පෙරහරේ ගෙනියන්න ඓතිහාසික කොඩිය සකසා දුන්නේත් ජෝන් ඩොයිලි
ශ්‍රී ලාංකීය ජාතියේ ජන අන්‍යතාවය පිළිබිඹු කරන අලුත් අවුරුද්ද සියලු ජාතීන්ගේ සමගියේ කැඩපතක් බඳුය. මේ සංස්කෘතික මංගල්‍යයේ දී රුහුණේ අවුරුදු චාරිත්‍රවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.
මාතර අවුරුදු සංස්කෘතියේ නොනගත පෙරහර, නාමල් පූජාව, පොත්තේවෙල දානය, හඳ දානය යන සංස්කෘතික චාරිත්‍රවලින් මාතර සංස්කෘතිය පොහොසත් වී ඇත.
ඉන් නොනගත පෙරහර හෙවත් මාතර අවුරුදු පෙරහරට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මේ පෙරහර වේරගම්පිට විහාරස්ථානයෙන් ආරම්භ වී උයන්වත්ත ප්‍රදේශයෙන් ගොස් මාතර බෝධින් වහන්සේ පැදකුණු කර නැවත වේරගම්පිට රජමහා විහාරස්ථානයට ගෙවැදීම සිදු වේ.
නොනගත හෙවත් නැකත් නැති අවස්ථාවේ දී ලංකාවේ පැවැත්වෙන එකම අවුරුදු පෙරහර වශයෙන් මේ පෙරහර හඳුන්වයි.
නොනගත පෙරහර මීට සියවස් කිහිපයකට පෙර ආරම්භ වූ පෙරහරක් බවට ජනසම්මතයේ පිළිගැනේ. අපේ රට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගුණු යුගයේ දි සිංහල සමාජයේ ආගම්ක හැඟීම් යටපත් කීරීමට අධිරාජ්‍යාවාදිහූ වෙර දැරූහ.
ඔවුහූ මේ නිසා මෙරට පෙරහර සම්ප්‍රදායන් පවා දුටු තැන මර්දනයට පියවර ගත්හ.
එහෙත් ලන්දේසි යුගය අවසන් වීමත් සමඟ මෙරටට පැමිණි ඉංග්‍රිසි අධිරාජ්‍යවාදි පාලන තන්ත්‍රයේ රාජත්‍රාන්ත්‍රිකයකු වූ ශ්‍රිමත් පෝන් ඩොයිලි මෙරට මුල් බැසගත් සම්ප්‍රදායික ජනවිඥානගත සිතුම් පැතුම්වලට ගරු කරමින් ඉතා මිත්‍රශීලී පාලන ව්‍යුහයක් ගෙන ගිය පාලකයෙක් වශයෙන් හඳුනාගත හැකිය.
1804 පෙබරවාරි 2 වැනි දා මාතර ප්‍රාදේශිකයේ සභාපතිවරයා ලෙස පත් වූ මොහු 1804 පෙබරවාරි 2 වැනිදා සිට 1806 පෙබරවාරි දක්වා ඉංග්‍රිසි පාලනයේ මාතර දිසාපතිවරයා වශයෙන් සේවය කළේ ය.
එකල සිංහල සංස්කෘතියට පැවැති අසිමිත ආදරය නිසා වේරගම්පිට රජ මහා විහාරස්ථානයේ වැඩවාසය කළ මහා ශාස්ත්‍රඥයකු වූ කරතොට ධම්මාරාම නා හිමියන්ගේ ඇසුර ලබමින් සිංහල, පාළි, සංස්කෘත පමණක් නොව පෙරදිග දර්ශනය අධ්‍යයනය කළ බව සඳහන් වේ.
වේරගම්පිට නාලන්දා පිරිවෙන් විහාරාධිපති තෙලුල්ලේ නන්දාලෝක හිමි නොනගත පෙරහර ගැන අප හා මෙලෙස අදහස් පළ කළේය.
“ජෝන් ඩොයිලි ඒජන්තතුමා පෙරදිග සාහිත්‍යය අධ්‍යයනයට විශේෂ උනන්දුවක් දැක් වූ පුද්ගලයෙක්. ඒ නිසා මේ විහාරස්ථානයේ වැඩ වාසය කළ කරතොට ධම්මාරාම නාහිමියන්ගේ පෘථල දැනුම ඉතා හොඳින් උකහා ගෙන සිය දැනුම පුළුල් කර ගත් බව සඳහන්.
මේ ශාස්ත්‍රීය අධ්‍යයන කාලයේ දී මාතර කිවිඳිය වූ ගජමන්නෝනා ද සිය කාව්‍යා හැකියාව වැඩි දියුණු කර ගැනීම වෙනු වෙන් විශාල වෙහෙස මහන්සියක් ගත්තා. මේ විහාරස්ථානය ඓතිහාසික හා විශේෂ පුදබිමක්.
විහාර ගෙහි වැඩ සිටින බුදු රජාණන් වහන්සේගේ පිළිමයේ නේත්‍රා දෙකට නිල් මැණික් කැට දෙකක් පුජා කළ බවට ඉතිහාසගත තොරතුරුවලින් කියැවෙනවා. මේ නිසා විහාරස්ථානයට විශාල දායක පිරිවරක් ඈත අතීතයේ සිටි බවට සඳහන් වෙනවා.
ජනප්‍රවාදගත කාරණා අනුව පෝන් ඩොයිලිගේ ගුරුවරයා වූ කරතොට නායක හිමියන්ගේ ඉල්ලීමකට අනුව මේ ප්‍රදේශයේ ජිවත් වූ සිංහල ජනතාවට මේ පෙරහර කිරීම සඳහා අවස්ථාව උදා කර දුන් බව සඳහන්. ඉන් අනතුරුව ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වමින් එදා දිසාපති නිල නිවස වූ අද හමුදා කඳවුර පිහිටි ස්ථානයට පෙරහර කිහිපයකින් ගිය බවත් සඳහන් වෙනවා.“
නොනගත පෙරහරේ දැනට ලේකම් ධුරය දරන ජයසිරි ජයසිංහ කරුණාරත්න මහතා පෙරහර පිළිබඳව මෙසේ පැවසීය.
" මගේ තාත්තා 1899 නමයේ තමයි ඉපදුණේ. තාත්තාගේ පොඩිකාලේ පවා මේ පෙරහර ගිය බව තාත්තා මට කියලා තියනවා. ඒ නිසා මේ පෙරහරේ ආරම්භය 1800 වගේ කාලයේ දී සිදු වූවා යැයි සැලැකිය හැකියි. අපේ රට ඉංග්‍රිසින්ට යටත් වීමටත් පෙර පටන් මේ පෙරහර පැවැත් වූ බව සැලකිය හැකියි.
ඉංග්‍රිසීන්ට පෙර සිටි ජාතීන් අපේ ආත්මයන් නැති කර ඔවුන්ගේ සංස්කෘතීන් මෙහේ වපුරන්න උත්සාහ කළත් ඩොයිලි ඒජන්තවරයා පෙරහර කිරීමට අවස්ථාව ලබා දීමත් සමඟ මහා වෙනසක් මේ ප්‍රදේශවල ඇති වුණා" .
සිංහල ජනතාව පසු කාලීනව හැම පැත්තකින්ම පැමිණ පෙරහර පවත්වමින් කලබලයක් ඇති කිරීම හේතුවෙන් එක් පෙරහරක් පමණක් සිදු කරන ලෙස ඩොයිලි විසින් දැනුම් දෙනු ලැබූ බව සඳහන්ය. පසුව එම පෙරහර වෙනුවෙන් වෙනම කොඩියක් සකස් කර සංවිධායකවරුන්ට ඩොයිලි විසින්ම භාරදුන් බව ද සැලකේ.
නොනගත පෙරහැරේ ප්‍රධාන සංවිධායකවරයා වන්නේ චතුර කරුණාරත්න මහතාය.
“අපේ පෙරහරට අමුතුම ආලෝකයක් එක් කරන්නේ මේ කොඩියයි. මෙහි අපුර්ව කතාවක් තියෙනවා. ඩොයිලි ඒජන්තවරයා වර්තමානයේ තිබෙන මාතර කොටු පවුර මතට නැග ජනතාව ඉදිරියේ එම කොඩිය බිම දැමූ පසු එම කොඩිය අහුලා ගනු ලැබුවේ උයන්වත්තේ ජනතාවයි.
මේ නිසා ඔවුන් එදා පටන් මේ පෙරහර පැවැත්වීම පුරාණ චාරිත්‍රයක් විධියට නොනවත්වාම සිදු කළා."
දිවියකු විසින් වඳුරකුගේ දිව සපා කන ආකාරයක් නිරූපණය වන මේ කොඩියෙන් දිවියා ඉංග්‍රිසි පාලක පංතිය වන අතර වඳුරා ලන්දේසි පාලක පංතිය ලෙසන් අර්ථවත් කර තිබේ.
මෙහි ඉර හා සඳ යන සංකේතවලින් නිරූපණය කරන්නේ ඉර හඳ පවතින තුරා පෙරහර පැවැත්විය යුතුය යන කාරණයයි. කොඩියේ විවිධ හැඩයෙන් කැටයම් මෝස්තර දැක ගත හැකිය.
තරු ලකුණු චතුරාස්‍රාකාර හැඩය හා නොයෙක් කැටයම් දැකගත හැකියි. මේ ආකාරයෙන් මාතර ශ්‍රි විභුතිය මතු කරන ආකාරයෙන් මේ කොඩිය පවා නිර්මාණ කර තිබීම මාතරට තවත් අභිමානයකි.
''මේ පෙරහර අපි කලබල ඇති කාලේ පවා සිදු කළා. මතක ඇති කාලයක දී මේ පෙරහර නොපවත්වා තිබුණේ නැහැ. හැත්තෑ එකේ භීෂණය හා අසූ නමයේ භිෂණ කාලයේ දී විහාරස්ථානය වටේ තමයි පෙරහර පැවැත්වීම සිදු කළේ.
පෙරහර වීදි සංචාරය කිරීමට අවසර නොලැබුණත් අපි කෙසේ හෝ අපේ චාරිත්‍රය ඉටු කළා'' යැයි නොගත පෙරහර සංවිධානයේ උප ලේකම් සැමි රණසිංහ මහතා පවසයි .
පෙරහාර සඳහා එක් වන්නේ උයන්වත්තේ හා ඒඅවට ගම්මානවල ජනතාවය. උඩරට, පහතරට හා සබරගමුව නැටුම් මෙහිදී දැකගත හැකි වන අතර සධාතුක කරඬුව වැඩම කරවීම, ගම වටේ පිරිත් සජ්ජායනය කරමින් රථයක් ගමන් කිරීම ද සිදු වේ. ගමේ ජනතාවට පිරිත් පැන් ලබා දීම හා ගෙමිදුල්වලට පිරිත් පැන් ඉසීම ද සිදු කෙරේ. පෙරහර නැරැඹීම මෙන්ම ආශිර්වාද ලබා ගැනීමට ගමේ ජනතාව එකතුවෙති.
නොනගත පෙරහර සංවිධානයේ විධායක කාරක සභික චුලා රණසිංහ මහතා,
“මේ පෙරහර මාතර දිසාවට ආභරණයක්. පෙරහරේ මුල් කොඩිය දිරාපත් වෙලා එහෙත් එය අපි ගාව අදත් තියෙනවා. මුල් නිර්මාණයේ ලක්ෂණ අනුව මුල් නිර්මාණයට හානි නොවන ආකාරයෙන් අපි කොඩියක් නිර්මාණය කර ගත්තා. දැන් අපි අරන් යන්නේ එසේ නිර්මාණය කර ගත් හතර වැනි කොඩියයි".
පෙරහර සම්බන්ධයෙන් ලංකාවේ එකොළොස් වසක් (Eleven Years of Ceylon- BY Mager Forbas) යන කෘතියේ අපූර්ව අදහසක් දැක්වේ. මාතර පිහිටි සත්බෝධි වත්ත මුල් කර ගනිමින් මේ පෙරහර කළ බව කෘතියේ රචකයා වූ මේජර් ෆෝබස් දක්වයි.
පසුව එම ස්ථානය සොහොන් නටඹුන් පැවැති අතර එම ස්ථානයේ ශුද්ධ වු වෘක්ෂයක් ආශ්‍රිත කර ගෙන පෙරහරක් පැවැති වු බවට ද සඳහනක් පවතී.
සිංහල අලුත් අවුරුද්ද වර්ණවත් කර හැඩවත් කරන මෙවන් සංස්කෘතික අංගවලට ජීවය ලබා දීම මිනිස් ජිවිතවල හිඩැස් පිරවීමක් වැනිය.