Tuesday, July 29, 2014

ඇවිදින පඹයා

ඇවිදින පඹයා

හිරුෂගෙ ගෙදර තියෙන්නේ පුංචි කඳු ගැට‍යක් ළඟ. ගේ වටේට විශාල කුඹුරු යායක් තියෙනවා. ඈතට පෙනෙන්නේ නිල් ත‍ණකොළ පිට්ටනියක් වගේ. හිරුෂ ගේ ගෙදරට පහළින් කුඹුරුයාය වැඩ කරන්නේ හිරුෂගෙ ලොකු අත්තා. පාසලේ නිවාඩු දවස්වල හිරුෂ ලොකු අත්තගෙ කුඹුරේ වැඩට උදවු වෙනවා.
කුඹුරේ ගොයම් කරල් පැහෙන කාලයට කුරුල්ලන්ගෙන් සහ වෙනත් සතුන් ගෙන් කරදරයි. මේ අය හැම වෙලාවෙම ගොයම් කරල් කකා යනවා. ඒ නිසා ලොකු අත්තා හිරුෂ උදවු කරගෙන පඹයෙක් හදන්ට ලෑස්ති වුණා. ලොකු අත්තා ශක්තිමත් ලී දෙකක් ගෙන කුරුසය වගෙ තබා ලණුවකින් තදට ගැට ගැසුවා. පසුව පිදුරුවලින් අත් කකුල් හොඳින් ඔතලා පැත්තකින් තබා මුට්ටියක් ගෙන ඇස්, නහය, කට රට හුණුවලින් ඇඳල හිස හැදුවා‍.
ඉන්පසුව සරමක් කමිසයක් අන්දවල පඹයා හදලා ඉවර ‍කරලා කුඹුර මැද හිටවලා තියෙන කොට මිනිහෙක් හිටගෙන ඉන්නවා වගෙ හිරුෂට පෙනුණා. හිරුෂට සතුටක් ඇති වුණා ලොකු අත්තට උදව් කරන්ට ලැබුණ නිසා.
හිරු බැසගෙන යන හැන්දෑවෙ හිරුෂ යාළුවෝ සමඟ කුඹුරේ නියරවල් දිගේ එහාට මෙහාට දුව පැන සෙල්ලම් කර කර හිටියා. හිරුෂ ඈත බලාගෙන දුවන කොට නියර දිගේ පඹයෙක් ඇවිදිනවා දැක්කා‍.
හිරුෂ ඇවිදින පඹයා‍ දිහා පුදුමයෙන් බලා සිට යාළුවන්ට අඬගහල පෙන්නුවා. ඒ අයත් පුදුම වුණා.
යාළුවෝ ටික කෑ ගසනවා ටොමියාත් බුර බුරා ඈතට දුවනවා. පඹයාත් ඉක්මනින් ඇවිදිනවා.
හැන්දෑ වෙලා නිසා හිරුෂට සහ යාළුවන්ට බයකුත් හිතුණා. හිරුෂ ගෙදරට දුවගෙන ගිහින් පඹයෙක් ඇවිදිනවා කියල ලොකු අත්තට කීවා. ලොකු අත්තා ටිකක් වෙලා කල්පනා කරල “හරි අපි ගිහින් බලමු” කියල කුඹුර පැත්තට ගියා “ඇත්ත තමයි” පඹයා ළඟට ගිහින් උඩ ඉඳල පහතට හොඳට බැලුවා. මෙන්න සරම යටින් පුංචි කකුල් දෙකක් පෙනෙනවා. ලොකු අත්තට තේරුණා වැඩේ මොකක්ද කියල. අල්ලපු ගෙදර සඳුන් ඊට ඉස්සර දවසක් පඹයෙක් හදන හැටි අහගත්තා‍. ලොකු අත්තා හිනා වෙලා පඹයාගේ ඔළුවේ මුට්ටිය ගැලෙව්වා.
“හරි මේ සඳුන් තමා” හැමෝටම හිනා ගියා.
“කුරුල්ලෝ සහ සත්තු බය කරන්ට මටත් හිතුණා. ඒ නිසා පඹයෙක් වගේ ලෑස්ති වෙලා ඇවිදින්න හිතුණා.”
“මම කරපු දේට රැවටුණු යාළුවෝ බය වුණා” කියල සඳුන් හයියෙන් හිනාවෙලා ගෙදර දිව්වා.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි