Monday, November 25, 2013

සා.පෙළ. විභාගයට ලියන්න පෙර මේ උපදෙස් ටික කියවන්න

සා.පෙළ. විභාගයට ලියන්න පෙර මේ උපදෙස් ටික කියවන්න
 

ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර
විභාග කොමසාරිස් ජෙනරාල්
විභාගය කොයි කාටත් නුහුරු නුපුරුදු අලුත් අත්දැකීමක් නොවේ. දරුවකු පාසලට පියමං කළ දා පටන් වාර විභාගයන්ට මුහුණ දී විභාගයක සරල අත්දැකීම දරුවන් සිය ජීවිතයට එක්කර ගැනිණි. අම්මලාගේ විභාගයක් වූ ශිෂ්‍යත්ව‍යත්, ඉන් අනතුරුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයන්, එයිනුත් අනතුරුව අ.පො.ස. උසස් පෙළ විභාග‍යත් ශිෂ්‍ය ජීවිතයේ ප්‍රධාන කඩඉම් විභාග වෙයි. වසරක් පාසා එක්තරා සිසු කණ්ඩායම් ‍තුනක් මේ තරගකාරී විභාගයට මුහුණදෙති.
අගෝස්තු මාසයේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයත් දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වෙයි. මේ විභාග තුනේදී විභාග දෙපාර්තමේන්තුවත් අසීමිත කාර්ය භාරයත් ඉටු කරන අතර විභාගය අවසානයේදී විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයටත් විසඳී‍මට ගැටලු රාශියක් පැන නැ‍ඟේ. විභාගයක් යනු ‍අතිශය රහස්‍ය ක්‍රියාවලියකි. විභාගයේදී පිළිපැදිය යුතු නීති මාලාවක් ද ඇත. බොහෝ ශිෂ්‍යයන් දැන හෝ නොදැන විභාගයක තිබිය යුතු නීති මාලාවට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් විභාග ප්‍රතිඵල පවා අත්හිටුවා ගනිති.
විභාගයකට පෙනී සිටින ඔබට පිළිපැදිය යුතු නීති මෙන් ම රීති මාලාවක් ද ඇත. එය විභාගයෙන් විභාගයට වෙනස් ය. මේ නීති විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පනවනු ලබන අතර බොහෝ දෙනා පිළිබඳ හරි වැටහීමක් නොමැති වීමෙන් අනාගතය අඳුරු කර ගනිති.
වැරැදි කරන්න පෙර
විභාගයකදී ඔබ අවධානය යොමු කළ යුත්තේ කවර කරුණු කෙරෙහිද ඔබ නොකළ යුතු දෑ මොනවාද? ඔබගේ ප්‍රතිඵල අත්හිටුවන්නේ කුමන හේතු පදනම් කරගෙන ද යන්න මෙම ලිපියෙන් විග්‍රහ කැරේ. අතීතයේ කළ වැරැදි උදාහරණයට ගෙන දෙමින් දෙනු ලබන මේ උපදෙස් හෙට දින අ.පො.ස (සා.පෙළ) විභාගයට මුහුණ දෙන ඔබට වඩාත් මහෝපකාරී වෙයි. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ඔබට මේ උපදෙස් ලබාදෙන්නේ යළිත් මෙවන් වැරැදි ඔබ අතින් ඉටු නොකරන්නටැයි ද ආයාචනා කරමිනි.
විභාග අපේක්ෂකයකු නොකළ යුතු ප්‍රධාන දෙයකි, සටහන් ළඟ තබා ගැනීම. මෙය ඕනෑම කෙනෙක් දන්නා දෙයක් වන අතර ඔබ නොදන්නා කමින් සටහන් ළඟ තබාගත්තා යැයි පැවැසීම නිදහසට කරුණක් ද නොවෙයි. විභාග ශාලාවට කිසිම සටහනක් (එදිනෙදා විෂයට අදාළ දේ හෝ අදාළ නොවන දේ) ගෙනයෑම සම්පූර්ණයෙන් ම තහනම්. විභාග ශාලාවට අපේක්ෂකයන් පිවිසෙද්දී ශාලා බාර ප්‍රධානීන් මේ පිළිබඳ පිරික්සන අතර ඒවාට ද හසු නොවී සමහර සිසුහු සූක්ෂ්ම ආකාරයෙන් සටහන් රැගෙන යති. සමහර සිසුන් ඇඳුම් හෝ යට ඇඳුම් තුළ හෝ නැතිනම් වෙනයම් ක්‍රමයකින් අසුනොවන පරිදි ඉතා සූක්ෂ්ම ආකාරයෙන් සටහන් රැගෙන ගියත් ඒවා ද ඉතා සූක්ෂ්ම ආකාරයෙන් අල්ලා ගන්නට විභාග ශාලාධිපතිවරු ද දක්ෂය.
විභාග ශාලාවට සටහනක් හෝ සටහන් තැබූ කොළයක් ගෙන යාම වරදක් වන අතර වඩා වැදගත් දේ ඔබ ඒ සටහන භාවිතා කළත් නොකළත් එය ද නීති විරෝධී ක්‍රියාවකි. භාවිත කළත් නොකළත් හසු‍වුවහොත් ඔබට දැඩි දඬුවම් විඳින්නට සිදුවේවි.
මේ සටහන විෂයට අදාළ දෙයක් හෝ කිසිසේත් අදාළ නොවන දෙයක් වුවත් ඔබට එම දඬුවම විඳින්නට සිදුවේ. උදා :- කෙනෙකුගේ සාක්කුවක සටහන් තිබී අසුවුවහොත් එයද වරදකි. එය එළියට ගෙන අසුවුවහොත් එය ද වරදක්. සමහරු විභාග අංකය කොළවල ලියාගෙන යති. එසේ කොළයක ලියාගෙන යාමට විභාග දෙපාර්තමේන්තුව අවසර දී නැත. ප්‍රවේශ පත්‍රයේ B කොටසේ ඔබේ විභාග අංකය ඇති නිසා අමතක වේ යැයි සිතා අංකය සටහන් කර ගෙන යාමට ද කිසිවකුට අවශ්‍ය නැත.
පිටතට එපා
විභාග දෙපාර්තමේන්තුවට අයත් කිසිම කොළයක් විභාග ශාලාවෙන් පිටතට ගෙන යාම ද සපුරා තහනම් ය. ඔබට විභාග ශාලාවෙන් රැගෙන යාමට අවසර දෙන ලද ප්‍රශ්න පත්‍රයක් ඇත්නම් විභාගය අවසානයේදී එය පමණක් රැගෙන යා හැක. විභාග දෙපාර්තමේන්තුවට අයත් කොළ යනු ඔබට පිළිතුරු සැපයීමට දෙන කොළය. මේවා කිසිසේත් ඉතුරු වූ ඒවා යැයි කියා පිටතට ගෙන යාම නොකළ යුතු ය. අපේක්ෂකයාට බැහැරට ගෙන යාමට අවසරය ලබාදෙන ප්‍රශ්න පත්‍ර තීරණය කරන්නේ විභාග ශාලාධිපතිය. එසේ අවසරය ලැබුණු කොළ පමණකි ඔබ පිටතට ගෙන යා යුත්තේ. ප්‍රශ්න පත්‍රයේ උපදෙස් වලද ‘බැහැරට ගෙන යා හැක’ ‘ඇමිණීමට අවශ්‍ය නැත’ කියා ඒවායේ සඳහන් ය.
ලිපි ද්‍රව්‍ය ගෙන යාම සම්පූර්ණයෙන් ම තහනම් වෙයි‍. අපි කොතරම් දැනුවත් කළත් සමහර ශිෂ්‍යයන් කොළ පිටතට රැගෙන යති. සමහර ශිෂ්‍යයන් ලියන්න දුන් හිස් පිටපත හොරෙන් ගෙදර ගෙන ගොස් දිනය වෙනස් කර අවශ්‍ය තොරතුරු ලියා පසුදින විභාගයට ඒ කොළය රැගෙන එයි. එය කොතරම් ළඟ තබා ගැනීමට උත්සාහ කළත් විභාග ශාලාධිපතිවරුන්ට පරණ කොළය හඳුනා ගැනීම එතරම් අපහසු නැත. පිළිතුරු පත්‍රයේ ඇති අස්සන දෛනිකව වෙනස් වෙයි. ඒ හරහා පෙර දින පිළිතුරු ලියන්න ලබාදුන් කොළය කුමක්ද අද ලබාදුන් කොළේ කුමක් ද යන්න පහසුවෙන් හඳුනාගත හැක. මේ නිසා බොහෝ දෙනා දුර දිග කල්පනා නොකර අමාරුවේ වැටෙති.
පසුගියදා පැවැති විභාගයකදී විභාගය පැවැත්වීමට ප්‍රථම ශාලාධිපති විසින් සටහන් ඉවත් කරන්න යැයි සිසුන්ට දැනුම් දෙන ලදී. ඉවත් කළ කොළ අතර එක්තරා සිසුවකු කලින් දින විභාග ශාලාවෙන් පිටතට ගෙන යා නොහැකි පිළිතුරු පත්‍රයක්ද තිබී අසුවිය. මේ නිසා ඔහුට දඬවම් නියම විය. දඬුවම් නියම ව‍ූයේ සටහන් ළඟ තබාගත් නිසා නොව පෙරදින කඩදාසි විභාග ශාලාවෙන් පිටතට ගෙන යෑමේ වරදිනි.
විභාග කොළ වෙනත් කටයුතු සඳහා භාවිතා කිරීම ද දඬුවම් ලැබිය යුතු වරදකි. බොහෝ විට කාර්ය මණ්ඩලයද මේ ආකාරයෙන් කටයුතු කළොත් දඬුවම් ලැබෙන වරදකි. ඉතිරි වූ සියලු කොළ නැවත භාරදිය යුතු ය.
කොළ කැබලි
සමහර අය සටහන් ලෙස කොළ කැබලිවල පමණක් නොව ‍ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ද ළඟ තබා ගනිති. මෙය වත්ම‍ෙන් දැකිය හැකි අලුත් ප්‍රවණතාවයකි. දුරකථන මෙන් ම අයිකෝඩ් හරහා ද සමහරු සටහන් තබා ගනිති. පසුගියදා මේ ආකාරයේ අපූරු සිදුවීමක් විභාග දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට හසුවිය. එක්තරා විභාගයකදී එක්තරා හිමිනමක් ලේන්සුව කනේ තබාගෙන පිළිතුරු ලියන ආකාරයත් පසුව එය නැවතත් කට දෙසටත්, නැවතත් කන දෙසටත් ගෙන පිළිතුරු ලියන ආකාරය කිහිප විටක් නිරීක්ෂණය විය. දකින අයට පෙනී යන්නේ දහඩියට මුහුණ පිසදැමීමක් ලෙස ය. පසුව විමසීමේදී පෙනී ගියේ ලේන්සුව තුළ ‘බ්ලූටූත්’ නම් කුඩා උපකරණය රැඳී ඇති බවයි.
එය විභාගයේ අවස්ථාවේ ක්‍රියාත්මකව ඇති අතර විභාග ප්‍රශ්නය කියමින් පිටතින් පිළිතුරු ලබාගැනීමේ ප්‍රයත්නයක මේ හිමිනම නියැළී ඇත. මෙය සම්බන්ධ වූ දුරකථනය ඇත්තේ විභාග ශාලාවෙන් පරිබාහිර තැනකය. අද ශිෂ්‍යයන් මේ නවීන තාක්ෂණික උපකරණ විභාග ශාලාධිපතිවරුන්ට හොර රහසේ ගෙන ගොස් පිළිතුරු සැපයුව ද ඒ සියලු හොර රහස් අනාවරණය කර ගැනීමට ද දැන් විභාග දෙපාර්තමේන්තුවේ නවීන ක්‍රමෝපායන් ඇත. විභාගයක් පැවැත්වෙන්නට ප්‍රථම ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ‘බ්ලූටූත්’ විවෘත වූ දුරකථන හෝ බ්ලූටූත් උපකරණ මොනවාද යන්න සෙවීමට විභාග ශාලාධිපතිවරු කටයුතු කරති.
එක්තරා අවස්ථාවක විභාගයට පෙනී සිටි සිසුවෙක් බරපතළ ලෙස කැඩුම් බිඳුම් තුවාලයක් සේ අතවෙලාගෙන විභාග ශාලාවට පැමිණ ඇත. ඔහුගේ අත තුළ රඳවාගෙන ඇත්තේ ජංගම දුරකථනයකි. මෙයත් විභාග ශාලා‍ධිපතිවරුන්ට හසුවී දඬුවම් විඳින්නට ඒ සිසුවාට සිදුවිය. විභාග වංචා තුළ සිසුන් විසින් කරන මෙවන් රසවත් සිදුවීම් ඕනෑ තරම් ය. ඒ සියල්ල ග්‍රහණය කර ගැනීමට හැකි සූක්ෂ්ම මෙන් ම නවීන උපකරණ ද අද විභාග දෙපාර්තමේන්තුව සතු බව සිසුන් දැනගත යුතු කරුණකි.
විභාගයට තහංචි
මෙවැනි අනවශ්‍ය සටහන් ළඟ තබා ගැනීම නිසා විෂය අවලංගු කිරීම, විභාගය අවලංගු කිරීම මෙන් ම ජීවිත කාලයටම විභාග තහංචි පැනවීම ආදී දඬුවම් වලට යටත් වෙයි. එසේත් නැතිනම් අධිකරණ ක්‍රියාවලියට යාම සිදුවෙයි. විභාග කොමසාරිස් ජනරාල් තුමාගේ තීන්දුවට අනුව මේ දඬුවම පැමිණෙන බව සිසුන් දැනගත යුතු ය‍.
මේ වසරේ සිට අදාළ වැරැදි කළ අයට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියාට (පත්වීම් බලධාරියාට) දැන්වීමක් කරයි. මොහු විභාග වංචාවක් කර ඇති අතර දඬුවම් ද දී ඇති හෙයින් වෘත්තිමය වශයෙන් දඬුවම් ද ලබා දෙන්නැයි කියා මේ අයට දන්වා යවයි. එය මේ වසරේ සිට ක්‍රියාත්මකයි.
විභාගයේදී නො කළ යුතු වැරැදි අතර කාර්ය මණ්ඩලය විසින් ද සිදු කරන්නාවූ වැරැදි ප්‍රමාණය අපමණය. විභාග වලට උදව් කිරීම මෙන් ම තම රාජකාරියට නොපැවරුණ කොටස් කිරීම නිසා ද විභාග පනත යටතේ දඬුවම් කිරීමට සිදුවේ. සමහර අය සමහර අපේක්ෂකයන්ට උදව් කිරීම මේ අතර ප්‍රධානය. මේවා විභාග ප්‍රධානීන්ට හසු කරගත හැකි ක්‍රම දෙකකි. එකක් වන්නේ විභාග ශාලාවේදී හසුකර ගැනීම ය. දෙවැන්න උත්තර පත්‍ර පිරික්සීමේදී එම වංචාව හසුකර ගත හැක.
යම් සිසුවකුගේ විභාග ප්‍රතිඵල නැවැත්වූයේ යැයි සිතමු. විභාග ශාලාවේදී ඔහු අතින් වරදක් සිදුවූයේ නැතිනම් ඒ ඇයි ද යන්න විමසීමට ඔහු අප වෙත පැමිණිය හැක. විමර්ශනයේදී පෙනීගියේ ඔහු තවත් අයකුගේ උත්තර පත්‍රයෙන් කොපි කර තිබී එය උත්තර පත්‍ර පිරීක්සීමේදී අසුවී ඇති බවයි.
එක සමාන පිළිතුරු ද හඳුනාගත හැක. ශාලාවේදී කාර්ය මණ්ඩලයේ උදව් ලැබුණහොත් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙයි. මේ අනුව පසුවදාට ඒ තොරතුරු ඔස්සේ ගොස් අත්අඩංගුවට ගැනීම් සිදු කළ හැක.
පැමිණිලි
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී ශිෂ්‍යයෝ අනවශ්‍ය දේ ලිවීම ඔවුන් කරන තවත් බරපතළ වරදක්. කවි, අසභ්‍ය වචන, අසභ්‍ය පිංතූර, අනවශ්‍ය පිංතූර, අභියාචනා ආදිය ලියයි. සමහර සිසුන් කිසිම පිළිතුරක් නොදී මේවායින් ම ප්‍රශ්න පත්‍රය පුරවයි. අ‍ඳෝනා ප්‍රශ්න පත්‍රවල නොඅඩුව දකින්නට ලැබෙන දෙයකි. පසුගියදා පැවැති සා/ පෙළ විභාගයක සිසුවෙක් සිය ප්‍රශ්න පත්‍රයේ නයි ‍තිදෙනෙකුගේ ඡායාරූප සහිත සටහනක් ඇඳ තිබුණි. එයින් එක් නයෙක් ඉදිරියේ සටහනක් දමා තිබුණේ “මේ නයා මට ඉදිරි පස සිටින එකා කාපිය” යනුවෙනි.
ඒ තමාට පිළිතුරු පත්‍රය නොපෙන්වීම නිසා ය. දෙවැනි නයාට දමා තිබුණේ “මේ නයා මා අසලින් යන විභාග නිරීක්ෂකයා කාපිය” යනුවෙනි. ඒ තමාට කොපි කිරීමට බාධා වන නිසා ය. තෙවැනි නයාට දමා තිබූ සටහන වන්නේ “මේ නයා විභාග ප්‍රශ්න පත්‍රය හදපු එකා කාපිය කියා ය” ඒ තමාට අමාරු ප්‍රශ්න පත්‍රයක් හැදීම නිසා ය. මෙවැනි වූ හාස්‍යජනක විකාරරූපී පිංතූර අදහස් ප්‍රශ්න පත්‍ර වල අනන්තවත් තිබුණ ද ඒවා ලිවීමෙන් කාලය මෙන් ම ලකුණු ද ගිලිහී යන අවස්ථා ඕනෑ තරම් ය. සමහරු අ‍ඳෝනා සමඟ මුදල් ද අමුණති. මෙය ශිෂ්‍යයන් කරන බරපතළ වරදකි. එක්තරා අවස්ථාවක එක්තරා විභාගයක අපේක්ෂකයෙක් ප්‍රශ්න පත්‍රය සමඟ රු. 15,000 ක මුදල් ඇමිණීමක් කර තිබුණි. එසේ ඇමිණීම තුළත් ඔහුට හෝ ඇයට විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයට පැමිණි උත්තර බැඳීමට ද සිදුවෙයි.
මේ මුදල් රජයේ ආදායමට බැර කරන අතර සිසුන්ගේ කිසිම අපේක්ෂාවක් ඉන් ඉටුනොවේ.
අත් අකු‍රු
ප්‍රශ්න ‍උත්තරවලට අමතරව කිසිම දෙයක් ප්‍රශ්න පත්‍රයක සටහන් කළොත් එයට විමර්ශනයක් සිදු කරන අතර එයට දඬුවම් විඳීමට ද සිසුවාට සිදුවෙයි. සිසුන් නොදන්නා කරුණක් වන්නේ විභාග ශාලාවේදී යමකු වරදක් කළොත් එය අසුනොවූයේ නම් අනිවාර්යයෙන් ම එම වරද හෝ වංචාව උත්තර පත්‍ර පිරීක්සීමේදී අසුවෙයි. විභාග ශාලාවෙන් ඉවතට ගිය පසු තමන් අසු නොවුණා යැයි සිතීම මුලාවකි.
ප්‍රශ්න පත්‍රයේ අත්අකුරු ගැටලුකාරී නම් ඒවා පිරික්සීමට රස පරීක්ෂකට යවයි. බොහෝ ශිෂ්‍යයන් ළඟ ළඟ ඇති අයගේ ප්‍රශ්න පත්‍ර හුවමාරු කරගෙන අමුණන අවස්ථා ඇත. තමන්ගේ ම අත්අකුරු කිහිප වර්ගයක් තිබුණ ද එය නොලියන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවිය යුත්තේ එකම අත්අකුරිණි. එක්තරා ප්‍රශ්න පත්‍රයක අත්අකු‍රු වර්ග 16 ක් තිබී එයට විමර්ශනයක් විභාග දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී පෙනී ගියේ එය එක් සිසුවකු සතු හැකියාවක් වීමයි. අවසානයේ මේ ප්‍රශ්න පත්‍රය පිළිගන්නේ එක් එක් අත්අකුරු ඒ සිසුවා විසින් විදුහල්පති ඉදිරියේ සහතික කිරීමෙන් අනතුරුව ය. ඔබට කොතෙක් හැකියාවක් තිබුණ ද විවිධ අත්අකුරින් පිළිතුරු පත්‍රයට පිළිතුරු දීමෙන් ඔබ පමණක් නොව විභාග දෙපාර්තමේන්තුව ද අනවශ්‍ය අපහසුතාවයකට පත්විය හැක. සමහර විට එහි පාඩුව ඔබටම විඳින්නට සිදුවිය හැකි නිසා එක් අත්අකුරු වර්ගයක් පමණක් භාවිතා කරන්නට හුරු වන්න.
සමහර ශිෂ්‍යයන් ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගි නොවී සහභාගි වූවා යැයි පවසා විභාග දෙපාර්තමේන්තුවට පැමිණෙයි. බොහෝ මවුපියන් ප්‍රායෝගික පරීක්ෂණය සිදුකරන ශාලාවට ම ගොස් දරුවන් බැස්සුව ද ළමයින් විභාගයට පෙනී නොසිට මඟ හැර ඇත. මෙයට විමර්ශනයක් කැඳවීමේදී පෙනී යන්නේ මවුපියන්ට හොර ‍රහසේ සිසුන් විභාගයට පෙනී නොසිටි බවයි.
යමකු වෙනුවෙන් තවකෙකු විභාගයට පෙනී සිටීම තවත් සමහරු කරන වරදකි. මෙය අත්සනින්, හැඳුනුම්ප‍තින් හඳුනාගත හැක. බොහෝ විට හසුකර ගන්නේ ඔත්තුවෙනි. සමහර අය හැඳුනුම්පත් වෙනස් කරමින් විභාගයට පෙනී සිටි අවස්ථා තිබුණ ද ඒවා විභාග දෙපාර්තමේන්තුවේ සූක්ෂ්ම ඇසට අසුවේ. වෙනස් කරගන්න හැඳුනුම්පත් හඳුනාගැනීමේ විශේෂ ක්‍රම ද පරීක්ෂකවරු සතුව පවතී.
විභාග ශාලාවට මකන දියර ගෙනයාම මෙන් ම මකන දියර භාවිතය ද ‍තහනම් ය. මකන දියර භාවිතා කිරීමෙන් පිළිතුරු පත්‍රවල අනවශ්‍ය ගැටලු මතුවිය හැක.
හොඳින් බලන්න
අස්සන සහතික කරගෙන නොපැමිණීම ද ශිෂ්‍යයන් කරන තවත් වරදකි. පිළිතුරු පත්‍ර හරියට භාර නොදීම තවත් වරදකි. උත්තර පත්‍ර භාරදීමට ප්‍රථම සියලු කොටස් අමුණා ඇත් ද යන්න පිරික්සිය යුතු ය. පසුව ගෙනැවිත් භාරදීම වරදකි.
රතු, දම්, කොළ මෙන් ම විවිධ පාට වර්ග සහිත පෑන් භාවිතා කරමින් පිළිතුරු ලිවීම තවත් වරදකි. විභාගයට පිළිතුරු පත්‍ර ලිවීමේදි භාවිත කළ යුත්තේ නිල් හා කළු පෑන් පමණි. උපදෙස් වලට පටහැනිව පිළිතුරු නොලිය යුතු ය.
පැන්සලෙන් උත්තර සැපයීමට එපා යැයි උපදෙස් ලබා දී ඇතිවිට පැන්සලෙන් පිළිතුරු නොසැපයිය යුතු ය. උපදෙස් වලට පටහැනිව පිළිතුරු සැපැයීම ලකුණු ලබා නොදීමට හේතුවකි.
සමහරු හොර රහසේ පිළිතුරු පත්‍ර මාරු කරගෙන පිළිතුරු සපයයි. මෙය පිළිතුරු ඇගැයීම් ක්‍රියාවලියේ දී හසුවන අතර එය විශාල වරදකි. තමන්ගේ ස්ථානයේ නැතිව වෙනත් ස්ථානවල වාඩිවීම ද වරදකි. වෙන අයකු නොමැති යැයි සිතී එතන වාඩි වී පිළිතුරු සැපයීම වරදකි. පිළිතුරු මේස වල ලිවීම ද වරදකි‍. විභාග ශාලාවට කලින් ඇතුළුවීම ද වරදකි.‍ සමහරු පිළිතුරු පත්‍රයේ දුරකථන අංක, නම, ලිපිනය, පදිංචි ප්‍රදේශ ආදිය සඳහන් කරයි. එවැනි ඒවා විමර්ශනයට කැඳවා අදාළ දඩුවම් දෙන්නට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
පිළිතුරු ලිවීමේදී වැරැදියට ලියවුණොත් එය කපා දැමීම පමණක් කළ යුතු අතර පිළිතුරු පත්‍ර වැරැදි යැයි සිතා ඉරා නොදැමිය යුතු ය. පිළිතුරු පත්‍ර ඉරුවහොත් අනවශ්‍ය සැකයක් මතුවෙයි.
කාලය වැදගත්
විභාග ශාලාවෙන් කලින් නැගිට යාම වරදකි. එසේ උත්සාහ නොකළ යුතු ය. උපරිම කාලය ප්‍රයෝජනයට ගත යුතු ය. විභාග ශාලාවට පැමිණීමේදී පැය 1/2 ක් ප්‍රමාද වුවහොත් ඇතුළුකර නොගනු ලැබේ.
පසුගිය කාලය පු‍රාම සිදුවූ විවිධ වැරැදි වලින් අවසානයේ පාඩමක් උගත්තේ ඒ ඒ සිසුන්ම ය. ඉදිරියේ දී පැවැත්වෙන අ.පො.ස (සා/ පෙළ) විභාගය මුල් කරගෙන විභාග කොමසාරිස් ජනරාල් විසින් නැවතත් මේ පිළිබඳව මෙනෙහි කරන්නේ ඔබ අතින් දැන හෝ නොදැන මේ වැරැදි සිදුවේ යැයි යන අපේක්ෂාවෙනි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි