සිංහබාහු නාටකයේ ගීත පිළිබඳ රසවිඳීමකදී එක්‌වරම මතකයට එන්නේ ගල්ලෙන බිඳලා සිංහයාගේ විලාපයයි. මනමේ නාටකයේදීද ජනප්‍රියම ගීතය වී ඇත්තේ ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයයි. එහෙත් මේ ජනප්‍රියම ගී හැරුන කල ඉහත නාට්‍ය ද්වයෙහිම තවත් බොහෝ මිහිරි ගී ඇති බව අපි දනිමු. නරිබෑනා නාට්‍යයේ ජනප්‍රියම ගීතය බවට පත්ව ඇත්තේ නරියා ගම දුව කරකාර බැඳගෙන උහුගේ අරමට ගෙන යද්දී ඈ සනසවමින් ගායනා කරනු ලබන කුමටද සොබනියේ කඳුළු සලන්නේ ගීතය වේ. එහෙත් දයානන්ද ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදියාගේ නරිබෑනාහි අපට ඇසෙන රඟමඬලෙහි අපට දකින්නට ලැබෙන තවත් ජනප්‍රිය ගී අතර ගම දියණිය තම මව සමඟ කැලේ දර අහුලන්නට ගිය අවස්‌ථාවේ ගායනා කරනු ලබන ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්‌සනයි ගීතය සංගීත නිර්මාණයෙන්ද, තනුවෙන්ද, ගීත රචනයෙන්ද අතිශයින් පොහොසත් බව පැවසිය යුතුය.
" ඇහැළ මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්‌සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා
අද හැම තැන හරි හැඩයි
දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැමතැන දැනෙයි
වලිකුකුළන් හඬලන කොට
අහං ඉන්න හරි හිතයි
ගස්‌වල දලු නැළවෙන කොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයන්
අල්ලන්නට බැරි හැඩයි...."
1961 දී පාසල් නිෂ්පාදනයක් ලෙස නරිබෑනා රංගගත වූ අවස්‌ථාවේදී ප්‍රථම ගම දුව ලෙස රංගනයට එක් වී ඇත්තී ගෝතමී බාලිකාවේ ශිෂ්‍යාවක වූ චන්ද්‍රd විඡේවර්ධනයි. නරියාගේ භූමිකාව පණ ගන්වා තිබුණේ සාලමන් ෆොන්සේකායි. එහෙත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක් ලෙස නරිබෑනා ජනප්‍රියත්වයට පත්වෙමින් දිවයින පුරා රංග ගත වූ කල්හි ගම දුව ලෙස රංගනයට එක්‌වන්නී වර්තමාන සිනමාවේ රූපවාහිනියේ ප්‍රවීණ නිළියක වන ශ්‍රියානි අමරසේනයි. අර්ධ ශෛලිගත රීතියෙන් නිෂ්පාදනය වූ නරිබෑනා රචනා වන්නේ ජනකතා දෙකක කතා වස්‌තුව පාදක කරගනිමිනි. නිෂ්පාදක දයානන්ද ගුණවර්ධන සඳහන් කරන පරිදි මෙහි ඇතැම් ගී හා සංවාද කොටස්, රබන් පද ශෛලියෙන් ගොඩනඟා ඇත. ඉහත සඳහන් ගම දුව ගයන ගීයට මුල් වී ඇත්තේ පහත සඳහන් රබන් පදයයි.
"අඹ රඹුටන් ගස් දෙක යට
වලිකුකුළන් පස් දෙනයි
උන්ට කන්ට බත් දෙන කොට
අපිත් එක්‌ක ලස්‌සනයි...."
රබන් පද ආශ්‍රිත ගී තනු නව නිර්මාණ සේ කරලියට උචිත අයුරින් සකස් කොට නාට්‍යය සඳහා සංගීතය නිර්මාණය කරන ලද්දේ ලයනල් අල්ගම සංගීතවේදියා විසිනි. නරිබෑනාහි නැටුම් නිර්මාණය බැසිල් මිහිරිපැන්නගේය. හැටේ දශකයේ පටන් අද දක්‌වාම රංගගත වන නරිබෑනා නාට්‍යය, සරල කතා පුවතක් මත නිර්මාණය වූ අපූරු නාට්‍යමය අත්දැකීමක්, ප්‍රේක්‌ෂකයනට ලබාදෙන වේදිකා නාට්‍යයක් සේ ජනප්‍රියත්වයට පත් වී තිබේ. නාට්‍යයේ එන ගී කිහිපය අතර, ඇහැළ මලින් ගස් පිරිලා ගීතයද ප්‍රේක්‌ෂක, ශ්‍රාවක, රසවින්දනයට ලක් වූ ගීතයකි. නරිබෑනා නාට්‍යයෙහි පළමුවෙනි ජවනිකා ඇරැඹෙන්නේ ගම මහගෙ, තම දියණිය සමඟ දර ඇහිඳීමට කැලේට යන අවස්‌ථාව නිරූපණය කරමිනි. ගම දුව මවගේ වදනට කන් නොදී, දර ඇහිලීම පසෙකලා කැලේ පිපී තිබෙන ඇහැළ මල් සුන්දරත්වයෙන් වශීකෘතව, ගී ගයමින් නටන්නීය. කැලේ සැඟ වී සිටින නරියාගේ නෙතට ගම දුව හසුවන්නේ මේ මෙහොතේදීය. ජන ගීතයේ රබන් පද ආශ්‍රිත තනුවට උචිත වදන් මාලාවක්, තෝරා ගැනීමෙහිලා නාට්‍ය රචක දයානන්ද ගුණවර්ධන ප්‍රකට කරන ප්‍රතිභාව ගීත සංකල්පනාව තුළින් මනාව පිළිබිඹුවේ. ලාබාල යුවතියකගේ සැහැල්ලු ජීවිතයක සිත් ගත් පරිසරයේ වස්‌තුන් චිත්තරූපාවලියකට නැංවීමට මේ ගීයෙහි සරල වදන් භාවිතය සමත් වේ. කැලේ සුන්දරත්වයට ඇහැළ මල් පිරුණු ගස් පමණක් නොව අඹ, රඹුටන්, ජම්බුද ඈ නෙත ගැටේ. මල් සැලී ඇත්aතේ දොඹ ගස් යටය. ඉන් සුවඳ විහිදේ. වලි කුකුළන්ගේ හඬට කන්දී සිටින්නට ඈ සිත ඉල්ලයි. ගී ගයනවා පමණක් නොව වේදිකාව මත නර්තනයේද යෙදෙන්නීය. ගීය ගයන්නී නටමිනි. අභිනයෙන් පරිසරයේ සුන්දරත්වය, ප්‍රේක්‌ෂකයනට පෙන්වමිනි. ගස්‌වල නැළවෙන දලු ඇඟට සිහිලස ගෙනෙන බවයි රචකයා පවසන්නේ. සමනලුන් යුවතියකගේ ආදරය දිනා ගන්නා වස්‌තුවකි. පරිසරය පුරාම මවනු ලබන සුන්දරත්වය තීව්‍ර කරනු ලබන්නේ නාට්‍ය රචකයා විසින් උපයුක්‌ත, ගැමි පරිසරය වර්ණිත සරල වදන් මාලාවෙනි. ඇහැළ මල්, අඹ, රඹුටන්, ජම්බු, දොඹ මල්, වලි කුකුල් හඬ, ගස්‌වල නැළවෙන දලු, ඉගිලෙන සමනලයන් දඟකාර ගැමි දියණියකගේ සැහැල්ලු වගකීමෙන් තොර ජීවිතයේ කොටස් ලෙස නිරූපිතය. ඇගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීමට මුල්වන්නේ ඇහැළ මල් කඩමින් ගී ගයමින් මවට උදවුවට නොසිටීමයි. මවට ඈ සොයා ගත නොහී පසුව ඇහැළ මල් කඩන බව ඇසීමෙන් මවගේ කෝපය ඉහවහා ගොස් පවසන වදනින් නාට්‍යමය අවස්‌ථාව ගොඩනැඟේ.
"තෝව දෙන්නෙත් නරියටයි
තෝව ගන්නෙත් නරියෙකුයි
තෝව දෙන්නෙත් තෝව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි...."
ගම දියණියගේ ගීතය අග ඇගේ ජීවිතයට ස්‌වාමි පුරුෂයෙකු ලැබෙන බවයි නාට්‍යකරු ඉඟි කරන්නේ.
බුද්ධදාස ගලප්පත්ති
http://www.divaina.com/2017/07/02/cineart.html
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි