සිංහල සාහිත්‍යයේ උපමා කථා රැසක්‌ම ඇත. එසේම සංස්‌කෘත සාහිත්‍යයට අයත් උපමා කථා ලියෑවුණ ග්‍රන්ථ කිහිපයක්‌ම ඇත. හිතෝපදේශය පංචතන්ත්‍රය ඉන් ප්‍රධාන තැනක් ගනියි. එම ග්‍රන්ථ අනුසාරයෙන් කියවූ උපමා කවි සිංහල ජනතාව අතර බොහෝ සෙයින් ව්‍යවහාර විය. දහම් පොත් අතර 'ධම්මපදය' ට අයත් හැම ගාථාවකම වගේ උපමා දැකිය හැකියි. ධර්මයෙහි අර්ථ වඩාත් පැහැදිළි කරනු වස් එසේ උපමා අන්තර්ගත කොට ඇති බව පෙනෙයි. බුදු හිමියන් සාමාන්‍ය ගැමියන් අතර නිතර දක්‌නට ලැබෙන සිදුවීම් උපමාවට ගෙන දහම් දෙසා ඇති බව පැහැදිළිය. ඒ නිසාම ඒවා ජනතාවට වඩාත් සමීප විය. පැරැණි ලේඛකයන් අතර සද්ධර්මරතනාවලිය කර්තෘ ධර්මසේන හිමියන් තරම් උපමා යෙදීමෙහි දක්‌ෂයකු සිටියේ නැත. උන් වහන්සේගේ උපමා සරලය. ජන දිවියට බෙහෙවින් සමීප විය. තත්කාලීන
සමාජයේ තතු ඉතා මැනවින් නිරූපණය වෙයි. උපමා කවි වනාහි සිංහල ගැමියන් අතර නිරතුරුවම භාවිත වුණි. මෙම කවි වරක් ශ්‍රවණය කළහොත් මතක හිටින තරමට සරලය. සුගම ය. අකුරු ශාස්‌ත්‍රය නොදත් අයකුට වුවද ශ්‍රවණය කිරීම මගින් ග්‍රහණය කර ගත හැකිය.
අපේ ජන කවි සිංහල සංස්‌කෘතිය පිළිබඳ තතු නිරූපණය කරන කැඩපතක් බඳුය. ඓතිහාසික සංස්‌කෘතික සමාජ ගත තොරතුරු දැන ගැනීමට තිබෙන ප්‍රබල මූලාශයක් වශයෙන් ද සැලකීමට පිළිවන් වෙයි. අතීත හෙළ ජන දිවිය ගොඩනැගුනේ ගමෙහි විහාරස්‌ථානය මූලික කර ගත් සමාජයක් වශයෙනි. ඒ අනුව පුරාණ හෙළ ගැමියාගේ සියලු කටයුතු සිදු වුණේ ආගම දහම මුල් කර ගෙනය. ඔවුන්ගේ සිතුම් පැතුම් සදහම් සංකල්ප මතම ගොඩ නැගුණි. ඒ නිසා ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම සඳහා සමාජ ගතව තිබූ විවිධ ජන කවි බෙහෙවින් ඉවහල් වෙයි.
ජන කවි අතර විවිධ කවි රැසක් ඇත. පැල්කවි, කරත්ත කවි, නෙළුම් කවි, ගොයම් කවි, පතල් කවි, ඔන්චිලි කවි නොහොත් වාරම් කවි, තහංචි කවි ආදී කවි වෙනත් කිසිදු ජන සමාජයක දක්‌නට නැති තරම් සිංහල ජන වහරෙයි පැවතිණ. මෙම කවි ඒ ඒ අවස්‌ථාවන්හි ගායනා කිරීමත් ඒවා අසාගෙන සිටීමත් හෙළ ගැමියාගේ විනෝදාශ්වාදය සඳහා හේතු සාධක විය. මේවා මගින් හුදු විනෝදාශ්වාදය පමණක් නොව, සමාජ යහපතට හේතු වන සදහම් පණිවුඩ රැසක් ද ලබා දීමට යත්න දැරූහ. සැබවින්ම මේවා
සමාජයේ යහපත පිණිස හේතු වූ බව අතීත සමාජ තතු විමසීමේ දී පෙනෙයි.
එදා සමාජයේ උපදේශ කවි වශයෙන් කවි විශේෂයක් ද තිබුණි. මෙම උපදෙස් කවි ලිත සාහිත්‍යයක් වශයෙන් නොතිබුණි. මෙම කවි අවස්‌ථාවට උචිත අයුරින් ගායනා කිරීමට අතීත හෙළ ගැමියාට අපූරු හැකියාවක් තිබුණි. මෙම උපදෙස් කවි යොදමින් යමක් පැහැදිලි කිරීමට හැකියවාවක් ඇති පුද්ගලයන් එදා සමාජයේ යම් මට්‌ටමක උගතුන් වශයෙන් සැළකීම ඔවුන්ට ගරු කිරීම එදා
සමාජයෙහි අනුගතව තිබූ කරුණකි. බොහෝ උපදේශ කවිවල මතු පිටින් බලන විට හරවත් දෙයක් නැති බව පෙනුනත් ගැඹුරින් හිතා බලන විටත් එම කරුණු තමන් අත්දුටු අවස්‌ථාවත් සමඟ සස¹ බලන විටත් මේ උපදේශ කවිවල ඇතුළත් කරුණු ඉතා විශිෂ්ඨ ඒවා බව වටහා ගත හැකිය.
කළදේ යමෙක් තතු පින් පව් දැන හොඳට
පළදේ විපාකය කවදා මුත් ඔහු ට
මුහුදේ පැන්නාලු එහි කොණ බලන්න ට
බැරිදේ පුළුවන්ද දත් මිටි කෑවා ට
තමන් යම් කිසි දෙයක් කරන්නේ නම් පින් පව් පිළිබඳ සලකා කළ යුතු බව මෙයින් ප්‍රකාශ වෙයි. එසේ පින් පව් නොසළකා කටයුතු කරන පුද්ගලයන් මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයද අඳුරට පත් කර ගනිති. මෙම උපදේශය ප්‍රකාශ කරන ගමන් සමාජයට සඳහම්
පණිවුඩයක් ද ලබා දෙයි. එය නම් බුදු දහමෙහි පෙන්වා දෙන කර්මවාදයයි. තමන්ට කළ නොහැකි කාර්යයන් කොතෙක් උත්සාහ කළත් කරන්නට අපහසු බවද මෙමගින් පෙන්වා දී ඇත. ඇඟිල්ලේ තරමට ඉදිමුව ගත යුතුය යන ආප්තෝපදේශයද මෙය කවිය මගින් දක්‌වා ඇත
කලකට කට මව් දෙතනේ කිරි බී මා
කලකට කට රට පලවැල වැළඳී හා
කලකට කට වෙලකට බැඳි වැට සේ මා
කලකට කට පට මල්ලේ කට සේ මා
ඉතා දීර්ඝව විස්‌තර කළ යුතු දහම් කරුණු රැසක් කැටි කොට ඇති මෙම කවිය මගින් ඉදිරිපත් කරන දහම් පණිවුඩය උගතුන්ට මෙන්ම නූගත් ගැමි ජනයාට
පහසුවෙන් වටහා ගත හැකිය. බුදු දහමෙහි උගන්වන අනිත්‍යය පිළිබඳ පැහැදිලි කරන මෙම කවිය මගින් රූපයෙහි තිබෙන නිසරු බව පෙන්වා දෙන්නේ ගැමියන්ට පහසුවෙන් තේරුම් ගත හැකි සුලබ උපමා උපයෝගි කර ගෙනය. මිනිස් දිවියෙහි සියලු අවස්‌ථාවන් මෙම කවි පද හතර මගින් අපූරුවට පැහැදිළි කර දෙයි
ඇස නැතිදා පොත ගත්තේ කියන්නට ද
දත නැතිදා උක් දඬු ගිනි තපින්නට ද
වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ට ද
යුද ඇතිදා නැති කග කොස් කොටන්ට ද
අද කළ යුතු දෙය අද කළ යුතුය. පසුවට කල් දැමුව හොත් තමන්ට පසු තැවිලි වීමට සිදු වෙයි. 'අඡ්ජෙව කිච්චං ආතප්පෝ - කොජඤaෙCදා මරණෙ සුවෙ' අද කළ යුතු කාර්යය අද කළ යුතුය. මරණය හෙට වුවද විශ්වාශ නැත යන බුදු දහම ඇතුළත් කොට තිබෙන මෙම උපදේශ කවිය මගින් ලබා දෙන පණිවුඩය එදා සමාජයේ දියුණුව සඳහා කොතෙක් උපකාරී වන්නට ඇත්ද? සැබවින්ම මම කවි ඇසු නූගත් ගැමියා වෙර වීරිය රැගෙන කටයුතු කර ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර දියුණුව සඳහා ද අවශ්‍ය කටයුතු නොපමාව සිදු කිරීමට පෙළඹී ඇති බව සිතිය හැකිය.
ඉක්‌මන් කෝපයෙන් කිසිවෙක් නැත බේරී
දැක්‌මෙන් සිත පිනයි හොඳ යහපත් බාරි
රැක්‌මෙන් ඉවසුමෙන් යහපත එයි බේරී
ඉක්‌මන් වුණොත් කොරහෙන් අත දානු බැරි
ඉක්‌මන් කෝපය නැතහොත් ක්‍ෂණික කෝපය නිසා ඇතැම් දෙනා බරපතළ අපරාධ කරති. එහි බරපතළ බව වැටහෙන්නේ සියල්ල සිදුවී හමාර වුවාට පසුවය. ස්‌වල්ප මොහොතක් හෝ ඉවසුවේ නම් එවැනි විපත් වළකා ගත හැකිය. ඉවසීමෙහි වැදගත්කම බුදු දහමෙහි මැනවින් පෙන්වා ඇත. එය බෝසත්වරවැන් විසින් පුරණු ලබන පාරමිතාවක් වශයෙන් ද සඳහන් වෙයි. මෙම උපමා කවිය මගින් ඉවසීමෙහි වැදගත්කම මෙන්ම අනවශ්‍ය කලබලකාරි තත්ත්වයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බව ද පෙන්වා දෙයි. ඉක්‌මන් වුණොත් කොරහට වුවද අත දැමිය නොහැක. කොරහ යනු කුස්‌සියේ භාවිතා කරන විශාල කටක් සහිත භාජනයකි.
සිටියට ඉනිකුණෙන් කඩනෙද හැඳි රෙද් ද
කිව්වට දොසක් උතුමන් කෝපය වෙද් ද
කෙරුවට අපහාස ඇති ගුණ නැති වෙද් ද
බිරාවට සුනකයෙක් කන්දක් මිටි වෙද් ද
උතුම් පුද්ගලයන්ට නින්දා අපහාස කිරීම සමාජයේ කොතෙකුත් සිදු වෙයි. බුදු හිමියන් වැනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමකට ද සමාජයෙන් ලැබුණ නින්දා අපහාස කොතෙක්‌ද? එහෙත් උන් වහන්සේ කිසි විටෙකත් කම්පාවට පත් නොවුණ සේක. මෙම උපමා කවියෙන් ද පැවසෙන්නේ එම අකම්පිත ගුණයෙහි තිබෙන වැදගත් කමයි. උතුමන්ට නින්දා අපහාස කරන විට ඉවසන අතර ඉවසන නිසාම ශ්‍රේෂ්ඨත්වය වර්ධනය වෙයි. මෙම උපමා කවියෙහි සාමාන්‍ය අර්ථය එය වෙයි.
පෙනුමට රටට සබයට උගතෙක් විල සේ
රට තොට පසිඳු මුත් ඉන්නට නැත නිව සේ
කෙරුමට බැරි නොයෙක් වැඩ නෙක ලෙස සැළසේ
ගෙදරට මරගාතෙ ලෝකෙට පරකා සේ
ඇතැම් පුද්ගලයන් ලෝකය හදන්නට බණ කියති. එසේ බණ කියන බවට රටෙහි ප්‍රසිද්ධියක් උසුලති. එහෙත් තමන් තුළ කිසිදු ගුණ ධර්මයක් නැත. තමන් දේශනා කරන බණ අනුව පිලිපැදීමක් නැත. එවැනි අය දේශනා කරන බණ බැදි බණ වශයෙන් ලෝකෝපකාර කතුවරයා සඳහන් කර ඇත. වඩුවාගේ ගෙදර පුටුව නැතිවා වගෙයි යනුවෙන් ප්‍රස්‌ථා පිරුළක් හැදී ඇත්තේ ද එවැනි අය වෙනුවෙනි.
පීල්ලේ දියට කළයක් නැමූව ත්
නොපිරෙයි කළය සැට පැයකින් බැලුව ත්
පින් මදි එකා බණ දහමින් වෙලූව ත්
උගේ ගතිය ඌ නාරි මැරූව ත්
වතුර ගලා හැලෙන පිහිල්ලකට කළයක් ඇල්ලූ විට එය සම්පූර්ණයෙන් පුරවා ගැනීම අපහසු වෙයි. මෙය උදාහරණයකට ගෙන කවියා සමාජයේ පවතින දුර්වලතාවක් පෙන්වා දුනි. ඇතැමුන්ට කොපමණ අවවාද කළත් ඔවුන්ගේ වැරදි නිවැරදි කර ගන්නේ නැත. ඔහු බණ දහම්වලින් වෙලුවත් ඔහුගේ උපන් ගතිය අත්හැර දැමීමට පුළුවන් කමක් නැත. එවැනි පුද්ගලයන් ඉලක්‌ක කර ගෙන මෙම කවිය කියවී ඇත. මෙයටම සමානව තවත් උපමා කවියක් ඇත. එනම්.
වැහැරන මුල් කෙසරු සිය ගති නොහරි ය
ඇති කළත් සුනකු තම ගති නොහරී ය
කිරේ ලුවත් අගුරු කලු පැහැ නොහරී ය
කොහේ ගියත් වලා වල් කමි නොහරී ය
සිංහයා වියපත් වුණත් සිංහ ගතිය අත් නොහරියි. ඇති දැඩි කරන සුනකයා සුනක ගති අත් නොහරියි. කිරිවල දමා තිබුණත් අඟුරු සුදු පැහැ ගන්නේ නැත. ඒ අයුරෙන් වල්කම් කරන පුද්ගලයා කොහේ ගියත් තමන්ට සුපුරුදු වල් කම් කරයි.
බලැත් රජු හටත් කල කම් ල දෙවතී
ජගත් ගිනි සුළං කෝපය ලොව පවතී
මහත් දන පතින් නිගමනයට පත් වෙතී
පහත් වුණ හෙනේ කෛdතනට මුක් විදිතී
ඇතැම්දෙනා බලයෙන් ධනයෙන් මත්ව, උඩඟු බවට පත් වී කටයුතු කරති. එයින් නොයෙකක් නොපනකත් කම් කරති. එහෙත් ඔවුන් කළ අපරාධ දූෂණවලට ප්‍රතිවිපාක කෙදිනක හෝ ලැබෙනු ඇත. ඔවුහු ධනය නොමැති දිළින්දන් වී අසරණ බවට පත් වෙති. කවියෙන් උපදෙස් දීම බුදු දහමෙහි එන ප්‍රධාන ලක්‍ෂණයකි. ධම්මපදය වැනි ත්‍රිපිටක අන්තර්ගතයන් විමසීමේ දී ඒ බැව් මැනවින් පසක් වෙයි. පුරාතණ ගැමියන් බුදු බණ කාටත් තේරුම් ගත හැකි පරිදි දේශනා කරනු වස් ඉදිරිපත් කළ බොහෝ උපදෙස් කවි ඇත.
සූරිය උදා වන තුරු පිණි බෑවිල් ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල් ල
මාරුව බල බලා සිත යට සැරසිල් ල
කාරිය කරන තුරු කාගෙත් රැවටිල් ල
තමන්ට යම් කිසි කාර්යයක් කර ගන්නා තුරු ඇතැම් දෙනා නොයෙක් ඉච්චා බස් කියති. පොරොන්දු රාශියක් දෙති. තම කාරිය කර ගත් පසු දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර ඉවත බලා ගනිති. ඒ සියල්ල අමතක කර දමති. දේශපාලනය පිළිබඳ විමසීමේදී මෙය නිතර මහ ජනයා අතර කථා බහට ලක් වන කරුණකි. එදා සමාජයේත් එවැනි රැවටිලිකරුවන් සිටින්නට ඇත. එවන් රැවටිලි කරුවන් ගෙන් බේරී කටයුතු කිරීමට කවුරුවත් සිත්වලට ගත යුතුය.
'ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය', 'පැන යන මුවන් දැක නොදමනු නෙලු පලා', 'සුනක නගුට බැරි ඇද ඇරලා ගන්ට', 'ලූලා නැතිවලට කනයා පණ්‌ඩිතයා', 'සෙවනැල්ලත් ඇදලු අත් ඇරෙනා දීගේ', 'තණ්‌හාපතියන්ට විලි බිය දෙකම නැති', 'කුමට ලීයගේ කැත වුණි නම් කිරියාව', 'අම්මට ආලෙ නැති දරු රටට වැඩ නැති', 'කහල ගොඩේ තිබුණත් මැණික මැණිකමය', 'මළදා ඉතින් පණුවන් මිස කාත් නැති', 'පනින රිලවුන්ට ඉනිමං කමකන් නැත', 'වදුරා නාකි වුණ මුත් උඩමයි ගමන' මෙවැනි කරුණු ඇතුළත් උපමා කවිවලින් එදා සමාජයේ ගුණ දම් පෝෂණය සඳහා ලැබුණ පිටු බලය අති විශ්ෂ්ඨ ය. යහපත් සමාජයක් ගොඩ නගනු වස් මෙම උපදෙස් කවි කොතෙක් දුරට ඉවහල් වී ඇත්ද යනු විමසා බලන විට පසක් වෙයි.
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
නාලන්දේ විමලවංශ හිමි
http://www.divaina.com/2015/11/11/news21.html
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි