නට පුළුවන්.
අධි බරෙන් යුතු දරුවන්ට මානසික ආතතිය ඇති වෙන්නට ඉඩ තිබෙනවා. මානසික ආතතිය නිසා මොළයේ නිපදවෙන ලෙප්ටින් රසායනිකය අඩුවෙන් නිපදවෙනවා. ලෙප්ටින් මඟින් සිදු කරන්නේ අප ගන්නා ආහාර ප්‍රමාණවත් යැයි මනසින් තෘප්තිමත් භාවයට පත් වීමයි.
මොළයේ ලෙප්ටින් නිෂ්පාදනය අඩු වූ විට අප ගන්නා ආහාර ප්‍රමාණයෙන් මනස සෑහීමකට පත් වෙන්නේ නෑ. එවිට අප නොදැනුවත්වම පමණට වඩා ආහාර ගන්නවා. එමඟින් ස්ථුලතාවයට පත් වෙනවා. ස්ථුලතාවය නිසා සුව නින්දක් නොලැබීම මෙන්ම මොළයට සිදුවන බලපෑම නිසා අධික හිස වේදනා ඇතිවෙන්නටත් පුළුවන්.
මේ විදිහට බැලුවාම ස්ථුලතාවය සෞඛ්‍යයට කොයි තරම් තර්ජනයක් ද?
හැම ළමයකුම අඩුම තරමින් දවසකට පැය බාගයක්වත් දිවීම, පැනීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ශාරීරික ක්‍රියාකාරකමක අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕනෑ. පරිගණක ක්‍රීඩා, රූපවාහිනිය නැරැඹීම වැනි එක තැනක වැඩි වෙලාවක් වාඩි වී සිටින කටයුතුවලින් හැකි තරම් ඉවත් වෙන්නට ඕනෑ. අත්‍යවශ්‍ය වෙලාවක හැර කෘත්‍රිම ආහාර පාන හා කඩ කෑමවලින් වළකින්න ඕනෑ.
තරග විභාගවලටම ගත සිත යොමු නොකර ක්‍රීඩා, නැටුම් ගැයුම් හා ව්‍යායාමවල යෙදිලා සිත සතුටින් සැහැල්ලුවෙන් තියාගන්න ඕනෑ. එවිට සුන්දර ළමා වියක් වගේම සුවදායි අනාගතයකුත් ඔබට ලැබෙනවා සිකුරුයි.
 


ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ
ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන්ති පෙරේරා

අනේ අපේ ළමයි!

අනේ අපේ ළමයි!


නරුම සල්ලාලයන් අතින් ගැහැනු දරුවන් පමණක් නොව; පිරිමි දරුවන් ද අපහරණයට ලක්වේ

අද දිනපතා ම විවිධ ජනමාධ්‍ය ඔස්සේ හිමිදිරියේ ම අසන්නට දකින්නට ලැබෙනුයේ දරුණු ගණයේ අපරාධ ය. එයිනුත් වැඩි ප්‍රමාණයක් ලිංගික අතවරයන්ට, දූෂණයන්ට පත්වීම් පිළිබඳ ප්‍රවෘත්ති ය. එහි ද සුවිශේෂී බවක් දක්නට තිබේ. වර්තමානයේ වැඩි වශයෙන් දූෂණයට අතවරයන්ට ලක්වනුයේ දඟකාර යෞවනියන් නොව හිරිමල් වියේ පෙර පාසල් දරුවන් ය. නැතහොත් වයස අවුරුදු පනහ හැට වූ ආච්චිලා ය. මෙය කොතරම් ම්ලේච්ඡ තත්ත්වයට ඇද වැටී ඇත්දැයි විමසීමේ දී මව සහ දියණිය එකට දූෂණය කර මරා නිවෙස්වලම පුළුස්සා දමන තත්ත්වයක් කරා වර්ධනය වී තිබේ.
විද්වත්හු මේ අපරාධ හා අපචාර සඳහා හේතු කාරක හැටියට විවිධ කරුණු ‍ෙගනහැර පාති. මාධ්‍ය ද මේ සඳහා යම් පිටිවහලක් වන බව පෙනී යයි. විශේෂයෙන් කිසිදු සංවරයක් හා පාලනයක් නැති ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ රූපවාහිනී අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන, ෆේස් බුක් වැනි අංශ බලපෑමක් කර ඇති බව නොරහසකි. රටක පවතින සමාජ ආර්ථික, දේශපාලනික මෙන් ම සංස්කෘතික තත්ත්වයන් මෙයට බලපාන බව ඇතැම් අය පෙන්වා දෙති. එමෙන් ම මෙවැනි බරපතළ අපරාධ සහ විකෘති හැසිරීම් සඳහා බලපානු ලබන තවත් හේතු කාරක ඇති බව අනාවරණය වේ.
16 හා 17 ශතවර්ෂවලදී ලෝකයේ තැනින් තැන සුළු අපරාධ සිදුවූ අතර පසුව ඒවා ප්‍රමාණාත්මකව මෙන් ම කෲරත්වය අතින් ද ඉහළ ගියේය. විවිධ රාජ්‍යයන් මේවා මර්දනය කිරීම සඳහා පවතින නීති හා දඬුවම් වැඩි කරමින් ද නව නීති හා දඬුවම් ඇතිකරමින් ද කටයුතු කරනු ලැබූවත් අපේක්ෂිත ප්‍රතිඵල නො ලැබිණි.
පසුව මනෝ විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයින් සහ විවිධ බුද්ධිමතුන් මේ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකරන ලදී. බරපතළ විකෘති සහිත අපරාධයන් සිදු කළ පුද්ගලයන්ගේ ඉතිහාසය සොයා යාමේ දී ඔවුන්ගේ කුඩා කාලයේ සමාජානුයෝජනයේ කොතනක හෝ අඩුවක් , ගැටලුවක් හෝ වැරදීමක් සිදුව ඇති බවත්, එහි ප්‍රතිඵල ලෙසට මෙවැනි විකෘති හා බරපතළ අපරාධ සිදුකරන බවත් පෙනී ගොස් තිබේ. ඒ අනුව දරුවන් හදා වඩා ගැනීමේ දී සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුව ඇති බවත්, එසේ නො කළහොත් දරුවා පසුකලෙක සමාජයට දක්වනු ලබන ප්‍රතිචාරය දරුවාට හෝ සමාජයට හෝ යහපත් නො වන බවත් සොයා ගෙන තිබේ.
දරුවන් හදා වඩා ගැනීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඉපදීමටත් පෙර ගර්භාෂයේ සිටියදීම බව ද මේ වන විට සොයාගෙන තිබේ.
මව හා පියා අතර අඬදබර මෙන්ම මවට ඇතිවන දහසක් ප්‍රශ්න හා ගැටලු හමුවේ ඇති වන ආතතිය ගර්භාෂයේ දරුවාට සෘජුවම බලපාන බව මවුපියන් වැඩි දෙනකු තවම නො දනී. විද්‍යාත්මකව මේ කිසිත් නොදත් අපේ මුතුන් මිත්තෝ ගර්භණී මවට ඉතා සැහැල්ලුවෙන් ජීවත්වීමට පරිසරය සකසා දුන්හ. තම ආගමික ස්ථානයන් කරා යොමු කරමින් කාගෙත් ආදරයට හා ගෞරවයට ලක් කරමින් ඇය කැමති ආහාරපාන ලබාදෙමින් ප්‍රීතිමත්ව සැහැල්ලුවෙන් තැබීමට කටයුතු කළහ.
එපමණක් නො වේ ඉපදුණු දරුවාට මවුපියන්ගේ රණ්ඩුසරුවල්, අඬදබර, හොඳින් දැනේ. මවගේ කිරි දීමේ ඉරියව්වෙන් පවා දරුවා මව සිටින තත්ත්වය හඳුනා ගනී. ඉන්පසුව දුවපැන ඇවිදින කාලයේ දී පවුල තුළින් දරුවාට වන නො සැලකිලි හා වෙනස්කම් හොඳින් හඳුනාගනී. ‍ෙම් සියලු අවදිවලදී දරුවාට හිතකර නො වන යමක් සිදුවුවහොත් ඒ මානසික සංවර්ධනයට පමණක් නො ව මානසික සෞඛ්‍යයට ද එතරම් හිතකර නො වනු ඇත.
එම කාලයේ දී ග්‍රහණය කරගත් දෙයහි ප්‍රතිඵල දරුවා වැඩිහිටියකු වූ පසුව පැහැදිලිව ප්‍රදර්ශනය වේ. සිග්මන් ෆ්‍රොයිඩ් පවසන අන්දමට දරුවකුගේ වයස අවුරුදු 07ක් වන විට මොළයේ වර්ධනය සම්පූර්ණ වී තිබේ. ඒ වන විට උකහා ගන්නා ලද දත්තයන් මත පසුකාලයේ දී සමාජයට ප්‍රතිචාර දක්වන බව ඔහුගේ අදහස ය.
මෙම කාලයේ දී දරුවාට යහපත් දේ අත්විඳින්නට ලැබුණහොත් පසුකාලයේ දී සමාජයට යහපත් ප්‍රතිචාර දක්වන බවත් අයහපත් දේ අත්විඳින්නට ලැබුණහොත් සමාජයට දක්වන ප්‍රතිචාරය ද අයහපත් වන බවත් මෙයින් පැහැදිලි වේ.
අද මවුපියන් බොහෝ විට වරද්දා ගන්නා තවත් ස්ථානයක් වන්නේ පෙර පාසලය. නිසි අවබෝධයක් නැති මාපියෝ හා පෙර පාසල් ගුරුවරියෝ ළමයාට අකුරු ඉලක්කම්වලට ද එහා යමින් තම මවු භාෂාවට අමතරව ඉංග්‍රීසි - සිංහල හෝ දෙමළ භාෂාව ද උගැන්වීමට උත්සාහ දරති. දරුවාට මේ සියල්ල දරාගැනීමට නොහැකිවී ජීවිත කාලයට ම අධ්‍යාපනය එපාවී, වෙනත් මානසික ගැටලු ඇතිවීමටත් එය බලපාන බව ඔවුහු නොදනිති.
දරුවන් යහපත් ලෙස සාර්ථක ලෙස හදා වඩා ගැනීමේ, සමාජානුයෝජනය කරගැනීමේ කරුණු සාකච්ඡා කිරීමේ විෂය ධාරාව “ළමා රැකවරණය” ලෙසට හඳුන්වා දිය හැකි ය. මේ විවිධාකාර වූ කටයුතුවලින් දරුවාගේ මානසික සෞඛ්‍ය පිරිහීමට පත්වන අතර ම බරපතළ මානසික රෝග පීඩාදියට පත්වීමට ද පුළුවන. මේ බව මවුපියන් දැනගන්නා විට පෙරහර ගොස් හමාර වී තිබේ. එක්කෝ දරුවා පාසල ප්‍රතික්ෂේප කර හමාර ය. නැතහොත් සමවයස් කාණ්ඩ‍යන් සමඟ මත්ද්‍රව්‍ය, මත්කුඩු, අස්වාභාවික ලිංගික දර්ශන නැරඹීම වැනි දෑ අත්හදා බැලීමට පෙලැඹී ඇත.
ලෝක ළමා දිනය සමරන අවස්ථාවේ මල් කැකුළු වන් ළමා පරපුර උගත්, බුද්ධිමත් රටට දැයට වැඩදායක, සමාජයට හිතවත් පිරිසක් ලෙසට හදාවඩා ගැනීම සම්බන්ධව අවධානය යොමු නො කරන්නේ නම් එය බරපතළ අඩුවකි. ළමයින්ට සමාන අවස්ථා සැලසීම හා ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම පමණක් ප්‍රමාණවත් නොවේ.
අද දවසේ අපරාධයක් සිදු කරන සියලු දෙනා එයට පෙර ළමුන් ලෙසට සිටි පිරිසක් බව අප අමතක කළ යුතු නො වේ.

හික්කඩුවේ ජී.විමලසිරි
සභාපති - ලංකා ළමාරක්ෂක


සේවා නිලධාරීන්ගේ සංගමය

ආදරණීය අම්මා වෙත ලියමි.

ආදරණීය අම්මා වෙත ලියමි.




















අම්මේ මේ ලිපිය ලියන්නේ අපේ තාත්තා ගැන විශේෂ යමක් කීමට ය. ඔහු දැන් හුඟාක් දුර්වල ය. කෙට්ටු ය. ඔහු ඉතා ඉක්මනින් ලෙඩ වේ යැයි බියක් මා තුළ පවතී. තාත්තාගේ වයස අවුරුදු පනහකට කිට්ටු බව නැන්දා මට කියා තිබේ. එහෙත් දැන් ඔහු අවුරුදු හැත්තෑවක මහල්ලකු සේ පෙනී යයි. තාත්තා බොහෝ විට ගෙදර පිල් කණ්ඩියේ හෝ මිදුලේ ගල්වැටිය මත ‍හෝ ඇණබාගෙන කල්පනා කරයි. ඇතැම්විට සුරුට්ටු උරමින් බිමට කෙළ ගසයි. ඔහුගේ දෑස් මලානික ය. ඒවා නිතර ම කඳුළෙන් බර ය. තාත්තාගේ මුහුණෙහි හිනාවක් ඇත්තේ ම නැත.

වැඩිහිටි පිරිමියකුගේ හැඟීම් - දැනීම් තේරුම් ගැනීමට තරම් මේරූ හිතක් මට නැත. එහෙත් අම්මා නැති පාළුව තාත්තාට තදින් දැනී ඇති බව පමණක් මට හැ‍ඟේ.
“පුතේ, උඹ දැන් ලොකු ගෑනු ළමයෙක්!
මේ ගෙදර තනියම ඉන්න එක හරි නෑ
උඹ නැන්දගෙ ගෙදර නැවතියන්!”
එසේ කියූ තාත්තා මගේ ඇඳුම් - කැඩුම් හා පොත්පත් ද සමඟ මා නැන්දාගේ ගෙදරට ඇරලුවේ ය. තාත්තා තට්ට තනියම කෑම හදාගන්නේ කසේදැ'යි විමසූ විට; ඔහු කියා සිටියේ මට ඔය කොයිදේත් එකයි පුතේ කියා ය.

අම්මා රට ගිය ගෙවල්වල ගෑනු දරුවන්ගේ ජීවිත ගැන නොයෙක් කතා අසන්නට ල‍ැබේ. ඇතැම් තාත්තලා කොයිතරම් නරුම ද? මගේ තාත්තා එවැන්නකු නොවීම ගැන ආඩම්බර වෙමි. අම්මා එවන කිසිදු මුදලක් ඔහු අතින් නාස්ති වන්නේ නැත. තාත්තා ඒ මුදල් අඩුවක් නැතිව මා අතට දෙයි.
“මේක තාත්තා තියාගන්න!” යැයි කිසියම් මුදලක් ඔහු අත තැබූවද; තාත්තා ඒවා ප්‍රතික්ෂේප කරන්නේ “ඕවා අම්මා දුක්විඳල ගත්තු සල්ලි පුතේ!” කියමින් ය.

අපේ තාත්තා ඉතා ඉක්මනින් ම මා හැර යනු ඇතැ'යි විශාල බියක් දැන් මා තුළ පවතී. එසේ වුවහොත් මා මේ ලෝකය තුළ තනිවනු ඇත. මට අම්මා නැත. තාත්තා ද නැත.
අම්මේ, ඔබ සිටින සෞදි අරාබිය නම් රට ගැන බොහෝ තොරතුරු මා ළඟ තිබේ. පත්තර කෑල්ලක්, පොතක් පුවතක් දුටු සැණෙන් මම ඒවා එකතු කොට සටහන් පොතක තබා ගතිමි. අදටත් එය එ‍ෙස්ම සිදුවේ. රියාද්, ජෙඩා, බුරෙයි දා, දම්මාමි, ටාබුක් යන නගර මට කටපාඩම් ය. ජෙහාර් නමින් කන්දක් ඇති බව ද මට මතක ය. අම්බාස් කන්ද දැක තිබේ ද?
අම්මා සෞදි ගිය මුල් දවස්වල එවු මුදලින් තාත්තා මිලට ගත් රූපවාහිනිය තව ම ඇත. ඔහු දැන් එය බලන්නේ නැත. එය මගේ ප්‍රයෝජනය සඳහා නැන්දාගේ නිවසට ‍ගෙනැ'විත් තිබේ. අම්මා රට ගිය මුල් කාලය තුළ තාත්තා සෑම රාත්‍රියකම නිදිවර්ජිත ව කල්පනා කරමින් සිටියේ ය. වසර තුනකට පසු අම්මාගේ ලියුම් පමාවෙන්නට වූ කල තාත්තා බෙහෙවින් කලබල විය. ඔහු නොයෙක් තැන්වලට ගොස් කන්නලව් කළේ ය. පේන ඇසුවේ ය.


පිටරට යන ගැහැනුන් පිළිබඳ නොයෙක් කතා මා අසා තිබේ. ඇතැම් අය විවාහ ජීවිත ගත කරන බව ද දැන ගන්නට තිබේ. ඉන්දියන්කාරයකු සමඟ ජීවත්වෙන ශ්‍රී ලංකාවේ ගැහැනියක් මිනීමැරුමකට හසුවී මරණීය දණ්ඩනයට නියම වූ බව ද මම අසා ඇත්තෙමි. මගේ අම්මා එවැන්නියක නො වන බව මට හොඳට ම විශ්වාස ය. දැනට වසරකට පමණ පෙර ජෙඩා නගරයේ කන්දාර් නම් ගුවන් පාලම යට ශ්‍රී ලාංකික අනාථයන් පිරිසක් සිටින බවට ‍ෙතාරතුරු පුවත්පත්වල පළ විය. අනාථ පිරිස තුන්දහසකට වැඩි බව කියැවිණි. අම්මා ඒ අතර සිටියේ නම් එය අපට සැනසිල්ලෙකි. අනාථයන් කවදා හෝ සිය රටට එන බැවිනි.
අපේ නැන්දා කියනුයේ මගේ අම්මා යළි කිසි දිනෙක ගෙදර නොඑන බව ය. අම්මා ඉන්දියන්කාරයකු සමඟ විවාහ වී ඇතැ'යි සමහරු කියති. උන්දෑ මැරිලා! නැත්නම් හිරකරලා යැයි තවත් අය කියති. මේ ළඟ දී අපේ නැන්දා දුක හිතෙන කතාවක් කීවා මට මතක ය. මා වසර තුනක පමණ කුඩා දැරිවියක සිටිය දී පාචනය වැලඳී මරණාසන්න වූ බව ඈ මට කියා සිටියා ය. අම්මා මා රැගෙන පයින් ම රෝහල වෙත ගිය බවත් ඒ වන විට තාත්තා අත සත යහුනක් නො තිබූ බවත් මට දැනගන්නට ලැබිණි. අම්මා හඬමින් නොකා නොබී මට කිරි දෙමින් මා සමඟ රෝහලේ රැඳී සිටියේලු! එදා අම්මා මා වෙනුවෙන් කැප නො වන්නට අද මා ජීවතුන් අතර නැතැ'යි නැන්දා කියා සිටී.

අම්මේ මා ලොකු ළමයකු බැවින් මගේ සිතිවිලි මෝරා ඇතැ'යි මට සිතේ. නොයෙක් විකාර හැඟීම්වලින් මගේ සිත පිරී ඇත. ඇතැම් හැඟීම් කුතුහලයෙන් යුතු ය. තවත් හැඟීම් කෙනකුට කීමට බැරි තරම් ලැජ්ජාවෙන් යුතු ය. කොහොමටත් මට මේවා තේරුම් ගැනීම අමාරු ය. එහෙත් ඔබට කීමට බැරි දෙයක් මා ළඟ නැත. ඔබ ළඟට වී ඇනබාගෙන ඔබේ කනෙහි තැබිය යුතු රහස් ගොන්නක් ‍ෙපාදි ගැසී තිබේ.

අපේ පන්තියේ ළමයි දවසකට සිය වතාවකට වඩා ‘අම්මා’ යන වචනය කියති. ඔවුන්ගේ මුළු ලෝකය ම රැඳී ඇත්තේ අම්මා මත ය. සමහරු අම්මා ගැන කතාව යළි - යළි කියමින් රස විඳිති. තවත් අය අම්මාට දොස් කියති. එවිට මට කේන්ති යයි. තවත් සමහරු අම්මා ගැන කියමින් හඬති. එහෙත් කිසිවකුට අම්මාගෙන් තොර ජීවිතයක් නැත.
මා දැන් බෙහෙවින් තනි වී ඇති සෙයක් දැනේ. ලබන අවුරුද්දේ මේ කාලය වන විට විභාගයට වාඩි විය යුතු ය.

මම පාඩම් වැඩ අතපසු නො කර දිගට ම කරගෙන යමි. මට අධිෂ්ඨානයක් තිබේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වෛද්‍ය විද්‍යාලයය, යන කඩඉම් පසු කරගෙන යෑමේ ශක්තියක් හා ඥානයක් මට තිබේ. එය විශ්වාසවන්ත ය. ශක්තිමත් ය. නො වෙනස් වන සුලු ය.
පුතේ පාඩම් කරපන් යැයි මට ධෛර්යය දෙන්න ට කෙනකු නැත. මා නිදිවරාගෙන ගණන් හදන විට තනියට ළඟින් සිටින්නට කෙනකු නැත. තේ ටිකක් දෙන්නට කෙනකු නැත. විස්කෝතුවක් දී නැවත ගණන් හදපන් යැයි උපදෙස් දෙන්නට කෙනකු නැත. කාලය, වයස හා ජීවිතය ඔහේ ගෙවී යයි.

ආං... අම්මේ තවත් දෙයක් මට කල්පනා වේ. සමහරුන් කියන ලෙස අම්මා වෙනත් විවාහයක් කරගෙන ඇත් ද? නංගිලා - මල්ලිලා සිටිත් ද? ලැජ්ජා විය යුතු නැත.
බයක් සිතිය යුතු නැත. සැබෑ ජිවිතයට මුහුණ දීම සාර්ථක ම ක්‍රමය යැයි මට සිතේ. අම්මා කුමන වෙනස් වීමකට ලක් ව සිටිය ද ඒ මගේ ම අම්මා ය. මම ඔබ පිළිගැනීම ට සූදානමින් සිටිමි. අම්මේ අපි ජීවිතයට මුහුණ දෙමු.
අපේ තාත්තා ගැන බලවත් ශෝකයක් තිබේ. ඔහු අහිංසක ය. ඔබ වෙනුවෙන් බොහෝ දේ කැප කර ඇති තාත්තා අවසන් කාලය ගෙවමින් සිටිතැ'යි මට හැ‍ඟේ. ඔහු දැන් කිසිවකු සමඟ කතාබහක් නැත.

බොහෝ විට වේල් දෙක - තුන නොකා නොබී ඉන්නා බව මට දැනී ගොස් තිබේ. තාත්තා යළි ප්‍රකෘතියට ගත නො හැකි තරමට ම නාස්ති වී සිටී. තාත්තා හා ඔබ කලකට පෙර පෙම්වතුන් සේ කල් යැවූ බවක් මා අසා තිබේ. ඒ ප්‍රේමය දැන් පෑලදොරින් පලා ගොස් තිබේ. අම්මා රට ගියේ ඇයි? දුප්පත්කම නිසා ද? තෘෂ්ණා ව නිසා ද? නැතහොත් මෝස්තරයකට ද? මේ සියල්ලට වඩා බලවත් ප්‍රශ්නය වන්නේ වසර ගණනාවකින් තොරතුරක් නැතිවීම ය.
කිසිවකට පිළිතුරක් නැත. පිළිතුරක් ලැබෙන හැටියක් ද පෙනෙන්නට නැත.
මා දැන් ලස්සන වී ඇතැ'යි සමහරු කියති. අම්මගෙ කපාපු පළුව, හිනාවත් ඒ වගේ, ගමනත් ඒ වගේ, අනේ මන්දා යැයි නැන්දා කියයි. මම කන්නාඩියෙන් මුහුණ බලාගෙන සිනාසෙමි. අම්මාගේ පින්බර හිනාවේ සලකුණක් එහි ගැබ් ව තිබේ.
අම්මා නැවත පැමිණිය යුතු ය. වැඩි කල් නොගොස් පැමිණිය යුතු ය. ඔබ එන විට මා දොස්තර කෙනකු වී සිටින්නට පුළුවන.

තෙරුවන් සරණයි!
චූටි දුව