Friday, August 1, 2014

ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

‘ඔන්න බබෝ’ චිත්‍ර කතාව ලීවේ  අම්මා කියපු දරු නැළවිල්ල
50 වසරක් ‘මිහිරේ’ චිත්‍ර ඇඳි එස්. ඒ. දිසානා
අද (27) ‘මිහිර’ ළමා පුවත්පතේ 50 වැනි උපන් දිනයයි. එස්. ඒ. දිසානායක ‘මිහිර’ ආරම්භයේ සිටම ඊට චිත්‍රකතා අඳින ප්‍රවීණ ශිල්පියෙකි. ‘ඔන්න බබෝ’, ‘යෝධයා’, ‘ඕලු’ ඔහුගේ ජනප්‍රිය චිත්‍රකතා නිර්මාණය. (බූ, බබා, තුල්සි, බටකොළ ආච්චි වැනි ළමා පරපුර අතර ආදරය දිනු චරිත ඇතුළත් වූයේ ඔන්න බබෝ චිත්‍රකතාවේය.) එස්. ඒ. දිසානායක අදටත් ‘මිහිර’ පත්‍රයට චිත්‍රකතා අඳි. මේ ඔහුගේ කලා දිවිය තුළ ‘මිහිරේ’ අත්දැකීම් අප හා මිහිරිව බෙදා ගත් ආකාරයයි.
ඔබ පුවත්පත් චිත්‍රකතා ක්ෂේත්‍රයට පිවිසියේ කොහොම ද?
“මං මුලින්ම ‘ලංකාදීප’ පත්‍රයේ ‘ළපටි පෙළ'ට චිත්‍ර යැව්වා. ඒවා එහි පළවුණා. ඊළඟට මා එම පත්‍රයේම ලියුම් කියුම් තීරයට ලිපි ලියන්නට පටන් ගත්තා. මා වෘත්තීය චිත්‍ර ශිල්පියකු වන්නට දැරූ වෑයම සාර්ථක වුණේ නෑ. අවසාන කාලයේ කොළඹ වෙළෙඳ ලිපිකරුවකු ලෙස කටයුතු කරද්දී හඳුනාගත් තැනක චිත්‍ර වැඩ වගයක් ලැබුණා.
එතැන කළ ලිපිකරු රැකියාවෙන් ද අස්වී චිත්‍ර වැඩ බලාපොරොත්තුවෙන් එතැනට ගියා. එතැනින් වැඩ ගත්තා මිස ගෙවීම් කළේ එපා වෙන තැනට. අවසානයේ එහි අයිතිකරු මා දෙමළ වාණිජ චිත්‍ර ශිල්පියකුට භාර කළා.
දෙමළ චිත්‍ර කරුවා වෑන් රථයක් පින්තාරු කිරීමට මා හවුල් කර ගත්තා. දිනපතා ඔහු මගේ මහන්සියට ගෙවීම් කළා. වැඩය අවසානයේ ඔහු මට මෙහෙම කිව්වා.
“මල්ලි ඔයා චිත්‍ර වැඩ සොයමින් කොළඹ රස්තියාදු වෙන්න එපා! මල්ලිට හොඳ අනාගතයක් තියෙනවා! මල්ලි ගෙදර ගිහින් තනියම අඳින්න!” ඔහු කී වචන තදින්ම මගෙ හිතේ කා වැදුණා.
මම ගෙදර ඇවිත් චිත්‍ර කතාවක් අඳින්න පටන් ගත්තා. ඒක ඇන්දේ ‘නවයුගය’ සඟරාව අරමුණු කරගෙන. මොකද අපේ ගෙදරට ‘නවයුගය’ සඟරාව ගන්නව. කතාවෙ නම ‘රාජකාරිය'. හුඟක් මහන්සි වෙලා ඒක ඇන්දෙ. මම ඒකත් අරන් ‘නවයුගය’ කාර්යාලයට ඇතුළු වුණා. ලිපි ගොඩගැසුණු මේසයක් ඉදිරියෙහි වාඩිවී සිටි කෙසඟ සිරුරක් ඇති මහතා මා දුටු සැණින් කරමින් සිටි කටයුත්ත නවත්වා ඉදිරි ආසනය මට පිළිගැන්වූවා.
මං වාගේ වටිනාකම නොපෙනෙන ගැටයෙකුට මෙතරම් සැලකිල්ලක් දැක්වීම ගැන පුදුම වෙමින් මම වහා ගෙන ගිය චිත්‍ර කතාව එතුමාට පිළිගැන්වූවා. එය දෝතින්ම පිළිගත් එතුමා කතාව එක හුස්මට කියවාගෙන ගියා. ඔහු තමයි ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ මහතා.
“මේ කතාව හොඳයි. චිත්‍රත් හොඳයි. ඒත් අපට ඕනෑ ළමා කතා. මේ කතාව ‘දිනමිණ’ ‘ලංකාදීප’ වාගේ පත්‍රයකට හොඳයි. ඔයාට පුළුවන්නම් ළමා කතාවක් කරගෙන එන්න!”
“ළමා කතාවක් කරගෙන එන්න!” ලියනගේ මහතාගේ ඒ වචන ටික තමා මට මෙතෙක් දුර එන්නට ජීවය දුන්නේ! මා එතෙක් ඇසු මිහිරි සුන්දරම වචන ටික! මා ගෙදර ආවේ බසයේදීම කතාව තනාගෙන. ගෙදර ආ විගස කතාව අඳින්නට පටන් ගත්තා.
1961 ජනවාරි 26 ‘නවයුගය’ කලාපය අතට ගත් මම පුදුම වුණා. ආධුනික මට මේතරම් තැනක් දී තිබෙන්නේ ඇයි? සඟරා කවරයෙහි විශේෂාංග හැඳින්වීමෙහි ‘රත්තරන් පුතා - එස්. ඒ. දිසානායක’ යන්න සඳහන් වී තිබුණා.
ඉන් පසුව ගෙන ගිය චිත්‍ර කතාව ද බාරගත් ලියනගේ මහතා ‘නවයුගය’ සඟරාවේ පිටු හතරක් සඳහා ළමා කතාවක් නිර්මාණය කිරීම භාර කළා. එය පිටුව පුරා විහිදෙන ලොකු පින්තූර හා ඉතුරු ඉඩේ කතාව අත් අකුරින් ලිවිය යුතු වුණා. එය චිත්‍ර කතාවක් අඳිනවාට වඩා පහසුයි. රසවත්.
එබඳු කතාවලට මා ළඟ බොහෝ අමුද්‍රව්‍ය තිබුණා. මේ අතර ‘නවයුගය’ සඟරාවේ පළවන කෙටිකතා, කවි හා කොටස් වශයෙන් පළවන කතා ආදියට අවශ්‍ය චිත්‍ර ද මා ලවා කරවා ගත්තා.
“දිසානායක වැඩිහිටියන්ට බලා රස විඳිය හැකි කාටුනයක් අවශ්‍යයි.” දිනක් ලියනගේ මහතා කීවා. ඒ අනුව මා ‘පඬිතුමා’ කාටුනය ඉදිරිපත් කළා.
‘මිහිර’ පත්‍රය පටන් ගන්නට අවුරුද්දකට හෝ මාස ගණනකට පෙර ලියනගේ මහතා මට කීවා, අපි ළමා පත්‍රයක් පටන් ගන්න යනවා. ඒකට එක පිටුවක් පිරෙන්න ළමා කාටුනයක් ඕනෑ! එයින් කීපයක් (කොටස්) ඇඳගෙන එන්නට යයි කියා. මා එවකට හිටියේ අලුත්කඩේ උසාවිය පැත්තේ හෝටලේක කාමරයක.
ළමා කාටුනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබුණත් කොනක් අල්ල ගන්නට බැරිව කල්පනා කළා. කාමරයේ ජනේලයෙන් බිම බැලුවාම පෙනුණේ හෝටලයේ කුස්සිය. ඈත බැලුවාම පෙනුණේ කයිමන් දොරකඩ හරිය.
ඉතින් මං මගේ ළමා කාලය ගැන සිතුවා. අම්මා “ඔන්න බබෝ ඇතින්නියා” කියලා දරු නැළවිල්ල කියන කොට මගේ සිතේ මැවෙන සිතුවිල්ල සිහියට ආවා. අපේ ගෙය පිටි පස්සෙ දොළ පාරක් තිබුණා. දොළ පාරෙන් එහා තිබුණේ කැලෑවක්. දොළ පාරෙ තිබුණා ලොකු වටකුරු ගල්. “ගලින් ගලට පනින්නියා” කියනකොට අර ගල් උඩින් පැන යන බෝල අලියෙක් මැවී පෙනෙනවා. ඒ බෝල අලියාගෙන් තමා ‘බූ’ නිර්මාණය වුණේ. බබා, බූගේ යහළුවා වුණා. කතාවෙ නම ‘ඔන්න ‍බබෝ’ වුණා.
පසුව තුල්සි, බටකොළ ආච්චි ආදි නොයෙක් චරිත එක්වුණා. මං ‘ඔන්න බබො’ කතා කොටස් කීපයක් ඇඳ ලියනගේ මහතාට ගිහින් දුන්නා.
එතුමා ඒවා බලලා පරිස්සමෙන් කබඩ් එකක දමා කිව්වා “දිසානායක ළමා පත්‍රයකට සුදුසු කාටුන් වාගේ තවත් දේ විවේක ඇති විටදී කරලා ගෙනත් දෙන්න ය කියලා. එහෙම ගෙනැත් දීපු කාටුනයක් තමා ‘හොඳ පාඩමක් උගන්වනවා’ කියලා මුල්ම ‘මිහිරේ’ මුල් පිටුවේ පළවී තිබෙන්නේ.
‘මිහිර’ චිත්‍රකතා ශිල්පියෙකු වශයෙන් ඔබ ලැබු අත්දැකීම් මොනවා ද?
එදා ‘මිහිර’ කියවූ දරුවන් අද වැඩිහිටියන් වී සිටිනවා. ඔවුන් මා හඳුනාගත් විට දක්වන ප්‍රතිචාරය සම්මානවලට වඩා ජීවමය බලයක් ලබා දෙනවා. ලියනගේ මහතාගේ කාලයේ දී ‘තිනකරන්’ පත්‍රයේ කතුතුමා මගෙන් අවසරය ලබාගෙන ‘ඔන්න බබෝ’ චිත්‍ර කතාව දෙමළ භාෂාවෙන් පරිවර්තනය කර ‘තිනකරන්’ පත්‍රයේ ළමා පිටුවේ කලක් පළ කළා. ඊට ගෙවීම් ද කළා. ළමා චිත්‍රකතාවලින් ඔබ සමාජයට පණිවුඩයකුත් දුන්නා නේද?
බටකොළ ආච්චිට මායා බලය තිබුණත් ‘බූ - බබා’, ‘තුල්සි’ වැනි ළමයින්ගේ ඥානය හා දිනන්නට ඇයට බැහැ. යෝධයා, පඬිතුමා ගැටුමෙන් යෝධයා ජයගත්තේ කාය ශක්තියෙන් නොවේ ඥාන ශක්තියෙන්. එහි ඇති පණිවුඩය එයයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි