Sunday, February 15, 2015

දුම්රියේදී හමුවූ සමනලිය

සතියකට දෙකකට වතාවක් සවස කාර්යාල දුම්රියේ දී මම ඇය දකිමි. කැරලි ගැසුණු පුංචි කෙහෙරැළි ඒ මුහුණට සුරතල් බවක් ගෙන දෙයි. ඇය තවමත් තුන් අවුරුදු විය නො ඉක්මවා ඇතැයි හැ‍ඟේ.
වරෙක මවගේ තුරුලට පැන කිරි උගුරක් දෙකක් බොන ඈ තවත් වරෙක දුම්රිය අසුනේ හිඳගනී. කවුළුවෙන් පිටත බලා ක්ෂණයකින් අම්මා දෙසට හැරේ. කතාවෙහි තොර තෝංචියක් නොවුණ ද ඒ වදන් සුරතල් ය.‍ අසන්නට වෙහෙසකර නොවේ. සෑම පැනයකටම නැතත් බොහොමයක් ප්‍රශ්නවලට පිළිතුරු අම්මා ළඟ තිබේ.
ඒ මව සිහින් ය. පිළිවෙළකට හිස පීරා ඇත. ඇඳුම් පිරිසිදු ය. බොහෝ අසරණ බව හැඟුණ ද සිඟමන් නොයදින්නී ය. පුංචි දියණියත් සමඟ ඇය කොළඹ නගරයේ කොහේ හෝ තැනෙක කුමක් හෝ රැකියාවක් කරනවා ඇත. වරෙක සිය කුඩා දියණිය ගේ සුරතල් ලෝකයේ අතරමං වන ඈ බොහෝ විට ජනෙල් කවුළුවෙන් හිස් අවකාශය දෙස බලා සිටින්නීය. මැදිරියේ යන කිසිවකු ඔවුන් දෙදෙනා ගැන සැලකිල්ලක් දක්වනු නො පෙනේ. ඔවුන් ඔවුන් ගේ පාඩුවේ ය. මගීන් තමන්ගේ ම ලෝකය ක ය.
කොළඹ - කොටුව සිට රඹුක්කන බලා ධාවනය වන සවස දුම්රියේ දැක පුරුදු මේ අම්මාත් දුවත්, අදට සිවු දිනකට පෙර ද මම දුටුවෙමි. ඒ කොළඹ බලා යන උදෑසන දුම්රියක දී ය. කාර්යාල වේලාව තරමක් ඉක්මවා තිබුණ ද මැදිරිය මගීන්ගෙන් පිරී තිබුණි.‍ පසු වූයේ රාගම දුම්රිය ස්ථානය විය යුතු ය. පුංචි කෙල්ල අම්මා ගේ කණට මුමුණා යමක් කීවා ය. බෑගයකින් ගත් පාන් පෙති සහිත කුඩා සිලි බෑගයක් ඈ අතට ලැබුණි. පාන් පෙති වල බටර් ගා සීනි තවරා තිබෙනු දුටුවෙමි. ඇය ඉන් එකක් ගෙන රස බලන්නට වූවා ය. පුංචි ගවුමේත්, දෑත් පුරාත් බටර් හා සීනි ය. එහි වගක් නොවූ ඈ අසළින් සිටි මගියකු දෙස බැලුවේ බියපත් දෙනෙතිනි. නිල් පැහැ කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී සිටි ඔහු හතළිස් පස් විය ඉක්මවූවෙකුයි සිතේ. වරෙක ඔහු ගේ ජංගම දුරකථනයට ආ ඇමතුමකට දුන් පිළිතුරට අනුව උසස් රැකියාවක් කරන්නෙකැයි ද හැ‍ඟේ. වරක් දෙවරකින් නො ස‍ෑහී ඔහු හැකි සෑම විටෙකම පුංචි දියණිය දෙස හැරී තරහෙන් රවනවා දුටුවෙමි. ඇය බිය පත් දෙනෙතින් වටපිට බලන්නී එවිට ය.
පුංචි කෙල්ල යාන්තමින් හෝ ස්පර්ශ වේ යැයි බියෙන් ඔහු හැකි තරම් පසෙකට වන්නේ අසීරුවෙනි. කැලණිය දුම්රිය පළේ දී ඔහු බැස ගියේ ය. දියණිය ගේ මුහුණට නැඟුණේ අපූරු සිනාවකි. ඇය සතුටින් වටපිට බැලුවා ය. ඈ ඉදිරියෙන් සිටගෙන සිටියේ මා ය.
“නැන්දේ! ඉඳගන්න” ඇය මට කීවා ය. සීනි සහ පාන් කැබලි ඈ අසල විසිරී තිබෙනු දුටුවෙමි. වෙනදා කෙනෙක් බැස ගිය සැණින් අසුනට පොරකන මගීන් නිහඬ ය. නොදුටුවා සේ ඉවත බලාගෙන ය.
‘නැන්දේ ඉඳගන්න’ ඇය නැවතත් මට ඇරයුම් කළා ය. “ඉඳ ගන්නද? එපාද? මා සිත දෙගිඩියාවක ය. අවසන අසුන පිසදා මම එහි හිඳ ගතිමි. ඇය තවත් සතුටින් මා හා සිනාසුණා ය.
“මම පාන් කෑවා” පිරුණු කුස පෙන්වමින් ඇය මට කීවා ය.
“මම දැක්ක පුතේ.” මම පිළිතුරු දුන්නෙමි.
“ඊයේ රෑට අපි කෑවේ පාන්. ඒත් අම්මා කිව්වා සත්තු වගේ එක වේලටම ඔක්කොම කන්න එපා කියලා. ඉතින් ඉතුරු පාන් උදේට අරගෙන ආවා. බඩගිනි වැඩි හින්දයි කෝච්චියේ දී කෑවේ. අර බැහැල ගිය මාමා මට රැවුවේ මම පාන් කෑවටද නැන්දේ?”
ඇයගේ පැනයට පිළිතුරු දෙන්නට වචනයක් දෙකක් ගළපා ගන්නට මට පුළුවන් වූයේ නැත. ඉකියකින් උගුර හිරවී ගියා සේ ය. මම නිහඬවම ඇය දෙස බලා සිටියෙමි.
“නැන්දේ, මේ කෝච්චිය කොළඹට විතරයි. බහින්නේ නැද්ද?” දුම්රිය කොළඹ කොටුවට පැමිණ තිබුණි. මගීන් බොහෝ දෙනෙක් බැස අවසන් ය.
අම්මා ගේ දෑතට වී ඇය දුම්රියෙන් බසින්නට යන මොහොතේ මා දෙස බලා නැවතත් සිනාසුණා ය. පුංචි අත වනමින් ඇය සෙනඟ අතරේ නොපෙනී ගියා ය.
http://www.silumina.lk/2015/02/15/_art.asp?fn=tl1502153

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි