Monday, October 20, 2014

මං ගෙන ගොසින්...


වනයේ තිබෙන වල් කා මට ඉන්න නොදී
ගෙනවිත් නගරයට දෙපයට විලංගු දී
හෙණ්ඩුවකින් ඇන මට හරියට වද දී
ඉගැන්නුවා යන හැටි පෙරහැරේ දී
මා ගත වැසෙන්නට ඇඳුමක් ඇන්දුවා
ලස්සන විදුලි බුබුළින් එය හැඩ කෙරුවා
හේවිසි නැටුම් අතරින් මා රැඳවූවා
පෙරහර හැඩ කරන් මට යන්නයි කීවා
බෙර හඬ දවුල් හඬ සවනට ඇසුණාම
මා ගත නැටවුණේ සිතටත් නොදැනීම
දරුවන් මගේ හැඩ බලනව දුටුවාම
ආඩම්බරයකුත් දැනුණා මං ගැනම
පන්දම්කරු නොදැන ගිලිහුණු ගිනි පුපුරක්
පෑගුණු ගමන් පෙනුණා මට තරු පොකුරක්
එනිසයි දැඟලුවේ මම ඔසවන් කකුළක්
තේරුම් ගන්න නුඹලට නැතිදෝ මොළයක්
“අලියකු කුලප්පුයි” කවුදෝ කෑ ගැසුවා
මරහඬ තලන් ජන ගඟ ඈතට දිවුවා
සමහරු පොලු අරන් මා පසුපස ආවා
යන එන මඟ නොදැන මා අසරණ වූවා
අල්ලන් මාව කඹයක් ගෙන ගස් බැඳලා
තලමින් හෙණ්ඩුවෙන් හොඳහැටි වද දීලා
ඇයි මට බනින්නේ මනු සතුනේ නුඹලා
කෙලෙස කියන්දෝ මගෙ දුක කට ඇරලා
පෙරහර කරවනා ලොකු ලොකු මහතුන්නේ
අලි දුක ගැනත් පොඩියට හරි හිතපන්නේ
දොහොත් නගා වැඳලයි මේ පවසන්නේ
මං ගෙන ගොසින් මහ කැලයට දමපන්නේ


කේ. ජී. ප්‍රදීපා මහේෂිකා
13 ශ්‍රේණිය (2015 කලා),
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය,
හාලිඇළ, බදුල්ල

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි