Tuesday, June 18, 2013

දරුවන්ට දෂ්ට කිරීමේ අවදානමක්

දිවයින පුරා පාසල්වල මහා ඩෙංගු මෙහෙයුමක්

ජනපති නියමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ අරඹයි
අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන්
සෞඛ්‍ය-අධ්‍යාපන-ආරක්ෂක අමාත්‍යාංශ සටන අරඹයි
නිවෙස්වල ඩෙංගු මර්දනය ගැනත් විධිමත් විපරමක්
මෙරට සියලුම පාසල් ආවරණය වන පරිදි දැවැන්ත ඩෙංගු මෙහෙයුමක් දියත් කරන ලෙස ‍ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට උපදෙස් ලබාදී ඇත.
මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු මුදල් ප්‍රතිපාදන රජයෙන් ලබාදෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙරට පිහිටි පාසල් 9773 ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඊයේ (17) පැවැති අන්තර් අමාත්‍යාංශ කමිටුව තීරණය කර ඇත.
ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක අමාත්‍යාංශ මඟින් චක්‍රලේඛ නිකුත් කිරීමට ද මේ කමි‍ටුවේදී තීරණය කෙරිණ.
මෙරට ජනගහනයෙන් සියයට 60ක් පාසල් තුළින් නියෝජනය වේ. ලක්ෂ 40ක් පමණ සිසුන් පාසල්වල අධ්‍යාපනය ලබති. ඩෙංගු මදුරු මර්දනය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමෙන් එම දරුවන් නිවෙස්වලට ගොස් ඔවුන්ගේ මාපියන් දැනුවත් කිරීම සිදුකෙරේ.
තම නිවසේ සතියකට එක්වරක් හෝ මදුරු මර්දන කටයුතු සිදු‍ වූයේද යන්න සොයා බැලීම සඳහා කාඩ්පතක් ලකුණු කිරීමට පාසල් දරුවන්ට ලබාදීම ද ඉදිරියේදී සිදුකෙරේ. නිවෙස්වල ඩෙංගු මදුරු මර්දන කටයුතු සිදුවන්නේද කියා මෙහිදී ගුරුවරුන් මඟින් අධීක්ෂණය කෙරේ. ඩෙංගු මදුරුවාට මීටර් 500ක දුරක් පියෑඹිය හැකිය. මදුරු මර්දන වැඩසටහන පාසල් තුළ පමණක් ක්‍රියාත්මක කිරීමෙන් මීටර් 500ක් දුර සිටිනා මදුරුවන් පාසල්වලට පැමිණ දරුවන්ට දෂ්ට කිරීමේ අවදානමක් පවතියි. එහෙයින් විදුහල්පතිවරුන්ගේ මූලිකත්වයෙන් සිවිල් ආරක්ෂක බළකාය, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, පොලිස් පාරිසරික ඒකකය එක්ව මේ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
.

සන්ධ්‍යා කරුණාරත්න
http://www.dinamina.lk/2013/06/18/_art.asp?fn=n1306181

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි