නිදහස යනු විවිධ ලෙසින් අරුත් දැක්වෙන පදයකි. වචනාර්ථ වශයෙන් ගත් කල, ‘දාසත්වයෙන් තොර’ යන අදහස එයින් ලැබේ. සංස්කෘතයෙහි ‘නිර්දාස’ යන වචනය පාලියෙහි ‘නිද්දාස’ බවට පත් වී සිංහලයෙහි ‘නිදහස්’ වෙයි. දාස භාවය වනාහි බැම්මකි. එහෙයින් දාස භාවයෙන් නො ව, වෙනත් බැම්මකින් මිදුණ ද නිදහස යන වදන රූඪි අර්ථයෙන් ඒ සඳහා යොදනු ලැබේ.
නිදහස පිළිබඳ යථෝක්ත අර්ථ කථනය කරන ලද්දේ අප ගේ නිදහස - එ නම් 1948 පෙබරවාරි 04 වැනි දා අප ලැබු හයි කියන නිදහස පිළිබඳ විවරණයකට පූර්විකාවක් වශයෙනි. මෙහි දී අප මුහුණ දෙන පළමු ගැටලුව වන්නේ යට කී පසු බිමෙහි දී, 1948 දී අප ලැබු හයි කියන නිදහස ඇත්තට ම නිදහසක් ලෙස සැලකිය හැකි ද යන්න යි. ඒ කවර හෙයින් ද?
යට දක්වන ලද පරිදි, නිදහස යනු මූලික වශයෙන් දාස භාවයෙන්, නැතහොත් යටත් පිරිසෙයින් වෙනත් බැම්මකින් ගැලවීම, මිදීම වෙයි. ඉතින් අප ශ්‍රී ලංකා වාසීන් එ බඳු දාස භාවයකට හෝ වෙනත් බැම්මකට හෝ අසු වී සිටියා යැ යි සැලකිය හැකි ද?
|
එස්. මහින්ද හිමි
|
පාසලේ දී හෝඩියේ සිට උසස් පෙළ වන තෙක් ම අපට උගන්වන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් ව තිබූ ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනි දා නිදහස ලද බව යි. ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමේ දීත් නිදහස් දිනය ලෙස පෙබරවාරි 04 වැනි දා ලියන්නට අපට පුරුදු කරවනු ලැබ ඇත. අපිත් එසේ ම ලියමු. අපට පෙර සිටි පරපුර ද එසේ ම ලිවී ය. අප ගෙන් පසු පරපුර ද එ සේ ම ලියනු ඇත. වැඩි දුරටත් අපට උගන්වන ලද කරුණක් නම් අපේ ජාතික වීරයන් ගේ දක්ෂතාව නිසා ‘ලේ බිඳකුදු නොසොල්වා’ නිදහස ලබන්නට අපේ රට පින්වත් වූ බව යි.
නිදහසක් ලබන්නට නම් බැම්මකට, යටත් වීමකට හසු වී සිටිය යුතු වෙයි. ශ්‍රී ලංකා වාසීන් එසේ බැම්මකට හසු වූයේ කවර දා ද? එයත් අපට පාසලේ දී මැනවින් උගන්වා ඇත. 1815 මාර්තු දෙවැනි දා උඩරට ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් කරගන්නා ලදි!
මේ සමාජය පිළිගත් මතය යි. මෙහි සත්‍යාසත්‍ය භාවය පළමු ව විමසා බලමු. රටක් යටත් කර ගන්නේ ආයුධ බලයෙන් කරනු ලබන යුද්ධයක් මඟිනි. එ බඳු යටත් කිරීම් ගැන උදාහරණ ලෝක ඉතිහාසයෙන් අපමණ සොයාගත හැකි වෙයි. තවත් ආකාරයක යටත් කරගැනීමක් දේශපාලන විප්ලව මඟින්, බලයේ සිටින පාලකයා ඉවත් කිරීමෙන් කරනු ලැබේ. ඒ සඳහා ද ලෝක ඉතිහාසයේ ඇති උදාහරණ අපමණ ය. එහෙත් යටත් කරගැනීමක් ලෙස බොහෝ විට සැලකෙන්නේ යුද්ධයක් මඟින් කරන ලද යටත් කරගැනීමක් ම ය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අපේ රට එසේ යටත් කරගත හැකි නො වී ය. ලන්දේසීන් සතු ව තිබු මුහුදුබඩ පළාත් හා බලකොටු ඔවුන් පලවා හැර අල්ලාගත් නමුදු මෙ රට පාලන අගනුවර වශයෙන් තත්කාලීන ව පැවැති, මහනුවර යටත් කරගැනීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට නොහැකි විය. එය ඇත්තට ම නොහැකි වීමක් වන්නේ ඒ සඳහා උත්සාහ කොට නොහැකි වූ බැවිනි. අපේ ඉතිහාසයේ දැක්වෙන අන්දමට, බොරු ගැටලුවක් (පුවත් වෙළෙඳාම පිළිබඳ ව) මතු කොට 1803 දී, එ වක මෙහි කොළඹ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා ව සිටි ප්‍රෙඩ්රික් නෝත් කන්ද උඩරට ආක්‍රමණය කළේ ය. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගේ හමුදා එල්ල කළ ‘ගරිල්ලා’ ප්‍රහාර හමුවේ හිස් ලූ ලූ අත දිව යන්නට බ්‍රිතාන්‍යයේ දක්ෂ යුද්ධ භටයනට සිදු විය. වැඩි දෙනෙක් මැරුම් කෑ හ.
මෙයින් බ්‍රිතාන්‍ය පාලකයන් වටහාගත් කාරණය කුමක් ද? යුද්ධයෙන් නම් කිසි දිනක කන්ද උඩරට රාජධානිය ජයගත නොහැකි බව යි. එ හෙයින් වෙනත් උපායකින් (එ වක හැඳින්වුණු පරිදි) සිංහලේ රජු පරදවා කන්ද උඩරට අල්ලාගත යුතු බව ඔවුන් ගේ තීරණය විය. උඩරට ප්‍රධාන නිලමෙවරුන් අතර බල අරගල ඇති කොට රට අවුල් කොට රජු මර්දනය කිරීම ඔවුන් පිළිපන් පිළිවෙත විය. ජෝන් ඩොයිලි මෙහි දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වඩුගයකු වීම (මෙය ද ප්‍රධාන ධාරාවේ ඉතිහාසයෙහි සඳහන් වන නමුදු විමර්ශනීය කාරණයකි. කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිමතලව්වේ නිලමේ ගේ අවජාතක පුත්‍රයකු බවට සාධක උඩරට ඉතිහාසයෙන් ලැබේ), රජු ගේ වඩුග නෑයන් හට වැඩි සැලකිලි දැක්වීම, රජු ගේ අදූරදර්ශී අමනෝඥ ක්‍රියා, දුර්දාන්ත පාලනය වැනි කරුණු මුල් කොට උඩරට කැලඹිලි ඇති කොට රාජ්‍ය පාලනය දුර්වල කොට බලය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයෝ කටයුතු යෙදූ හ. එහෙත් එය ඔවුනට කළ හැකි වූයේ ඇහැළේපොළ, මඩුගල්ලේ වැනි නිලමෙවරුන් ගෙන් ලද සහයෝගය නිසා ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන් විසින් අල්ලා නොගැනුණු අතර සිංහල නිලමෙවරුන් විසින් අල්ලා බ්‍රිතාන්‍ය නිලධාරීන් හට බාර දෙනු ලැබී ය.
ඉක්බිති ව වත් කන්ද උඩරට රාජ්‍යය යටත් කරගැනීමට බ්‍රිතාන්‍යයට හැකි නො වී ය. එ වක රාජ සභාවේ සිටි ප්‍රධාන නිලමෙවරුන් උපායශීලි ව ‘පොරොන්දු ගිවිසුමකට’ නැත හොත් ‘ආරක්ෂක ගිවිසුමකට’ කැමති කරවාගෙන උඩරට පාලනය සියතට ගන්නටයි, බ්‍රිතාන්‍යයට හැකි වූයේ. ඒ ව්‍යාජ පොරොන්දු ගණනාවක් මඟින් නිලමෙවරුන් රැවටීමෙන් පසු ය. මේ නිසා කිසි සේත් ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් රාජ්‍යයක් වූ හයි කිව නොහැකි ය. බ්‍රිතාන්‍ය රජු ලංකාවේ ද රජු ලෙස උඩරට ගිවිසුම මඟින් පිළිගන්නා ලද හෙයින් බ්‍රිතාන්‍ය ‘විජිතයක්’ (Coloney) ලෙස හදුන්වන නමුදු ලංකාව බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කරගන්නා ලද රාජ්‍යයක් නො වේ (විජිත යන්නෙහි අරුත නම් ‘විජයග්‍රහණය කරන ලද’ යනු යි. ඒ අරුත අනුව ගියහොත් බ්‍රිතාන්‍ය විජිතයක් වශයෙන් වුව ද ලංකාව හැඳින්වීම කො තරම් යුක්ති යුක්ත දැ යි ප්‍රශ්න කළ හැකි ය.)
|
කුමාරතුංග මුණිදාස
|
කෙසේ වුව ද, තමන් රවටන ලද බව ද, තමන් ගේ අභිමතාර්ථ ඉටු නොවන බව ද, යටත් පිරිසෙයින් ගිවිසුමේ සඳහන් ප්‍රධාන පොරොන්දු වත් බ්‍රිතාන්‍යයන් ඉටු නොකරන ලද බව ද වැඩි කල් නො යා දීම නිලමෙවරුන් ඇතුළු මෙ රට ජනතාවට වැටහිණ. එ හෙයින් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි මහත් අරගලයක් 1818 දී ඇති විය. එය මර්දනය කරන ලද්දේ අතිශය ක්‍රෑර ආකාරයෙනි. නැවත 1848 කැරැල්ල ද එ සේ ම මර්දනය කරන ලදි. මෙයින් පෙනෙන්නේ කන්ද උඩරට රාජ්‍යය ආයුධ බලයෙන් අත්පත් කරගන්නට බ්‍රිතාන්‍යයනට නොහැකි වුව ද උපක්‍රමයෙන් නමුදු පාලන බලය ලබාගත් පසු ආයුධ බලයෙන් ජනතාව මර්දනය කිරීමට ඔවුන් උත්සුක වූ ආකාරය යි.
බාර දුන් තරම් පහසුවෙන් මෙ රට පාලන බලය යළි ලබා ගැනීමට හැකි නො වී ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලවා රාජත්වය ලබා ගැනීමට සිතූ ඇහැළේපොළ මහ අදිකාරම් මුරිසියට පිටුවාහල් කරන ලදි. උඩරට ගිවිසුමට අස්සන් කළ ප්‍රධානයන් වූ කැප්පෙටිපොළ, මඩුගල්ලේ ආදීහු රාජද්‍රෝහීන් වශයෙන් හිස් ගසා දමන ලද හ. එහෙත් පසු කල, එංගලන්ත පාර්ලිමේන්තුවේ ම සිදු වූ වෙනස්කම් නිසා තම විජිතවල පාලන බලය ස්‍වදේශිකයනට පවරන්නට බ්‍රිතාන්‍යයට සිදු විය. ලංකාවට ද එසේ 1948 පෙබරවාරි 04 වැනි දා එසේ පාලන බලය ලැබිණ. යට දක්වන ලද කරුණු අනුව එය නියම නිදහසක් ද, මෙය නිදහස් දිනය වශයෙන් සැලකීම යුක්ති යුක්ත ද යනු සිතා බැලිය යුතු ය. යමෙක් මෙය බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබූ නිදහසකැ යි සිතන්නේ නම් පවා එයට බාධක වන්නේ කවර අරුතින් ගත්තත් මෙය සම්පූර්ණ නිදහසක් නොවීම යි. 1972 වන තෙක් ම ශ්‍රී ලංකාව කිරීට විජිත (crown coloney) තත්ත්වයේ ලා සලකන ලදි. එහෙයින් ‘1948 නිදහස’ යන්න බෙහෙවින් විවාදාපන්න කාරණයකි.
නිදහස යන්න විවිධ අංශවලින් අර්ථකථනය කළ යුතු සංකල්පයකි. දේශපාලන නිදහස පමණක් නො ව, ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස ආදි වශයෙන් එය වර්ග කොට දැක්විය හැකි ය. මේ අතුරින් නියම නිදහස ලෙස දැක්විය හැක්කේ කුමක් ද? දේශපාලන නිදහස යැ යි බොහෝ දෙනකු කියන්නට ඉඩ ඇත. එහෙත් එය අර්ධ සත්‍යයකි. දේශපාලන නිදහස ලැබුණත් අප ආර්ථික වශයෙන් යැපෙන්නේ වෙනත් රටවල් මත නම් ඒ රටවල බලපෑමට නතු වන්නට වීම අනිවාර්ය වේ. තුන් වන ලෝකයේ බොහෝ රටවලට සිදු වී ඇත්තේ මෙය බව හොඳින් විමසන විට පෙනී යයි.
ආර්ථික වශයෙන් ස්වාධීන ව සිටිය ද සංස්කෘතික නිදහස නැත් නම් රටක් නියම වශයෙන් නිදහස් යැයි කිව නොහැකි ය. සංස්කෘතික නිදහස යන්නෙන් සලකන්නේ තම රටේ දේශීයත්වයෙන් ගොඩ නැඟුණු අනන්‍ය ලක්ෂණ සහිත, එ මෙන් ම, විදේශයකින් ගත් නමුදු දේශීයත්වයට හොඳින් අනුගත ව, ජීර්ණය වූ, ලක්ෂණ සහිත සංස්කෘතියක් යම් රටක පැවතීම යි. එහි පදනම නිදහස් චින්තනය යි. සත්‍ය වශයෙන් ම බලන කල දේශපාලන වේ වා, ආර්ථික වේ වා නිදහස ඇති වන්නේ චින්තනයේ නිදහස හෙවත් නිදහස් චින්තනය මූලික කරගෙන යි.
මෙ නයින් සලකන කල්හි මෙරට සැබෑ නිදහස නම් අපට කුඩා කල සිට ම උගන්වා ඇති පරිදි 1948 පෙබරවාරි 04 වැනි දා ලබාගත් ඊනියා (අසම්පූර්ණ) පාලන නිදහස ද නැතහොත් පූර්ණ සංස්කෘතික නිදහස ද යන්න නැවත නැවතත් විවේක බුද්ධියෙන් යුතු ව සිතා බැලිය යුතු කරුණකි. එ සේ සිතා බලන කල්හි අපට වැටහෙන්නේ සංස්කෘතික නිදහස ම සැබෑ නිදහස වන බව යි. මේ මාර්ගයේ ම තවත් දුරට ගමන් කොට විමසා බලන විට නිදහසේ සැබෑ පියවරුන් වන්නෝ ‘ලේ බිඳකුදු නො සොල්වා’ (ඉන්දියාවට නිදහස දෙන විට පිනට මෙන්) ලංකාවට නිදහස ලබාගත් දේශපාලකයෝ ද නැත හොත් රටේ ජන විඥානය සංස්කෘතික වශයෙන් නිදහස් ව ස්වාධීන ව සකස් කිරීම පිණිස උත්සුක වූ චින්තකයෝ ද යනු ලෙහෙසියෙන් ම විසඳාගනු ඇත.
දේශපාලන නිදහස මෙන් නො ව, සංස්කෘතික නිදහස යනු අස්සන් කරන ලද ලියවිල්ලකින් හෝ ගිවිසුමකින් හෝ ලබාගත හැක්කක් නො වේ. දීර්ඝ කාලයක් තිස්සේ ලේඛනයෙන්, දේශනයෙන්, නොයෙක් කලා මාධ්‍ය ආදියෙන් ජන විඥානය සකස් කොට ලබාදිය යුත්තකි. මෑත ඉතිහාසයේ දී මේ කටයුත්ත දැඩි වෑයමින් ඉටු කළ කිහිප දෙනකු ගේ කාර්ය සාධනය (හරි වුව ද, වැරදි වුව ද 1948 නිදහස කඩඉම ලෙස තබාගෙන) විමසා බලමු.
|
අනගාරික ධර්මපාල තුමා
|
මෑත ඉතිහාසයේ මෙ රට ජන මනස සකස් කළ චින්තකයන් අතරින් මුල් තැන ලැබෙන්නේ අනගාරික ධර්මපාල (1864 - 1933) තුමනට බව කීම අතිශයෝක්තියක් නො වේ. සැබැවින් ම එ තුමන් සංස්කෘතික වීරයකු වන නමුදු මෙහි යට දක්වන ලද ආර්ථික, දේශපාලන නිදහස ද සංස්කෘතික නිදහස ඔස්සේ ලබාදීම සඳහා ඉතා පුළුල් චින්තනයකින් යුක්ත වූ බුද්ධිමතකු ලෙස සැලකිය යුතු වෙයි.
ධර්මපාල තුමෝ ජාතිය හා ආගම අන්‍යෝන්‍ය වශයෙන් අවියෝජනීය වූ කේන්ද්‍රීය සහසංකල්ප ලෙස තබාගෙන ස්වකීය ව්‍යාපාරය ගෙන ගියහ. සිංහල ජනතාවගේ ජාතික චින්තනය අවදි කිරීම පිණිස එය අත්‍යවශ්‍ය බව එතුමන්ට පෙනෙන්නට ඇත. එහෙත් එතුමන් ගේ චින්තනය වඩාත් පෘථුල එකක් වූ බව “මගේ රට, මගේ ජාතිය, මගේ ආගම මගේ භාෂාව යන මේ මහා අනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කරගැනීම මගේ යුතුකමකි” යන කියමනින් පෙනේ. ආගම මෙන් ම භාෂාව ද සංස්කෘතියේ ප්‍රධානතම සාධකයකි. ඒ බව අවබෝධ කොටගැනීම සංස්කෘතික විඥානය සකස් කිරීම පිණිස එතුමන් ඉතා නිවැරැදි මාර්ගයක ගිය බව සුවිශද ව පෙන්වයි.
සංස්කෘතියක් නම්, ගම්, ඇඳුම් පැලඳුම්, කෑම බීම ආදි අංග ගණනාවකින් සමන්විත වේ. ධර්මපාල තුමෝ මේ සැම අංගයක් ම දේශීය අනන්‍යතාව ආරක්ෂා වන පරිදි භාවිත කිරීම පිණිස මෙරට ජනතාව මෙහෙයවූහ. මෙහි දී පැහැදිලි ව පෙනෙන කාරණ්‍යක් වනුයේ දේශීය සංස්කෘතිය බටහිර ග්‍රහණයෙන් මුදා ගැන්මට උත්සුක වූ නමුදු භාරතීය බලපෑමෙන් මුදා ගැන්මට එතුමන් උත්සුක නොවූ අයුරු යි. නැත හොත් භාරතීය හා ලංකා සංස්කෘති අතර එතරම් වෙනසක් නොතැකුවා විය හැකි යි. භාරතය සමඟ එ තුමන් දැඩි සම්බන්ධයක් පැවැත්වූ අතර මියගියේ ද එහි දී ය. භාරත නිදහස් සටනේ ආභාසය ද එතුමන් ගේ අදහස්වලින් ප්‍රකට වේ.
ධර්මපාල තුමන් ගේ පුළුල් මෙහෙවර මෙබඳු ලිපියකින් විමසිය හැකි නො වේ. එ සේ ම එතුමන්ගේ මෙහෙවර මහාබෝධි සංගමය පිහිටුවීම, බුද්ධගයාව බේරා ගැනීම, සිංහල බෞද්ධයා පත්‍රය පැවැත්වීම වැනි කරුණුවලට ඌනනය කරනු ලැබේ. මේ හැම එකක ම පදනමේ සංස්කෘතික විඥානය ක්‍රියාත්මක වන නමුදු ඒ ගැන සියුම් විමර්ශනයක් සාමාන්‍යයෙන් නො කෙරේ. එහෙත් මෙහි දී එක් කරුණක් පැහැදිලි ව දැක්විය හැකි ය. සුද්දන් මෙරටින් යන විට ඔවුන්ගේ තැන ගැනීමට ‘කළු සුද්දන්’ බෝ කර යනවා ඇතැයි යන එතුමන් ගේ කියමන විමසා බලන කල, දේශීයත්වය තීරණය වන්නේ ජන්මයෙන් නො ව සංස්කෘතියෙන් යැයි එතුමන් තුළ පැහැදිලි වැටහීමක් තිබූ බව පෙනේ.
ධර්මපාල තුමන්ගේ මඟ ම ගත් තවත් සංස්කෘතික වීරයකු ලෙස පියදාස සිරිසේන මහතා දැක්විය හැකි ය. ඔහු ගේ මාධ්‍ය වූයේ පුවත්පත, නවකතාව හා කවිය යි. දේශකයකු වශයෙන් ද හෙතෙම කීර්තිමත් විය. ධර්මපාල තුමා තරම් රළු නොවූ නමුදු සංස්කෘතික නිදහස මෙ රට ජනයාට ලබාදෙනු වස් සිරිසේන මහතා ගෙන් ද ඉතා අගනා මෙහෙයක් ඉටු විය.
සිරිසේන මහතාගේ නවකතාවල අන්තර්ගත වූ සාකච්ඡා මඟින් ඔහුගේ අදහස් බොහෝ විට ජනතාව අතරට ගෙන යන ලදී. පුරාතන ඖදාර්යය පුනරුත්ථානය කිරීමේ අභිලාෂය ඔහු තුළ වූ බව පැහැදිලි ව පෙනීයන නමුදු පුළුල් දැනුමකින් යුතු වූ ඔහු ස්වකීය මත සාධනය කිරීම සඳහා පුරාතන භාරතීය, සිංහල මෙන් ම බටහිර මූලාශ්‍රයවලින් ද කරුණු උපුටා දක්වා ඇත. (මත්පැන්වල අයෝග්‍ය භාවය ඔප්පු කිරීම පිණිස ඔහු බටහිර උගතුන් රාශියකගේ මත උපුටා දක්වා තිබීම නිදර්ශනයකි.)
“සඳේ මෙන් පතළ පැරැකුම් දුටුගැමුණු
උදේ සවස මුනිඳුට පසු සිහි කරනු
විදේ සින්ගෙ දුසිරිත් පිළිකුල් කරනු
මෙ දේ කරන තුරු නැත වන්නේ දියුණු”
යන ඔහු ගේ ප්‍රකට කවියෙන් ද කියැවෙන්නේ ස්වකීය ප්‍රෞඪ ඉතිහාසය සිහි කිරීම හා (ඒ වන විට මෙරට ජනයා අතර පැතිරී පැවැතී) විදේශිත දුශ්චරිත පිළිකුල් කිරීම දේශීය ජනතාවගේ දියුණුවෙහි මාර්ගය බව යි.
|
පියදාස සිරිසේන
|
සිරිසේන මහතා ද ධර්මපාල තුමා මෙන් ම ජාතිය හා ආගම අවියෝජනීය අංග ලෙස සලකා ඇත. ඔහු පැහැදිලි ව දක්වන පරිදි කටින් ගිලිහුණත් දත වනාහි දත ම වන්නාක් මෙන් බෞද්ධයකු නොවුණ ද සිංහලයා, සිංහලයා ම වෙයි. එහෙත් කටින් ගිලිහුණු දත නිෂ්ප්‍රයෝජන පිළිකුල් දෙයක් වේ. මෙරට සංස්කෘතික පුනරුත්ථානයේ පදනම ලෙස සිංහල - බෞද්ධත්වයේ අභිවර්ධනය ඔහු විසින් සලකන ලද බව මෙයින් පෙනේ.
ආගමය පිළිබඳ ව මොවුන් ඉතා දැඩි ලෙස සැලකීම විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. යම් කිසි ජන සමූහයන් ජාතියක් වනුයේ පොදු සංස්කෘතියකින් බැඳුණු කල්හි ය. යට ද දක්වන ලද පරිදි සංස්කෘතියෙහි ප්‍රධාන සාධකයක් වන්නේ ආගම යි. එසේ ම සංස්කෘතියක අනෙක් අංග සියල්ල සඳහා ද ආගම මඟින් කෙරෙන බලපෑම සුළුපටු නො වේ. සංස්කෘතික විඥානය සකස් කිරීමේ දී ආගමයට ප්‍රධාන තැනක් දෙන්නට මේ කරුණ මොවුන් පෙලඹවූවා යැ යි සිතිය හැකි යි.
සිරිසේන මහතාගේ නවකතාවල අන්තර්ගතය වූයේ දේශීය සංස්කෘතියෙහි පිහිටා සිටින්නන් ජීවිතය ජය ගැනීමත් විදේශීය හෙවත් පරගැති සංස්කෘතියෙහි පිහිටා සිටින්නන් පරාජය වීමත් ය. මේ නවකතා එකල විශාල වශයෙන් අලෙවි වූ බැවින් ජන සංස්කෘතික විඥානය සකස් කරන්නට ඔහු විශාල බලපෑමක් කළ බව සිතිය හැකි ය. (සිරිසේන මහතා ගේ ප්‍රථම නවකතාව වූ ‘ජයතිස්ස හා රොසලින්’ පිටපත් 25000 ක් පමණ විකුනුණු බව කියැවේ.)
සංස්කෘතික නිදහස ඇති කිරීමේ ලා පුරෝගාමි වූ අනෙක් ප්‍රධාන බුද්ධිමතකු වූයේ කුමාරතුංග මුනිදාස ය. ඔහු ගේ විශේෂතාව වූයේ භාරතීය සම්බන්ධතාව ප්‍රතික්ෂේප කිරීම හා සංස්කෘතික විඥානය සකස් කිරීමේ දී ආගමය අත හැරීම යි. හෙතෙම බස හෙවත් භාෂාව සංස්කෘතියේ මූල සාධකය ලෙස සැලකී ය. බස - රැස - දෙස තෙරුවනක් සේ සැලකූ හේ බස නැඟීමෙන් රැසත් රැස නැඟීමෙන් දෙසත් නැඟෙන බව පැවසී ය.
‘ජාතිය ද ආගමය ද’ යන පැදි පෙළේ දී කුමාරතුංග මහතා පැහැදිලි ව පෙන්වා දෙන්නේ මිනිසුන් අතර ඇති ඉතා ම ශක්තිමත් බැම්ම ජාතිය විනා ආගමය නොවන බව යි ජාතියේ පදනම බස යි. එ හෙයින් බස නැංවීම සංස්කෘතික විඥානය සකස් කිරීමේ දී ප්‍රධාන කාර්යය වශයෙන් ඔහු සැලකූ බව පෙනේ. ඔහු පළ කළ අදහස්වලින් ගම්‍ය වන කාරණයක් නම් චින්තනයේ මාධ්‍යය භාෂාව වන බැවින් චින්තන නිදහස ලැබීමට නම් භාෂාව ස්වාධීන ව පැවතිය යුතු බව යි.
“සිත නිදහස් බවට
නො පමුණුවා පළමු කොට
නිදහසට සිය රට
ලමු යි’ යෙති දදහු ඇතියෙන් කට”
යන කවියෙන් පෙන්වා දෙන පරිදි, රටට නිදහස ලැබීම නම් රට වැසියන් ගේ සිත නිදහස් විය යුතු ය. මෙය සමකාලීන අනෙක් විද්වතුන් ගේ අදහස් අතර සුවිශේෂ වූවකි.
කුමාරතුංග මහතා ගේ අනෙක් විශේෂතාව වූයේ ‘හෙළ’ අනන්‍යතාව මතු කිරීම යි. විජය ගෙන් සිංහල ජාතිය ඇරැඹිණැ යි යන මහාවංශ ප්‍රවාදය ප්‍රතික්ෂේප කළ හේ එයට වඩා අවුරුදු දහස් ගණනක් පැරැණි ඉතිහාසයක් සිංහල ජාතියට ඇතැයි ද එ කල ‘හෙළ’ යන නමින් සිංහලය හැඳින්විණැ යි ද පැවැසී ය.
“පොරණ හෙළ දැය තාරකාදි වීර
පවර මහ නිරිඳෝ වැඩූ හ සාර
“තරු නරඉදු - රවුළු නිරිඳු
කළ පරසිදු - හෙළ දෙස සුදු”
වැනි කවි මඟින් පෙන්වා දෙන පරිදි, මහාවංසය ඉක්මවා ගොස් තාරක රාවණ යුගය තෙක් සිංහලයේ අතීතය ගෙන යෑමට හෙතෙම උත්සුක විය. එසේ ම හෙළ සංස්කෘතිය මෙ රට ම ඇති වූවක් විනා භාරතය ප්‍රභව කොට ඇති වූවක් නොවන බව ද ඔහු ගේ අදහස විය.
“අපට කුමට ලෙඩට දුකට
ඇරුණු දෙරණ දඹදිවේ” වැනි කවි පදවලින් දක්වන පරිදි භාරත සම්බන්ධය අනවශ්‍ය වුවක් බව හේ පැවසී ය. මේ අදහස් අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන වැනි බුද්ධිමතුන් ගේ චින්තන ධාරාවෙන් පැහැදිලි ව ම වෙනස් විය. එ සේ ම සමකාලීන සමාජයේ - විශේෂයෙන් ම තරුණ පරපුර අතර මහත් සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට කුමාරතුංග මහතා ගේ නව සංකල්ප හේතු විය.
ලංකාවේ සංස්කෘතික නිදහස සඳහා කවිය මඟින් ස්වාධීන කාර්ය භාරයක් ඉටු කළ තවත් ප්‍රධාන විද්වතකු වූයේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියෝ ය. ස්වදේශිකයකු නොවුව ද, සංස්කෘතියෙන් ස්වදේශිකයකු වූ උන් වහන්සේ ගේ කාව්‍ය රචනාවලින් බහුතරය දේශපාලන නිදහස ඉලක්ක කරගත් රචනා විය, අදහස අතින් කෙසේ වුව ද, රචනා විලාසය අතින් ඉතා උද්වේගකර වූ ඒවා කෙළින් ම නිදහස පිණිස පොලඹවන සුලු විය.
“කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගහල ද සිහළුන්නේ”
මේ අතර උන් වහන්සේ, සංස්කෘතික විඥානය සකස් කරනසුලු රචනා ද පළ කෙළේ ය.
“වන්නි හතේ වැදිලත් අර ඉංග්‍රිසියෙන් ම කතාව කරන්නේ
දැන් බැරි නම් මතුවත් මම ඉංග්‍රිසියෙන් ම වෙමි සිතන්නේ”
ධර්මපාල තුමන්ගේ ව්‍යාපාරය හා මහින්ද හිමියන් අතර සම්බන්ධතාවක් වී ද යනු දැනගන්නට හැකි නමුත් ධර්මපාල තුමාගේ ලේඛනවල හා දේශනවල තිබු උද්වේගය උන්වහන්සේ ගේ පද්‍යවලින් ද දැකගත හැකි විය.
ආනන්ද රාජකරුණා වැනි කවීන් ගේ රචනා ද දේශීය සංස්කෘති විඥානය සකස් කිරීමට ඉවහල් විය.
“හෙට හව මෙහේ ඒවී මිසිස් වැන්දබෝනා
කොට ගවුම ඇඳන් යාවී ෂොපිං මිස් ජොහානා
කදිම ජොලි ෆෙලෝ වික්ටර් ලුකැට් මයි පියානා
දොඩන හැටි බලව් අච්චාරු බාසෙන් අඳෝනා”
දීර්ඝ කාලයක් තිස්සෙ සමාජ හරයන් (Social Values) බවට පමුණුවා තිබූ භාවිතයන් වෙනස් කිරීම පිණිස පොදු ජන වින්දන මාධ්‍යයක් වූ කවියෙන් කරන ලද සේවාව සුළුපටු නො වේ.
* * *
මෙහි දී, මුඛ්‍ය අදහස ලෙසින් දක්වන ලද්දේ 1948 දී අප ලැබු නිදහස සැබෑ නිදහසක් ද යන්න හා දේශපාලන නිදහසට වඩා බලවත් වනුයේ සංස්කෘතික නිදහස යන්න යි, කෙසේ වුවත්, දේශපාලන නිදහස ලබා වුව ද වසර හැත්තෑවකට ආසන්න කාලයක් ගත වී තිබිය දීත් සංස්කෘතික නිදහස අතින් අතිශය පරිහානිය කරා මෙරට ගමන් කරන බව ඉතා පැහැදිලි ය. එ හෙයින් දේශපාලන වෙනසකට ද වඩා සංස්කෘතික වෙනසක් ඇති කරන ව්‍යාපාරයක් අද දිනයේ ප්‍රමුඛ අවශ්‍යතාව වෙයි.
මනු ඒ. ද සිල්වා විසිනි
http://www.silumina.lk/2015/02/01/_art.asp?fn=sm1502011