Friday, June 14, 2013

මහින්දෝදය විද්‍යාගාරවල ඉදිකිරීම් මේ වසරේ අවසන්

මහින්දෝදය විද්‍යාගාරවල ඉදිකිරීම් මේ වසරේ අවසන්

මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර දහසේ ඉදිකිරීම් මේ වසර අවසානයේ නිම කෙරේ. මේ වන විට මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 409ක ඉදිකිරිම් අවසන් අධියරේ පවතී. මහින්දෝදය විද්‍යාගාර දහසෙන් පාසල් 175ක විද්‍යාගාර ලෝක බැංකු ආධාර යටතේ සංවර්ධනය වේ.
පළාත් සභා සහ මධ්‍යම රජයට ලැබෙන ආධාර යටතේ මේ පාසල් 175 සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පිරිනැමේ. ඉතිරි පාසල් 500ක් පමණ ඉදිකිරීම් සමස්ත ලංකා ඉදිකරන්නන්ගේ සංගමයට අදාළ ඒ ඒ පළාත්වල කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන බව අධයාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අදාළ ගිවිසුම් බත්තරමුල්ල ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිම් සංගම් මුලස්ථානයේ දී අද (14) එම කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීමට නියමිතය. අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ගිවිසුමක් යටතේ මුදල් ආධාර ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇති අතර වසර පහක් යන තෙක් අමෙරිකානු ඩොලර් මිලියන 40 බැගින් මුදල් යෙදවේ.
මේ අනුව වසර 2014වන විට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම මහින්දෝදය තාක්ෂනික විද්‍යාගාර සහිත පාසල් තුන බැගින් ආරම්භ කෙරෙනු ඇත.

සුභාෂිණී සේනානායක

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි