Friday, November 20, 2015

‘රන්හාමි’

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
1960 සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය වූ ‘රන්හාමි’ සමාජ විද්‍යාත්මක කවි කථාව පාඨක ලොවට ඉදිරිපත් කළ ඔහු එදා සිට මෙදා දක්වා ලියා පළ කළ ග්‍රන්ථ ප්‍රමාණය 53කි. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ග්‍රන්ථ කරණයේ යෙදෙන ආචාර්ය ඔබේසේකර ‘ධනු සහ සුමන’, ‘තිදෙනකුගේ පෙම් කතාව‘ ලියා පළ කළ පසු නවකතා ලිවීමට වඩා පර්යේෂණ ග්‍රන්ථවලින් වත්මන් සමාජයට ප්‍රයෝජනවත් සේවයක් සිදුවන බැව් අවබෝධ කරගත් අතර විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳ පර්යේෂණ කරමින් පර්යේෂණ ග්‍රන්ථ ලිවීම ආරම්භ කළේ ය. ඔහුට මේ පර්යේෂණ සඳහා ලන්ඩන් නුවර ග්‍රෙහැම් පර්යේෂණ ආයතනය පූර්ණ සහාය ලබා දී ඇත.
කන්ද උඩරට ඓතිහාසික සමාජ තොරතුරු පිළිබඳ දීර්ඝ ලෙස පර්යේෂණය කළ ඔහු කන්ද උඩරට සමාජ සංවිධානය ලියා පළ කළේ 1994 දීය. සිංහල කවීන් පිළිබඳ සියුම් ලෙස පර්යේෂණ කළ මේ විද්වතා සිංහල කවි නාමාවලියක් ප්‍රථම වරට කළඑළි දැක්වූ අතර රුවන් යාත්‍රා සහ නව කාව්‍ය විචාරය පළ කළේය.
ශ්‍රී ලංකාවේ කුල භේදය දේශපාලනයට බලපාන අයුරු පිළිබඳ පර්යේෂණ කළ ඔහු ඉන් අනතුරු ව ශ්‍රී ලංකාවේ කුල අරගල ග්‍රන්ථය ලියා පළ කළේය. ඔහුගේ පොත් මිලදී ගන්න පාඨක සමාජයක් දැනට ගොඩනැඟී ඇති අතර එහි සාමාජිකයින් 5000ක් සිටීම සැලකිය යුතු සිද්ධියකි.
ශ්‍රී ලංකාවේ ජාතික වීර නාමාවලියක් ලියා පළ කිරීම ආචාර්ය ඔබේසේකර ගේ තවත් දස්කමකි. එම පොත් පිංච පිටරටවල පවා ඇගයුමට පත් වී ඇත.
ඓතිහාසික සීගිරිය බළකොටුව සීගිරි කාශ්‍යපගේ නිර්මාණයක් නොවන බවත් එහි වාස්තු විද්‍යාඥයා ‘මය දානව‘ නමැති අසුර ගෝත්‍රිකයා බවත්, එය නිර්මාණය කළේ රාවණ රජුගේ පියාණන් වූ විශ්‍රවස්මුනිගේ ඉල්ලීමට බවත් පසු කලෙක ඔහු පුත් කුවේර ද, ඊට පසු රාවණ නිරිඳුන් ද ඓතිහාසික සීගිරියේ විසූ ආදී පුරුෂයින් බැව් “ද කල්චරල් හෙරිටේ ඔෆ් කිං රාවණ” ග්‍රන්ථයෙන් නොබියව ප්‍රකාශ කළ එම ලේඛකයා ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ය.
ඉතිහාසය ලිවීමේදී එම ඉතිහාස ගත කරුණු සඳහා සාධක වශයෙන් පුරා විද්‍යාව උපයෝගී කරගන්නා ආචාර්ය ඔබේසේකර සමාජ විද්‍යාත්මක කරුණුවලින් සිය මනස වැඩිදුරටත් තහවුරු කරමින් සිය පර්යේෂණ වාර්තා සැකසීම ගැන එක්සත් ජනපදයේ පර්යේෂකයන් අතර සාකච්ඡාවටත්, ප්‍රසංසාවටත් ලක් වූ විද්වතෙකි. ඉතිහාසය, පුරාවිද්‍යාව හා සමාජ විද්‍යාව ආදී විෂය ධාරා තුන ම එක ම මඟකට ගෙන යමින්, ආචාර්ය ඔබේසේකර කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක වීම පුදුමයට කරුණක් නොවන බවත්, එම විෂය ධාරා තුන ම එක් මඟකට යොමු කළ හැක්කේ ඒ විෂයන් තුන ම පිළිබඳ ව යථාවබෝධයක් ඇති කෙනෙකුට බවත්, ප්‍රවීණ සමාජ විද්‍යාඥයකු වූ මැක්ස් ගිල්ඩර් පවසා ඇත.
කතරගම දෙවියන් ලෙස අපේ වන්දනාවට පාත්‍ර වී සිටින්නේ ද රාවණ රජතුමා බැව් ආචාර්ය ඔබේසේකරගේ තවත් මතයකි. දඹුල්ලේ ඉබ්බන්කටුවේ ආදි වාසී සුසාන භූමියේ හිමිකරුවන් ද, යක්ෂ, ගෝත්‍රික සිංහලයන් බැව් ආචාර්ය ඔබේසේකරගේ තවත් මතයකි. අප රටේ විවිධ පර්යේෂණ රැසක් සම්පූර්ණ කර ඇති ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර දැනට ග්‍රන්ථ 53ක් පමණ මුද්‍රණය කළ ගත් කතුවරයෙකි. කවීන් පිළිබඳ දීර්ඝ පර්යේෂණයක් කළ ඔහු කවි නාමාවලිය ග්‍රන්ථය 1994 වර්ෂයේ පළ කළ අතර වර්ෂ 100කට වඩා පැරණි වලව් පිළිබඳ දීප ව්‍යාප්ත පර්යේෂණයක් ද කරමින් ඔහු ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය 1999 දී මුද්‍රණය කළේ ය.
ක්‍රි.ව. 1960 මැයි 31 වැනි දින රන්හාමි පද්‍ය ග්‍රන්ථය ලියා පළ කිරීමෙන් ඇරඹි ඔබේසේකරගේ සංස්කෘතික සේවය දැන් මල් ඵල හටගැනී ඇත. දැනට වර්ෂ 3කට පෙර ලේඛක ලේඛිකාවන් සහ කවීන් 500ක් පුහුණු කිරීමේ ව්‍යාපෘති ඇරඹූ අතර, පසුගිය වර්ෂයේ ඒ තරුණ පිරිස පුහුණුව අවසන් කළහ. මේ කර්තව්‍ය සඳහා ඔහු කිසිවකුගෙන් සතයක්වත් අය නොකළ අතර, විදේශීය ආධාර හෝ දේශීය ආධාර කිසිවක් ලැබුවේ නැත. නමුත් ඒ සඳහා ඔහු විශාල මුදලක් වැය කළ බව අපි දනිමු. ප්‍රාග් ඓතිහාසික උරුමය සහ පෘතුගීසි ආක්‍රමණයෙන් සිදු වූ සමාජ පෙරළිය ඔහුගේ අලුත් ම ග්‍රන්ථ දෙකකි.
එංගලන්තයේ ක්‍රොයිඩන් විචාරක පර්ශදයෙන් ජාත්‍යන්තර ‘රිදී පෑන’ සම්මානය ද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සාමජවාදී ජනරජයෙන් ජාතික සම්මානය ද ලබා ඇති ආචාර්ය ඔබේසේකර සබරගමුව ඥාති සංවිධානයෙන් ‘ස්වර්ණ සූය්‍ය¡ විභූෂණ’ සම්මානය ලබා ඇත. තවත් සම්මාන රැසක් ම ඔහු ප්‍රතික්ෂේප කළ බව ද විශේෂයෙන් සඳහන් කරමු.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි