ජපානයේ මුරසකි ෂිකිබු
“මම ආභාසය එනතෙක් බලා නොසිටින්නෙමි. ඔබ එසේ සිටියොත් ඔබට කිසිවක් කරකියා ගත හැකි නොවේ. තමා ක්‍රියාකාරීවන්නට ඕනෑ යැයි කියන හැඟීම, ඔබගේ මනසට දැනෙන්නට ඕනෑ ය.”
පර්ල් එස්. බක් (1892 – 1973)
සියවස් තිස් - හතළිස් ගණනකට පෙර පටන් ම, මිනිසා කතා නිර්මාණය කරන්නට පුරුදුව සිටියේ ය. ඒවායින් බොහොමයක් ජන කතා ය. නො එසේ නම් පරපුරෙන් පරපුරට ගෙනෙනු ලබන, මිථ්‍යා ප්‍රවාද, දේව කතා, සුරංගනා කතා ආදියයි. ලෝකයේ ප්‍රභවය පිළිබඳ විචිත්‍ර නිර්මාණශීලී කතාන්තර, ලොව බොහෝ ජන කණ්ඩායම් සතුව ඇත.
මෙයට අවුරුදු 4000 කට පමණ පෙර, බැබිලෝනියා මහා රාජ්‍යයේ, ‘ගිල්ගමේෂ්’ නම් ප්‍රබල මහා කාව්‍යයක් නිර්මාණය වී තිබිණි. එහි වීරයා වූයේ ගිල්ගමේෂ් නමැති සුමේරියානු අධිරාජයායි. එහි අන්තර්ගතය වන්නේ, අමරණීයත්වයේ රහස සොයා, ඒ අධිරාජයා විසින් කරන ලද වීර චාරිකාවයි. මෙහි ඇතැම් කොටස් අද පවා ඉතිරිව පවතී.
පංචතන්ත්‍ර, හිතෝපෙද්ශ ආදී කථා සංග්‍රහයන්හි එකතු වී තිබෙන්නේ පැරණි ලෝකයේ ප්‍රබල සංචාරක කණ්ඩායම් දෙකක් වන, ප්‍රබල ජාත්‍යන්තර වෙළෙඳ ජනයාත්, ජනතාවට බණ - දහම් දෙසමින් දේශ දේශාන්තරයන්හි සැරි සැරූ, විවිධ පූජක වර්ගයාත්, සිය අධ්‍යයනයන්හිදී ලබාගත් මහා අත්දැකීම් සම්භාරයේ ප්‍රතිඵලයි.
ඊසොප් ගේ උපමා කතා පවා, ජනශ්‍රැතිවලින් උකහා ගන්නා ලද ආදර්ශ ප්‍රවාදයි.
නවකතා, ප්‍රබන්ධ කතා, ආදී නම් වලින් හැඳින්වෙන නිර්මාණ, ඊට හාත් පසින් ම වෙනස් ය.
ඒ නිර්මාණවල අතිශයින් ම මූලික ලක්ෂණය නම් නවමු බවයි. ඒවා නව නිර්මාණ විය යුතු ය. ඓතිහාසික සිද්ධි හෝ පුද්ගලයන් හෝ ආශ්‍රිතව නිෙවසක වුව ද, ඒවා වංශ කතා හෝ පුරාණෝක්ති නොවේ. ඒ ආකාරයේ රචනා යම්කිසි ලේඛකයෙකුගේ පුද්ගලික නිර්මාණශීලී දර්ශනයෙන් බිහිවන කෘතියි. ඒවා බොහෝ විට නිර්මාණය වන්නේ ගද්‍ය ශෛලියෙනි. එහෙත් ගද්‍ය - පද්‍ය සම්මිශ්‍රිත ‘චම්පු’ ශෛලියෙන් කළ නවකතාද, ඉඳහිට නිර්මාණය වේ.
අපගේ ශ්‍රී ලාංකේය සාහිත්‍යලෝලීන්, නවකතා, ප්‍රබන්ධකතා වශයෙන්, බොහෝවිට දකින්නේ අපරදිග ලෝකයෙන් බිහිවූ මහා නිර්මාණ පද්ධතියයි. මෙතෙක්, ලොව පහළ ශ්‍රේෂ්ඨතම ප්‍රබන්ධ කතාව වශයෙන් සම්මානයට පාත්‍රවන්නේ, රුසියාවේ ලියෝ ටොල්ස්ටෝයි (1828 – 1910) විසින් විරචිත ‘වෝර් ඇන්ඩ් පීස්’ (යුද්ධය හා සාමය) නම් ප්‍රබල ප්‍රබන්ධ කතාවයි. ඉංගිරිසි ලේඛක චාල්ස් ඩිකන්ස්ගේ අ ටේල් ඔෆ් ටූ සිටීස් (දෙනුවර අන්දරය), ඔලිවර් ට්විස්ට් ආදී නවකතා උපරිම ජනාදරය දිනූ ජගත් නිර්මාන වශයෙන් ඉතිහාස ගත ව සිටී.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අර්නස්ට් හෙමිංවේ (1899 – 1961) සිය කෘති උදෙසා, නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇතුළු උසස් තිළිණ සම්භාරයත් දිනූ ප්‍රබන්ධ කතා, කලාකාරයෙකි. ෆෝ හූම් ද බෙල් ටෝල්ස්, ද ඕල්ඩ් මෑන් ඇන් ද සී ආදී කෘති ඔහුගේ විශිෂ්ට නිර්මාණ අතර වෙතියි ෆ්ලෝබෙයා, වික්ටර් හියුගෝ, ගී ද මෝ පසාං ආදී ප්‍රංස ලේඛකයෝ ප්‍රබන්ධ කතා සම්ප්‍රදාය බැබළුවා ලූහ. විඥානධාරා ශෛලිය ලොවට හඳුන්වා දුන්, අයිරිස් ජාතික ලේඛක ෙජ්ම්ස් ජොයිස් වැන්නෝ ප්‍රබන්ධ කතා නිර්මාණයන්හි නිම් වළලු පුළුල් කළහ. පෙරදිග, චීන ජපන් ආදී භාෂාවන්හිත්, විශිෂ්ට ප්‍රබන්ධකතා කලාකාරයෝ වැජඹුණි.
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථම ජපන් ජාතික ලේඛකයා වූ යසුනාරි කවබාතා (1899 – 1972), ලාලිත්‍යවත්, සරල ප්‍රබන්ධ කතා ශෛලියක් ලොවට හඳුන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේත් කීර්තිධර නවකතා කලාකාරයෝ බිහිවූහ.
සිය නිජ සංස්කෘතියෙන් බැහැරව, මුල්සුන් චරිත මෙන්, මුළු ලොවම සිය නිවෙස කොටගත්, එහෙත් ස්ථිර සංස්කෘතික පදනමක් නැති, ඩයස්පෝරික ලේඛකයෝත්, අද ලොවට ඉතා ප්‍රබල ප්‍රබන්ධ කතා සම්ප්‍රදායයක් තිළිණ කොට දෙති. ජගත්, අවධානයට පත් නොවූ අප්‍රිකානු ප්‍රදේශවල ලේඛකයෝත් අද සිය අත්දැකීම් මාලාව ලොවට දෙන්නට, ප්‍රබන්ධ කතා ශෛලියේ පිහිට සොයති.
මේ දිගු ප්‍රබන්ධ කතා සම්ප්‍රදායයෙහි බ්‍රිතාන්‍ය ජාතික ජේන් ඕස්ටින් (1875 – 1812) වැනි ප්‍රබන්ධ කතා කලාකාරී ලේඛිකාවෝත් පහළ වූහ.
මේ පූර්විකා පාඨ කිහිපය ඉදිරිපත් කළේ, සාහිත්‍යකාමී බොහෝ දෙනා තුළ අපූරු විස්මයක් දනවන, සාහිත්‍ය ඉතිහාස ප්‍රවෘත්තියක් අනාවරණය කරනු පිණිසයි.
අද ලොව, විවිධ භාෂාවලින් වසරකට ප්‍රබන්ධකතා පනස් දහසක් පමණ ප්‍රකාශවේ. මේවා නවකතා (Novels), කෙටි නවකතා (novella) ප්‍රබන්ධ කතා (fiction) කෙටි ප්‍රබන්ධ (short fiction) ආදී විවිධ නම්වලින් ප්‍රකාශ වේ.
එහෙත්, ප්‍රබන්ධ කතා නම් වූ මේ මහා සාහිත්‍යයික නිර්මාණ ප්‍රවාහය, ප්‍රභවය වූයේ කවදාද? කොතැනද? මේ මහා සම්ප්‍රදාය , ජගත් උරුමයට තිළිණ කරන ලද්දේ කා විසින්ද?
සාහිත්‍ය ඉතිහාස විද්‍යාඥයන්ගේත්, සම්භාවනීය ජගත් විචාරකයන්ගේත්, ඒකමතික තීරණයක් වෙයි.
ඒ අනුව, මේ උදාර සාහිත්‍ය සම්ප්‍රදාය වන නවකතා කලාව, ප්‍රථමයෙන් ලොවට පිරිනමන ලද්දේ ජපානය විසිනි. ලෝකයේ ප්‍රථම ප්‍රබන්ධකතා නිබන්ධය - ජගත් සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රථම නවකතාව - ලියන ලද්දේ මුරසකි ෂිකිබු නම් කුලීන ජපාන ලේඛිකාව විසිනි.
සෑම සිතකටම, හැම හදවතකටම, සුහද ආස්වාදයක් සපයමින්, දිගු කලක් මුළුල්ලේ ලෝක සාහිත්‍යාම්බරය එකලු කරන, මේ නවකතා කලාව හාපුරා කියා, ජගත් ජනමණ්ඩලයට පිරිනැමීමේ ගෞරවය පිරිනැමෙන්නේ මුරසකි ෂිකිබු නම් ඒ ජපන් ලේඛිකාවටය.
මේ මුරසකි ලේඛිකාව, ජපානයේ හෙයි - අන් රජ පෙළපතේ පාලන සමයයෙනි. රාජ සභාවේ නියුක්තව සිටි කුලීන කාන්තාවකි. ෂිකිබු යන ගරු පදයෙහි අරුත ආර්යාව යන්නයි. ඓතිහාසික වාර්තාවලට අනුව, එතුමිය ජීවත්වූයේ ක්‍රිස්තු වර්ෂ 978 – 1031 අතර කාල පරිච්ඡේදයේයි.
මානව සාහිත්‍ය වංශයේ ප්‍රථම නවකතාව වශයෙන් සැලකෙන එතුමියගේ නිර්මාණය නම් කෙරෙන්නේ ‘ගෙන්ජි මොනොගතරි’ වශයෙනි. (සිංහල අරුත: ගෙන්ජි කතාව - ගෙන්ජි වස්තුව)
එතුමිය ගත කළේ කෙටි ජීවන සමයකි. අවුරුදු පනස් තුනකි. එහෙත් ඒ කෙටි ආයු කාලය තුළ, මුරසකි ආර්යාව, සිය අසහාය නිර්මාණශීලී ප්‍රවීණත්වය, විචක්ෂණ ලෙස මෙහෙයවා, මානව සමාජයේ නිබන්ධ සම්ප්‍රදායයෙහි, කිසි කලෙක අමතක නොවන, විශිෂ්ට පුරෝගාමී කෘතියක්, ජගත් ජන මණ්ඩලයට පිරිනැමුවා ය.
ජපානයේ, රාජකීයයෝත්, කුලීනයෝත්, අතිශයින් විශිෂ්ට චාරිත්‍ර - වාරිත්‍ර රටාවක් අනුව දිවි පෙවෙත හැඩගස්වා ගත්තෝ වූහ.
චමත්කාර සෞන්දර්ය ඉහළ තන්හිලා සැලකූ ඔවුහු, ඉතා සුළු චර්යාවකදී වුව ද සිය කුලීන ශික්ෂණය ප්‍රදර්ශනය කළහ.
උසස් මැඳුරක, ඉතා සිනිඳු බිමේ, යන්තමින් ගැටෙන සේද ඇඳුමක සිහින් හඬට පවා, ඒ කුලීනයෝ සංවේදී වූහ.
මුරසකි ආර්යාව, සිය ගෙන්ජි වස්තුවට තේමා කොට ගත්තේ, සමකාලීන රාජ සභා ආශ්‍රිතව පැවති, සුවිශිෂ්ට, චමත්කාරයට නැඹුරු, සූක්ෂ්ම චාරිත්‍ර - වාරිත්‍ර රටාවෙන් ශික්ෂණය ලද අතිකුලීන ජීවන රටාවයි. මුරසකි කාන්තාව, ඒ උදාර කුලීන ජීවන රටාව, ලාලිත්වයෙන් සටහන් කරන ගමන් ම, ඒ හා සමඟ සිය සන්තානයෙහි උද්ගතවන චින්තන ධාරා ද විචිත්‍ර ගද්‍යයෙන් වාර්තා කළා ය. ලොව ප්‍රථම නවකතාව, ලොවට පිරිනැමීමේදී මුරසකි ආර්යාව, ව්‍යක්ත ආකෘතියක් භාවිත කළා ය. එතුමිය සිය කතාව කියා ගෙන යන්නේ කථකයෙකුගේ මඟිනි. ගෙන්ජි වස්තුව පෙදෙස් පෙද දිග හැරෙන්නේ, කථිකයා විසින් කරනු ලබන ප්‍රවාදයෙක විලාසයෙනි.
මුරසකි ආර්යාව සිය කතාව කියාගෙන යන්නේ, එතෙක් ජපන් සාහිත්‍ය සම්ප්‍රදායයේ මුල් බැසගෙන තිබුණු, දේවකතා, මිථ්‍යා විශ්වාස ආදියෙන් සහමුලින් ම බැහැරව, අත්‍යයන්තයෙන් ම තාත්වික තේමාවක් පදනම් කොටගෙනයි. මෙසේ, එය, සම්ප්‍රදායය ඉවත්කොට, එදිනෙදා දිවි පෙවෙත ප්‍රස්තුත කොට නිර්මාණයක් වීම නිසා ගෙන්ජි මොනොගතරි ලෝකයේ ප්‍රථම තාත්වික නවකතාව බවට පත්විය.
මුරසකි ආර්යාව විසින් ගෙන්ජි මොනොගතරි නිර්මාණය කරන ලද්දේ 1008 දී ය. එනිසා අදට එහි වයස අවුරුදු 1008 කි. ගෙන්ජි මොනොගතරිය ලියන ලද්දේ ශ්‍රී ලංකාවේ පස්වැනි මිහිඳු රජුගේ පාලනය පැවැති සමයෙදීය.
ලොව ප්‍රථම නවකතාවේ තේමාව, ගැඹුරු දෝමනස්සයකට බර, දර්ශනවාදී චින්තනයකි.
එතුමියගේ තේමා සංකල්පය මෙසේ ය:
“කාලය සිත් - පිත් නැති ආඥාදායකයෙකි. ඒ හේතු කොට අතිසෞන්දර්යාත්මක ප්‍රේමය අනිවාර්යයෙන් ම දුක්බර ය.”
මෙය බුදු හිමියන්ගේ පේමතෝ ජායතී සෝකෝ යන සනාතනික දහම් පදයට බොහෝ සේ සමානය. මේ ලොව මුල් ම කතාවට පදනම සපයන තේමාව ජීවිතය අනියතැයි කතාවේ දී, මුරසකි ආර්යාව, ජීවිතය දුකින් පිරුණෙයැයි යන අදහස දක්වන්නේ මොහො නො අවාරේ’ යන ජපාන පාඨයෙනි.
එදිනෙදා දිවි පෙවෙතින් ඉතා ම ඈත් වූ, අධි කුලීන, රාජකීය ජීවන රටාවක ගැලී සිටිමින් ම, ලෝකයේත් ලෝකයාගේත් යථා තත්ත්වය, ඇති සැටියේ දකින්නට මුරසකි කාන්තාව සමත් වූයේ, ඇයගේ ගැඹුරු අාධ්‍යාත්මික ශික්ෂණය නිසා ය.
ඇයගේ නවකතාවේ මුඛ්‍ය චරිතය ගෙන්ජි කුමාරයායි. ගෙන්ජි යනු බැබළෙන යන අරුත් සහිතයි. මානව ජීවය වසාගෙන පැතිරෙන අනියත බවෙන් මිදෙන්නට මේ පැතිරෙන අනියත බවෙත් මිදෙන්නට, මේ බැබළෙන කුමාරයාගේ චරිතය පිහිට වන්නේ යැයි මුරසකි ආර්යාව සිතුවා වැන්න. ඇය විසින් ගෙන්ජි කුමරුගේ චරිතය මවනු ලබන්නේ කායික සුරූපිබවින්, අගතැන්පත්, එයට සරිලන උදාර චර්යා ධර්මවලින් අලංකෘත, ඒ එක්කම මානව භක්තියෙන් පරිපූර්ණ මෙත් කරුණා ගුණෙන් පෝෂිත, රාජ වංශික, සනාතන මානව මූර්තියක් හැටියටයි; අනියත ලොවක, ස්ථාවර වස්තුවක් ලෙසයි.
හෙයි - අන් රජ පෙළපත, ගෙන්ජි වස්තුවේ පසුබිමයි. එය පෙම් සබඳතා අතිශයින් බහුල ලෙස පැවති යුගයකි. එසේ වුව ද, එදා කුලීන කාන්තාවනගේ ඉරණම වූයේ තිරයකට මුවාවී සිටීමයි.
මුරසකි ෂිකිබි සිය නවකතාව කළේ ස්ථාවර රාජපාලන බලය තහවුරුව පැවති සමයක වුව ද, ඇය එහිදී සනාතනික මානව හර පද්ධති හුවාලූවාය. ඒ නිසා ම, ඇයගේ පුරෝගාමී නවකතාව, සනාතනිකවම මානව හදවත් අමතයි. ඇයගේ මේ දර්ශනයේ ප්‍රතිඵලය නම්, මුරසකි ආර්යාවගේ නවකතාව, ප්‍රබල අකාලික මානව ප්‍රකාශනයක් බවට පත්වීමයි. සමකාලීන ජපාන සමාජයේ අධිකුලීන ජීවන රටාවක් ආශ්‍රිතව විසූ වද, මුරසකි තිබූ විප්ලවීය චරිතයකි. එදා උසස් ජපන් සමාජයේ විශිෂ්ටයන්ගේ භාෂාව වූයේ චීන බසයි. එහෙත්, කුලීන පවුල්වල කාන්තාවනට චීන බස තහනම් විය. එසේ වුව ද විශිෂ්ට උගතෙකුගේ දියණිය වූ මුරසකි, කුඩා කල පටන් ම චීන භාෂාව හැදෑරුවා ය.
එදා කුලීන ජපන් කාන්තාවනට, සම්මත චාරිත්‍ර - වාරිත්‍ර මඟින් එතරම් ස්වාධීනත්වයක් නිදහසක් නොලැබුණ ද, මුරසකි කාන්තාව තරමක නිදහසක් භුක්ති විඳි කුලීන ජපන් යුවතියක් වූවාය.
මුරසකි යුවතිය, විවාහ වූයේ අධිරාජයාගේ පාලන සේවයේ යෙදුණු කුලීනයෙකු හා සමඟය. ජනකාන්ත ඇඳුමට - පැලඳුමට ප්‍රිය කළ ඒ නිලධාරියා නැටුමෙහි හසළයෙක් විය. ඔහු බහුල වශයෙන් ප්‍රේම සම්බන්ධතා පැවැත්වූයේ ය. ඉසුරුමත් ජන ප්‍රභූවරයෙක් විය. ඔහුගේ අභාවයෙන් පසුව, මුරසකි ෂිකිබු, ඉතා බොහෝ සේ කලාවට - සෞන්දර්යයට නැඹුරු වූවා ය.
මුරසකි ආර්යාවට මේ ගෙන්ජි වස්තුව රචනා කරන්නට ආභාසය ලැබුණු ආකාරය, ජනශ්‍රැතියෙන් කියැවෙයි. එතුමිය කලක් ‘බිවා’ නම් වැව අසබඩ නිකේතනයක විවේක සුවයෙන් පසුවූවා ය. එහිදී එක් අගෝස්තු රැයක, ඈ සරත් සඳ ලෙස බලා සිටියාය.
ගෙන්ජි කතාව, ඇයගේ සන්තානගත වූයේ, එසේ එතුමිය සරත් සඳ ලෙස බලා සිටිද්දී යැයි ජනශ්‍රැතියෙන් ප්‍රකාශ වේ.
මුරසකි ආර්යාව සිය ගෙන්ජි වස්තුව ලියූවේ කොටස් වශයෙනි. ඒ කොටස්, එතුමිය සිය යෙහෙළියන්ට යැව්වාය. යෙහෙළියෝත්, ඒ කොටස් පිටපත් කොට බෙදා හැරියහ. මෙසේ ගෙන්ජි මොනොගතරිය සමකාලීන සාහිත්‍ය ලෝලීන් අතර ඉක්මනින් ම ජනප්‍රිය විය.
මුරසකි ආර්යාවට ෂෝශි අධිරාජිනියගේ පාලන සමයයෙහි දී, අතිවිශිෂ්ට ස්ථානයක් හිමි වූයේ ය.
එහෙත්, ඇය අධිරාජිනියගේ සේවයෙන් විශ්‍රාම ගෙන, ආධ්‍යාත්මික තැන්පත් බව ලබමින් වැව ආශ්‍රිතව වාසය කළේ තපෝ ව්‍රතයක යෙදෙන්නාක් මෙනි.
ඇය විසින් මානව වංශයට පිරිනමන ලද ගෙන්ජි වස්තුව ලෝකයේ පුරෝගාමී නවකතාව වූයේ ය. එහි පරිච්ඡේද 54 කි. කොටස් තුනකි. පිටු සංඛ්‍යාව 1100 කි. ගෙන්ජි කතා ලියා නිම කරන්නට, ඇයට අවුරුදු දහයක් ගත විය.
ඇයගේ පොත ලියන්නට අවශ්‍ය වටනා කඩදාසි හා තීන්ත සම්පාදනය කිරීමෙන් මිචිනාගා නම් කුලීන ප්‍රභූවරයා ද ඉතිහාසයට එක්වූයේ ය.
ඇය සිය නවකතාව උදෙසා නිර්මිත ගෙන්ජි කුමරු (බැබළෙන කුමාරයා) සිය පෙම්වතියන්ගේ බාහිර ආටෝපය පමණක් නොව, අභ්‍යන්තර ශෝභාව ද අගය කරයි. ඒ බැබළෙන කුමරා, යථාතත්ත්වවාදී ලෙස ලොව බලමින් ජීවිතයේ ක්ෂණ භංගුරත්වය ප්‍රත්‍යක්ෂ කොට ගනී.
එසේ ගෙන්ජි කුමරු ‘ආධ්‍යාත්මික වීරයෙක් ද’ වන්නේ ය.
ජපානයේ බොහෝ චිත්‍ර ශිල්පීහු සියවස් ගණනක් මුළුල්ලේ සිට ගෙන්ජි නවකතාව, සම්භාව්‍ය චිත්‍ර බවට පරිවර්තනය කරති. ගෙන්ජි කතාව ජපානයේ ජනජීවිතයේ අංග බවට පත්ව තිබෙන්නේ විවිධාකාරවලිනි. මුරසකි ආර්යාව, ජනවීරවරියක බවට පත්ව සිටී.
මුරසකි උපත ලැබුවේ ජපානයේ කියෝතෝ නගරයෙහි ය. ඇයගේ නවකතාවට දහස් වස පිරුණ අවස්ථාවේ, කියෝතෝ නගරයේ වසරක් පුරා උත්සව පැවැත්වෙයි.
මුරසකි ආර්යාවට පිදෙන ජාතික ගෞරවය, පිළිබිඹු කරමින්, ජපානයේ ප්‍රථමයෙන් ප්‍රකාශිත දෙදහසේ මුදල් නෝට්ටුවේ මුරසකි ආර්යාවගේ ගෙන්ජි කතාව නිරූපණය වෙයි.
මුරසකි ආර්යාවගේ ප්‍රතිමා නොයෙක් තැන්වල ඉදිකර තිබේ.
සාහිත්‍යය පිළිබඳ නව අවබෝධයක් බලා ගමන් කරන ශ්‍රී ලංකාවේ අප විසින්, මුරසකි ආර්යාවගේ චරිත කතා ඉතා ගැඹුරින් හැදෑරිය යුතුවේ.
ලේඛක ගෞරවය ඉහළ ස්ථානයක තබා සලකන ජපානයේ ආදර්ශය, ශ්‍රී ලංකාවට ද පාඩමක් විය යුතු ය.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි