V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Tuesday, July 29, 2014

ඇවිදින පඹයා

ඇවිදින පඹයා

හිරුෂගෙ ගෙදර තියෙන්නේ පුංචි කඳු ගැට‍යක් ළඟ. ගේ වටේට විශාල කුඹුරු යායක් තියෙනවා. ඈතට පෙනෙන්නේ නිල් ත‍ණකොළ පිට්ටනියක් වගේ. හිරුෂ ගේ ගෙදරට පහළින් කුඹුරුයාය වැඩ කරන්නේ හිරුෂගෙ ලොකු අත්තා. පාසලේ නිවාඩු දවස්වල හිරුෂ ලොකු අත්තගෙ කුඹුරේ වැඩට උදවු වෙනවා.
කුඹුරේ ගොයම් කරල් පැහෙන කාලයට කුරුල්ලන්ගෙන් සහ වෙනත් සතුන් ගෙන් කරදරයි. මේ අය හැම වෙලාවෙම ගොයම් කරල් කකා යනවා. ඒ නිසා ලොකු අත්තා හිරුෂ උදවු කරගෙන පඹයෙක් හදන්ට ලෑස්ති වුණා. ලොකු අත්තා ශක්තිමත් ලී දෙකක් ගෙන කුරුසය වගෙ තබා ලණුවකින් තදට ගැට ගැසුවා. පසුව පිදුරුවලින් අත් කකුල් හොඳින් ඔතලා පැත්තකින් තබා මුට්ටියක් ගෙන ඇස්, නහය, කට රට හුණුවලින් ඇඳල හිස හැදුවා‍.
ඉන්පසුව සරමක් කමිසයක් අන්දවල පඹයා හදලා ඉවර ‍කරලා කුඹුර මැද හිටවලා තියෙන කොට මිනිහෙක් හිටගෙන ඉන්නවා වගෙ හිරුෂට පෙනුණා. හිරුෂට සතුටක් ඇති වුණා ලොකු අත්තට උදව් කරන්ට ලැබුණ නිසා.
හිරු බැසගෙන යන හැන්දෑවෙ හිරුෂ යාළුවෝ සමඟ කුඹුරේ නියරවල් දිගේ එහාට මෙහාට දුව පැන සෙල්ලම් කර කර හිටියා. හිරුෂ ඈත බලාගෙන දුවන කොට නියර දිගේ පඹයෙක් ඇවිදිනවා දැක්කා‍.
හිරුෂ ඇවිදින පඹයා‍ දිහා පුදුමයෙන් බලා සිට යාළුවන්ට අඬගහල පෙන්නුවා. ඒ අයත් පුදුම වුණා.
යාළුවෝ ටික කෑ ගසනවා ටොමියාත් බුර බුරා ඈතට දුවනවා. පඹයාත් ඉක්මනින් ඇවිදිනවා.
හැන්දෑ වෙලා නිසා හිරුෂට සහ යාළුවන්ට බයකුත් හිතුණා. හිරුෂ ගෙදරට දුවගෙන ගිහින් පඹයෙක් ඇවිදිනවා කියල ලොකු අත්තට කීවා. ලොකු අත්තා ටිකක් වෙලා කල්පනා කරල “හරි අපි ගිහින් බලමු” කියල කුඹුර පැත්තට ගියා “ඇත්ත තමයි” පඹයා ළඟට ගිහින් උඩ ඉඳල පහතට හොඳට බැලුවා. මෙන්න සරම යටින් පුංචි කකුල් දෙකක් පෙනෙනවා. ලොකු අත්තට තේරුණා වැඩේ මොකක්ද කියල. අල්ලපු ගෙදර සඳුන් ඊට ඉස්සර දවසක් පඹයෙක් හදන හැටි අහගත්තා‍. ලොකු අත්තා හිනා වෙලා පඹයාගේ ඔළුවේ මුට්ටිය ගැලෙව්වා.
“හරි මේ සඳුන් තමා” හැමෝටම හිනා ගියා.
“කුරුල්ලෝ සහ සත්තු බය කරන්ට මටත් හිතුණා. ඒ නිසා පඹයෙක් වගේ ලෑස්ති වෙලා ඇවිදින්න හිතුණා.”
“මම කරපු දේට රැවටුණු යාළුවෝ බය වුණා” කියල සඳුන් හයියෙන් හිනාවෙලා ගෙදර දිව්වා.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ

“මගේ චූටි කිරියං”

ජනප්‍රිය කාන්තා පාසලක් රටට දායාද කළ ‘චූටි කිරියං’

පියා කරන කියන දේ පිළිබඳ චූටි කිරියං නොවිසිලිමත්ව බැලුවා ය.
“කෝ... කෝ... මගේ චූටි කිරියං”
තාත්තා අඬ ගැසූ සැණින් ඇය දුවගෙන ආවා ය. බහ තෝරන වයසේ ම චූටි කිරියට ගේ දස්කම් හඳුනාගත් පියා ඇයට නිසි මඟ පෙන්වූවේ ය. පියා හුරුපුරුදු ගොවිතැනේ යෙදෙයි. අම්මා ගේ දොර වැඩපළෙහි යෙදෙයි. වැඩිමහල් සොයුරු සොයුරියන්ගේ සහය ඔවුන්ට නොඅඩුව ලැබෙයි. චූටි කිරියං තවමත් චූටිය දඟකාර රුවැති මේ පුංචි දැරිය කවුරුන් වේද? ඇගේ සිනා හඬ නිසා මුළු නිවසම ආලෝකවත් වෙයි. නිවසට ආගිය සියලු දෙනා ගේ සිත් ගැනීමට ඇයට ගත වූයේ කෙටි කාලයකි. දින දින ගෙවී ගිය දවස් චූටි කිරියං ගේ ජීවිතයට අලුත් දේ එක් කළේ නිරායාසයෙනි.
කවුද මේ චූටි කිරියං අපි ඇය සොයා ඇගේ නිවසට ගියෙමු. කාලය කෙතරම් ගෙවී ගොස් ඇත්ද? ඒ චූටි කිරියං දැන් මිත්තණියකි. ඇයට දිරියක් වූ මවුපියන්ගේ සේයාරුව පමණක් ඉතිරිව තිබුණි. කඩිසරව එහාට මෙහාට ගිය ඇය අප අත පොතක් තැබුවා ය.
“මේ මොකක්ද?”
“ආ... මේ තමයි චූටි කිරියං.”
එදා චූටි කිරියං අද කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විදුහලේ ආරම්භක විදුහල්පති නිසයි. ඇගේ මුවින් නැඟී ආ අතීත මතක සටහන් අප ඔබේ දැන ගැනීමට මෙලෙස ලියමු‍. ඒ ඇය කාන්තාවක් බැවිනි. නෑ බෑ ඇගේ ලෝකයේ නොතිබුණ බැවිනි.
“මගේ නම අමරා ආර්යවංශ, මං විවාහ වුණාට පස්සේ තමයි වික්‍රමසිංහ වුණේ. මගේ පවුලේ අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි. මං තමයි බඩපිස්සි තාත්තා ආදරයට කිව්වේ චූටි කිරියං කියලා. එදා ඉඳලා මං චූටි කිරියං වුණා.
“මං අක්කලා දෙන්නා යන හින්දා පිටියෙ ගෙදර බාලිකාවට ගියා. එතකොට මගේ වයස සම්පූර්ණ නැහැ. 1929 අගෝස්තු 4 තමයි මං ඉපදුණේ. අක්කලත් එක්ක මං ඉස්කෝලෙ යන කොට මගේ වයස අවුරුදු 3 යි. අයියලා ගියේ බෙම්මුල්ලේ විද්‍යාලයට. දෙහිඕවිට තමයි අපි හිටියේ. පස්සේ තමයි බෙම්මුල්ලට ආවේ. මං සිංහලෙන් ඉගෙන ගත්තට පස්සේ ලෝරන්ස් කොලෙජ් එකේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා. මං එස්.එස්.සී. කළේ ඉංග්‍රිසියෙන්. එච්.එස්.සී. නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට ලිව්වා. මං හොඳට පාස් වුණා. මේ අතරතුරේ මං ගුරු සේවයට ඉල්ලුවා. මගේ පළමු පාසල කෑගල්ලේ අරණායක බාලිකා විදුහල. මං ඒ ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගැන්නුවා.
1949 ගම්පහ රත්නාවලී විදුහලට ආවා. ඊට පස්සේ ගලපිටමඩ විද්‍යාලයට යන්න අවස්ථාව සැලැසුණා. ඊට පස්සේ වේරහැර පිරිමි විද්‍යාලයට මාරුවුණා. මේ අතරතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල ඩිප්ලෝමාවක් කරන්න අවස්ථාව සැලැසුණා. 1955 - 1957 දක්වා පේරාදෙණියේ හිටියා. මට මතකයි මං සරච්චන්ද්‍ර මහත්තයාගේ මනමේ සිංහබාහුවල පවා සිංදු කිව්වා. ආ... මට කියන්න බැරි වුණා. මට තිබුණේ ලන්ඩන් උපාධියක්. අද වගේ ඒකාලේ අයට බහුලව උපාධි තිබුණේ නැහැ” ඇය මතකය අවදි කරයි.
මං පේර‍ාදෙණියේ සිංහල ඩිප්ලෝමා එකෙන් පස්සේ දැදිගමුවේ විද්‍යාලයට ඊට පස්සේ දෙහිවල සෙන්ට්‍රල් එකටත් ආවා.”
“1958 දී මං විවාහ වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවා කමිටුවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වීරවංශ වික්‍රමසිංහ මහත්තයා එක්ක. එයාගේ නම වික්‍රමසිංහ, දෙහිවල සෙන්ට්‍රල් එකට ගියේ බෙම්මුල්ලෙ ඉඳලා මේ කාලෙදී ඒ කියන්නේ 1959 දී ලොකු දුව හම්බු වුණා. මට දුවලා තුන් දෙනයි එක පුතයි තමයි මට ඉන්නේ. ඔය අතරෙදි කැලණියේ ගුරු කුලයට මාරුවෙලා ආවා. පස්සේ මට විෂයමාලා මධ්‍යස්ථානයට තේරුණා. මට ප්‍රාථමික අධ්‍යාපන කමිටුවේ තමයි වැඩ කළේ. ලංකාව පුරාම ප්‍රාථමික ඉස්කෝලවලට ගියා. මේ කාලෙ තමයි “මුල් පෙළට පහන්වැට කියන පොත කළේ.”
මේ දිනවල තමයි කැලණියට ආර්.එස්. පෙරේරා ඇමැතිතුමා පත්වුණේ. එතුමාගේ අදහසක් තිබුණා. කිරිබත්ගොඩට බාලිකාවක් පිහිටුවන්න. මේ කාලේ පාඨශාලා පරීක්ෂක පියසේන මහත්තයා මේ ගැන උනන්දු වෙනවා. මට හරියටම දිනය මතකයි 1977.02.01 විහාර මහාදේවි බාලිකාව ආරම්භ කළා. එතකොට එතන මඩ ගොහොර.
මං හිටියේ අඩි 10, 20 පුංචි කාමරයක. ආර්.‍එස්. පෙ‍ෙර්රා මහත්තයාගේ අදහස තිබුණේ 06 න් ඉහළ ළමයි ඇතුළත් කරගන්න. එතකොට මං ඇහුවා. මල් වගේ පුංචි ළමයි හිටියොත් හොඳ ද? නැද්ද කියලා. ඒ නිසා තමයි ප්‍රාථමිකය ඇති වුණේ.‍ 1977 දරුවන් 105 ක් හිටියා. සුරංගනී තමයි මුලින් ලියාපදිංචි වුණ ළමයා. 1981 දී තමයි අ.පො.ස සා.පෙළ, ශිෂ්‍යත්වය අපේ පාසලේ ආරම්භ කළේ. මේ නිසා විශාල ප්‍රගතියක් තිබුණා.
එදා තාත්තාගේ අම්මාගේ හුරතලේට හැදුණු චූටි කිරියං අද රටක් පිළිගත් විශ්‍රාම ගිය විදුහල්පතිනියකි. ඇය කුඩා කල තමන්ගේ අනාගත සිහින වෙනුවෙන් පරිණත වූයේ කෙසේද? කිරිබත්ගොඩ විහාර මහාදේවි විදුහල ආරම්භ කිරීම මෙන් ම තම ජීවිතයේ අපේක්ෂිත ඉසව්වට ගමන් කළේ කුමන ලෙසින් ද යන්න චූටි කිරියං කියවීමෙන් ඔබට අත්දැකිය හැකි ය. ඇය ලියූ පොත මේ මස 29 වෙනිදා උදේ 9.30 කිරිබත්ගොඩ විහාර මහාදේවි විදුහලේදී දොරට වැඩීමට නියමිතය. ප්‍රධාන අමුත්තන් ලෙස ගේට් වේ විදුහලේ විදුහල්පති හර්ෂ අලස් මහතා සහ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂිකා ආචාර්ය කමලා ජේ. පීරිස් මෙනවිය සහභාගි වීමට නියමිතය.
චූටි කිරියං කියැවීමෙන් මේ කෘතහස්ත කාන්තාවගේ ජීවිත චරිතයෙන් ඔබටත් කිසියම් වූ ආදර්ශයක් ලබාගත හැකිවනු ඇත.

http://www.silumina.lk/2014/07/27/_art.asp?fn=as1407279

කුමාරතුංග මුනිදාස සිසුවරම

සිංහල බසට හපන්කම් පා ශිෂ්‍යත්ව දිනූ සිසුවියෝ

වෛද්‍යවරියන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිනියන් වීමට දරුවන් පොලඹවනවා හැරෙන්නට කවියෙකු කතාකරුවෙකු හෝ කලාකරුවෙකු වීමට දරුවන්ට යන මාවත පෙන්වීමට බහුතරයක් වූ දෙමාපියෝ අද කැමැති නොවෙති. බොහෝ විට දරුවන්ගේ ද ඉලක්කය එසේමය. එහෙත් බාල වියේ සිටම සිංහල භාෂාව කෙරෙහි ඇල්මකින් කටයුතු කරන්න පෙලෙඹුන දක්ෂ දරුවෝ ද අප අතර නැතිවාම නොවේ.
සාමාන්‍ය පෙළ විභාගයේ දී විෂයන් නවයටම ‘ඒ’ සාමාර්ථ නවයක් ගත් සිසුන් අතරින් සිංහල භාෂාවේ විශිෂ්ටයන් වූ සිසු සිසුවියන් ඇගයීම විශේෂයකි. මේ විශේෂිත වූ ඇගයීම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව කරනු ලබන්නේ කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය මඟිනි.
දෙදහස් දහතුන වසරේදී සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල භාෂාව සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාවන් දෙදෙනාට කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීම පසුගියදා සිදුකැරිණි.
“කුමාරතුංග මුනිදාස එකසිය විසිපස්වන ගුණ සමරු දවසේ තමයි අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ සහායත් ඇතිව සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාවට වැඩිම ලකුණු ගත් ශිෂ්‍යාවට හෝ ශිෂ්‍යයාට ශිෂ්‍යත්ව දීම ඇරැඹුවේ.
අපි මෙහිදී අරමුණු කළේ මේ දරුවන් උසස් පෙළ සඳහා කුමන විෂය ධාරාවක් හදාරනවා ද කියන එක නොවෙයි. අපට අවශ්‍ය වුණේ මේ දරුවන් සිංහල භාෂාව ඉගෙනීමෙන්, ඉහළම ලකුණු ලබාගැනීමෙන් ඒ පිළිබඳව උනන්දුවීමෙන් ලද කැපවීමත් අගය කිරීමයි. ඒ වගේම ඔවුන් තුළ යම් අභිමානයක් ඇති කිරීමයි.
මේ වන විට අප සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල විෂය සඳහා ඉහළ ලකුණු ලබාගත් දරුවන් හත්දෙනකු සඳහා අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබෙනවා. මෙම කටයුත්ත සඳහා අධ්‍යාපන අමාත්‍ය, අද දෙරණ හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව දායකත්වය දරනවා.” යනුවෙන් පවසන්නේ කුමාරතුංග මුනිදාස පදනමේ ගෙවිඳු කුමාරතුංග මහතාය.
මේ ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් පළමු වරට එනම් 2012 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ශිෂ්‍යත්වය ලැබුවේ මීගමුවේ නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයේ අයෝධ්‍යා රත්නායක සිසුවියයි. ඇය දෙදහස් එකොළහ වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියාය.
දෙදහස් දහතුනේ දී ‘කුමාරතුංග’ මුනිදාස සිසුවරම’ හිමිරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රීතිකා මහීපාල බණ්ඩාරනායක, ගාල්ල ධර්මාශෝක විද්‍යාලයේ තරිඳි උමයංගනා, ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ රන්දුලා උදානි කෝරලගේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ සුදාර රුමල් ගල්ගමුව යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝය.
සිංහල භාෂාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ඒ පිළිබඳ බොහෝ පොත පත ලියූ විද්‍යාර්ථීන් සඳහා දැනුම ලබාදීමට කටයුතු කළ මහා පඬිරුවනක් වන කුමාරතුංග මුනිදාස මහතා වෙනුවෙන් ඉදිරි පරම්පරාව සඳහා කරනු ලබන මේ සත් කාර්යයේ දී මෙවර ශිෂ්‍යත්ව හිමිකරගත් ශිෂ්‍යාවන් දෙදෙනෙකි.
‍ෙකාළඹ දේවි බාලිකා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනු ලබන අදිතා සංදීපනී ඉන් එක් ශිෂ්‍යාවකි.
“මම බාලාංශ පන්තියේ ඉඳලා ඉගෙන ගත්තේ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයේ. ශිෂ්‍යත්ව විභාගයේ දී මම ලකුණු එකසිය අසූවක් ලබාගත්තා. ඊට පස්සේ තමයි මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණේ. මම කැමතියි පුංචි කාලේ ඉඳලම සිංහල පොත්පත් කියවන්න. මගෙ අම්මයි තාත්තයි දෙන්නත් මට ඒ සඳහා හොඳ සහයෝගයක් ලබා දුන්නා. මං හරි කැමතියි පැරැණි කතුවරයන්ගේ පොත්පත් කියවන්න. ඒ වගේම අලුතෙන් ලියැවෙන නවකතා පරිවර්තන පොත් වගේම විවිධ විෂයන් යටතේ ලියැවෙන පොත්පත් කියවන්න කැමැතියි.
මම සාමාන්‍ය පෙළ විභාගයේ දී ඒ සාමාර්ථ නවයක් ලබා ගත්තා. සිංහල විෂයෙන් ලංකාවෙන්ම පළවැනියා මම කියල දැනගන්න ලැබුණම මට පුදුම සතුටක් ලැබුණේ. මම සිංහල විෂය ඉගෙනගත්න හරි කැමතියි. මම දැන් ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන්නේ. ඒත් විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුවා කියලා මම සිංහල විෂය කෙරෙහි තියෙන ඇල්ම ආශාව නැති කරගත්තේ නැහැ. මට මගේ අම්මා තාත්තා වගේම මට උගන්වනු ලැබූ සියලු ගුරුවරු අද මට මේ තැනට එන්න උදව් කර තිබෙනවා. අදටත් මට පාසලේ ගුරුවරුන්ගෙන් හොඳ සහායක් ලැබෙනවා. ඒ වගේම කුමාරතුංග මුනිදාස පදනමෙන් මා සඳහා ශිෂ්‍යත්වයක් ලබාදෙනවා කිව්වම මට විශාල සතුටක් ලැබුණා. එය මගේ මුළු ජීවිතයටම ලැබෙන දිරිමත් කිරීමක් හැටියටයි මම දකින්නේ.”
සිංහල රචනා, කෙටිකතා, කවි ලියන සිංහල විෂය ආශ්‍රිත තරග යනාදියට සහභාගි වන සංදීපනී පවසයි.
කුමාරතුංග අනුස්මරණ ශිෂ්‍යත්ව වරම දිනූ අනෙක් ශිෂ්‍යාව වන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ මෙනුෂිකා ජයනි කාරියවසම් ශිෂ්‍යාවයි.
මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍යම මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මෙනුෂිකා ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු එකසිය අසූවක් ලබාගත්තාය.
ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයට ඇතුළත් වූ ඇය 2013 වස‍ෙර්දී සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලු විෂයන්ට ඒ සාමාර්ථ ලබාගත්තාය.
“මගේ අම්මාත් තාත්තාත් ගුරු වෘත්තියේ නියැළී ඉන්නේ. මගෙ තාත්තා සිංහල විෂය උගන්වන්නේ. මං කුඩා කාලයේ ඉඳලම පොත පත කියවන්න බොහොම කැමැතියි. මට ඒ හුරුව ලැබුණේ ගෙදර පරිසරයෙන්. නවකතා කෙටි කතා පරිවර්තන වගේම විවිධ විෂය ක්ෂේත්‍ර ගැන ලියැවුණ දැනුම වර්ධනය කෙරෙන පොත පත කියවන්න මම ආසයි. මම පාසලේ විවිධ තරගවලට විශේෂයෙන් සිංහල විෂය හා සම්බන්ධ තරගවලට සහභාගි වෙලා සම්මාන සාමාර්ථ ලබා තිබෙනවා. මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවත් මං සිංහල විෂයට ආදරෙයි. ලංකාවෙන් පළමුවැනියා වුණ මම සිංහල භාෂාවෙනුත් පළමුවැනියා වීම සතුටක්. මගේ මේ ජයග්‍රහණයන්ට මගේ අම්මා තාත්තා වගේම එදා සිට මේ දක්වා මට ඉගැන්වූ උගන්වන සියලුම ගුරුවරුන්ට මම කෘතඥපූර්වකව ස්තුතිවන්ත වෙනවා. අපි වගේ ඉගෙන ගන්න දක්ෂ දරුවන්ට කුමාරතුංග මුනිදාස පදනමෙන් මේ කරන අනුග්‍රහය අගය කිරීම හුඟක් වටිනවා. එය අපට තවත් ඉදිරියට යාමට දිරි දීමක්.”
මෙනුෂිකා තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව පවසන්නේ එසේය.
එදා කුමරතුඟු සූරීන් තමන් ජීවත්වූ කාලවකවානුව ගැන සිතා පොතපත ලියූව ද අද දක්වාම ඒ පොතපත වලංගු වන්නේය. කාලය වෙනස් වුවද තවමත් විවිධ මතිමතාන්තර මධ්‍යයේ වුව ද සිංහල විෂය කෙරෙහි මේ දියුණු ලෝකයේ ශ්‍රී ලාංකික දරුවන් මෙතරම්ම උනන්දු වීම මෙන්ම, ඔවුන්ව දිරිමත් කරමින් කුමරතුඟු පදනම කරන මෙහෙය ද බොහෝ අගය කළ යුතු වන්නේ නොවේද?