Sunday, July 7, 2013

ළමා ජන කවියේ අභිමතාර්ථය

ළමා ජන කවියේ අභිමතාර්ථය
සිංහල සාහිත්‍ය භූමිකාවේ අනුභූතීන් විමර්ශනය කරන විට පෘථුල පරාසයක්‌ කරා දිවයන්නකි. ශිෂ්ට යයි සම්මත ජාතීන්ගේ සන්නිවේදනය කෙරෙහිත්, භාව ප්‍රකාශනයේ වින්දනාත්මක පක්‍ෂය කෙරෙහිත්, සාහිත්‍යමය වින්දනයට සිදුකර ඇති බලපෑම විශ්‍රැත ය.
"කාව්‍ය ශාස්‌ත්‍ර විනෝදයෙන් බුද්ධිමතුන්ගේ කාලය ගත වේ". යන්න සංස්‌කෘත සාහිත්‍යයේ මතයකි. පොදු ජනයා අතර විමංසනය හා භාව ප්‍රබුද්ධ ජීව ගුණය ජන සාහිත්‍යයෙන් උත්තීර්ණ කරවයි.
ළමා ජන සාහිත්‍ය පිළිබඳ ඉන්දියාවෙන් හා චීනයෙන් සාධක බහුලව ලැබෙන අතර සෑම ජාතික සන්නිශ්‍රිතයක්‌ තුළින් ද එය විද්‍යමාන වනු ඇතැයි හැඟේ. ජන සාහිත්‍ය පිළිබඳ කරුණු රැසක්‌ සිංහල සාහිත්‍යයට එකතු වී ඇත. ළමා සාහිත්‍ය පිළිබඳ ව විමසන විට කුමාරතුංග මුනිදාස, එස්‌. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ආදී කවීන් රැසක්‌ විසින් සිදුකළ මෙහෙය අමන්දානන්දයට හේතු වෙයි.
ළමා ජන කවිය ඈත අතීතයේ සිටම ඇති වූවකි. වත්මන න්‍යෂ්ටික පවුල් සංස්‌ථාව හා කාර්මීකරණ සමාජයක්‌ තුළින් ළමා ජන කවි බිහිවේ ද යන්න සැක සහිතය. මෙහි දී අදහස්‌ කරනුයේ ළමා සමාජයෙන් ම බිහිවන කවි මෙන් ම ළමා ලෝකය වෙනුවෙන් ලියූ කවි පිළිබඳවය. දශක කීපයකට පෙර පාසල් පද්ධතියට සම්බන්ධ වූ ළමුන් මගින් ද කව් හැඟුම් මතු වූ බවට සාධක මෙම ලිපියෙන් දක්‌වමි.
ළමා ලෝකයේ ක්‍රීඩා භූමිකාව තුළින් ළමා ජන කවි පිළිබඳ සාධක හමුවෙයි.

අත්තාපල් මුත්තාපල් මා අල්ලන්නට බැරුවා
අත්තාපල් මුත්තාපල් රෑ වන තුරු අල්ලාපන්
අත්තාපල් මුත්තාපල් රෑන ගලේ ගල කෙටුවත්
මා අල්ලන්නට බැරියෝ....

මෙහි දක්‌වා ඇති රිද්ම රටාව හා ජන වහරේ සුගම්‍යභාවය සුවිශේෂනීය බස මගින් භාෂාත්මක පෝෂණය හා භාවනීය ගුණය ඉස්‌මතු වේ. "ඔට්‌ටු සෙල්ලම" නමින් වූ ළමා ක්‍රීඩාවට අනුව මෙම කවි හැඟුම් හෙළ ළමා ලොවෙන් සුජනිත වී ඇත.
ළමුන් පේළි ගැසී ඉදිරියෙන් ඉර ඇඳ දෙපස "දිය හා ගොඩ" ලෙසින් සලකා දිය ගොඩ යන වචන දෙක උසුරුවනු විට සක්‍රීය වන ළමුන් පැනීමේ දී දැවී යයි. දැවීයාම නිම වන තුරු ක්‍රීඩා කිරීමේ දී උච්චාරණය කරන කවි බසේ ජීවමය ගුණය සිතියම් රිද්මයක ට අනුගත වන බව පහත සඳහන් භාව ප්‍රකාශනයන් සනිදසුන් ගෙන එයි.

"කංකං බූරු සංසං නෝරු
මං කියන දේ අහනවද
ඔව්
එහෙනම් දුවල දුවල ගිහිල්ලා.....
අල්ලා අරන් වරෙන්"

එළුකොට බැඳීම පිළිබඳ ළමා ක්‍රීඩාව සුපතළය. ගැහැනු පිරිමි දෙපක්‍ෂයම සහභාගි වන මෙම ක්‍රීඩාවෙන් වින්දනාත්මක සෞන්දර්යය නිෂ්පත්ති කරවයි. මේ සෙල්ලමේ දී අත්වැල් අල්ලාගෙන රවුමට ළමා පිරිස පෙළ ගැසෙති. එක්‌ අයෙකු කවය මැද සිටි අතර නව දෙනකු රවුමට පිටින් සිට එළුවා සෙවීමට එති. දෙපිරස අතර ඇති වන කාව්‍ය සංවාදය මෙසේ ය.
"මේ වැල මොකදෝ
මේ වැල දම්වැල
මේ වැල මොකදෝ
මේ වැල කිරි වැල
උඩින් පනින්
තල්ල කැඩෙයි
යටින් රිංගන්
තිඹොල් ඇනෙයි"

කවි සංවාදය පවත්වමින් ක්‍රීඩා කරන ගැහැනු ළමුන්ගේ ගමන් විලාශය නාට්‍යාකාරයක්‌ උසුලනු ඇත. අත්දෙක කැඩීමට උනන්දු වන ආකාරය දිස්‌ වෙයි. සංවාදශීලී පද වහර තුළ ධ්වනිතාර්ථවත් බවක්‌ දිස්‌වනුයේ අර්ථෝත්දීපනය හා ශබ්දෝත්දීපනය නිෂ්පත්ති කරන විලාශයෙනි.
මේ පුටු කාගේ - බණ්‌ඩාරේ (පැන හා පිළිතුරු)
මේ ඇඳ කාගේ - බණ්‌ඩාරේ
කුරුලු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවත් නැතී
ගේ ගොම ලාගත් මගෙ එළුවා - තොපට කොයින්දෝ
අපගේ එළුවා
ඉරගල දීලා ගත් මගේ එළුවා - තොපට කොයින්දෝ
අපගේ එළුවා
අප්පා දීලා ගත් මගේ එළුවා - තොපට කොයින්දෝ
අපගේ එළුවා
එළුවන් කන්නයි මා ආවේ - එළුබෙටි කාපං තුං තීරේ
සාවුන් කන්නයි මං ආවේ - ඒ බෙටි කාපං තුං තීරේ
එළුව කපා අපේ ගෙටයි - ඒ බඩවැල් තොපේ ගෙටයි
මුවා කපා අපේ ගෙටයි - ඒ බඩවැල් තොපේ ගෙටයි
ගෝනා කපා අපේ ගෙටයි - ඒ බඩවැල් තොපේ ගෙටයි
කොච්චි කොටන්නං රාළහාමි දෙනවද එළුවා
කොච්චර කෙටුවත් නොදෙනෙමු අපගේ එළුවා
කැලේ දුවන්නං රාළහාමි දෙනවද එළුවා
කොච්චර දිවුවත් නොදෙනෙමු අපගේ එළුවා
දණින් වැටෙන්නම් රාළහාමි දෙනවද එළුවා
කොච්චර වැටුනත් නොදෙනෙමු අපගේ එළුවා
මෙන්න වැන්දා රාළහාමි දෙනවද එළුවා
කොච්චර වැන්දත් නොදෙනෙමු අපගේ එළුවා
(හෙළගොස - සේසත ප්‍රකාශන, 347-348 පිටු)

මෙහිදී සුභාවිත කොට ඇත්තේ ජන වහරේ සුසංයෝජනීය බසකි. "එළු බෙටි කාපං තුංතීරේ" යන වදන් මගින් පරිහාසය ජනිත කරයි. ළමා සිතේ සංකීර්ණ පැතිකඩක පවත්නා භාව ප්‍රකෝපනය "ඒ බඩවැල් තොපේ ගෙටයි" යන්නෙන් මූර්තිමත් වේ.
"කොච්චර කෙටුවත් නොදෙනෙමු අපගේ එළුවා" වැනි ප්‍රකාශන මගින් සත්වානුකම්පිත ගුණය ළමා මනසට නංවා ඇත. "අප්පාදීලා", "ඉරගල" වැනි වදන් මගින් සුභාවිත ජන බස හා කාව්‍යාත්මක ප්‍රතිනිර්මාණාත්මක කෞශල්‍ය මස්‌තකප්‍රාප්ත කොට ඇත.
අතුරු මිතුරු ක්‍රීඩාව ළමා මනසේ ප්‍රබුද්ධත්වයක්‌ ඇති කරවූවකි. ළමුන් වටේට වාඩි වී අත්ල යටට සිටින සේ දැත් බිම තබාගත් විට නායකයෙකු තේරේ. ඔහු එක්‌ අතක්‌ පමණක්‌ බිම තබා ගෙන අනෙක්‌ අයගේ අල්ලට තට්‌ටු කරමින් මෙසේ කියයි.
"අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්‌ටියෝ
වරා ගහක්‌ දුටින් බොලන් වරා ගහට ගොහින් බොලන්
පුහු කලටිය හෙලං බොලං ඇස්‌ස සිඟා කාපු වෙදා
ඇහි වෙළඳම් කරපු වෙදා වෙලබඩ තිබු අගුල කපා
රන් තැටියේ පුදා තියා
කකුල කපල වැට මුල්ලේ කිකිළි කපල දොර මුල්ලේ
කෙහෙල් කැනක්‌ ගෙයි මුල්ලේ
කැවුම් කඳක්‌ දොර මුල්ලේ
ඇස්‌ කොල්ලෝ පේලියයි
මිටි කෝල්ලෝ පේලියයි
උස්‌ දරමිටි පේලියයි
මාමලාට නැන්දලාට
බෑනලාට ලේලිලයි
අක්‌කලාට අයියලයි
නංගිලාට මල්ලිලයි
උසි කපුටා උසී

අලුත ගෙනා මනමාලී
හාල් පතක්‌ ගරාලා
බටු කොරහක්‌ කපාලා
ඉහළ ගෙටත් බෙදාලා
පහළ ගෙටත් බෙදාලා
ළිපේ තිබුණු ටිකිරි මුට්‌ටි
හතෙන් එකක ගොඩ ගනියෝ
ගොඩ ගනියෝ හෙට්‌ටියෝ
(හෙළ ගොස - එස්‌. විඡේසූරිය, 339-94 පිටු)
මෙම ළමා ජනකවියෙන් පවුල් ව්‍යqහයේ ස්‌වභාවය ගැන ද, පොදුජන ආහාර රටාව ගැන ද ඉඟියක්‌ ලැබේ. ආත්මාර්ථකාමී සුඛවිහරණය බැහැර වෙයි. සප්‍රාණවත් භාෂා භාවිතය ද ජන කවියා මුදුන් ස්‌ථරයක්‌ බවට පත් කළ බව ද මින් හැඟවෙයි.
"කිනි කිනි බෝලේ
රැලි රැලි මාලේ
මේ ළමයා කොහෙන්දෝ
කැකිරි කැලෙන් ගෙනාවේ
දඩිං දඩිං ඩොස්‌"
කුඩා ළමුන් අත්වැල් බැඳගෙන වටේට කැරකෙමින් ක්‍රීඩා කරන අවස්‌ථාවේ මෙම කවි ගායනය සිදු කරයි. අවසානයේ දී "දඩිං බිඩං දෝස්‌" එකවර ඉඳගනු ලබයි. නැවතත් නැගිට එම කවි ගායනා කරමින් ක්‍රීඩාවේ නිරත වේ. නවීකරණාත්මක පද මාලාවක්‌ මගින් වනිතාර්ථවත් ගීත රටාවක්‌ මෙමගින් ප්‍රතිනිර්මාණය වී ඇත.
ළමා ක්‍රීඩාව තුළින් ආශක්‌තිකර හා ආලිප්තකර කවි බසක්‌ උපයුක්‌ත කොටගත් ළමා කවි බසක්‌ පහත සඳහන් කවෙන් දිස්‌වෙයි.
"ටිකිරි ටිකිරි ඒ පැත්තෙ ද
ටිකිරි ටිකිරි මේ පැත්තෙ ද
ඒ පැත්තෙන් මේ පැත්තෙන්
ටිකිරි දුවනවා"
ළමා ජනකවිය තුළින් මෙතෙක්‌ නොඇසූ විරූ අනුභූතීන් දිස්‌වෙතැයි හැඟේ. කුරුළු රජා තේරීම නමැති සංකල්පය තුළින් ළමා මනසට උචිත පද වහරක්‌ සුසංයෝජනය කර ඇති ආකාරය කර්ණ පීනන රසය උද්වහනය කරන බව පහත සඳහන් කවෙන් දිස්‌වෙයි.
"කුරුළු රංචු එකතු වෙලා
එක දවසක්‌ තතාවෙලා
කුරුලු රජෙක්‌ ඕන කියා
කලබල කෙරුවා

පරවියා පොඩි හොට යොදවා
හංසයො පය ඇඟිලි තබා
මැණික්‌ ඔටුන්නක්‌ හැදුවා
වදමල වාගේ

ඔටුන්න හංගලා තිව්වා
රජුට කුරුල්ලෙකු හෙව්වා
හෙටටයි හෙටටයි කිව්වා
බොහොම කල් ගියා

කාටත් පළමුවෙන් නැගිට
කුකුළා බලමින් වටපිට
ඔටුනු පැළඳගෙන හනිකට
ජයසක පිම්බා

කැලේ කුරුල්ලන් එතකොට
තනියෙන් රජ වුනා කියා
කෝපය පිරිමහ ගන්නට
එලවා දැම්මා

මිනිස්‌ වාසයට ආ විට
මිනිසුන් හැම එකතු වෙලා
වට කරලා කූඩු හදා
ඌ ඇති කෙරුවා

එදා ඉඳන් ගම්මානේ
මිනිස්‌ වාසෙ තෝරාගෙන
එළිවෙන බව හඟවාලා
හඬලාලා කියා කුක්‌ කු කූ
මෙහිදී කුකුළා ගං වැදුණු සිදුවීම වටා ගෙතුණු සංකල්පයක්‌ ළමා මනසින් දිස්‌වෙයි. වද මලට මැණික්‌ ඔටුන්න සමාන කිරීමෙන් උචිත සංකල්ප රූපයක්‌ ගොඩ නැගී ඇත. භාවාත්මක හා වින්දනාත්මක ලෙසින් පද වහර නිර්මාණය කිරීමේ ශක්‍යතාව ළමා ජනකවියා සතු වූ බව මෙමගින් දිස්‌වෙයි.
දරුවන් සහ මව්පියන් අතර අවියෝජනීය සෙනෙහස ජනකවියා ප්‍රභාවිත කළේ පහත සඳහන් ලෙසිනි.
"ඉනට පලා නෙළා ගෙනේ
බරටම දරා කඩා ගෙනේ
අතට මෙරළු ඇහිඳ ගෙනේ
එයි අම්මා විගසකිනේ

අප්පා හේනට යනවා
ඉරිඟු කඩාගෙන එනවා
ලිපේ දමා පුච්චනවා
ඇට ගලවා මට දෙනවා"
දරු නැළවිලි විලාසයෙන් ගොඩ නැගී ඇති මෙම කවි වහරින් ශාබ්දික ගුණය හා අර්ථෝද්දීපන ගුණය ප්‍රභාවිත වේ.
 
දරු නැලවිලි ජන කාව්‍ය පද්ධතිය තුළින් හමුවන ඇතැම් ජන කවි මගින් මුලුමහත් සමාජ තලයේ තිරසර ගුණ භාවය ඇති කිරීමට ගත් තැත පිළිබිඹු වේ. "පභස්‌සර මිදං භික්‌ඛවේ චිත්තං තඤ්ච වෝ ආගන්තුකේහි උපක්‌කිලේසේහි උපක්‌කිලිට්‌ඨං".
මුලින් ඇතිවන සිත ප්‍රභාස්‌වරය ආගන්තුකව ඇතිවන කෙළෙස්‌ නිසා සිත කිළිටු කරවන බව බුද්ධ භාෂිතයයි. සිග්මන් ප්‍රෙයිඩ් මනෝ විද්‍යාඥයාගේ මතය වන්නේ ද මුල්සිත පිවිතුරු බවයි. බැහැරින් ඇතිවන සිතුවිලි නිසා සිතෙහි පාරිශුද්ධිය පලවා හැරෙන බවය. කුඩා ළමුන්ගේ මනස මාතෘත්වය හා පීතෘත්වය කෙරෙහි ආලෝලනය කරමින් සමාජ විභේදනය අතීතයේ ළමා ජනකවිය මගින් බැහැර කරවීමේ අනුභූතියක්‌ ගොඩ නැගිනි. ආත්මාර්ථකාමී සමාජ ස්‌රයෙන් සමාජය සංස්‌ථාපිත නොවන බැවින් අත්ථහිත (අත්වැඩ) පරහිත (පරවැඩ) ඇති කරවමින් සමාජය තුළ ඇති පුළුල් ගුණභාවයක්‌ ස්‌ථාපනය කිරීමේ සමාජ විද්‍යාත්මක කාර්යභාරය මව විසින් ඇති කරනු ලැබූ බවට පහත සඳහන් ළමා දරු නැලවිලි ළමා කවෙන් සපථ වෙයි.
"අඹර කුරක්‌කන් කලුවේ
ගල යට පිටි කොයි කලුවේ
රොටි එකක්‌ උය කලුවේ
අම්මට දීපං කලුවේතවත් එකක උය කලුවේ
අප්පට දීපන් කලුවේ
මටත් එකක්‌ උය කලුවේ
තෝත් එකක්‌ කා කලුවේ
තවත් එකක්‌ උය කලුවේ
කෙනෙකුට දීපත් කලුවේ"
බෙදා හදාගෙන කෑමේ මහනීය ගුණභාවය දරු නැලවිල්ල තුළින් ළමා මනසට පිවිස වූ ආකාරය ආකර්ෂණීය කාර්යයක්‌ වී තිබුණි. කුරක්‌කන් ඇඹරූ පිටි ලා අලු පැහැයට පත්වේ. එමගින් සියල්ල ව්‍යවසනයට පත්වන බව වනිතාර්ථවත් වේ. වෙනස්‌වන ලෝකයේ පුද්ගල සුඛ විහරණය ඇති කළ ද එවැන්නෙකුට සදා සුවයක්‌ නොවන්නකි. එවැනි ධර්ම කාව්‍ය සංකල්පයකින් පරහිත චර්යාව ළමා මනස තුළ පොහොනා ගුණය බවට පත් කිරීමට සරළ සුගම භාෂා භාවිතයක්‌ ප්‍රජනිත කළ ළමා ජනකවියා සර්වකාලීන අර්ථයක්‌ ගොඩනගමින් කාව්‍ය සන්තතියෙන් ප්‍රබුද්ධ ගුණභාවය මස්‌තකයෙන් ග්‍රහණය කරවීමේ සක්‍යතාව මතුකොට ඇති බව කිව හැකිය.

"කපුටු කාක්‌ කාක්‌ කාක්‌
ගොරක දේන් දේන්
දොරකඩ ගහේ පුවාක්‌ පුවාක්‌
මට විටකට නුදුන් පුවාක්‌
ගමරාළට කියාම් කියාම්

කියතොත් කට වහාම් වහාම්
දොර බළලා ඤාව් ඤාව්
ගොරක මල්ල ඤීන් ඤීන්
උසි කපුටා උසී
උසි කපුටා උසී"

දරුවෙකු නළවන ස්‌වභාවයෙන් නිර්මාණය වී ඇති මේ කවියෙන් දරුවා දෝතට ගත් පියවරුන් ද දරුවන් නළවා ඇත. ළමා හැඟුමට උචිත ලෙසිනි මෙම පදමාලාව ගොඩ නැගී ඇත්තේ. අරුත් විරහිත ඤීන් ඤීන් වැනි වදන් මගක්‌ ළමා බස උපයෝගී කොටගෙන වහර බස ද ගෝපනය කොට ඇත.
දරුවන් නැළවීමේ දී රෝදනය බැහැර කොට ළමා මුවගින් හසිතුප්පාදය ජනිත කරවීමට ළමා ජනකාව්‍ය සංකල්පය චතුරතාවක්‌ දක්‌වයි.
පීතෘත්වය අගයන විලාශයෙන් ද ළමා ජනකවිය බිහිවී ඇත. අහසේ තරු අනන්තය. එමෙන් පිය ගුණය ද අනන්තය. පියාට නොසැලකීම නොවටිනා දෙයකි. පොඩි දරුවෙකුගේ මුවින් වැඩිමහල් දරුවෙකුට කෙරෙන ප්‍රකාශනයෙන් එය සනාථ වන්නේ මෙසේ ය.

"අහසේ තරු ගනින්න බෑ
අප්පගෙ ගුණ කියන්න බෑ
අප්පචිචිට නොසැලකීම
මගේ අයියේ වටින්නෙ නෑ"

මෙහි සංකේතශීලී පද වහරක්‌ උපයෝජනය කොටගෙන ඇත.
ළමුන්ගේ වින්දනාත්මක වූද, ගීතාත්මක වූද, මනීන්ද්‍රියේ තත්වගත ස්‌වභාවය පහත සඳහන් ළමා කවෙන් දිස්‌වේ.

"සැල් දිරිකා දෙකට නැමිලා මල්ලී මල්ලී
කටුමානේ කොල්ලො ළඟ සල්ලි සල්ලී"

යන පද වහර තුළින් නාද රටාවක්‌ ඉස්‌මතු කොට ගීතාත්මක රසඥතාවට ළමා ජනකවියා උත්සුක වූ බවට ඉහත සඳහන් කව් හැඟුම දෙස්‌ දෙයි.

"තකුරු තලම්බා
තරිකිට ගෙම්බා
දියනෙක ලබ්බා එකතොට වර වර ගෙම්බා"

නෘත්‍යකාර රිද්ම රටාවකට මෙහි දී ළමා ජනවියාගේ විඥනය විදාරණය වෙයි.


"පාන් කිරිච්චී පොල් අඹරනවා
ඒකිගෙ පැටියා කඹේ නටනවා
රන්කොළ පෙට්‌ටිය ළිඳේ තිබෙනවා
කන්කොට නිලමේ කුඹුරු කොටනවා"

යන්න ළමා ජනකාව්‍ය නිර්මාණයක ජනබස මැනවින් උකහාගත් ගීතාත්මක ශක්‍යතාව මෙමගින් පළමු කොට ඇත.

"සඳ එළියක මගෙ අම්මා
මගෙ කටට බත් දැම්මා
මාස පෝය පර අම්මා
මගේ කටේ පස්‌ දැම්මා"

මාතෘත්වය විශ්වයේ ආලෝකයට සමකරන ළමා ජන කවිය සඳ එළියෙන් විශ්වානන්දකර සෙනෙහස මතු කරයි. මාසෙ පෝය යන්නෙන් රූපකාලංකාර කවි ගුණය ජනිත කළ ළමා කවිය පර අම්මාගේ චර්යා ධර්මයේ මනස නමැති විශ්වානන්ධකාරය ඇතිකරවන බව අපූර්වාකාරයෙන් දකී.

"හඳ පානයි බංගලාවෙ
කළුවර ටික අපේ පැලෙයි
මුට්‌ටියෙ බත ඒ අයටයි
දංකුඩ ටික අපට තමයි"

ද්වේශය වැනි භාව ධර්මයෙන් තොර සපන්තික සංකල්පනාවන් සරල අනුභූතියක්‌ මගින් දැක්‌වීමට ළමා ජනකවියා නිරායාස ප්‍රයත්නයක්‌ දරා ඇත. හඳපාන හා කලුවර යන වදන් මගින් ද බත හා දංකුඩ යන වදන් මගින් ද සංකේතශීලී භාෂාවක්‌ උපයුක්‌ත කොටගෙන උත්පාද කර ප්‍රතිභා පූර්ණත්වය පළමු කොට ඇත.

"වැල්ල සමග පස්‌ දාපන්
පොල් කට්‌ටක්‌ අරන් වරෙන්
කෝම් පිට්‌ටු උඹ හදපන්
හදපු පිට්‌ටු මට බෙදපන්"

මෙහිදී වින්දනාත්මක කවිබස දැනවූයේ ආත්මාර්ථ මානසික ස්‌වභාවය ද විමංසනය වන ලෙසිනි.

"හාමුදුරුවො බණ කියනව
මැංචි නෝනා නිදි කිරනව
තකස්‌ තකස්‌ අනුකරනෙන්
දන් විදානෙ විට කොටනව"

ඒ ඒ පුද්ගලයන්ගේ මනෝභාවය දෙස විමසමින් ධර්මාභිලාෂී විලාසයෙන් පරිබාහිරව චර්යාවන් දැක්‌වීමට ළමා ජන කවියා දැරූ තතු මෙමගින් තීව්‍ර වේ.
පැෂන්පෲට්‌ ගෙඩිවල ජනවහරේ ඇත්තේ ගිලන්ඩේරි යන වදනයි. එම පලතුර පිළිබඳ ළමා මනසින් ගොඩ නැගුණු කවියක්‌ මෙසේ දක්‌වමි.

"ගිලන්ඩේරි කඩන් වරෙන්
ගහේ නැගී වැල අල්ලන්
ඉදිච්ච ගෙඩි අපට දියන්
අමු ඒවා උඹ කාපන්"

පිළිකුල දැක්‌වීම රසයක්‌ ලෙසින් මුනිදාස කුමාරතුංග පඬිවරයා දක්‌වයි.

"නුවළුණුයේ හෙවත් - සිත කලකුරු වනුයේ
නුවළුයෑ ඒ රසය - සිතෙහි ආශා නසයි"

පිළිකුල් සහගත මනසිකාරය ජනිත කරන දෙපද කවි රටා ළමා මුවගින් මතු වී ඇත්තේ මෙසේ ය.

"ඇඩ්ඩින්... - කොළඹට ඇහුනා
කොළඹ මිනිස්‌සු - අඬබෙර ගැහුවා

සරත්සරත් - බර කරත්තේ
කොළඹ දුවන - ........ කරත්තෙ"

මෙහිදී නිර්වේදය ද දනවා ඇත. මේය බී භත්ස්‍ය රසය නමින් ද හැඳින් වේ.
පවුලේ කිරි අම්මත්, ආතත් මතු පරපුර ට සංස්‌කෘතික අවශෝෂකයන් බව අතීත සමාජයෙන් පිළිබිඹු වන අයුරු ළමා ජන කවෙන් විභූෂණය වෙයි.

"වතු සුදු මල් කිරි අම්මා කඩා ගෙනාවා
තෙල් අරගෙන ආතා අපේ පහන තියනවා
අම්ම අපේ හඳුන්කූරු පත්තු කරනවා
ඒකොල්ලා අපි ඔක්‌කොම බුදුන් වඳිනවා"

ළමයාට ගැළපෙන බස උපයුක්‌ත කොට ගෙන ආගමික ගුණභාව ගීතාත්මකව වැඩීමේ මංපෙත අතීතයේ දී විවර වූ අයුරු මෙමගින් පසක්‌ වෙයි.

"ආච්චියේ පෝච්චියේ වතුර නටනවා
ආච්චිගේ මූණ කන්න පූසි අඬනවා"

අනුප්‍රාසාත්මක බස්‌වහර උපයුක්‌ත කොට ගනිමින් ළමා රසඥතාවය ඇති කිරීමේ ද ළමා ජනකවියාගේ අභිප්‍රේතාර්ථයකි. සංකීර්ණ අනුභූතියකින් කවි හදවත් තුළට පිවිස වූ කාව්‍යමය අභිප්‍රේතාර්ථය අර්ථෝත්පන්නය. ළමා ජනකවි ප්‍රතිනිර්මාණයෙන් කාව්‍යමය ව්‍යqත්පත්ති ඥන ගුණභාවය ප්‍රජොතිමත් කරවිමට ළමා ජනකවියා උත්සුක වූ ආකාරය මෙමගින් ප්‍රතිබිම්භනය වේ.

නුවරඑළියේ චන්දජෝති අනුනාහිමි

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි