Sunday, April 10, 2016

‘කෝන මංගල්ලෙට පේවීම’

ගෙයක් දොරක් නැරී, අතිරහ පුසුඹ එක පැත්තකින්... තවත් පැත්තකින් වෙල් එළියේ ඉපනැල්ලෙන් එන පුසුඹ... කොල්ලෝ කුරුට්ටෝ වැව් තාවල්ලේ වෙල් එළියේ චක්ගුඩු, තාච්චි කෙළිවලට හරි බරි ගැහෙනවා.කෙලිත්තියෝ මුතුපෝරු, (ඔළිඳ පුවරු) ගල්කෙටුම් පොළවල්වලට හැඩ වෙනවා වාගේම බවලතියෝ රබං පේ කොරනවා. පංගුවක් පිරිමි පංච, දාං වාගේ සෙල්ලංවලට හාමු වෙනවා...”
“මේ දවස්වල නං මහත්තයෝ අපේ ගමේ බිමේ ඇත්තන්ට ඉස්පාසුවක් නෑනෙවැ (විවේකයක් නැත).”
“හා... බෑ... ට ඒ... මොකෝ ලොකු උන්නැහේ...?”
“ඇයි මහත්තයෝ කෝන මංගල්ලෙට (අලුත් අවුරුදු උලෙළට) කොල්ල කියලා නෙවැ තියෙන්නෙ... (ළං වෙලයි ඇත්තේ)”
“ඉතිං....?”
“ඉතිං... ගමේ ගොල්ල (ගැමි පිරිස) මේ ජාමේ ඉදං පේවෙන්ඩ එපැයි.” (සූදානම් විය යුතුයි)
“හරි... හරි... ලොකු උන්නැහැලා මේ කඩි මුඩියේ ලැහැස්ති වෙන්නේ අවුරුදු කන්ට වෙන්ටැ....?”
“නැතුව... නැතුව.... බවලතියෝ ගේ දොර ගොම මැටි ගාල හැඩ වැඩ කොරනවා. ඔය පේනවානෙ පිරිමි උදවිය ගෙවල වහලවල් වලට නැඟලා පිදුරු හොයන හැටි. (පිදුරු සෙවිලි කරන අයුරු.) පංගුවක් ඇත්තෝ (සමහරෙක්) ගේ දොර හරි බරි ගහනවා.” (උපකරණ සූදානම් කරනවා)
“මේ ලොකු උන්නැහේ මං මේ බලාගන ඉන්නේ අර වැව්කණ්ඩිය දිගේ එන පෙරහර දිහාවෙයි.”
“මො... මො... මොනවා... පෙරහැරක් එනවා...?”
“ඔව්... ඔව්... අර බලන්ඩ කො... ලොකු උන්නැහැ...”
ඔහෙ පලයං... ඒක පෙරහැරක් නෙවෙයි මහත්තයෝ. ගමේ කෙලි රෑන. කෝනට දර පාරේ ගුහිං එනවා නොවැ.” (ගමේ තරුණියන් දර රැගෙන එනවා)
“ඇත්තට...”
“හප්පා කෝන මංගල්ලේ ගම් කොටුවට සේන්දු උනාම බලන්ටැපැයි ගමේ තියෙන කලේලිය...”
“ඒ කීවේ ලොකු උන්නැහේ...?”
“ඇයි මහත්තයෝ, ගෙයක් දොරක් නැරී, අතිරහ පුසුබ එක පැත්තකින්... තවත් පැත්තකින් වෙල් එළියේ ඉපණැල්ලෙන් එන පුසුඹ... කොල්ලෝ කුරුට්ටෝ වැව් තාවල්ලේ වෙල් එළියේ චක්ගුඩු, තාච්චි කෙලිවලට හරි බරි ගැහෙනවා.
කෙලිත්තියෝ මුතුපෝරු, (ඔළිඳ පුවරු) ගල්කෙටුම් පොළවල්වලට හැඩ වෙනවා වාගේම බවලතියෝ රබං පේ කොරනවා. පංගුවක් පිරිමි පංච, දාං වාගේ සෙල්ලංවලට හාමු වෙනවා...”
“අනේ ඇත්තට... අලුත් අවුරුදු දවසට ලොකු උන්නැහැලා මොකටද ඔය හැටි නහින්නෙ? එහෙම බැලුවාම මට නං පේන්නේ ලොකු ‍උන්නැහැලා හරිම මෝඩයි කියලයි.”
“ඇයි මහත්තයෝ එහෙම කියන්නේ. මහත්තැන්ලා ඔය කෝන චාරිත්‍ර වාරිත්‍ර වලට පයින් ගහන්ඩ තමුන්නැහැලා පරයෝයැ. (පිට රැටියෝද) එහෙම නැත්තං මෙච්චර පංකාදු කාර්යකට ඔහොම නරිවන්දං කතා කොරයියැ. හැබෑට... තමුන්නැහැලාගේ සිදාදියේ කෝන මංගල්ල කොරන් නැතැ...?”
“හ්ම්... ඒක ඉතිං එක දවසක් විතරයි නෙවැ ලොකු උන්නැහැ... ඉතිං ඒ දවසට මොකටද සති ගණන් ලැහැස්ති වෙන්නෙ.”
“ඔහොම කීවාට මොකෑ අපි කෝන මංගල්ලේ ඉඳලා තමා හැම කටයුත්තකටම මුල පු‍රන්නේ. හරි හමන් විදියේ නැකැත් සිරිතට තමයි අපි වැඩ අල්ලන්නෙ. එව්වා සිදාදි තියනවැයි...?”
“ඕවා මේ ලොකු උන්නැහැලා හදාගත්ත පුහු මතනෙ. එදාට සිදාදියේ අපි හැම එකක්ම කඩෙන් අරගන ඒ දවස ගෙවනවා. අද ඕනෑම දෙයක් කඩෙන් ගන්ට ඇහැකියිනෙ.”
“හැබෑට... එතකොට අතිරහ වාගේ කැවිලි පෙවිලිත් කඩේ තියනවැයි?”
“නැතුව... මං කීවේ ඕනෑම දෙයක් කඩෙන් ගත හැකියි.”
“එතකොට මනුස්සකොම, අපේකම, චාරිත්‍රවාරිත්‍ර. ඒවාත් සිදාදියේ ඇත්තෝ කඩෙන් ද ගන්නේ මහත්තයෝ.”
“ඔය කියන ඒවා කන්ඩද?‍‍‍‍.... අද ඔය කියන මනස්ගාත ඔක්කොම මුදලට යටයිනෙවැ ලොකු උන්නැහේ...”
“හද්දෙයියනේ රටට තොටට වෙච්චි වින්නැහියක්...”

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි