අප ජීවත්වන විශ්වයට අමතරව තවත් සමාන්තර විශ්වයන් පැවතිය හැකි බව ඔබ අසා තිබෙනවාද? කලකට පෙර සමාන්තර විශ්වයන් පිළිබඳ සංකල්පය විද්‍යා ප්‍රබන්ධවලට සහ ෆැන්ටසි නවකතාවලට පමණක් සීමාවී තිබුණත්, අද වන විට එය විද්‍යාඥයන්ගේ අවධානයට ලක්වූ මාතෘකාවක් වී ඇත. නමුත් ගැටලුව වන්නේ එබඳු විශ්වයන් පැවතුණත් ඒවායේ පැවැත්ම අපගේ ඉන්ද්‍රියන්ට හසුනොවීමයි. එසේ නම් අපගේ නිරීක්ෂණයට හසුනොවන වෙනත් විශ්වයන් පවතින්නේද යන්න අප තහවුරු කරගන්නේ කෙසේද? මෙය දශක ගණනාවක් තිස්සේ භෞතික විද්‍යාඥයන්හට තිබූ ගැටලුවකි.
වෙනත් විශ්වයන් පිළිබඳ අදහස අලුත් අදහසක් නොවේ. එයට අඩිතාලම දැමුවේ පෘථිවිය යනු විශ්වයේ කේන්ද්‍රය නොවන බව පැවසූ කොපර්නිකස්ය. පසුකාලීනව සූර්යයා යනු ක්ෂීරපථය නම් මන්දාකිණියේ ඇති බිලියන ගණනක් තාරකාවන් අතරින් එක් තාරකාවක් පමණක් බවත්, විශ්වය තුළ එබඳු මන්දාකිණි අතිවිශාල ප්‍රමාණයක් ඇති බවත් සොයාගන්නා ලදී. 20 වන සියවසේ විසූ භෞතික විද්‍යාඥ එඩ්මන්ඩ් ෆෝනියර් පැවසුවේ එකක් තුළ එකක් වශයෙන් පිහිටා ඇති විශ්වයන් අනන්ත සංඛ්‍යාවක් පවතින බවයි. අප ජීවත් වන ලෝකය තුළ ඇති පරමාණුවක් වෙනත් විශ්වයක සෞරග්‍රහ මණ්ඩලයක් විය හැකි බව ඔහු පැවසුවේය. අද වන විට විද්‍යාඥයන් එම මතය බැහැර කරන නමුත් වෙනත් විශ්වයන් පැවතිය හැකි ආකාර පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් කර ඇත.
ඉන් එක් මතයක් වන්නේ විශ්වය අපරිමිත බවත් එය අප දකින විශ්වය වැනි කොටස් අනන්ත සංඛ්‍යාවකින් සමන්විත වන බවත්ය. අපට නිරික්ෂණය කළ හැකි විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8කි. අපට ආලෝක වර්ෂ 13.8කට වඩා දුරින් පිහිටන ප්‍රදේශවල සිට අප වෙත ආලෝකය ළඟා නොවන නිසා එම ප්‍රදේශවල සිදුවන කිසිවක් අපට නිරීක්ෂණය කළ නොහැකිය. ඒ අනුව එම ප්‍රදේශ සියල්ල වෙනත් විශ්වයන් ලෙස සැලකිය හැකිය. මෙම සංකල්පයට අනුව විශ්වයේ යම් කිසි තැනක පෘථිවියට සර්වසම වූ ලෝකයක් පැවතිය හැකිය.
එසේ වුවත් මෙම සංකල්පය තහවුරු කිරීමට සාධක නොමැත. සමහරවිට විශ්වයේ ඇති සියලුම ද්‍රව්‍ය අපට නිරීක්ෂණය කළ හැකි ප්‍රදේශයට සීමාවී තිබිය හැකිය. නමුත් එසේ නම් අපට පෙනෙන විශ්වයේ ඈතට යන විට එහි ඇති පදාර්ථ ප්‍රමාණය අඩුවිය හැකිය. එහෙත් එබඳු දෙයක් දැකගත නොහැකි නිසා මෙම සංකල්පයද අපට බැහැර කළ නොහැකිය. වෙනත් විශ්වයන් පිළිබඳ දෙවැනි අදහස පැනනගින්නේ අපගේ විශ්වයේ ආරම්භය පිළිබඳ මහා පිපුරුම් නියමය ඇසුරිනි. මහා පිපුරුම් නියමයෙන් කියවෙන්නේ අප අයත් විශ්වය ආරම්භයේදී එය ඉතා කුඩා ලක්ෂ්‍යයක්ව තිබි ආලෝකයේ වේගයටත් වඩා අධික වේගයකින් ප්‍රසාරණය වූ බවයි. අපගේ විශ්වය කුඩා බුබුළක් ලෙස හටගෙන ප්‍රසාරණය වූ ලෙසින්ම වෙනත් විශ්වයන්ද හටගෙන ප්‍රසාරණය වන බව මෙම මතයෙන් කියවේ. නමුත් එම විශ්වයන් ආලෝකයේ වේගයටත් වඩා අධික වේගයකින් අප වෙතින් ඈත්වන නිසා අපට කිසිදිනෙක ඒවා නිරීක්ෂණය කළ නොහැකිය. මෙම සංකල්පය සත්‍ය යැයි තහවුරු වී නොතිබුණත් එය සතය නම් භෞතික විද්‍යාවේ විශාලතම ගැටලුවක් විසඳා ගැනීමට උපකාරයක් විය හැකිය.
භෞතික විද්‍යාවේ සියලු නියමයන් සඳහා මූලික වන එක් ප්‍රධාන නියමයක් සොයාගැනීමට විද්‍යාඥයන් උත්සාහ කරන්නේ බොහෝ කලක සිටය. මේ සඳහා සුදුසුම නියමය ලෙස බොහෝ විද්‍යාඥයන් පිළිගන්නේ 'String Theory' නම් සිද්ධාන්තයයි. නමුත් එම සිද්ධාන්තයට අනුව විශ්වය පැවතිය හැකි එකිනෙකට වෙනස් ආකාර අතිවිශාල ප්‍රමාණයක් ඇති අතර, අපගේ විශ්වය දැනට පවතින ආකාරයෙන් පැවතීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවකි. උදාහරණයක් වශයෙන් අප විශ්වයේ ඇති විද්‍යුත් චුම්බක බලයේ සුළු වෙනසක් සිදුවූයේ නම් පරමාණු අස්ථායී වනු ඇත. එහි
ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් වෙනස් වූයේ නම් විශ්වය ප්‍රසාරණය නොවනු ඇත. එසේ නම් විශ්වයේ සියලු නියමයන් ජීවීන්ගේ පැවැත්මට උපකාර වන ලෙස සකස්වීම අහඹු සිදුවීමක් පමණක්ද? නැතිනම් එය මැවුම්කරුවකුගේ අවශ්‍යතාව මත සිදුවූවක්ද?
අධිවේගයෙන් ප්‍රසාරණය වන විශ්වයන් පිළිබඳ සංකල්පයෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකිය. විශ්වයන් අනන්ත සංඛ්‍යාවක් අතරින් කිහිපයක ජීවය බිහිවීමට සුදුසු තත්ත්වයන් පැවතිය හැකිය. එසේම ජීවීන්ගේ පැවැත්මට සුදුසු නොවූ විශ්වයන්ද අනන්ත සංඛ්‍යාවක් තිබිය හැකිය. එවිට අප ජීවත් වන විශ්වය මේ අයුරින්ම පැවතීම පුදුමයට කරුණක් වන්නේ නැත.
වෙනත් විශ්වයන් පිළිබඳ තවත් අදහසක් වන්නේ ජීවීන් මෙන් විශ්වයන්ද ස්වාභාවික වරණයට ලක්වන බවයි. භෞතික විද්‍යාඥ Lee Smolin පවසන්නේ එක් විශ්වයක ඇති කළු කුහරයකින් තවත් කුඩා විශ්වයක් බිහිවිය හැකි බවය. එසේ බිහිවන කුඩා විශ්වයක ලක්ෂණ මාතෘ විශ්වයට බොහෝ දුරට සමානය. මෙම නියමයට අනුව ආරම්භයේ එකිනෙකට වෙනස් විශ්වයන් අනන්ත සංඛ්‍යාවක් පැවතුනද, ස්වාභාවික වරණයට අනුව පසුකාලීනව අස්ථායී විශ්වයන් සංඛ්‍යාව අඩුවී, ජීවය බිහිවීමට සුදුසු ස්ථායී විශ්වයන් සංඛ්‍යාව වැඩිවී ඇත. එහි වැදගත්කම වන්නේ අපගේ විශ්වයේ ජීවය බිහිවීම අහඹු සිදුවීමක් නොවන බව පැවැසීමයි. කෙසේ වෙතත් මෙහි ඇති ගැටලුව වන්නේ කළු කුහරයකින් සම්පූර්ණයෙන් අලුත් විශ්වයක් බිහිවිය හැකිද යන්න තහවුරු වී නොතිබිමයි. වෙනත් විශ්වයන් පිළිබඳ ඊළඟ සංකල්පය බිහිවන්නේ නූතන භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයක් වන m-theory ඇසුරිනි. එයට අනුව අපට නිරීක්ෂණය වන මාන 3ට අමතරව තවත් මාන 7ක් පැවතිය යුතුය. එම අමතර මාන ඉතා කුඩා අවකාශයක් තුළ සිරවී තිබිමට හෝ මාන කිහිපයකින් සෑදුණු පටල ලෙස පැවතීමට හැකිය. එම පටල එකිනෙකින් වෙන්ව පවතින්නේ එක මත එක තැබූ කඩදාසි මිටියක් මෙනි.
මේ කතාව තවදුරටත් පැහැදිලි කළ හැක්කේ මෙලෙසය. යම්කිසි ත්‍රිමාන වස්තුවක් ඉතා දුර සිට බලන විට අපට පෙනෙන්නේ එය තනි ඉරකින් අඳින ලද (එසේත් නැතිනම් ඒක මාන) වස්තුවක් ලෙසිනි. එසේ වන්නේ එහි අනෙක් මාන දෙක ඊට සාපේක්ෂව ඉතා කුඩා නිසාය. මේ ආකාරයට පස්වැනි මානයක් පවතී නම් එය සිතාගැනීමටත් බැරි තරම් කුඩා දුරක හැකිලී තිබෙන්නට පුළුවන. සමහර විට ඒ අවකාශය සෙන්ටිමීරයකින්, ට්‍රිලියනයකින්, මි්‍රලියනයකින්, බිලියනයක ගුණයකින් එකක් වැනි ඉතාම ඉතා කුඩා අවකාශයක් වීමට පුළුවන. මෙවැනි මානයක් අපට නොපෙනී තිබිමට හේතුව එයයි. මෙවැනි තත්ත්වයක් තුළදී අපගේ නිරීක්ෂණයට හසුනොවී එවැනි අතිරේක මාන ගණනාවක් පැවතිය හැකිය. එවැන්නක් පවතී නම් වෙනත් විශ්වයන් පැවැතීමට අතිවිශාල අවකාශයක් නිර්මාණය වී තිබිය හැකිය.
ඊට අමතරව ඇති අනෙකුත් තර්කය වන්නේ මේ ආකාරයට මෙවැනි මාන තදබදවී (Compact) තිබිමද අවශ්‍ය නොවන බවයි. සමහර විටෙක ඒවා කලින් කී ආකාරයට එකක් මත එකක් තැබූ කඩදාසි මිටියක් මෙන් එක් එක් තලයන්හි 'පටල' ලෙස පිහිටිය හැකිය. ඒවා බහුමාන විය හැකිය. මෙම පටලයක් තුළ සම්පූර්ණ විශ්වයක් සැඟවී පැවතිය හැකිය.
අපේ ඇසට නොපෙනෙන වෙනත් විශ්වයන් පිළිබඳ අවසන් පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවෙනි. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව ඉතා කුඩා අංශු තරංගවලට සමාන හැසිරීමක් දක්වන අතර, අංශුවකට එකවර අවස්ථා කිහිපයක පැවතිය හැකිය. නමුත් බාහිර නිරීක්ෂකයකු විසින් අංශුවක පිහිටීම නිරීක්ෂණය කරනවිටදී එය එකවර පිහිටීම් කිහිපයක පවතින තරංගමය ස්වභාවයෙන් මිදී එක් පිහිටීමකට එළඹේ. මෙය තරංග ශ්‍රිතයේ බිඳ වැටීම ලෙස හඳුන්වනු ලැබේ. මෙම බිඳ වැටීමට පැහැදිලි හේතුවක් හෝ අනෙක් අවස්ථාවලට කුමක් සිදුවේද යන්න මතෛක් සොයා ගෙන නොමැත. මේ පිළිබඳ අදහස් දැක්වූ Bryce Dewitt කියා සිටියේ එම විවිධ අවස්ථාවන් සමාන්තර විශ්වයන් තුළ පවතින බවයි. උදාහරණයක් වශයෙන් ඉලෙක්ටේරා්නයක් අපගේ විශ්වය තුළ එක් දිශාවකට ගමන් කරන්නේ නම්, වෙනත් විශ්වයක එය ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කළ හැකිය. Dewitt පවසන පරිදි ක්වොන්ටම් අංශුවක වෙනසක් සිදුවන සෑම මොහොතකම එකිනෙකට වෙනස් ප්‍රතිඵල සහිත සමාන්තර විශ්වයන් බිහිවිය යුතුය එහෙත් මෙම මතයෙහි ඇති අපැහැදිලි බව නිසා බොහෝ විද්‍යාඥයන් මෙය පිළිගැනීමට කැමති නැත.
අවසන් වශයෙන් කිව යුත්තේ වෙනත් විශ්වයන් පිළිබඳ මතවාද බොහොමයක් තිබුණද එම විශ්වයන් නිරීක්ෂණය කළ නොහැකි නිසා එම මතවාදවල සත්‍ය අසත්‍යතාව තීරණය කිරීම ඉතා අපහසු කාර්යයක් බවයි.
කසුන් සමවත් මල්ලවාරච්චි
(බි.බි.සී. ඇසුරෙනි)
(බි.බි.සී. ඇසුරෙනි)
http://www.lakbima.lk/index.php/2/212-2016-07-03-06-38-27