Wednesday, November 20, 2013

ෆ්‍රෙස්‌කෝ හා ටෙම්පරා

සීගිරි සිත්තරාගේ සිතුවම් තාක්‌ෂණය

කේ. උදේනි අරුණසිරි
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය
කොටුව, ගාල්ල.


පුරාවිද්‍යාඥයන්ගේ ද, කලා විශේෂඥයන්ගේ ද හා රසිකයන්ගේ ද මහත් අවධානයට ලක්‌වන්නා වූ සීගිරිය වූ කලී අතීතයේදී මෙන්ම වර්තමානයේ ද බිතුසිතුවම් කලාවට ලැදියාවක්‌ දැක්‌වු මිනිසුන්ගේ අවධානයට පාත්‍ර වූ ලොව වැදගත්ම පෞරාණික ස්‌ථානවලින් එකක්‌ ලෙස සැලකිය හැකි වේ. සීගිරි බලකොටුව පළමුවන කාශ්‍යප (ක්‍රි. ව. 417 -495) රජු විසින් නිර්මාණය කළද සීගිරියේ ඉතිහාසය ඊට ශතවර්ෂ ගණනාවකට පෙර ඇරඹෙයි. කිස්‌තු පුර්ව තුන්වන ශතවර්ෂයේ සිට ක්‍රිස්‌තු වර්ෂ දෙවන ශතවර්ෂය දක්‌වා කාලයට අයත් බ්‍රාහ්මී ලිපි කිහිපයක්‌ සීගිරි පර්වතය පාමුල පිහිටි ගල් ලෙන්වල දක්‌නට ඇත. සීගිරිය වර්තමානයේ ලෝක උරුමයක්‌ වීමට බලපෑ ප්‍රධාන ලක්‌ෂණය වනුයේ එහි දක්‌නට ලැබෙන සිතුවම්ය. සීගිරියේ ප්‍රධාන සිතුවම් පන්තිය මහා පර්වත බෙයදෙහි බටහිර ප්‍රදේශ මුහුණතෙහි පිහිටා ඇත. මෙහි දැනට ඉතිරි වී ඇති රූප ප්‍රමාණය 23 ක්‌ වන අතර ඒ සියලුම රූප ස්‌ත්‍රී රූප වේ. එම ලලනා රූප වලාකුළු අතර පාවෙමින් සිටින ආකාරයට දක්‌වා ඇති අතර සියලුම රූපවල උඩුකය පමණක්‌ නිමවා තිබීම විශේෂය.

අනුරාධපුර අවධියේ සිතුවම් නිර්මාණය කිරීමේ දී යොදාගත් තාක්‌ෂණික විධික්‍රම අධ්‍යයනය කරන විට ඉතාමත් වැදගත් ස්‌ථානයක්‌ සීගිරි සිතුවම්වලට හිමි වේ. කලාකෘතියක්‌ ඇගයීමේදී එහි කලාත්මක බව ගැන පමණක්‌ නොව ඒ සඳහා යොදාගත් ශිල්පක්‍රම ගැනද සැලකිලිමත් වීම වටී. විශේෂයෙන්ම පැරැණි කලාකෘතියක්‌ ඇගයීමේදී එහි ශිල්පක්‍රමය, තාක්‌ෂණය පිළිබඳව දැක්‌විය යුතු සැලකිල්ල අති විශාලය. එවැනි කලාකෘතියක්‌ අද දක්‌වා ආරක්‌ෂා වී පවතින්නේත්, එහි විද්‍යමාන ස්‌වරුපය රඳාපවතින්නේත් ඒ සඳහා යොදාගෙන ඇති තාක්‌ෂණික ක්‍රියාමාර්ගවල සාර්ථකභාවය නිසාමය. මෙරට සිතුවම් කලාවේ කැඩපත එනම් හෙල සිත්තරාගේ ලකුණ ලෙස සීගිරි සිතුවම් අදටත් වැජඹෙන්නේ එම සිතුවම් නිර්මිත සුවිශේෂී තාක්‌ෂණයේ බල මහිමයෙන් ඒවා අද දක්‌වා නොනැසී පැවතීම හේතුවෙනි. සීගිරි බිතුසිතුවම් නිර්මාණකරණයේ තාක්‌ෂණය දෙස අවධානය යොමුකරන විට චිත්‍ර කර්මය සඳහා පර්වත පෘෂ්ඨය සකස්‌ කර ඇති ආකාරය, බදාම තට්‌ටුවේ සංයුතිය සහ චිත්‍රණය කළ ක්‍රමය පිළිබඳව සැලකීම වටී.

සීගිරි බිතුසිතුවම්හි තලය ලෙස භාවිත පර්වත පෘෂ්ඨය මත බදාම ස්‌ථරය හෝ ස්‌ථරයන් යෙදීමට පෙර පර්වත පෘෂ්ඨය සකසාගෙන ඇති ආකාරය පිළිබඳ විවිධ පර්යේෂණ ම`ගින් සාධක ලැබී ඇත. එහිදී මටසිලුටු ස්‌වාභාවික පෘෂ්ඨය ඉවත්කොට රළු පෘෂ්ඨයක්‌ මතු කරගෙන ඒ මත බදාම ස්‌ථරය යොදා ඇති බව අනුර මනතුංග මහතාගේ අදහසයි. කුළුගෙඩි සහ ගල්කටු වැනි දළ මෙවලම් මේ සඳහා යොදාගන්නට ඇති බව ඔහු අනුමාන කරන අතර පර්වත පෘෂ්ඨය මට්‌ටම් කිරීමක්‌ හෝ ක්‍රමවත් සැලැස්‌මකට සකස්‌ කිරීමක්‌ මෙහිදි සිදුවී නැති බව ඔහු තවදුරටත් පෙන්වාදී ඇත. එහිදී කැටපත් පවුර ආශ්‍රිත බටහිර පර්වත බෙයදයේ විශාල කොටසක ස්‌වාභාවික පෘෂ්ඨය මෙලෙස ඉවත් කර ඇත. වැසි දිනවලට පර්වත බෙයදය දිගේ ජලය බැසීම වැළැක්‌වීම සඳහා ඉහළින් කටාරමක්‌ද යොදා ඇති බව මනතුංග මහතා සඳහන් කරයි. නමුත් එම කටාරම ප්‍රමාණවත් නොවු බව දැනට ශේෂ වී ඇති සිතුවම් කිහිපයෙන් සනාථ වේ. පර්වත කෙවෙනි මුළු මනින්ම කැණ සකස්‌ කරගත් ඒවා නොව පර්වත බෙයදයේ පෙර සිට පැවති කුහර බව හඳුනාගෙන ඇත. නමුත් ස්‌වාභාවික පර්වත පෘෂ්ඨය ඉවත් කිරීමේදී මේ කුහරවල විශාලත්වය වැඩිවන්නට ඇත. අනුර මනතුංග මහතා සීගිරි සිතුවම් නිර්මිත පර්වත පෘෂ්ටය මටසිලුටු එකක්‌ නොවන බව පෙන්වාදී ඇති අතර ඒ බව මාලිංග අමරසිංහ මහතා ද සනාථ කර තිබේ. ඒ. වී. සුරවීර මහතාගේ අනුරාධපුර සංස්‌කෘතිය කෘතියේ පෙන්වාදෙන පරිදි පී. ඊ. පී. දැරණියගල මහතා සඳහන් කරන්නේ පර්වත බිත්තිය සමතලා කොට මැටි බදාම ඒ මත යොදා ඇති බවයි. එනම් පෙර සඳහන් කළ රළු පෘෂ්ඨය මත නොව සුමට පෘෂ්ඨයක්‌ මත බදාම ස්‌ථර යොදා ඇති බවය. සිත්තරා පර්වත පෘෂ්ඨය තෝරාගැනීsමෙන් පසු බදාම ආලේපයට ප්‍රථම විෂම පර්වත පෘෂ්ඨයට මඳක්‌ ඔප මට්‌ටම් කර උල් සහිත යකඩයක ආධාරයෙන් එහි සියුම් සිදුරු පන්තියක්‌ සකස්‌ කරගෙන ඇති බව සෝමතිලක මහතා දක්‌වයි. ඒ අනුව ඒ මතුපිට යොදන බදාම ස්‌ථරය ඉතා හොඳින් රළු ගල්තලය මත ස්‌ථිර ලෙසින් රැඳී සිටීමට මෙසේ කළ බවක්‌ පෙනේ. බොහෝවිට මේ කටයුතු සියල්ලම පාහේ දක්‌ෂ ගල්වඩුවකු අතින් සිදුවන්නට ඇත. මෙම කාර්යයේදී සිත්තරාගේ උපදේශයද නිරන්තරයෙන් ලැබෙන්නට ඇත. ගල්පර්වතයේ තිබු විෂමතා එනම් වළගොඩැලි ආදිය එතරම් බාධකයක්‌ ලෙස නොසැලකූ සීගිරි සිත්තරා බුරුල්ව තිබු ගල්පතුරු ගලවා හැරදමා අවශ්‍ය ස්‌ථාන සකසාගන්නට ඇති බවටද මත තිබේ.

මේ සියලු විද්වත් මත සංසන්දනය කිරීමෙන් අපට පෙනීයන්නේ සීගිරි සිත්තරා පර්වත පෘෂ්ඨයේ දැඩි රලු ස්‌වභාවයන් ඉවත් කර මඳ රළු ස්‌වභාවයකින් සකස්‌කරගෙන ඒ මත බදාම ස්‌ථරයන් යොදන්නට ඇති බවය. සිතුවම් පෘෂ්ඨය වඩාත් රළු වුවහොත් මෙන්ම වඩාත් සුමුදු වුවහොත් ගැටලු පැනනගී. වඩාත් රළු පෘෂ්ඨය මත බදාම ස්‌ථර යෙදීමේ අපහසුව මෙන්ම සිතුවම් නිර්මාණයට ද බාධා ඇති වනවා සේම වඩාත් සුමුදු වුවහොත් පර්වත පෘෂ්ඨයට බදාම මනාව නොඅල්ලනු ලැබේ.

සීගිරි සිතුවම් නිර්මාණය කරන ලද තලය සකසා ගැනීමේ දී ඒ සඳහා යොදාගත් බදාමයන්ගේ සංයුතිය පිළිබඳව විද්වතුන් විවිධ පර්යේෂණ සිදුකර අදහස්‌ ඉදිරිපත් කර තිබේ. එහි දී ආනන්ද කුමාරස්‌වාමි මහතා සඳහන් කරන්නේ දහයියා ඇතැම්විට පොල්කොහු එක්‌ කිරීමෙන් ශක්‌තිමත් කරන ලද මැටි (හුඹස්‌) හා කිරිමැටි මිශ්‍රණයක්‌ පළමු කොට අ`ගල් භාගයක්‌ පමණ ඝනකමට යොදා සුදු හුණුවලින් වසා හැන්දකින් පිරිමදිමින් බදාම ආලේප කර තිබෙන බවය. චන්ද්‍රd වික්‍රමගමගේ මහතා ඒ පිළිබඳව ප්‍රකාශ කරන්නේ මැටි, කෙඳි වර්ග හා දහයියා මිශ්‍ර බදාමයක්‌ මත වැලි, මැටි, කෙඳි සහ හුණු මිශ්‍ර බදාමයක්‌ ගා පසුව හුණු ආලේප කර ඇති බවය. සීගිරි බිතුසිතුවම් තලයේ නිෂ්පාදනය පිළිබඳව 1940 මෙරටට පැමිණි ඛාන් බහාදූර් මොහොමඩ් සානා උල්ලා නම් ඉන්දීය රසායන පුරාවිද්‍යාඥයා සුවිශේෂි විස්‌තරයක්‌ දක්‌වා ඇත. ඔහු සඳහන් කරන්නේ බදාම ස්‌ථර තුනක්‌ මත මෙම සිතුවම් නිමකර ඇති බවයි. දැනට සිදුකර ඇති බොහෝ පර්යේෂණ ම`ගින් සීගිරි බිතුසිතුවම් තලය ප්‍රධාන බදාම ස්‌ථර තුනකින් සමන්විත වන බව හඳුනාගෙන ඇති අතර එම ස්‌ථරයන්හි සංයෝග පහත පරිදි හ\qනාගත හැකිය.

පළමු ස්‌ථරය

නන්දදේව විඡේසේකර මහතාට අනුව මෙහි පැළෑටි කෙඳි, දහයියා අඩංගු රතුපැහැ දේශීsය දියළු මැටි ස්‌ථරයක්‌ යොදා ඇති අතර රක්‌ත වර්ණය ගෙනදීමට උපකාරීවන පෙරික්‌ ඔක්‌සයිඩ් ද සැලකිය යුතු ප්‍රමාණයක්‌ එහි අඩංගු කර තිබේ. ඒ මහතා මෙම රතු පැහැ දේශීය දියළු මැටි අක්‌මා රතු පසක්‌ (Liverred) ලෙස හඳුන්වා තිබේ. මෙම පළමු බදාම ස්‌ථරය පිළිබඳව අදහස්‌ දක්‌වන අනුර මනතුංග මහතා එහි අඩංගු පස හුඹස්‌ මැටි විය හැකි බව දක්‌වයි. මෙහි යොදාගෙන ඇති පැළෑටි කෙඳි කැබලි කරන ලද ශාක පත්‍ර හෙවත් පිදුරු බව පෙන්වාදී ඇත. එසේම එම සංයුතියේ නොගෙවුණු වැලිකැට ද අඩංගු බව හෙතෙම හඳුනාගෙන තිබේ. මෙම බදාම ස්‌ථරය පිළිබඳ කරුණු දක්‌වන පී. ඊ. පී. දැරණියගල මහතා වී පොතු, හුඹස්‌ මැටි, මකුළු. කොහු, කසපැන් සහ පැණි යෙදීමෙන් එය තනාගෙන ඇති බව පෙන්වාදෙයි. එය ගල් මුහුණතේ හොඳින් ඇලෙන පරිදි තදින් කොටාගන්නට (බිත්තියේ ආලේප කොට උපකරණයකින් තදකරගන්නට ) ඇති බවද සඳහන් කරයි. නමුත් බෙල් මහතා සඳහන් කරන්නේ මෙය අතින් මට්‌ටම්කර තනාගත් තලයක්‌ බවය. පර්වත පෘෂ්ඨයේ වළ ගොඩැලිවලට අනුව මෙහි ඝනකම විවිධය. ආර්. එච්. ද සිල්වා මහතා පරීක්‌ෂා කළ නියෑදිවලට අනුව මෙහි සාමාන්‍ය ඝනකම සෙන්ටිමීටර් 1.25 ක්‌ පමණ වේ. අග්‍රවාල් මහතා සහ නන්දා වික්‍රමසිංහ මහත්මිය සිදුකරන ලද පර්යේෂණවලට අනුව ඔවුන් සීගිරි සිතුවම් තලයේ පළමු ස්‌ථරයේ සංයුතිය මැටි සහ වැලි මිශ්‍ර බදාමයක්‌ ලෙස දක්‌වයි. එම බදාමයේ කලු පැහැති කුඩා කළු ගල් කැට ද, හණ රෙදි නූල්ද එකතුකර ඇති බව ප්‍රකාශ කර තිබීම සෙසු විද්වතුන්ගේ මතවලට වඩා වෙනස්‌ම සොයා ගැනීsමකි.

දෙවන ස්‌ථරය

සානා උල්ලා මහතා සඳහන් කරන ආකාරයට දෙවන බදාම ස්‌ථරය ලා කළු හෝ අළු පැහැයට ආසන්න පැහැයක්‌ බවද එහි වැලි, මැටි, හුණු හා පැළෑටි කෙඳි කොටස්‌ ද අන්තර්ගත වේ. ඉතා පහසුවෙන් කුඩුකළ හැකි මෙම ස්‌ථරයේ එතරම් ශක්‌තියක්‌ නොමැති බවත් 2.75% ක පමණ හුණු ප්‍රමාණයක්‌ හා 5% ක පමණ කැල්සියම් කාබනේට්‌ ප්‍රමාණයක්‌ද අඩංගු බව සඳහන් කර තිබේ. මෙම බදාම ස්‌ථරය මුල් අවධියෙහි දී බෙහෙවින් ශක්‌තිමත්ව තිබෙන්නට ඇති නමුත් සියවස්‌ ගණනාවක්‌ මුළුල්ලෙහි ස්‌වාභාවික පරිසරයෙහි බලපෑම නිසා වර්තමානය වන විට දුර්වල වී ඇති බවට මත තිබේ. ඇතැම් විට ගොම, ධාන්‍ය වර්ග මැලියම් හා ඉටි වැනි ඇලෙනසුළු ද්‍රව්‍යලුද මේ සඳහා උපයෝගි කරගන්නට ඇතැයි සිතිය හැකි නමුත් විසංයෝජනය නිසා ඒවා කාලයක්‌ සම`ග විනාශ වන්නට ඇත.මෙම මධ්‍ය බදාම ස්‌ථරයේ හුණු, වැලි සහ කළු පැහැති කුඩා ගල්කැට ද එයට සීනි (මී පැණි විය හැක) සහ ඇමයිනෝ අම්ලද මිශ්‍රවී ඇති බවට මත ඇත. අනුර මනතුංග මහතා මෙම මධ්‍ය ස්‌ථරයේ සංයුතිය පිළිබඳව කරුණු දක්‌වමින් පවසන්නේ මේ සඳහා බහුලව මැටි යොදා ඇති බවයි. මඳ ප`ඩුවන් පැහැයෙන් යුත් (මී හරක්‌ හමේ පැහැය) ඒ මැට්‌ට කිරි මැටි ද, පැළෑටි කෙඳි පිදුරු බවට ද එම මහතා පෙන්වා දෙයි. එසේම ශාක පත්‍ර සහ නොගෙවුණු වැලිකැට යන ද්‍රව්‍යයද මෙම ස්‌ථරයේ අඩංගු බව සඳහන් වෙයි. මෙම බදාම ස්‌ථරය මුල් බදාමයේ (පළමු ස්‌ථරයේ) සැම තැනැකම නොමැති බවත් එවන් ස්‌ථානයක්‌ ලෙස -ඒ, කෙවෙනියේ උතුරු කෙළවර දක්‌වා ඇත. එහි ඇත්තේ පාදම් තලය සහ මතුපිට තලය පමණි. මෙම බදාමයේ ඝනකම මි.මී. 5.6- 5.8 අතර වේ.

තුන්වන ස්‌ථරය

අද්විතීය සීගිරි සිතුවම් නිර්මාණය කරන ලද බදාම ස්‌ථරය වන්නේ තෙවන ස්‌ථරයයි. බොහෝ විද්වතුන් සීගිරි සිතුවම්හි බදාම ස්‌ථර තුනක්‌ හඳුනාගත්ත ද මාලිංග අමරසිංහ මහතා බදාම ස්‌ථර දෙකක්‌ පමණක්‌ හඳුන්වා දෙයි. විවිධ විද්වතුන්ගේ දත්ත ඇසුරින් කරණු දක්‌වන එතුමාගේ අදහසට අනුව ගල් පර්වතයේ පළමුව යෙදු බදාමය මත හුණු, පැණි හෝ බිත්තර සුදු මඳ ආදිය එකට අනා සකස්‌ කරගත් බදාමය යොදා සිතුවම් ඇඳ තිබේ. මේ සඳහා ඇතැම්විට දී කිරි ද එකතුකරන්නට ඇත. අමරසිංහ මහතාගේ මෙම අදහස ඒ.වී. සුරවීර මහතා 1961 වර්ෂයේ පළකරන ලද අනුරාධපුර සංස්‌කෘතිය නම් ග්‍රන්ථයේ දී පෙන්වාදී ඇති බව තහවුරුවේ. සානා උල්ලා මහතාගේ මතය අනුව තෙවැනි ස්‌ථරය තුනී බදාම තට්‌ටුවක්‌ වන අතර එය අ`ගලකින් අටෙන් එකක්‌ වේ. එහි වැලි හා හුණු 17.5% ක ප්‍රමාණයක්‌ අඩංගු බවද සඳහන් කරයි. එම බදාමය මතුපිට හොඳින් සිතුවම් ඇඳීමට හැකිවන පරිදි හුණු ස්‌ථරයක්‌ යොදා මැනවින් ඔප මට්‌ටම් කර තිබේ. මෙම සම්පුර්ණ බදාමයේ ඝනකම අ`ගලකින් අටෙන් තුනේ සිට අ`ගල දක්‌වා පර්වත පෘෂ්ඨයේ ආකෘතිය අනුව වෙනස්‌ වී ඇත. මෙම තෙවන බදාමය හුණු තට්‌ටුවක්‌ පමණක්‌ බවටද මත තිබේ. මෙම මතුපිට තලය ඉතා සියුම් එකක්‌ වන අතර සුදු පැහැයෙන් යුක්‌ත වේ. මෙහි හුණු 33.3% ක්‌ද මැටි 0.43% ක්‌ද වන බව අමරසිංහ මහතා දක්‌වයි. එසේම බෙල් මහතා ප්‍රකාශ කරන්නේ මෙම තලය බදාම හැන්දක්‌ උපයෝගිකරගෙන මනාව මට්‌ටම් කර ඇති බවය. මෙහි ඝනකම මි.මී 4-4.6 ක්‌ බව දක්‌වන අතර ඒ අනුව උපරිමය මි. මී. 4.6 කි.

මෙම කරුණු සැලකිල්ලට ගැනීsමේදි බොහෝ විද්වතුන් සීගිරි සිතුවම් නිර්මාණය සඳහා බදාම ස්‌ථර තුනක්‌ යොදාගෙන ඇති බව පෙන්වා දෙන බව සනාථ වේ. මෙම ස්‌ථර තුනේම බැඳියම් මාධ්‍ය ලෙස ශාක මැලියම් සහ වියළි තෙල් අඩංගුකර තිබෙන බවට මත පවතී.

සීගිරි සිතුවම් නිර්මිත තලයේ තාක්‌ෂණික පසුබිම හඳුනාගත් පසු එම සිතුවම් අඳින ලද ශිල්පක්‍රමය පිළිබඳව ද අවධානය යොමු කිරීම වටී. බදාමයක්‌ මත චිත්‍රණය කිරිමේ මූqලික ශිල්ප ක්‍රම දෙකක්‌ ඇති අතර ෆ්‍රෙස්‌කෝ හා ටෙම්පරා යනු එම ක්‍රම දෙකය. මීට අමතරව ෆ්‍රෙස්‌කෝ සෙකෝ නැමැති ක්‍රමයක්‌ ද වේ. ෆ්‍රෙස්‌කෝ ක්‍රමයේදී සිත්තරා තෙත බදාමය මත චිත්‍රණය කරන අතර ටෙම්පරා ක්‍රමයේදි වියළි බදාමය මත චිත්‍රණය කරනු ලබයි. මෙම ක්‍රම දෙකේ සංකලනයක්‌ ලෙස ෆ්‍රෙස්‌කෝ සෙකේ හඳුනාගත හැක. මෙහිදී වියළි බදාමයක්‌ මත චිත්‍රණය කරන අතර නමුත් සිතුවම් ඇඳීමේදී බදාමය තෙත් කරගත යුතුය. එසේම වර්ණ වර්ගද හුණු දියරයක බහා තෙම්පරාදු කරගත යුතුය.

මෙම ක්‍රම අතරින් සීගිරි සිත්තරා අනුගමනය කළ ක්‍රමය කුමක්‌ද යන්න පිළිබඳව විවිධ මත තිබේ. බෙල් මහතා එය ටෙම්පරා ක්‍රමය බව පවසයි. නමුත් පසුව ඔහුම මෙය ෆ්‍රෙස්‌කෝ බව හඳුන්වා දෙයි. සානා උල්ලා මහතා සඳහන් කරන්නේ මෙය ටෙම්පරා ක්‍රමය බවය. නමුත් ඩී. බී. ධනපාල මහතා සහ මහානාම දිසානායක මහතා මේ සිතුවම් ෆ්‍රෙස්‌කෝ ක්‍රමය මත අඳින ලද බව පවසයි. විවිධ විද්වතුන්ගේ අදහස්‌ හි සාරය කැටිකරගත් අනුර මනතුංග මහතා ප්‍රකාශ කරන්නේ මෙම සිතුවම් ටෙම්පරා ක්‍රමයෙන් ඇඳ ඇති බවය. අග්‍රවාල් මහතා සහ වික්‍රමසිංහ මහත්මිය මෙම සිතුවම් ක්‍රමය ෆ්‍රෙස්‌කෝ ලස්‌ට්‍රොa (Fresco Lustro) බව සඳහන් කර ඇත. ෆ්‍රෙස්‌කෝ ක්‍රමය ම`ගින් මෙම සිතුවම් නිර්මිත බව අබේරත්න බණ්‌ඩා මහතාද කරුණු දක්‌වා තිබේ. එනම් බදාමය වේලෙන්නට පෙර සිතුවම් ඇඳි බවය. චන්ද්‍රd වික්‍රම ගමගේ මහතා සඳහන් කරන්නේ මෙම සිතුවම් වියළි බදාමය මත කර ඇති බවයි. පාරම්පරික චිත්‍ර ශිල්පීs චාර්ල්ස්‌ මහතා සඳහන් කරන්නේ තෙත බදාමයේ සිතුවම් නිර්මාණය එකල සාම්ප්‍රදාය නොවන බවයි. ෆ්‍රෙස්‌කෝ ක්‍රමය වන තෙත බදාමයක්‌ මත ඇඳීම දිය සායමින් කළයුතු වේ. මෙම ක්‍රමයේදී වර්ණය බදාමය හා දැඩි අන්තර් සබ`දතාවයක්‌ ඇති කරගනී. ටෙම්පරා ක්‍රමයේදී මෙන් සිතුවම පතුරු වශයෙන් ගැලවී නොයා මුළු බදාමයම පමණක්‌ ගැලවීගිය හොත් පමණක්‌ සිතුවම ගැලවී යා හැකිය. නමුත් වර්ණයේ පැහැය අඩු වී යා හැක. සීගිරි චිත්‍ර මෙසේ ෆ්‍රෙස්‌කෝ ක්‍රමයට සකසන ලද බව පිළිගැනේ. තෙත බදාමය මත සිතුවම් ඇඳීමේදී තෙල් සායම් වර්ණ භාවිතා කළ නොහැක. මන්ද තෙල් මිශ්‍රණ වර්ණ තෙත බදාමය හා එක්‌ නොවන නිසාවෙනි. නමුදු ඇතැම් උගතුන්ගේ මතය වන්නේ සීගිරි සිතුවම් තෙල් සායමින් ඇඳ ඇති බවය. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන නන්දදේව විඡේසේකර මහතා දක්‌වන්නේ පරෙස්‌සමෙන් කරන ලද පරීක්‌ෂණවලදී ශිල්ප ක්‍රම දෙකේම ලක්‌ෂණ අනාවරණය වු බවය. ඒ අනුව මෙහි ෆ්‍රෙස්‌කෝ හා ටෙම්පරා යන ක්‍රම දෙකෙහි මිශ්‍රණයක්‌ අන්තර්ගත විය හැකි බව ඔහු අනුමාන කරයි. ඒ මහතා තව දුරටත් සඳහන් කරන්නේ එකල රෝමය හා පැවැති සම්බන්ධතා බෙහෙවින් කිට්‌ටු ලෙස පැවති හෙයින් නියම ෆ්‍රෙස්‌කෝ ක්‍රමය සිංහලයන් අතර ප්‍රකට වන්නට ඇති බවය. ඒ අනුව නියම ෆ්‍රෙස්‌කෝ ක්‍රමයද ඉගෙන සිටි සිංහල සිත්තරුන් විසින් දේශීය තත්ත්වයන්ට හොඳින්ම යෝග්‍ය වන සේ වෙනස්‌කර දේශීsය මුහුණුවරක්‌ මෙහිදී යොදාගන්නට ඇති බවය. පී. ඊ. පී. දැරණියගල මහතා පෙන්වා දෙන්නේ බදාම තට්‌ටුව සහමුලින් වියළෙන්නට පෙර මෙම සිතුවම් ඇඳ ඇති බවයි. එසේ අඳින ලද සිතුවමෙහි පළඳනාවන්ගේ මැණික්‌ ගල් කැබලි ඔබ්බවන ලද බවටද එතුමා අනුමාන කරයි.

මේ අනුව පැහැදිලිවන්නේ සීගිරි සිතුවම් නිර්මිත ශිල්ප ක්‍රමය පිළිබඳව විද්වතුන් අතර තවමත් මත විචාර පවතින බවයි.
 


http://www.divaina.com/2013/11/20/badada01.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි