විශාරද නන්දා මාලිනි
බාල, තරුණ, මහලු ආදි සෑම තරාතිරමකම සුවහසක් ගීත ශ්‍රාවකයින්ගේ සිත් සනහාලමින් ඇගේ ගී හඩ ගුවන් තලය සිසාරා පාවී එයි. අඩ සියවසක් සපුරා ඈ ගී ගයන්නී ය. මධුර තනු මවන්නී ය. “සුභාවිත ගීතයේ සිංහල ලකුණ” යයි පණ්ඩිත් අමරදේවයන් ඇය පිළිබඳව පෙර දිනෙක සඳහන් කර ඇත්තේ සත්‍ය ය.
සුභාවිත ගීතයේ ඒ සිංහල ලකුණ මත පරම්පරාවට ද දායාද කර දෙමින් පවත්වා ගෙන එන ඇයගේ “සංගීත ආශ්‍රමය” අරඹා මේ වන විට දශක තුනකි. ප්‍රවීණ සංගීතවේදිනී හා ගායන ශිල්පිනි නන්දා මාලිනි ඇය යි. සිය සංගීත ආශ්‍රමයට වසර 30 ක් පිරිම නිමිත්තෙන් නන්දා මාලිනිය ‘රසඳුන’ සමඟ කළ කතාබහයි මේ.
මල් කියන්නේ කාට කාට
ළමයින්ටයි පාට පාට
පෙළක් ළමයි සුවඳ ගොඩයි
පෙළක් ළමයි හරිම හැඩයි
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ...!
(පද - පී. බී. අල්විස් පෙරේරා)
“මුලින්ම දරුවන් වෙනුවෙන් 1984 දී තමයි මම මේ සංගීත ආශ්‍රමය ආරම්භ කළේ. මම ගායනයට පිවිසිලා, සංගීත අධ්‍යාපනය ලබලා, භාත්ඛණ්ඩේ පරීක්ෂණයෙන් සමත් වෙලා, විශාරද ලබාගෙන ස්වාධීනව මගේ ජීවිතේ ගොඩ නඟා ගන්නත් ඉගෙන ගත්ත දෙයින් කිසියම් මෙහෙවරක් කරන්නත් කියා හිතලා මගේ හිතවතුන්ට හා හිතවතියන්ට කියලා අඬගහ ගත්ත දරුවන් දහතුන් දෙනෙකු තමයි මුලින්ම මෙහි සිසු දරුවන් වුණේ. එහෙම අරඹා ටික ටික දියුණු කරගෙන අද ඉතාම ඉහළ තැනකට මේ සංගීත ආශ්‍රමය ගෙන එන්න මට පුළුවන්කම ලැබිලා තියෙනවා.
මං එහෙම කියන්නේ අපේ මේ සංගීත ආශ්‍රමයෙන් බිහි වෙච්ච දක්ෂයන් බොහෝ දෙනෙක් අද මේ රටේ ගුරු පත්වීම් ලබලා ජීවිකා වෘත්තියේත් අපේ සංගීත ක්ෂේත්‍රයේත් නියැළි ඉන්නා නිසයි. මට එය විශාල සතුටක්. මට ඒ සතුට ලැබුණේ මේ සංගීත ආශ්‍රමය හින්දයි.”
. ඔබේ සංගීත ආශ්‍රමයේ සෙවණ ලැබු සිසු දරුවන්ව සිට අද සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රසාදය දිනාගෙන සිටින ශිල්පීන් කවුරුන් ද...?
අප සෙවණේ සිට අපේ මඟ ගිය දරුවෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් බොහොමයක් ප්‍රධාන පාසල්වල ගුරුවර ගුරුවරියන් ලෙස කටයුතු කරනවා. අපෙන් ඉගෙන ගත් සිසුන් දෙදෙනෙකුත් දැන් ගුරු වෘත්තියේ නියැළෙන අතර මෙහි පැමිණ සංගීත ආශ්‍රමයේ දී දරුවන්ට ශිල්ප ලබා දෙනවා.
විශේෂයෙන් අපේ සංගීත ආශ්‍රමය සෙවණේ සිටි දයාන් විතාරණ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, හේෂාන් ගමගේ වැනි ශිල්පීන් හා ශිල්පිනියන් මේ රටේ ජනතාවගේ ආදරය දිනා ගනිමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. ඔවුන්ට අපේ ක්ෂේත්‍රයේ අනන්‍යතාවක් තියෙනවා.”
. දක්ෂ ගායන ශිල්පියකු හෝ ශිල්පිනියක වීමට ප්‍රමිති ගත ශිල්පීය දැනුමක් උවමනා වෙනවා ද...?
අපේ මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් යම්කිසි ප්‍රමිති ගත ශිල්ප ක්‍රම ප්‍රගුණ කර තිබීම වැදගත් වෙනවා. වර්තමානයේ බොහෝ පිරිස් එයට එකඟයි. ඇත්තටම ශිල්පය ප්‍රගුණ කර ගන්නේ නැතුව මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න බැහැමයි. ඒක ස්ථිරයි. ඉගෙන ගන්නම ඕනේ. අපේ රටේ ඉන්න හැමෝටම වගේ සින්දු කියන්න පුළුවන්. එය ශිල්පීය දස්කමත් සමඟ යොදා ගැනීමෙන් තමයි ගායක ගායිකාවන් වීමට හැකි වෙන්නේ.
නිකම් අතපත ගාලා සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ජනප්‍රියත්වයට පත් වී මේ ක්ෂේත්‍රයේ ගමන් කළාම අතරමගදී කඩා වැටෙනවා. ඒ නිසා තමයි අද නම් වශයෙන් කියන්න පුළුවන් ඉතාම සුළු පිරිසක් අපේ රටේ මේ ක්ෂේත්‍රයේ ඉතුරු වෙලා ඉන්නේ. බොහෝ දෙනෙකු ආවා, ගියා. ඔවුන්ට රැඳී ඉන්න නොහැකි වුණේ ප්‍රමිති ගත ශිල්පය ඔවුන් ප්‍රගුණ කර නොතිබීම නිසයි. අපේ සංගීත ආශ්‍රමයේ සිසු දරුවන් ලොකු මහත් වෙන්නේ ප්‍රමිති ගත ශිල්ප ප්‍රගුණ කරමිනුයි.”
. සමාජයට යහපත් පුරවැසියෙක් බිහි කිරීමේ දී සෞන්දර්ය විෂය මොනතරම් දුරට අදාළ කර ගන්න පුළුවන් ද?
දැන් පවතින සමාජයේ හැමදේම විෂමයිනේ. අපිට පේනවා ලොකු කලබලයක් වගේ ජීවිතය. සෞන්දර්ය විෂයයකට හුරු පුරුදු කළ දරුවෙක් කියන්නේ බොහෝ විට අනාගතයේ හොඳ පුරවැසියෙකුටයි. ඒ ළමයා අම්මාගේ, තාත්තාගේ දුක හඳුනන ළමයෙකු වෙනවා. ඒ ළමයා දෙමවුපිය, ගුරුවර, වැඩිහිටියන්ව මෙන්ම අසල්වැසියාව හොඳින් හඳුනනවා. මේ ලෝකයේ තියෙන, දකින, දකින හැමදේටම ඒ දරුවා ආසා වෙන්නේ නැහැ. එයා තෝරා ගැනීම් කරනවා.
එයාගේ අදහස් උදහස් වෙනස්. කතාබහ, ඇඳුම් පැලඳුම් පවා වෙනස්. ඒ දරුවා දකින ගහකොළ මල් පවා ලස්සනයි. සෞන්දර්යට හුරු පුරුදු දරුවෙක් මුහුදේ රැල්ල පා ගන්න ගියොත් එයා එය පුදුම රසයකට විඳ ගන්නවා. මට හිතෙන්නේ හික්මීමක්, පෞරුෂයක් ඇති දියුණු දරුවකු බිහි කරන්න පුළුවන් වෙන්නේ සෞන්දර්ය විෂයෙනුයි.”
. සෞන්දර්යෙන් දුරස් වන දරුවකුගේ ස්වභාවය ඔබ දකින්නේ කෙලෙස ද?
එවැනි දරුවෙකුට කිසිවක් වැටහෙන්නේ නැහැ. ඒ දරුවාට කිසි දේක ලස්සනක්, අගයක් නැහැ. ඔහුගේ හෝ ඇයගේ මනස සන්සුන් නැහැ. ගහකට මලකට තියා අම්මාට තාත්තාට වත් ඔවුන් ආදරය කරන්නේ නැහැ. අද දෙමවුපියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මෙය - ‘කොහොමද මගේ දරුවාව හරි මාර්ගයේ ගෙන යන්නෙ’ කියන ප්‍රශ්නය. මම දෙමවුපියන්ගෙන් හැම වෙලේම ඉල්ලන ඉල්ලීමක් තමයි - ‘තමන්ගේ දරුවාව ටික කාලෙකට හරි සෞන්දර්ය විෂයකට යොමු කරන්න’ කියන ඉල්ලීම.
එමඟින් තමයි දරුවකුගේ පෞරුෂය වර්ධනය වෙන්නේ. මං හිතන්නේ අපිට දුක්, වේදනා, කරදර, ප්‍රශ්න පීඩා විඳ දරාගෙන මේ කලබල ගොඩ මැද්දේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබී තියෙන්නේ මේ සෞන්දර්ය විෂය ක්ෂේත්‍රය නිසයි. ඉන් අපිට හොඳ උත්තේජනයක් ලබා දීලා තියෙනවා.
. වර්තමානයේදී දරුවන් රියැලිටි තරග හා ප්‍රසංග කරා යොමු කිරීම සම්බන්ධයෙන් ඔබ දරන මතය කුමක් ද?
ඔය සමහර ඒවා දරුවන්ට සුදුසුම නැහැ. දෙමවුපියන්ගේ ආසාවන්ට තාවකාලික ජනප්‍රියත්වයක් උදෙසා ඇත්තටම දරුවන්ට කරන්නේ ලොකු හානියක්. මල් පිපෙන්න ඉස්සෙල්ලා බලහත්කාරයෙන් පුබුදුවනවා වගේ ක්‍රියාවක් තමයි ඔවැනි වැඩ සටහන් හා ප්‍රසංග වලින් කෙරෙන්නේ. සොබා දහමේ නියමය ලෙස මල් පිපෙන්න ඉඩ නොදී පිබිදුවාම නිකම්ම පර වෙනවා. සහජයෙන් ලබා ගෙන එන දස්කමක් ඇති දරුවකු මිස ඔය බලෙන් පුබුදුවන මල් වැනි දරුවන් පවතින්නේ නැහැ. උපතින් ලබා ගෙන එන දක්ෂතාව හැකියාව තමයි අපිට දියුණු කරන්න පුළුවන්.
එසේ නැති දරුවකුට වින්දනයක් ලබා දෙන්න විතරයි අපිට පුළුවන් වෙන්නේ. දෙමවුපියන් තමයි නිවැරැදි තීරණය ගන්න ඕනේ. ඔවුන් හැම විටකම හිතන්නේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමය පස්සේ දරුවාව රැගෙන දුවන්නයි. එවිට ඔවුන් පස්සට දමන්නේ සාහිත්‍ය, සංගීතය වැනි දරුවාගේ පෞරුෂය වර්ධනය කරන මාධ්‍ය ඇතුළත් සෞන්දර්ය විෂයයි. ගණන් පන්තියකට යන්න සංගීත පන්තිය වෙනස් කරලා දෙන්න බැරි ද අහන දෙමවුපියන් ඉන්නවා. එහෙම බැරි නම් සංගීත පන්තියෙන් දරුවාව අයින් කර ගන්න හිතන වැඩිහිටියොත් ඉන්නවා.
. මේ දිනවල ඔබේ සංගීත ආශ්‍රමයේ කෙරෙන විශේෂ කටයුතු මොනවා ද?
දෙසැම්බර් මාසයේ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටින දරුවන්ගේ කටයුතු සහ අලුතින් ළමයි බඳවා ගන්නා කටයුතු තමයි විශේෂයෙන් මේ දවස්වල කෙරෙන්නේ. මම හැම අවුරුද්දෙම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී තමයි මගේ සංගීත ආශ්‍රමයට අලුතින් ළමයි බඳවා ගන්නේ. අපේ මේ සංගීත ආශ්‍රමයෙන් අපි කරන්නේ සාහිත්‍ය හා සංගීත කලාව කියන පෝෂ්‍යදායක විටමින් එකක් දරුවන්ගේ ඔළුවට දාලා ඒ තුළින් ඔවුන්ට උත්තේජනයක් ලබා දීමයි. අම්මලා තාත්තලා කොච්චර කන්න අඳින්න දීලා දරුවන්ව වෙන මොන විදිහට සතුටු කළත් ඵලක් නැහැ.
අපි මේ දෙන සාහිත්‍ය හා සංගීතය සංකලන වුණු සෞන්දර්ය විෂය ආශ්‍රිත විටමින් එක දරුවන්ගේ ඔළුවට දැම්මේ නැත්නම්. හැම දරුවෙක්ම අමුයි. ඒ දරුවා දන්නේ නැහැ කිසිවක්. සින්දු කවි කියන්න, නටන්න, චිත්‍ර අඳින්න දරුවකුට බැරි වෙන්න පුළුවන්. ඒත් කුමක් හෝ කලා විෂයක් දරුවා ප්‍රගුණ කළ යුතුයි. අනිවාර්යයෙන්ම සෞන්දර්ය විෂයක් තම දරුවන්ට ප්‍රගුණ කරන්න සලස්වා දීම මේ රටේ සෑම දෙමවුපියකුගේම වගකීමක්. එය සමාජයට ගුණ යහපත් පෞරුෂයක් ඇති පුරවැසියෙක් තනා දෙන හැම වැඩිහිටියකු ගෙන්ම මේ රටට ඉටු කෙරෙන යුතුකමක් ද වේවි.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි