“පුතා නොහිටියනම් මං කිඹුල් කටේ”
කලාඔයේ රිදී දියවර උඩින් හොඳින් හිරු පායා තිබේ. ඒ නාන මංකඩ කිසිවක් නොවූ ගානට නිසලය. මේ රිදී දිය දහර ලෝහිත ධාරාවන්ගෙන් පොඟවන්නට තැත් දැරූ කිඹුලා ද දැන් පෙනෙන්නට නැත.
අනුරාධපුර සේනපුර 48 හැවිරිදි ඒ තිදරු මව ශාන්ති දිසානායක කිඹුල් ප්‍රහාරයකට ගොදුරුව අදත් පාදයක් අහිමිව කොළඹ ජාතික රෝහලේ ඇඳක් මත වැතිර හිඳින්නීය.
ඉකුත් (25) සිකුරාදා සිදුවූ මේ ආන්දෝලනාත්මක පුවත ඔස්සේ අපි ද ගවේෂණය කරමු.
ඇය ඉඳහිට කෙඳිරි ගාන්නීය. ඒ පාදය කැපූ වේදනාවටය. එහෙත් ඒ වේදනාව පරයා ඇගේ හිතේ සොම්නසේ මල් පූදින්නේ තම කුසින් වැදු ඒ වීරයාගේ ක්‍රියාව මතකයට නැඟීමෙනි. “අනේ! මගෙ රත්තරං පුතා නැත්නම් මං කලාඔය පතුලේ.
අද මගේ කකුල විතරක් නෙවේ, මස් කලඳක්වත් ඉතිරි වෙන්නෙ නෑ. ඒ අඩි ගණනාවක් දිග කිඹුලා තව පොඩ්ඩෙන් මාවත් අරන් යනවා...” ඇය අවට සිටියකුට කීවාය.
කලාඔය ආසන්නයේ පිහිටි ගමක් වන සේනපුර දික්වැව පදිංචි ඊ. එම්. ශාන්ති දිසානායක නමැති මේ තිදරු මව (48) තම නිවෙස පිටුපස මීටර 100 ක පමණ දුරින් ගලා යන කලාඔයට ගොස් රෙදි සෝදා නා ගන්නට ගිය මොහොතේ කිඹුල් ප්‍රහාරයකට ලක් වූවාය.
ශාන්ති රෝහල් ඇඳ මත
|
කිඹුලා ඇගේ පාදයෙන් ඩැහැගෙන දියට ඇදගෙන යාමට උත්සාහ කරද්දී ඇය දිය මතට වැටී තිබුණු කුඹුක් ගසක අත්තක් තදින් බදාගෙන කෑ ගැසුවාය. මේ විලාපය ඇසුණු ඇගේ පුතු රොමේෂ් මධුවන්ත (19) තරුණයා වහා දියට පැන තම මෑණියන් බේරාගෙන තිබිණ.
එතැන් පටන් මේ තරුණයා මව බේරා ගැනීමේ මහත් අරගලයක යෙදී සිටියි. කොළඹ තැන් තැන්වල නැවැතී මව සුවපත් කරගන්නට මාන බලයි. නූතන මාතුපෝසක කතා වස්තුව මෙයම නේදැයි මට සිහි විය.
බෝසතුන් පුරා දින හතක් තම මෑණියන් කර මත හොවා සත්සමුදුර තරණය කළා සේම මේ තරුණයා ද කලාඔය අනතුර සිදුවූ ඒ අවස්ථාවේ සිට ම තවමත් ඇය සමඟමය.
“අපේ ගෙදර අම්මයි අක්කල දෙන්නයි මමයි විතරයි ඉන්නෙ. මං අනුරාධපුර නුවරවැව ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැඩ කරනවා. සමහර සති අන්තවල විතරයි ගෙදරත් එන්නෙ.
එදත් නිවාඩු දවසක් නිසා මා ගෙදර ඇවිත් හිටියේ. එදා හවස අම්මා සෝදන්න තියෙන රෙදි ටිකක් අරගෙන නාගෙන එන්නම් කියලා ඔයට ගියා. කලාඔය ගලන්නේ අපේ ගෙදරට මීටර 100 ක් විතර එහායින්. ටික වේලාවකින් අම්මගේ විලාපය මට ඇහුණා. මං මෙලෝ සිහියක් නැතිව මොකද වුණේ? බලන්න එළියට දිව්වා.
ශාන්ති
|
මං දැක්කා අම්මා වතුරට වැටිලා දිරා යමින් තියෙන ලොකු අත්තක් බදාගෙන කෑ ගහනවා. එක කකුලක් විතරයි පෙනුණෙ. ‘පුතේ, මගෙ කකුල කිඹුලෙක් කඩාගන්නවා’ යැයි ඒ අස්සෙම කෑ ගැහුවා. මට හිතන්න වේලාවක් නෑ. වතුරට පැන්නා. අම්මගෙ අනිත් කකුල හෙව්වා. ඒ කකුල දිගේ පහළට අත ගාගෙන ගියා. මට කිඹුලාගේ කට අහුවුණා. මං පුරාණ කතාවල හා චිත්‍රකතාවල වගේ කිඹුලාගේ කට දෙපැත්තට අත දාලා අම්මගෙ කකුල බේරගන්ඩ හටනක් කළා.
ඌත් මර විකාරෙන් ගොදුරට දඟලනවා. අම්මාට සිහිය තිබුණා. එයා කිව්වා, ‘පුතේ කිඹුලගේ බඩ කිතිකවන්න, බඩ කිතිකවන්න’ කියලා. මං කිඹුලගෙ කට අත්හැරලා උගේ බඩ ප්‍රදේශය කිති කැව්වා. ඒකත් ඇත්ත. ඌ අම්මගෙ කකුල අත හැරලා කරකැවෙන්ඩ ගත්තා.
හැබැයි! මං වැර වීරිය දාලා කට ඇද්දා. ඒකට උගේ කට ‘ලොක්’ වෙලා වගේ ඇරිලමයි තිබුණෙ. අම්මා බඩගාගෙන ගොඩට ගියා. අම්මගේ කකුල හොඳටම තුවාල වී ඇති බව මා කකුල දිගේ අතගාන කොටම තේරුණා. ඒ නිසා කිඹුලා අත්හැරලා අම්මව අල්ලගන්න හදනකොටම කිඹුලා අපි දෙන්නවම ආයිත් ඇදගෙන යන්ට උත්සාහ කළා. ඒත් මං හටන් කරලා අම්මවත් අරන් ගොඩට ආවා.
ගොඩට ආවාම අම්මගෙ කකුල විනාශ වෙච්ච හැටි දැක්කම මට සිහි නැතිවෙලා. අසල්වැසියෝ උදව් කරලයි රෝහලට ගෙනිච්චේ. කකුලෙ අමාරුකම නිසා අනුරාධපුරෙන් කොළඹ එව්වා. අම්මගෙ කකුල එතැනදි කැපුවා. කකුල බේරගන්ඩ බැරි තරමට අස්ථි විනාශ වෙලා. ඒකයි. ඇයව බේරගත්ත එක ගැන සතුටුයි. කවරදාවත් කිඹුල්ලු ඔයේ නාන මංකඩට ආවේ නෑ. මේ මුල්ම වතාව.”
මිනීමරු කිඹුලාගෙන් තම ආදරණීය මෑණියන් බේරා ගත් රොමේෂ් පුතා ගැන ඔහුගේ නැන්දා වන (43) හැවිරිදි ඒ. සිරියලතා ද හඬ අවදි කළාය.
‘පසුගිය 25 දා සවස 4.45 ට විතර පුතාට අක්කා කෑ ගසන සද්දෙ ඇහිලා තියෙනවා. ඔහු ඒ පැත්තට යද්දි කුඹුක් ගහේ මුලක එල්ලී කිඹුලාගෙන් බේරෙන්න ඇය දඟලන හැටි ඔහු දැකලා තියෙනවා. අම්මෙ, හයියෙන් මුල අල්ලගන්න අත්හරින්න එපා කියලා පුතා වතුරට පැනලා. අක්කා තමයි කිඹුලාගේ බඩ යට අතගාන්න කියලා තියෙන්නෙ.
ඔවුන් පදිංචිව සිටි නිවෙස
|
අඩි 15 ක් විතර මේ කිඹුලා දිගලු. අක්කාගේ කකුල අත්හරින්නෙ නැති කිඹුලාව මේ පුතා බදාගෙන උගේ කටත් දෙපැත්තට ඇදලා. බඩත් කිති කවලා. කට අගුළු වැටිලා කිඹුලා අසරණ වුණාමයි පුතා අක්කව කරේ තියාගෙන ගොඩට ආවෙ. කිඹුලා සමඟ පොරබැදු පුතාගේ අතේ ඇඟිල්ලක් මේ සිද්ධියෙන් තරමක් තුවාල වුණා.
අපේ පුතාට යෝධ බල යෝධ හයිය ලැබෙන්නට ඕනෑ. අද කාලේ දරුවො දිහා බලපුවාහම තමන්ගේ ජීවිතේ ගැන නොසිතා මේ පුතා කළ වීර ක්‍රියාව හරිම පුදුමයි...”
සිරියලතා මාතාවගේ කතාව ඇත්තය. රොමේෂ් මධුවන්ත වීර පුතා රටට ආදර්ශයකි. කලාඔය මේ දිනවල කලින් දිනවල පැවැති මහ වැස්සට පිරිලාය. කිඹුලන් පහළින් ඉහළට නැඟී නාන මංකඩවලට පවා එන බව අසන්නට ලැබිණ. මාතර නිල්වලා ගඟේ ද කිඹුලන් වෙනත් ඔයවල්වලට පැමිණ සිටින බව ද දැනගන්නට ඇත. කිඹුලන් මෙන් ම මිනිසුන් ද ආරක්ෂා කැර ගැනීම ද වැදගත්ය.
කලා ඔයේ රිදී දියවර දැන් හොඳටම පැහැදිලිය. ඒ නාන මංකඩ ද තවමත් නිසලය. එහෙත් මේ නිශ්ශබ්දතාව පැහැදිලිකම යට තවත් බොහෝ දේවල් සිදුවන්නට ඉඩ තිබේ. සියල්ලට වඩා පරෙස්සම හොඳය.
2 comments:
මෙවැනි වටිිනා දරුවන් හඳුන්වා දීම විශාල ජාතකි මෙහෙවරකි. ස්තුතියි විදුලට
AMMATA IKMAN SUWAYA LABEWA
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි