පුවත්පත්වල පළවීම නිසා කෙටිකතාව බාලවෙලා
- ටෙනිසන් පෙරේරා
කෙටිකතා, නවකතා මෙන් ම පරිවර්තන කෘති රචකයෙක් වන ටෙනිසන් පෙරේරා, විසින්
පරිවර්තනය කර සම්පාදනය කරන ලද ඊසොප්ගේ උපමා, කතා සංග්‍රහය සහ රබීන්ද්‍රනාත්
තාගෝර්ගේ විශිෂ්ටතම කෙටිකතා යන කෘති යුගල අගෝස්තු 04 වැනිදා කැලණිය රජමහා
විහාර පරිශ්‍රයේදී ජනගත කිරීමට නියමිත ය. මේ එම කෘති යුගල සම්බන්ධව ටෙනිසන්
පෙරේරා සමඟ කළ සංවාදයකි.* පරිවර්තනය සඳහා රබීන්ද්‍රනාත් තාගෝර්ගේ කෙටිකතා තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණද?
රබීන්ද්‍රනාත් තාගෝර් - කියන්නේ පාඨකයන්ට ඉතා වැදගත් වන රචකයෙක්. ඒ වාගේම ඔහු ශ්‍රී ලාංකේය පාඨකයන් හොඳින් හඳුනන ලේඛකයෙක්. තාගෝර් ආසියාවේ නූතනවාදී ලේඛකයෙක් ලෙසත් සලකනවා. ඔහු නවකතා, කෙටිකතා ගොඩාක් රචනා කර තිබුණත්, ඔහුගේ බහුතරයක් කෙටිකතා ලංකාවේ පළවෙලා නැහැ. මම පහුගිය කාලේ ඔහුගේ කෙටිකතා 150ක් විතර එක්රැස් කරගත්තා. එයින් තෝරාගත් කෙටිකතා 22ක් මගේ කෘතියේ අන්තර්ගත වෙනවා. මම තෝරාගත් කෙටිකතා අතුරින් කෙටිකතා 3ක් හැර අනෙක් එකක්වත් මෙතෙක් ලංකාවේ පළ වෙලා නැහැ.
* තාගෝර්ගේ කෙටිකතා කලාව අනෙකුත් කෙටිකතාවන්ගෙන් වෙනස්වන්නේ කුමන හේතු කාරණා නිසාද?
තාගෝර්ගේ කෙටිකතාවල නූතනවාදී ස්වරූපයක් තිබෙනවා. ඔහු කෙටිකතා ලියලා තිබෙන්නේ වසර සියයකටත් ඉහතදී වුණත් අදටත් ඒවා වලංගුයි. අද තිබෙන සමාජ ප්‍රශ්න බහුතරයක් ඒවායේ කතා කරලා තිබෙනවා. එදා භාරතීය සමාජයේ දරුණු ලෙස පැවැති ස්ත්‍රී පීඩනය, කුල පීඩනය ආදිය තාගෝර් සිය කෙටිකතා තුළ මැනවින් නිරූපණය කර තිබෙනවා. ඒත් ඔහු ඒවා රචනා කර තිබෙන්නේ ප්‍රචාරකවාදී ස්වරූපයෙන් නොවෙයි. ඔහු ඒවා පාඨකයන් වෙත ගෙන ආවේ කලාත්මක පරිකල්පනයෙන් යුතුවයි. එය තාගෝර්ගේ කතා කලාවේ එක් විශේෂත්වයක්. ඔහුගේ ප්‍රතිභාව, පරිකල්පන ශක්තිය ආදිය අනෙකුත් ලේඛකයන්ට වඩා විශේෂයි.
* මේ කෙටිකතා පරිවර්තනයේදී ඔබ ලාංකීය සමාජයට ගැළපෙන පරිදි ඒවා වෙනස් කළාද?
තාගෝර්ගේ කෙටිකතා ඔහු ඉන්න කාලේ පටන් විවිධ ලේඛකයන් පරිවර්තනය කර තිබෙනවා. තාගෝර් මුල්වතාවට කෙටිකතා ලියලා තිබුණේ වංග බසින්, ඒ නිසා පසුකාලීනව ඔහුගේ කෙටිකතා ඉංග්‍රිසියට පරිවර්තනය කෙරුණා. ඒ අතරින් තාගෝර්ගේ කතා කලාවට ගැළපෙන ලක්ෂණ ඇතියි කියලා හිතෙන පරිවර්තනය තමයි මම තෝරා ගත්තේ. මගේ පරිවර්තනයේදී මම කිසිම දෙයක් ඉවත් කළේ නැහැ. කතාව, අන්තර්ගතය, කතා රිද්මය ඒ ආකාරයෙන්ම තිබෙනවා. ඒ නිසා තාගෝර්ගේ කෙටිකතාවල නියම ස්වරූපය මගේ කෘතියේ තිබෙනවා. සාමාන්‍යයෙන් පරිවර්තනයකදී සීමිත ප්‍රමාණයක් ගිලිහෙන්න පුළුවන්. ඒ තත්ත්වය නැතිකරන්න මම පරිවර්තකයෙක් ලෙස උත්සාහ කළා. ඒ වගේම මේය සරල පරිවර්තනයක්. මෙය පාඨකයාට රසවිඳිය හැකි හොඳ කතා සරණියක් වෙයි කියලා මම හිතනවා.
* තාගෝර්ගේ කෙටිකතා කලාවෙන් ලාංකේය කෙටිකතාකරුවන්ට ලබාගත හැකි ආදර්ශ මොනවාද?
ලාංකේය කෙටිකතා කලාවේ අන්තර්ගතය වැඩිය පෝෂණය වෙලා නැහැ. තාගෝර්ගේ කෙටිකතා කියවද්දී තේරෙනවා ඒවා කොයිතරම් ජීවිතයට බද්ධවෙලා, අන්තර්ගතය සකස් වෙලා තිබෙනවාද කියලා. අපේ නවක ලේඛකයන්ට වගේම ප්‍රවීණයන්ටත් තාගෝර්ගේ කෙටිකතාවලින් ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. සමාජ යථාර්ථය ස්පර්ශ කරන්නේ මොන පැති ද කියලා මේ කෙටිකතාවලින් ඉගෙන ගන්න පුළුවන්. තාගෝර් සිය කෙටිකතා රචනා කර තිබෙන්නේ සමාජය විනිවිද දකිමින්.
ඇතැම් අවස්ථාවල ඔහු ඉතිහාසයට පවා යනවා. සමාජයේ පවතින දරිද්‍රතාව, විෂමතාව, කුල පීඩනය, චාරිත්‍ර වාරිත්‍ර ආදී සියල්ලම ඔහු කතාවට ගේනවා. ඒ කෙටිකතා තුළින් සමාජයේ පැතිකඩක් දකින්න අපට පුළුවන්. ශ්‍රී ලංකාවේ කෙටිකතාවල බොහෝ වෙලාවට ඒ දේ දකින්න අපහසුයි. ඒ නිසා සමාජ යථාර්ථය ස්පර්ශ කරන්නේ කොහොමද කියලා ලංකාවේ ලේඛකයන්ට මේ කෙටිකතාවලින් ඉගෙන ගන්න පුළුවන්.
ඒවාගේම කලාකෘතියක් ප්‍රචාරකවාදී නොවී පාඨකයා වෙත ගෙනයන්නේ කොහොමද කියලා ඔහු සිය කෙටිකතාවලින් මනා ව නිරූපණය කර තිබෙනවා. ඒවා නිරූපණය කරලා දක්වනවා. තාගෝර් කියන්නේ සමාජ දර්ශනයක් තිබුණු ලේඛකයෙක්. ඒ සමාජ දර්ශනයේ විඥානවාදී ස්වරූපයක් තමයි තිබුණේ. ඒත් ඔහු ෙසෟන්දර්යවාදියෙක්. එනිසා තාගෝර්ගෙන් අපට පරිපූර්ණ කෙටිකතාවක් නිර්මාණය කරගැනීම සම්බන්ධයෙන් බොහෝ දේ උකහා ගන්න පුළුවන්. තාගෝර් ආසියාතික ලේඛකයෙක්. ඒ නිසා අපේ අත්දැකීම්වල වෙනසක් නැහැ. ඒ නිසා මේ කෙටිකතා කෘතිය ශ්‍රී ලංකාවේ ලේඛකයන්ට කෙටිකතාව පිළිබඳ මහඟු අත්පොතක් වෙනවාට සැකයක් නැහැ.
* විශ්ව සාහිත්‍ය තුළ ශ්‍රී ලාංකේය කෙටිකතා කලාව තිබෙන්නේ කුමන මට්ටමකද?
ලෝක කෙටිකතා කලාව තුළ ශ්‍රී ලාංකේය කෙටිකතාව යම් සාර්ථක තැනක තිබෙනවා. දකුණු ආසියාවේ කතා කලාව තුළ ඉන්දියානු කතා කලාව තමයි අපිට ඉතාමත් අභියෝගාත්මක කතා කලාවක් වී තිබෙන්නේ. විශ්ව සාහිත්‍යයේ කෙටිකතා කලාව කාලයක් පෝෂණය වුණු කතා කලාවක්. ඒ නිසා එහි ලොකු වර්ධනයක්, ගැඹුරක් තිබෙනවා. ඒත් ලෝකයේ ලියවෙන හැම කෙටිකතාවක්ම සාර්ථක නැහැ.
මම හිතන්නේ ශ්‍රී ලංකාවේ කෙටිකතා කලාව මීට වඩා වර්ධනය වෙන්න ඕනා. අපේ කෙටිකතා කලාවට සද්ධර්මරත්නාවලිය, ජාතක පොත ආදිය ඉතා සමීපයි. නමුත් විදේශීය ආක්‍රමණත් සමඟ අපේ සාහිත්‍ය කලාවේ කොඳු නාරටිය කැඩුණා. අද අපේ රටේ තිබෙන්නේ චෙකොෆ්, ගෝර්කි ආදී බටහිර සාහිත්‍යකරුවන්ගෙන් පෝෂණය වුණු කෙටිකතා කලාවක්. අද යුරෝපයේ කෙටිකතා කලාව ගතහොත් වර්ධනීය තත්ත්වයක තිබෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ කෙටිකතා කලාව තුළ එවැනි වර්ධනයක් දකින්න නැහැ. ඒකට එක හේතුවක් තමයි පුවත්පත්වල කෙටිකතා පළවීම.
මේ නිසා අපේ කෙටිකතා බාලවෙලා. කෙටිකතාවක් හදිස්සියේ ලියන්න බැහැ. කෙටිකතාව කියන්නේ වෙනම සන්දර්භයක තිබෙන දෙයක්. එය වෙනම ආඛ්‍යාන කලාවක්. එය හුදු කතාන්දරයක් නොවෙයි. කතාන්දරය අතික්‍රමණය කිරීමක්. නමුත් ශ්‍රී ලංකාවේ කෙටිකතා බොහොමයක් ලියවෙන්නේ කතන්දර ස්වරූපයෙන්. ඒ නිසා අපේ කෙටිකතා කලාව මීට වඩා අර්ථසම්පන්න විය යුතුයි. ආඛ්‍යාන කලාව වගේම අන්තර්ගතයත් පෝෂණය වෙන්න ඕනෑ. යුරෝපීය කෙටිකතාවල සන්දර්භය ශක්තිමත්. අපේ සන්දර්භය එහෙන් මෙහෙන් එල්ලා තිබෙන්නේ. අපේ කෙටිකතා කලාව 80 න් පස්සේ යම් වර්ධනයක් වුණත්, 2013 වෙද්දී එහි ලොකු වර්ධනයක් වෙලා නැහැ.
* ඊසොප්ගේ උපමා කතා සංග්‍රහය ඔබගෙන එන්නේ කුමන පාඨක පිරිසක් ඉලක්ක කරගෙනද?
විශේෂයෙන් ළමයින් වෙනුවෙන් තමයි මේ කෘතිය පරිවර්තනය කළේ. ඊසොප් උපමා කතා කියලා තිබුණේ ක්‍රි.පූ.පන්සීය ගණන්වලදී. අද වන විට ඊසොප් කියන නම තිබෙනවා. නමුත් එහෙම පුද්ගලයෙක් නැහැ. ඊසොප්ගේ නමින් ඒ ආරේ කතා ගොඩාක් අය ලිව්වා. ඒවා ජනශ්‍රැතියටත් එකතු වුණා. ඊසොප්ගේ උපමා කතා ඇතැම් විට ඊසොප්ට කියපු ඒවා නොවෙයි. මේ කතා හැම රටකම ජනප්‍රිය වුණා. නමුත් ඊසොප්ගේ අනන්‍යතාව නැති වුණේ නැහැ. ඔහුගේ ආඛ්‍යාන කලාව ඒ විදිහටම තිබුණා. මම ඊසොප්ගේ කතා ඇතුළත් පරිවර්තන කිහිපයක් අන්තර්ජාලයෙන් හා විවිධ පොත්වලින් එකතු කර ගත්තා. මගේ කෘතියේ කතා 423ක් අන්තර්ගත වෙනවා. මම හිතන්නේ ඊසොප්ගේ ශ්‍රී ලංකාවේ පළවුණු ලොකු ම කතා සංග්‍රහය මෙයයි. මෙතෙක් මේ තරම් විශාල කතා සංග්‍රහයක් පළ වෙලා තිබුණේ නැහැ.
* මේ කෘතිය රචනා කිරීමේදී ඔබ යොදා ගත් සාහිත්‍යමය උපක්‍රම මොනවාද?
කතාව නැවත නැවත ඉදිරිපත් නොවෙන්නට මම වගබලා ගත්තා. ළමයි ඉලක්ක කරගත් කෘතියක් නිසා යොදා ගත්තේ සරල සිංහල භාෂාව. ඒ වගේම කතාවේ එන නාට්‍යාත්මක ලක්ෂණවලට මුල්තැනක් දී තිබෙනවා. හැම කතාවකම අවසානයේ උපහැරණයක් ගෙන එනවා. එය හැම ලේඛකයෙක්ම, පරිවර්තකයෙක්ම අනුගමනය කළ දෙයක්. ඒ වගේම කුඩා ළමයින් ආකර්ෂණීය වන ආකාරයට චිත්‍ර යොදා තිබෙනවා. කෘතිය අවසානයේ සුචියක් තිබෙනවා. ඒ නිසා කතාවක් හොයාගන්න මුළු පොතම කියවන්න අවශ්‍ය නැහැ. මේ කෘතිය පාසල් සිසුන්ට වගේම ශ්‍රාස්ත්‍රීය අධ්‍යයන කරන අයටත් ඉතා වැදගත් කෘතියක්.
* එකවරම ඔබ නිර්මාණ සාහිත්‍යයෙන්, පරිවර්තන සාහිත්‍යයට යොමු වුණේ ඇයි?
මම පරිවර්තකයෙක් නොවෙයි. මම නිර්මාණ සාහිත්‍යකරුවෙක්. නවකතාකරුවෙක්. කෙටිකතාකරුවෙක්. මම පරිවර්තන කලාවට ඇබ්බැහිවෙන්න එක හේතුවක් තිබුණා. අපි පාසල් යන කාලේ ඉංග්‍රීසි පොත්පත් ගොඩාක් කියවන්න ලැබුණා. ඒවා අපි ළඟ එකතු වුණා. ඒවා අපි ළඟ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒවා අපේ ඉදිරි පරම්පරාවලටත් දෙන්න ඕනා. මම පරිවර්තනවලට ඇබ්බැහි වුණේ ඒ නිසයි. මේ වන විට මව ලොව ප්‍රකට සුරංගනා කතා, රුසියානු සුරංගනා කතා, රුසියන් චීන කතන්දර, රූපාන්තරණය, ලා මාන්ඩාහි වීර පුතා, නඩු යන්නෝ, ප්‍රේමය සහ තවත් යක්කු ආදී පර්වර්තන කෘති ගණනාවක් කරලා තිබෙනවා.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි