V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Tuesday, October 29, 2013

ඔබේ පුතා ඇට්ටර කොල්ලෙක් වුණොත්...


ඕනැවට වඩා දඟකාරකමත් ලෙඩක් 
කිසිම දෙයකට අවධානය නැති එකත් ලෙඩක් 
මේ දෙගොල්ලන්ටම ‍ෙබහෙත් තියෙනවා
අට හැවිරිදි තම පුතාගේ හැසිරීම් ගැන කුසලා සතියකට දින දෙක තුනක්වත් කාර්යාලයේ මිතුරියන් සමඟ කියනවා. ඒ හරිම කනස්සල්ලෙන්. “පුතාගේ මුරණ්ඩු වැඩ නිසා මම පන්තියෙ මිස්ගෙනුත් බැණුම් ඇහුවා. එයාව පිට තැනකට එක්කගෙන යන්න බෑ හරියට දඟ කරනවා. අනේ මම දන්නෙ නෑ මොනවා කරන්න ද කියලා.”
අද සමාජයේ එවැනි දරුවන් බොහොමයක් සිටිනවා. බොහෝ දෙනෙක් එවැනි දරුවන් හඳුන්වන්නේ අධි ක්‍රියාකාරිත්වයක් ඇති දරුවන් (Hyper Active) ලෙසයි. මෙම තත්ත්වය දරුවන් තුළ පවතින එක්තරා රෝගයක්.
අධි ක්‍රියාකාරී දරුවන්ට අමතරව කිසියම් දෙයකට අවධානය යොමු කිරීමේ හැකියාව අඩු දරුවන් පිරිසක් ද සමාජයේ සිටිනවා. ඊටත් අමතරව ඉහත සඳහන් අධි ක්‍රියාකාරිත්වය වගේම අඩු අවධානය යන ලක්ෂණ දෙකම සහිත දරුවන් පිරිසක් ද සිටිනවා. මෙම දරුවන් අවධානය පිළිබඳ ඌනතාවයක් සහිත අධි ක්‍රියාකාරී දරුවන් ලෙස හඳුන්වනු ලබනවා.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි කුඩා දරුවකු යම් පමණක දඟ බවක් පෙන්නුව ද එම දරුවා එවැනි රෝගය සහිත දරුවකු නොවන බව. මෙහිදී අප පළමුව දරුවකු වෙතින් පෙන්නුම් කරන අධි ක්‍රියාකාරිත්වය මොන වගේ දැයි හඳුනාගත යුතු වෙනවා.
ඕනෑම කුඩා දරුවකු දඟයි. කුඩා දරුවන්ගේ ස්වභාවය එයයි. නමුත් අධි ක්‍රියාකාරී දරුවන් වෙතින් පෙන්නුම් කෙරෙන දඟ ස්වභාවය සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිය දඟ ස්වභාවයක්. මෙහිදී ද තවත් ගැටලුවක් මතු වෙනවා. ඒ තමයි දරුවකුගේ සාමාන්‍ය දඟ ස්වභාවය කුමක් ද කියා වටහාගන්න එක.
රුධිර පරීක්ෂණයක් සඳහා රුධිරය රැගෙන ගන්නා වාර්තාවක් වැනි දෙයකින් දරුවකුගේ දඟ ස්වභාවය මැනිය හැකි වන්නේ නෑ.
කෙසේ හෝ දරුවකු වෙතින් පෙන්නුම් කරන කිසියම් හැසිරීම් ලක්ෂණ සමූහයක් එම දරුවාට, දරුවාගේ මවුපියන්ට, පාසලේ අනෙක් දරුවන්ට කිසියම් බලපෑමක් ඇති කරනවා නම් එම දරුවා අධි ක්‍රියාකාරී දරුවකු ලෙස හඳුන්වන්න පුළුවනි.
උදාහරණයක් ලෙස කිසියම් දරුවකු අසල සිටින දරුවන්ට සෑම විටම පාහේ කරදරයක් ඇතිවන ආකාරයෙන් හැසිරෙනවානම්, ඔවුන්ගේ අධ්‍යාපනයට බාධා වන ආකාරයෙන් කටයුතු කරනවානම්, එම දරුවා අධි ක්‍රියාකාරිත්වයක්
සහිත දරුවකු ලෙස හඳුන්වන්න පුළුවනි.
එවැනි දරුවකුට සන්සුන්ව සිටිය යුතු පල්ලි පන්සල් වැනි පූජනීය ස්ථානවලදී වුවත් එක ඉරියව්වක ටික වේලාවක් සිටීමට අපහසුයි. පන්තියේ ගුරුවරයා කිසියම් ප්‍රශ්නයකට පිළිතුරක් විමසූ විට හරි හෝ වැරැදි පිළිතුර අනෙක් දරුවන්ට කලින් පැවැසීමට එවැනි දරුවන් උත්සාහ කරනවා. එවැනි දරුවන්ට කිසියම් දෙයකට පේළියට යෑම අපහසුයි. ඒ වගේ ම කිසියම් දෙයක හෝ ක්‍රියාවක අනාරක්ෂිත බවක් දැනෙන්නේ නෑ.
එවැනි දරුවකුට ගසකට නැඟ බිමට පැනීම කෙතරම් අනතුරුදායක දැයි හැ‍ඟෙන්නේ එම ගසෙන් පැන අතක් හෝ පයක් කැඩුණු පසුව පමණයි. එයින් පෙනී යන්නේ මෙවැනි දරුවන්ට දුරදිග සිතා බලා වැඩක් කිරීම අපහසු බවයි.
අනෙක් දරුවන් පිරිස වන්නේ කිසිවකට හොඳින් අවධානයක් යොමු කළ නොහැකි දරුවන්. එවැනි දරුවන් ගෙන් ගුරුවරුන්ට වැඩි කරදරයක් ඇත්තේ නෑ. මෙවැනි දරුවන් ඉතාම නිශ්ශබ්දයි. බොහෝ විට මොවුන් බලාගත් අතම බලාගෙන සිටිනවා. ඔවුන්ට පවරන ගෙදර වැඩ කරගෙන එන්නේ නෑ. පාසලට රැගෙන ඒමට අවශ්‍ය පාසල් උපකරණ ද බොහෝ විට මෙම දරුවන්ට අමතක වෙනවා. එසේම ගුරුවරයා විසින් මවුපියන්ට ලබා දෙන පණිවුඩ මාපියන්ට ලබා දෙන්නේත් නෑ. එවැනි දරුවන් ගුරුවරුන් විසින් හඳුනාගන්නවා ද අඩුයි. එහෙත් අධි ක්‍රියාකාරිත්වයක් ඇති දරුවන්ට වගේම අඩු අවධානයක් ඇති දරුවන්ට ද මෙම රෝගී තත්ත්වය නිසා වන බලපෑම ඉහළයි.
සාමාන්‍යයෙන් පාසල් යන වයසේ පසුවන දරුවකු අධි ක්‍රියාකාරිත්වයට පත්විය හැකි අවස්ථාවන් ඕනෑතරම් තිබෙනවා. කිසියම් දරුවකුට කලක් ඉගෙන ගත් පාසලින් ඉවත් වී වෙනත් පාසලකට යාමට සිදුවූ විට එම දරුවා වෙතින් අධි ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළ හැකියි. තවත් දරුවකු සිටින්න පුළුවනි පාසලේ අධ්‍යාපන කටයුතු හොඳින් කිරීමේ අපහසුතාවක් ඇති; පාසල් වැඩ වලට දුර්වල බවක් පෙන්වන.
ඒ දරුවාට ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්වන දේවල් තේරෙන්නේ නැති නිසා නිතර වටපිට බලමින් කලබල ස්වභාවයක් පෙන්නුම් කිරීමේ හැකියාව තිබෙනවා. එවැනි තත්ත්වයන් තාවකාලිකව දරුවන් තුළ ඇතිවන තත්ත්වයන්. ඒවා අධි ක්‍රියාකාරී රෝගී තත්ත්වය ලෙස හඳුනා ගැනෙන්නේ නෑ. අඩු අවධානයක් සහිත දරුවන් පිළිබඳවත්, අඩු අවධානය මෙන්ම අධි ක්‍රියාකාරිත්වය යන තත්ත්වයන් දෙකටම ගොදුරු වූ දරුවන් පිළිබඳවත් තත්ත්වය එසේමයි.
කුඩා දරුවන් වෙතින් එවැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඇයි ද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවක්. එසේ වුවත් දරුවන් තුළ ඇතිවන එවැනි තත්ත්වයන්ට හේතු ගණනාවක්ම හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා බලපාන හේතු අතරින් ප්‍රධානම හේතුව ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුනාගෙන තිබෙන්නේ දරුවාගේ මොළයේ ඉදිරි කොටසේ වර්ධනයේ සිදුවන ප්‍රමාදයක් බවයි.
එයින් අදහස් වන්නේ මොළයේ එම කොටස වර්ධනය නොවන බව නොවේ. එමඟින් හැඟවෙන්නේ මොළයේ එම කොටසේ වර්ධනය සෙමෙන් සිදුවන බවයි. මෙය මොළයේ රසායනික ක්‍රියාවලින් නිසා ඇතිවන තත්ත්වයක්.
එය දරුවන්ගේ මොළය සම්බන්ධව ඇතිවන තත්ත්වයක් නිසා දරුවාගේ බුද්ධිය මානසික කුසලතා වර්ධනයට සෘජුවම බලපානවා. ඒ නිසයි අධි ක්‍රියාකාරී දරුවන්ට නොතේරෙන්නේ තමන්ගේ ක්‍රියාවන් ගෙන් පාසලේ අනෙක් අයට තම දෙමවුපියන්ට කරදර සිදුවන බව.
එම රෝගී තත්ත්වය ඇතිවීමට 80% ක පමණ ප්‍රතිශතයක් බලපාන්නේ ජානමය තත්ත්වයන්. ඊට අමතරව මවුපියන් දරුවන් ඉදිරියේ නිතර අඩදබර කරගන්නවා නම්, දරුවාට ජීවත්වීමට සිදුවන්නේ අසහනකාරී කලබලකාරී පරිසරයකනම් ජානමය බලපෑමෙන් උරුම වූ තත්ත්වය වර්ධනය වීමට ඒවා බලපානවා.
එවැනි දරුවකු වෛද්‍යවරයකු වෙත යොමු කළ විට පළමුවෙන්ම වෛද්‍යවරයා විමසන්නේ දරුවාගේ පියා හෝ මව කුඩා කාලයේ දී මෙම තත්ත්වයෙන් පෙළී ඇති ද කියායි. අධි ක්‍රියාකාරී හෝ, අඩු අවධානමක් සහිත හෝ මෙම ලක්ෂණ දෙකම සහිතව හෝ හැදී වැඩෙන කුඩා දරුවන් දුටු විට එම දරුවාගේ මවුපියන් ගැන දන්නා වැඩිහිටියන් පවසන්නේ “ඔය ළමයගේ තාත්තත් පොඩි කාලේ ඔහොමම තමයි. ළමයා ලොකු වෙනකොට ඔය ගතිය මඟහැරිල යාවි. ඕක ගණන් ගන්න එපා” කියායි.
අධි ක්‍රියාකාරී, අඩු අවධානයක් සහිත රෝග ලක්ෂණ බොහෝ විට පෙන්නුම් කරන්නේ වයස අවුරුදු හය, හත, අට වැනි වයස්වලදී. එම දරුවන් තරමක් වැඩිහිටි බවට පත්වන විට කුඩා අවධියේදී තිබුණු ඉහත සඳහන් කළ රෝගී තත්ත්වයන් බොහොමයක් ටිකින් ටික අඩු වෙනවා ය යන්නෙහි සත්‍යයක් තිබෙනවා. දරුවා වැඩිහිටියකු බවට පත්වන විට මොළයේ අදාළ කොටස් වර්ධනය වීම නිසා එලෙස සිදුවන බවයි හඳුනාගෙන තිබෙන්නේ.
එසේනම් මේ රෝගී තත්ත්වයන් පිළිබඳව ගණන් ගත යුතු නැතැයි ඇතැමෙකුට සිතෙන්න පුළුවනි. එම සිතිවිල්ල ඉතා වැරැදි සහගතයි. කුඩා අවධියේදී පෙන්නුම් කරන අධි ක්‍රියාකාරිත්වය, අවධානය අඩුකම වැනි තත්ත්වයන් නිසා කුඩා දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට නොහැකි වෙනවා. දරුවකුට අධ්‍යාපනයේ මුල් අඩිතාලම වැටෙන්නේ තුන, හතර වැනි වසරවල ඉගෙන ගන්නා විට.
එම වයසේදී එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වැනි ක්‍රියාකාරකම් පිළිබඳවත් අධ්‍යාපනයේ මූලික කරුණු පිළිබඳවත් නිසි පසුබිමක් දැනුමක් නොලැබුණු විට ඉහළ පන්තිවලට යන විට දරුවාට එම පන්තිවල වැඩ නිසි පරිදි කළ නොහැකි වෙනවා. මෙය දරුවාගේ ඉදිරි ජීවිත කාලයටම බලපෑම් ඇති කරනවා. ඒ නිසයි මෙවැනි අධි ක්‍රියාකාරී මෙන්ම, අඩු අවධානයක් සහිත දරුවන් පිළිබඳව වයස අවුරුදු පහ හය වන විටම මවුපියන් සැලකිලිමත් විය යුත්තේ.
අධි ක්‍රියාකාරිත්වය වැනි මානසික තත්ත්වයකින් පෙළෙන දරුවකුගේ එම හේතුව නිසා ඇතැම් විට හානි වන්නේ අධ්‍යාපන කටයුතුවලට පමණක් නොවේ. එමඟින් දරුවාගේ ජීවිතයට ද හානි වීමේ හැකියාව තිබෙනවා. ඒ; අධි ක්‍රියාකාරිත්වය නිසා අධික උසකින් බිමට පැනීම, අවධානය අඩුකම නිසා පාර දෙපස නොබලා පාර පැනීම වැනි ක්‍රියාවකදී දරුවාගේ ජීවිතයට පවා එල්ල වන්නේ අවදානමක්. ඒ නිසයි එවැනි දරුවන් පිළිබඳව මවුපියන් වඩා සැලකිලිමත් විය යුත්තේ.
එවැනි දරුවන් පිළිබඳව දරුවන්ගේ මවුපියන්ට මෙන්ම පාසලේ ගුරුවරුන්ට ද විශාල වගකීමක් තිබෙනවා. පන්තියක එවැනි දරුවකු සිටීනම් එම දරුවා ඉදිරි පෙළට ගෙන ඉගැන්වීම මඟින් ගුරුවරයාගේ සෘජු අවධානය දරුවා කෙරෙහි යොමු කළ හැකියි. එසේම දරුවාගේ අවධානය වෙනත් අතකට යොමු වී ඇති බව ගුරුවරයාට හැ‍ඟේ නම් දරුවාගේ නම කියා අමතා දරුවාගේ අවධානය ගුරුවරයා වෙත නැවත ලබාගත හැකියි.
කුඩා අවදියේදීම මෙවැනි දරුවන් පිළිබඳව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවට තවත් හේතුවක් තිබෙනවා. ඒ තමයි වැඩිහිටි වියට පත්වූ විට බොහෝ විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ, සොරකම් කිරීමට පෙලඹෙන්නේ කුඩා අවධියේදී අවධානය අඩුව සිටි, අධි ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළ දරුවන් වීම නිසයි.
අධි ක්‍රියාකාරී ළමයින්ට සහ අඩු අවධානයක් සහිත ළමයින්ට අද ඉතාම සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.
ඒ ප්‍රතිකාර ක්‍රම අතර මානසික අභ්‍යාස ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඖෂධීය ප්‍රතිකාර ද තිබෙනවා. එවැනි දරුවකු පවුලක සිටීනම් ඒ පිළිබඳව කනස්සලු විය යුතු නෑ. අවම වශයෙන් ඒ දරුවාට අවුරුදු 6 ක් 7 ක් පමණ වන විටවත් දරුවාව වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. ළමා මනෝ වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කරන්නේ නම් වඩාත් සුදුසුයි.
දරුවාව ප්‍රතිකාරවලට ඉක්මනින් යොමු කරන තරමට දරුවාගේ ජීවිතයට අත්වන ප්‍රයෝජනය ඉතා වැඩියි.
දරුවා තරමක් වැඩුණු පසුව ප්‍රතිකාරවලට යොමු වූ විට ඊට පෙර දී පාසලේ දී ඉගැන්වූ පාඩම් දරුවාට අතපසුව ගොස් තිබෙනවා. එම පාඩම් නොතේරුණු විට දරුවාට පසු පාඩම් තේරුම් ගත නොහැකි වෙනවා. දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට, දරුවාට පාසල අධ්‍යාපනය එපා වීමට එය හොඳ සාධකයක්. ඒ නිසා එවැනි දරුවන්ව හඳුනාගත් මුල් අවධියේදීම වෛද්‍යමය ප්‍රතිකාරවලට යොමු කිරීම ඉතාම වැදගත්.
වෛද්‍යවරයකු හමු වූ පමණින්ම වෛද්‍යවරයා මෙහිදී ඖෂධ ලබා දෙන්නේ නෑ. පළමුව ලබා දෙන්නේ මානසික අභ්‍යාසයි. ඒ පිළිබඳව හොඳ අවබෝධයක් මවුපියන්ට වෛද්‍යවරු විසින් ලබා දෙනවා. එසේම දරුවකුට ප්‍රතිකාර කිරීමේදී පාසලේ ගුරුවරයාගේ ද සහාය ලබාගෙන දරුවාගේ තොරතුරු ලබා ගන්නවා. ඒ අනුවයි වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ වන්නේ.
ඖෂධීය ප්‍රතිකාර ආරම්භ කෙරෙන්නේ වයස අවුරුදු 6 ඉක්මවූ විටයි. එතෙක් ලබා දෙන්නේ මානසික අභ්‍යාස. මෙවැනි දරුවකු තුළ තිබෙන රෝගය වයස අවුරුදු හතරේදී හඳුනාගත්තා යැයි සිතන්න.
එම වයසේදී මානසික අභ්‍යාස ආරම්භ කළ විට ඇතැම් විටෙක වයස අවුරුදු හය වන විට දරුවා සුව අතට පත්වී සිටින්නට පුළුවනි. එවිට දරුවාට ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නෑ. වෛද්‍යවරු මවුපියන්ට කියා දෙන මානසික අභ්‍යාස දරුවාට නිවැරැදිව කිරීමෙන් බොහෝ දරුවන්ට සුවයක් ලබාගත හැකියි.
ඖෂධීය ප්‍රතිකාර ආරම්භ කළ මුල් මාසයේදීම තම දරුවාගේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් අධ්‍යාපනයේ වෙනසක් සිදුවන බව මවුපියන්ට වැටහෙනවා. ඒ බව මවුපියන් වෛද්‍යවරුන්ට පවසනවා. තම දරුවාට ඖෂධීය ප්‍රතිකාර ලබාගත් ඇතැම් මවුපියන්, තමාගේ දරුවා දැන් ඉතා හොඳින් ඉගෙන ගන්නා බවත්, දඟ නැති බවත්, පාසල් වැඩ ඉල්ලා ගෙන කරන බවත් පවසනවා.
මෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි මෙවැනි රෝගී තත්ත්වයන් සඳහා ඖෂධීය ප්‍රතිකාර වලින් මොළයේ සෛල වර්ධනය නොවන බව. ඖෂධීය ප්‍රතිකාර ලබා දෙන්නේ දරුවාගේ එදිනෙදා වැඩ පහසු කරගැනීමට උදව් වීම සඳහා පමණයි.
වර්ධනය නොවූ ‍මොළයේ සෛල වර්ධනය වීමට නම්, මානසික අභ්‍යාස අත්‍යවශ්‍යයි. එලෙස ප්‍රතිකාර ගන්නා විට ඇතැම් දරුවන් අවුරුදු දෙක තුනකදී සුවයක් ලබනවා.
ඇතැම් දරුවන්ට ඒ සඳහා තවත් කලක් ගත වෙනවා. එම කාල වකවානු පිළිබඳව නිවැරැදිව කිව නොහැකියි.
වෛද්‍යවරුන් විසින් පාසල් අධ්‍යාපන කටයුතුවල දරුවා නොයෙදෙන නිවාඩු කාලවලදී තාවකාලිකව ඖෂධ නැවැත්වීමට උපදෙස් ලබා දෙනවා.
එහිදී දරුවා වෙතින් කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නම් ඖෂධීය ප්‍රතිකාර නැවැත්වීම පිළිබදව හෝ ඖෂධ ප්‍රමාණය අඩු කිරීම පිළිබඳව තීරණයක් ගත හැකියි. මෙහිදී ලබාදෙන ඖෂධවලට ඇබ්බැහි වන බව ඇතැම් මවුපියන් සිතනවා. එය මිථ්‍යාවක්.
අධි ක්‍රියාකාරිත්වයන් පෙන්නුම් කරන, හෝ අඩු අවධානයක් පෙන්නුම් කරන හෝ මෙම ලක්ෂණ දෙකම පෙන්නුම් කරන දරුවකු සිටීනම් මවුපියන් ඒ පිළිබඳව කනස්සල්ලට පත්විය යුතු වන්නේ නෑ. එහිදී කළ යුත්තේ වෛද්‍ය උපදෙස් පැතීමයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
සුදර්ශි සෙනෙවිරත්න

S A - G A





The children of Royal College Colombo presented ‘Saga’, a concert of music and dance on Saturday, October 19,  at the Navarangahala.
Keeping up the tradition for the eighth year in succession, the children put up a colourful show, including a fitting tribute to late director Titus Thotawatte. It was a memorable night as the children performed their hearts out, capturing the true beauty of childhood.

මහානාම ඉස්කෝලේ අලුත් ලොකුසර් වැඩ බාර ගනී


කොළඹ මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධරයකු වන ප්‍රසන්න උපශාන්ත මහතා පසුගිය දා රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැසක විදුහල්පතිවරු ද සහභාගී වූහ. මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද උපශාන්ත මහතා වැඩ භාර ගත්තේය. උපශාන්ත මහතා මීට ප්‍රථමව පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද,  කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර පළපුරුද්දක් හිමි අත්දැකීම් බහුල අධ්‍යාපන පරිපාලන නිලධාරිවරයෙකි.
ඉන්දික සෙනෙවිරත්න














පාසල් සිසු සිසුවියන්ට I card




Mr. Kapila Chandrasena, CEO, Mobitel [extreme left] and Mr. S.M. Gotabaya Jayarathne, Secretary, Ministry of Education [extreme right] exchanging the agreements. Hon. Bandula Gunawardana, Minister of Education [2nd from left] and Hon. Mohan Lal Grero, Monitoring MP – Education, Ministry of Education [2nd from right] are also pictured here.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යංශය පාසල් දරුවන් වෙනුවෙන් හදුන්වා දුන් I card ව්‍යාපෘතිය සිසු සිසුවියන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
I card වැඩසටහන හදුන්වා දීමෙන් සිසු දරු දැරියන් පාසලට පැමිණීම නිරීක්ෂණය කිරීම පමණක් සීමා වෙන්නේ නෑ. දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සදහාත් පියවර ගෙන තිබෙනවා යැයි අධ්‍යාපන ඇමති බන්දුල ගුණර්ධන මහති කියයි.  ඒ වගේම I card ගෙවීමේ පතක් ලෙසද භාවිත කිරීමට හැකි නිසා දරුවන්ගේ අතට වැඩිපුර මුදල් ලබාදීමේ අවදානමත් පැණ නොනගිණ ඇමතිවරයා පෙන්වා දෙති. පාසල් ගෙවම් කටයුතු රැසක් මෙයින් සිදුකළ හැකිය. I card නමින් නම් කර තිබෙන මෙය ඉලෙක්ට්‍රොනික කාඞ් පතක් වන අතර එහි සිසුවාගේ නම,පාසලේ ඇතුළත් වීමේ අංකය, ඡයාරූපය, වලංගු කාලය, හදිසි අවස්ථාවකදී දැනුම් දියයුතු අංක වැනි වැදගත් තොරතුරු රැසක් අන්තර්ගත වේ.

Monday, October 28, 2013

ජාතික විෂ නිවාරණ සතිය අද සිට

ජාතික විෂ නිවාරණ සතිය අද සිට

poision
ජාතික විෂ නිවාරණ සතිය අද (28) ආරම්භ වේ. අද සිට නොවැම්බර් 03 දින දක්වා සතියක කාලයක් ජාතික විෂ නිවාරණ සතිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත. මෙහි තේමාව "පරිසරය සහ විෂ" යන්නයි.

වස විෂ ශරීරගත වීම හේතුවෙන් මරණයට පත්වීමේ සහ රෝගී තත්ත්වයට පත්වීමේ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වාර්ෂිකව විෂ ශරීරගත වීමෙන් පුද්ගලයින් එක් ලක්ෂ විසිදහසක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන බවත් ඉන් 1000-1500ත් අතර පිරිසක් මරණයට පත් වන බවත් අමාත්‍යාංශය සඳහන් කළේය. මේ අතරින් බොහෝ පිරිසක් කෘමිනාශක හෝ පලිබෝධනාශක හේතුවෙන් රෝහල් ගතවෙති.

පලිබෝධනාශක හේතුවෙන් රෝගී වන පිරිස වසරකට 60,000ක් පමණ වෙති.. ඖෂධ හා වෙනත් ද්‍රව්‍ය ශරීරගතවීමෙන් 20,000ක් ද සර්ප දෂ්ට කිරීම නිසා 45,000ක් පමණද වාර්ෂිකව රෝහල් ගත වන බව සංඛ්‍යාලේඛන මඟින් වාර්තා වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් විෂ නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. අදාළ සතිය තුළදී කිසියම් විෂ වීමකදී ගත යුතු ප්‍රතිකාර මෙන්ම ආරක්ෂාව සඳහා ගත යුතු පියවර පිළිබඳවද ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

NDH

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය

බඩ විතරක් පුරවල මදි දරුවාගේ හිතත් පුරවමු

බඩ විතරක් පුරවල මදි දරුවාගේ හිතත් පුරවමු

ශෂිකාගේ පුතාට තවම වයස අවුරුදු දෙකහමාරයි. හරිම දඟයා. පුතාට කෑම කවන්න ශෂිකා විඳින වදයක්. සමහර වෙලාවට කෑම කවන්න පැය 2 ක් විතර ගතවෙනවා. දරුවා කන්නෙ නැති තැන ශසිකා දරුවට සැර කරලා කොහොමහරි කෑම ටික දරුවගෙ කට ඇතුළට දමනවා. ශෂිකට ඕන කොහොමහරි දරුවගෙ බඩ පුරවන්න.
මේ ශෂිකලගෙ ගෙදර පමණක් නෙමෙයි ලංකාවෙ කුඩා දරුවන් ඉන්න බොහෝ ගෙවල්වල තිබෙන තත්ත්වයක්. ශෂිකලා වගේ අම්මලා තමන්ගේ දරුවට වදෙන් පෙරැත්තයෙන් හරි ටිකක් සැර වෙලා හරි කෑම කවන්නෙ දරුවට තියෙන ආදරයට බව ඇත්ත. නමුත් ඒ ක්‍රමය වැරදියි.
දරුවකුගේ වර්ධනයට දරුවාගේ බඩ පිරවීමම පමණක් මදි. දරුවාගේ කුසට ආහාර ලබා දෙනවා වගේම දරුවාගේ මනසටත් ආහාර ලබා දුන්නොත් පමණයි දරුවාගේ නියම වර්ධනයක් දැකගත හැකි වන්නේ. දරුවකුගේ ශරීරයට විවිධ කෑම අවශ්‍ය වනවා සේම දරුවකුගේ මනසටත් කෑම අවශ්‍ය වෙනවා. ඒ; ආදරය, කරුණාව ආරක්ෂාව වැනි දේවල්. එමඟින් දරුවකු තුළ ඇතිවන උත්තේජනය එම දරුවාගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයටත් බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා.
අපේ සමාජයේ සිටින ඇතැම් දරුවන්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙනවා. නමුත් එම දරුවන්ට මවුපියන්ගේ ආදරය, උණුසුම සෙනෙහස අවධානය වැඩිපුර ලැබෙන්නේ නෑ. එම දරුවන්ගේ පූර්ණ වර්ධනයට එය බාධාවක්. මවත් පියත් කාර්යබහුල රැකියාවල යෙදී සිටින පවුල්වල දරුවන්ට මෙම තත්ත්වය අත්වෙනවා.
ඒ වගේම මව හෝ පියා, විශේෂයෙන්ම මව විදෙස් රැකියාවලට ගොස් සිටින පවුල්වල කුඩා දරුවනුත් මෙම අත්දැකීමට මුහුණ දෙනවා. ළමා නිවාසවල හැදෙන වැඩෙන දරුවන්ට ද මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වෙනවා. තවත් දරුවන් පිරිසක් සමාජයේ සිටිනවා, එම දරුවන්ට දෙමවුපියන්ගේ ආදරය හොඳින් ලැබුණත් ඔවුන්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේ නෑ. ඒ; ආර්ථික අපහසුතා තිබෙන දුප්පත් පවුල්වල දරුවන්.
ඉහත සඳහන් කළ කාණ්ඩ දෙකටම අයිති දරුවන්ගේ ශාරීරික සහ මානසික වර්ධනය උපරීම තලයකට ළඟා වෙන්නේ නෑ. නමුත් මෙම තත්ත්වයන් දෙකටම ඉතා පහසුවෙන් වැඩි වියදමක් නොකර පිළිතුරු සොයාගත හැකියි. දරුවකුට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට විශාල වියදමක් කළ යුතු නෑ. සොසේජස් චීස් වැනි ආහාර දිය යුතුම නෑ.
පලා වර්ග කුඩා මාළු ආදියෙන් දරුවාගේ පෝෂණය ඉහළ නංවා ගත හැකියි. ඒ වගේම මුදල් පසුපසම හඹා නොගොස් තම දරුවන් සමඟ දිනකට ටික වේලාවක් හෝ සුහදව ගත කිරීමෙන් දරුවාට අවශ්‍ය ආදරය සෙනෙහස ලබාදිය හැකියි. එමඟින් දරුවාගේ වර්ධනයට අවශ්‍ය “උත්තේජනය” හොඳින් ලැබෙනවා. කිසියම් දරුවකු වර්ධනයේ උපරීම තලයකට ළඟාවන්නේ කුසට අවශ්‍ය පෝෂණය වගේම මනසට අවශ්‍ය පෝෂණයත් ලබාදීමෙන් බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් හෙළි වී තිබෙනවා. ආදරය සෙනෙහස දැක්වීම මඟින් දරුවකු උත්තේජනය වන විට එම දරුවාගේ ශාරීරික වර්ධනයට අවශ්‍ය වර්ධක හෝමෝන වර්ග හොඳින් ශ්‍රාවය වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තිබෙනවා; විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. එම හෝමෝන නිසි පරිදි ශ්‍රාවය නොවුනොත් දරුවාගේ උස සහ බර වර්ධනයවීම ඇණහිටිනවා. එසේම බුද්ධිවර්ධනයටද එය බලපානවා දරුවකුගේ පූර්ණ වර්ධනයට ආදරය සෙනෙහස දැක්වීමෙන් ලැබෙන උත්තේජනය කෙතරම් වැදගත් ද කියා එයින් පැහැදිලි වෙනවා.
දරුවකු ඉපදී මුල් මාස 6 ඇතුළත මවුකිරි පමණක් ලබාදීම ඉතා වැදගත්. එසේ මවුකිරි ලබා දෙන අතරතුරත් මවට දරුවාව උත්තේජනය කළ හැකියි. බොහෝ විට අතදරුවකු හඬන්නේ මවුකිරි හෝ උණුසුම අවශ්‍ය වූ විටයි; දරුවාට බඩගිනි වූ විටයි. එවිට දරුවාගේ කුස පිරවීම අවශ්‍ය වෙනවා. මෙහිදී මවගේ තනපුඬුව දරුවාගේ මුවට තබා කිරි දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ.
කිරි දෙන විට දරුවාගේ දෑස් දෙස බලාගෙන දරුවාට ආදරෙන් කතා කරමින් කිරි ලබාදීම ඉතා වැදගත්. එසේ නැතිව පැය තුනෙන් තුනට මව්කිරි දී දරුවාව පැත්තකට කර තැබීම ප්‍රමාණවත් වන්නේ නෑ. එමඟින් දරුවාට උත්තේජනයක් ලැබෙන්නේ නෑ.
දරුවකු ඉපදී මාස 6 ක් ගතවූ පසුව එම දරුවාට මවුකිරි දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ.
ඒ ඒ වයසට දරුවාට ගැළපෙන සහ දිය යුතු ආහාර සහ ආහාර දිය යුතු පිළිවෙළ වෛද්‍යවරු වෙතින් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් වෙතින් මවුවරුනට දැනගත හැකියි. ඒ වාගේම ඒ පිළිබඳව මවුවරුන්ව බොහෝ ආකාරවලින් දැනුම්වත් කෙරෙනවා. නමුත් එම උපදෙස් අනුව කාල සටහනක් සකසාගෙන දරුවාට ආහාර ගිල්වීම පමණක් දරුවාගේ වර්ධනයට ප්‍රමාණවත් වන්නේ නෑ. දරුවාගේ කුසට ආහාර ලබා දෙනවා සේම ආදරයත් ලබාදිය යුතුමයි.
දරුවකුට කෑම දෙන විට දරුවාගේ මට්ටමටම මව පහත්වීම ඉතාම අවශ්‍යයි. දරුවා බිම ඉඳගෙන කෑම ගැනීමට කැමතිනම්, අම්මා ද බිම ඉඳගෙන දරුවාට කෑම කැවීම සුදුසුයි. ඊට අමතරව දරුවාට කෑම කවන විට දරුවාගේ මුහුණ දෙස බලාගෙන දෑස් දෙස බලාගෙන දරුවා සමඟ සිනාසෙමින් කෑම ගැනීම ප්‍රයෝජනවත්. එමඟින් දරුවාට කෑම ගැනීමට හොඳ උත්තේජනයක් ලැබෙනවා.
ඊට අමතරව දරුවාට කෑම කවන අතරේ එක් අතකින් දරුවාගේ අතපය ආදරයෙන් අතගෑම ඉතාම වැදගත්. එයින් ද දරුවා උත්තේජනය වෙනවා. දරුවාට අම්මාගේ රැකවරණය ඇති බව ඉන් දරුවාට දැනෙනවා. කෑම ගැනීමට රුචියක් දරුවා තුළ වර්ධනය වෙනවා. අම්මා අසල සිටින විට අම්මාගේ තුරුලේ සිටින විට තමාට රැකවරණයක් ඇති බව දරුවාට හැඟී ගියහොත් දරුවාට බඩගිනි ඇති වෙනවා.
බහතෝරන අවදියේදී දරුවා බබා, මමා, අම්මා, තාත්තා වැනි වචන උච්චාරණය කිරීමට උත්සාහ ගන්නවා. දරුවා එසේ වචන උච්චාරණය කරන විට මවට ද දරුවා සමඟ එම වචන උච්චාරණය කළ හැකියි. එසේ දරුවන් සමඟ මවුපියන් වැඩිහිටියන් වචන උච්චාරණය කරන විට දරුවා උත්තේජනය වී දරුවා ශාරීරිකව මෙන්ම මානසිකව ද හොඳින් වර්ධනය වන බව හෙළි වී තිබෙනවා. ඒ දේවල්වලට මුදල් වැය නොවුණත් දරුවකුගේ වර්ධනයට පෝෂණයට ඉන් ලැබෙන රුකුල අතිමහත්.
දරුවකුගේ ඇසීම, කතාවට සෘජුවම සම්බන්ධයි. කට සහ කන ක්‍රියා කරන්නේ එක්වයි. දරුවකුට හොඳින් ඇසෙන විට එම දරුවා හොඳින් කතා කිරීමට පටන් ගන්නවා. එසේම දරුවකුගේ දෑස සහ දෑත් ක්‍රියා කරන්නේ ද එක්වයි. ඉතාම කුඩා අවධියේදී සෙල්ලම් බඩුවක් වැනි දෙයක් ඇල්ලීමට දරුවකු පෙලඹ වූ විට දරුවා එය අල්ලනවා. එය උත්තේජනයක්. එවැනි ක්‍රම මඟින් කුඩා කාලයේදී දරුවාව උත්තේජනය කළ හැකියි.
දරුවාට වයස අවුරුදු 3 ක් පමණ වූ විට දරුවා තුරුලු කරගෙන කතන්දර කියාදීමේ හැකියාව වැඩිහිටියන්ට විශේෂයෙන්ම මවට තිබෙනවා. ගැටලුව වන්නේ දරුවන්ට කියාදීමට සුදුසු කතන්දර, සුරංගනා වත්මන් මවුවරු නොදැනීමයි. ඒ සඳහා සුදුසු පොත් ඕනෑ තරම් වෙළෙඳ පොළේ තිබෙනවා. එම කතන්දර පොත් කියවා දරුවාට කතන්දර කියාදීමේ හැකියාව මවුවරුන්ට තිබෙනවා. එසේම දරුවාට නින්ද යනතුරු කවි කතන්දර කියා දීමෙන් දරුවාගේ මනස උත්තේජනය වන බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් ද තහවුරු වී තිබෙනවා.
බහතෝරන අවදියෙන් ඔබ්බට ගියාට පසුව දරුවකු මොන්ටිසෝරි යන වයසට පාසල් යන වයසට පත්වෙනවා. මෙම අවදියේදී බොහෝ මවුපියන් උත්සාහ ගන්නේ දරුවාට ආදරය සෙනෙහස දැක්වීමට වඩා තම දරුවා අවශ්‍ය පරිදි හැඩ ගස්වා ගැනීමටයි. මොන්ටිසෝරි යන වයසේදී දරුවකු බලාපොරොත්තු වන්නේ පරිසය සමඟ කාලය ගත කිරීමටයි. එම වයසේදී දරුවන් අලුත් අලුත් දේ පිළිබඳව සිතන්නට පටන් ගන්නවා. මිදුලේ වැලි අත ගෑමට, ගල් ඇහිඳීමට, ගස්වල කොළ කැඩීමට, මල් ඇල්ලීමට සමනළයන් දෙස බැලීමට ඒ වයසේ දරුවන් උත්සාහ ගන්නවා.
ඒ වගේම මල් පිපෙන්නේ කෙසේදැයි බැලීමට, සමනලයන් පසුපස දිවීමට මේ වයසේ දරුවන් උත්සාහ ගන්නවා. පරිසරයේ විවිධ අත්හදා බැලීම් කරන්න මෙම වයසේ දරුවන් උත්සාහ ගන්නවා. දරුවන්ගේ ඒ මානසික ස්වභාවයන් තේරුම් නොගන්නා මවුපියන් එම ක්‍රියාවන්ට දරුවනට ඉඩ දෙන්නේ නෑ. වැලි ඇල්ලීම, ගල් එකතු කිරීමට ජලය සමඟ සෙල්ලම් කිරීමට දරුවාට ඉඩ දෙන්නේ නෑ. බොහෝ මවුපියන්ට අවශ්‍ය වන්නේ මොන්ටිසෝරියකට යවා දරුවාට අකුරු කියාදීමටයි; පොත පතේ දැනුම පමණක් දරුවාට ලබා දීමටයි. එය ඒ වයසේ දරුවන්ගේ වර්ධනයට බාධාවක්. මෙම වයසේ දරුවන් සමඟ ක්‍රීඩා කිරීමෙන්, පරිසරය විඳීමට දරුවන් සමඟ මවුපියන් ද එක්වීමෙන් දරුවාට විශාල උත්තේජනයක් ලැබෙනවා. එය දරුවාගේ මානසික මෙන්ම ශාරීරික වර්ධනයට ද විශාල රුකුලක්.
කුඩා දරුවන් සමඟ සෙල්ලම් කරන විට වැඩිහිටියන්ද එම වයසට ගොස් දරුවා සමඟ සෙල්ලම් කිරීම ඉතාම වැදගත්.
දරුවකුගේ මොළයේ වර්ධනය වැඩිපුරම සිදුවන්නේ ඉපදී පළමු අවුරුදු දෙක තුන අතර කාලයේ දී. DNA අළුතින් නිෂ්පාදනය වන්නේත් එම කාලයේ දී. එම නිසා එම වයස දරුවකුගේ ඉතා වැදගත් කාලයක්. මෙම වයසේ දී දරුවා උත්තේජනය කිරීම ඉතාම වැදගත්.
පෙර පාසල් විය ගෙවී දරුවා පාසල් යන වයසට පත්වුණු පසුව දරුවාට කිසියම් හික්මීමක් ලබා දිය යුතුයි. සතුන් තම පැටවුන් බලාගන්නේ ඉතාම කෙටි කාලසීමාවක්. එම කාලසීමාව තුළ තම පැටවුන් හොඳින් බලාගන්නා එම සතුන් ඉන්පසු පැටවුන් නිදහස් කරනවා. මිනිසුන් ක්‍රියාකරන්නේ එසේ නොවෙයි. බොහෝ කාලයක් තම දරුවන් රැක බලාගන්න මිනිසුන් පෙලඹෙනවා. එය ඉතා වැදගත්. එ‍සේම එසේ රැකබලා ගන්නා ගමන් දරුවාගේ බුද්ධි මට්ටම ඉහළ දැමීමට ක්‍රියාකිරීමත් ඉතාම වැදගත්. මවුපියන් හැමවිටම උත්සාහ ගත යුත්තේ තමන්ගේ මට්ටමට වඩා ඉහළට තම දැරුවන් ඔසොවා තැබීමටයි. ඒ සඳහා කිසියම් විනයකට හික්මීමකට අනුව දරුවන් හැදීම ඉතාම වැදගත්.
දෙක තුන වසරවල ඉගෙනගන්නා විට දරුවකු සිතන්න ගන්නේ එක් මට්ටමකට. එම වයස්වලදී සෙල්ලම් බෝට්ටු සෙල්ලම් ගුවන්යානා හදන්න දරුවන් උත්සාහ ගන්නවා. නමුත් උසස් පෙළ පන්තිවල ඉගෙනගන්න දරුවන් සිතන්නේ වෙනස් මට්ටමකට. ඔවුන්ගේ සිතුම් පැතුම් ආශාවල් වෙනස්. ඒ දරුවන්ගේ බුද්ධිය වර්ධනය වී ඇති නිසයි. දරුවකු වැඩෙන විට තම දරුවා තුළ ඇතිවන වෙනස මවුපියන් විසින් හොඳින් තේරුම් ගත යුතුයි.
වයස අවුරුදු දෙක තුනේ දී බොහෝ විට දරුවා අහන්නේ මව, පියා කියන දේ. ඊට පසුව දරුවන් අහන්නේ ගුරුවරුන් කියන දේ. ඊට වඩා තරමක් දරුවා වැඩෙන විට තම යහළුවන් කියන දේ ඇසීමට දරුවන් පෙලඹෙනවා. එයයි ස්වභාවය. එම අවස්ථාවේදී මවුපියන් දරුවන්ට ඉතාම සමීපව සිට හරි දේ මෙයයි වැරදි දේ මෙයයි කියා දරුවන්ට ‍කියාදීම ඉතා වැදගත්. එම වයසේ දරුවන් උත්තේජනය කළ හැක්කේ ඒ ආකාරයෙන්. එම වයසේ දරුවන්ට උත්තේජනය ඉතාම අවශ්‍යයි. ඒ සඳහා මවුපියන් දරුවා සමඟ සිටිය යුතුයි; දරුවා සමඟ කාලය ගත කළ යුතුයි. මෙම වයසේ දී දරුවාට නිසි පරිදි උත්තේජනයක් නොලැබුණොත් එම දරුවා වැරදි මාර්ගවල යාමට පෙලඹෙන හැකියාව වැඩියි.
අද සමාජයේ බොහෝ දෙමවුපියන් සිටින්නේ මුදල් ඉපයීමේ තරගයක නිරතවෙලා. ඔවුන් සැනසෙන්නේ මුදල් ඉපයීමෙන්. බොහෝ නිවෙස්වල මවත් පියාත් දෙදෙනාම රැකියාවල යෙදී සිටිනවා. ඒ සඳහා බලපා ඇත්තේ ආර්ථික දුෂ්කරතා බව සත්‍යයක්. ඒ වගේම මවුපියන් මෙලෙස කටයුතු කරන්නේ දරුවන්ගේම යහපතට බව ද සත්‍යයක්. ඇතැම් මවුපියන් දිවා රෑ නොබලා මුදල් උපයන්නේ තම දරුවන්ට විදේශ රටවල විශ්වවිද්‍යාලයකට ගොස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාකරදීම සඳහා වෙන්න පුළුවනි.
එවැනි මවුපියන්ට දරුවන් වෙනුවෙන් මුදල් වැය කිරීමේ හැකියාව තිබුණත් දරුවන් වෙනුවෙන් කාලය වැය කිරීමේ හැකියාව ඔවුන්ට නෑ. එහි ප්‍රතිඵලය වන්නේ නිසි වයසේ දී දරුවාට මවුපියන් වෙතින් ලැබිය යුතු ආදරය නොලැබී යාමයි. එය දරුවාගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයට ද විශාල බාධාවක්. ගහට කොළට ආදරය කරන සංවේදී දරුවකු බිහිවීමට එය බාධාවක්.
දරුවන්ට ආදරය දැක්වීම සඳහා දරුවන් සිප වැලඳගැනීමෙන් ඕනෑම වයසක සිටින දරුවකු උත්තේජනය කිරීමේ හැකියාව මවුපියන්ට තිබෙනවා. අපේ සංස්කෘතියට අනුව දරුවන් සිප වැලඳගැනීම නෙගැළපෙනවා සේ පෙනුණත් තමන්ගේ දරුවන් සිප වැලඳගෙන ආදරය දැක්වීම ගැටලුවක් නෑ. අපේ රටේ බොහෝ දරුවන් මවට පියාට ආච්චිට සීයාට වඳිනවා. එවැනි අවස්ථාවක දරුවා සිප වැලඳගැනීමෙන් දරුවාට ආදරය පෙන්විය හැකියි. එය දරුවා උත්තේජනය වීමට දරුවාගේ මානසික වර්ධනයට විශාල රුකුලක්.
අපේ මේ මවුවරුන් දරුවන්ට කෑම කැවීමට ගන්නා උත්සාහයත් ඉතා වැරදි සහගතයි. කුඩා වියේ පටන් දරුවා ‍ස්වාධීන පුද්ගලයකු බවට පත්කිරීම ඉතාම වැදගත්. දරුවකුට මාස 9ක් 10ක් පමණ වන විට ‘ගිලී‍මට පහසු’ බිස්කට් කැබැල්ලක් කෑමට සැලැස්වීම ඉතා වැදගත්. දරුවාට අවුරුද්දක් පමණ සම්පූර්ණ වූ පසුව පිරිසුදු පිඟානකට බත් ස්වල්පයක් දමා බත් ඇට ඇහිඳගෙන කෑමට දරුවා හුරු කළ යුතුයි. දරුවාට අවුරුදු එකහමාරක් පමණ වන විට තනිවම ආහාර ගැනීමට දරුවාට හුරු කළ යුතුයි.
එලෙස දරුවා අතින් ගෙන කෑම ගැනීමෙන් හුරු පුරුදු වන්නේ කෑම ගැනීමේ හැකියාව පමණක් නොවේ. අත සහ කට අතර සම්බන්ධතාව ගොඩනැඟීමට ද එලෙස දරුවා ස්වාධීනව ආහාර ගැනීම ඉවහල් වෙනවා. කිසියම් මවක් තම දරුවාට දිගින් දිගටම ආහාර කැවීමට පුරුදු වුණොත් කවුරුන් හෝ කෑම කවන තෙක් දරුවා බලාගෙන සිටිනවා. කෙසේ හෝ දරුවාට නොකැව්වොත් දරුවා කෑම‍ නොකන බවයි මවුවරුන්ගේ අදහස වන්නේ. මෙය ඉතාම වැරදි මතයක්.
අපේ රටේ මවුවරුන් කිසිම අවස්ථාවක තම දරුවාට බඩගින්න දැනෙන්න ඉඩ තබන්නේ නෑ. බඩගින්නක් ඇතිවී දරුවා අඬන තත්ත්වයකට පත්වෙන්න මවුවරු ඉඩ තබන්නේ නෑ. එවිට දරුවාට බඩගින්න කුමක්දැයි වැටහෙන්නේ නෑ. එවිට දරුවාට කෑමවල අවශ්‍යතාවක් ඇතිවන්නේ නෑ.
දරුවකු‍ෙග් කායික මානසික වර්ධනයට, දරුවකු උත්තේජනය වීමට සංගීතය, නැටුම්, චිත්‍ර වැනි කලා මාධ්‍යයක් රසවින්දනයට සැලැස්වීම ඉතාම සුදුසු බව අද හෙළිවී තිබෙනවා. විශේෂයෙන්ම අඩු රිද්මයකින් යුතු අපේ රටට ගැළපෙන සියුම් සංගීත ඛණ්ඩයක් කුඩා අවධියේ පටන් ම දරුවාට ශ්‍රවණය කිරීමට සැලැස්වීම මඟින් දරුවා මානසික උත්තේජනය වෙනවා.
දරුවාගේ මොළයේ සෛලවල ක්‍රියාකාරීත්වය අනුව සංගීතය සහ ගණිතය එකට ගමන් කරන බව හෙළිවී තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ සියුම් සංගීතය ශ්‍රවණය කරන දරුවන්ගේ ගණිතමය හැකියාව වර්ධනය වන බවයි. ඊට අමතරව දරුවකුගේ ශාරීරික වර්ධනයට මෙන්ම මානසික වර්ධනයටත් කය වෙහෙසා ක්‍රියා කිරීම ඉතා අවශ්‍යයි. දිනකට අඩුම තරමින් පැය බාගයක් හෝ පැයක්වත් දරුවාට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. එහිදී දරුවාට ක්‍රීඩාවෙන් ලැබෙන උත්තේජනය දරුවාගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයට ද ඉවහල් වෙනවා.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

Saturday, October 26, 2013

පරිසර නියමු ජාතික කඳවුර

පරිසර නියමුවන්ගේ ශාන්ති කර්මය
මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පරිසර නියමු ජාතික කඳවුර මෙවර පරිසර නියමුවන් 300 කගේ සහභාගීත්වයෙන් පොලොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වේ. 16 වැනිදා ආරම්භ විය. දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි පරසර නියමුවෝ 300 පමණ විවිධ ක්‍රියාකාරකම්වල නියැලුණි. අවසන් දිනය අද වන විට පරිසර නියමුවෝ පාරිසර ක්‍රියාකාරකම්වල යෙදුණු අයුරු ඡායාරූප වලින් දැක්වේ. මධ්‍යම පරිසර අධිකාරිය පරිසර නියමු වැඩසටහනේ මෙහෙයවීම් කටයුතු සිදු කරන ලදී. එහිදී පරිසර නියමු සිසුන් දෙදෙනෙකු පරිසරය සුරැකීම ගැන ශාන්තිකර්මයක නියැලෙන අයුරු.
ඡායාරූප- විශ්ව ගැමුණු ප්‍රියංකර

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම ළමා නිළිය



රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම ළමා නිළිය (සීමිත) ලෙස ‘රන්කාසි වැස්ස’ ළමා නාට්‍යට රංගනයෙන් දායක වූ මොනරාගල ජාතික පාසලේ ආර්. එම්. එම්. සුපිපි මැදවෙල ශිෂ්‍යාවත්, හොඳම නළුවා (සීමිත) ලෙස ‘පාට තුනයි එකම මලයි’ ළමා නාට්‍යයේ රංගනයට දායක වූ හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨයේ ඒ ලක්කාන්ත සිසුවාත් ඊයේ (24) සම්මාන හිමි කර ගත්හ.  ඡායාරූපය - සුලෝචන ගමගේ

Friday, October 25, 2013

ජපන් චිත්‍ර තරගයෙන් ලෝකඩ පදක්කම් දිනූ රමේෂා සඳුමිණි


ජපන් චිත්‍ර තරගයෙන් ලෝකඩ පදක්කම් දිනූ රමේෂා සඳුමිණි

කොළඹ, යසෝදරා විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන රමේෂා සඳුමිණි ගුණසේකර ශිෂ්‍යාව ජපානයේ ටොයෝටා සමාගම මඟින් 7 වෙනි වරටත් පවත්වන ලද “ලෝක සිහින කාරය” තරගයෙන් රටවල් 70 ක තරගකරුවන් අතරින් අවුරුදු 9 න් පහළ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ලබා දීමට සමත් වූවාය.
රමේෂා පසුගියදා ජපානයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ද සහභාගී වූවාය. ඇය දෙස් විදෙස් චිත්‍ර තරග රාශියකින් ත්‍යාග සහ සම්මාන සහතික ලබා ඇති අතර 2010 වර්ෂයේ ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගය (එංගලන්තය) 2 වැනි ස්ථානය ද 2011 වර්ෂයේ එම චිත්‍ර තරගයේ ම 2 වැනි ස්ථානය ද දිනා ගත්තාය.
යසෝදරා විද්‍යාලයේ 165 වන සංවත්සර චිත්‍ර තරගයේ පළමු ස්ථානය, එම විදුහලේ විද්‍යා සංගම් චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය, ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලයීය චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය (2009), සම්බුදු මහිම 2012 චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය, 2010 වර්ෂයේ සාහිත්‍ය නිවන්දනා උලෙළ චිත්‍ර තරගයෙන් දෙවන ස්ථානයත් ඇතුළු චිත්‍ර තරග රැසකින් ඇය ජයග්‍රහණ අත්කරගෙන ඇත්තාය.
චිත්‍රවලට මෙන්ම අධ්‍යාපනයට ද දස්කම් දක්වන ඇය මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 171 ක් ලබා සමත්ව සිටී.

Thursday, October 24, 2013

ගුවන් විදුලියේ අතීත තොරතුරු අද පරපුරේ දැන ගැනීම පිණිසයි

ප‍්‍රථම ගුවන්විදුලි නාට්‍ය රචකයා ජේ.ආර්. ජයවර්ධන 

එලීනා ජයවර්ධන මහාචාර්ය ගුණපාල මලලසේකර, ජේ.ආර්. ජයවර්ධන නළු නිළියෝ

 මෙවර හඩ සඟරාවෙන්  

ප‍්‍රථම ගුවන්විදුලි මෙගා නාට්‍යය කුරුළුබැද්ද

11 වැනි කලාපය දැන් වෙළෙඳ පොළේ 
තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ සංස්කරණයක්

Monday, October 21, 2013

දේදුන්න

දේදුන්න

නිල් පාට ආකාසේ
හිරු නැඟ එනවා
වැහි බිංදු වැටෙනවා
පුංචි වැස්සක් වහිනවා
දේදුන්නක් පායනවා
ආකාසේ පාට හතෙන්
හැඩ වෙනවා
සුරංගනාවියක්
දේදුන්නෙන් බහිනවා
 
චනිදු සුපසන් ප්‍රේමසුන්දර
1 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල, කොළඹ
 

බල්ලො බළල්ලු ගැන පුංචි කතාවක්...

බල්ලො බළල්ලු ගැන පුංචි කතාවක්...

අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වයිට් සහ ටෙරී. වයිට් සුදු පාටයි. එයා අලුතෙන් ම අපේ ගෙදර එද්දි නම් සුදු පාටයි. ඒ නිසා තමයි වයිට් කියලා දැම්මේ. ඒත් දැන් එයාගේ හැටි බලනකොට අපිට දාන්න නමකුත් නැහැ. එක දවසක් අපේ ගෙදර අමුත්තෙක් ආවා. එයා අපිත් එක්ක ඉද්දි එයාට පෙන්නන්න වයිට් ට අඬ ගැහුවා. වයිට් අඬ ගහපු ගමන් ම දුවගෙන ආවා. “මේ ඉන්නේ වයිට්” මම කිව්වා. ඒක අහපු අමුත්තාගේ මුහුණ වෙනස් වුණා. ඊට පස්සේ “නමේ හැටියට නම් හොඳ වැඩියි වගේ” කියලා අපි මොනවත් කියන්නත් කලින් ඒ මනුස්සයා අඩියට දෙකට ගෙදරින් එළියට පැනගත්තා. එයා ගියාට පස්සේ මට තේරුණා එයා නොකියා කිව්වේ ‘අපෝ! මෙයාගේ හැටි!!! සුදු පාට මයිලක්වත් පේන්න නෑ” කියලා. තව කෙනෙක් කිව්වා මං හිතුවේ මූගේ නම ඩ(ර්)ටි කියලා. ඒකට නම් ටිකක් විතර ලැජ්ජයි. මොකද මූණට ම කිව්වනේ. ඒත් වයිට්ට නම් ගාණක්වත් නෑ. ටෙරී දුඹුරු පාටයි. ඌ සමහර වෙලාවට සැරයි. ඒත් එයා හැම තිස්සෙම ඉන්නේ පොල් ලෙල්ලක් එක්ක. වෙන එකක් තියා ඌ නිදියන්නෙත් පොල් ලෙල්ලක් ළං කරගෙන. ටෙරී පූසන් පන්නන්නේ නෑ. ඒත් වයිට් නම් පන්නනවා.
මේක තමයි පුදුම වැඩේ! ඔන්න එක දවසක් අපේ ගෙදරට හදිසියේ ම පූසියක් ආවා. එයාගේ ඇ‍ඟේ කළු, දුඹුරු, සුදු පාට තිබුණා. ඒ නිසා මම ඌට මික්සි කියලා නම තිබ්බා. පස්සේ තමයි දැනගත්තේ මේ මං ළඟ හිටපු මිස්ටි පූසිගේ දුව කියලා. ඌ දිගට ම අපේ ගෙදර ආවා. තවත් දවසක, මේන් තව එක්කෙනෙක් එනවා. එයා අලු, සුදු, කහ පාටට හුරු දුඹුරු පාටයි. එයාගෙ නම ඩේෂී. ඊට ටික දවසකට පස්සේ අපි එහා ගෙදරට රෑ සාදයකට ගියා. එහේ හිටියා තවත් පූසෙක්. උගේ පාටත් මික්සිගේ පාට වගේමයි. ඒ හිටිය පූසා මික්සිගේ සහෝදරයෙක්. ඒ නිසා මම ඌට බික්සි කියලා නම තිබ්බා.
එදා අපි රූපවාහිනිය නරඹමින් හිටියේ. ඒ අතර අපිට සද්දයක් ඇහුණා. රූපවාහිනී බලල ඉවර වෙලා ජනේල වහන්න ගියා. රස්නය නිසා ඇරලයි තිබුණේ. මම ඒ කාමරයට ගිහින් බලද්දි මේන්! පුංචි පූස් පැටියෙක් අම්මගේ පොත්වලට මැදිවෙලා හොඳට නිදි!! මම ජනේලෙත් නොවහා අම්මා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අම්මා මෙන්න වයිරං පැටියෙක් ඇවිල්ලා!!!” එතකොට අක්කත් තාත්තාත් ආවා. කළුරේ එද්දි අක්කා පැටියා හිටපු මේසෙ “දඩාස්” ගාලා හැපුණා. ඒත් එක්ක ම ඇහැරුණු පැටියා ඉක්මනට ජනේලයෙන් මාරු වුණා. හැබැයි පහුවදා, මේං එනවා!! එයා අපිත් එක්ක යාළුවෙලා හැම තැනම නැග නැග ඉඳලා අන්තිමට තාත්තාගේ ඇඳටත් නැංගා. එයා හොඳට හරිබරි ගැහිලා ලස්සනට ඉඳගත්තා. එතකොට ම තාත්තා ආවා. ඒක දැකලා ඌව උස්සද්දි දැක්කේ හරිම හිරිකිත දෙයක්. ඇත්තම කිව්වොත්... ඌ ඇ‍ඳේ චූ දාලා තිබුණා. ඉතින් අම්මට මුළු පොරෝනයම හෝදන්න වුණා. අම්මා ඌට කතා කළේ චූ බබා කියලා. මම ඒක චූබී කියලා හැදුවා.
ටික දවසකින් තවත් පූසියක් ආවා. මම එයාට දැම්මේ රික්සි කියලා. එයත් මික්සිගේ සහෝදරියක්. කවදාවත් පූසෝ එන එක නතර නොවේවි කියලා මට හිතුණා.
ඊළඟ දවසේ වයසක පාට කෝප්පයක් වගේ මූණක් තියෙන පූසෙක්. එයා වයසක නිසා මම ඌට ‘ඔඩී’ කියලා දැම්මා. ඊළඟට ආවේ චූබීගේ අම්මා. ඌට ‘ඩිටී’ කියලා නම දැම්මා. අන්තිමයා ‘බ්ලී'. එයා කළු පාටයි.
එදා ඉරිදා දවසක්. තාත්තා ගෙදර හිටියෙ නැහැ. මේ අතරෙ චුබී පුරුදුවෙලා හිටියා අපේ වයිට් නිතරම චුබීට කුරුමානම් අල්ලනවා. ඒවා වැරදුණා. ඉතින් මෙදා චුබී අව්ව තපින්න එළියට බැස්සා. එහෙම ඉද්දි එකපාරට ම වයිට් පැනලා උගේ බෙල්ලෙන් අල්ලගත්තා. ඌ පුළුවන් විදිහට දැගළුවා බේරෙන්න. ඒත් එක්කම වයිට්, ඌව ළඟම තිබුණ ගලක ගැහුවා. ඒක දැකලා අක්කා කෑ ගැහුවා. ඒත් වයිට් උඩ ගෙදරට ගිහින් ඌව හයියෙන් වැනුවා. ඒ ගෙදර මාමා වයිට්ට ගලකින් ගැහුවා. ඌ චුබීව දාලා දිව්වා. එතන තිබුණ ගරාජ් එකේ කාර් එක යටට ඌ ඇදිලා ගියා. මම කෝටුවක් දාලා ඌව ඇදලා ගත්තා. උගේ කකුල් උළුක්කු වෙලා තිබුණා. ඉන් පස්සෙ මම ඌව දර මඩුවට ම දැම්මා. රෑ වුණහම අම්මා උගේ කකුල් තෙල් ගාලා ඇද්දා දැන් නම් ඌ හොඳට ඉන්නවා. මෙහෙම වෙලා පූසෝ හදන්ඩ බල්ලො එක්ක බෑ තමයි.

විශ්වනී මදාරා විජේරත්න
7 ශ්‍රේණිය,
උසස් බාලිකා විද්‍යාලය,
මහනුවර