Tuesday, July 29, 2014

කුමාරතුංග මුනිදාස සිසුවරම

සිංහල බසට හපන්කම් පා ශිෂ්‍යත්ව දිනූ සිසුවියෝ

වෛද්‍යවරියන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිනියන් වීමට දරුවන් පොලඹවනවා හැරෙන්නට කවියෙකු කතාකරුවෙකු හෝ කලාකරුවෙකු වීමට දරුවන්ට යන මාවත පෙන්වීමට බහුතරයක් වූ දෙමාපියෝ අද කැමැති නොවෙති. බොහෝ විට දරුවන්ගේ ද ඉලක්කය එසේමය. එහෙත් බාල වියේ සිටම සිංහල භාෂාව කෙරෙහි ඇල්මකින් කටයුතු කරන්න පෙලෙඹුන දක්ෂ දරුවෝ ද අප අතර නැතිවාම නොවේ.
සාමාන්‍ය පෙළ විභාගයේ දී විෂයන් නවයටම ‘ඒ’ සාමාර්ථ නවයක් ගත් සිසුන් අතරින් සිංහල භාෂාවේ විශිෂ්ටයන් වූ සිසු සිසුවියන් ඇගයීම විශේෂයකි. මේ විශේෂිත වූ ඇගයීම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව කරනු ලබන්නේ කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය මඟිනි.
දෙදහස් දහතුන වසරේදී සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල භාෂාව සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාවන් දෙදෙනාට කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීම පසුගියදා සිදුකැරිණි.
“කුමාරතුංග මුනිදාස එකසිය විසිපස්වන ගුණ සමරු දවසේ තමයි අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ සහායත් ඇතිව සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාවට වැඩිම ලකුණු ගත් ශිෂ්‍යාවට හෝ ශිෂ්‍යයාට ශිෂ්‍යත්ව දීම ඇරැඹුවේ.
අපි මෙහිදී අරමුණු කළේ මේ දරුවන් උසස් පෙළ සඳහා කුමන විෂය ධාරාවක් හදාරනවා ද කියන එක නොවෙයි. අපට අවශ්‍ය වුණේ මේ දරුවන් සිංහල භාෂාව ඉගෙනීමෙන්, ඉහළම ලකුණු ලබාගැනීමෙන් ඒ පිළිබඳව උනන්දුවීමෙන් ලද කැපවීමත් අගය කිරීමයි. ඒ වගේම ඔවුන් තුළ යම් අභිමානයක් ඇති කිරීමයි.
මේ වන විට අප සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල විෂය සඳහා ඉහළ ලකුණු ලබාගත් දරුවන් හත්දෙනකු සඳහා අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබෙනවා. මෙම කටයුත්ත සඳහා අධ්‍යාපන අමාත්‍ය, අද දෙරණ හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව දායකත්වය දරනවා.” යනුවෙන් පවසන්නේ කුමාරතුංග මුනිදාස පදනමේ ගෙවිඳු කුමාරතුංග මහතාය.
මේ ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් පළමු වරට එනම් 2012 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ශිෂ්‍යත්වය ලැබුවේ මීගමුවේ නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයේ අයෝධ්‍යා රත්නායක සිසුවියයි. ඇය දෙදහස් එකොළහ වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියාය.
දෙදහස් දහතුනේ දී ‘කුමාරතුංග’ මුනිදාස සිසුවරම’ හිමිරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රීතිකා මහීපාල බණ්ඩාරනායක, ගාල්ල ධර්මාශෝක විද්‍යාලයේ තරිඳි උමයංගනා, ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ රන්දුලා උදානි කෝරලගේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ සුදාර රුමල් ගල්ගමුව යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝය.
සිංහල භාෂාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ඒ පිළිබඳ බොහෝ පොත පත ලියූ විද්‍යාර්ථීන් සඳහා දැනුම ලබාදීමට කටයුතු කළ මහා පඬිරුවනක් වන කුමාරතුංග මුනිදාස මහතා වෙනුවෙන් ඉදිරි පරම්පරාව සඳහා කරනු ලබන මේ සත් කාර්යයේ දී මෙවර ශිෂ්‍යත්ව හිමිකරගත් ශිෂ්‍යාවන් දෙදෙනෙකි.
‍ෙකාළඹ දේවි බාලිකා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනු ලබන අදිතා සංදීපනී ඉන් එක් ශිෂ්‍යාවකි.
“මම බාලාංශ පන්තියේ ඉඳලා ඉගෙන ගත්තේ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයේ. ශිෂ්‍යත්ව විභාගයේ දී මම ලකුණු එකසිය අසූවක් ලබාගත්තා. ඊට පස්සේ තමයි මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණේ. මම කැමතියි පුංචි කාලේ ඉඳලම සිංහල පොත්පත් කියවන්න. මගෙ අම්මයි තාත්තයි දෙන්නත් මට ඒ සඳහා හොඳ සහයෝගයක් ලබා දුන්නා. මං හරි කැමතියි පැරැණි කතුවරයන්ගේ පොත්පත් කියවන්න. ඒ වගේම අලුතෙන් ලියැවෙන නවකතා පරිවර්තන පොත් වගේම විවිධ විෂයන් යටතේ ලියැවෙන පොත්පත් කියවන්න කැමැතියි.
මම සාමාන්‍ය පෙළ විභාගයේ දී ඒ සාමාර්ථ නවයක් ලබා ගත්තා. සිංහල විෂයෙන් ලංකාවෙන්ම පළවැනියා මම කියල දැනගන්න ලැබුණම මට පුදුම සතුටක් ලැබුණේ. මම සිංහල විෂය ඉගෙනගත්න හරි කැමතියි. මම දැන් ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන්නේ. ඒත් විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුවා කියලා මම සිංහල විෂය කෙරෙහි තියෙන ඇල්ම ආශාව නැති කරගත්තේ නැහැ. මට මගේ අම්මා තාත්තා වගේම මට උගන්වනු ලැබූ සියලු ගුරුවරු අද මට මේ තැනට එන්න උදව් කර තිබෙනවා. අදටත් මට පාසලේ ගුරුවරුන්ගෙන් හොඳ සහායක් ලැබෙනවා. ඒ වගේම කුමාරතුංග මුනිදාස පදනමෙන් මා සඳහා ශිෂ්‍යත්වයක් ලබාදෙනවා කිව්වම මට විශාල සතුටක් ලැබුණා. එය මගේ මුළු ජීවිතයටම ලැබෙන දිරිමත් කිරීමක් හැටියටයි මම දකින්නේ.”
සිංහල රචනා, කෙටිකතා, කවි ලියන සිංහල විෂය ආශ්‍රිත තරග යනාදියට සහභාගි වන සංදීපනී පවසයි.
කුමාරතුංග අනුස්මරණ ශිෂ්‍යත්ව වරම දිනූ අනෙක් ශිෂ්‍යාව වන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ මෙනුෂිකා ජයනි කාරියවසම් ශිෂ්‍යාවයි.
මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍යම මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මෙනුෂිකා ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු එකසිය අසූවක් ලබාගත්තාය.
ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයට ඇතුළත් වූ ඇය 2013 වස‍ෙර්දී සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලු විෂයන්ට ඒ සාමාර්ථ ලබාගත්තාය.
“මගේ අම්මාත් තාත්තාත් ගුරු වෘත්තියේ නියැළී ඉන්නේ. මගෙ තාත්තා සිංහල විෂය උගන්වන්නේ. මං කුඩා කාලයේ ඉඳලම පොත පත කියවන්න බොහොම කැමැතියි. මට ඒ හුරුව ලැබුණේ ගෙදර පරිසරයෙන්. නවකතා කෙටි කතා පරිවර්තන වගේම විවිධ විෂය ක්ෂේත්‍ර ගැන ලියැවුණ දැනුම වර්ධනය කෙරෙන පොත පත කියවන්න මම ආසයි. මම පාසලේ විවිධ තරගවලට විශේෂයෙන් සිංහල විෂය හා සම්බන්ධ තරගවලට සහභාගි වෙලා සම්මාන සාමාර්ථ ලබා තිබෙනවා. මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවත් මං සිංහල විෂයට ආදරෙයි. ලංකාවෙන් පළමුවැනියා වුණ මම සිංහල භාෂාවෙනුත් පළමුවැනියා වීම සතුටක්. මගේ මේ ජයග්‍රහණයන්ට මගේ අම්මා තාත්තා වගේම එදා සිට මේ දක්වා මට ඉගැන්වූ උගන්වන සියලුම ගුරුවරුන්ට මම කෘතඥපූර්වකව ස්තුතිවන්ත වෙනවා. අපි වගේ ඉගෙන ගන්න දක්ෂ දරුවන්ට කුමාරතුංග මුනිදාස පදනමෙන් මේ කරන අනුග්‍රහය අගය කිරීම හුඟක් වටිනවා. එය අපට තවත් ඉදිරියට යාමට දිරි දීමක්.”
මෙනුෂිකා තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව පවසන්නේ එසේය.
එදා කුමරතුඟු සූරීන් තමන් ජීවත්වූ කාලවකවානුව ගැන සිතා පොතපත ලියූව ද අද දක්වාම ඒ පොතපත වලංගු වන්නේය. කාලය වෙනස් වුවද තවමත් විවිධ මතිමතාන්තර මධ්‍යයේ වුව ද සිංහල විෂය කෙරෙහි මේ දියුණු ලෝකයේ ශ්‍රී ලාංකික දරුවන් මෙතරම්ම උනන්දු වීම මෙන්ම, ඔවුන්ව දිරිමත් කරමින් කුමරතුඟු පදනම කරන මෙහෙය ද බොහෝ අගය කළ යුතු වන්නේ නොවේද?

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි