
නවීන තාක්ෂණයෙන් සපිරි ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් ඔබ සතුව ඇතිනම් දරුවන් සිටින ස්ථානය දැන ගැනීම ඉතාමත් පහසු කාර්යයකි. දරුවන්ගේ ආරක්ෂාව උදෙසා නිපදවන ලද ජංගම දුරකථන ඇප්ලිකේෂන රාශියක් අන්තර්ජාලය හරහා පහසුවෙන් භාගත කර ගත හැකිය.
Sygic Family, Life 360, Mama Bear, Google Latitude, Mobile Kids යනු දැනට බහුලව භාවිතා කෙරෙන එවැනි ඇප්ලිකේෂන කිහිපයකි. මේවා අන්තර්ජාලය හරහා නොමිලේ භාගත කර ගත හැකිය.
GPS තාක්ෂණය මත ක්‍රියාත්මක වන මෙවැනි ඇප්ලිකේෂන තුළින් ඔබේ දරුවන් සිටින ස්ථානය නිශ්චිතව දැන ගැනීමට හැකිය. දරුවා ගමන් කළ යුතු හා නොකළ යුතු කලාප කලින් සටහන් කිරීමේ පහසුකම් ඇතැම් ඇප්ලිකේෂන තුළ අඩංගු වන අතර ගමන් නොකළ යුතු කලාපයකට දරුවා ඇතුළු වූ විගස කෙටි පණිවිඩයක් මඟින් මවුපියන් දැනුවත් කිරීමට මෙම ඇප්ලිකේෂන සමත්ය. එසේම දරුවන් ගමන් කළ ස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තරයක් (History) පසුව බලා ගැනීමේ හැකියාව ද මෙමඟින් මවුපියන්ට ලැබේ. ඊට අමතරව හදිසි අවස්ථාවක දී දරුවන් යා යුතු ස්ථාන ද කලින් සටහන් කර තැබිය හැක. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලන විට ජංගම දුරකථනය ඉතා හොඳ පියවරක් වන නමුත් එහි දුර්වලතා රැසකි. කුඩා දරුවන්ට භාවිත කළ නොහැකි වීම, වැරැදි භාවිතය තුළින් දරුවන් නොමඟ යා හැකි වීම, ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම එම දුර්වලතා අතරින් කිහිපයක් පමණි. ශ්‍රී ලංකාව වැනි රටවල මවුපියන් දරුවන් අතට ස්මාර්ට් දුරකථන පත් කිරීමට අකමැති වන අතරම ඒවායේ මිල දැරිය හැකි ද යන්නත් ප්‍රබල ගැටලුවකි. එම නිසා ස්මාර්ට් දුරකථන වෙනුවට දරුවන් වෙනුවෙන් විශේෂයෙන් තැනූ උපකරණ භාවිත කිරීම වඩාත් හොඳ විසඳුමකි.

ජංගම දුරකථනවලට සමාන ආකාරයෙන් මෙන්ම විවිධාකාර සෙල්ලම් භාණ්ඩ ආකාරයෙන් ද තැනූ මෙවැනි උපකරණ විශාල ප්‍රමාණයක් ලොව දියුණු රටවල භාවිත කෙරේ. රුපියල් දෙදහසේ පමණ ඉහළ මිලකට මිල දී ගත හැකි මෙවැනි උපකරණ දිර්ඝ ආයු කාලයක් සහිත බැටරිවලින් යුක්තව නිපදවා ඇත.
Securus eZoom යනු ඔබේ දරුවාගේ පාසල් බෑගය වැනි ස්ථානයක රඳවා තැබිය හැකි කුඩා උපකරණයකි. ඔබේ ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය මාර්ගයෙන් හැසිරවිය හැකි මෙම උපකරණය තුළින් ඔබේ දරුවා සිටින ස්ථානය නිශ්චිතව දැන ගැනීමට පුළුවන. එසේම නියම කර ඇති කලාපයකින් පිටතට දරුවන් ගමන් කරන අවස්ථාවක මවුපියන් දැනුවත් කිරීමේ හැකියාව ද මෙම උපකරණය සතු වේ.
Amber Alerts GPS යනු මෙවැනිම කුඩා උපකරණයක් වන අතර ඊ මේල් හෝ කෙටි පණිවිඩ මඟින් භාරකරුවන් දැනුවත් කෙරේ. එහි සුවිශේෂත්වය වන්නේ ලියාපදිංචි ලිංගික අපරාධකරුවකු දරුවාට මීටර් 500කින් ළඟා වන විට මවුපියන් දැනුවත් කිරීමට සමත්වීමයි. Pocket Finder, 5 Star urgent responseයනුවෙන් හැඳීන්වෙන උපකරණ ද දරුවන්ගේ ආරක්ෂාව උදෙසා නිපදවා ඇති උපකරණ දෙකකි.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපකරණ මිල දී ගන්නා බටහිර රටවල මවුපියන්ගේ ජනප්‍රියතම තේරීමක් වන්නේ ඒ සඳහා නිපද වූ අත් ඔරලෝසුය. අත් ඔරලෝසුවක හැඩයෙන් යුක්ත වුවත් මෙම උපකරණ දරුවන් සහ මවුපියන් අතර පණිවිඩ හුවමාරුවට මෙන්ම දරුවන් සිටින ස්ථානය දැන ගැනීම සඳහා වන පද්ධතියකින් ද සමන්විතය. අඩු බර, අඩු මිල සහ දැකුම්කලු පෙනුම යන කාරණා නිසා මෙවැනි උපකරණ ප්‍රචලිත වී ඇත. මෙම උපකරණ ජංගම දුරකථන ඇප්ලිකේෂන මඟින් හැසිරවිය හැක.
Flip 2 යනු දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් තැනූ විශේෂිත අත් ඔරලෝසුවකි. ජී. පී. එස්. තාක්ෂණයෙන් යුත් මෙම ඔරලෝසුව මඟින් දරුවන් සිටින ස්ථානය දැන ගැනීමට මෙන්ම පණිවිඩ හුවමාරුවට ඉඩ සැලසේ. මෙම ඔරලෝසුව ජලයට ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවා තිබීමත් සුවිශේෂී කරුණකි.Tintel යනු එක් බොත්තමක් තද කිරීම මඟින් මවුපියන් හා සම්බන්ධ විය හැකි මෙවලමකි. ජී. පී. එස්. සහ බ්ලූටූත් මඟින් දරුවන් සිටින ස්ථානය දැන ගත හැකි මෙම උපකරණය හඬ හඳුනා ගැනීමේ පහසුකමින් ද යුක්තය.

වර්තමානයේ පවතින තත්ත්වය මත අප රටට ද මෙවැනි උපකරණ හඳුන්වා දීමට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත ඩයලොග් සමාගම විසින් හඳුන්වා දී ඇති මෙම උපකරණය තිරයක් රහිත දුරකථනයකට පෙනුමෙන් සමාන වන අතර මොබිටෙල් සමාගම විසින් හඳුන්වා දී ඇත්තේ ඔරලෝසුවකි. දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ මාර්ගයෙන් මවුපියන් සමඟ හෝ හදිසි ඇමතුම් අංක සමඟ සම්බන්ධ වීමට මෙමඟින් අවස්ථාව ලැබේ.
http://silumina.lk/2015/10/18/_art.asp?fn=nv1510181
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි