Sunday, November 10, 2013

දූවිලි පොදක් වැහි පොදක් නොගැටෙන සේ ළමයින් හැදුවොත්...

දූවිලි පොදක් වැහි පොදක් නොගැටෙන සේ ළමයින් හැදුවොත්...


මගේ දුවව මං පොඩි කාලේ ඉඳලා මලක් වගේ හැදුවේ. කිසිම දුකක් එයාට දීලා නෑ. හැම දේම දීලා හොදින් උගන්වලා විශ්ව විද්‍යාලයට යැව්වා. එහිදී මගේ දුව ලස්සන දක්ෂ ළමයෙක් කියලා යාළුවො මගේ දුවට වෙනස්කම් කරන්න පටන් ගත්තා. ඒ මදිවාට රණ්ඩුත් කරලා. හැමෝගෙම වැරදි වලට අහු කරන්නෙ දුව තමයි. දැන් හැමෝම දුවත් එක්ක ගොඩක් ඊර්ෂ්‍යාවෙන් ඉන්නෙ.
ඉතින් අපි දරුවාව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයෙන් අයින් කරලා හිතවත් ළමයි දෙන්නෙකුත් එක්ක වෙනම තැනක නැවැත්තුවා. බලාගෙන යනකොට ඒ ළමයිනුත් ගොඩක් දුවට වෙනස්කම් කරලා. ළමයි දුවත් එක්ක රණ්ඩු කරලා විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියට කියලා තියනවා මගේ දුවට පිස්සු එයත් එක්ක පන්තිවල ඉන්න බෑ කියලා. ඉතින් ඒ මහත්තුරු ගත්තෙත් අර ළමයින්ගේ පැත්තයි. දුවට හොඳ වෙනකල් නැවත පන්ති එන්න එපා කිව්වා. මගේ දුව හරිම කලකිරීමෙන් ඉන්නෙ. එයාට ඇති මොන අසනීපයක්වත් නෑ.”
මේ ආකාරයට තම කතාව එක දිගටම පවසාගෙන ගිය ධනවත් මැදිවියේ, උගත් කාන්තාව අසල ඉතා ප්‍රියමනාප ලස්සන තරුණ යුවතිය ද වාඩි වී සිටියාය. මවගේ දැනුවත් කිරීම්වලින් පසු ඇය සමඟ කතාබහ කිරීමේදී දැනගන්නට ලැබුණේ තමාලි පවුලේ එකම දරුවා වන බවත්, කවුරුත් ඇයට මහත් සේ ආදරය කළ බවත්ය. කුඩා කල සිටම මහත් සැප සම්පත් මැද තමාලී හැදී වැඩි ඇත. කුඩා කාලයේ වුව ද ඇයට යහළුවන් සමඟ කතාබහ කිරීමට හා සෙල්ලම් කිරීමට ඉඩකඩ ලැබුණේ තෝරා ගත් පිරිසුදු ස්ථානවල පමණි. වැල්ලේ, වැස්සේ, අව්වේ සෙල්ලම් කිරීමට ඇයට අවස්ථාවක් ලැබුණේ නැත.
ඕනෑවටත් වඩා විෂබීජවලින් හා ලෙඩ රෝගවලින් මවුපියන් ඇයව ආරක්ෂා කොට තිබිණි. නිවසේදී පවා ඇයට වෙනම කාමර, ඇඳ ඇතිරිලි, කෝප්ප පිඟන් ආදිය ලබා දී තිබිණි. කිසි දින කිසිවෙකු පාවිච්චි කළ කෝප්පයක් පිඟානක්වත් ඇය පරිහරණය කර නැත. බස් රථයක වුවද ගමන් කර ඇත්තේ ඉතා කලාතුරකින් වන අතර ගමන් කර පැමිණි වහාම නාගෙන පිරිසුදු වීම ඇගේ පුරුද්දය.
ඈ නිවස හා කාමරය පිරිසුදුව පිළිවෙළකට තබා ගැනීමට මහත් උත්සාහයක් දැරුවාය. ඇය මේ දේවල් පැවසුවේ තමා හොඳ පිරිසුදුව සිටින පිළිවෙළට වැඩ කරන හොඳ කීකරු ළමයෙක් ලෙසයි. ඇගේ මෙම තත්ත්වය වෙනස් වූයේ උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයට ඇතුළු වී අනෙකුත් සිසුන් සමඟ නේවාසිකාගාරයට ඇතුළු වීමත් සමඟය.
ඉහත කරුණු දැන ගැනීමෙන් පසු මම තමාලි දෙසට හැරුණෙමි. ඇය පැවසූ දේ මෙසේය.
“ගෙදරදි මම තනියම හොඳ පිරිසුදු කාමරයක හිටියා. දැන් මගේ කාමරේ ඉන්න යාළුවො හරිම අපිරිසුදුයි. ඇදුම් හැම තැනම. පිළිවෙළකට සෙරෙප්පු තියන්නෙත් නෑ. මම කොච්චර පිළිවෙළට පොත් මේසෙ තිබ්බත් එයාලා ඇදලා දානවා. එතකොට ඉතින් මට ගොඩක් කේන්ති යනවා. මට බැහැ එයාලත් එක්ක එකට ඉන්න. ඒ දේවල්වලට මම එයාලාට බණිනවා. රණ්ඩු වෙනවා. ඒත් එයාලාට පේන්නෙ මගෙ වැරදි. කැන්ටිමට මම මගේ කෝප්පෙ අරගෙන තේ බොන්න ගියහම යාළුවො මට කියනවා හැමෝම බොන කෝප්පවලින් බොන්න පුරුදු වෙන්න කියලා. මට හරිම අප්පිරියයි.
දේශනවලට ගියහමත් සමහර ළමයි සෙල්ලම් කරලා දාඩිය පිටින් ඇවිත් මගෙ ළගින් වාඩි වෙනවා. මම එතනින් යන්න කිව්වහම එයාලා මට බණිනවා. උඹට පිස්සු කියලා බණිනවා. මට ඒක ඉවසන්න බෑ. එහෙම කියපු කිහිප දෙනෙක් එක්ක මම ගහගත්තා. ඊට පස්සෙ තමයි මට පන්ති තහනම් කළේ. මම දන්නෙ නෑ මට මොනවා වුණා ද කියලා.” තමාලි ඒ ආකාරයට තමා පිළිබඳව ස්වයං විවේචනයක යෙදුණාය.
මා හට පැහැදිලි වූයේ ඇය ග්‍රස්තිය නම් වූ නිවුරෝෂියා මානසික රෝගයේ රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. මෙම රෝගය හටගැනීමට ජානමය රසායනික මෙන්ම පරිසරය සමාජීය හේතූන් ද බලපානවා. මෙම රෝගයේදී සිදු වන්නේ වෙනත් රසායනික වෙනස් වීමක් නිසා ක්‍රියාවකට හෝ සිතුවිල්ලකට පාලනයකින් තොරව යොමු වීමයි. එවන් අය අවට සමාජය සමඟ නොගැටෙන අතර ප්‍රශ්න ඇති කර ගනී. එම ප්‍රශ්න දුර දිග ගියහොත් වෙනත් මානසික කඩා වැටීම්වලට ලක් විය හැකිය. තමාලි හට මේ තත්ත්වය ඇති වීමට බලපා තිබුණේ ජානමය තත්ත්වයකට වඩා ඇයව කුඩා කල සිට මවුපියන් හා සමීපතමයන් හදා වඩා ගත් ආකාරයයි.
එනම් ඇයට කුඩා කාලයේ සිට දූවිලි ඇල්ලීමේ අවස්ථාව ලැබී තිබුණේ නැත. අද ඇය වැලි දුටු විට විෂබීජ ලෙස සිතයි. අන් අය සමඟ සමාජශීලීව භාණ්ඩ පරිහරණය කිරීමට ඇය කැමැත්තක් දක්වන්නේ නැත. ඇයට කුඩා කාලයේදී එවැනි අත්දැකීම් ලැබී නැත.
අන් අය පරිහරණය කරන භාණ්ඩ විෂබීජ ගොඩක් සේ ඇයට දැනෙයි. දොරගුලක් හෝ ජනේලයක අගුලක් ඇල්ලු විට ඇය හොඳින් සබන් දා අත් සෝදා ගන්නේ කුඩා කාලයේ සිටය. මවුපියන් විසින් ඇයට ඕනෑවට වඩා පිරිසුදුකම ගැන හා පිළිවෙළ ගැන උගන්වා යථාර්ථයෙන් තොර තැනකට ඇගේ මනස යොමු කොට ඇයව අනවශ්‍ය ලෙස බිය වද්දා තිබිණි.
කුඩා කල සිටම එසේ තම යටි සිතේ තැන්පත් වී තිබූ දේ ඇය නොදැනුවත්වම දැන් අනිවාර්ය දෙයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. පාසල් යන කාලයේදී ඇයට එතරම් ප්‍රශ්න පැන නැඟුණේ නැත්තේ ඇය නේවාසිකව නොසිටි බැවිනි. එහෙත් විශ්ව විද්‍යාලයේ අනෙක් ළමයින් සිතන පතන දේ වලට වඩා වෙනසක් පෙන්නුම් කළ තමාලි අන් අය සමඟ නිතර නිතර ගැටුම් ඇති කර ගත්තාය. එම තිබූ කරුණු තමාලි හට නැවත නැවත වධ දෙමින් එය මානසික කඩා වැටීමකට ලක් විය.
ඇයගේ රෝගී තත්ත්වය නිසි පරිදි හඳුනා ගැනීමෙන් පසු ඒ පිළිබඳව මවට හා තමාලි හට දැනුවත් කොට සංජානනීය චර්යා ප්‍රතිකාර ක්‍රම හා ඇයව සැහැල්ලුකරණයකට පත් කිරීම සඳහා මෝහන ප්‍රතිකාර ද යොදා ගන්නා ලදී. යථාර්ථය අවබෝධ කර ගැනීමට සමත් තමාලි ප්‍රතිකාර වාර කිහිපයකට සහභාගි වීමෙන් පසු ඇය සිතන පතන දක්ෂ සිසුවියක බවට පත් විය. මවුපියන් සිතට ගත යුත්තේ ඔබේ දරුවා අනවශ්‍ය ලෙස සමාජීය හා පාරිසරික සාධක වලින් ඉවත් වීමට උත්සාහ නොකිරීමට වග බලා ගැනීමයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි