Saturday, November 30, 2013

අමාරු නෑ

අ.පො.ස.(සා. පෙළ) චිත්‍ර

චිත්‍ර නිර්මාණය අමාරු නෑ


චිත්‍ර විෂය යනු කාණ්ඩ විෂයයකි. චිත්‍ර විෂය සඳහා දරුවන් කැමැත්තක් දැක්වුව ද මේ විෂය සඳහා A සාමාර්ථයක් ලබා ගැනීම අසීරු යැයි මතයක් පවතී. නමුත් උනන්දුව සහ විෂය කෙරෙහි කැමැත්ත ඇත්නම්, විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම අපහසු නොවේ. මා දකින අන්දමට අනෙකුත් සෞන්දර්ය විෂයන් සඳහා ලිඛිත ප්‍රශ්න පත්‍රයක් සහ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් ඇත. නමුත් චිත්‍ර විෂය සඳහා ලිඛිත ප්‍රශ්න පත්‍රයක් සහ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍ර දෙකක් ඇත. එය ලකුණු ලබා ගැනීමට දරුවාට කදිම අවස්ථාවකි.
ලිඛිත ප්‍රශ්න පත්‍රය (චිත්‍ර 1 පත්‍රය) කෙටි ප්‍රශ්න 40 න් සමන්විත වන අතර ලබා ගත හැකි ලකුණු ප්‍රමාණය 40 කි. II පත්‍රය නිදහස් රේඛාමය ඇඳීම සහ වර්ණ චිත්‍ර සම්පිණ්ඩනය වන අතර ඒ සඳහා ලකුණු 30 ක් ලබා ගත හැකිය. චිත්‍ර III පත්‍රය ‘අ’ සම්පිණ්ඩනය (ප්‍රකාශන චිත්‍ර) හෝ ‘ආ’ මෝස්තර හා සැරසිලි නිර්මාණය ලෙස කොටස් දෙකක් තිබෙන අතර එයින් ඔබ කැමැති ‘අ’ ‘ආ’ ‘ඉ’ කොටසින් එක් මාතෘකාවක් තෝරාගෙන වර්ණවත් චිත්‍රයක් සම්පිණ්ඩනය කොට ලකුණු 30 ක් ලබා ගත හැකිය.
ලිඛිත ප්‍රශ්න පත්‍රයේ අභිමතාර්ථයන් ලෙස පහත කරුණු සැලකිය හැකිය. ප්‍රායෝගික අභ්‍යාස තුළින් ලබන සිද්ධාන්තමය හා ශිල්පීය ක්‍රම පිළිබඳ අවබෝධය පිරික්සීම, පාරම්පරික සැරසිලි හා කලා කර්මාන්ත පිළිබඳ දැනුම හා කුසලතා ඇගැයීම, විශ්ව ශිල්පීන් හා දේශීය ශිල්පීන් ගේ කලා කෘති ඇගැයීම, ශ්‍රී ලංකාව - ඉන්දියාව - යුරෝපය ආශ්‍රිත සංස්කෘතික පසුබිම පිළිබඳ අවබෝධය මැනීම යනාදියයි. I පත්‍රයේ ප්‍රශ්න 40 සඳහා පිළිතුරු සැපයීමට කාලය පැයක් හිමි වේ. විභාග ශාලාධිපතිතුමන් සපයන ප්‍රශ්න පත්‍රයෙහිම දරුවන් පිළිතුරු සැපයිය යුතුය. ප්‍රශ්න පත්‍රය ඔබට ලැබුණු පසු ප්‍රශ්න අංක 01 සිට 40 දක්වා වූ සියල්ල කියවා බලා තේරුම්ගත යුතුය. එහෙත් මේ සඳහා විනාඩි 10 කට වඩා කාලය වැය නොකළ යුතුය. පිළිතුරු සපයන විට පැහැදිලි අකුරෙන් පිරිසිදු ව පිළිතුරු සැපයීම ඔබ විසින් කළ යුතු කාර්යයකි. ඔබ පිළිතුරු සැපයීමට නිල් පැහැති පෑනක් යොදා ගැනීම යෝග්‍ය වේ.
යම් ප්‍රශ්නයක පිළිතුරු යටින් ඉරි ගැසීමට ඇත්නම්, වඩාත් නිවැරැදි පිළිතුර සොයා ඔබ ඉර ගැසිය යුතුය. එක සමාන පිළිතුරු දෙකක් ඇත්නම්, බොහෝ විට සමහර දරුවෝ එම පිළිතුරු දෙකටම ඉරි ගසයි. මෙයින් එම ප්‍රශ්නයට හිමි මුළු ලකුණු ඔබට අහිමිව යයි. එසේම හිස් තැන් පිරවිය යුතු ප්‍රශ්නවලදී ඔබගෙන් අපේක්ෂා කරනුයේ අර්ථවත් - නිවැරැදි කෙටි ම පිළිතුර පමණි. අනවශ්‍ය විස්තර ලිවීමෙන් ඔබ වැළකිය යුතුය. අංක 36 සිට 40 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී එයට ඉහළින් දී ඇති උපදෙස් හොඳින් තේරුම් ගත යුතුය. දී ඇති රූප සටහන හඳුනාගෙන පිළිතුරු සැපයිය යුතුය. යම් විටෙක දී ඇති රූප සටහන සමඟ හැඳින්වීමේ විස්තරයක් ප්‍රශ්න පත්‍රයේ අඩංගු වන්නේ නම්, එම කරුණු ඔබ නැවත නොලිය යුතුය. මේ ප්‍රශ්නයේ දී ඔබ බලාපොරොත්තු වන්නේ, රූප සටහන පිළිබඳ විස්තරාත්මක රචනයක් නොව අර්ථවත් කෙටි වාක්‍ය පහක ඇගයීමකි. විෂය නිර්දේශයේ සියලු ඒකක හොඳින් අධ්‍යයනය කළ දරුවකුට මේ 1 පත්‍රයට පිළිතුරු සැපයීම අපහසු නොවේ.
අනෝමජී රාජපක්ෂ
දේවි බාලිකා විද්‍යා­ලයේ
චිත්‍ර විෂය බාර ආචාරිණී
II පත්‍රය එනම්, නිදහස් රේඛාමය ඇඳීම හා වර්ණ චිත්‍ර සම්පිණ්ඩනය තුළින්,
1. ස්වාභාවික හා නිර්මිත වස්තූන්ගේ ගති ස්වභාවය හා හැඩය තේරුම් ගැනීම, සිද්ධාන්ත භාවිතයේ කුසලතාව හා ක්‍රම ශිල්ප මැන බැලීම.
2. රේඛා මාධ්‍ය භාවිතයෙන් වස්තූන්ගේ ගති ලක්ෂණ මතු වන සේ චිත්‍රය සම්පිණ්ඩනය කිරීම.
3. වර්ණ මාධ්‍යය භාවිත ක්‍රම ශිල්ප හා වස්තූන්ගේ ගති ලක්ෂණ මතුවන සේ වර්ණ ගැන්වීම.
4. සමස්ත නිමාව සිදුකර ඇති ආකාරය මැන බැලේ.
දරුවන් ඉදිරියේ තබා ඇති ද්‍රව්‍ය සමූහය පිළිබඳ චිත්‍ර ඇඳීමේදී පාසලේ චිත්‍ර ගුරුතුමිය, ගුරුවරයා කියා දී ඇති පරිදි මිනුම් ක්‍රමවේද රැගෙන ද්‍රව්‍ය සම්පිණ්ඩනය ඇඳිය යුතුය. මේ ප්‍රශ්න පත්‍රය කොටස් 2 කි. එනම් රේඛා අධ්‍යයනය සමස්ත ද්‍රව්‍ය සම්පිණ්ඩනය යි. ඔබට විභාග ශාලාධිපති තුමන් කොළ 2 ක් සපයනු ඇත. මින් එකක් ඩිමයි කඩදාසියක් වැනි රළු කඩදාසියක් වන අතර අනෙක ගනකමින් යුතු සුදු කඩදාසියකි. රේඛා අධ්‍යයනය සඳහා ඔබට රළු කඩදාසිය යොදාගත හැකි අතර එහිදී ද්‍රව්‍ය සමූහය රේඛාවෙන් අධ්‍යයනය කළ යුතුය. මෙහිදී රේඛාව කෙසේ හසුරුවා ඇති ද? යන්නට ඔබට ලකුණු 05 ක් හිමි වේ. මේ සඳහා ඔබට විනාඩි 15 ක් වැනි කෙටි කාලයක් වැය කොට ඇඳිය හැකිය.
ඊට වඩා කාලයක් වැය කිරීම ඔබට අවාසි සහගතය. මන්ද යත් ඔබට සමස්ත ද්‍රව්‍ය සමූහය ඇසුරින් යථාරූපී චිත්‍රයක් ඇඳ වර්ණ කර නිම කළ යුතු බැවිනි. මෙහිදී ද්‍රව්‍ය සමූහය ලෑල්ල මත මනා සේ සම්පිණ්ඩනය කළ යුතුය. ද්‍රව්‍ය සමූහය තබා ඇති ලෑල්ල ඔබට අවශ්‍ය පරිදි වෙනස් කළ හැකිය. ඉන්පසු මේ ද්‍රව්‍ය සමූහය වර්ණ ගැන්විය යුතු අතර ඒ සඳහා දිය සායම්, පැස්ටල්, පෝස්ටර් සායම් හෝ මිශ්‍ර මාධ්‍ය භාවිත කළ හැකිය. දරුවන් මුලින් ම ද්‍රව්‍ය සමූහය සහ පැළෑටිය වර්ණ කළ යුතු අතර සියල්ල අවසානයේ ද්‍රව්‍ය ටික මතුවන පරිදි පසුබිම ඔබට කැමැති පරිදි යොදා ගත හැකිය.
මේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය සඳහා සිළින්ඩරාකාර හැඩ (ටින්, වතුර වීදුරු) ගණකයක් හෝ ගණකාභයක හැඩ (පෙට්ටියක්) ගෝලාකාර හැඩ (කළයක්, ගස්ලබු ගෙඩියක්, කැකිරි ගෙඩියක්, තැඹිලි ගෙඩියක්) පැළෑටියක් (ක්‍රෝටන්, ඇන්තූරියම්, අරලිය අත්තක්, හබරල අත්තක්) රෙදි කෑල්ලක් (තනිපාට හෝ මල් වැටුණු) යනාදිය යොදා ගනී. එසේම මේවා ඇඳීමේදී දරුවන් මතක තබා ගත යුතු වැදගත් කාරණයක් ඇත. ඔබ මොන යම් ආකාරයකින් හෝ ජ්‍යාමිතික උපකරණ පාවිච්චි නොකළ යුතුය. එසේ වුවහොත් ඔබට අවාසියක් සිදුවනු ඇත.
චිත්‍ර III පත්‍රය ‘අ’ ‘ආ’ ‘ඉ’ යන කොටස් පිළිවෙළින් චිත්‍ර සංරචනය (ප්‍රකාශන චිත්‍ර), ගැෆ්‍රික් චිත්‍ර, මෝස්තර හා සැරසිලි නිර්මාණය ලෙස පවතී. චිත්‍ර සම්පිණ්ඩනය කිරීමේදී ස්වභාවික මෙන්ම නිර්මිත පරිසරයේ වස්තූන්ගේ ස්වභාවයන්, ඒ තුළ සිදුවන සිද්ධීන් හා ක්‍රියාදාමයන් පිළිබඳව ලබා ඇති ඇති අත්දැකීම්, චිත්‍රමය භාෂාව තුළින් ප්‍රකාශ කිරීමේ කුසලතාව ඇගැයීම සිදු කෙරේ. දරුවන් විසින් තෝරාගන්නා මාතෘකා ප්‍රකාශනය කිරීමේදී විවිධ කුසලතා දක්නට ලැබේ. නමුත් රේඛා, හැඩතල, වර්ණ හැසිරවීමේ විසමතා දැක්වෙන අවස්ථා ද බොහෝය. කුසලතා දක්වන දරුවන් මෙන්ම කුසලතා පෝෂණය කර නොගත් දරුවන් ද සිටී. ඔවුන් කෙසේ හෝ ඉදිරි දින කිහිපයේදී හැකියාවන් වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්න.
තෝරාගත් මාතෘකාව උචිත ලෙස ප්‍රකාශ කර තිබීම, මානව හා සත්ත්ව රූ, සියලු හැඩතල තලය තුළ සම්පිණ්ඩනය කිරීම, රේඛාව හා හැඩතල යොදා ඇති ආකාරය, වර්ණ භාවිතයේ ඇති කුසලතාව, සමස්ත නිමාව යන නිර්ණායක සඳහා ලකුණු 06 බැගින් ප්‍රදානය කෙරේ.
මා වසර 10 ක අ.පො.ස. (සා/පෙළ) චිත්‍ර විෂයය සැලකිල්ලට ගත් අතර එහිදී ධීවර කර්මාන්තය සම්බන්ධ විවිධ තේමාවන්, ඉන් වසර 08 දීම ප්‍රශ්න පත්‍රවල අන්තර්ගත වී තිබුණි. එසේම ආගමික තේමා යටතේ චිත්‍ර සංරචනය කිරීම වසර 06 දීම අන්තර්ගතව තිබුණි. මෙහිදී ඔබට තාත්වික හෝ කල්පිත නිර්මාණයක් කිරිමට ඔබට හැකිය.
‘ආ’ ග්‍රැෆික් චිත්‍ර නිර්මාණකරණය තුළින් මුද්‍රණ ක්‍රම පිළිබඳ සහ නිර්මාණාත්මක බව, සැලසුම්කරණය අගයනු ලබයි. මේ කොටසේ අන්තර්ගත සියලුම තේමා ග්‍රැෆික් ක්‍රමයට කිරීමට උචිත පරිදි ඇදිය යුතුය. බොහෝ විට පෝස්ටර් චිත්‍ර නිර්මාණය කිරීමට, පොත් පිටකවර ඇඳීමට, ආරාධනා පත්‍ර නිර්මාණයට, දවටන නිර්මාණයට මේ තුළින් සිදුවේ.
‘ඉ’ මෝස්තර හා සැරසිලි නිර්මාණය තුළින් නිර්මාණශීලි සැලසුම්කරණය හා අලංකරණය පිළිබඳ ඔබ ලබා ඇති කුසලතාව පිරිස්සීම සිදු කරයි. මාතෘකාව අදාළ ව සැලසුම් කිරීමේ හැකියාව, පාරිහාරික අවශ්‍යතාවන්ට ගැළපෙන බව හා කර්මාන්තයට උචිත බව, රේඛා හා හැඩතල යොදා ගැනීම, උචිත වර්ණ තෝරා ගැනීමේ කුසලතාව, විචිත්‍ර බව, චමත්කාර බව හා සාර්ථකව නිම කිරීමට ලකුණු ප්‍රදානය කෙරේ. මෙහිදී දරුවන් පිටපත් කිරීමේ ක්‍රමවේදය මැනවින් දැන සිටිය යුතු අතර මෝස්තර නිර්මාණය එය වැදගත් වේ. එසේම දරුවන් සිංහල සාම්ප්‍රදායික මෝස්තර අංග තම මතකයෙන් නිවැරදිව ඇඳීමට සමත් විය යුතුය. මේ සඳහා දිය සායම් හෝ පැස්ටල් වර්ණ මාධ්‍යයෙන් චිත්‍රය වර්ණ ගැන්විය හැකි අතර දියසායම් මඟින් මෙය නිර්මාණය කිරීම වඩා ඵලදායි වේ. එහිදී මෝස්තරය වටා රේඛාවෙන් ඇඳීමෙන් (OUTLINE) අලංකාරයක් අත් වේ. මෙම රේඛාකරණය කිරීමට හුරුව ලබා ගැනීමට ඔබ අංක 0 හෝ අංක 1 පින්සල රැගෙන පෙරහුරුවේ යෙදිය යුතුය. එසේ නොවුණ හොත් ඔබගේ අත වෙව්ලා වට රේඛා කරණයේ යෙදීම අසාර්ථක වේ. නමුත් ඔබ නැවත නැවත රේඛා ඇඳීමට පෙරහුරු කිරීමෙන් ඉහත තත්ත්වය 95% ක්ම මඟහරවා ගත හැකිය.
ඔබ චිත්‍ර ඇඳීමට, රේඛාකරණයට 2B හෝ 6B වර්ගයේ පැන්සලක් පාවිච්චි කළ යුතුමය. එය ආධාරයෙන් ඉතා පහසුවෙන් රේඛාකරණය (මහන්සියකින් තොරව) කළ හැකිය. විශේෂයෙන් ද්‍රව්‍ය සම්පිණ්ඩනයේ රේඛා අධ්‍යයනයට මෙම පැන්සල (2B) ඔබට ඉවහල් වේ. ඔබ විභාගය සඳහා යන විට ඔබේ පුරුදු වර්ණ පෙට්ටිය, පැන්සල, පින්සල් රැගෙන යන්න. එසේම පිරිසිදු රෙදි කැබැල්ලක් පින්සල් හා පැස්ටල් කූරු පිරිසිදු කිරීමට රැගෙන යන්න.
විභාගයට තවත් දින කිහිපයක් ඇති බැවින්, පසුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න. වාර විභාගයේදී ඔබ විසින් සිදු කළ වැරැදි, ගුරුතුමා / තුමිය පෙන්වා දුන් වැරැදි නිවැරැදි කර ගන්න. ඔබ විසින් විශ්වාසයක් ගොඩනඟා ගන්න. කාලය අපතේ නොහැර ඉදිරි සම්පූර්ණ කාලයම විභාගය සඳහා සූදානම් වීමට යොදවන්න.
විභාගයේ දී ඔබ, ඔබගේ විභාග අංකය, ප්‍රශ්න අංකය, චිත්‍ර මාතෘකා පැහැදිලිව සඳහන් කරන්න. ප්‍රශ්න පත්‍ර නියමිත පරිදි අමුණන්න. චිත්‍රය වියළී නොමැතිනම් අමුණන්න එපා. ශාලාධිපති තුමන්ට භාරදෙන විට හොඳින් වියළී තිබීමට වග බලා ගන්න. ප්‍රශ්න පත්‍රය ඇලි තිබුණහොත් අවාසියක් සිදු වනුයේ ඔබටය. චිත්‍ර විෂයය හදාරණ දරු දැරියනි, ඔබට චිත්‍ර විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමටත්, ආදරණීය ඔබට අ.පො.ස. (සා.පෙළ) විභාගයට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි