V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Sunday, March 31, 2013

විදුල ළමා ගුවන් විදුලියට ඔබ සවන් දිය යුත්තේ ඇයි


විදුල ළමා ගුවන් විදුලිය යනු දකුණු ආසියාවේ ප‍්‍රථම ළමා ගුවන් විදුලියයි. විදුල විකාශය කෙරෙන්නේ ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව මැදිරි සංකීර්ණයේ සිටයි.
FM 107.5
05.30 am - 8.00 am

ළමා වැඩසටහන් වල ගුනාත්මක භාවය ආරක්‍ෂා කර ගනිමින් දේශයේ විද්වතුන් සමග නිරතුරු දැනුම බෙදාහදා ගනිමින් ජාතික අධ්‍යාපන සත්කාරයක් ලෙස පුරා අවුරුදු 40 කට ආසන්න කාලයක් ගුවන් විදුලි අධ්‍යාපන සේවය ඔස්සේ ගමට ගුවනින් දැනුම ගෙන ගිය ගුවන් විදුලිය දැන් මේ අත ගසා ඇත්තේ ඉතා භාරදූර කාර්යයකටයි.


ඔබ ඔබේ දරුවාට විදුල ළමා ගුවන් විදුලිය අසන්නට සැලැස්විය යුත්තේ අපේ පැරණි ළමා ගීත මුල් තත්වයෙන්ම අසන්නට ලැබෙන නිසාවෙනි.
කුමාරතුංග මුනිදාස මහතාගේ, S.මහින්ද හිමියන්ගේ, විමලරත්න කුමාරගමගේ නිර්මාණ වගකීමකින් යුක්තව අප ඔබ වෙනුවෙන් විකාශය කරමු.

එසේම ඔබේ වටිනා අදහස්ද අප වෙත එවන්නේ නම් කෘතඥ වෙමු.

vidularadio@gmail.com
විදූල ළමා ගුවන් විදූලිය.
ශ‍්‍රීලංකා ගුවන් විදූලි සංස්ථාව,
කොළඹ 07.

ලියුම් කවරයෙහි වම් කෙලවර, 
"විදූල ශ‍්‍රාවක සමීක්‍ෂා" ලෙස සටහන් කිරීමට කාරුණික වන්න

සියටැල්


වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය හා හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපේ මිත‍්‍රත්වයෙන් ඔහුට එතරම් ප‍්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.
ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම් මිලදී ගන්නේ කෙසේද?
මේ අදහස අපට නම් විකාරයකි. සුළෙඟ් නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙලෙසද?
මේ පොළොවේ සෑම බිම් අඟලක්ම මගේ මිනිසුන්ට පූජනීයය. දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම වැලි කඳුවලින් පිරි සෑම වෙරළක්ම අඳුරු වන ගැබ තුළ වන සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගී ගයන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් පූජනීය මතකයෝ සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිවෙන සෑම මංපෙතක්ම රතු ඉන්දියානුවන් පිළිබඳව මතකයන් රැගෙන යයි.

එබැවින් වොෂින්ටනයේ මහා නායකයා අපේ ඉඩම් මිලදී ගැනීමට කැමති බැව් දන්වා එවීමෙන් හෙතෙම අපෙන් නොදිය හැකි දෙයක්ම බලාපොරොත්තු වෙයි. මන්දයත් මේ පොළව අපට පූජනීය වන හෙයිනි. මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡායාවක්ම මගේ වර්ගයේම ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි.

ගංගාවෝ අපේ සොහොයුරෝය. ඔවුහු අපේ පිපාසය සංසිඳවති. අපේ ඔරු පාරු ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකිණුවහොත් වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි.

අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන් බිම් අපට පූජනීය වන්නේය. එහෙත් සුදු මිනිසුන් වන ඔබට නම් එක් භූමියක් තවත් භූමියකට වඩා වෙනස් නොවේ. ඔබේ මිනිස්සු භූමිය කොල්ලකා පලා යති. භූමිය ඔවුනට මිතුරෙකු නොව සතුරෙකි. එක් බිමක් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුහූ තවත් බිම් සොයා ඉදිරියට ඇදෙති. කිසිදු හැඟීමකින් තොරව තම පියවරුන්ගේ සුසාන පසු කර යති. තම දරුවන්ගේ අනාගත භූමිය මංකොල්ල කති. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ හිස් කාන්තාරයක් පමණකි.

සුදු මිනිසාගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන එයි. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයා ගත නොහැකිය. වසන්ත සමයෙහි තුරු ලතාවල ළපලූ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාත්වල සිලිසිලිය ඔබේ නගරවලදී ඇසෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණි. එය දෙසවනට මහත්ම හිරිහැරයකි.

ඇතැම් විට මා වැනි ම්ලේඡයෙකුට මේ දේවල් වටහා ගන්නට අසීරු විය හැකිය. එහෙත් හුදෙකලාවේ උලමා ගයන ගීතය හෝ රාති‍්‍රයේ පොකුණක් අසල මැඩියන්ගේ තර්ක විතර්ක නොඅසන ජීවිතයේ හරයක් වේද?

සත්තු, තුරුලිය හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම ප‍්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. සුදු මිනිසුන් වන ඔබ තමන් ආශ්වාස කරන වාතය ගැනවත් නොදනියි. අපේ භූමිය ඔබට විකිණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් අගනා දෙයක් වූ බව සිහි තබා ගත මැනවි. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය.

ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන දුම්රියක සිට විනෝදයට වෙඩි තබා මරා දමන ලද කුණු වී යන දහස් ගණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. ඒ සමහර විට මා වනචාරී ම්ලේච්ඡයෙකු නිසා වීමට පුළුවන.

තිරිසන් සතුන් නොමැති ලොවක මිනිසා හුදෙකලාව ජීවත් වන්නේ කෙසේද? එසේ වුවහොත් ඒ හුදකලා බවින් ඔහුද විනාශ වී යනු ඇති. ඒ මන්ද යත් ඒ සත්වයින්ට සිදුවන දෙය ඉතා ඉක්මනින්ම මිනිසාටද සිදුවන නිසාය.

ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින විට මේ බිම අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුනට වටහා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. භූමියට සිදුවන සෑම හොඳක් හෝ නරකක්ම එහි දරුවන්ට ද උරුම වන්නේය. ඔබ භූමියට කෙළ ගසන්නේද ඔබ තමාටම කෙළ ගසා ගනී.

මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ. එහෙත් ඔබ අප වෙනුවෙන් වෙන් කොට ඇති වාසභූමි වෙත යාම පිළිබඳව අපි සලකා බලන්නෙමු. එවිට අප එකිනෙකාගෙන් වෙන්ව එහෙත් සාමයෙන් ජීවත් වනු ඇත.


අපි එක් දෙයක් දන්නෙමු. එනම් යම් කිසි දවසක සුදු මිනිසා අපේ දෙවියන් ඔබේ දෙවියන්ද වන බව වටහා ගනු ඇත. අපේ ඉඩම් අයිතිකර ගැනීමට සිතන්නාක් මෙන් දෙවියන් ද අයත් කර ගැනීමට ඔබට සිතෙනු ඇත. නමුත් ඔබට එසේ කිරීමට නොහැකි වනු ඇත.


එතුමන් මුළු මහත් මිනිස් වර්ගයාගේම දෙවියාය. උන්වහන්සේගේ දයාව සුදු මිනිසාට මෙන්ම රතු මිනිසාට ද එක හා සමානය. මේ පොළෝ තලය ඔහුට අනර්ඝ වස්තුවක් වෙයි. ඊට හානි කිරීම එහි නිර්මාපකයාට නිගරු කිරීමක් වේ. දිගින් දිගටම ඔබේ යහන අපවිත‍්‍ර කිරීමෙන් යම් රාති‍්‍රයක ඔබම නිපදවූ අපද්‍රව්‍ය ඔබේම හුස්ම හිර කරවනු ඇත.


එහෙත් විනාශය කරා යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. ඔබට මේ භූමියෙහි හා රතු ඉන්දියානුවන්ගේද ආධිපත්‍යය ලබා දුන්නා වූ දෙවියන්ගේ ශක්තිය ඊට හේතු වනු ඇත. සෑම කුළු හරකෙකුම මස් කරන ලද සෑම කැලෑ අශ්වයෙකුම හීලෑ කරන ලද පැහැබර කඳු ශිඛර කතා කරන කම්බිවලින් වැසී ගිය කල ඒ දෛවය අපට නම් අභූතයකි. වන ලැහැබ් කොහිද? නැති වී ගොස්ය. රාජාලියා කොහිද? නැති වී ගොස්ය. මේ සියල්ල කුමක්ද? ජීවිතයේ අවසානයයි. අපි ඔබේ ඉඩම් මිලදී ගැනීමේ යෝජනාව සලකා බලන්නෙමු.

අප ඊට එකඟ වුවහොත් ඔබ විසින් අපට දෙන්නට පොරොන්දු වී සිටින රක්ෂිත භූමියෙහි අපි ජීවත් වන්නෙමු. අන්තිම රතු මිනිසාත් පොළොවෙන් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණ බිම් මතින් පාවෙන වලාකුළක සෙවණැල්ලක් පමණක් වනු ඇත. මේ වෙරළ හා වනාන්තරය තවදුරටත් මගේ මිනිසුන් පිළිබඳ මතකය දරා සිටිනු ඇත. ඔවුන් මේ භූමියට ආදරය කළේ අලූත උපන් ළදරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඉතින් අප භූමිය ඔබට විකුණා දැමුවොත් අප එයට ආදරය කළ හැටියටම ඔබත් ඊට ආදරය කරන්න. දෙවියන් අප සියලූ දෙනාටම ආදරය කරන ලෙසටම ඊට ආදරය කරන්න. අපි එක් දෙයක් දනිමු. අපේ දෙවියනුත් ඔබේ දෙවියන්මය. පොළොව ඔහුට බෙහෙවින් අගී. සුදු මිනිසාට පවා පොදු ඉරණමෙන් ගැලවිය නොහැකිය. ඒ අරුතින් අපි සියලූ දෙනාම සහෝදරයෝ නොවෙමුද?

   -සියටැල් 

ඇමරිකා එක්සත් ජනපදයේ 16 වෙනි ජනපති එබ්බ්‍රහිම් ලින්කන් තම පුතාගේ ගුරුවරයා වෙත යවන ලියුම



පරිවර්තනයේ සාරාංශය

ඔහු උගත්තෙක් විය යුතු බව මම දනිමි. සියලු මිනිසුන් සාධාරණ නැත. සත්‍ය වාදිද නැත. නමුත්, සෑම නොමිනිසේකුටම වීරයෙක්ද, ආත්මාර්ථකාමි දේශපාලකයේකුටම කැප උන නායකයෙක්ද, සෑම සතුරෙකුටම සහෘදයෙක්ද, සිටින බවත් ඔහුට උගන්වනු මැනවි.
ඊර්ශියාවන් ඉවතට ඔහු මෙහෙයවා සන්සුන්ව සතුටේ රසය විඳගනිමටත්, ඔහුට උගන්වනු මැනවි.
දුර්වලය තලා පෙලන්නා වැඩිකල් නොගොස් ඒ සදහා පසුතැවෙන බව ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු මැනවි.
පොත් පත් වල සැගවුන ආශ්චර්යය ඔහුට උගන්වන ගමන්ම, අහසේ පිය සලන කුරුල්ලාගේ සදාතනික මුණු මුණු වේද, හරිත කඳු වැටි අසබඩ විල්ගොමුවේ විහඟ, මි මැසි නාදයේද, අසිරිය විද ගැනීමට නිදහසට ඔහු හට ලබා දුන මැනව.
දයාබර ගුරුතුමනි අසමත්වීම, රැවටීමට වඩා ගෞරවනීය බව ඔහුට උගන්වනු මැනවි.
ලෝකයාගේ ගැරහුමට ලක් වුවද, තම අදහස් මත විශ්වාසය ගොඩ නගා ගැනීමට ඔහුව පුරුදු පුහුණු කල මැනවි.
සුමුදු හදවත් අතර සුමුදු වීමටත්, රළු පරිසරයකදී රළු වීමටත් අවශ්‍ය ශක්තිය ඔහුට ලබා දුන මැනවි.
වැඩි දෙනකු අනුගමනය කල පමණින්, යමක් අනුගමනය නොකිරීමට ශක්තිය ඔහුට ලබාදීමට උත්සහ කල මැනවි.
සියලු දෙනාටම හොදින් සවන් දීමට මෙන්ම, යහපත් දේ පමණක් තෝරා බේරා ගැනීමටත් ඔහුට උගන්වනු මැනවි.
ගෞරවනීය ගුරුතුමනි, කදුළු අතරින් සිනා සිමටත්, කදුළු බිදුවක ලැජ්ජාව නොදැනිමටත්, විවේචනයට බිය නොවීමටත්, පමණට වැඩි ප්‍රශංසාවන්ගෙන් ප්‍රවේසම් වීමට ඔහුට කියා දුන මැනවි.
ශක්තිය සහ මොළය උපරිම මිලකට අගය කිරීමටත්, එහෙත් හදවත මෙන්ම ආත්මයද, මිල නොකරන ලෙසටත්, ඔහුට උගන්වනු මැනවි.
නුවමනා කාලයේදී දෙසවන් වසා ගැනීමටත්, තාමා නිවැරදි යැයි සිතේ නම්, ඒ වෙනුවන් සටන් කිරීමටත් ඔහුට උගන්වනු මැනවි.
දයාබර ගුරුතුමනි, අනවශ්‍ය හුරතලයට ලක් නොකර, ඔහුට මෘදු ලෙස සලකනු මැනවි. මන්ද යත්, හොඳ වානේ පන්නරයක් ලැබෙන්නේ දැඩි ගින්දරකිනි.
නොඉවසිලිමත් වීමට ශක්තියත්, නිර්භිත වීමට ඉවසීමත්, නිරන්තරයෙන් තමා කෙරෙහි අපරිමිත විශ්වාසයක් තැබීමට ඔහුට උගන්වනු මැනවි.
එවිට පමණක් ඔහු සමස්ත මානව වර්ගයා කෙරෙහි අනන්ත වූ විශ්වාසයක් දක්වන්නේහිය.
ගෞරවනීය ගුරුතුමනි, මෙය විශාල ඇනවුමකි එහෙත්, කල හැකි දේ කුමක් දැයි බලනු මැනවි.

මේ අපුර්වතම කුඩා පැටියා මගේ ආදරණිය පුතුමය.....!

http://kannangaradaruwo.blogspot.com/

෴ ගුරු ගීතය ෴ Chingiz Aitmato





ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. මෙම සම්පූර්ණ පරිවර්තන කෘතියම ඔබට පහත පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමට ලබා දීමට කැමැත්තෙමි.
දැදිගම වී. රුද්‍රිග
Chingiz Aitmato
****************

මම කවුළුව හැරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ, මාගේ චිත්‍රවල තිබෙන කටු සහණින් යුත් රූප හා දර්ශනය දෙස මහත් ඕනෑකමින් බලන්නට විමි. ඒ කටු සටහන් කීප වරක් ම මකා දමා මුලසිටම අඳින ලද එවා ය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාවක් නොවෙයි මේ. ප්‍රධාන දේ තවම අතට අසුවී නැති හැඩයි. සිත තුළ දෑතින් බදා අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇති කරමිනි, එය පැන නගින්නේ, ගිම්හාණයේ අරුණෝදයේ මෙන් වැඩී එන පැහැදිලි බවකින් ස්ථිර ගතියකින් යුතුව එසැණින් එය පැන නගී. අරුණෝදයේ නිලසලතාවයට මැදෙන මම කල්පනා කරන්නට විමි. මා මෙසේ හැසිරුණු වාර අපමණය. මගේ චිත්‍රය තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සීමා වී තිබෙන බව ඒ හැම වාරයකදීම මට ඒත්තු ගියේ ය‍.

අවසාන නොකල දෑ ගැන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම අනුමත කරන කෙනෙකු නොවෙමි, මම. දැඩි ඊර්ෂ්‍යවකින් යුතුව මගේ වැඩ දෙස බලන නිසා නොවේ මා එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවෙමින් සිටින දරු පැටියෙක් හෙට මොන විධියට හැදීවැඩී නැගී සිටිති ද යන්න සිතා ගැනීම අමාරු කාරියක් නිසා ය. ඇඳ අවසාන නොකරන ලද චිත්‍රයක් ගැන තීරණය කිරීම ද අසීරු වැඩකි. එහෙත් මේ වර මාගේ රිතීන් මම කඩා දැමුවෙමි. අවසාන නොකළ ඒ චිත්‍රය ගැන මහ හඬින් කියා පෑමටත්, එයටත් වඩා ස්ථීර ලෙස කියන්නේ නම්, ඒ ගැන මිනිසුන්ගේ අදහස් උදහස් දැන ගැනීමටත් මට උවමනා විය.

එය අභිලාෂයක් නොවේ. ඒ කාරිය වෙන අන්දමකට කළ නොහැකි ය. ඒ බර තනිවම ඉසිලීමට මට සවි ශක්තියක් නැති නිසා ය. ඉතිහාසය මගේ සිත පුබුදුවාලී ය. චිත්‍ර ශිල්පියෙකු ලෙස තෙලි තුඩ ගැනීමට පොළඹවන ලද්දේත් ජීවන පුවතකි. එහෙත් ඒ ජීවිත කතාව කෙතරම් විශාලදැයි කියතොත්, එය බදා අල්ලා ගැනීමට මට නොහැකි ය. මාගේ අදහස් සම්පූර්ණයෙන් ම කියා පෑමට තරම් ශක්තියක් මා තුළ ඇතැයි නොසිතන හෙයින් මම බිය වෙමි. ජනතාවගේ උපදෙස් මට අවශ්‍ය ය. තීරණය ගැනීමට ඔව්හූ මඟ පෙන්විය යුත්තාහ. හදවත් තුළ ඇති දයාවිත බව ගැන දුක් නොවන්න. මා සමීපයට එන්න. ඒ කතාව කීම මගේ යුතුකමකි.

****************
අපේ අයිලය* කුර්කුරේඋව පිහිටා ඇත්තේ උස් කඳු වැටි අසල වූ පුළුල් නිම්න භූමියෙක ය. කඳු වැටි අතරින් ගලා බසින කුඩා ගංගා වලින් වැඩි හරියක් අපේ අයිලය හරහා දිවෙයි. අපේ අයිලයට පහළින් කසාක්ස්කානයේ ස්ටෙප්ස් බිම් වල කොටසක් වන කහ පැහැති මිටියාවතකි. එය වටා කළු පැහැති යෝධ කඳු ගැට පෙළකි. මිටියාවත හරහා වැටී තිබෙන දුම්රිය පාර බටහිරින් ක්ෂිතිජය දක්වා විහිද යන්නේ සමතලා බිමක් පසු කැරැමිනි.

එහෙත් අයිලයට ඉහලින් කඳු ගැටයක් මත පොප්ලර් ගස් දෙකකි. මට බහ තේරෙන අවදියේ පටන් ම ඒ ගස් දෙක දැක පුරුදු බව මතක ය. කොයි පැත්තේ සිට අපේ කුර්කුරේඋව ට ඇතුළු වුණ ද පළමුවෙන් ම ඇසට හසුවනුයේ මේ ගස් දෙක ය. කන්ද මත පිහිටි පහන් කණු සේ ය ඒවා. දුම්රියෙන් බැස ස්ටෙප් බිම හරහා අයිලය දෙසට ගමන් කරන මට පළමුවෙන්ම දකින්ට ලැබෙන්නේ අර පෝප්ලර් ගස් දෙක ය. එසේ වීමට හේතු ළමා කාලයේ දී ලබන හැඟීම් මිනිසකුට වඩාත් අගනා නිසා ද නැතිනම් වෘතියෙන් මා චිත්‍ර ශිල්පියෙකු නිසාදැ යි කීම උගහටය.

අපේ අයිලයේ නොයෙක් වර්ගවලට අයත් ගස් එමට තිබේ. එහෙත් අර පොප්ලර් වර්ගවලට අයත් ගස් විශේෂ තැනැක් ගනී. ඔවුන්ගේ බස විශේෂ එකකි. එය ගීතයෙන් පිරි ජීව ප්‍රාණයකි. රෑ හෝ දවල් හෝ කොයි වෙලේ හෝ මෙයි අවාද, මොවුහු දෙදෙන ඒ මේ අත වැනෙති. උන්ගේ අතු එකිනෙකා වැළඳගනිති, විවිධ ස්වරමාලා අනුව ගයන්නාක් මෙන් කොළ හා අතු ශබ්දයන් නගති. නිහඬව හමන සුළං පහර වැලි තලාව මත නටන්නාක් මෙනි. වරෙක නොපෙණෙන ගිනිදලුවක් සේ හද කිතිකවමින් උණුසුම් කෙඳිරීමක් ඇතු දිගේ දිවයන්නා සේ ය.සැනේකින් ඇති වන, දැඩි නිහැඬිතාවයකි. පොප්ලර් ගස් එකවර නැගී සිට අනතුරු හඟවමින් හඬනගා සුසුම් ලන්නේ යමක් ගැන පසුතැවිලි වෙන්නාක් මෙනි. වැහි කුණාටු සහ සැඩ සුළං පහරට හසුවන පෝප්පර් ගස් ඇතු සොලවමින් වැරෙන් ඒ මේ ඇත වැනෙයි. හඬනගයි. ඒ පීඩාවට අසුවන කොළ ගැලවී වැටෙයි. දැවෙමින් නගින ගිනි දළු මෙන්, එවිට ඒ තුරු පෙනේ.

ඊට අවුරුදු ගණනකට පසු මම එහි රහස දැනගතිමි. කඳු ගැටය මත තිබෙන මේ පොප්ලර් ගස් සුළං පහරට විවෘත වී නග්න වී සිටී. වායු පීඩනයේ ඉතා සුළු වෙනස් වීමකට පවා ඒවා හසුවෙයි. ඉතා සැහැල්ලු සුළං පහරට පවා හැම කොළයක් ම අසුවන්නේ සියුම් ඉඳුරන් ඇතියවුන් සේ ය.

ඒ චාම් ඇත්ත සොයා ගැනීම නිසා මම කලනොකිරුණෙමි. ඒ ළමා හැඟීම මා කෙරෙන් වෙන් වූයේ නැති අතර, අද දක්වා එය මම ආරක්ෂා කරගෙන සිටිමි. කඳු ගැටය මත පිහිටි පොප්ලර් ගස් දෙක අදත් මට පෙනෙන්නේ අපූරු ජීවමාන වස්තූන් ලෙසිනි. මගේ ළමා කාලය කොළපාට මයාකාරී වීදුරු කැබැල්ලක් මෙන් ඒ ගස් යට නැවතිණ.

ගිම්හාන නිවාඩුවට පාසල වැසීමට පෙරදා අපේ කොලු නඩය කඳු ගැටයට වැදුනේ කුරුළු කුඩූ විනාශ කිරීම සඳහා ය. කැකෝ ගසමින් උරුහන් බාමින් කඳු ගැටයට නගින හැම වාරයකදීම, යෝධ-පොප්ලරයන් දෙදෙනා ඒ මේ අත වැනෙමින්, සිය සිසිල් සෙවනින් හා කෝමල හඬ පතුරුවමින්, අප සාදරයෙන් පිළිගන්නේ යැයි කියාපෑවාක් මෙන් මට දැනිණී. පාවහන් නැති මුරණ්ඩු කොල්ලන් වන අපි එකා පිට එකා නගිමින් ගස් බඩ ගාන්නෙමු. අතු රිකිලිගානේ ඇදෙන අප කුරුල්ලන්ගේ රජය ආක්‍රමණය කරන්නේ වේගයෙනි. බියපත්වන කුරුළු රංචු අපට උඩින් කැකෝ ගසමින් පියාඹති. කුරුල්ලන්ගේ කන්දොස් කිරියාව අපි ගණනකට වත් නොගත්තෙමු. ගස් මුදුන් දක්වා නැංගෙමු. කවුද වැඩිය නිර්භීත, කවුද වැඩිය දක්ෂ! - හිටිහැටියේ ඒ සා උස් මුදුනක සිට, කුරුල්ලෙක් ඉගිලෙන උසක සිට, ඉන්ද්‍ර ජාලයකින් මෙන් අප ඉදිරියේ ඉමක් නැති විශෘල ලෝකය දිස්වි ය.

මහ පොළවේ දැවැන්ත බව අප පුදුමයට පත් කළේ ය. අතු උඩ සිට මේ පුදුම දර්ශනය දෙස බලන අපට හුස්ම ගැනීමට පවා නොහැකිව, ගල් ගැසුනාක් මෙන් දැනෙයි. ලෝකයේ විශාලම ගොඩනැගිල්ල සමූහ ගොවිපලේ අස්සගාල බව අපගේ වැටහීම වුවද, මෙතන සිට බලන විට එය පෙනෙන්නේ කුඩා මඩුවක් මෙනි. අයිලයට පිටුපසින් පැතිර ඇති නැවුම් ස්ටෙප්ස් බිම් දැඩි උෂ්ණය නිසා ඇතිවන රත්වූ වාතයෙන් පැන නගින පටලයට අසුව අතුරුදහන් වී යන්නාක් සේ ය. ඇස්වලට පේන තෙක් දුර තිබෙන බොර-නිල් පැහැති අහස දෙසත්, දසත පැතිර යන මහපොළව දෙසත් බැලුවෙමු. ඉස්සර ගංගා නදී ඇතැයි සැකනොකළ තැන්වල, නොදුටු තැන්වල ගංගාවන් ගලා බසින සැටි දුටිමු. ඈත ක්ෂීතිජයේ රිදී කෙඳි සේ ගංගා නදී දිස් විය. අතුවල නිසලව ඉන්නා අපි මෙසේ සිතුවෙමු. මේ ලෝකයේ කෙළවර ද, නැතිනම් තවත් ඈතට අහස විහිදී යන්නේ ද, එහි වළාකුළු තිබේ ද? අතුවල අප ඉන්නේ හුස්ම පවා නොගනිමිනි. සැඩ සුළංවල අපූරු හඬක්, එයට මිතුරෙකු ලෙස පිළිතුරු දෙන තුරු ලතාවල කොළ ඈත රටවල අරුම පුදුම තොරතුරු ගැන කියන්නාක් මෙන් නගන හඬක් අපට ඇසුණි.

පොප්ලර් ගස්වල හඬ මා කන්හී වැකුණු විගස මගේ හදවත බියෙන් සහ ප්‍රීතියෙන් සැලෙන්නට විය. ඒ හඬ ඈත රටවල් ගැන කියාපාන්නක් මෙනි. එදා මා විසින් කල්පනා නොකරන ලද දෙයක් තිබිණ. කා විසින් ද ඒ ගස් පැල කරනු ලැබුවේ? ඒ අප්‍රසිද්ධ පුද්ගලයා මේවා පැල කළේ කිනම් බලාපොරොත්තුවකින් ද?

පොප්ලර් ගස් සහිත කඳු ගැට පොදෙස හඳුන්වන්නේ “දුයිෂෙන්ගේ පාසල“ නමිනි. නැතිවූ අශ්වයෙකු සොයන්නෙක් තමාට හමුවන එකෙකු අමතා මෙසේ ඇසූ බව මට මතකය. “ඒයි, යාලුවා මගේ අස්ස මාල්ලාව උඹ දැක්කේ, එහෙම නැද්ද?“ - ඔහුට නිතර ලැබුණේ මෙවැනි පිළිතුරකි “අන්න අර උඩහ පැත්තේ දුයිෂෙන්ගේ පාසල ලඟ උන් ඊයේ රෑ තණකොළ කෑවා, එතනට ගියාම උඹේ එකාව හොයාගන්ට පුළුවන්.“ වැඩිහිටියන් අනුකරණය කරමින් අපි, කොල්ලෝ කල්පනා නොකර මෙසේ කෑ ගැසුවෙමු. “කොල්ලනේ, යමුද දුහිෂෙන්ගේ ඉස්කෝලේට, පොප්ලර් ගස් වලට නැගලා කුරුළු කූඩු අවුස්සන්ට!“

ඉස්සර කාලේ ඒ කඳු ගැටය මත පාසලක් තිබුණු බව කියනවා මා අසා ඇත. එහෙත් අපට එහි හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. එහි නෂ්ඨාවශේෂ හෝ සොයා ගැනීමේ අදහසින් ළමා කාලයේ දී මා ඇවිද මහන්සි වූ නමුදු කිසිවක් සොයා ගැනීමට අපොහොසත් වීමි. පාළු කඳු ගැටය “දුයිෂෙන්ගේ පාසල“ යැයි හැඳින්වීම පුදුමයට කාරණයක් විය. ඒ දුයිෂෙන් කියන්නේ කාටදැයි මම වැඩිහිටියන්ගෙන් ඇසුවෙමි. එක් මහල්ලෙක් ඕනෑවට එපාවට මෙන් අතක් වනමින් මෙසේ කීය. “කවුද දුයිෂෙන්? නොන්ඩි බැටළුගමගේ පරම්පරාවෙන් එන උන්දෑ තමයි ඒ. ඔය සිද්ධිය බොහෝම පරණ එකක්. ඒ කාලේ උන්දෑ කොම්සොමොල් තරුණ සංගමේ හිටියා. ඔය කඳු ගැටේ උඩ තිබුණා පාළු මඩුවක්. දුයිෂෙන් ඒ මඩුව අස්පස් කරලා ඉස්කෝලයක් දමලා ළමයින් ට ඉගැන්නුවා. ඒක නමින් විතරයි ඉස්කෝලේ හැටියට තිබුණේ. ආ ඒ කාලේ තමයි කාලේ. අස්පයකුගේ බෙල්ලෙන් අල්ලලා උගේ පිට උඩ ඉඳගන්ට පුළුවන් හැම එකාම ඒ දවස්වල ලොක්කෙක්. දුයිෂෙන් ද ඒ වාගේමයි. හිතට ආ හැම දෙයක් ම කාලා. දැන් ඒ මඩුවෙන් ලී පතුරක්වත් හොයාගන්ට බැහැ. වෙච්ච ප්‍රෙයා්ජනේ නම ඉතුරුවුණ එක විතරයි.....“

මා දුයිෂෙන් දැන සිටියේ මඳ වශයෙනි. ඔහු මහළු වියේ පසුවෙන්නෙකි. රාජාලියෙකුගේ මෙන් දිගැති ඇස්බැමි වලින් හෙබි හෙතෙම උසැති ශාන්ත පුද්ගලයෙකි. ඔහුගේ ගෙවත්ත පිහිටියේ ගඟෙන් එගොඩ දෙවැනි කඩය පිහිටි වීදියේ ය. අයිලයේ හිටි දවස්වල දුයිෂෙන් සමූහ ගොවිපලේ මිරාබ්* ලෙස වැඩ කළේ ය. ඔහු කාලය ගත කළේ කුඹුරු වලම ය. කලාතුරකින් ඔහු අපේ වීදිය ඔස්සේ අසු පිටින් ගමන් ගත්තේ, සෑදලයට බැඳි විශාල කෙත්මෙනයකුත්* සමග ය. අශ්වයා ද හාම්පුතාට සමාන බවත් දැරීය. ඌද ඔහු මෙන් කටු ගොඩකි. සීන් කකුල් ඇත්තෙකි. මහළු වයසට පත් දුෂයින් පසුව ලියුම් බෙදීමට පටන් ගත්තේ ය. එහෙත් මා කියන්නේ ඒ ගැන නොවේ. කොම්සොමොල් සාමාජිකයෙකු වශයෙන් මා එදා හිතින් මවාගත්තේ වැඩෙහි දක්ෂ, බිණීමෙයි සමත් අසරුවෙකි. ඔහු අයිලයේ සිටින සටන්කාමීන් අතුරෙන් අතිශය තියුණු සටන්කාමියා ය. ඔහු රැස්වීම්වල කතා කරයි. කම්මැලියන්ට සහ හොරුන්ට එදිරිව පත්‍රවලට ලියයි. එහෙත් දිගැටි රැවුළක් සහිත මේ ශාන්ත පුද්ගලයා ඉස්සර කොම්සොමොල් සාමාජිකයෙකුවැ සිටියේ යැයි හිතින් මවාගැනීමෙහි පවා මම අසමත් වීමි. එයටත් වඩා මහ පුදුමය තරමක් අකුරු උගත් මේ මිනිසා ළමයින්ට උගැන්වීම යි. එවැන්නක් අවබෝධය කරගැනීමට මගේ බුද්ධිය ඉඩ නොදෙයි! එළිපිටම කියන්නේ නම් මෙය ද අපේ අයිලයේ තුඩ තුඩ පවතින කටකතාන්දර වලින් එකකැයි මම සිතුවෙමි. එහෙත් සත්‍ය එයට හාත්පසින් ම වෙනස් විය...

****************
පසුගිය ශරත් සමයේ දී මට අයිලයෙන් විදුලි පණිවුඩයක් ලැබිණි. ගමේ සමූහ ගොවිපලේ වැර යොදා සාදා නිම කළ අලුත් පාසල විවෘත කිරීමේ උත්සවයට එන ලෙස කරන ලද ආරාධනයකි, එය. එවැනි ප්‍රීතිමත් දවසක ගෙදරට වී සිටීමට මට නොහැකි නිසා මම එහි යාමට සැණෙකින් තීරණය කළෙමි. උත්සවයට දවස් කීපයකට කලින් මම එහි ගියෙමි. අයිලයේ ගොඩේ ඇවිද දර්ශන කීපයකට වුවමනා කටු සටහන් අඳිමියි සිතා ගතිමි. ආරාධනා ලැබුවන් අතර මහාචාර්ය සුලෙයිමානවා මැතිණිය ද වූවා ය. දවස් දෙක තුනක් මෙහි නවතින ඈ පසුව මොස්කව් යන බව මට දැනගන්ට ලැබිණි.

ඒ තේජාන්විත කාන්තාව ළමා වියේදී නගරයට ගියේ අපේ අයිලයේ ඉපදී හැදී වැඩුණු පසුව බව මම දනිමි. නගර වැසියෙකු වූ පසුවය, මා ඇය හඳුනා ගත්තේ. තරබාරු කයකින් හෙබි ඈ එකල මැදිවියෙහි පසුවූවා ය. මනාසේ පීරන ලද ඇගේ හිසකෙස් අතරින් පතර පැසී තිබිණ. සුප්‍රසිද්ධ මේ කාන්තාව සරසවියේ විද්‍යා අධ්‍යනයන් කළාය. විද්‍යා පීඨයේ සේවය කරන්නී, නිතර පාහේ විදේශ සංචාරයේ යෙදුනා ය. වැඩ කටයුතු බහුල කාන්තාවක් වූ ඈ සමග ළඟින් ආශ්‍රය කිරීමට මට අවස්ථාවක් නොලැබිණ. එහෙත් කොහේ හුමුවුනද, ඒ හමුවීම ඉතා කෙටි වුව ද ඈ අයිලයේ තොරතුරු මගෙන් අසයි. මගේ චිත්‍ර ගැන අගේ අදහස් කියා පායි. මම ඈට මෙසේ කීමට ඉටා ගතිමි.

“අල්තිනායි සුලෙයිමානවා. අයිලයට ගිහින් ගම්මුන් හමුවෙලා කතාබහ කිරීම හොඳයි නොව ද, ගම්මු ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ නිසා ආඩම්බර වෙනවා. ඒ ගොල්ල ඔබ ගැන දන්නේ අයිලයට ලැබෙන ආරංචි අනුවයි. එහෙත් සමහරු මෙහෙම කියනවා. අපේ සුප්‍රසිද්ධ මහචාර්ය තුමී අප සමග අස්සරය කිරීමට වැඩි කැමැත්තක් නැහැ. ඈට අපේ අයිලයට-කුර්කුරේඋව ට එන පාර අමතක වෙලා.“

"සත්තකින්ම අයිලයට ගිහින් ඒන්ට ඕන“ යැයි තරමක් අපහසු ලෙස අල්තිනායි සුලෙයිමානවා කිය යි. “කුර්කුරේඋවට යන්ට මටත් හොඳටම ආසයි, එහෙ ගිය කාලයක්වත් මතක නෑ. අයිලයේ අපේ නෑයන් නැති එක ඇත්තයි. ඒ උනාට, සත්තකින් ම අයිලයට යන්ට ඕන. අයිලයට ගිහිං එන්ට ලොකු අසාවක් මා තුළ උපන්නා“

පාසල විවෘත කිරීමේ මංගල මහ සභාව පටන් ගැනීමට ඔන්න-මෙන්න කියා තිබිය දී සුලෙයිමානවා මාහාචාර්යතුමිය අයිලයට පැමිණියා ය. ඇගේ මොටෝ රථය දුටු සමූහ ගොවියෝ වැල නොකැඩී මහ පාරට දුව ආහ. අඳුණන අය මෙන් ම නාඳුණන අය ද, වැඩිහිටියන් මෙන් ම බාලයෝ ද, ඈට අත දී ආචාර කිරීමට ඉදිරිපත් වූහ. අල්තිනායි සුලෙයිමානවා මෙතරම් කුළුපඟු හමුවීමක් බලාපොරොත්තු නොවූ බව කිව යුතු ය. ඈ තරමක් කලබල වූ බව පෙනෙන්ට තිබිණි. දෑත් එක්කොට පපුව මත තබාගත් ඈරැස්වීමේ සභාපති මඬුල්ල වෙත ළඟාවූයේ අමාරුවෙනි.

අල්තිනායි සුලෙයිමානවා සිය ජීවිත කාලය තුල දී රැස්වීම් සෑහෙන සංඛ්‍යාවකට සහභාගි වූවාට සැක නැත. එ රැස්වීම් වලදී ඈ ලැබූ ගෞරවය සුළු පටු නොවන අතර එයින් ඈ සන්තෝෂයක් ද ලබන්නට ඇත. එහෙත් මේ කුඩා ගම්බද පාසාල් දී ඇය පිළිගත් ගම්මුන් විසින් දක්වනු ලැබූ ළයාන්විත බව නිසා ඇගේ සිත කැළඹිණ. දෙනෙතින් කඩා හැලුණු කඳුළු නවත්වා ගැනීම සඳහා ඈ දැරූ ප්‍රයත්නය ඉමහත් ය.

මංගල මහ සභාවේ කතාවලින් ඉක්බිතිව, පයනියර්වරු බාල දක්ෂයෝ මහත් ගෞරවයෙන් සුලෙයිමානවා මැතිණියට රතු ලේන්සුවක් ද, මල් කළඹක් ද පිළිගැන්වූහ. පාසලේ සමරු පොතේ පළවැනි අත්සන තැබීමේ ගෞරවය ද ඈට හිමි විය. ඉන්පසු පාසලේ අධුනික නාට්‍ය කවයේ මෙහෙයවීමෙන් පවත්වන ලද විවිධ ප්‍රසංගය දැකුම්කලු බවක් සහ ප්‍රීතිමත් බවක් ද ඉසිලී ය.අනතුරුව පාසලේ අධ්‍යක්ෂකවරයා අමුත්තන් වූ අපට ද ගුරු පිරිසට සහ සමූහ ගොවිපලේ ක්‍රියාකාරීන්ට ද තම නිවසට එන ලෙස ආරාධනා කළේ ය.

අල්තිනායි සුලෙයිමානවාගේ පැමිණී ම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවෙකු ඉදිරිපත් නොවී ය. පට පිළි වලින් සරසන ලද පුටුවක් ඈ සඳහා වෙන්කර තිබිණ. හැම කෙනෙක් ම ඈ කෙරෙහි ගරු සැලකිලි දැක්වීම් වස් විශේෂ උනන්දුවක් පෙන්වූහ. මෙවැනි අවස්ථාවල දී සැමදා මෙන් හඬනගා කතා කිරීම ද, ප්‍රීතිමත් සාකච්ඡා ද, සව්දිය පිරීම ද සෑහෙන්ට කෙරිණ. ගම්බද ගැටවරයෙක් උත්සව පවත්වන ගෙට වැද විදුලි පුවත් මිටියක් ගෙහිමියා අත තැබීය. විදුලි පුවත් අති‘නත ගියේ ය. ආදි ශිෂ්‍යෙයෝ පාසල විවෘත කිරීම නිසා ශුභ පතමින් එවූ විදුලි පුවත්ය, ඒවා.

“විදුලි පුවත් ගෙනාවේ අර දුයිෂෙන් ලොක්කාදැ?“ යි අධ්‍යක්ෂ ඇසීය.

“ඔව්, රැස්වීමේදී මිනිසුන්ට ඇසෙන්ට කියවනු පිණීස වේලාසනින් විදුලි පුවත් ගේන්ට ඕනෑ නිසා අශ්වයාට පාර දිගටම තැලුවා. නමුත් වේලාවට ගේන්ට බැරිවීම නිසා අපේ ලොකු උන්නැහේ කණගාටු වෙනවා“ යැයි ගැටවරයා පිළිතුරු දුන්නේ ය.

“එයාට අසු පිටින් බැහැලා එන්ට කියාපන්!“

දුයිෂෙන්ට අඬගැසීම පිණිස ගැටවරයා ගියේ ය. මා අසල අසුන්ගෙන සිටි අල්තිනායි සුලෙයිමානවා තරමක් නොසන්සුන් වූවා, අමතක වූ දෙයක් හිටිහැටියේ සිහියට නගන්ට වෑයම් කරන්නාක් වැනි පුදුම ගතියක් පෑවා ය. “ඔය කතා කරන්නේ කොයි දුයිෂෙන් ගැනදැ“ යි ඕ මගෙන් ඇසුවා ය.

“ආ, ඒ සමූහ ගොවිපළේ ලියුම් බෙදන්නා ගැන, මහළු දුයිෂෙන්ව ඔබ හඳුනනවා ද?“

අස්ථිර ලෙස හිස සෙලවූ ඈ නැගී සිටීමට සැරසුනා ය. එහෙත් එවෙලේ ම වාගේ අශ්වයෙක් ජනේලය පසුකර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේය.

“මම එයාට එන්ට කීවා. ලියුම් බෙදන්ට තියනවයි කියලා එයා ගියා“.

“ඔහේ ගිහිං බෙදපුවාවේ. නවත්වන්ට උවමනා නැහැ. නැත්නම් වෙන්නේ මහල්ලන් සමග කයිකතන්දර කීමට යැ“ යි එකෙකුගේ කටින් පිටවුයේ ඉබේටම මෙනි.

“ආ එහෙම කියන්න එපා. අපේ දුයිෂෙන් ගැන දන්නේ නෑ. එයා නීතියට වැඩ කරන මිනිහෙක්. භාරගත් වැඩේ ඉවර කරන තුරු ඒ මිනිහා නවතින්නේ නෑ.“

“ඇත්ත. ඒ මිනිහා පුදුම කෙනෙක්, යුද්දෙදී තුවාල වුනු නිසා උක්රයීනයේ ඉස්ප්‍රිතාලෙක හිටියා. ඉන් පස්සේ උක්රයීනයේ නැවතුනා. මෙහාට ආවේ අවුරුදු පහකට ඉස්සෙල්ලා. නහින-දෙහින කාලේ අයිලයට එන්ට ඕනැයි කියලයි මෙහෙ අවේ. තනි කඩයෙක් මෙන් තවම ජීවත් වෙන්නේ....“

“ඒ වුණත් මිනිහා ආවානම් වඩාත් හොඳයි... ආ දැන් ඉතින් කමක් නෑ“ යි ගෙහිමියා කීය.

“සහෝදරවරුනි, අපි ඉස්සර දුයිෂෙන්ගේ ස්කොලේ ඉගෙනගත්තා, සමහරුන්ට මතක ඇති.“ අයිලයේ ගරු ගටයුතු පැරැන්නෙක් සිය බීම විදුරුව එසවී ය. “එහෙත් දුයිෂෙන් හෝඩියෙ අකුරු සියල්ලම නොදැන සිටියා වෙන්ට පුළුවන්“ යැයි හෙතම ඇස් හකුළුවමින් හා හිස වලමින් කීය. මවිතයට පත්වූ බවක් මෙන් ම උපහාසාත්මක බවක් ද ඔහුගේ විලාසය කියා පෑවේය.

“සත්තකින් ම, ඒ විධයට තමයි සිද්ද වුනේ“ එකවර කීප දෙනෙක් කීහ.

හැම දෙනාම සිනාසුනහ.

“ඒ ගැන මොනවා කියන්න ද? දුයිෂෙන් ආරම්භ නොකරපු වැඩක් ඉතුරුවෙලා තියෙනවා ද. අපි හිතුවේ එයා ඇත්තටම ගුරුවරයෙක් කියලයි.“

සිනා හඬ නිවී ගිය පසු බීම වීදුරුව අතින් ගත් මිනිසා දිගටම කතා කළේ ය.

“අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු හැදී වැඩී තියෙනවා. රට පුරාම කීර්තිය දිනාගෙන තියෙනවා අපේ අල්තිනායි පඬිවරිය. අපි හැම කෙනෙකු ම වාගේ මැද පාසල ඉවර කරලා තියෙනවා. බොහෝම දෙනෙක් උසස් අධ්‍යාපනය ලබා තියෙනවා. අද අපේ අයිලයේ මැද මහා පාසලක් විවෘත කළා. අපේ ජීවිත කොතරම් දුරට වෙනස් වෙලා තිබේද යන්න එයින් පෙනී යනවා. අනාගතයේදීත් කුර්කුරෙඋ අයිලයේ දූ පුතුන් කාලය අනුව ඉදිරියෙන් ම යන අය වේවායි පතා සව්දිය පුරමු“

නැවතත් හැම දෙනාම ශබ්ද නගන්ටත්, මිත්‍රලීලාවෙන් කතා කරමින් සව්දිය පුරන්නටත් පටන් ගත්හ. එහෙත්, අල්තිනායි සුලෙයිමානවා පමණක් ලජ්ජාවෙන් රත් පැහැගත් මුහුණින් යුතුව සිය බීම වීදුරුව දෙතොල් මත තබා ආපසු එය මේසය මත තැබුවා ය. උත්සවය ප්‍රීතියෙන් කතාබහ කරමින් හුන් මිනිසුන්ට ඇගේ වෙනස්වීම නොපෙනිණි.

අල්තිනායි සුලෙයිමානවා කීපවරක් ම ඔර්ලෝසුව දෙස බැලුවා ය. අමුත්තන් මහ මගට බැස විසිර යාමට පටන්ගත් පසු දොල පාර අසල සිටගත් ඈ මහත්වූ ඕනෑකමින් යුතුව, කඳු ගැට මත පිහිටි පොප්ලර් ගස් දෙස බලන්නට වූවාය. ශරත් සමය නිසා එහි කොළ රත් පැහැයක් ගෙන ඇත. ඈත ක්ෂිතිජයේ හිරු බැසයමින් තිබිණි. නිවීයන හිරු එළිය පොප්ලර් ගස් මුදුනට වැටීම නිසා මලානික, දුක්මුසු රත්පැයක් ඇති විය.

මම අල්තිනායි සුලෙයිමානවා වෙත ගියෙමි.

“දැන් ගස්වල කොළ හැලෙන වාරය. වසන්තයේ දී ගස් පීදිගෙන එනවිට හැබෑ ලස්සන“ යැයි මම ඈට කියුවෙමි.

“මමත් මේ දැන් හිතුවේ ඔය ගැනමයි.“කියමින් දින සුසුමක් හෙළු ඈ මඳක් නිසලව සිට තොල මතුළා ය.

“ඔව්, හැම ජීව ප්‍රාණයකට ම තමාගේ වසන්තයකුත් තමාගේ ම ශරත් සමයකුත් තිබෙනවා“

වයසින් පැසුණු ඇගේ මුහුණේ හම හැකිලී ගොස් තිබිණ. ඇස් වටා පිහිටි රැලි දුක්මුසු බවක් දැරීය. ඒ මත ශෝකය පළවන සෙවනැල්ලක් වැටුණාක් මෙනි. මා ඉදිරිපිට සිටින්නේ අල්තිනායි සුලෙයිමානවා පඩිවරිය නොව, දුකෙහිඳි හඬා වැළපෙන, සැපෙහි දී සිනාසී ප්‍රීතිවන කිර්ගිස් ගැහැණියක් බව සැණෙකින් මට පෙනී ගියේ ය. ඉතාම උස කඳු මුදුන්වලට පමණක් නොඇසෙන සේ අපේ ගීතයන් ගයන ඒ සුන්දර තරුණ විය ගැන විද්‍යාධර කාන්තාව මතක් කළ සැටියකි, මට දැනුණේ. පොප්ලර් ගස් දෙස බලා සිටි ඈ යමක් කියන්නට මෙන් සුදානම් වූ නමුදු නිහඬ වූවා ය. හිටිහැටියේ ඇස් කන්නාඩි කුට්ටම පැළඳ ගත් ඕ මෙසේ ප්‍රශ්න කළා ය.

“මොස්කව් යන දුම්රිය මෙතනින් යන්නේ එකොළහට ද?“

“ඔව් එකොළහට“

“එහෙනම් මම ලෑස්ති වෙන්ට ඕන“

“ඇයි හිටිහැටියේ ම? ඔබ මෙහි දවස් කීපයක් නවතින්ට පොරොන්දු වුනා නේද, අල්තිනායි සුලෙයිමානවා. ගම්මු ඔබට යන්ට ඉඩ දෙන එකක් නැහැ.“

“අපොයි බැහැ. මට හදිසි වැඩ තියෙනවා. දැන් ම යන්ට ඕන“

ගම්මුන් කොතරම් කරුණු පැහැදිලි කොට, සිය අමනාපය ප්‍රකාශ කළද, අල්තිනායි සුලෙයිමානවා සිය අදහස වෙනස් නොකැරැ ගත්තා ය.

ඒ අතර අඳුර පැතිරෙන්ට විය. අමනාපයට පත් ගම්මුන් ඈට මොටෝ රථයයට ගොඩවැදීමට ඉඩ දුන්නේ, ඈ නැවත සුමානයක් හෝ ඊට වැඩි කාලයක් ගමේ නවතින බවට පොරොන්දු වූ පසුව ය. අල්තිනායි සුලෙයිමානවා හැරලීම සඳහා මම දුම්රිය පලට ගියෙමි.

හිටිහැටියේ ම ආපසු යන්ට තරම් අල්තිනායි සුලෙයිමානවා ඉක්මන් වූයේ ඇයි? අද වැනි දවසක ගම්මුන්ගේ සිත් රිදවීම නුවණට හුරු වැඩක් නොවන බව නොකිවමනා ය. යන අතර ඒ ගැන ඇගෙන් ඇසීමට මා සූදානම් වූ නමුදු කතාව පටන් ගැනීමට ධ්‍යෛර්‍යක් මා තුළ නොතිබිණ. උපායයන් නොදන්නෙකු ලෙස පෙනී යතියි සිතූ නිසා නොව ඇගේ තීරණය වෙනස් කිරීමට බැරි බව පෙනී ගිය නිසා ය මා ඇගෙන් එවැනි ප්‍රශ්න නොඇසුවේ. දුම්රිය පලට යනතුරු නිශ්ශබ්දව ගමන් කළ ඈ යම් කිසිවක් ගැන තදින් කල්පනා කරන බව පෙණෙන්ට තිබිණි.

දුම්රිය පලට ළඟා වූ පසු මම ඇගෙන් මෙසේ ඇසුවෙමි.

“අල්තිනායි සුලෙයිමානවා ඔබ හිතේ අමාරුවකින් වගේ. ගම්මු ඔබගේ හිත රිදෙව්වා ද?“

“එක යස කතාවක්! හීනෙකින් වත් එහෙම හිතන්න එපා! මගේ හිත රිදුනේ කා නිසාද? මම අපනාප වුනේ මා නිසාම යි.“

අල්තිනායි සුලෙයිමානවා ගමින් පිට වූවා ය. දවස් කීපයකට පසු නගරයට ගිය මට හදිසියෙන් ඇගෙන් ලියුමක් ලැබිණ. ලාපොරොත්තු රහිත ලෙස මා මොස්කව් නවතින බව සඳහන් කළ අල්තිනායි සුලෙයිමානවා මෙසේ ද ලියුවා ය.

“මා විසින් කළ යුතු වැඩ ගොඩක් කිබුණ ද ඒ සියල්ල අතපසු කරමිනි මා ඔබට මේ ලියුම ලියන්නේ... මා ලියන දේ වැදගත් යැයි ඔබ සිතන්නේ නම්, මා කියන දේ ගැන අනිත් අයට විස්තර කිරීම සඳහා මේ ලියුම ප්‍රයෝජනයට ගන්නේ කෙසේ දැයි කල්පනා කර බලන ලෙස ඉල්ලා සිටිමි. මෙය වැදගත් වන්නේ අපේ අයිලයට විතරක් නොවේ. මුළු මහත් තරුණ පරම්පරාවට ම ය. එවැනි තීරණයකට මා එළඹුණේ බොහෝ කල්පනා කිරීමෙන් ඉක්බිතිව ය. මෙය ජනතාව ඉදිරිපිට කරන පාපොච්චාරණයකි. මගේ යුතුකම ම විසින් ඉටු කළ යුතු ය. වැඩි වඩියෙන් ජනතාව මේ ගැන දැනගත් කරමට මගේ සිත් වේදනාව අඩුවනු ඇත. මා අමාරුවේ වැටේ ය යන බියෙන් කිසිවක් සැඟවීමට උත්සාහ කරන්ට එපා...“

ඇගේ ලිපිය නිසා ඇතිවූ හැඟීමෙන් යුතුව මම දවස් කීපයක් ඇවිද්දෙමි. අල්තිනායි සුලෙයිමානවාගේ නාමයෙන් එම කතාව කීම හැර වඩාත් හොඳ ක්‍රමයක් සිතීමේහිලා මම අපොහොසත් වීමි.

*****************
එය සිදු වුනේ 1924 දී ය. ඔව්, හරියට ම ඒ අවුරුද්දේදී...

අද අපේ සමූහ ගොවිපල තියෙන තැන ඉස්සර දුගී දුප්පත් අහිංසකයින්ගේ අයිලයක් තිබිණ. ඒ කාලෙදි මගේ වයස අවුරුදු 14 කි. මා නැවතී සිටියේ මියගිය මගේ තාත්තාගේ නෑයෙකුගේ ගෙදර ය. මගේ අම්මා ද ජීවතුන් අතර නොවූවා ය.

ශරත් සමයේ දී, තරමක් පොහොසත් ගොවීහු ශීත කාලය සඳහා කඳුකරයට ගියහ. ඉන් අනතුරුව සොල්දාදුවෙකුගේ කබායක් හැඳගත් නාඳුණන ගැටවරයෙක් අපේ අයිලයට අවේ ය. මට ඔහුගේ කබාය හොඳහැටි මතක තබා ගැනීමට හැකි වූයේ, එය කළු පැහැති ලෝම් රෙද්දකින් මසා තිබුණ නිසා විය යුතු ය.මහ පාරවලින් ඈත්ව කොන්වී තිබූ කඳුවලින් වැසී ගත් අපේ අයිලයට රජයේ කබායක් හැඳගත් මේ ගැටවරයාගේ පැමිණී ම විශේෂ සිද්ධියක් විය.

ඔහු යුද්ධ හමුදාවේ අණ දෙන නිලධාරියෙකැයි යන රාවයක් පළමුවෙන් ම පැතිර ගියේ ය. ඒ අනුව ඔහු අයිලයේ මුළෑදානියා වන බව කීහ. ඔහු නිලධාරියකු නොවන බවත්, මීට අවුරුදු කීපයකට පෙර අයිලයේ ඇතිවූ දුර්භික්ෂය නිසා නගරයට ගොස් දුම්රිය කම්කරුවකු වුණු තෂ්තාන්බෙක්ගේ පුතා බවත් පසුව ආරංචි විය. තෂ්තාන්බෙක්ගේ පුතා දුයිෂෙන් අයිලයට පැමිණියේ පාසලක් පටන් ගැනීමට සහ ළමයින් ට උගන්වන්ට බව දැනගන්ට ලැබිණ.

ඒ කාලයේ දී “පාසල“, “උගැන්වීම“ ආදී වචන අලුත් දේ හැටියට ගණන් ගත් ගම්මු ඒවා තේරුම් බේරුම් කරගැනීම ට අපොහොසත් වූහ. එකෙක් එය අසන්ට ලැබුණු ආරංචි මාත්‍රයක් ලෙසත්, තවකෙක් එය ගෑණුන්ගේ ඕපාදූප වශයෙනුත් ගණන් ගත්තෝ ය. ගම්මුන්ගේ රැස්වීමක් නොකැඳවන්ට පාසල ගැන අමතක වන්ට ඉඩ තිබිණි. “මොකක් ද මේ රැස්වීමේ තේරුම, හැම පුහු දේකට ම රස්සාව අතහැරලා යන්ට වෙලා තියෙනවා.“ යැයි අපේ මාමා දෙඩුවේ ය. අශ්වයා සුදානම් කොට ඌ පිට නැගී ගත් මාමා රැස්වීමට ගියේ ගමේ සැලකිය යුතු පුද්ගලයෙකු ලෙසිනි. ඔහු පිටුපස ගමන්ගත් අසල්වැසි ළමයින් සමග මම ද ගියෙමි.

රැස්වීම් තබන්නේ කඳු ගැටය අසල තැනක ය. අප එහි දුවගියේ හති දමමිනි. අසරුවන්ගෙන් හා අනිකුත් ගම්මුන් ගෙන් පිරී පැවති රැස්වීම් පිටිය මැද සිටගෙන කතා කරන්නේ සුදුමැලි මුහුණකින් යුත් කළු කබාය හැඳගත් අර ගැටවරයා ය. ඔහුගේ කතාව අපට හරිහැටි නෑසුන බැවින් අපි ඔහුට වඩාත් ළංවීමට වෑයම් කළෙමු. එහෙත් ඉරුණු ලෝගුවක් හැඳ සිටි මහල්ලෙක් ඔහුගේ කතාවට බාධා කළේ ය.

“පුතේ, මේ අහපන්“ යැයි ඔහු ඉක්කා ගසමින් සිය ප්‍රශ්නය ඇසුවේ ය. “ඉස්සර කාලෙ ළමයින්ට ඉගැන්නූවේ මුල්ලාවරු. උඹේ තාත්තා ගැන අපි දන්නවා. අපි වගේම එයා දුප්පත් ගොවියෙක්. ඉතින් උඹ කොහොම ද මුල්ලා කෙනෙක් වුනේ කියලා අපට විස්තර කරපන්“

“මම මුල්ලෙක් නොවෙයි, ලොකු උන්නැහේ, මම කොම්සොමොල් (තරුණ කොමියුනිස්ට්) කාරයෙක්“ යැයි ඉක්මණින් දුයිෂෙන් පිළිතුරු දුන්නේ ය. “මින් පස්සේ ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නොව, ගුරුවරු. මම යුද්ධ හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා. ඊට ඉස්සෙල්ලත් තරමක් ඉගෙන ගත්තා. මගේ මුල්ලාකමේ හැටි ඔහොම යි.“

“ඒක අපූරුයි...“

“හරි හපනෙක්“ යැයි පිරිස අතර හුන් සමහරු කෑගැසූහ.

“නුඹලාගේ ළමයින් ට උගන්වන් ට මාව මෙහාට එවුවේ කොම්සොමොල් සංවිධානය යි. මේ කාරිය පටන් ගන්ට අපට ඕන ගේ කෑල්ලක්. තමුන්නාන්සේලාගේ උදව් උපකාර ඇතුව අන්න අතන තියෙන අස්සගාල ශුද්ධ කරලා ඉස්කොලේ පටන් ගන්ටයි මම අදහස් කරන්නේ?“.

අලුතෙන් අයිලයට ආ මේකා අප කොහාට එළවන්ට හදන්නේ ද? යන්න සිතින් නගන්නාක් මෙන් මිනිස්සු සිනාසෙන්ට වූහ.මෙතෙක් වේලා නිහඬව සිටි ප්‍රශ්න අසන්නෙකු වන සතිම්කුල් නිශ්ශබ්දතාවය බිඳහෙළීය. අශ්වයා පිට ඉඳගෙන සිටි ඔහු ගම්මුන්ගේ කතාවලට කන්දෙමින් ඉඳ හිට කෙළ ගසන්ට විය.

“ඒයි ඉළන්දාරියා, පොඩ්ඩක් නැවතියන්. මොකක් ද අපට ඔය ඉස්කෝලෙන් ඇති පරයෝජනේ?“ යැයි ඇස් අඬවන් කරගත් සතිම්කුල් ඇසුවේ ඉලක්කයට වෙඩි තබන්නාක් මෙනි.

“මොකක්ද ප්‍රෙයෝජනේ?“ දුයිෂෙන් කලබල විය.

“හරියට හරි“ පිරිසෙන් එකෙක් කියනු ඇසිණි.

පිරිස එකවර ඒ මේ අත හැරෙන්නටත්, කෑ ගසන්ටත් පටන් ගත් හ.

“සත වරුස ගණනාවක සිට අපි ගොවිතැන් කරලා ජීවත් වුනේ. කෙත්මෙනයයි අපට කෑම සොයා දෙන්නේ. අපේ දූ-දරුවෝ ඒ විධියටම ජීවත් වේවි. උන්ට අකුරු උගන්වන්නේ මොන උලව්වට ද? ලොක්කන්ට තමයි අද්දියාපනේ ඕන. අපි චාම් මිනිස්සු. ඔය නෙයියාඩම් වලින් අපිට වැඩක් නෑ.“

කෑ කෝ ගැසීම ක්‍රමයෙන් නතර විය.

“ළමයින් ඉගෙන ගන්නවා බැලීමට දෙමව්පියන් ආසා කරන්නේ නැද්ද?“ යි තමා වටකරගෙන සිටියවුන්ගේ මුහුණු දෙස බලමින් තැතිගත් දුයිෂෙන් ප්‍රශ්න කළේ ය.

“අපි විරුද්ධ නම් නුඹ බලෙන් උගන්වාවි ද? ඒ කාලෙ ඉවරයි. දැන් අපි නිදහස් මිනිස්සු. කැමති විධියට ජීවත් වෙනවා!“

දුයිෂෙන්ගේ මූණ රතු විය. වෙව්ලන අත්වලින් යුතුව හෙතෙම කබායේ බොත්තම් ගැළවී ය. කමිස සාක්කුව තුළින් ලහි ලහියේ කඩදාසි කෑල්ලක් ගෙන එය දිගහැර සියලු දෙනාටම පෙනෙන පරිදි හිසට උඩින් එසවී ය.

“ළමයින්ගේ ඉගෙනීම ගැන සඳහන් කරන සෝවියට් රජයේ මුද්‍රව තබා ඇති මේ ලියකියවිල්ලට තමුසෙලා විරුද්ධයි. කවුද නුඹලාට ඉඩම් දුන්නේ, වතුර දුන්නේ, නිදහස ලබා දුන්නේ? කවුද සෝවියට් ආණ්ඩුවේ නීති රීති වලට විරුද්ධ. කව්ද? උත්තර දීපල්ලා!“

“උත්තර දීපල්ලා“ යන වචනය ඔහුගේ කටින් පිටවූයේ ඝණ්ඨාර නාදය මුසුවූ ශක්තියත් ක්‍රෝධයත් එක් කැරැමිනි. ශරත් සමයේ නිසලතාවය බිඳ හෙළමින් හෙණ පහරක් සේ පැතිර ගිය ඒ හඬ ඈත කඳුවල හැපෙමින් දෝංකාරය අති කළේ ය. කිසිවකු කතා කලේ නැත. හිස් පාත් කරගත් ගම්මු නිශ්ශබ්ද වූහ.

“අපි දුප්පත් ගොවියෝ. අපට හැමදා ම හිරිහැර කළා. නින්දා අපහාස කළා. අපි අඳුරේ ජීවත් වුනා. සොවියට් ආණ්ඩුව අපිට ලියන්න කියන්ට උගන්වනවා. අපට ආලෝකය ලබා දෙන්ට යනවා. ඒ සඳහා ළමයිට අකුරු උගන්වන්ට ඕන...“ ඔහු කතා කළේ සිහින් හඬකිනි.

දුයිෂෙන් ගොළු විය. එවිට මුල්ලා කෙනෙකු වූයේ කෙසේ දැයි ඇසූ අර වැරහැලි ලෝගුව හැඳ සිටි ගොවියා ශාන්ත ස්වරයෙන් මුමුණුවේ ය.

“එහෙනම් මට කරුණාකරලා උදව් වෙයල්ලා. අර කන්ද උඩ තියන බායිලාගේ අස්සගාලා ශුද්ධ කරලා ගන්ට ඕන. ගඟ හරහා ඒ දණ්ඩක් දාන්ට ඕන. ඉස්කොලෙට දර ඕන...“

“ඒයි හාදයා, උඹ බොහොම කලබලයි, පොඩ්ඩක් නැවතියන්!“ යැයි දුයිෂෙන්ගේ කතාවට බාධා කළ සතිම්කුල් කීය.

දත් අතරින් කෙළ ගැසූ ඔහු ඇස් හකුළුවා ගත්තේ ඉලක්කයට වෙඩි තැබීමට මෙනි.

“ඉස්කෝලයක් පටන් ගන්න යනවා කියලා නුඹ මුළු අයිලයටම ඇහෙන්න බෙරිහන් දෙනවා. නුඹ දිහා බලපන්. උඹට ශීත කබායක් නැහැ. අස්පයෙක් නැහැ. ගොවිතැන් කරන්ට අල්ලක් තරම්වත් කුඹුරක් නැහැ. හරකා බානක් වත් නැහැ! නුඹ කොහොම ද ජීවත් වෙන්ට කල්පනා කරන්නේ ඉලන්දාරියා? පිට අයගේ ශ්වයෝ එළවන්ට ද... අපට අස්පයො නැහැ. අස්ප ගාල් තියෙන එවුන් කඳුකරේට ගිහිං.“

තදින් පිළිතුරු දීමට සූදානම් වූ නමුදු සන්සුන්ව මෙසේ කීය.

“කොහොම හරි ජීවත් වෙන්න බලනවා. මට පඩි ලැබේවි“

“ඔක ඉස්සේල්ලා කීවානම් කතාව දුරදිග යන්නේ නැහැ නොවැ“ යැයි කී සතිම්කුල් තමා ගැන සතුටු වෙමින් සෑදලය මත හරි-බරි ගැසී හිඳ ගත්තේ පිට කොන්ද කෙලින් කර ගනිමිනි. ඔහු ජයග්‍රාහකයෙකුගේ සිරියක් පෑවේ ය. “දැන් ඔක්කෝම පැහැදිලි ය. හාදයා, උඹේ වැඩ උඹ තනිවම කරගනින්. ලැබෙන පඩියෙන් ළමයින්ට උගන්නාපන්. අණ්ඩුවට සල්ලි තියෙනවා. අපට කරදර කරන්න එපා. දෙයියන්ට පිං සිද්ද වේච්චාවයි. අපට කට ලඟට එනකල් වැඩ කටයුතු...“

මේ වදන් කියා අවසන් වත්ම සතිම්කුල් තම අසු හරවාගෙන ගෙදර ගියෝ ය. ඔහු පිටුපස ගමන්ගත් අනිත් අයද ගෙවල් කරා ගියෝ ය. ලියවිල්ල අතේ ඇතිව දුයිෂෙන් ගල් ගැසුනාක් මෙන් බලා සිටියේ ය. අනේ දුප්පතා යන එන මං නොදැන බලා සිටි හැටි...

දුයිෂෙන් නිසා ම සිතේහි උපන්නේ කණගාටුවකි. මා අසලින් ගිය මාමා මට කෑ ගසන තුරු මම දුයිෂෙන් දෙස බලා ගත්වන ම සිටියෙමි.

“ඒයි කොන්ඩෙ කඩා ගෙන ඉන්න පිස්සී උඹ මොනව ද කට ඇරගෙන මෙතැන කරන්නේ. හනික පල ගෙදර!“ ළමයි රංචුවට එක්වීම සඳහා මම හනික දුවන්ට වීමි. “ඒ ගොල්ල හැම තිස්සේම රැස්වීම් තියන්ට පුරුදු වෙලා!“

පසුදින අයිලයේ පැටික්කියන් වතුර ගෙනඒම පිණිස ගිය විට ගඟ අසල දී ඔවුන්ට දුයිෂෙන් මුණ ගැසිනි. කෙත්මෙනයක්, ගල්කටුවක්, පොරවක් සහ අපුරු බාල්දියක් රැගත් දුයිෂෙන් ගඟ හරහා ගියේ ය.

එදා සිට හැම උදෑසනකම කඳු ගැටය මුදුනේ පිහිටි පාළු අශ්ව ගාල වෙත අඩි පාර ඔස්සේ යන දුයිෂෙන්ගේ හුදකලා රූපය දැක්ක හැකි විය. ඔහු ආපසු අයිලයට ආවේ ඇඳිරි වූ පසුව ය. විශාල පිදුරු මිටියක් හෝ කුරයා* මිටියක් කර ගසා ගෙන ඔහු යන සැටි අපි හිඳ හිට දුටු වෙමු. දුර සිට ඔහු දකින කෙනෙක් සෑදලයේ පා පළලු වලට පා තබා නැගී සිට ඇස් හකුළුවා බලමින් පුදුමයෙන් මෙසේ කිය යි.

“ඒයි බලපන්, අර දුයිෂෙන් ඉස්කෝල මහත්තයා නොවෙ ද, තණකොළ මිටියක් කර තියාගෙන යන්නේ?“

“ඔව් එයා තමයි“

“අනේ පව්, දුප්පතා, ඉස්කෝල ගුරුකමත් ලේසි වැඩක් නෙවි“

“නුඔ හිතුවේ මොකක් කියලා ද? එයා මිටි කර ගහ්නේ බායිලා යටතේ වැඩ කරන දාසයෙක් වගෙයි.“

“එයා ළඟ ආණ්ඩුවේ මුද්‍රාව එක්ක ලියවිල්ලක් කියෙන නිසා තමයි ඒ විධියට මිනිහා කතා කරන්නේ. ලියවිල්ලේ බලය තමයි ඒ“

කඳු ගැට වල තිබූ වියලි ගොම මළු වලට පුරවා ගත් අපි දවසක් දා පාසල අසලින් ගියෙමු. ගුරුවරයා මොනවා කරන්නේ දැයි බැලීමට ආශාවක් අප තුළ ඇතිවූයෙයන් පාසලට ගොඩ වැදුනෙමු. ගොම මැටි ගා සාලන ලද පැරණි මඩුව ඉසසර බායිවරුන් පාවිච්චි කළේ අශ්වගාලක් ලෙස ය. ශීත කාලයේ දී සහ අයහපත් කාලගුණය පැවති දවස්වල දී අශ්ව පැටව් මේ ගාලෙහි ලැග්ගාහ. සෝවියට් පාලනය පිහිටුවීමෙන් පසු බායිවරුන් වෙනත් ප්‍රදේශවලට ගියෙන් අශ්වගාල පාළු විය. කිසිවෙකු මෙහි ආවේ නැත. අශ්වගාල වටා තණ කොළ වැවිණි. එහෙත් දැන් මුලින් උදුරා දැමූ වල් පැලෑටි ආදිය මිටි වලට බැඳ තිබිණි. ගෙවත්ත පිරිසිදු කර කිබිණ. වැස්සට තෙමී තෙතබරි වී තිබුණු බිත්ති මැටිගා ශුද්ධ කරන ලදී. සදාකාලිකවම එක් සරණේරුවක එල්ලමින් තිබුණ කබල් දොර ශුද්ධ කොට තීන්ත ගා නිසි ලෙස සවිකර තිබිණ.

කරෙන් සහ හිසින් ගෙනගි ය මළු බිම තැබූ අපි ගිමන් හරින්නට වීමු. ඇඟ පත පුරා මැටි තවරාගත් දුයිෂෙන් දොරහැර ගෙන එළියට ආවේ ය. අප දුටු ඔහු විස්මයෙන් බලා පසුව සාදරයෙන් පිළිගන්නාක් වැනි සිනාවක් පා, නළලෙන් වැගිරෙන දහදිය පිස ගනිමින් මෙසේ ඇසී ය.

“කෙල්ලනේ නුඔලා කොහේ ඉඳලා ද?“

වියලි ගොම පුරවාගත් මලු ළඟ වාඩිවී සිටි අප ලැජ්ජාවෙන් එබි කම් කර බැලු වෙමු. අප ලජ්ජාව නිසා ගොළු වී සිටින බැව් දුටු දුයිෂෙන් දිරි ගැනිවීමක් ලෙස එක ඇසක් හකුළුවා ගත්තේ ය.
“මළු නුඔලාට වැඩිය ලොකුයි නොවැ. මෙහෙ ආව එක බොහෝම හොද යි. නුඔලා ඉගෙන ගන්ට එන්ට ඕන මෙහාටයි. නුඔලාගේ ඉස්කෝලෙ සම්පූර්ණයෙන් ම වාගේ ලෑස්තියි. ශීත කාලෙට ගිනි තපින්නට ලිපක් එහෙම හදලා දුම් පිට කිරීමට උඩින් බටයකුත් හඳලා ඉවරයි, පේනව නේද? දැන් ඕන ගිනි තැපීමට දර. කමක් නැහැ ඒ වෙනුවට වල් තණකොළ හැම තැනම තියෙනවා. බිමට පිදුරු දාලා උගැන්වීම් පටන් ගන්නවා. කොහොම ද? ඉගෙන ගන්ට කැමති ද? ඉස්කෝලෙ අනව ද?“

නඩේ කෙල්ලන් අතුරෙන් වැඩි මහළු එකියක වූ මම පිළිතුරු දීමට ඉදිරිපත් වුනෙමි.
“නැන්දා අවසර දෙනව නම් ඉස්කෝලෙ එනවා.“ යි මම කියුවෙමි.

“ඇයි අවසර දෙනන්නේ නැත්තේ. අවසර දේවි. නුඹේ නම කොහොම ද?“

“ අල්තිනායි “ මම පිළිතුරු දෙමින් හැඳ සිටි ඉරුණු සාය අතරින් පෙනුනු දණහිස එක් අතකින් වසා ගතිමි.

“අල්තිනායි, ලස්සන නමක්“ යැයි කියමින් ඔහු සිනාසුනේ හදවතට උණුසුමක් ගෙන දෙමිනි. “උඹ කාගේ කවුද?“

මට අනුකම්පා කරන විට අසතුටු වූ මම නිශ්ශබ්ද වීමි.

“එයා අම්මා අප්පා නැති අනාථ කෙල්ලක්. මාමාලාගේ ගෙදර ජීවත් වෙන්නේ“ යැයි යෙහෙලියෝ කීහ.

“අල්තිනායි,“ කී, දුයිෂෙන් මා දෙස නැවත වරක් බලා උණුසුම් ලෙස සිනාසුනේ ය. “උඹ අනික් ළමයින්ව ඉස්කෝලෙට අඬගසාගෙන වරෙන්. මේ ළමයිනුත් ඉස්කෝලෙ එන්ට ඕන. තේරුණා ද?“

“හොඳයි මාමේ.“

“මට ඉස්කොල මහත්තයා යැයි කියනන. කැමතිද ඉස්කෝලෙ බලන්න? වරෙල්ලා ලජ්ජාවෙන්ට එපා.“

“බැහැ, අපිට ගෙදර යන්ට ඕනෑ“ යයි ලැජ්ජා ගතියක් පාමින් අපි කීවෙමු.

“හොඳයි, ගෙවල්වලට පලයල්ලා. ඉගෙනගන්ට ආ විට ඉස්කෝලෙ බලපල්ලා. අඳුර වැටෙන්න ඉස්සෙල්ලා තව සැරයක් තණකොළ එකතු කරන්ට ඕන.“

දෑකැත්තක් සහ ලනු පටයකුත් අතින් ගත් දුයිෂෙන් තණකොල කැපීමට ගියේ ය. මළු කර තබාගත් අපි අයිලය දෙසට ගමන් කළෙමු. හිටි හැටියේ ම මා තුළ අදහසක් උපන්නේ ය.

“කෙල්ලනේ, නැවතියල්ලා වියලි ගොම ඉස්කෝලෙට බාර දෙමු. ශීත කාලෙට ගිනි තපින්න ඇහැකි.“

“නුඹ හරි කෙල්ලෙක්නේ. ගෙදර ගෙනියන්නේ මොනවා ද?“

“අපි ගිහිං තවත් ගොම එකතු කර ගනිමු.“

“බැහැ රෑ බෝවෙලා. ගෙදර අය බනීවි.“

එදා එවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ කුමක් නිසා ද යන්න අද වනතුරුත් මට තේරුම් ගැනීමට නොහැකි විය. මගේ යෙහෙලියන් මට අවනත නොවී ගෙවල් කරා ගිය නිසා ද නැතිනම් කුඩා කළ සිටම අබ්බැහි වුනු මුරණ්ඩු ගති නිසා දැයි කිව නොහැකි ය. ග්‍රාම්‍ය මිනිසුන්ගේ පහරවලට නිතර ගොදුරු වූ මගේ හැඟීම් හා අභිලාෂයන් මැලවී ගොස් තිබිණි. එහෙත් මගේ හදවත කාරුණික සිනාවකින් උණුසුම් කළ ඒ මිනිසාට, මා කෙරෙහි විශ්වාසය තබා කරුණාවත් ලෙස කතා කළ ඒ මිනිසාට මගේ කෘතඥතාවය පළ කළ යුතු යැයි මට හැඟිණි. මගේ මුළු මහත් ජීවිතයත් ඉරණමත් දුකත් සැපත් යන මේ හැම දෙයක් ම පටන් ගත්තේ ඒ වියලි ගොම පිරි මල්ල නිසා බව මම හෙඳ හැටි සහ ස්ථිර ලෙස දනිමි. මා එසේ කියන්නේ මගේ ජීවිතයේ පළමු වැනි වරට, නොබියව, කල්පනා නොකර, අවශ්‍ය යැයි සිතූ දෙයක් හිතට එකඟව කළ බැවිනි. යෙහෙලියන් මා තනිකර දමා ගිය විගසම දුයිෂෙන්ගේ පාසලට දුව ගොස් වියලි ගොම සහිත මල්ල හිස් කළෙමි. කඳු අතර වූ බෑවුම සහ දෙණි අතරින් වෙගයෙන් පැණ ගොස් මා කඳු ගැටය නැග්ගේ නැවත වරක් වියලි ගොම අහුලා ගැනීමට ය.

මා වේගයෙන් දුවගියේ අරමුණක් නැතිවා සේ ය. මා තුල අධික ශක්තියක් තිබෙන්නාක් මෙන් හැඟී ගිය අතර හදවත ශ්‍රේෂ්ඨතම වීර ක්‍රියාවක් කළක් මෙන් පිරිණි. මගේ ප්‍රීතියේ රහස හිරු දැනගත්තාක් මෙනි. ලෙහෙසියෙන් හා නිදහස් ලෙස මා මෙතරම් සන්තෝෂ වන්නේ ඇයි ද යන්න හිරු දැනගත්තාක් වැනි ය. ඔව්, මා ලෙහෙසියෙන් හා නිදහසේ දුවන්නේ මන්දැයි හිරු දැනගත් බව මට විශ්වාස ය. මන් ද? කුඩා වුව ද මා හොඳ දෙයක් කළ බැවිනි.

හිරු කඳු ගැටයට මුවා වෙමින් සිටියේ ය. බැසයන හිරු මා දෙස බැලීම සඳහා සම්පූර්ණයෙන් මුවා නොවී සිටින බවකි මට දැනුනේ, හෙතෙම මා යන මග අලෝකමත් කළේ ය. ශරත් සමයේ වියලි පොළව රතු, රෝස හා දම් පැහැයෙන් බැබලෙන්නට විය. මග දෙපස සිහින් පං ගස්වල අතු ඒ මේ අත වැනුනේ දිලිසෙමිනි. මා හැඳ සිටි අණ්ඩ දමන ලද සායේ රිදී පැහැති බොත්තම් හිරු රැස් නිසා දිලිසෙන්නට විය. මා ඉදිරියට දිවගියේ සිත් සතන් ප්‍රීතියෙන් කුල්මත් කරවීමෙනි. මහ පොළව, අහස සහ සුළඟ දෙසට හැරෙමින් මෙසේ කීවෙමි. “මා දෙස බලපල්ලා! මා කොතරම් ආඩම්බරද! මම ඉගෙන ගන්ට යනවා, ළමයින් අඬගසාගෙගන ඔවුනුන් සමග මම ඉස්කෝලෙ යනවා!...“

මා ඒ විධියට බොහෝ වේලා දුව පැන ඇවිද්දේ දැයි මට කිව නොහැක්කේ, වියලි ගොම එකතු කළ යුතු යැයි හිටි හැටියේ ම මතක් වූ නිසා ය. කොතරම් ලොකු පුදුමයක් ද. ගිම්හාන සමයේදී අඩියක් පාසාම ගොම දකින්ට ලැබුණේ හැම තැනම හරකුන් සිටි බැවිනි. එහෙත් දැන් මහ පොළව ගොම ගිලගත්තාක් මෙන් අතුරුදහන් වෙලා ය. සමහර වේලාවට මා සෙව්වේ නැතුවා වෙන්ට පුළුවන්. සොයමින් ඈත ගිය ද එකතු කර ගැනීමට ලැබුණේ වියලි ගොම ටිකක් පමණී. මල්ල පුරා වියලි ගොම එකතු කර ගැනීමට බැරි වෙතැයි යන බිය මා තුළ ඇති වූයෙන්, කුමක් කරම්දෝහෝයි නොදැන ‘චියි‘* පඳුරු අසසේ මම දුවන්ට විමි. අමාරුවෙන් මල්ලෙන් බාගයක් පුරවා ගතිමි. ඉර අවරට ගියෙන් අඳුර ඉක්මණින් පැතිරෙන්ට විය.

මේ තරම් අඳුර වැටෙන තෙක් තණ පිටියේ තනිවම රැඳි සිටි දවසක් මට මතක නැත. පාළු, ගොළු කඳු ගැටවලට ඉහළින් රාත්‍රි අඳුර පැතිරෙන්ට විය. හොඳටම බිය ගත් මම මල්ල කර තබා ගෙන අයිලය දෙසට දුවන්නට වීමි. කෑ ගසා අඬන්නට තරම් මා බිය වුව ද ධෛර්‍ය්‍ය උපදවා ගත හැකි වූයේ, මෙවැනි අසරණ තත්ත්වයක මා වැටී සිටිනු දුයිෂෙන් ගුරුතුමා දුටුවොත්, ඔහු කුමක් කියති දැයි මගේ යටි සිතෙහි හැඟීමක් හටගත් බැවිනි. ගුරුතුමා පැත්තක සිට මා දෙස බලා ඉන්නාක් වැනි හැඟීමක් ඇති කරගත් මම වටපිට නොබලා සිත එක්තැන් කර ගතිමි.

මා ගෙදර දුවගියේ හති දමමින් සහ පෙරෙන දහදියෙන් යුතුව ය. මම අමාරුවෙන් හුස්ම ගනිමින් ගෙට ඇතුළු වීමි. ගිනි මොළවමින් සිටි නැන්දා තර්ජනය කරමින් ඉදිරියට ආවා ය. නපුරු, රළු ගැහැණියකි මාගේ නැන්දා.

“තෝ කොහේද බොල ගියේ?“ කියමින් ඉදිරියට ආ ඈ මල්ල උදුරාගෙන පැත්තක තැබුවා ය. “තෝ එකතු කළේ මෙච්චර ද?“ ඕ තර්ජනය කළා ය.

මගේ යෙහෙළියෝ මේ වන විට නැන්දා වෙත කේළම් කීමෙහි ලා සමත්වූහ.

“ඇ කළු බැල්ලියේ! තෝ මොකටද ඉස්කෝලෙට ගියේ? ඉස්කෝලෙදිම තෝ මක බෑ වුණානන්!“ යැයි බණින්ට වූ නැන්දා, මගේ කණින් ඇඳ එක පිට එක ටොකු ඇන්නා ය. “අම්මා අප්පා නැති වල් කෙල්ල! කෘතයා කවදාවත් බල්ලෙක් වෙන්නේ නැහැ. ළමයි හැම දෙයක් ම ගෙදර ගේනවා. මේකි ගෙදර තියෙන දේවල් පිට ගෙනියනවා. මීට පස්සේ ඉස්කෝලෙ අහලිකින්වත් ගියෝත් තොගෙ අණ්ඩක් කඩනවා. තොට යස ඉස්කෝලයක් දෙන්නම් හිටපිය...“

මම නිසලව සිට කෑ ගසා නොහැඬිමට වග බලා ගත්තෙමි. පසුව ලිප තුළ නගින ගිනි මැලය දෙස බලමින් නිශ්ශබ්දව, සෙමින් කිසිවෙකුට නොපෙනෙන පරිදි, මා හැඬුවේ ගෙදර සිටි බළල් පැටියා අත ගාමිනි. මා හඬන හැම වාරයක දී ඉව ඇල්ලීමෙන්, බළල් පැටියා මා වෙත එයි. මා හැඬුවේ නැන්දාගේ තර්ජන වලට බිය වූ නිසා නොවේ. ඒවා මට නුපුරුදු ඒවා නොවී ය. නැන්දා මින්පසු කිසි දිනක මා පාසලට යවන්නේ නැති බව ස්ථිර බැවිනි මා එසේ වැළපුණේ...

ඊට දවස් දෙකකට පසු හිමිදිරි බල්ලන් මහ හඬින් බුරනවා ඇසිණි. දුයිෂෙන් ගෙයක් ගෙයක් පාසා යමින් පාසලට ළමයින් එකතු කිරීම එයට හේතුව විය. ඒ දවස්වල අයිලයේ හරහා පාරවල් නෙතිබිණි. අපේ අයිලයේ තිබුණේ මැටියෙන් සෑදූ අඳුරු පැල්පත් පමණකි. ඒවා ඒ මේ අතර විසිර යන සේ සාදා තිබිණි. තමන්ට රිසි තැනක ගම්මු පැල්පත් සෑදූහ. දුයිෂෙන් සහ ඔහු පිටු පසින් ගමන් කළ ළමයි කෑකෝ ගසමින් ගෙයක් පාසා ගියෝ ය.

අපේ පැල්පත පිහිටියේ එක කෙළවරක ය. නැන්දාත් මාත් පිටි කොටමින් සිටියෙමු. පැල්පත අසල ලී මඩුවේ වළෙක බහා තිබූ තිරුඟු ගොඩ ගැනීමෙහි මාමා යෙදී සිටියේ ය. තිරිඟු කඩපොලට ගෙන යාමට ඔහු සූදානම් විය. වරින් වර මෝල් ගස් දෙකකින් අප පිටි කොටමින් සිටිය ද, කිසිවෙකුට නොපෙනන පරිදි ගුරුතුමා කොහෝ දැයි මම හොර ඇසින් බැලු වෙමි. අපේ පැල්පතට ඔහු නො එතියි යන බියක් මා තුළ උපනි. නැන්දා මා පාසල් යවන්නේ නැති බව මට සහතිකය. එහෙත් මා කොතැන ජීවත් වන්නේ ද යන්න දැනගැනීම සඳහාවත් ඔහු මෙහි එනවා දැකීම ට මම ආශා කළෙමි. අපේ ගෙදරට නෑවිත් ඔහු ආපසු ගොයා යුතු යැයි මම දෙවියන් යැදීමි.

“ආයුබෝවන්! දෙවියන්ගේ පිහිටයි! දෙවියෝ පිහිට වෙන්නේ නැතිනම් අපි රංචුව පිටින් ම පිහිට වෙන්නම්, බලන්න අපි කී දෙනෙක් ද කියලා!“ දුයිෂෙන් අපේ නැන්දාට ආචාර කරමින් විහිළු කරන්නාක් මෙන් කතා කළේ තමා පිටුපස ආ අනාගත ශිෂ්‍ය රැල පෙන්වමිනි.

ඈ මොනවදෝ කියමින් මිමිණුවා ය. මාමා තිරිඟු වළෙන් හිස එළියට දමා බැලිමට තරම්වත් වුවමනාවක් නොදැක්වූවේ ය.

දුයිෂෙන් එයින් අධෛර්‍ය්‍යයට පත් නොවූයේ, ගෙවත්තේ ලී කොටයක් මත හිඳගෙන කඩදාසියක් හා පැන්සලක් ගෙන මෙසේ පැවසී ය,

“අද අපේ ඉස්කෝලෙ උගැන්වීම පටන් ගන්ටයි යන්නේ. ඔහේලාගෙ දුවට වයස කීයද?“

කිසිවක් නොකී නැන්දා කෝපයෙන් මෝල්ගහ වංගෙඩිය තුළට දැම්මා ය. ඈ කතා කිරීමට කිසිදු වුවමනාවක් පෙන්නුවේ නැත. එහෙත් මගේ හදවත ගිනි ගත්තාක් මෙනි. දැන් මොනවා වෙයිද? මා දෙස බැලූ දුයිෂෙන් අඩ සිනාවක් පෑවේ ය. එවිට මගේ හදවත ප්‍රීතියෙන් සැලෙන්නට විය.

“අල්තීනායි, උඹේ වයස කීයද?“ යි ඔහු ඇසූ නමුදු මා නොවේ පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ.

“උඹට මොකට ද වයස දැනගන්ට ඕන හේතුව. උඹ ඉස්පැටර් කෙනෙක්ද?“ යි කැළඹුණු ස්වරයකින් නැන්දා ඇසුවා ය. “එකිට ඉස්කෝලෙ යන්ට වේලාවක් නැහැ. ඇගේ අම්මා අප්පා නැහැ. අම්මා අප්පා ඉන්න ළමයින්ට පවා ඉස්කෝලෙ යන්ට බැරිකොට ඈට මොන ඉස්කෝලයක්ද. බලාපන්, උඹ එකතු කරල තියෙන කොලු-කෙලි රංචුව. උන් එක්ක පලයන් ඉස්කෝලෙට. මෙතන උඹට වැඩක් නැහැ.“

දුයිෂෙන් හුන් තැනින් නැගිට්ටේ ය.

“මොනවද ඔය කියන්නේ! පොඩ්ඩකට කල්පනා කරලා බලන්ඩ. ඈ අනාථ වුනේ ඇගේ වරදින්ද? අනාථ ළමයින්ට ඉගෙනීම තහනම් කරලා නීතියක් පනවල තියෙනවද?“

“උඹගෙ නීති ගැන හොයන්ඩ මට වේලාවක් නැහැ. මගේ නීති අනුවයි මම වැඩ කරන්නේ. උඹ මට අණටදන්ට හදන්න එපා“

“අපි හැමටම බලපාන එක නීතියයි. ඔයගොල්ලන්ට ඒ ළමයව එපා වුණාට ඒ ළමයව අපට, සෝවියට් ආණ්ඩුවට ඕන. අපට විරුද්ධ නම් අපි අණ කරනවා“

“කොහෙ ඉඳලා ආපු ලොක්කෙක් ද මේ! යයි කෝප වූ නැන්දා ඇසුවා ය. “ඈ හැසිරිය යුත්තේ කවුරු කියන විධියටද? ඈට කන්ට බොන්ට දෙන මා කියන දේ ද යන එන මං නැති පාදඩයෙකුගෙ පුතෙක් කියන දේ ද ඈ අහන්ට ඕන?“ යැයි නැන්දා ගුගුලා ය.

තිරිඟු බහා තියෙන වළ තුළට වී තිරිඟු ගොඩ ගනිමින් සිටි මාමා එළියට නොඑන්ට කුමකින් කුමක් වේ දැයි කිය නොහැකිව තිබිණි. ගෙදර මූලිකයා සිටින බව අමතක කර දමා ඈට අයිති නැති වැඩවලට අත ගැසීමට නැන්දා ඉදිරිපත් වීම මාමාට ඉවසුම් නොදෙන කාර්යයකි. එවැනි අවස්ථාවල දී ඔහු ඈට අනුකම්පා රහිත ලෙස තැළුවේ ය. මෙවර ද ඔහු තුළ පැන නැංගේ ඉවසුම් නොදෙන කෝපයකි.

“ඇයි බොල ගෑනියේ“ යැයි කෑ ගසමින් ඔහු තිරිඟු වළෙන් ගෙඩ ආවේ ය. “උඹ කවද සිටද ගෙදර ලොක්කා වුනේ, උඹ අණ දෙන්ට පටන් ගත්තේ කවද ඉඳලද? ඕපදූප කීම අඩු කරපන්. වැඩ කිරීම වැඩි කරපන්. ඒයි උඹ තෂ්තන්බෙක්ගේ පුතා. කැමතිනම් උගන්නා පං. බැරිනම් පුච්චාගෙන කාපන්. තොපි ඉක්මනට පලයව් යන අතක!“ හේ ගුගුලේ ය.

“ආ එහෙනම් එකී ඉස්කෝල ගානෙ ඇවිදීවි. ගෙදර වැඩ කවුද කරන්නේ “ඔක්කොම කරන්ට ඕන මමයි“ නැන්දා ඇසුවා ය.

මාමා සැනෙකින් පිළිතුරු දුන්නේ ය. “මං කියන විධියට විතරයි වැඩ!“

හැම නරක දේකම හොඳ ටිකක් තියෙනවලු. පළමුවැනි වරට මම පාසල් යාමට සිදුවුනේ ඒ විධියට යි.

එදා සිට හැමදාම උදේට දුයිෂෙන් ගෙවල් ගානේ ගොස් අප එකතු කළේ ය.

පළමුවැනි වරට අප පාසලට පැමිණිදා පිදුරු අසුරන ලද බිම වාඩිවන්ට සැලැස් වූ ගුරුතුමා සෑම ළමයෙකුට ම ඇක්සයිස් පොතක්, පැන්සලයක් සහ ලෑල්ලක් බැගින් දුන්නේ ය.

“ලෑල්ල දණහිස් මත තබා ගත්තාම ලියන්ට පහසු යැ“ දුයිෂෙන් කීවේ ය.

ඉක්බිතිව බිත්තියේ අලවා තිබූ රුසියන් ජාතිකයෙකුගේ පින්තූරයක් පෙන්වමින් ඔහු මෙසේ පැවසී ය.

“ ඒ තමයි ලෙනින් .“



****************අවසන් නැත ......!!මෙම කෘතිය බාගත කර ගැනීමට මෙතන ක්ලික් කරන්න.
**************** 

නිර්මලා මධුශානි විසින් යදමින් බැඳ වෙබ් අඩවියට සම්පාදනය කල ලිපියක් ඇසුරෙනි.

Saturday, March 30, 2013

කාටුන් නැරඹීමට ඇබ්බැහිවූ දරුවන්ගේ මොළයට සිදුවන දේ

කාටුන් නැරඹීමට ඇබ්බැහිවූ දරුවන්ගේ මොළයට සිදුවන දේ
නයනා ගුණවර්ධන
ව්‍යාපෘති නිලධාරි
ජාතික අධ්‍යාපන ආයතනය


"නැන්දේ.... අර බලන්න.... අර.... අර.... ලස්සන සමනලයෙක් එයාගේ පිහාටු හරියට දේදුන්නක් වගේ....
අර අලියාගේ කන්දෙක හරියට කුල්ලක් වගේ.... යනුවෙන් තොරතෝංචියක් නැතිව මා සමඟ කියවන "නෙතු" දුව ළඟකදී සිට අපේ නිවෙසට නොපැමිණෙයි.
ඇයි? නෙතු ඔයා දැන් අපේ ගෙදර එන්නේ නැත්තේ අර ගහේ බට්ටිච්චෙක් පැටව් දාලා. මම ඇසුවෙමි.
නැන්දේ.... මම දැන් කාටුන් බලන වේලාවනේ පස්සේ එන්නම්...

කාටුන්
මා හට කාරණාව පසක් විය. "කාටුන්" නිසා පුංචි නෙතුගේ ලෝකය වෙනස් වී ඇත. වත්ත පහළට ගොස් කුරුල්ලන් දිහා බලා කවි කියූ නෙතු දැන් වෙනස් වී ඇත. ඇය දැන් සමනලුන්ගේ පාට ගැන හොයන්නේ නැත. ඇයගේ ලෝකය වෙනස් වූයේ.... ඇයගේ නිර්මාණශීලී සිතුවිලි වෙනස් කිරීමට රූප පෙට්ටිය ගෙන දුන් ලෝකය, ඇයගෙන් උදුරාගෙන ඇති නිසාය.

ළමා ලෝකය
ළමා ලෝකය සුන්දරය. ළමා කාලයේ අප ලබන බොහෝ අත්දැකීම් තවමත් අප මතකයේ සදා අමරණීයයි. යහළුවන් සමඟ වෙල් ඉපනැල්ලේ දුව පනිමින් මවුපියන් සමඟ කෙළිදෙළින් ගතකළ ඒ සුන්දර ළමා කාලය ආපසු එනවානම් කොයිතරම් සුන්දරදැයි අපට සිතේ. පරිසරයේ ඇති සුන්දර වස්තූන් පිළිබඳ අපි කතා කිව්වේ.... ඒ සුන්දරත්වය සජීවීව අත්දුටුව නිසාය.
එදා අපේ ලෝකයේ වීරයින් වූයේ මවුපියන්, ගුරුවරුන්ය. එසේත් නැත්නම් යහපත් චරිත ලක්‍ෂණවලින් පිරිපුන් බාප්පා හෝ මාමාය. එදා "අඹයහළුවෝ" ළමා පොතෙහි නිමල්ට "මඩොල්දූවේ" ජින්නා"ට අපි ආදරය කළේ ඔවුන්ගේ වීර ක්‍රියාවලටය. අනගාරික ධර්මපාලතුමා, එස්. මහින්ද හිමි, කුමාරතුංග මුණිදාස වැනි මහා ප්‍රාඥයන්ගේ චරිත කතා අප එදා කියවූයේ නොඉවසිල්ලෙනි.

වීරපුරන් අප්පු සහ බෙන්ටෙන්
වර්තමානය මීට හාත්පසින්ම වෙනස්ය. ළමයින්ගේ ලෝකයේ සුන්දර මතක සටහන් පරිගණකයේ හිරවුණි. ළමයින් පොත්පත් කියවන්නේ විභාගය සමත්වීමටය. ශිෂ්‍යත්ව විභාගය සමත් වීමටය. ළමාලෝකයේ වීරයන් වී ඇත්තේ බෙන්ටෙන්, සුපර්මෑන් ස්කුබිඩූලාය. වීරපුරන් අප්පු ගැන කියන විට අපේ දැන් ළමුන් සිනා වෙති. මන්ද පුරන් අප්පු බෙන්ටෙන් මෙන් උඩින් නොයන නිසාත් සතුරන්ට වෙඩි නොතැබූ නිසාත්ය. දවසේ වැඩි වේලාවක් රූපවාහිනිය නරඹන දරුවන්ගේ ලෝකය වෙනස් වන්නේ කෙසේද? විද්‍යුත් මාධ්‍යය ළමා ලෝකය මේ තරම් වෙනස් කළේ කෙසේද? අප කතාබහ කළයුතු කාලය පැමිණ ඇත. ඒත්.... මේ පිළිබඳ මවුපියන් වන අපට සිතන්නටවත් වුවමනා නැත. ටී. වී. එකේ යන ඕන දෙයක් දරුවන්ට හිරිකිතකින් තොරව පෙන්වීමට අපේ මවුපියන් සැදී පැහැදී සිටී.

කාටුන් බැලුවම වෙන දේ
රූපවාහිනී නාළිකාවල දරුවන්ට 50%ක්ම නැරඹීමට ඇත්තේ කාටුන්ය. උදෑසන 5.00 සිට 9.00 දක්වාත් සවස 3.00 සිට 5.00 දක්වාත් දරුවන්ට විවිධ කාටුන් බැලීමට ඉඩ සලසා ඇත. වයස් භේදයකින් තොරව මවු තුරුලේ කිරි බොන දරුවාගේ පටන් බොහෝ දරුවන් උදෑසන අවදිවන්නේ කාටුන් ලෝකේ වීරයන්ගේ දක්‍ෂතා බැලීමටය. ක්‍රීඩා කිරීම, ආහාර ගැනීම ආදී සියලු කාර්යයන් සිදුවන්නේ රූපවාහිනිය නරඹමිනි. මෑත කාලයේදී මවුපියන් කරන වරදක් පිළිබඳ ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.... ළමයා හසුරුවා ගැනීමට පහසු මඟක් ලෙස සලකා දරුවා රූපවාහිනිය ළඟ වාඩිකර තබයි. එසේත් නැත්නම් ආහාර ගැනීම සඳහා පහසු මඟක් ලෙස දරුවාව රූපවාහිනිය, CD හෝ DVD නැරඹීමට යොමු කරයි. මෙහිදී මවුපියන්ගේ බලාපොරොත්තුව වන්නේ කුමක්ද? දරුවාට ආහාර ලබාදීමයි. මෙහිදී දරුවාගේ අවධානය රූපවාහිනිය වෙත යොමු කරවමින් ආහාර කැවීම සිදුකරයි. වසරකට අඩු කුඩා දරුවන් පවා රූපවාහිනියට නෙත් යොමු කරමින් ආහාර ගනී. මෙහිදී දරුවාට ආහාරවල රසයක් නොදැනේ. මනස වෙනත් අතකට යොමු කරවමින් කුස පිරවීම දරුවාගේ පෝෂණයට මෙන්ම මොළේ වර්ධනයට බලපාන බව ඔබ මොහොතකටවත් සිතුවාද?

හොඳින් සවන් දෙන දරුවන්
මිනිස් මොළයේ ක්‍රියාශීලීම වේලාව උදෑසන බව ඔබද හොඳින් දන්නා කරුණකි. "සවන්දීම" තුළින් මතකයේ තබාගැනීම දරුවාගේ මොළේ වර්ධනයට ප්‍රබල සාධකයක් බව මීට පෙර 'ආර්යා' ලිපිවලින් අප සාකච්ඡා කළෙමු. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය හරහා ලැබෙන බොහෝ අත්දැකීම් ඉක්මනින් මතකයෙන් ගිලිහෙන බව අධ්‍යාපනඥයන්ගේ මතයයි. හොඳින් "සවන්දෙන" දරුවා තුළ සිතීමේ බහැකියාව වැඩි බව ඔවුන් පෙන්වා දී ඇත.

යාන්ත්‍රික අධ්‍යාපනය
දරුවන් අධ්‍යාපන ලබන්නේ ක්‍රියාශීලී අත්දැකීම් තුළිනි. මෙවැනි දරුවන් එකතැන සිටිමින් කම්මැළි කමෙන් ආස්වාදය ලැබීමට පුරුදුවීමෙන් දරුවන් තුළ ඇති සක්‍රියව, ක්‍රියාකාරීවීමේ සහජ හුරුව, ඉබේම අඩපණවේ. යාන්ත්‍රික අධ්‍යාපනය පුරුදු කටපාඩම් කිරීම වැනි ඉගෙනුම් පුරුදුවලට දරුවා නිරායාසයෙන් යොමුවන්නේ අධ්‍යාපන ක්‍රියාවලියේ සජීවී බවින් බැහැරවූ විටය. රූපවාහිනිය බැලීමෙන් දැනුම ලබාගැනීමට උදව්වක් ලැබිය හැකිය. නමුත් මෙය අත්‍යවශ්‍යය ඉගෙනුම් ආධාරකයක්, මෙවලමක් නොවේ.

ගුණාත්මක වැඩසටහන්
දරුවන් සඳහා නිර්මාණය වූ බොහෝ රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ DVD පට අධ්‍යාපනික ගුණාත්මක වටිනාකම නැති බව පෙනේ. මේ අතර ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වූ "සෙසමිස්ටී්‍රට්" වැනි ඉංගී්‍රසි අධ්‍යාපනික වැඩසටහන්ද තිබෙන බව කිවයුතුයි. මේවා ඵලදායීව දරුවන්ගේ අධ්‍යාපනයට යොදාගත හැකිය. එබැවින් මෙම වැඩසටහන්වල ගුණාත්මකභාවය පිළිබඳ මවුපියන් වන ඔබට වැටහීමක් තිබිය යුතුය. ඇබ්බැහි වීමකින් තොරව යම්කිසි පාලනයකින් යුතුව දරුවන්ට රූපවාහිනී වැඩසටහන් නැරඹීමට සැලැස්වීම පිළිබඳ මවුපියන් වන ඔබ සැලකිලිමත් විය යුතුයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පවසන ආකාරයට අමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල, මිනිසුන් යුදහමුදා සේවයට යෑම අඩු බැවින්, ඒ සඳහා ඔවුන් කුඩා අවධියේ සිට දරුවන් හුරු කිරීමට, ඒ සඳහා කැමැත්තක් ඇති කිරීම සඳහා බැට්මෑන්, සුපර්මෑන්, ස්පයිඩර්මෑන්, වැනි කාටුන් චිත්‍රපට නිර්මාණය කර ඇති බවයි. රූපරාමු හා දර්ශනවල වේගවත් බව, අස්වාභාවික සිදුවීම් දරුවන් නැරඹීමෙන් ළමයා තුළ ඇති ස්වාභාවික චින්තන හැකියාවන් මොටවිය හැකිය.

කාටුන් චිත්‍රපටවල එන චරිත, අවස්ථා හා සිදුවීම් දරුවන් අත්හදා බැලීමට යෑම හා ඒවා අනුකරණය කිරීමට යෑමෙන් විවිධ අනතුරුවලට මුහුණ පෑ අවස්ථා අපට අසන්නට දකින්නට ලැබේ. නිරන්තරව කුඩා දරුවන් මෙයින් මුදවා නිරන්තරව අධ්‍යාපන ක්‍රියාවලියට යොදවා ගැනීම මවුපියන් වන ඔබගේ වගකීමකි. දරුවන් නරඹන ටෙලි නාට්‍යය, චිත්‍රපට, වීඩියෝ ගේම් පිළිබඳ දැඩි සැලකිල්ලක් යොමු කරමින් හොඳ දේ හොඳ විදියට හොඳම වේලාවට දීමට හැකිනම් ඔබට දක්‍ෂ දරුවෙකු බිහිකර ගත හැකිය.

අවුරුද්දට රබන් ගහමු


අවුරුද්දට රබන් ගහමු


1.ඉහල ගෙදර තුන්  දෙනයි
   පහළ ගෙදර තුන්  දෙනයි
   අපේ ගෙදර තුන්  දෙනයි
   තුන්පළේම තුන්  දෙනයි

තක්කකුත් දික්ක        කුත්
දෙහි කඩන කෙක්ක  කුත්
ඊට මලු බොක්ක        කුත්
තක්කකුත් දික්ක        කුත්

වත්ත කතත්      කතත්තා
කුඹුර කතත්      කතත්තා
වත්ත කතත් කුඹුර කතත්
දෙකම කතත්    කතත්තා


2.  ඔන්න ඔන්න     මල්
    මෙන්න මෙන්න මල්
    දෙමට දෙමට     මල්
    සමන් පිච්ච       මල්

රන් තැඹිලි ගස්    දෙකයි
ගොන් තැඹිලි ගස් දෙකයි
ගස් දෙකට මල්   දෙකයි
මල් දෙකට ගෙඩි දෙකයි


3.  තේක්ක ගහ යට 
     කවුද බොලං සකි
     තක්කිට තරිකිට තෙයි
    තෙතෙයි තෙයි
    තක්කිට තරිකිට තෙයි

   තාක්ක දොං දොං
   තාක්ක දොං දොං
   තේක්ක මල් පිපිලා
   අන්න බලන් සකි
   මෙන්න බලන් සකි
   පාරට මල් නැමිලා
   බලන් සකි 
   පාරට මල් නැමිලා

4.  එගොඩ ගොඩෙත් රත්තරන්
     මෙගොඩ ගොඩෙත් රත්තරන්
     එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
     ඇතෙක් බරට රත්තරන්

5.  දොන්ත බබක්කට 
     දෙන්න දෙයක් නැත
    පෙට්ටගමක් උඩ
    තුට්ටු දෙකක් ඇත.

6.  උඩපල ගත්තත් වට්ටක්කා
     බිම පලගත්තත් වට්ටක්කා
     උඩ පල ගත්තත් බිම පල ගත්තත් 
     පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

7.  උඩින් උඩින් වර පෙත්තප්පු
     බිමින් බිමින් වර පෙත්තප්පු
     උඩින් උඩින් වර බිමින් බිමින් වර
     ජම්බු කන්න වර පෙත්තප්පු

8.  එරබුදු මල් පොට්ටු පොට්ටු
     අවුරුද්දත් කිට්ටු කිට්ටු

9.  රාං රූං කැත්ත ගෙනෙං
     පිලවක්කේ කැත්ත ගෙනෙං
     පිල වටකර කැත්ත ගෙනෙං
     රාං රූං කැත්ත ගෙනෙං

http://sithuwilisuwadakakulu.blogspot.com/2012/04/blog-post_10.html

හේරත් හාමි - විමලරත්න කුමාරගම


හේරත් හාමි - විමලරත්න කුමාරගම

අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි
මා වැනියකු වුවද මම වැදගත් වී                           මි
මිනී කපන මුත් ඒ හේරත් හා                               මි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                      වේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                          රිය
වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය
කිසිවෙක් තවම නැත පැවසුමට බා                    රිය
මට පුදුමයකි ඔහු මේ කරන කා                         රිය

මා වැනියෙකුට තද සංවේගයම දි                         දී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                     දී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                දී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු               ලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක     ළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මො           ළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ             ලේ

අවනත සිනා රැලි වත නිතරම පතු                      රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                         රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                  නේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ        නේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි               නේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ           නේ

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි                සින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ             සින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්

නූපන් නිසා දනවත් මහරු පා                           යක
පන්සල වෙතට යයි හැම විටම පෝ                 යක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                  යක
ඊටත් වඩා සලකයි අයියනා                             යක

                                    ----------------------------------------------------------------------------


 1919 ජනවාරි 18 දින පාතදුම්බර පාලිස්පත්තුව බස්නාහිර කොරළේ නාරම්පනවේ දි ජන්මය ලැබු විමලරත්න බණ්ඩා කුමාරගම ගේ පියාණෝ විමලරත්න කුමාරගම 1928 ජනවාරි 18 වන දින පාතදුම්බර පාලිස්පත්තු බටහිර කෝරලයේ නාරම්පනාව ග්‍රාමයේ උපත ලැබිය.පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත දෙනෙක් ගෙන් යුක්ත පවුලක දෙවනියා විය.
                            ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර ,පාසැල කාලයේද සිංහල කවිය පිළිබද උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේද නියැළුණි.

  පොත්
  • නිල්සීනය (1941)
  • ඔරුව (1942)
  • සංවේග වේදනා (1946)
  • සපුමලී (1946)
  • සුරතල්ලු (1961)

කවි
  • හේරත් හාමිනේ
  • අයියනායක
  • දඩයම
  • වන්නියෙ මල්
  • ගමේ වැව
  • කිරා
  • ආරච්චි රාළ
  • සිරගෙය
  • යන්තම් බේරුනා
  • හරක් හොරා
  • බුදුරුව
  • සුන්දර හාමි
  • ආගන්තුක සත්කාරය
  • අවුරුදු නිවාඩුව
  • මුතුගේ ප්‍රශ්න
  • වන්නියෙ දොස්තර

උසස් රචනාවලින් සිංහල සාහිත්‍යය පෝෂණය කරනු ලැබූ බොහෝ කවියන් කොළඹ යුගයේ වූ බැව් නොරහසකි. ඒ අතරිනුත් එක්තරා පද්‍ය රචකයකු විශේෂත්වයට භාජනය වූයේ කරුණු කිහිපයක් නිසයි. ඒවා නම් මානව භක්තිය, අව්‍යාජත්වය, තොරොම්බල් ගණයේ නොවන අරුත් බර වචන මාලාවක් වේ.
සදහම් රුවන්වැල ලියූ ධර්මසේන හිමියන් සේ හෙතෙමේ සිංහල කවියට අත්‍යවශ්‍ය මානව භක්තියෙන් පිරිපුන් වූ අතර එහෙයින්මැ වන්නි සනුහරයට ලේ නෑයා ද වූයේ ය. මොහු අනෙකකු නොව කොළඹ යුගයේ සිංහල කාව්‍ය වංශයේ දීප්තිමත් රචකයකු වූ නාරම්පනාවේ විමලරත්න කුමාරගමයි.
”වනපෙත දැවෙන විට
වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට
ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී
සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක්
එතැන ඇත”
යන කවිය ඉමහත් විමසුමෙන් බලන විට ගැමි ජනතාවගේ දෙවියන් ඇදහීමට නොගැරහීමේ විශාල මානව භක්තියක් කවියා තුළ නොඅඩුව අඩංගු වූ බැව් මනාව ඔප්පු වනු නිසැකය. “හැමදා උදේ – හවසට බොන ගිනි වතුරයි – ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි” යනුවෙන් ඉතාම පහළ මධ්‍යම පාන්තික ශ්‍රමිකයකුගේ පපුව තුළට සැබෑවටම එබී බලා අදාළ මිනිස්කම හොඳාකාරව අවබෝධ කරගත් විමලරත්න කුමාරගමයෝ එමඟින් සහෘදයා කදිමට දැනුවත් කරලූහ.
එකල ද පැවැති වෙළෙඳ ඒකාධිකාරයක දැඩි බලපෑම නැති බැරි උදවියගේ පීඩනයට හේතුවන ආකාරය සිත්කලු ලෙස සමාජ ශෝධකයකු ලෙසින් මොහු දැක්වූ අන්දම මනහර වනු ඇත. “ඔහු වැඩිපුරම බය, ලොකු සයිබු නානට” යනුවෙන් පවසා ඉන්පසු දැක්වූයේ “නැඟගෙන හරක් හොරුගේ කර උඩට දැඩි – පස්සා කකුල් දෙක ඔහුගේ ගෙයට වඩී” කියලා ය.
විශේෂයෙන් කොළඹ යුගයේ ඇතැම් සුකිරි බටිලි කවිවලින් කුමාරගමගේ කවිත්වය වෙනස් වන්නේ යථාර්ථවාදිත්වය හේ ගරු සරු කළ නිසා බැව් පිළිගත යුතුව තිබේ. මෙකල බොහෝ කවියන්ගෙන් වර්ණනා වූයේම කාන්තාවගේ නිලුපුල් වන් තොල් පෙතිය; දේදුනුවන් ඇහි බැමිය. එය එසේ වුවද අප විශේෂිත කවියාට මෙනෙහි වූයේ ළඳකගේ රූප ලාවණ්‍යයට එහා ගිය යථාර්ථය තත්ත්වයකි. ඒ හේතුවෙනි, මේ ප්‍රතිභාපූර්ණ කවියා ස්ත්‍රිය මස් ලේ දන් දිදී ලෝකය රකින බවත් ඒ නිසාම ඇයට හිමිවිය යුතුව ඇත්තේ ආගමික නායකයන්ට පවා සුදුසු වන ආසනයක් බවත් ගෙනහැර දැක්වූයේ.
”මස් ලේ දන්දිදී මේ ලෝකය රකින
ලස්සනවතිය ඔබගේ සේවය පමණ
කළහොත් සමය නායකයන්ට ද වටින
අසුනකි ඔබට හිමි මල් සුවඳින් ගහණ”
ඔහු ඒ කවි පොත මඟින් ම මාතාවක් වන ඉතිරිය සම්බන්ධ ව මෙසේ ද විමසුවේ ඇයි?
”පුදසුන මතේ සිට අතු ගා දමන ලද
මල යා යුතුය විසුමට කුණු ගොඩක වැද”
එදා සිටම ඉටු සිදු වූ සමාජ අර්බුදයක් වන කාන්තා හිංසනය වෙත සහෘද ඇස යොමු කරවීමට නොවේදැයි කිවහොත් එය අසාධාරණ නොවේ යයි සිතමි.
සමහර කොළඹ කවියන් මෙන් නොව මේ ආදායම් පාලක නිලධාරි කවියා පැදියෙහි පරමරුත මොනවට අවබෝධකොටගෙන සිටියේ ය. ඔහුගේ වෙනස් ගමන් මඟට ඊට සාක්ෂි සපයනු ඇත. මෙතෙම තමාගේ එක්තරා මිත්‍රයකුගේ සැමරුම් පොතක මෙසේ ලියා තිබෙනු මම දුටුවෙමි.
”කවියේ පරමරුත දති නම් සහ විතර
බ කවි කෙළෙහි දුර දුක සහ නිවන්තර!”
යථෝක්ත කවියාගේ උදාරතර කිවියාව නිසාම ඔහු සිංහල කාව්‍ය වංශයේ ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන් අදත් නොනැසී මෙන් ඉඳී. මේ උසස් පද්‍ය නිබන්ධකයා විසින් කරන ලද්දේ කවිය මඟින් පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමට ය. එසේ නැතුව අද වැජඹෙන ඇතැම් අති උගතුන් මෙන් ප්‍රඥාවෙන් ප්‍රඥාවට රසකාමිය වැඩමවා ගෙන යාම නොවේ. මා සිතන අයුරු විය යුත්තේත් මෙහි කී පළමු ගැම්මයි.

දුවගේ සිනාව - විමලරත්න කුමාරගම


දුවගේ සිනාව
විමලරත්න කුමාරගම

අඩ හඳ පළුව මගෙ පොඩි දියණිගෙ කටය

ඇගෙ වත තමා පසු තල සුදුවෙල කැටය

ලොකු පොඩි තාරුකා ඇගෙ කෙළි බඩු වටය

ඈ හිනැහුණේ වෙන කෙනකුට නොව මටය


තව බඹ දෙකයි නිදියන මොහොතටද දුවේ

ඔබෙ මව සිටී යම් තැන පස්‌ අතර ලොවේ

ඈ නිදි නිසා ම හදෙහි දැන් රැය ද දෙවේ

නිදියන් ඔබත් එහි කෙළි බඩු සමඟ දුවේ


මඳ නළ නමුත් මෙහි වෙන කිසිවකු නැතද

මගෙ කෙහෙ අදින්නේ ඔබෙ කිරිකැටි අතද

ඔබ හට කැමති නම් දෙමි මගෙ හද වතද

ඇස පියවෙන්නෙ ඇයි ඔතරම් නිදි මතද


ඇවිටිලි කළත් නැත නැළවිලි නවති න්නේ

මට සුව සැලසු ඔබ ඇයි එය වළක න්නේ

ඇයි ඇයි දුවේ ඔය හෙමිහිට සැඟ වෙන්නේ

ඔබ ළඟ නැතුව මා කොහොමද නිදිය න්නේ


නල වැල සසල ගති අද මට සතුරු වුණේ

හුරු තනිකම ද ගෙන එයි දැන් වියරු වුණේ

දැන් නොපෙනුණත් මගෙ දුවගේ උවන අනේ

අඩ සඳ පළුව ඇති විට ඇගෙ රුව ද පෙනේ


හැම සම්පත ම සලසමි මා අයින් නොවේ

ඔබ වත සිඹින්නට නැති මා දුකින් තැවේ

මගෙ හද තොටිල්ලට ලැබුමට හොඳින් සුවේ

තරු කොල්ලනුත් අඬගහගෙන වරෙන් දුවේ

කොළඹ යුගයේ දෙවැනි කවි පරපුර නියෝජනය කළ විමලරත්න කුමාරගම කවියා (1919 ජනවාරි - 1962 දෙසැම්බර්) නිසැක වශයෙන්ම කොළඹ යුගයේ අන් සියලු කවීන්ගෙන් වෙන්කොට ගත හැකි විශිෂ්ටතම කවියා බව විචාරක මතයයි. ජන හදට සමීප ජීවිතානුභූතීන් හෘදයාංගමව හා අව්‍යාජ ලෙස පද්‍ය කාව්‍ය ලෙස නිර්මාණය කිරීමට ඔහු තුළ වූ ප්‍රතිභාවට නිදසුන් සේ දැක්‌විය හැකි රචනා බොහෝය. වලස්‌ දඩයම, හේරත්හාමි, අය්යනායක වැනි නිර්මාණ ඒ අතර ප්‍රමුඛ වුවත් ඔහු විසින් රචිත පද්‍ය කාව්‍ය රාශියක්‌ ද කාව්‍ය ග්‍රන්ථ කිහිපයක්‌ ද කුමාරගම කවියාගේ නාමය ඉදිරියේ සටහන් වී ඇති බව ඔහුගේ කාව්‍යාවලි විමසන කල්හි පෙනේ. දුවගේ සිනාව නම් ඉහත නිර්මාණය මෙවර කවි මිහිර සඳහා මවිසින් උපුටා ගන්නා ලද්දේ පී. එම්. සේනාරත්න විසින් සංගෘහිත විමලරත්න කුමාරගම කාව්‍යාවලී නම් කෘතියෙනි. ඔහු විසින් තම දියණිය පිළිබඳව මෙන්ම ඔහුගේ මිතුරන්ගේ දියණියක පිළිබඳව ද රචනා කරන ලද කාව්‍ය නිර්මාණ හමු වේ. ඔහුගේ මිතුරකුගේ දියණියක්‌ වූ මායා පිළිබඳ කුමාරගම කවියා විසින් රචිත අපූරු නිර්මාණයක්‌ ලිපිය නමින් හමු වේ. ඔහු ඈ බලන්නට නිවසට යන කල ඈ මියගොසිනි. එහෙත් ඈ විසින් ලියා තිබුණා යෑයි කවියා දකින ළමා කවියෙන් ඈ අමතා තිබුණේ ඇගේ පියාටයි. කවියා ඉතා අපූරුවට ළමා මනස චිත්‍රණය කොට ඇති විලාසය බලන්න.

"තාත්තට මං

විහිළු කෙරුවා

තාත්තේ මට හරි දුකයි

තාත්තේ මං

මීට පස්‌සේ

දඟ කරන්නේ නෑ අනේ..."

එහෙත් කුමාරගම කවියා තම දියණිය පිළිබඳ නිර්මාණය කළ රචනාවේදී ඔහුට සුපුරුදු සිව්පද ආකෘතියම තෝරාගෙන මියගොස්‌ ඇති ඔහුගේම දියණිය පිළිබඳ මතකයට පිවිසෙයි.

කවියා තම දියණියගේ හැඩරුව පාඨකයා ඉදිරියේ මවන්නට සොබාදහමේ වස්‌තූන් උපමා ලෙස යොදාගනී. පොඩි දියණියගේ මුව අඩ හඳ පළුවක්‌ සේය. ලොකු පොඩි තාරුකා ඇගේ සෙල්ලම් බඩු වැන්න. ඈ ඔහු දෙස බලමින් සිනාසෙන්නීය. එහෙත් තවත් කෙටි මොහොතකින් ඈ මව සිටිනා තැනට යන බව කවියා පවසයි. මව මියගොසිනි. දියණියගේ කෙළිබඩු ද රැගෙන මව සිටිනා ලොවට ගොස්‌ නිදියන්නැයි ඔහු දියණියට පවසයි. කවියාට දියණියගේ මතකයෙන් ඈත්වන්නට නොහැකිය. හමා යන මඳ නල හැර අන් කිසිවෙකුත් නොවූවත්, ඔහුගේ හිසෙහි කෙස්‌ කවුරුන් හෝ අදිනා බවක්‌ ඔහුට දැනේ. ඇගේ සියුමැලි කිරිකැටි දෑතින් ද ඔහුගේ කෙස්‌ අදින්නේ?

"මඳ නල නමුත් මෙහි වෙන කිසිවෙකු නැතද

මගෙ කෙහෙ අදින්නේ ඔබෙ කිරි කැටි අතද..."

බිරිඳකගේ වියෝවෙන් තැවෙන හිමියෙකුට තම දියණියගේ වියෝවක්‌ කෙසේ දරා ගැනීමට හැකිවේ දැයි සිතා ගැනීම අපහසුය. කවියාට දැනෙන, ඔහු වට කොටගෙන ඔහු වෙළා ගන්නා, පාළුව, ඔහු සිත රිදවයි. කෙමෙන් කෙමෙන් ඈ ඔහු වෙතින් සැඟවී යන මොහොතේ ඔහුගේ පාළුව තනිකම තීව්‍ර වේ. ඈ නොමැතිවා ඔහුට නින්ද නොඒ"

"ඇයි ඇයි දුවේ ඔය හෙමිහිට සැඟවෙන්නේ

ඔබ ළඟ නැතුව මා කොහොමද නිදියන්නේ..."

ඔහු එලෙසින් ප්‍රශ්න කරන්නේ එබැවිනි. ඔහුට තම දියණියගේ මුහුණ නොපෙනේ. එහෙත් අඩ සඳ පළුව ඔහු නෙත ගැටේ. එවිට ඔහුගේ මතකයට ඈ පිවිසේ. මන්ද යත් ඇගේ මුව ඔහුට පෙනෙන්නේ අඩ සඳක්‌ විලසින් බැවිනි. ඇගේ වත සිපගන්නට නොහැකි සොවින් ඔහු තැවේ. ඔහුගේ හදවත නමැති තොටිල්ලට ඇගේ කෙළිබඩු වූ තරු ද රැගෙන එන්නැයි කවියා ඇයගෙන් ඉල්ලා සිටී.

දියණියකගේ වියෝව පිළිබඳ පෞද්ගලික අත්දැකීමක්‌ තම නිර්මාණය සඳහා වස්‌තු විෂය කරගන්නා කවියා, දියණියගේ බාහිර ස්‌වරූපය අතීත ස්‌මරණයට නගමින් ඈ නොමැති කල දැනෙන පාළුව සියුම් ලෙස සරල වදන් මාලාවක්‌ ඔස්‌සේ ගොඩනගමින් පාඨක සිත්හි ශෝක රසයක්‌ උපදවීමට සමත් වේ. මෙවන් අත්දැකීමක්‌ පැවසීමට වඩාත් උචිත ආකෘතිය සිව්පද ආකෘතිය බව පාඨකයනට ඒත්තු යයි. මියගිය දුවගේ සිනාව තුළ කවියාගේ මතකය පිබිදේ. කොළඹ යුගයේ බොහෝ කවීන්ගේ පද්‍ය කාව්‍ය තුළ මෙවැනි අත්දැකීම් රැගත් නිර්මාණ ඇත ද දුවගේ සිනාව නිර්මාණය ඒවාට වඩා වෙනස්‌ මුහුණුවරක්‌ ගන්නේ කවියා භාවාතිශය නොවී, සංයමයෙන් යුතුව තම අත්දැකීම ගොඩනංවා ඇති බැවිනි. දියණිය නොමැති මොහොතෙහි සිහිපත් වන ඇගේ කිරිකැටි සිනහව ඔස්‌සේ හඬා වැළපීමට තැත් නොකරන ඔහු තම හදවතෙහි මෝදු වූ ශෝකය විඳ දරා ගැනීමට වෙරදරයි. තම ජීවිතයට සමීප වූ චරිතද්වයකින් වියෝවන්නට සිදුවීම සාමාන්‍ය දුකක්‌ විඳ දරා ගැනීමට වඩා දුෂ්කර හා අපහසු කර්තව්‍යයකි. විශේෂයෙන්ම තම ලෙයින් ලොව ජනිත වූ දියණියකගේ වෙන්වීම, ජීවිතයේ යථා ස්‌වභාවය, අනිත්‍ය යයි කල්පනා කොට විඳ දරා ගැනීම කෙතරම් අසීරුදැයි කුමාරගම කවියා විසින් නිර්මිත පියාගේ ශෝකය මගින් අපට පහදා දේ. ඔහු ඒ තනිකමකින්, තවත් තනිකමකට එක්‌වී සිටිනවා නොවේද යන සිතිවිල්ල සමඟ පාඨක අපගේ සිත්හි ද ඔහු පිළිබඳ ශෝකයක්‌ උපදී. අනුකම්පාවක්‌ මතු වේ. ඔහුගේ සෝකය අප විසින් ද බෙදාගත යුතු යෑයි යන හැඟීම අප සිත්හි ජනිත වේ. කවියාගේ දුවගේ සිනාව අපගේ සිත්හිද පිළිබිඹු වෙමින් ඈ පිළිබඳ ස්‌නේහයකින් අප සිත් පුරවාලයි.

බුද්ධදාස ගලප්පත්ති

Twins from Lyceum, Achieve a new World Record

Twins from Lyceum International School achieve a new World Record at the OCPJP Examination



Twelve year old twins , Senuri Siribaddana and Thenuri Siribaddana, students of Lyceum International School, Nugegoda, have won the ORACLE JAVA Programmer (OCPJP) award .
This is the most recognised American examination in software Engineering Technology.
Thenuri Siribaddana was awarded 94% marks and Senuri Siribaddana , 88% marks.
They are the youngest ever award winners of this examination.


The OCPJP examination is held to test the professionals experience and knowledge in the JAVA Programming Language .Most candidates are professionals with several years of experience in the IT industry.

Photograph: 
Thenuri Siribaddana(Left), Senuri Siribaddana(Right), 
Ms. Wenuri Hettiarachchi The Principal of Lyceum International School, Nugegoda.

The Sunday Times