Saturday, August 3, 2013

ස්නේහයේ නිරුක්තිය සහ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා

 ස්නේහයේ නිරුක්තිය සහ
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා



සිරි­සු­මන ගොඩගේ මහතා පොත් ප්‍රකා­ශ­ක­යන් අතර දැනට පෙර­මුණේ ම සිටි­න්නෙකි. හේ වැඩි ම පොත් සංඛ්‍යා­වක් ප්‍රකා­ශ­නය කරන ප්‍රකා­ශ­කයා ලෙසින් වසර ගණ­නා­වක් පුරා අඛණ්ඩ ව රාජ්‍ය සම්මා­න­යට පාත්‍ර වූවෙකි. ඔහු ඇසු­රෙන් ලේඛ­ක­යන් වූ සංඛ්‍යාව බොහෝ ය. දශක කිහි­ප­යක් පුරා ඔහු කළ මෙහෙ­වර වෙනු­වෙන් ‘මුදිතා’ යනු­වෙන් අගනා ශාස්ත්‍රීය සංග්‍ර­හ­යක් නිකුත් ව ඇත. මෙරට ප්‍රමුඛ විද්වත්හු විවිධ විෂ­යය යටතේ මෙහි ලිපි සම්පා­ද­නය කර ඇත.
එකී ලිපි අත­රින් මහා­චාර්ය සමන් චන්ද්‍ර රණ­සිංහයන් සම්පා­ද­නය කළ මේ ලිපිය අප පුන්ක­ලසේ පළ කර­නුයේ එක් අතෙ­කින් සිරි­සු­මන ගොඩගේ මහ­තාට කරනු ලබන උප­හා­ර­යක් වශ­යෙන් මෙන් ම තවත් අතෙ­කින් ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදි­කා­රම් ශූරීන්ට කරනු ලබන ගෞර­ව­යක් වශ­යෙනි.
”හද­වත දැඩි වී විය­ළුණ විට
එනු මැන මා වෙතට
දයා වර්ෂා­වක් රැගෙන
කරු­ණාව නැති වූ විට දිවි­යෙන්
එනු මැන උතු­රු­ව­මින් සංගී­තය”
ර බී­න්ද්‍ර­නාත් තාගෝර් නම් වූ විශ්ව කීර්ති­ධර සාහි­ත්‍ය­ධ­රයා සිය ‘ගීතා­ඤ්ජලී’ භක්ති කාව්‍ය­යෙහි එසේ සට­හන් කෙළේ ය. මේ ප්‍රකා­ශ­යෙන් ප්‍රකට වන්නේ තාගෝර් කවියා ලෝකය තෙරෙහි දක්වන කරු­ණාව යි: ළෙන්ග­තු­කම යි: සෙනෙ­හස යි.
”මනු­ෂ්‍යයා විසින් තවත් ජීවි­යකු කෙරෙහි දක්වනු ලබන සෙනෙ­හස ප්‍රකාශ කිරීම සඳහා සංස්කෘත භාෂාව තුළ වචන රාශි­යක් යෙදී ඇත. කරුණා, ආදර, අනු­කම්පා, ප්‍රේමය, වාත්ස­ල්‍යය, මෛත්‍රී සහ ස්නේහ ඉන් කිහි­ප­යකි. මේ වචන සිංහල සමා­ජ­යට ද ආග­න්තුක නොවන්නේ ඒවා ඒ ආකා­ර­යෙන් හෝ සුළු වෙන­සක් සහිත ව හෝ සිංහල භාෂා­වට ද ඇතු­ළත් ව ඇති බැවිනි. මේ අතු­රින් අපේ අව­ධා­නය යොමු වන්නේ ‘ස්නේහ’ නම් වූ වච­න­යට යි.
’ස්නිහ්’ නම් ධාතු­වෙහි සැදෙන ‘ස්නේහ’ යන වච­න­යට තේරුම් දෙකක් තිබේ. එක තේරු­මක් නම් තෙල් ය. අනෙක් තේරුම සෙනෙ­හස ය. රියක් ධාව­නය කිරීම සඳහා තෙල් අවශ්‍ය වේ. තෙල් අව­සන් වූ විට එහි ගමන නැව­තෙයි. නැවත තෙල් දැමූ විට රිය ගමන සිදු­වෙයි. රිය­කට තෙල් සෙයින් ජීවි­ත­යට වැද­ගත් වන්නේ ස්නේහය යි. ස්නේහය සිඳී ගිය විට ජීවන ගමන අක්‍රිය වෙයි.
සමා­ජ­යක් තුළ බොහෝ ගැටලු උද්ගත වන්නේ ස්නේහය නොමැ­ති­කම නිසා ය. සත්‍ය වූ ස්නේහය යම් තැනක පව­තියි ද එතැන ගැට­ලු­ව­ලට ඉඩක් නැත. ඔවු­නො­වුන් කෙරෙහි ස්නේහ­යෙන් හැදුණු යම් සමා­ජ­යක් වේ නම් ඒ සමා­ජය ම භාග්‍ය­වන්ත වේ. එවන් සමා­ජ­යක ඝාත­න­යට, හිංසා­වට හෝ සිත් රිද­වී­ම­කට ඉඩක් නැත. එහෙත් අභා­ග්‍ය­ය­කට මෙන් අපට ජීව­ත්වී­මට සිදු වී ඇත්තේ කුරිරු ඝාතන සිදු වන්නා වූත් වෙනත් හිංසක ක්‍රියා සිදු­වන්නා වූත් ප්‍රබ­ලයා විසින් දුබ­ලයා පෙළනු ලබන්නා වූත් සමා­ජ­යක යි.
මේ තත්ත්වය ඇති වූයේ කුමක් නිසා ද; එය ඇති කරනු ලැබූයේ කවු­රුන් විසින් ද යන්න ගැන සොය­මින් වෙහෙ­සීම අර්ථ­වත් දෙයක් නොවේ. වැද­ගත් වන්නේ එය වෙනස් කිරීම ය. සිය කායික මර­ණය තෙක් එබඳු ‘ආද­ර­ණීය වෙන­සක්’ ඇති කිරීම සඳහා කට­යුතු කළ සැබෑ ආද­ර­ව­න්ත­ය­කුගේ රුව ගුණ මේ මොහොතේ සිහි­යට නැඟෙයි. ඒ ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදි­කා­ර­ම්තුමා ය. වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන් ම ඔහු නම් ‘ආද­ර­ව­න්ත­යෙකි’. ඔහුගේ ආද­ර­යට වෙන්ක­ර­ගත් දින­යක් නොවී ය; විශේෂ කොට­ගත් පුද්ග­ලයෝ නොවූහ. ඒ ආද­රය ගහ­කොළ, සතා සීපාවා මෙන් ම මුළු මනුෂ්‍ය වර්ගයා වෙත පැති­රුණු පෘථුල ආද­ර­යක් විය.
මේ ආද­ර­ව­න්ත­යාගේ ජීවි­තයේ තේමා ගීතය වූයේ ස්නේහය යි. ගසට පොත්ත මෙන් ද වච­නය හා බැඳුණු අර්ථය මෙන් ද ‘අදි­කා­රම් - ස්නේහ’ යන යුග­ලය තුළ ඇත්තේ අවි­යෝ­ජ­නීය සම්බ­න්ධ­යකි. ස්නේහයේ නිරු­ක්තිය ගැන කථා කිරීමේ දීත් කායික වශ­යෙන් පම­ණක් අපට අහිමි ව ගිය මේ ප්‍රඥා­වන්ත ආද­ර­ව­න්තයා ගැන සිහි­පත් කළ යුතු වන්නේ එහෙ­යිනි.
නිද­හස් චින්ත­ක­යකු, විශිෂ්ට අධ්‍යා­ප­න­ඥ­යකු මෙන් ම නිරුක්ති විද්‍යාව පිළි­බඳ විශේ­ෂ­ඥ­යකු ද වූ ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදි­කා­රම් ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රථම කුල­ප­ති­ව­රයා ද විය. 1905 මාර්තු 29 වැනි දා ජන්ම ලාභය ලද ඔහු 1985 දෙසැ­ම්බර් 28 වැනි දින කායික අභා­ව­යට පත් විය. ආචාර්ය අදි­කා­රම් සිය මර­ණය සිදු­වී­මට කෙටි කල­කට පෙර අව­සන් වරට සහ­භාගී වූ ගුව­න්වි­දුලි සාක­ච්ඡාවේ තේමාව වූයේ ස්නේහය යි: සෙනෙ­හස යි. එ දින සෙනෙ­හස ගැන ඔහු විසින් කරන ලද පහත සඳ­හන් ප්‍රකා­ශය ගැන සාව­ධාන වනු වටී.
”අද ලොව ගැටු­ම්ව­ලින් පිරී පව­තියි. පුද්ග­ලයා තුළ මෙන් ම පුද්ග­ල­යන් අතර ද ගැටුම් පවතී. එමෙන් ම පවු­ල්වල සාමා­ජි­ක­යන් අතර ද ගැටුම් ඇත. පවුල් පවුල් අතරේ ද ගැටුම් වෙයි. ගම් ගම් අතරේ ද ගැටු­ම්කාරී තත්ත්ව­යක් පවතී. රට රට­වල් අතරේ ද ගැටුම් ඇත. මේ ගැටුම් වර්ධ­නය වුව­හොත් මුළු මහත් ලෝක සමා­ජය ම අනු­ක්‍ර­ම­යෙන් විනා­ශය කරා යනු ඇත. මේ ගැට­ලු­වට තාව­කා­ලික පිළි­ය­මක් නොමැති යි. ඇති එක ම පිළි­යම නම් මිනිසා තුළ සෙනෙ­හස වර්ධ­නය කිරීම යි.”
සජීවී ලෝකයේ පම­ණක් නො ව අජීවී දේ අත­රත් ‘ගැටුම්’ ඇති බව පෙන්වා දෙන ආචාර්ය අදි­කා­රම් යන්ත්‍ර සූත්‍ර ඊට නිද­හස් කරයි. යන්ත්‍ර­යක් ක්‍රියා කරන විට එහි විවිධ කොටස් ගැටෙයි. එහි අනි­වාර්ය ප්‍රති­ඵ­ලය යන්ත්‍රය ගෙවී යාම යි. කර­ත්ත­යක් වුවත් වැඩි දුර ගම­නෙහි යෙදෙන විට එහි රෝද­ව­ලින් අමි­හිරි ශබ්ද­යක් ඇති වෙයි. කරත්ත රෝද­වල ඇති­වන මේ ගැටීම නැවැ­ත්වී­මට එඬරු තෙල් දැමූ ආකා­රය සිහි­පත් කරන ආචාර්ය අදි­කා­රම් තෙල් දැමී­මෙන් පසු කරත්ත රෝදයේ ගැටුම මෙන් ම ගැටුම නිසා ඇති­වන අමි­හිරි හඬ ද නව­තින බව පෙන්වා දෙයි. එප­රි­ද්දෙන් ආද­රය සෙනෙ­හස ජනිත වන විට පුද්ග­ලයා අත­රත් පවුල් අත­රත් ගම් හා රට­වල් අත­රත් ඇති වන ගැටුම් නැති වන බව ඔහු ප්‍රකාශ කරයි.
යන්ත්‍ර­යක කොටස් අතර ඇති­වන ගැටුම වැළැ­ක්වීම සඳහා අවශ්‍ය වන තෙල් පිටින් ලබා ගත හැකි වුවත් පුද්ග­ල­යන්, පවුල්, ගම හා රට­වල් අතර ඇති වන ගැටුම් වැළැ­ක්වීම සඳහා අවශ්‍ය සෙනෙ­හස, ආද­රය පිට­තින් බාගත නොහැකි ය යන කරුණ ආචාර්ය අදි­කා­රම් අව­ධා­රණ කරයි. මනු­ෂ්‍යයා, සමා­ජය සහ රට­වල් ඇතුළු මේ විශාල ජීව යන්ත්‍රය වුව­මනා ම කරන දෙස ස්නේහය බව පව­සන ඔහු අද ලෝකයේ ඇති­වන සෑම ගැටු­මක් ම නැවත ඇති නොවන ලෙස කිසි­ව­කුට හානි­යක් නොවන ලෙස නිරා­යා­ස­යෙන් නව­ති­න්නට නම් ස්නේහය හද­ව­ත්වල ඇති විය යුතු යැයි ප්‍රකාශ කරයි.
ආචාර්ය අදි­කා­රම් සිය ජීවිත කාලය තුළ දිව­යිනේ තැනින් තැනට යමින් දේශන පව­ත්ව­මින් ද පත්‍රිකා ප්‍රකා­ශ­යට පත්කොට බෙදා හරි­මින් ද සිති­විලි ;පාත් හැට­කට ආසන්න සංඛ්‍යා­වක් ලියා ප්‍රසිද්ධ කර­මින් ද වෑයම් කෙළේ ස්නේහයේ පණි­වු­ඩය දේශ­යට දායාද කිරී­මට ය. අන්කි­සි­වක් ඔහුට ‘ස්නේහය’ තරම් වැද­ගත් නොවී ය.
දිනක් පුව­ත්ප­ත්ක­ලා­වේ­දි­යෙක් ආචාර්ය අදි­කා­ර­ම්ගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.
”කලාව ගැන මෙන් ම විද්‍යාව ගැනත් උන­න්දු­වක් දක්වන ඔබට සඳට යෑමට අව­ස්ථා­වක් ලැබු­ණොත් සතුටු වෙන­වාද?”
සිය පපුව මත අත තබා ගනි­මින් ඔහු දුන්නේ මේ පිළි­තුර යි.
”මට යාමට ගම­නක් තිබෙ­නවා. ඒත් ඒ සඳට නොව හද­ව­තට යි”
සඳ­ව­තට නොව හද­ව­තට ගමන් කිරීමේ මාර්ගය පහදා දෙනු වස් ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදි­කා­රම් නම් වූ අපූර්ව ආද­ර­ව­න්තයා මාධ්‍යය කොට ගත්තේ අන්කි­සි­වක් නො ව තමාගේ ම ජීවි­තය යි. ‘ස්නේහයේ නිරු­ක්තිය’ ද ඔහු පැහැ­දිිලි කෙළේ භාෂා­ත්මක ව පම­ණක් නොවේ. ඔහු සිය ජීවිත පැවැ­ත්මෙන් ද එය ප්‍රකා­ශ­යට පත් කළේය.
සෙනෙ­හස සමඟ මුසු කොට හද
වෙණ නැන්වූ
හොඳ සඳ ගමන නොව හද
ගමන යි දැන්වූ
යුග පුරු­ෂ­යා­ණෙනි අප
අපට ම පෙන් වූ
’සිති­විලි ගඟ ගැලිය යුතු
ලොව­කට වෙන් වූ
ආචාර්ය අදි­කා­රම් යනු හුදෙක් මිනිස් කයක් ඇති ව සිටි තවත් එක් පුද්ග­ල­යකු පම­ණක් නොවේ. ඔහු අපට අප ම බලා ගැන්ම සඳහා තිබූ පැහැ­දිලි කැඩ­ප­තකි. වච­න­යන්ගේ නිවැ­රදි අර්ථ දක්ව­මින් ඒ වටහා ගන්නා ලෙසට ඔහු ජන­තා­වට ආයා­ච­නය කෙළේ ය. තමන් නිවැ­රදි යැයි අව­බෝධ කොට ගත සත්‍ය ය පැව­සීම සඳහා සිය කායික මර­ණය තෙක් ත්‍රියා­කළ ඔහුගේ ජීවි­තය සැල­කිය යුත්තේ ස්නේහයේ අපේ යුගයේ ජීව­මාන සංකේ­ත­යක් ලෙසයි.
මේ යුග පුරු­ෂ­යාගේ ජීවි­තය ද සම්බන්ධ කොට ගනි­මින් ලියැ­වෙන මෙම ලිපිය අව­සන් කරන්නේ ඔහු පැවසූ ඔබ අප කාටත් යා හැකි ‘හඳ ගමන’ ගැන සාව­ධාන වන මෙන් ආයා­ච­නය කර­මිනි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි