

කොතරම් අගහිඟකම් තිබුණත් සිංහල අවුරුද්දට කොකිසයක් නොබදින කැවුමක් පුච්චන්නේ නැති ගෙයක් නම් හොයා ගන්න බැරි තරම්. කැවුම් කෙසෙල් කොකිස් කිරිබත් අළුවා ආදී වූ කැවිලි පෙවිලිවලින් පිරුණු අවුරුදු මේසය වඩාත් හැඩවෙන්නේ ආස්මී ගෙඩියකුත් තිබුණොත් තමයි. නමුත් කොකිස් බදින තරම් නම් ආස්මී උයන්න නම් පහසු නැහැ. කොතරම් අපහසු වුණත් හැඩට රසට ආස්මී උයන ආස්මී බදින්න අපේ අම්මලා දන්නවා. හැබැයි මේ දක්ෂකමත් හැමෝටම නැහැ.

අලව්වෙන් හැර නෙළුම්දෙණිය පාරේ යද්දී හමුවන ඕපාත මේ ආස්මී ගම්මානයයි. එගම ආස්මී උයන රත්නවතී මැණිකේගේ නිවෙස නොදන්නා කෙනෙක් නැති තරම් ය.
හරි හමන් පාරක් නැති ඇගේ ගෙදරට අප ගියේ රබර්වත්තක් මැද්දෙනි.
“මමයි මගෙ මහත්තයයි ආස්මී උයන්න පටන් අරගෙන මාස එක හමාරක් විතර ඇති. මං මේක ඉගෙන ගත්තේ අක්කගෙන්. අපි සතියකට ආස්මී සීයක් විතර කඩේකට ගිහින් දෙනවා. වෙන රස්සාවක් කරන්නෙත් නැහැ. දැන් අපේ දරුවෝ බැඳලා. මේ තමයි අපි ආස්මී විකුණන පළමුවෙනි අවුරුද්ද. ඒත් කොන්දෙ අමාරුවක් හැදිලා අද මුකුත් ම කළේ නැහැ. මේ ගමේ තව කෙනෙක් ඉන්නවා ආස්මී උයන. ඊටත් පස්සේ ඕපාත ගමේ නම් පවුල් කිහිපයක් ම ‘ආස්මී’ හදලා ජීවත් වෙනවා.”
රත්නවතී මැණිකේ නැන්දා බැරි අමාරුවෙන් මිදුලට බසිමින් පැවැසුවා ය. ඉන් පසු අපි ඈ කියූ තොරතුරු අනුව ගම්මැද්දේ ඇවිදින්නට වීමු.
පස්පොළකන්දේ පින්තාලිය හන්දියේ ආර්. එම්. මුතුමැණිකේ අපට හමුවූයේ අතරමඟදී ය. පාදයේ ආබාධයකින් පෙළෙන ඇය ඇවිදින්නේ අත්වාරුවට බරදෙමිනි.

පාදයේ ආබාධය තිබුණ ද හිතේ හයියෙන් ජීවිතය ගැටගහගන්නා මුතුමැණිකේ අම්මා පවසන්නේ ආඩම්බරයෙනි. ඇය ඇතුළුව එම ප්‍රදේශයේ තවත් කිහිප දෙනෙක්ම මෙම වෘත්තීයේ නියැළෙන්නෝ ය. නමුදු ඔවුන්ගෙන් ඇතැමෙක් තොරතුරු කියන්නට අකැමැති ය. ළඟ ළඟ එන සිංහල අවුරුද්ද නිමිත්තෙන් පාරවල් අයිනේ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඔවුහු ව්‍යාපාරය අරඹා ඇත්තාහ.
අලව්ව පස්පොළකන්ද - ඕපාත ආදී ගම්මානවලට මුලින් ම ‘ආස්මී’ ව්‍යාපාරය හඳුන්වා දුන්නේ කවුදැයි අපි කිහිප දෙනෙකුගෙන් ඇසුවෙමු.
“ඔන්න ඔය වඩූ ඉස්කෝලේ ගාවින් හැරිලා යන්න තියන වසන්තලාගේ ගෙදරට යන්න. එයාලා තමයි මේ පැත්තේ මුලින් ම ආස්මී ඉව්වේ.”
තොරතුරු කීවේ මඟ සිටි කාන්තාවකි. ඒ හිමිදිරියෙත් නිවෙස ඉදිරිපිට දුර බැහැරින් ආ කිහිප දෙනෙකි.
“තැන වැරදුණාවත් ද?”
අපි අපෙන් ම ඇසුවෙමු.
“ආ මෙහෙ තමයි තැන. එන්න අපි උදේම වැඩ...”
ඒප්‍රනයකින් සැරසී ආස්මීවලට පිටි ඒදමින් සිට ඉදිරියට පැමිණි වසන්තා අප එහි කැඳවූවා ය.

“ඉස්සර මේ ගම්වල ආස්මී උයන්න දන්න අය හිටියේ නැහැ. මම ආස්මී උයන්න ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. ඒ බොහෝම තරුණ අවධියේ. ඉන් පස්සේ මම මඟුල් ගෙවල්වලට දානේ ගෙවල්වලට ආස්මී උයන්න ගියා. නමුත් කවදාවත් මුදලට ඒ දේවල් කළේ නැහැ. මං ගෙදර ආස්මී ඉව්වත් මගෙ දුව වසන්තා මේ දේ ඉගෙන ගත්තේ මගෙන් නෙමෙයි. දැන් මම දුවට උදව්වක් හැටියට ආස්මීවලට රටාවට පැණිදාන වැඩේ කරලා දෙනවා. ඒ වුණත් දුව මට පින්දහම් කැරගන්න කියලා මුදලක් දෙනවා. එයා තමයි මගෙ හැමදේම කරන්නේ. මට මහන්සියක් දැනෙන්නේ නැහැ. මං බොහෝම සතුටින් මේ කාරිය කරනවා.”
අධිකාරි අම්මා පවසන්නේ තම දියණිය ගැන සතුටිනි.
අප එහි යන මොහොතේ වසන්තා සිටියේ ආස්මී ඉවීමට පිටි ඒදමින්. ඒ අතර අනෙක් කාන්තාවෝ බිම තැබූ භූමිතෙල් ළිප් උඩ උණු තෙල් තාච්චිවල ආස්මී උයමින් සිටියහ. දවුල් කුරුඳු නානු යොදා හොඳින් ඒදන ලද පිටි බොකුටු හිල් පොල්කටු හැන්දෙන් තාච්චිය මත අතුරන්නේ එක්තරා රටාවකට ය. ආස්මී එකෙන් දෙකෙන් ඉවීම ආරම්භ කර අවසානයේ ඇය එයම තම ජීවන වෘත්තිය කරගත්තා ය. එපමණක් නොව අද වනවිට වසන්තා ආදර්ශයට ගත් ඕපාත ගමේ මෙන් ම ඒ අවට ගම්මානවල නිවෙස් කිහිපයකම අවුරුදු කාලයට ද, අනෙක් දවස්වල ද ආස්මී උයන්නේ ය. වසර දහයකට වැඩි කාලයක් තිස්සේ බැරි අමාරුවෙන් ගොඩනැඟුණ තම ආදායම් මාර්ගය පිළිබඳව අද වනවිට වසන්තා කතා කරන්නේ ආඩම්බරයෙනි.
“අම්මා ආස්මී ඉව්වට මං කවදාවත් එයාගෙන් ඉගෙන ගත්තේ නැහැ. මහත්තයාගේ ලොකු අම්මගෙන් තමයි මේක ඉගෙන ගත්තේ. ඉස්සර මහත්තයා වැඩ කළේ තුල්හිරිය පෙහෙකම්හලේ. ඒ දවස්වල මං ආස්මී උයනවට මහත්තයාගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් තුල්හිරිය කම්හල වහලා දැමීමට පස්සේ එයාට රස්සාව නැති වුණා. අපට ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. ඒ ගමන තමයි මං ආස්මී උයලා කඩවල් කිහිපයකටම දාන්න පටන් ගත්තේ. ආස්මී උයන්න පටන් ගත්ත මුල් කාලේ ආස්මී ගෙඩියක් රුපියල් හතකට විකුණුවේ. කාලයත් එක්ක මිල ඉහළ ගියා. අද වෙනකොට ආස්මී ගෙඩියක් රුපියල් විසිපහක් වෙනවා” වසන්තා ඒ කියන්නේ අතීතයෙන් බිඳකි.
හාල්සේරුවකින් දෙකකින් ආස්මී ඉවිල්ල ආරම්භ කළ වසන්තාගේ නිෙවසේ අද වනවිට දවසට හාල් මිටියක පමණ ආස්මී පිසෙන්නේ ය.
“මම මේක බොහෝම සුළුවෙන් කරගෙන ගියේ. ඒ හැමදේම වෙනස් වුණේ එච්. ආර්. දසනායක මහත්තයා අපිව හොයාගෙන ආවට පස්සේ. ඔහු අපේ නිවෙසට ආවේ මම උයපු ආස්මී ගෙඩියකුත් කඩේකින් අරගෙන. ඔහු එනවිට මම කුස්සියේ භූමිතෙල් ළිප තියාගෙන ආස්මී උයනවා. ඒ හරියට සුනාමිය ආපු දවස. ඔහු එදා මගෙන් ආස්මී ගෙඩි විස්සකුත් අරගෙන ගියා. ඉස්සර මං ආස්මී ගෙඩියේ පැණි දැමීමේ ඉවෙන විදිහකට. දැන් මේ තියන රටාව මට කියලා දුන්නේ දහනායක මහතා. ඇත්තටම ඔහු අපේ පවුලට දෙවියෙක්. මං එහෙම කියන්නේ ඔහු තමයි අද අපට ඉන්න ලොකුම ගැනුම්කරුවා. ඔහු අපෙන් ආස්මී ගෙනිහිල්ලා කඩවලට බෙදා හරිනවා. ඒ දවස්වල මේ කවුරුවත් ආස්මී ඉව්වේ නැහැ. නමුත් මගෙන් පස්සේ බොහෝ අය මේ දේ කරන්න පටන් ගත්තා. අද පිට පළාත්වල ඉඳලා බොහෝ අය එනවා ආස්මී ගෙනියන්න. ඒ වගේ ම අහල පහල අයත් එනවා.”

අනෙකුත් දිනවලට කෙසේ වෙතත් සිංහල අවුරුදු කාලයට නම් වසන්තාගේ නිවෙස ඉදිරිපිට ආස්මී ගෙන යන්නට පැමිණි අය සිටියේ පෙළ සෑදී ගෙනය.
“අපේ ගෙදර ඕන වෙලාවක ආස්මී තියෙනවා. නොනගතේ වෙලාවට විතරයි වෙළෙඳාම නැත්තේ. දැන් මා ගාව අම්මලා හය දෙනෙක් ඉන්නවා. අද කෙනෙක් ඇවිත් නැහැ. එහෙම දවස්වලට මහත්තයත් ආස්මී උයනවා. බදිනවා. පැණි දානවා. හැමදේම කරනවා. ඔහුගෙන් මට හොඳ සහයෝගයක් තියෙනවා. අපිට බොහෝම උදව් කරන කෙනෙක් තමයි පොල්තෙල් ගේන ඉසංක සමරවීර මල්ලී. ඔහු මීරිගමින් තමයි අපට පිරිසුදු පොල්තෙල් ගෙනත් දෙන්නේ. ඒ වගේ ම උපුල් අයියා ඕනෑම වෙලාවක බඩු ගේනවා. සාමාන්‍යයෙන් උදේ 8 සිට සවස 5.30 වනතුරු අපේ ගෙදර ආස්මී උයනවා. ඒත් අවුරුදු කාලෙට නම් රෑටත් උයනවා. මං හිතන්නේ අද වෙනකොට ලංකාව පුරාම වගේ මගේ ආස්මී වෙළෙඳාම් වෙනවා කියලා. ලාභයක් ලබන්න නම් ආස්මී ලක්ෂයක්වත් උයන්න ඕනෑ” වසන්තා පවසන්නීය.
ඇගේ ව්‍යාපාරය එදාට වඩා දැන් දියුණු ය. වට්ටි පිරෙන්නට ඇත්තේ දවස ගානේ උයන ලද කටුආස්මී ය. අවුරුදුවලට ඇය දැන් සිටම සූදානම් ය. බැරල් පුරවා ඇත්තේ ද උයන කටු ආස්මීය. හැඩට තිබෙන්නට නම් රසට හැපෙන්නට නම් ඒ කටු ආස්මී නැවත තෙලේ බැඳ පැණි දැමිය යුතු ය.
නුවර, දඹුල්ල, හිරිවඩුන්න, ජා ඇළ, ගිරිඋල්ල ආදී ප්‍රදේශ ප්‍රධාන කොටගෙන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද වසන්තාගේ ආස්මී බෙදා හැරෙන්නේ ය. ඒ අතරමැදියන් මාර්ගයෙනි. වසර දොළහකට වැඩි කාලයක් වසන්තා ගේ ‘ආස්මී’ වැඩපොළේ සේවය කරන ගුණරත්න මැණිකේ සමඟ අපි කතා කළෙමු. ඇය හැටතුන් හැවිරිදි ය.
“මම මෙහෙ වැඩට ඇවිත් අවුරුදු දොළහකට වැඩියි. මම මෙහෙ එද්දී ආස්මී උයන්න දන්නේ නැහැ. මෙහෙ ඇවිත් තමයි ඉගෙන ගත්තේ. සාමාන්‍යයෙන් දවසට ආස්මී 350ක් 360ක් මම උයනවා. ළිප හොඳට පත්තු වුණොත් තමයි ඒක පුළුවන්. සමහර දවස් තියෙනවා තුන්සීයක්වත් උයාගන්න බැරි. අපි උදේ වැඩට එනකොට හැමදේම පිළිවෙළට තියෙනවා. අපිට තියෙන්නේ ආස්මී උයන්න විතරයි. හැමදාම අවුරුදු කාලෙට දොළොස් වැනිදා වනතුරු අපි වැඩ.” ගුණරත්න මැණිකේ පවසන්නේ පොල්කටු හැන්දට පිටි මිශ්‍රණය පුරවන අතරේ ය.
ආස්මීවල ලොකුම රහස නම් දවුල් කුරුඳු ය. ඔවුන් දවුල් කුරුඳු සොයා ගන්නේ ඒ අවට ඇති කැලෑවලිනි. වසන්තාගේ නිවසේ ද දවුල් කුරුඳු සිටුවා ඇත්තේ ය.
“සාමාන්‍යයෙන් දවස් හතරක් විතර දවුල් කුරුඳු කොළ තියා ගන්න පුළුවන්. මේ කොළ අතින් පොඩි කරලා තමයි නානු හදා ගන්නේ. හාල් පිටි කොටන්න මැෂිමක් තියෙනවා. ඒ මැෂිමේ වැඩ කරන්න කෙනෙක් උදේම එනවා. ඔහු ම තමයි පොල් ගාලා මිරිකන්නේ. මගෙ මහත්තයා අමරසිංහ තමයි මේ හැමදේම දැන් බලා ගන්නේ. අද වනවිට මට ලොකු සතුටක් තියෙනවා. මං පුංචියට පටන් ගත්ත දේ මේ තරම් දියුණු වුණ ඒක ගැන. මං වැඩිදුර ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි. ඒත් මට මගේ ම කියලා ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් වුණා” වසන්තා පවසන්නේ නිහතමානිවය.
වසන්තා ඇතුළු පවුල් හය හතකම ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ ආස්මී ඉවීම ය. ඔවුන් ආදර්ශයට ගෙන ඇත්තේ වසන්තාවය. රජයේ රැකියා ලැබෙන තුරු හෝ වෙනත් රැකියා ලැබෙන තුරු කාලය කා දමනවාට වඩා තමන් දන්නා දෙයින් ප්‍රයෝජනය ගැනීම කෙතරම් අපූරුදැයි සිතෙන්නේ වසන්තාගේ නිවෙසේ බැදෙන ආස්මී දුටුවිට ය. සිංහල අවුරුදු කාලයට, නව වසර උදාවට පමණක් නොව ඔවුන් අනෙකුත් කාලවලට ද කාර්යය බහුල ය.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි