V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Sunday, September 4, 2016

සිඳු ට පණ පොවන නෙත්ම අකාෂ්මිත

මම කැමැති විද්‍යාඥයෙක් වෙන්න

මට ගෙදර දී කතා කරන්නේ ශෙවෝන් කියලා

සිඳු ට පණ පොවන නෙත්ම අකාෂ්මිත

පුතේ මම සිඳු කියන්නද මලිත කියන්නද?
ගොඩක් අය දැන් මාව දැක්කාහම ඒ නමින් තමයි කතා කරන්නේ. මේ ළඟදී සරුංගල් යවන්න අපි බීච් ගිය වෙලේ එතන හිටපූ අයියලා අක්කලා තව පොඩි අයත් අන්න සිඳු,අන්න මලිත කියනවා ඇහුණා..
පුතාට ගොඩක් සතුටු හිතෙන්න ඇති නේද?
එදා නම් ටිකක් ලැජ්ජා හිතිලා අම්මා ළඟට දුවගෙන ගියා.
මොකද්ද පුතාගේ ඇත්ත නම?
නෙත්ම අකාෂ්මිත
එතකොට ශෙවෝන් කියන්නේ?
මට ගෙදර දී කතා කරන්නේ ශෙවෝන් කියලා. මම ගොඩක් ආදරේ කරන සුදු පුංචි තමයි මට ඒ නම දාලා තියෙන්නේ.
ඉතින් ඔයා ඇහුවේ නැද්ද ඒ නම දැම්මෙ ඇයි කියලා?
ඇහුවා. ඉස්සර කතාවක් ගියාලූ ප්‍රවීණා කියලා ඒකේ හිටියාලූ ශෙවෝන් කියලා ලස්සන ළමයෙක්. ඒ නිසා පුංචි මටත් ඒ නමින්කතා කරන්න පටන් ගත්තාලූ.
පුතාගේ කොණ්ඩා විලාසිතාව නම් හරි අපූරුයි?
අපේ අම්මි කියනවා පොඩි කාලේ ඉඳලම මගේ කොණ්ඩේ තිබුණේ මේ විදිහටම ලූ. ඒ නිසා මම කපන්න කැමැතිත් නැහැ
ඉස්කෝලේදී ප්‍රශ්නයක් නැද්ද?
නැහැ. අපේ ප්‍රින්සිපල් සර් ගෙන් අම්මිලා අවසර අරගෙනයි තියෙන්නේ.
කියන්නකෝ බලන්න කොහොමද පුතා සිඳු වුණේ කියලා?
මේ මගේ දෙවැනි ටෙලි නාට්‍යය. පළවෙනි ඩ්‍රාමා එකේ ෂුටිං වල ඉන්නකොට දවසක් මංජුල මාමා අපේ අම්මීට කියලා මගේ ෆොටොස් වගයක් ගත්තා අලුත් ඩ්‍රාමා එකකට කියලා. ඒ ෆොටොස් ප්‍රදීප් මාමාටයි ජානක මාමාටයි තිළින මාමාටයි පෙන්නලා එයාල මට එන්න කියලා අායිත් මගේ වීඩියෝස් වගයක් කළා. ඊට පස්සේ ඒ මාමාලා අපේ අම්මිට කියලා තිබුණා අපි පුතාව තෝරා ගත්තා කියලා.
ඉතින් මොකද පුතාට හිතුණේ ?
මට ගොඩක් සතුටු හිතුණා.
ඊට පස්සේ ?
ඔන්න ඉතින් මුල්ම දවසේ මට ටිකක් ලැජ්ජා හිතුණා. ඊට පස්සේ තිළිණ මාමා, ප්‍රදීප් මාමා සහා කණ්ඩායමේ හිටපු හැමෝම මට ගොඩක් උදව් කළා.
බය හිතුණ අවස්ථාවක් එහෙම නැද්ද?
මුල් දවස් ටිකේ පොඩි බයකුත් තිබුණා. ඒක ටික දවසකින් මඟ හැරුණා. හැබැයි එක දර්ශනයකට නම් එච්චර කැමැති නැහැ.. අදටත් ඒ ෆොටෝස් බලන්නවත් මම කැමැති නැහැ.
මොකද්ද ඒ දර්ශනය?
මට පාරේ හිඟා කන දර්ශනයක් කරන්න වුණානේ.. මම ඒක කළේ හරිම ලැජ්ජාවෙන්.
පුතාගේ යාළුවෝ මොකද කියන්නේ?
ඔයා හොඳට රඟපානවා කියලා කියනවා.
දැන් ගොඩක් යාළුවෝ එහෙමත් ඇති නේද?
යාළුවෝ පස්, හය දෙනෙක් විතර ඉන්නවා. එයාලා තමයි මගේ හොඳම යාළුවෝ.
සිඳු කණ්ඩායමේ පුතාට යාළුවෝ නැද්ද?
ඉන්නවා..තරිඳුට රඟපාන රවිඳු අයියා.. තව අක්කා කෙනෙකුත් ඉන්නවා.. එයාලත් එක්ක මං හැංගි මුත්තන්, අල්ලනසෙල්ලම් එහෙමත් කරනවා.
එතකොට සරණ?
කෝටු කෑලි එහෙ මෙහෙ කර කර සරණ එක්කත් සෙල්ලම් කරනවා.
ෂූටිං ගියහම පාඩම් වැඩ කටයුතු එහෙම අතපසු වෙනවා ඇති?
අපේ පන්ති බාර ටීචර් සහ ප්‍රින්සිපල් සර් මට ගොඩක් උදව් කරනවා. පාසල් ගියේ නැති දවස් වල පාඩම් වැඩ ගෙදර ගිහින් කරන්න කියලා යාළුවන්ගෙන් ඉල්ලා ටිචර් පොත් ඉල්ලලා දෙනවා.
කියමුකො බලන්න පුතාගේ පාසල ?
JMC ජාත්‍යන්තර පාසල.
පුතා කීය වසරද දැන් ඉගෙන ගන්නේ?
හතර වසරේ.
වැඩියෙන්ම දක්ෂ පුතා මොන විෂයයන්ටද?
මම ගණන් වලටයි විද්‍යාවටයි හරිම කැමැතියි.
ලොකු වුණාහම කවුරු වෙන්නද කල්පනාව?
විද්‍යාඥයෙක් වෙන්න.
එතකොට රඟපාන්නේ නැද්ද?
ගොඩක් ආසයි රඟපාන්න. ඒ නිසා රඟපාන ගමන් විද්‍යාඥයෙකුත් වෙනවා.
පුතා ගේ තවත් දක්ෂතා ඇති?
මට හොඳට පිහිනන්නත් පුළුවන්..
පුතා රඟපාන්නේ ගොඩක් පුංචි කාලේ ඉඳලාමලූ නේද?
ඔව්. අවුරුදු හතරේ ඉඳලා. ටෙලි නාට්‍ය නම් රඟපාලා තියෙන්නේ දැනට දෙකක් විතර. සිඳු තමයි දෙවැනි ටෙලි නාට්‍ය. වැඩිපුරම මම හිටියේ ඇඩ්ස් වලටයි, ෆොටෝ ෂුටස් වලටයි. තව මොඩ්ලිනුත් කරලා තියෙනවා.
පුතාගේ වැඩි කැමැත්ත තියෙන්නේ ටෙලි නාට්‍ය වලටද, වෙළෙඳ දැන්වීම් වලටද?
ඒ දෙකටම. නමුත් මොඩ්ලිං වලට, ෆැෂන් ෂෝස් වලට එහෙම යන්න මම ගොඩක් කැමැතියි.
පුතාගේ මුල්ම වෙළඳ දැන්වීම මතකද?
ඔව්. මුලින්ම හිටියේ මැලිබන් චොක්ලට් බිස්කට් ඇඩ් එකට.
දැන් එතකොට වෙළෙඳ දැන්වීම් කීයක විතර පුතා පෙනී ඉඳලා තියෙනවාද?
40කට විතර..
ගෙදර චණ්ඩියා නෙත්ම කියන්නේ ඇත්තද?
නැහැ. මට නංගියෙක් ඉන්නවා. එයා තමයි චණ්ඩියා. අපි ඉතින් සෙල්ලම් කරනවා. ගහගන්න වෙලාවලුත් තියෙනවා. අම්මිගෙන් වැඩිපුර බැනුම් අහන්න වෙන්නේ ඒ වෙලාවට.
ඒ කියන්නේ පුතා ගෙදරදි හොඳ ළමයෙක්?
මගේ වැඩ මම ගෙදරදි තනියම කර ගන්නවා. අම්මා අසනීප වුණොත් හොඳට බලා ගන්නත් මට පුළුවන්.

Sunday, August 28, 2016

ජයන්ති කුරුඋතුම්පාල - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි




















සිහින දකින්න. ඒවා සැබෑවන තුරුම උත්සාහය අත නොහරින්න

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි

ජයන්ති කුරුඋතුම්පාල

 කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ඔබ වෙත “කාන්තා අයිතීන් සුරැකීම” පිළිබඳ තෙවසරක සන්නාම තානාපති පදවියක් පිරිනමා තිබෙනවා. එවරස්ට් කඳු මුදුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන ඔබ කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ මේ අභියෝගය බාර ගන්නේ කොහොමද?
එය මට එතරම් ලොකු අභියෝගයක් නොවෙයි. ඒ, මා කාන්තා අයිතිවාසිකම් උදෙසා දිගු කාලයක පටන් කටයුතු කරමින් සිටි නිසා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දුරලන්නට පුරා වසර 33ක් මුළුල්ලේ කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස මා කටයුතු කර තිබෙනවා.
 ඒ කොහොමද?
මා රැකියාව ආරම්භ කළේ කාන්තාව හා මාධ්‍ය සාමූහකයේ පර්යේෂණ සහායිකාවක ලෙසයි. ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහ්තමිය විසින් සිදු කළ කම්කරු නීතිය කාන්තාවන්ට බලපාන ආකාරය පිළිබඳ පර්යේෂණයකට මා සහාය වුණා. එයින් මාස හයකට පසු මට ඒ ආයතනයේ ම වැඩසටහන් නිලධාරිනියක ලෙස රැකියාව ලැබුණා. එහිදී මගේ විෂය ක්ෂේත්‍රය වුණේ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය. අනතුරුව කෙය­ාර් සංවිධානයේ ස්ත්‍රි පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂඥ වරියක ලෙස කටයුතු කළා. කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය දුරු කිරීම හා අවම කිරීම සඳහා එදා සිට අද දක්වා පුරා වසර 33 ක්ම මා විවිධ වැඩසටහන් රාශියකට දායක වී තිබෙනවා.
 කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?
කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු ස්ත්‍රි - පුරුෂ ලිංගිකත්වය හා සමාජ භාවය අනුව ස්ත්‍රීන්ට වෙනස් කොට සැලකීමයි. කාන්තාවත් පිරිමියා හා සමාන අයිතිවාසිකම් ඇති මනුෂ්‍යයෙකුය යන සංකල්පය වෙනුවට ස්ත්‍රියට වඩා පුරුෂයා උසස්ය යන සමාජ සංකල්පයෙහි පිහිටා කටයුතු කිරීමෙන් කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ආරම්භ වෙනවා.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතු වන්නේ සමාජයේ ස්ථාපිත ආදර්ශයි. මේවා දරුවකුගේ උපතේ පටන් ම ඇරැඹෙන මතවාද. පිරිමි සහ ගැහැනු දරුවන් දෙදෙනකු වෙනස් වන්නේ ඔවුන්ගේ ශාරීරික ලිංගික අයවයවලින් පමණයි. ඒත් අපි දරුවා ඉපදෙන්නටත් පෙර සිටම ගෑනු දරුවන්ට රෝස පාට, පිරිමි දරුවන්ට නිල්පාට යනුවෙන් වෙන් කරනවා.
ගෑනු දරුවන්ට දෙන්නේ බෝනික්කෝ. සෙල්ලම් ගෙදරදිත් ගැහැනු දරුවා ගෙදර අම්මා. බෝනික්කන් නළවන්නයි උයන්නයි පිහන්නයි සෙල්ලමේදිත් ඇයට උරුම වෙන්නේ. ගැහැනු දරුවන්ට තෑගි දෙන්නෙත් ටී සෙට්, ඉවුම් පිහුම් උපකරණ, වළං මුට්ටි. පිරිමි ළමයින්ට හැම විටම දෙන්නේ බැට් - බෝල, කඩු - දුනු - ඊතල, තුවක්කු, කාර් වැනි සෙල්ලම් බඩු.
ගැහැනු ළමයින්ට කියන්නේ ‘උඩ පනින්න එපා. කෑගහන්න එපා. දඟලන්න එපා. එළියට යන්න එපා. කොල්ලා වගේ හැසිරෙන්න එපා කියලායි.” පිරිමි ළමයින්ට මේ කිසි නීතියක් නෑ. කැමට බීමට ගියත් එහෙමයි. “අයියා කාලා ඉවර වුණාම කන්න, මල්ලිට ලොකු කෑල්ල දෙන්න” කියමින් පුංචි කාලේ පටන්ම ගැහැනු දරුවාට වෙනස් කොට සලකනවා.
ඉගෙනගන්න ගියත් “පුතා හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න. ඉංජිනේරුවෙක් වෙන්න” කියනවා. කෙල්ලෙක් නම් “ඉගෙන නොගත්තත් මොකද? දෑවැද්දක් දීලා හොඳ කෙනෙකුට කසාද බන්දලා දෙන එකනේ තියෙන්නේ” කියලා, ඇගේ අයිතිය සීමා කරනවා. කාන්තාවට එරෙහි හිංසනයේ ඇරැඹුම එයයි. ප්‍රචණ්ඩත්වය ඇරැඹෙන්නේ එතැනින්. එය නතර කළ යුත්තේත් පුංචි කාලේ පටන්ම යැයි මා සිතනවා. ප්‍රචණ්ඩත්වය විවිධාකාරයි. එය නිවෙසේදී, පාසලේදී, කාර්යාලයේදී, මහමගදී, බස්රථයේදී හෝ සමාජයේ ඕනෑම තැනකදී සිදු වෙන්න පුළුවන්.
 මේ තත්ත්වය මර්ධනය කරන්නට හෝ වළක්වා ලන්නට කළ යුත්තේ කුමක් යැයි ඔබ සිතනවාද?
ඒ සඳහා සමාජය දැනුවත් කළ යුතුයි. පිරිමින් උසස් යැයි සිතන පීතෘ මූලික, අධිරාජ්‍යවාදී අදහස් හා මතවාද බැහැර කළ යුතුයි. කාන්තාවන්ටත්, ගැහැනු දරුවාටත් පිරිමින්ට හා සමාන බුද්ධි මට්ටමක්, හැකියාවක් හා අපේක්ෂා තිබෙනවා. ඒවා ඉෂ්ට කරගන්න, හැකියාවෙන් පල නෙළා ගන්න ඇයටත් සමාන අයිතියක් තිබෙනවා. ඒ අයිතිය භුක්ති විඳින්නට අපි ඇයට සමාන ඉඩක් ලබා දිය යුතුයි.
 ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මර්ධනය සඳහා ඔබ ආමන්ත්‍රණය කරන්නේ සමාජයේ කවර කණ්ඩායම්වලටද?
ස්ත්‍රීන් මෙන් ම පුරුෂයන් ද අපි දැනුවත් කරනවා. මේ සඳහා ජාති ආගම් හෝ පන්ති භේද නෑ. හැම සමාජ ස්ථරයකම කතුන් හිංසනයට ලක් වෙනවා. පාසල් ළමයින් හා විශේෂයෙන් ම යෞවනයන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව කරගෙන යනවා. එහිදී අපි කාන්තාවන්ට සමව සලකන ආකාරය, ඔවුන්ටත් පිරිමින්ට වගේම ආසාවන් හැකියාවන් හා අයිතීන් ඇති බව, පාසල් දරුවන්ට යෞවනයන්ට හා පිරිමින්ට අපි කියා දෙනවා. කාන්තාවන්ට සමව සලකන්න අපි දරුවන්ට පුරුදු කළ යුත්තේ කුඩා කාලයේ පටන්මයි. හොඳ පුතෙක්, සැමියෙක් හා තාත්තා කෙනෙක් වන්නේ කෙසේදැයි අපි ඔවුන්ට කියා දෙනවා.
පිරිමිකම කියන්නේ ගැහැනුන්ට ගුටිබැට දීම හෝ ඔවුන් පාලනය කරගෙන සිටීම නොවෙයි. “පිරිමියෙක් වුණාම ගෑනි යටත් කරගන්නට පුළුවන් වෙන්න ඕනෑ.” “ගැහැනියෙක් වුණාම මිනිහාගෙන් බැනුම් ඇහුවාට, ගුටි කෑවට මොකද?” කියන වැරදි ආකල්ප සමාජයෙන් දුරු කරන්න ඕනෑ. පාසල් විෂය මාලාවේ පටන්ම ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සංකල්පය දරුවන්ගේ ඔළුවලට ඇතුළු කළ යුතු බවයි මගේ අදහස.
 නිවෙසින් හා පාසලෙන් සමානාත්මතාව පිළිබඳ අදහස බලගැන්වීමට ඔබට ලැබුණු පිටිවහල කුමක්ද?
මගේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, අයියයි. මගේ පියා ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු වූ කෙනෙක්. අම්මා මුලින් රැකියාවක නියැලුණත් අප ඉපදුණු පසුව රැකියාවෙන් ඉවත් වුණා. එතැනදීත් මට සිතෙන්නේ අම්මාගේ අයිතිවාසිකමක් අහිමි වූ බවයි. ඇයත් රැකියාවක් කළා නම් ඇයට ආර්ථික වශයෙන් ස්වාධීනත්වයක් ලබාගන්න තිබුණා. ඒත් ඇය පවුල වෙනුවෙන් ඒ කැපවීම කළා.
මගේ පියා තරමක් ස්වාධීන අදහස් දැරූ කෙනෙක්. හැමවිටම මගේ දෙමවුපියන් අයියාටත් මටත් එක සමානව සැලකුවා. අයියා ගස් නගින විට මටත් ගස් නගින්නට උවමනා වුණා. මගේ පියා එයින් මා වැළැක්වීම වෙනුවට කළේ ආරක්ෂාකාරී පියවර තුනකින් සාර්ථකව ගසකට නගනිනේ කොහොමදැයි මට කියා දීමයි. එවැනි පුංචි පුංචි පාඩම් එවරස්ට් කන්ද තරණය කිරීමේ ජයග්‍රහණය දක්වාම මා රැගෙන ගියා යැයි මට සිතෙනවා.
එමෙන්ම මා උගත් පාසල වූ බිෂොප්ස් විද්‍යාලයේදීත් මට අවශ්‍ය ක්‍රීඩාවක් කරන්නට, කොණ්ඩය කොටට කපන්නට, කැමති දෙයක් කරන්නට උපරිම නිදහසක් ලැබුණා. ඒ නිදහස මගේ ජීවිතෙය් දුටු සිහින සැබෑ කරගන්නට මට බොහෝ උපකාරී වුණා.
 එවරස්ට් කඳු තරණය ඔබ කුඩා වියේ පටන් දුටු සිහිනයක් ද?
එවරස්ට් කන්ද නගිනවා යැයි කුඩා ම කාලේ හිතට ආවෙ නැතත්, ලෝකේ ඉහළම තැනකට නැගීමේ ආසාව මා තුළ මුල පටන්ම තිබුණා. මා ඉංග්‍රිසි සාහිත්‍ය පිළිබඳ උපාධිය හැදෑරීමට ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාට පසු එවරස්ට් තරණය පිළිබඳ සිහිනය පිළිබඳ මුල්ම අදහස හිතට නැඟුණා.
 ඒ කොහොමද?
දිනක් මගේ ආචාර්යතුමියගේ මේසය මත හිම කඳු තරණය කරන්නකුගේ ඡායාරූපයක් තිබෙනු මා දුටුවා. ඒ ඡායාරූපයෙහි වූයේ ලෝකයේ ප්‍රථම වතාවට 1953දි එවරස්ට් කන්ද තරණය කළ ටෙන්සිං නෝර්ගේ සහ එඩ්මන්ඩ් හිලරිගේ ඡායාරූපයක්. මේ ඡායාරූපය දුටු මා තුළ කවරදා හෝ හිම කන්දක් තරණය කරන්නට ඇත්නම්” යන සිතිවිල්ල ඇති වුණා. මේ පිළිබඳ මා ආචාර්යතුමියගෙන් වැඩි විස්තර අසා ගත්තා. ඒ වන විට ටෙන්සිං නෝර්ගේ පුතා සිම්ලා හි සිකිං ප්‍රාන්තයේ හිම කඳු නැඟීම පුහුණු කිරීමේ පාසලක් අරඹා තිබුණා. මගේ ප්‍රථම උපාධියෙන් පසු අමාරුවෙන් මුදල් ඉතිරි කරගත් මා ඒ පුහුණු කඳවුරෙන් මාසයක් හිම කඳු නැඟීමේ පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඉන්දීය හමුදාව මඟින් පවත්වන ලද ඒ පුහුණු පාඨමාලාව ඉතා අසීරු එකක්. ඒ මගින් මට හිම කඳු නැගීම පමණක් නොවෙයි; ගල්කඳු නැඟීම, කඳු නැඟීමේදී මුහුණ පෑමට සිදු වන අනතුරුවලින් වළකින ආකාරය, ආගාධවල නොවැටී හිම කුණාටුවලින් බේරී, ඉහළට නඟින විට ඔක්සිජන් වායුව අඩු වන විට නොමැරී බේරෙන ආකාරය වැනි බොහෝ දේ ඉගෙනගන්න හැකි වුණා. අවුරුදු 24 වන විට මම ඒ ආයාතනයෙන්ම උසස් පුහුණු පාඨමාලාවක් හදාරා විශිෂ්ට සාමාර්ථයක් හිමිකර ගත්තා.
 ඔබේ අරමුණ කරා ළඟා වීමට අධ්‍යාපනයෙන් ලැබුණු පිටිවහල කවරාකාරද?
අරමුණු ජය ගැනීමට අධ්‍යාපනය හැම අතින් ම උපකාරී වෙනවා. මම ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ එංගලන්තයේ සසෙක්ස් විද්‍යාලයෙන් පශ්චාද් උපාධියක් ලබා ගත්තා. අධ්‍යාපනික හෝ වෘත්තීය අංශයෙන් හෝ කවර ආකාරයකට විදෙස්ගත වුණත් පුංචි ඉඩකඩක් හෝ ලබාගෙන ඒ ඒ රටවල තිබෙන කඳු නගින්නට මා අවස්ථාව ලබා ගන්නවා. ලංකාවේදිත් විනෝද ගමනක් ගියත් ඒ පළාතේ තියෙන කන්දක් නගින්නට යෑම මගේ පුරුද්දක්. අධ්‍යාපනයෙන් මා ලද පරිචය මගේ සිහිනය සැබෑ කරගන්න විශාල රුකුලක් වුණා.
 ඔබේ අධ්‍යාපනික ක්ෂේත්‍රය, වෘත්තිය හා විනෝදාංශ එකිනෙකට පරස්පර විරෝධීයි. ඒ ඇයි?
ඒ මගේ තේරීමයි. මගේ කැමැත්තයි! කාන්තාවන්ට ‍එරෙහි ප්‍රචණ්ඩත්වය හා හිංසනයට මා කවදත් විරුද්ධයි. පුංචි කාලෙ සිටම මා සිතුවේ ගෑනු ළමයින්ටත් පිරිමි ළමයින්ටත් සමාන අයිතිවාසිකම් හා සමාජයේ සමතැන හිමි විය යුතු බවයි. රැකියාවකට යොමු වීමේදී මා වඩාත් සැලකිලිමත් වුණේ අධ්‍යාපන සුදුසුකම්වලට වඩා මා කැමැති ක්ෂේත්‍රයට අදාළ රැකියාවක් තෝරාගැනීමටයි. මගේ රැකියා ස්ථානයෙන් ඒ අරමුණ ඉෂ්ට වුණා පමණක් නොවෙයි; උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යන්නටත් මට ඔවුන් මඟ පෙන්වූවා. එය විශාල අවස්ථාවක්. මගේ විනෝදාංශය හා සිහිනය ජය ගන්නටත් එය විශාල රුකුලක් වුණා.
 ඔබ අවිවාහකයි. විවාහය ගැන ඔබේ අදහස කුමක්ද?
කාන්තාවක් විවාහ විය යුතුමයි කියා මා සිතන්නේ නෑ. අවිවාහකව සිටිය යුතුයි කියා සිතන්නේත් නෑ. සමාජය ගැහැනු දැරිය දෙස බලන්නේ ම ඇයට උරුම විවාහය, දරුවන් හැදීම සහ කුස්සිය පමණකැයි යන අදහස පෙරදැරි කරගෙනයි. ඒත් පිරිමි ළමයි විවාහ වුණත් නැතත් සමාජයට එතරම් ගැටලුවක් වන්නේ නෑ. මේ ආකල්පවලට මම විරුද්ධයි. ගැහැනියටත් අවශ්‍ය නම් විවාහ වෙන්න හෝ අවිවාහකව සිටීමට අයිතියක් තිබෙනවා.
මා තවම විවාහයකට ඇතුළත් නොවුණේ මගේ ජීවිතයේ අරමුණු හා ඉලක්ක විවාහයෙන් ඔබ්බට ගිය ඒවා වූ නිසයි. යොවුන් වියේදි මගේ අවධානය යොමු වුණේ අධ්‍යාපන කටයුතු වෙත පමණයි. ඉන්පසු කඳු නැඟීමේ සිහිනය සැබෑ කර ගැනීමට. විවාහයක අවශ්‍යතාවක් මට ඒ වන විට දැනුණේ නෑ. සමහරවිට මට විවාහ වෙන්නට හිතුණොත් ඉදිරියේදී විවාහ වෙන්නට ඉඩ තිබෙනවා. විවාහ නොවනවා යැයි මා තීරණය කර නෑ.
 ඔබ කාන්තාවන්ගේ ජීවිතය ජය ගන්නට, සිහින සැබෑ කරගන්නට ඔවුන්ට ලබා දෙන පණිවුඩය කුමක්ද?
සිහින දකින්න. ඒ සිහිනය ඔබගේ මිස සමාජය සතු වූවක් ‍නොවේ. එහෙයින් සිහිනය ඉටු කරගන්නා තුරු සමාජයෙන් එල්ල වන ඇනුම්, බැනුම්, අපහාස, අපවාද ඊට බාධාවක් කර නොගන්න. තමාගේ අරමුණ කරා ළඟාවීමට අවශ්‍ය අධ්‍යාපනය, කුසලතා සහ උත්සාහය දිනෙන් දින වර්ධනය කරගන්න. ඔ‍බේ සිහිනය ගුවන් යානාවක් පදවන්නද? පෙදරේරු කටයුතුවල නිරත වෙන්නටද? රියැදුරකු වන්නටද? ඒවා පිරිමින්ට අයිති රැකියාය යන සමාජ ආකල්පයට බිය වී උත්සාහය හා අභිලාශය අතහැර දමන්න එපා. ඒ සඳහා අවශ්‍ය දැනුම පුහුණුව හා හැකියාවන් වර්ධනය කරගන්න. පාසල් දියණියක් නම් අධ්‍යාපනයට මුල් තැන දෙන්න. අධ්‍යාපන සුදුසුකම් සමඟම ඔබේ කුසලතා හඳුනාගෙන ඒවා වර්ධනය කර ගන්න. දිරියෙන් හා සතුටින් අභියෝගවලට මුහුණ දෙන්න. එවිට ඔබට ජයගත නොහැකි අරමුණක් මෙලොව නැත. මම එය ක්‍රියාවෙන් පසක් කොට සිටින්නෙමි. ඔබට ද එය කළ හැකිය.

Friday, August 26, 2016

ඤාව්වා

පරාක්‍රම පෙරේරා


බොඒ කලේ ගුවන් විදුලි ළමා රංග පීඨය, ගුවන් විදුලි රඟ මඬල කොයි තරම් ජනප්‍රිය ද කියනවා නම් අදටත් මෙම වැඩ සටහන් ගැන එහි ප්‍රචාරය වූ නාට්‍ය සහ චරිත ගැන බොහෝ අය තුළ තිබෙන්නේ හොඳ මතකයක්.
ලන්දේසි දූපත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙද්දී එය නෑසූ කෙනෙක් නැති තරම්. එහි ජිල්ජෝනා වැන්දබෝනා හරිම ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි ඔබට මතකද හන්දියේ ගෙදර නවරත්නම්, ඉරිවේරිස් මාමා? මේ ගුවන් විදුලි නාට්‍ය ගැන වගේම රූපවාහිනී කාටුන් හඬ කැවීම් ගැනත් කතා කරද්දී නම් අපට ඔහුගේ නම, ඔහු ඉදිරිපත් කළ චරිත අමතක වන්නේ නෑ.
ඔහු තමයි පරාක්‍රම පෙරේරා. ක්ෂේත්‍රයේ කවුරුත් ඔහුව හඳුනන්නේ, ඔහුට අමතන්නේ ‘පරා’ කියලයි. බොහෝ දෙනෙක් ඔහුව රූපයෙන් හඳුනන්නේ නෑ. නමුත් කට හඬින් ඕනෑම තැනකදී පරාව හඳුනා ගන්න පුළුවන්.
කොහොමද පරා ඔබ ගුවන් විදුලි ජීවිතය පටන් ගත්තේ?
ඉස්කෝලේ යන කාලේදී. ඉස්සර ඉතින් ඉස්කෝලේ (කොළඹ මහාබෝධි විදුහල) ඇරුණු ගමන්ම පුරුද්දට වගේ ගුවන් විදුලියට යනවා. කරු අයියගේ ළමා පිටිය. ඊට පස්සේ මහින්ද අල්ගමගේ ළමා රංග පීඨයට එහෙම සහභාගී වෙනවා. ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. හැම දෙයක්ම සුන්දර අත්දැකීමක්. ළමා පීඨයේ මා එක්ක සිටිය වැඩි දෙනෙක් අද මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඒකම කොයි තරම් සතුටක් ද?
ඒ දවස්වල සමකාලීනයෝ ගැන සඳහන් කළොත්?
නිරංජලා, රෝහණ සිරිවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ගීතා කාන්ති, සමන් ආතාවුදහෙට්ටි, කරුණාතිලක හඳුවල, විජයන්ති මිගෙල්, කුසුම් පීරිස් වැනි කීප දෙනෙක් සිටියා. ඔය අතරතුර ගුවන් විදුලි නිවේදකයින් තෝරන පරික්ෂණයක් තිබුණා. මාත් ඉතින් ලොකු බලාපොරොත්තුවක් අරං ඔය පරීක්ෂණයට ඉදිරිපත් වුණා.
ඔබ ඉහළින්ම සමත් වෙන්නට ඇති?
මොන පිස්සුද ෆේල්.
ඉතින්?
මොනවා කරන්නද මම ඉතින් හිත හදා ගත්තා. නමුත් ඊට පස්සේ මම හිතපු නැති විදිහේ හොඳ අවස්ථාවක් උදා වුණා.එතකොට රූපවාහිනී හඬ කැවීම් පටන් ගන්න යන කාලේ.
ටයිටස් තොටවත්ත මහත්තයා විවිධ හඬවල් හොයමින් ඉඳලා තියෙනවා. ප්‍රේමකීර්ති ද අල්විස්, ටයිටස් තොටවත්ත මහත්තයට මගේ නමත් යෝජනා කරලා තිබුණා. ඊට පස්සේ පවත්වපු හඬ පරීක්ෂණයකින් මාව තෝරා ගත්තා.
රූපවාහිනියේ පැත්කට දමලා තිබුණු වීඩියෝ කැසට් පට කීපයක් ටයිටස් මහත්තයට හම්බ වෙලා. ඒ කැසට් පටි අපේ රටට, අපේ අයට සුදුසු විදිහට දෙබස් ලියලා ඔන්න කාටුන් වැඩ සටහනක් නිර්මාණය කෙරුණා.
ඒ කාලේ දැන් තරම් තාක්ෂණය අතින් දියුණුවක් තිබුණේ නැහැනෙ. මේකට නම තිබ්බේ දොස්තර හොඳ හිත කියලා. හරියට ජනප්‍රිය වුණු කාටුන් එකක්. මේ කාටුන් එකේ දොස්තර හොඳ හිත ගේ චරිතයත්, චව් චව් කියන චරිතයටත් හඬ කැව්වේ මමයි.
රූපවාහිනී කාටුන් අතර වඩාත් ජනප්‍රිය වූ කාටුන් බොහොමයකට පරාක්‍රමගේ හඬ නැතුවම බැරි හඬක් වූ නිසාවෙන්දෝ කාටුන් චරිත වැඩි ප්‍රමාණයකට දායක වීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණි. තාත්ත්වික වූ හඬ කැවීම් තුළින් බොහෝ අය අතරට කාටුන් චරිත සමීප කරවන්නට පරාක්‍රමට තිබුණේ පුදුම හැකියාවකි.
පිස්සු පූසා . . . ඒත් ඔබමයි නේද?
මාව පේන්නේ පිස්සු පූසෙක් වගේද?
ඒ කාටුන් රිතය වඩාත් ජනප්‍රිය වුණේ ඔබේ හඬ නිසයි.
ඔය පිස්සු පූසා කරන්න ඉස්සෙල්ලා ඉතින් ටයිටස් මහත්තයා කථාව ගැන කිව්වා. මේ කතාව ඉතින් පූසෙක්ගේ වටා ගෙතුණු කතාවක්නෙ. කතාව බලලා ඉවර වෙලා ඔන්න ටයිටස් මහත්තයා මට කිව්වා පූසෙක් වගේ ඤාව් ඤාව් කියන්න කියලා. මම ඉතින් ඤාව් ඤාව් කිව්වා. මගේ ඤාව්වට ටයිටස් මහත්තයටත් හරි හිනා. වැඩේ හරි ගියා. මං පිස්සු පූසා වුණා.
මේ පූස් ලොක්කා එහෙමත් නැත්නම් ඤාව්වා චරිතයට අපූර්වතම ජීවයක් ලබා දුන්නේ පරාක්‍රමයි. ‘ඒයි මාළු කට්ටා ලැහැස්ති වෙනවා. අපි දැන් වැඩේ පටාං ගන්ඩයි යන්නේ. ඔන්න පටාං ගන්නවා’.
ඒ අණ දෙන පිස්සු පූසා නැත්නම් පූස් ලොක්කාගේ් දෙබස් අදටත් අපේ මතකයෙන් ඈත් නොවෙයි.
ඔබගේ මේ සුවිශේෂී හැකියාවන් අගැයුමට ලක් වී තිබෙනවාද?
ඔව්. රූපවාහිනී හඬ කැවීම්වලින් විශිෂ්ඨ ශිල්පියාට හිමි සම්මානය මට හිමි වුණා. එය මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්.
මට කිසියම් ගෞරවයක් හිමි වුණා නම් ඒ ගෞරවය මට මේ තැනට එන්නට අත හිත දුන් මට මඟ පෙන්වපු හිතවතුන්ටත් හිමි වෙන්න ඕන. විශේෂයෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස්, මහින්ද අල්ගම, මඩවල එස්. රත්නායක, ප්‍රභා රණතුංග, රූපවාහිනී හඬ කැවීම් අංශයේ අතුල රන්සිරිලාල් මහතාවත් සිහිපත් කළ යුතුමයි. ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ ශ්‍රවණ ආරාධනා ගීත ප්‍රසංගයේ 500 කට ආසන්න වාර ගණනක් කථනයෙන් දායක වුණේ මමයි. එයත් මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක්.
ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැන දැන ගන්න කැමැතියි.
මම කලංසූරිය ආරච්චිගේ පරාක්‍රම පෙරේරා. මගේ අම්මා තවමත් මාත් එක්ක ඉන්නවා. අම්මාගේ ආශිර්වාදය මට හැමදාමත් ශක්තියක්.
ඒ වගේම මගේ ආදරණීය බිරිඳ අයිරාංගනීගෙන් මගේ කලා කටයුතුවලට ලොකු සහයක් ලැබෙනවා. පුතා දැනට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සහකාර වැඩ සටහන් නිෂ්පාදකවරයෙක්.
ලොකු දුව ශාන්ත මරියා විදුහලෙත්, පොඩි දුව යශෝධරා බාලිකාවේත් ඉගෙනුම ලබනවා. මගේ බලාපොරොත්තුව මගේ දරුවොයි. 0714475212 පරාක්‍රමගේ දුරකථන අංකයයි.

දරු සෙනෙහස හන්දා


ලේනා :- බත් ඇටයක් කන්නට නෑ මේ බළලා හින්දා
රුදුරු ඇසින් ඌ මා දෙස බලන් ඉන්න හින්දා
බළලා :- අපේ වතිතෙ ගස් බෙනයක ‍ෙල්න ඉන්න හින්දා
මේ ලේනා අයිති මටයි වරද කිමද මන්දා
ලේනා :- ඕනතරම් ගේ ඇතුළේ කෑම බීම තිබෙනා
මා දඩයම් කරනු පිණිස උකුසු ඇසින් බලනා
බළලා :- මස් කෑමට මට ඇල්මක් ආශාවක් තිබෙනා
ඔබයි මගේ දඩයම මම කුමක් කරමි ලේනා
ලේනා :- මගේ පැටව් මා එනතුරු බලා ඉන්න හින්දා
ඔබෙ දඩයම වෙන්නට මට නොහැකියි එම හන්දා
බළලා :- ඔබ ලෙසට ම අපෙ අම්මා මා රැකගත් හින්දා
ඔබට සමා දෙන්නම් මම දරු සෙනෙහස හන්දා

සහස්රංග ගුණසේකර
9 ශ්‍රේණිය ‘බී’,
සුභාරතී මහාමාන්‍ය ම.වි.
ගොඩගම.

ලෝකයේ ඇති එකම ඇත්ද­ළ‍ ­තො­රණ දුටු­වෙමි

Image result for ඇත්ද­ළ‍ ­තො­රණ


මධ්‍යම පළාතේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ කොත්මලේ කොට්ඨා­සයේ මැද­පනේ කෝරලේ පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රය පිහිටා ඇත. මෙය ඓති­හා­සික වටි­නා­කම් රාශි­ය­කින් යුක්ත විහා­ර­ස්ථා­න­යකි. ගැමුණු කුමරු තම පියාගේ මර­ණය සිදු­වන විට සැඟවී සිටියේ ද මේ පුසු­ල්පි­ටිය විහා­රයේ බව පැරැණියෝ පව­සති. ගැමුණු කුමරු විසින් සාදන ලද චෛත්‍ය­යක් ද ඇති බව මුතුනි මිත්තෝ පව­සති.
පසු­ගිය දිනක අපි පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රයේ වැඩ සිටින අෂ්ට­ඵල බෝධි­යට බෝධි පූජා­වක් පැවැ­ත්වී­මට ගියෙමු. එහිදී විහා­රා­ධි­පති හිමියෝ ලෝකයේ ඇති එකම ඇත්දළ තොරණ පෙන්වූහ. එය ‘දළ­කඩ තොරණ’ නමින් හැඳි­න්වෙන බව ඒ හිමියෝ පැව­සූහ. ක්‍රි.ව. 1344 ගම්පොළ රාජ්‍ය සමයේ රජ කරවූ 4 වැනි බුව­නෙ­ක­බාහු රජු විසින් ඉදි­ක­රන ලද ගොඩ­නැ­ඟි­ල්ලක මෙය නිම­කර ඇති බවත් ඒ හිමියෝ පැව­සූහ. මම එම ගොඩ­නැ­ඟි­ල්ලට ඇතුළු වන විට දැනුණේ රජ­කාලේ ගොඩ­නැ­ඟි­ල්ල­කට ඇතුළු වන­වාක් මෙනි.
පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රය අසල ඇති ගැමුණු කුමරු ‍ස්නානය කළ ස්ථානය ද අපි දුටු­වෙමු. ගල්වල ලියා ඇති සෙල්ලිපි ද පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රයේ ඉති­හා­ස­යට නෑකම් කියයි. ඉංග්‍රිසි පාලන සමයේ දන්ත ධාතුන් වහන්සේ සඟවා තිබූ දළඳා අසපු­වද මෙහිදී දැක­ගත හැක. ඓති­හා­සික පුසු­ල්පි­ටිය රජ­මහා විහා­ර­යට පැමි­ණිය හොත් ඉති­හා­සය පිළි­බ­ඳව බොහෝ දෑ ඉගෙ­න­ගත හැකි බව මට හැඟිණි.


ඒ.එච්. බුද්ධිකා සංජී­වනී

9 ශ්‍රේණිය,
ශ්‍රී ධර්මෝ­දය දහම් පාසල,
මෑත­ගම.
 

Tuesday, August 23, 2016

ලොවම පුදුම කරන පියාඹන මාලුවා

කලාතුරකින් හෝ ලොවට අසාමාන්‍ය මිනිසුන් බිහි වෙති. මයිකල් පෙල්ප්ස් නම් පියාඹන මාලුවා ද එවැන්නෙකි.
ඔලිම්පික් රන් පදක්කම් 23ක් යනු විස්මිත සංඛ්‍යාවකි. එකසිය විසි වසරක ඔලිම්පික් වංශ කතාවේ එය අද්විතීය වාර්තාවකි. එය නුදුරු අනාගතයේ බිඳ වැටෙතැයි සිතිය නොහැකි තරම් අසමසම වාර්තාවකි. බොහෝ විචාරකයන් පවසන ආකාරයට ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිහිනුම් ශූරයාද, ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ද පෙල්ප්ස්ය.
අට වසරකට පෙර බෙයිජිං ඔලිම්පික් උළෙලට පෙරාතුව තමාගේ බලාපොරොත්තුව රන් පදක්කම් අටක් යැයි කියූ පෙල්ප්ස්ට සිනාසුනු ලෝකය, ඔහු උමතු මිනිසෙකැයි අපහාස කළ ලෝකය මේ පියාඹන මාලුවා දෙස අද තුෂ්නිම්භූතව බලා සිටිති...
වසර එකසිය විස්සක අතීතයකට නෑකම් කියන ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ එදා මෙදා තුර තරගකරුවෙක් එක් තරගාවලියකදී ගත් වැඩිම පදක්කම් ප්‍රමාණයද ඔලිම්පික් තරග ඉතිහාසය පුරා තරග කරුවෙකු සතු වැඩිම පදක්කම් ප්‍රමාණයටද හිමිකම් කියන මයිකල් පෙල්ප්ස් අසම සම වාර්තා රැසක් තමා සතු කරගෙන සිටී.
1972 වසරේ ජර්මනියේ මියුනිච් නුවර පැවැති ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ දී රන් පදක්කම් හතක් දිනා පිහිනුම් තටාකය උඩු යටිකුරු කළ සුපිරි තරුව බවට පත් වූ මාර්ක් ස්පිට්ස් සතුව තිබූ වාර්තාව ඊට 36 වසරකට පසු මයිකල් පෙල්ප්ස් තමන් සතු කර ගත්තේය.ඇමෙරිකානු එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් හී බෝල්ට්මෝර් ගම්මානයේ දී පොලිස් නිලධාරියෙකු වූ මයිකල් ෆ්‍රෙඩ් පෙල්ප්ස් ට හා විදුහල්පතිනියක් වූ ඩෙබොරා පෙල්ප්ස්ට දාව විටිනි හා හිලරි යන වැඩිමහලු සොහොයුරියන් දෙදෙනෙකු සමගින් පවුලේ තෙවැන්නා ලෙස 1985 ජූනි 30 වැනිදා මෙලොව එළිය දුටු මයිකල් ෆ්‍රෙඩ් පෙල්ප්ස් වයස අවුරුදු 07 දිම තම සහෝදරියන් පරයා යෑමේ අභිලාසයෙන් හා පවුලේ අවධානය තමන් සතු කරගැනීමේ උවමනාවෙන් පිහිනිම තෝරාගනී. පුංචි වේගයක් සමග පිහිනුම් තටාකය තුළ සරඹ පාන මේ කොලු ගැටයා කෙරෙහි පවුලේ අයගේ වගේම කාගේත් අවධානය යොමු වෙයි. ලොව ජයගන්නට නම් අනුන් අභිබවා යා යුතුය. එතැන් සිට ලොව ජයගැනීම උදෙසා මයිකල් පෙල්ප්ස් තම ගමන ආරම්භකරයි. වයස අවුරුදු 10 දී ඔහු ජාතික වාර්තාවක් තැබීමටද සමත් වෙයි.
මයිකල් පෙල්ප්ස් මුලින්ම ඔලිම්පික් තරග බිමට පිවිසෙන්නේ 2000 වසරේදී (පහළොස් හැවිරිදි වියේදී) ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති ඔලිම්පික් තරගාවලියටයි. වසර 68ක් තුළ ඇමෙරිකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගි වූ ළාබාලම පිහිනුම් ශූරයා ඔහුය. 15 හැවිරිදි මයිකල් එම ක්‍රීඩා උළෙලේදී මිටර් 200 සමනළ ආර ඉසව්වට සහභාගි වෙයි. එම ඉසව්වෙන් පස්වැනි ස්ථානය දිනා ගනිමින් ඔහු කාගේත් අවධානයට පළමු වරට ලක්වෙයි.
2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී මීටර් 200 සමනළ ආර පිහිනුම් ඉසව්වෙන් තමන් අභිබවා ගිය ඉයන් තෝර්ප් තබා තිබූ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට 2001 ලෝක ශුරතා තරගාවලියේදී පහළොස් හැවිරිදි මයිකල් පෙල්ප්ස් සමත් වෙයි. මිටර් 200 සමනළ ආර පිහිනුම් ඉසව්වේ නව ලෝක වාර්තාවේ හිමිකරුවා බවට ද පත්වෙයි. එතැනින් නොනවතින මයිකල් වයස අවුරුදු 16 යි මාස 10 දී මීටර් 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන්ද නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වෙයි.
2001 වසරේදී ජපානයේ ෆූකෝකා නුවර පැවැති ලෝක ශූරතා තරගාවලියට සහභාගිවන මයිකල් තමා විසින්ම මීට පෙර තබා තිබූ ලෝක වාර්තාව බිඳහෙලමින් මිටර් 200 සමනළ ආර ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් බිහිකරයි.
දහ නව හැවිරිදි මයිකල් නැවතත් 2004 වසරේදී ඇමෙරිකාව නියෝජනය කරමින් ගී‍්‍රසියේ ඇතැන්ස් නුවර ඔලිම්පික් උළෙලට එක්වෙයි. 2004 වසරේ ඇතැන්ස් හි පැවැති ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගි වූ පෙල්ප්ස් එහිදී රන් පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා පදක්කම් 8 ක හිමිකාරයෙක් වෙයි.
මයිකල් පෙලෙප්ස් 2008 බීජීං ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී ඔහු සහභාගි වූ පිහිනුම් ඉසව් අට සඳහාම රන් පදක්කම් අටක් දිනාගත්තේ සතියක කාළයක් තුළදීය. ඔහු දිනාගත් රන් පදක්කම් අටෙන් පහක් ලබාගත්තේ කේවල ඉසව් වෙනුවෙන්ය. ඉතිරි රන් පදක්කම් තුන සහාය (පිහිනුම් රිලේ) ඉසව් සඳහාය.නැවතත් ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය කරන පෙල්ප්ස් එම තරගාවලියෙන් රන් පදක්කම් හතරක් හා රීදී පදක්කම් දෙකක් දිනාගනී.ලන්ඩන් ඔලිම්පික් තරගාවලියෙන් පසු ක්‍රිඩා දිවියෙන් සමුගන්නා බව පැවැසුවත් ඇමෙරිකානුවන්ගේ ඉල්ලීම මත නැවතත් මෙවර රීයෝ ඔලිම්පික් උළෙලට සහාභාගිවන මයිකල් පෙල්ප්ස් ඇමෙරිකානුවන් මෙන්ම මුලු ලෝකයම මවිත කරමින් මේ වන විට රන් පදක්කම් 5 ක් හා රීදි පදක්කමක් ලබා ගැනිමට රීයෝ ඔලිම්පික් උළෙලේදී සමත් වීම අසම සම දස්කමකි.මයිකල් පෙල්ප්ස් මේ වන විට රන් පදක්කම් 23 සමගින් සමස්ත ඔලිම්පික් පදක්කම් 28 ක හිමිකරුවෙක් බවට පත්ව සීටී. එය ඔලිම්පික් ඉතිහාසයේ කි‍්‍රඩකයකු ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස අද්විතීය වාර්තාවකට හිමිකම් කියයි.
පෙල්ප්ස්ගේ පිටුපස සිටි සෙවනැල්ල වී ඇත්තේ ඔහුගේ දිර්ඝ කාලීන පුහුණුකරු බොබ් බෝමන්ය. මයිකල් පෙල්ප්ස් අසාමාන්‍ය පෙනහලු යුගලයකින් සමන්විත පුද්ගලයකි. සාමාන්‍ය මිනිසෙකුගේ පෙනහලු ධාරිතාවයට වඩා දෙගුණයකටත් වඩා වැඩි ධාරිතාවයක් පෙලෙප්ස්ගේ පෙනහලු තුළ පවතී. ඔහුගේ පෙනහලු වල ධාරිතාවය ලීටර් 12 කී. මයිකල් සිය දිනය ආරම්භ කරන්නේ බිත්තර ඔම්ලට් 5 ක්, උදෑසන ආහාර වේල ලෙස ගනිමිනි. ෆ්‍රෙන්ච් ටෝස්ට් පෙති තුනක් හා චොක්ලට් පෙත්තක්, පෑන්කේක් තුනක් ඔහුගේ උදෑසන ආහාරවේල සම්පූර්ණ කරයි. දවාලට හැම් හා චීස් සමග පෝෂ්‍යදායි සුදු පැස්ටා රාත්තලක් ගිල දමන පෙල්ප්ස් රාත්‍රියට පීසා හා පැස්ටා සමඟ ශක්ති ජනක පානයක් පානය කරයි. මේ මස 10 වැනිදා වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක වත්කමක් හිමි මයිකල් පෙල්ප්ස් තමන්ගේ සිනාව අනුන් වෙත නිතරම ලබාදෙන කාරුණික සිතක් ඇති නිරහංකාර පුද්ගලයෙකි. ඔහු වඩාත් පි‍්‍රය කරන්නේ කුඩා දරු දැරියන් සමග එක්ව විමෝද කාමීව පිහිනුම් ක්‍රිඩා පුහුණුවයි.
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අසාමාන්‍ය මිනිසෙකු වන මයිකල් පෙල්ප්ස් පක්ෂියෙක් ගගන තලයේ පියාසර කරන්නේ යම්සේද එයට නොදෙවැනි ලෙස ජලයේ හරඹ කරයි. “පියාඹන මාළුවා” ලෙස ලොව විරුදාවලිය ලත් මයිකල් ලොව බිහිවූ අසහාය පිහිනුම් වීරයාය.

http://www.silumina.lk/2016/08/21/_art.asp?fn=sp1608215

Sunday, August 21, 2016

මහ වනයේ තනිවූ අද්භූත සිතුවම්

23-Rasa-P3-01      

මෙය  ඌවේ ගුප්ත බව හා ජන සමාජයේ පැවැත්ම පිළිබඳ තවත් කතිකාවක් ගොඩනැගීමට සමත් ස්ථානයකි. මෙම ස්ථානය පිළිබඳ අනාවරණය වූයේ මීට දශකයකට පමණ පෙරය. නමුත් මෙම ස්ථානයේ වැදගත්කම බොහෝ විට වසර 5000 ක් පමණ අතීතයට දිව යන බව තතු දන්නෝ පවසති. ඇල්ල කරඳගොල්ල මහ වනයක තනිවූ මෙම කඳු ගැටයේ සිරස් තිරයක ඇඳි සිතුවම් සමුදායක ඔබ නොදන්නා කතාවක් ඒ ස්ථානයට ගමන් ගන්නා අතිශය දුෂ්කර ක්‍රියාදාමය පිළිබඳවත් අද මෙසේ දිග හරින්නෙමු.


කුරුලන්ගල යනු අද ගමනේ සන්ධිස්ථානයයි. එය විශාල කඳු ගැටයකි. උමා ඔය ව්‍යාපෘතිය පෙනෙන මානයේ ලඳු කැලයක තනිව නැගී සිටින ත්‍රිකෝණාකාර පැතලි කන්දකි. දළ වශයෙන් කන්දේ උස මීටර 700 ක් පමණ වන නමුත් මෙම කන්ද මීටර 200 කට වඩා පළලින් පිහිටි හොඳින් පාෂාණ ස්ථර දැකිය හැකි කන්දකි. පයිනස් ගස්, පඳුරු අතරින් පතර දැකිය හැකි නමුත් ගල් තලය කහ පැහැතිව හොඳින් දර්ශනය වේ. මෙම ප්‍රදේශයේ තිබෙන තවත් විශේෂ ස්ථානයක් වනුයේ රක්ඛිත්තාකන්ද පුරාණ රාජමහා විහාරයයි. රාවණ ඇල්ල පසුකොට වැල්ලවාය දෙසට කි.මී. 3.5 පමණ එන විට එම නාම පුවරුවක් සවිකොට තිබෙන බැවින් කාපට් ඇතිරූ උමා ඔය ව්‍යාපෘතිය දිවෙන මාර්ගයේ තවත් කි.මි. 2 ක් පමණ යා යුතුය.  අපගේ ගමනේ නවාතැන මෙම පුරාණ භූමිය වන අතර මෙම විහාරය පිළිබඳවද විශේෂයෙන්ම යමක් කිව යුතුමය. සමස්ථ විහාර භූමියම සුවිශාල ගල් වලින් වැසී ඇත. විහාර ගෙය බුදු මැදුර, හිමිවරුන්ගේ කුටි, ආරාධිත කුටි, භාවනා කුටි ඇතුළු සෑම ස්ථානයකම වහළය වනුයේ මහ විශාල ගල් පර්වතයි. විහාර භූමිය පිටුපස අලංකාර දියඇල්ලක් තිබෙන අතර ඊට එහායින් ඇත්තේ මහා කැලයයි. උමං හා ගුහා කිහිපයක් තිබෙන අතර වනගත භාවනා සඳහා සකස් කොට ඇති ස්ථාන වනයේ තැනින් තැන දක්නට ලැබේ.
23-Rasa-P3-03


කෙසේ හෝ උදෑසන 10ට පමණ අප පන්සල් භූමියෙන් පිටත්ව උමා ඔය මාර්ගය අසලට පැමිණියේ වතුර බෝතල් 2ක් හා කැමරාව පමණක් අතැතිවය. මෙම ගමනේ අතිශය දුෂ්කර ජීවිත අවදානම පිරුණු කඳු නැගීම් තිබෙන අතර ඒ සඳහා කිසිදු කඹයක්වත් නොමැතිව ඒවා තරණය කිරීමට අදිටනින් මහ කැලයට පිවිසුනෙමු. ආරම්භයේ පටන් තරමක නැග්මක් තිබෙන අතර පාළු වී ගිය වගාවන් අතරින් දිශාව මානගෙන යා යුතුය. කිසිදු අඩිපාරක්වත් නොමැති අතර මුළු කැලයම අඳුරු ස්වභාවයකින් වෙලී තිබුණි. අහස් කුස වසාගෙන නැගී ඇති මහා රූස්ස ගස් වලින් පාවී වැටෙන වියළි ශාඛ පත්‍ර වලින් මුළු පොලෝ තලයමත් වසාගෙන තිබුණි. මීටර් 300ක් පමණ ගිය පසු හෙමිහිට දකුණු පසට බර වන්නට කැලය තුළට ගමන් ගත් අතර දිරා ගිය කොළ රොඩු යට තිබෙන බුරුල් පසට විටෙක අපව ලිස්සුණි. තවත් අප කැලයට ඇඳුණු අතර අප ආ මග නිවැරදි යැයි දක්නට ලැබුණේ ඉදිරියෙන් පිහිටි මාන පඳුරු යාය නිසාය.

මාන පඳුරු වල උස අඩි 5කටත් වැඩිය. ඒවා පීරගෙන පඳුරු මුල් මත නැග ගල් කුට්ටි මතට නැග අපි ඉදිරියටම ගමන් කළෙමු. මාන පඳුරු යායේ මීටර් කිහිපයක් ගමන් කළ පසු දකුණු පස වූ විශාල ගලට එපිටින් අප රිංගා ගත්තේ ඔඬේ සොයා ගැනීමේ අටියෙනි. අපගේ ගමන් මග නිවැරදි යැයි වැටහුණේ එම ගලට එපිටින් වූ ඔඬේ හමුවීමෙනි. මෙය ගල් ලෙනක් බඳුය. එහි මඳක් නැවතුණු අප පරිසරය විඳින්නට වූයෙමු. ඔඬේ යනු දිය පහර ගලාගෙන යන කුඩා නිම්නයයි. මෙම ඔඬේ නම් මාස ගණනකින් දිය පහරක් ගලාගෙන ගොස් නොමැත. මන්ද වැල් ගල් සහිත පතුල වනන්තරය හා එකලෙසම තිබීමයි. මෙම කැලයේ දිය දහරක් නැවත හමු නොවේ. ඉහත්තාවේ උල්පත් වලින් බට මගින් ජලය රැගෙන යන අතර අපට එම බට මාර්ග නම් හමුවූයේ නැත.

23-Rasa-P3-02

දැන් අපගේ ගමන යා යුත්තේ ඔඩය දිගේය. ඔඬේට ඉහළ බුරුල් පසේ හරහට අඩි තබමින් විටෙක දෑතින් පොළව අල්ලන් අප ඉදිරියට ගමන් කළේ අඩි තබන විට පස ගැලවී යන නිසාය. මෙසේ තවත් මීටර්  500ක් පමණ ගමන් ගත් අප ඔඬේට බැස ගත්තෙමු. ඔඩය දිගේ යෑම පහසුය. නමුත් තරමක් ක්‍රියාන්විතය. මන්ද ඔඬේ පුරා ඇත්තේ විශාල ගල් පර්වත හා ගල් කුට්ටි පමණි. ඒ අතර කඩා වැටී දිරාපත් වූ විශාල ගස් කඳන් බොහෝමයක් දක්නට තිබුණි. ගල් පර්වත වලට නැග පනිමින් ගලින් ගලට ඇවිද යමින් ක්‍රමයෙන් කඳු නැගීමක් නැවත ආරම්භ විය. ශුෂ්ක පළාතට අනුකූල සර්ප ගහණයක් මෙහි පවතින නමුත් අපට නම් කිසිදු සත්වයකු හමු නොවුණි. ඕලු මුවන් හා වල් ඌරන් සිටින බැවින් වනාන්තරයේ එක් පසෙක තුවක්කු බැඳ ඇති බව අපට දැනගන්නට ලැබුණි. එක්තරා අලංකාර ස්ථානයකට පැමිණි අප නැවතත් එහි විවේකයක් ගත්තේ ඒ පරිසරයෙ වූ සුන්දරත්වය නිසාය. විශාල ගස් වල පහළට එල්ලෙමින් ඇති වැල් රාශියකි. ඒවා මත නැග ඔංචිලි පැදීමටත් නිදාගෙන සිටීමටත් පුළුවන. එම වැල් සහිත ප්‍රදේශයේ මද වෙලාවක් නැවතුණු අපට කුඩා කළ සිහිවූයේ මෙම ස්වභාවික සෙල්ලම් රටාවන් නිසාවෙනි.

තවමත් අපට කඳු වළල්ල දැකිය නොහැක. ඒ මන්දයත් උඩු වියන කොළ පාටින් වසාගෙන ඇති හෙයිනි. විශාල ගල් මත නැග එහි වූ අතු රිකිලි මත එල්ලෙමින් අප බොහෝ ඉහළකට ඇදෙන බව දුටුවේ නැවත ආ මග දෙස හැරී බැලුවිටදීය. මෙම ගමන දළ වශයෙන් කිලෝමීටර් 4කට ආසන්නය. ඉතාමත් දුෂ්කර හා වෙහෙසකර ගමනක් වන මෙහි මගපෙන්වන්නෙකු නොමැතිව යා නොහැක. නමුත් අප මග පෙන්වන්නෙකු හෝ කඹයක්වත් නොමැතිව තනිවම මෙම ගමන ආවේ ක්‍රියාන්විත අත්දැකීම් පිණිසය. නැවතත් ගමන ඇරඹූ අපි එක එල්ලේ කිලෝමීටරයක් පමණ ඉදිරියට ඇදුනෙමු. ගිනි කාෂ්ටක අව්වේ අපට සරණය වූ ජල පරිමාවද ක්‍රමයෙන් අඩු වෙමින් පැවතින. කෙසේ නමුත් කටු අකුල් මැදින් ගල් පර්වත නගිමින් අප හිතට සැනසීමක් ගෙන දෙන ස්ථානයකට ආවෙමු. එනම් සිරස් ගල දිගේ ඉහළට නැගීමටයි.

23-Rasa-P3-09 23-Rasa-P3-10


මෙම ගල් තලාව මැද දෙබොක්කාවකි. වම් පස ගල් තලාව ඉහලට ඇදෙන බැවින් එහි නැගීම කිසිසේත්ම කළ නොහැක. දකුණු පස ගල් තලාව දිගට පැතිර තිබෙන නමුත් කඹයක් නොමැතිව එහි ගමන් කළ නොහැක. එම නිසා ගල් දෙබොක්කාව දිගේ ඉහළට නගින්නට පටන් ගත්තේ අප නිරුවත් දෙපයිනි. ගලේ තිබෙන කුඩා ගැටිති වලට අත් තබමින් ඉහළට එසවෙමින් එම ස්ථානයටම දෙපා තබමින් ගමන් කළ හැක. නමුත් දෙබොක්කාවේ මැද කොටසේ කුඩා දිය සීරාවක් වූ බැවින් ලිස්සන සුලු විය. නමුත් එයද ඉතා දුෂ්කරව ජයගත් පසු ඉහළට නගින අන්තිම කොටසේ කඩා වැටුණ ගස් කඳක් අල්ලාගෙන එය යටින් හීන් සීරුවට රිංගා යා යුතුය. ගස් කඳටද වැඩි බරක් නොදිය යුතුය. මන්ද කඳ ගැලවී ඉදිරි යා හැකි බැවිනි. තනිකරම ගල දිගේ ඉහළට නැගීමක් වූ බැවින් යන්තම් හෝ ලිස්සුවහොත් මරණය නියතය. මන්ද අපගේ දෑතටත් දෙපයටත් ඇති එකම පිහිට වූයේ ගල් තලාව වූ බැවින් කෙසේ හෝ අප එකිනෙකා වෙලාවගෙන පරිස්සමින් ඉහලට නැග ගත් පසු ගිමන් නිවා ගත් සේ ගල මත තිරස්ව වැතිරෙමිනි. මෙතැන සිට ඉහළටම යා යුත්තේ මේ දෙබොක්කාව මැදිනි. ඉහලට යන විට ගස් වැවී තිබෙන බැවින් ඒවා අල්ලගෙන ගල් කුට්ටි මත අඩි තබමින් යා හැක.

එසේ මීටර් 100ක් පමණ ඉතා දුෂ්කරව ඇදුණු පසු මීටර් 5ක පමණ කොටසක් යාමට සිදුවූයේ අගලකට වඩා දිගැති කටු සහිත යායක් මැදිනි. අප යන මගට එම කටු ගස වැටී තිබුණු අතර කටු ගස අල්ලාගෙන ගස යටින් රිංගා ඉතාමත් කුඩා ඉඩකින් ඉහළට නැගිය යුතු විය. ඉතාමත් දුෂ්කර ලෙස අමාරුවෙන් එම කොටස නැග ගත්ත ද කටුවක් දෙකක් අපේ අත් කකුල් වල ඇනී ලේ ගලන්නට විය. නමුත් ඒවා ගණනට නොගෙන ගමන ඉදිරියටම ඇදගත් අපට නැවතත් මීටර් 20ක පමණ ගල දිගේ නගින්නට ස්ථානයක් හමු විය. මෙම ස්ථානයේ දෙබොක්කාව දිගේ භාගයක් නැගිය හැකි නමුත් ඉතිරිය නැගිය නොහැක. ඒ අසල වූ ගුහාව ළඟට පමණක් යා හැක. නමුත් දකුණු පස විවෘත ගල් තලාවේ ඉහළ සිට පහළට වැටුණ විශාල වැල් 3ක් තිබුණා. අප වැරෙන් ඒවා ඇද්දත් කැඩෙන සුලු නොවූ හෙයින් මලිත් ප්‍රථමයෙන් එම වැල් අල්ලාගෙන ගල දිගේ ඇවිද යමින් ඉහළට නැග ගත්තේය. පසුව මාද නැග ආව අතර ඊළඟට අකිල කෙසේ හෝ අමාරුවෙන් නැග ගත්තේ හදිසියේ හෝ වැල කැඩුණහොත් මරණ නියත වූ නිසාය. එම ස්ථානය නම් ඉතාමත් භයානකය. අප ස්වභාවිකවම කඳු තරණය කළේ ගස් වැල් වල එල්ලෙමිනි. මෙය අපට ජීවිත කාලයටම අමතක නොවන අත්දැකීමකි. මෙම ගමන ජීවිත අවදානම සම්පූර්ණයෙන් ඇති භයානක ගමනකි. නමුත් අප ක්‍රමානුකූලව පෙර අත්දැකීම් මගින් ලද පන්නරය තුළින් මේ ගිරි දුර්ගය තරණය කළෙමු.

23-Rasa-P3-06 23-Rasa-P3-07

ඉන් පසු නැවත විශාල පඳුරු යටින් රිංගමින් විටෙක බඩ ගා යමින්ද අවසන් නැග්ම තිබෙන ස්ථානයට ආවෙමු. මෙතැන ගසක් තිබෙන අතර එය මීටර් 10ක් පමණ ඉහළට ඇදී ඇත්තේ වම් පස ගල දිගේය. අප ගල ඉහලට යා යුතු වන්නේ මෙම ගස දිගේය. එහිදී දකුණු පසට ගලත් වම් පසට හිස් අවකාශය නැත්නම් වැටුණහොත් මරණය පමණි. කෙසේ හෝ ක්‍රමානුකූලව ගස දිගේ නැගගත් අප තවත් අඩි 5ක් පමණ ගල්තලාවට නැග නැවතත් මීටර් 6ක් පමණ ගල් තලාවට හේත්තු වීගෙන හරහට ගමන් කළෙමු. ඉන් පසු අප පැමිණියේ කුරුලන්ගල සිතුවම් ඇඳි ස්ථානයටයි. එතැන වර්ග අඩි 100ක පමණ ඉඩක් පවතින අතර ආ පයින්ම ගල් තලාව දිගේ වැතිර ගිමන් හැරියෙමු. 

මෙම ස්ථානය නම් චිත්‍ර කිහිපයක් ඇඳි ගල් තලාවකි. මෙය සිරස් ඉහළ ගල් තලාව පුරා චිත්‍ර ඇඳ ඇත. කොටින්ම කිවහොත් සීගිරි බිතු සිතුවම් ඇඳි ආකාරයටම ඇඳ තිබේ. මෙම චිත්‍ර රේඛාමය චිත්‍ර වන අතර ඇඳ ඇත්තේ රතු වර්ණයෙනි. මෙහි ඉතාමත් පැහැදිලිව දකින්නට ලැබෙන රූප වනුයේ කුරුල්ලන්, මොනරු, පිහාටු, සත්ත්ව හිස්, ලියවැල් රටා, ඩයිනෝසරයින් බඳු රූප වේ. විවිධ ආකාරයේ කුරුල්ලන්ගේ රූප ඇඳ තිබේ. වර්ග අඩි 20ක පමණ ප්‍රදේශය පුරාවටම මෙම සිතුවම් දක්නට ලැබෙයි. මේවා ඇන්දේ කවුරුන්ද? කුමන කාලයේද? මෙහි තේරුම කුමක්ද? මෙම සිතුවම් වර්ෂ ගාණක් පුරා අව්වට වැස්සට ඔරොත්තු දෙන ලෙස ඇන්දේ කෙසේද? මෙම ස්ථානය සොයාගනු ලැබුවේ කෙසේද? මෙහි වාසය කළේ කවුරුන්ද? මෙම සිතුවම් පිළිබඳ තවමත් නිශ්චිත පුරා විද්‍යාත්මක ඇගයීමක් සිදු කොට නොමැත. මන්ද මෙම ස්ථානය පිළිබඳව ලංකාවෙන්ම දන්නේ බොහෝ සුළු පිරිසකි. තවද මෙම ස්ථානයට පැමිණ ඇත්තේ සුළු පිරිසකි. ළඟා වීමට අතිශය අසීරු වන දුර්ගයක පිහිටි මෙම ස්ථානය පිළිබඳ මේ අවට නගරවාසීන් පවා දන්නේ නැත. සුමනරංසි හිමියන් පවසන අන්දමට මේවා වසර 5000ක් පමණ පැරණිය. තවද මෙම පර්වතය ආශ්‍රිත වන ලැහැබ තුළ කුරුල්ලන් බොහෝමයක් දක්නට ලැබෙන අතර හිරු උදාව හා සබැඳියාවක් පවතින බවත් උන්වහන්සේ අපට පැවසීය.
23-Rasa-P3-04

මන්ද මෙම ස්ථානයට දකුණු වෙරළ දක්වා විවෘත ප්‍රදේශය පවා දැක ගත හැකි අතර උදෑසන හිරු කිරණ හා මෙම ස්ථානය හරහා පියඹා යන සියොතුන් අතර යම් සංසිද්ධියක් මෙම ප්‍රදේශයේ තිබේ. එය ස්වභාවධර්මයේ තවත් අපූරු හමුවීමක් විය හැක. කෙසේ නමුත් අපි දැඩි ආයාසයක් ගෙන හැකි පමණ ඡායාරූප ගත්තෙමු. නමුත් මෙම චිත්‍ර මෙහි සිතුවම් කළ ජන කොට්ඨාසය මෙවැනි අතිශය දුර්ග බිමක සිටියේ කෙසේදැයි සිතන විට පුදුමයක් ඇතිවේ. අංශක 180ක සම්පූර්ණ ඉදිරිය පෙනෙන අතර මෙම ස්ථානයේ සුවසේ රාත්‍රිය ගත කිරීමට සුදුසු බව අපට වැටහුණි. නමුත් මෙම කන්දෙන් ඉහළ කොටසේ කිනිතුල්ලන් සිටින බැවින් ප්‍රවේශම් විය යුතුයි. වර්ෂාව නැති නිසාදෝ කුඩැල්ලන්ගෙන් කිසිදු කරදරයක් සිදු නොවුණි.

කෙසේ හෝ හෝරා දෙකක් පමණ නිදහසේ මෙහි කාලය ගත කළ අප නැවත කන්ද බැසීමට පටන් ගත්තෙමු. අප කන්ද නැගි සමහර ස්ථාන බසින විට ඉතාමත් අමාරු කාර්යයක් වූ බැවින් ඉදිරියෙන් ගිය මම සෙසු සගයන්ට නිවැරදි ඉරියව්ව හා ආ යුතු ආකාරය පෙන්නුවෙමි. පසුව එක එල්ලේ බැසගත් අප වැල් වල එල්ලී පහළට බැසීමට පටන් ගත්තේ කන්ද නැගී ආකාරයෙන්ම පිටුපසට යමිනි. ස්වභාවධර්මයේ චමත්කාරය විඳිනු පිණිස අප මෙවැනි ආකාරයේ ජීවිත අවදානමක් ගැනීම විටෙක අපට ද පුදුමයක් විය. මන්ද ගවේෂණශීලි මනසින් සිටි අප අපට හමුවන බාධක වල බැරෑරුම් කම ගැන නොසිතා ඉදිරියට ගමන් කළේ මෙවැනි අත්දැකීම් නැවත විඳීමට නොහැකි වේ යැයි සිතමිනි.

23-Rasa-P3-13


ගලේ නැගි අවස්ථා දෙකම ඒ ආකාරයටම පසුපසට යමින් බැසගත් පසු කටු අකුල් කැලයට බට ඔඬේ දිගේ ඉදිරියට ගමන් කළෙමු. නමුත් එක් සලකුණකදි ඔඬේ මග හැර කැලය දිගේ පාරක් සොයාගෙන ගිය අප අතරමං වුණි. නමුත් ස්වභාවධර්මයේ හැසිරීමට අනුව දිශාව තීරණය කරමින් අපි නේක විධ බාධක මැද දෑත දෙපා සීරෙමින් ඉදිරියටම ඇදුනෙමු. එහිදී අපට මීටර 200ක පමණ දිග මාන පඳුරු යායක් මැදින් යාමට සිදුවුණි. අපටත් වඩා උසයි. මාන පඳුරු පීරගෙන ගල් කුට්ටි මතින් පනිමින් ඉදිරියක් නොපෙනෙන ඉසව්වක් බලා හිතේ මිම්මකට ගමන් කළෙමු. පසුව අප එක්තරා රූස්ස ගස් පිරි ප්‍රදේශයකට පැමිණ මදක් විවේක ගෙන වම් පසට බරව ගමන් කළෙමු.  කෙසේ හෝ ගම්මානයට ජලය ගෙන යන බට පේලිය අපට හමුවුණි. එම බටයෙන් පිපාසය නිවාගෙන විඩාව නිවාගත් අප මීටර් 20ක් පමණ ඇවිද ගිය අතර එහිදී අපට ත්‍රීරෝද රථයක හඬ ඇසුණි. සියල්ලන්ගේම සිතට සැනසීම ආවේ එවිටයි.
කෙසේ හෝ අප පැමිණ තිබෙන්නේ අප ගමන ආරම්භ කළ තැනට මීටර් 100ක් පමණ පසුපසිනි. ප්‍රධාන මාර්ගයට ආ අපි එහි වැතිර නිදාගත්තෙමු.
සවස 6 වූ අතර අඩ අඳුර ප්‍රදේශයට ගලමින් තිබුණි. විහාරයට ගිය පසු ගත දොවාගෙන ආහාර ගෙන රාත්‍රී 8.30ට ඇල්ලෙන් පිටත් වූ අපි කිටි කිටි ගාන සීතලේ බණ්ඩාරවෙල, හපුතලේ පසු කරමින් පසු දින අලුයම 2.30 වන විට කොළඹට පැමිණියෙමු. අපගේ දෙපා හා දෑත හතළිස් පලක් පමණ සීරි ඇත. නමුත් අපගේ ක්‍රියාදාමය අතිශය සාර්ථකය. Travel in Sri Lanka-Sobasini හරහා එකතුව සම්පූර්ණ ඡායාරූප හා තවත් ගමන් නැරඹීමට ආරාධනා කරන්නෙමු.
විශේෂ ස්තූතිය මුහුණුපොතේ Adventure Holidays & Tours yg


m

http://www.lankadeepa.lk/index.php/articles/408687

ගනුදෙනුව


එක ගමක සුප්පන් කියලා පොහොසත් මිනිසෙක් හිටියා. එයාට බූරුවන් ගොඩාක් උන්නා. ඒ බූරුවන්ව කුලියට දීම තමයි එයා කරන්නෙ. කන්දන් කියලා ඒ ගමේ ම තවත් මිනිසෙක් උන්නා. කන්දන් දවසක් සුප්පන් හොයා ගෙන යනවා. බූරුවෙක් කුලියට ගන්න.
“දුර ගමනක් යන්නෙ ඔබත් කැමති නම් මා එක්ක යන්න එන්න”. කන්දන් සුප්පන්ට කිව්වා. සුප්පන් කැමති වුණා. දැන් දෙන්නම ගමන යන්න පිටත් වුණා. බූරුවා දක්කගෙන මේ දෙන්නා ටිකක් දුර යනකොට අව්ව හොඳට ම තද වුණා. පොළොවෙ වැලිත් රත් වුණා. කකුල් තියන්න බෑ, ගින්දර වගේ. මේ දෙන්නට තිබුණ එකම සෙවණ තමා බූරුවගෙ හෙවණැල්ල. ඉතිං දෙන්නා ම බූරුවගෙ හෙවණැල්ල යටට යන්න පොර කෑවා.
අන්තිමේදී කන්දන් කිව්වා “බූරුවා කුලියට ගත්තෙ මමයි. ඒ හින්දා හෙවණ අයිති මටයි” කියලා.
“බූරුවා කුලියට දුන්නට හෙවණට සල්ලි ගත්තෙ නෑ” කියලා සුප්පන් කිව්වා.
දෙන්න හොඳට ම වාද කරන්න පටන් ගත්තා. දහදිය දමමින් වාද කරනවා. පිච්චෙන කකුල් උස්ස උස්ස වාද කරනවා. එකම ගාලගෝට්ටියයි. මේ වාද මිසක් වෙන කිසිවක් මේ දෙන්නගෙ ඔළුවට ආවෙ නෑ.
ඔය අතරෙ අපූරු දෙයක් වුණා. සුප්පන්ට නිකමට වගෙ බූරුවා ඉන්න දිහා බැලුණා. දෙයියනේ! බූරුවා පේන තෙක් මානයක නෑ. බුරුවා ගිහිං.
ඊට පස්සෙ දෙන්නත් එක්ක එකතු වෙලා තද අව්වේ දුක් විඳ විඳ බූරුවා හොය හොයා පයින් ම ගියා!
‍මේක අපේ ඉපැරැණි ජනකතාවක්.
සම්මානි විජේසිංහ
සිතුවම - සිබිල් වෙත්තසිංහ

http://silumina.lk/2016/08/21/_art.asp?fn=au1608211

Friday, August 19, 2016

ළමා පිටිය.

බුලර්ස් පාරේ ටිකක් ඇතුලට ඇවිද ගිහිල්ලා එ් කාලේ රේඩියෝ සිලොන් කියලා කිව්ව ගුවනින් විදුලි සංස්ථාව ඇතුලට පොඞ්ඩක් ගොඩවෙමු. එත් ඒක ඇතුලේ ළමා පිටියක් තියෙනවාද? ඔව් මේ පිටිය ඇහෙන් දකින්න නම් බෑ. කනින් අහන්න නම් පුළුවන්. මීට අවුරුදු ගනනාවකට කලින් එ් කාලේ ළමයින්ට මේ ළමා පිටියට ගොඩවෙන්න ලැබුනේ කනින් අහලා තමයි. ගුවන් විදුලියෙන් ඇරඹුනු ළමා වැඩසටහන් ගොන්නක් තිබුණා. අද කොළොම්පුරේන් කතාකරන්න යන්නේ ඒ ගැන. එහෙනම් යමුද මේ ඇහෙන් දකින්න බැරි කනින් අහන්න පුළුවන් ළමා පිටියේ තොරතුරු හොයා බලන්න.





අපේ ලංකාවේ ගුවන් විදුලිය පටන් අරගෙන අවුරුදු දහයකට පස්සේ ළමයින් වෙනුවෙන් ළමා වැඩසටහනක් කරන්න  ඕනේ කියලා හිතුනේ. "ආන්ටි කර්ක්" නමින් මේ පළමු ළමා රේඩියෝ වැඩසටහන 1935 මැයි 15 වෙනිදා සිට විකාශය කරන්න පටන් ගත්තේ. මේ වැඩසටහන මෙහෙව්වේ කර්ක් නැන්දා. හැම බදාදා දවසකම හවස 6.30 ඉදන් 7.30 දක්වා පැයක් ඉංග‍්‍රීසියෙන් මේක ප‍්‍රචාරයවුනා. මේ වැඩසටහනට ළමයින් එකතුකරගන්න රචනා තරගාවලියක් එහෙම පවත්වලා තරගෙන් ජයගන්න අයට ඉංග‍්‍රීසි ළමා පොත් තෑගි විදිහට දිලා තියෙනවා. "ආන්ටි කර්ක්" ගෙන් පස්සේ "ආන්ටි ජෙනිට" මේ වැඩසටහන මාරුවුනා. ආන්ටි ජෙනිට "අන්කල් පීටර්ද" එකතුවෙලා කරපු  මේ වැඩසටහන බදාදා දිනයෙන් බ‍්‍රහස්පතින්දා දවසට මාරුවෙලා ගියා. "ආන්ටි ජෝයි" එක්ක "අන්කල් නික්"ළමා පැයට එකතුවුනේ 1941 අවුරුද්දේදි. ඉතිං මේ ළමා පැය බ‍්‍රහස්පතින්දා හවස 6 ඉදන් 7 වෙනකම් ගුවන් ගතවෙලා තියෙනවා.

ඉංග‍්‍රීසියෙන් විතරක් ළමා වැඩසටහන් කරලා හරියන්නේ නෑනේ. සිංහල ළමා වැඩසටහන් අපේ රේඩියෝ එකට ආවේ 1936 අවුරුද්දේ. මේක කරගෙන ගියේ"සිරියලතා නැන්දා" නමින් කැතරින් හපුගල මහත්මියයි. සෑම සිකුරාදා දවසකම හවස 6 ඉදන් 6.25 වෙනකම් එ් කියන්නේ පැය කාලක් ප‍්‍රචාරයවුනා. 1939 නොවැම්බර් මාසේ වෙනකොට පි.ජි. ආරියරත්න මහතා "ආරියරත්න මාමා" නමින් ළමා වැඩසටහන කරගෙන ගියා. "දමයන්ති අක්කා" නමින් චන්ද්‍රා රන්හොටි මෙනවිය මේ වැඩසටහනට දායකත්වය දුන්නා. 1941 අවුරුද්දේ මේ ළමා වැඩසටහනේ විකාශ කාලය විනාඩි 40 දක්වා දීර්ඝ කරලා තියෙනවා.
 මුල්ම දෙමළ ළමා වැඩසටහන් ද 1936 අවුරුද්දේම පටන් අරන් සෙනසුරාදා දවස්වල හවස 6 ඉදන් 6.25 වෙනකම් පැය කාලක් විකාශයවුනා කියලයි සඳහන් වෙන්නේ. 



යු. එ්. එස්. පෙරේරා  "සිරි අයියා"

මුල් කාලේ විකාශය වෙච්චි එකාකාරි ළමා වැඩසටහන් වල ආකෘතිය වෙනස්කරන්නට ගුවන් විදුලි අධිකාරි විදිහට ආපු ෂර්ලි ද සිල්වා පියවර ගත්තා. මේ පරිවර්තනයේ ප‍්‍රධාන සාධකය වෙන්නේ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකුවු යු. එ්. එස්. පෙරේරා මහතායි. එයා "සිරි අයියා" නමින් ළමා පිටියේ ප‍්‍රසිද්ධවෙනවා. මේ සිරි අයියාව ළමා පිටියට එකතුකරන්නේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා තමයි. දමයන්ති අක්කා කරගෙන ගිය වැඩසටහනට කවි විරිදු ගායනා කරන්න ආපු යු.එ්.එස්. පෙරේරාට දමයින්ති අක්කා එක්ක මේ වැඩසටහන කරගෙන යන්න කියල පස්සේ කාලෙක ඇරයුම්ක් ලැබෙනවා. එ් නිසා දමයන්ති අක්කා සහ සිරි අයියා නමින් ළමා තීරය ප‍්‍රචාරවෙන්න පටන්ගත්තා. පස්සේ කාලෙක දමයන්ති අක්කා කසාද බැඳලා ළමා පිටියෙන් පිටවෙලා ගිය හින්දා සිරි අයියාට මේ ළමා පිටිය බාරගන්න කියලා මලලසේකර මහත්තයා කියනවා. දමයන්ති අක්කා නැති නිසා "සොමි අක්කා" කියලා තවත් අයෙක් හඳුන්වලා දෙන්න කටයුතු කරනවා. මුල්ම සොමි අක්කා වුනේ ඊවා ජයසේකරයි. නන්දා කෙවිටියගල, සිරිමා ප‍්‍රනාන්දු, ධනවති මුණසිංහ සහ පස්සේ කාලෙක ප‍්‍රවිණ නිලියක්වු ටි‍්‍රලිෂියා අබේකෝන් (ගුණවර්ධන)  සොමි අක්කාගේ චරිතය බාරගත්තා. 
මේ ළමා වැඩසටහනට තේමා ගීතයක් විදිහට "මුනි නන්දන සිරිපාද වදිම්" ගීතයේ අනුවාදනය එහෙම එකතුකරලා නව මුහුණුවරක් දෙන්න සිරි අයියාට පුළුවන් වෙලා තියෙනවා. මේ ළමා තීරය අසන ළමයින් චන්ද්‍ර, සුර්ය, නන්ද, මෞර්ය නමින් නිවාස හතරකට බෙදා වැඩසටහනට දායක කරගත්තා. මේ ළමා තීරයට ලංකාවේ විවිධ පළාත් වලින් එකතුවු ළමයින් පස්සේ කාලෙක අපි කවුරුත් දන්නා නමගිය කලාකරුවන්වුනා. කරුණාරත්න අබේසේකර, රිජ්වේ තිලකරත්න, චිත‍්‍රානන්ද අබේසේකර, තලංගම පේ‍්‍රමදාස, වින්සන්ට් පන්ඩිත, ඩෝල්ටන් ද සිල්වා, රවින්ද්‍ර රූපසිංහ, පි.වි. නන්දසිරි, හෙන්රි ජයසේන, ටි‍්‍රලිෂියා අබේකෝන් (ගුණවර්ධන),දොස්තර උපුල් ජයවර්ධන, දොස්තර හඞ්සන් ද සිල්වා ආදින් ළමා තීරයෙන් රටම හඳුනාගත් පිරිසෙන් කිහිප දෙනෙක්.  1953 අවුරුද්දේ මේ ළමා තීරය නතර කරලා දැම්මා. 

සිරි අයියාගෙන් පස්සේ ළමා තීරය ආපහු ඇරඹුනේ කරුණාරත්න අබේසේකර මහතා ළමා හා කාන්තා වැඩසටහන් බාරගැනිමත් එක්කයි. මේ කරුණාරත්න අබේසේකර මහත්තයාගේ කාලේ තමයි ළමා පිටියේ ස්වර්ණමය කාලේ උදාවෙන්නේ. කරුණාරත්න අබේසේකර ප‍්‍රසිද්ධවුනේ "කරු අයියා" නමින්. කරු අයියා ළමා තීරය තුලින් ළමා ගීත රැසක් නිර්මාණය කරලා ඉදිරිපත් කළා. සෑම වැඩසටහනකදිම අළුත් ගීතයක් වැඩසටහන ආරම්භයේදිම ලියා තනු යොදා පුහුණු කරවා ඉදිරිපත් කරන්නට සමත්වුනා.         



කරුණාරත්න අබේසේකර    "කරු අයියා" 

අගහරුවාදා දවස්වල පැයභාගයක් වෙන්කර තිබුණේ  "ළමා රංග පීඨය" නම් වැඩසටහනේ ළමා නාට්‍ය සඳහායි මේ නාට්‍යවලට අවුරුදු 16 න් පහළ ළමයි යොදාගෙන චරිත නිරුපණය කෙරේව්වා. මේ ළමා රංගපීඨය එදා බොහෝ ජනප‍්‍රිය වැඩසටහනක් වුනා. "ටිකිරි සිනා රැලි" නම් වැඩසටහන මඩවල එස්. රත්නායක මහතා බදාදා දවස්වල ඉදිරිපත්කළා. මේ වැඩසටහන සාහිත්‍යට බර නව රචකයින් සඳහා වෙන්කරපු එකක්වුනා. මේ  මගින් ළමා ලිපි, රචනා,ගීත,කවි ආදි විචිත‍්‍රාංගයන් ඉදිරිපත් කෙරුවා.
වයස අවුරුදු 3 ත් 6ත් අතර ළමයින් ඉල්ක්ක කරගත් තවත් වැඩසටහනක්වු "මා වැනි බිලින්දා" වැඩසටහනයි ප‍්‍රචාරය වුනේ බ‍්‍රහස්පතින්දා දවස්වලයි. මෙය කරුණාරත්න අබේසේකර මහතා ඉදිරිපත් කෙරුවා. සෙනසුරාදා දිනවල "ශනිදා හමුව" ලෙසින් සුදර්මන් සිල්වා සම්පාදක ලෙසින් කටයුතු කෙරුව වැඩසටහනක්දවුනා.  

ඉරිදා දිනවල ප‍්‍රචාරය කෙරුනු "සරස්වතී මණ්ඩපය" ළමාතීරයේ ජනප‍්‍රියතම වැඩසටහන වුනා. මේකට විනාඩි 45 ක ගුවන් කාලයක් වෙන්කර තිබුණා. සම්පාදක විදිහට කරුණාරත්න අබේසේකර මහතාත් සංගීතය ඩි.ඩි.ඩැනි මහතාත් සැපයුවා. මෙහි බොහෝ ගීත කරුඅයියා විසින්ම රචනා කරපු ගීතවිමත් විශේෂයක් වෙනවා. ළමා ශිල්පියෙකුවු හේම ශ‍්‍රී අල්විස් ගීත ලිවීමට සරස්වතී මණ්ඩපයට එක්වුනු අයෙක් බව පැවසෙනවා. ශාන්ති දිසානායක, තිලකසිරි ප‍්‍රනාන්දු, එස්.ලියනගේ, නන්දා මාලනි, ඇන්ජලින් ද ලැනරෝල්, අමිතා වැදිසිංහ, මල්ලිකා කහවිට, බුද්ධදාස බෝධිනාගොඩ,  ලීලාරත්න කංකානම්ගේ, එමර්සන් හිප්පොල සරස්වතී මණ්ඩපයට එක්වුනු අය අතරේ හිටියා. මේ නම් අතර ඔයාලටත් හුරුපුරුදු නම් තියෙනවා නේද? ඒ කාලේ ළමා ශිල්පින් තමයි අද සුප‍්‍රකට ගායක ගායිකාවෝ, විද්වතුන් වෙලා තියෙන්නේ.  මේ ළමා මණ්ඩපයෙන් දොරට වැඩිය අද සුප‍්‍රකට ගායක ගායිකාවන් තමයි නන්දා මාලනි, සනත් නන්දසිරි, නලිණී රණසිංහ, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, නීලා වික‍්‍රමසිංහ, සුජාතා අත්තනායක, ශීලා පරණමානගේ, පුණ්‍යා කත‍්‍රීආරච්චි, දයා හේමන්තා අබේසේකර, චන්ද්‍රා කබ්රාල් හා රූපා ඉන්දුමති ආදි අයත් වෙනවා. 
මේ වැඩසටහන් වල විශේෂත්වුයේ ළමා වැඩසටහන් එසැණින් ඉදිරිපත් කිරිමයි. හොඳ ළමා ගීත පස්සේ තැටිවලට තැටිගත කරගත්තා.  මේ වැඩසටහන් වලට පිටපත් රචනයට තලංගම පේ‍්‍රමදාස, ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර, විමල් දිසානායක, බුද්ධදාස බෝධිනාගොඩ ආදි අය සහභාගි කරවා ගත්තා.  
1965 අවුරුද්දේ ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වුනාට පස්සේ කරු අයියා ස්ථිර සේවයෙන් ඉවත්වෙනවා. වැඩසටහන් සම්පාදක තනතුර නිෂ්පාදක තනතුර විදිහට වෙනස්වුනා. කරු අයියාගෙන් පස්සේ මේ ළමා හා කාන්තා වැඩසටන්  භාරව කටයුතු කරන්නට වරින්වර නිෂ්පාදකයින් වෙනස්වුනා. ප‍්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, ඇග්නස් සිරිසේන, හඞ්සන් සමරසිංහ, පේ‍්‍රමකීර්ති ද අල්විස්, සුනන්දා ධර්මපාල, මහින්ද අල්ගම යන අය නිෂ්පාදකයන් වුනා.



පේ‍්‍රමකීර්ති ද අල්විස්
  
         
"මල් කියන්නේ කාට කාට - ළමයින්ටයි පාට පාට" යනුවෙන් ලියැවුනු තේමා ගිතය අහලා තියේනවාද? එ්ක තමයි "ළමා පිටියේ" තේමා ගිතය. ළමා රංග පීඨය, කනිටු සරසවිය, ළමා සංග‍්‍රහය වැනි විවිධ නම් වලින් මේ ළමා පිටිය සතිය පුරාවටම විවිධ වැඩසටහන් කළා.

1962 වෙළඳ සේවා අධ්‍යක්ෂකවරයා ලෙසින් ගුවන් විදුලියට පත්වෙලා ආපු පස්සේ කාලෙක ගුවන් විදුලියේ සභාපති ධුරය දැරු ලිව් ආර්. විජේමාන්න මහතා සිංහල වෙළඳ සේවය ඔස්සේ ළමා වැඩසටහනක් ඇරඹිමට අදහස් කළා. 1950 ඉදන් ගුවන් විදුලියේ ගද්‍ය ගායනා ඉදිරිපත් කරන සුමනා ජයතිලක මහත්මියට "හඳමාමා" ළමා වැඩසටහන ඉදිරිපත්කරන්නට පැවරුවා. හඳමාමා වැඩසටහනේ මුල්ම නිෂ්පාදක වුනේ පසුකාලෙක චිත‍්‍රපට අධක්ෂක කෙනෙක්වු කේ. එ්. ඩබ්ලිව්. පෙරේරා මහතායි. 1963 දෙසැම්බර් 14 වෙනිදා හඳ මාමා මුලින්ම ගුවනින් විකාශනය වුනා. එතැන් ඉදලා අද දක්වාම නොකඩවා ප‍්‍රචාරයවෙන එකම ළමා වැඩසටහන තමයි  "හඳ නැන්දා" ලෙසින් අදටත් සුමනා ජයතිලක මහත්මිය හඳමාමා ඉදිරිපත් කරනවා. සුමනා මහත්මියට ආරියරත්න මිල්ලවිතානාච්චි සහ ලැම්බට් පෙම්මාවඩු වැනි නිවේදකයින් සහායවෙලා තියෙනවා.


 සුමනා ජයතිලක   "හඳ නැන්දා" 


ලොව ගණඳුරු දුරුකරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අපට දැනුම දෙන්න
හඳ මාමාට සවන් දෙන්න

මේ තියෙන්නේ සුමනා ජයතිලක නැන්දා ලියුව මිල්ටන් පෙරේරා ගයනා කරපු හඳමාමා ළමා වැඩසටහනේ තේමා ගීතය තමයි. 

ළමා වැඩසටහන් ගුවන් විදුලියෙන් අහන්නට ළමයින්ගේ උනන්දුව අඩුවෙලා යන්නට එක හේතුවක්වුනේ රුපවාහිනී යන්තරේ ඇවිල්ලා කනට ඇහෙන්න විතරක් නෙමෙයි ඇහැට පෙනෙන්නත්  වැඩසටහන් විකාශය වෙන්න ගත්තුඑක. එදා එ් ළමා පිටියේ දඟකරපු ළමා ශිල්පින් අද වියපත්වෙලා ගිහිල්ලා. සිරි අයියලා, පේ‍්‍රමකිර්ති ද අල්විස්, කරු අයියලා මඩවල එස්, රත්නායකලා ලොවෙන් සමු අරන් ගිහිල්ලා. හැබැයි අදටත් අපිට ඇහෙන ළමා පිටියේ ළමා ගීත රාශියක් කලාකෙත රසකරවමින් අදටත් සුරැකිව තියෙනවා. 


https://kolompure.blogspot.com/2016/08/blog-post_14.html