මේ කතාවේ එන චරිත, සිද්ධි සහ අවස්ථාවන් බොහෝවිට සැබෑ ජීවිතයේ අප අසා ඇති අප දැක ඇති පුවත්පත් වලින් අප කියවා ඇති දේ සමඟ මනාව සැසඳේ.
කර්තෘ - සෝමලතා වෛද්‍යරත්න
මිල - රුපියල් 450
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ

මේ නවකතාව හුදෙක් කතුවරියගේ මනසේ ඇඳුණ පරිකල්පනීය කතාවකට වඩා අද අප සමාජයේ විද්‍යමාන ප්‍රායෝගික අවස්ථා මැනවින් නිරූපණය කරන සත්‍ය කතාවක් බව මගේ හැඟීමයි. මේ කතාවේ එන චරිත, සිද්ධි සහ අවස්ථාවන් බොහෝවිට සැබෑ ජීවිතයේ අප අසා ඇති අප දැක ඇති පුවත්පත් වලින් අප කියවා ඇති දේ සමඟ මනාව සැසඳේ. මවගේ විදෙස්ගතවීම නිසා අසරණ වන දරුවන්, විශේෂයෙන් ම දියණියන් ලක් වන අනේකවිධ අපචාර සහ මුහුණ දෙන මානසික ප්‍රශ්න මනාව විවරණය කරමින් සිය පරිකල්පනයේ උපදින සංවාද සහ සිද්ධි ශූර ලෙස හැසිරවීමට කතුවරිය සමත්ව ඇති බව අපේ විශ්වාසයයි.
වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය වසා පිළිලයක් මෙන් ශීඝ්‍රයෙන් පැතිරෙන කාන්තා හා ළමා අපචාර පිළිබඳ ව නීති සම්පාදනය කරන්නන් අතර මෙන් ම පොදුවේ මුළු සමාජයේ ම සංවාදයට භාජනය විය යුතු ය. එවන් පසුබිමක ‘අහස් වියන’ නවකතාව මතු කරන පුළුල් සමාජ විග්‍රහය අප සැමගේ, විශේෂයෙන් ම තරුණ දූ දරුවන් සිටින දෙමාපියන්ගේ නොමඳ අවධානයට ලක් විය යුතු ව ය. සිය ‘විසල් පවුරක් සේ’ නවකතාවෙන් කතුවරිය මතු කළ සමාජ ප්‍රශ්නය තවදුරටත් වෙනත් මානයකට යොමු කරවීමට ගත් උත්සාහය සාර්ථක වි ඇත. නවකතාවේ සියයට අනූවක්ම පුරා පැතිරෙන සංවාද එහි කියවාගෙන යාමේ ගුණයට උත්ප්‍රේරණයක් සපයයි. නවකතාවක අනිවාර්යයෙන් ම තිබිය යුතු පාඨකයාට වෙහෙසක් නොමැතිව එක දිගට කියවාගෙන යා හැකි වීම ‘අහස් වියන’ තුළ සැබැවින් ම ඇත.
සෝමලතා වෛද්‍යරත්න කතුවරිය ‘අහස් වියන’ පෙර වදනෙහි සඳහන් කරන පරිදි ‘කාන්තාවක’ වී මෙලොව ඉපදීම මොන තරම් අභාග්‍ය සම්පන්නදැයි සිතෙන තරමට දැන් සමාජය කාම අපරාධවලින් පිරී පවතී. අසූ වියැති මිත්තණියක පමණක් නොව කටේ කිරි සුවඳ පවා නොගිය කුඩා දරුවන් පවා අමානුෂික ලෙස දූෂණය කර ඉනුදු නොනැවතී ක්‍රෑර වධ බන්ධනවලට ලක් කර මරා දැමීම සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන මේ ධර්මද්වීපයේ සිදුවන බව අදහන්නට නොහැකි තරම් ය. අද දියණියක තම පියා හෝ සොහොයුරා ෙහා් ළඟ තනිව තබා යෑම පවා බිය ජනක වන තරමට සමාජය පිරිහී තිබේ.”
මේ සමාජමය පිරිහීම සිය ‘අහස් වියන’ නවකතාව මඟින් සනාථ කරවන කතුවරිය ස්වකීය නිර්මාණ ප්‍රතිභාව සමාජ ශෝධනය උදෙසා දැරූ ප්‍රයත්නයක් ලෙස හැඳින්වීමට මම පසුබට නොවෙමි. දිනපතා මෙතරම් අපරාධ අසන්නට ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයේ ඒවා මර්දනය කිරීමට බලධාරීන් උත්සුක කිරීමට ඔවුන් ද මෙවන් නවකතා කියැවිය යුතු බව මගේ අදහසයි.
‘අහස් වියන’ නවකතාව අප සියලු දෙනා විසින් ම අගය කළ යුතු, වැදගත් පණිවිඩයක් සමාජයට ලබාදෙන නවකතාවක් බව මගේ විශ්වාසයයි. මේ නවකතාව කියැවීමෙන් පාඨකයා තුළ ඇතිවන දුක, වේදනාව සහ කම්පනය මිශ්‍ර හැඟීම් දරුවන්ගේ විශේෂයෙන් ම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ව සෑම මවකගේ ම, සෑම පියකුගේ ම නොමඳ අවධානය යොමු කිරීම සඳහා අභිප්‍රේරණයක් වනු ඇත.
http://www.silumina.lk/2016/04/17/_art.asp?fn=sm1604172
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි