Monday, January 11, 2016

කුමාරගම කවියාගේ අවසන් මොහොත


කුමාරගම ජීවත්ව සිටි මුළු කාලයේම සේවය කර ඇත්තේ, වන්නිය, පස්සර, අලියාවැටුණු වැව, කොත්මලේ සහ කොලොන්න ආදි දුෂ්කර ප්‍රදේශවලය. ඒ වනගත ගැමි පරිසරය ඔහුගේ කවිත්වය වඩාත් ඔප් නැංවීමට හේතු වන්නට ඇත.
හේරත් හාමි, අයියනායක, සහ ආරච්චි රාල වැනි වටිනා කවි පන්ති ඔහු අතින් ලියැවී ඇත්තේ ඒ දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදී සිටියදීය.
විමලරත්න කුමාරගම කවියා මිය යන විට ඔහුගේ වයස වසර 43 කි. ඔහු ගැන මේ ලිපිය ලියන විට ඔහු මිය ගොස් වසර 53 කි. 1962 දෙසැම්බර් 29 වැනිදා රාත්‍රියේ රෝගාතුර වී අසාධ්‍යව සිටි කුමාරගම මහනුවර මහ රෝහලට ගෙන ආ බව අසන්ට ලැබී එදින රාත්‍රී 10ට පමණ ආරියවංශ පතිරාජ කවියාත් මමත් වහා එහි ගියෙමු. එහි 10 වැනි වාට්ටුවේ ඇඳක් මත වැතිර සිටි ඔහුට කථා කිරීමට නොහැකි බව දක්නට ලැබිණ.
සිහිසන් නැතිව මෙන් සිටි ඔහු මගේ අත අල්ලා ගැනීමට උත්සාහයක් දරන වග පෙනිණ. ඒ මොහොතේ ඔහු දෙනෙත් විවර කොට අප දෙස බලා සිටියේ අප හඳුනාගෙන ද නැද්ද යන්න නොදනිමු. ගතවූයේ මොහොතකි. අල්විස් පෙරේරා කවියා ද එතැනට පැමිණියේය.
ඒ මූසල රාත්‍රියේ අප තිදෙනා ඉදිරියේදීම කුමාරගම ඇරගෙන සිටි දෙනෙත් පියා ගත්තේය. එදින එතැන සිටි අයගෙන් අද ජීවතුන් අතර සිටින්නේ මා පමණය. අල්විස් පෙරේරාත් ආරියවංශත් මියගොස් බොහෝ කල්ය.
ඒ මොහොතේම මා විසින් ලියැවුණු කවි තුනකින් එකක් මෙසේ ය.
මිනිසුන් අතර නොම දත් මිනිහගෙ අගය
ජීවිතයට වඩා සැප මරණය ළඟය
මට වැටහුණේ මෙහිදිත් ඔබ හරි වගය
අප යා යුතුත් හිතවත ඔබ ගිය මඟය
ඒ අවස්ථාවේම කඩදාසි කැබැල්ලක් සොයාගෙන අල්විස් පෙරේරා කවියා ද දිග විරිතකින් කවි හතරක් ලී‍වේය. එහි අවසන් කවිය මෙසේ ය.
මෙරට කවියන් අතර නොව ලොව
කවින් අතරත් ඔබට තැන ඇත
කන්ද උඩරට උපන් කිසිවකු
ඔබ ලැබූ කවි කුසල ලැබ නැත
තටු දැවී ගිය කුරුල්ලකු මෙන්
වැටී ළතැවෙමි නොදැන යන අත
සදාකාලික සොහොන වේවා
ඔබට මින්පසු මගේ හදවත
කොළඹ යුගයේ ස්වර්ණමය කාල පරිච්ඡේදය හැටියට සැලකෙන එක්දහස් නවසිය හතළිස් ගණන්වල සිට හැටේ දසකය දක්වා වූ කාලය තුළ විමලරත්න කුමාරගම ලියා ඇති කවි ගණන අතිවිශාලය. අල්විස් පෙරේරා කවියා පවත්වාගෙන ගිය 'දේදුන්න' සඟරාවේත් ගාල්ලේ ජෝන් රාජදාසගේ 'මීවදය' සඟරාවේත් මාස්පතාම කුමාරගමගේ කවි පෙළක් පළ විය. පද්‍යාවලී වැනි පොත්වලට ඇතුළත් කර ඇත්තේ ඒවායින් තෝරා ගත් සමහරෙකි.
මීට බොහෝ කලකට පෙර මා පාසල් සිසුවකුව සිටියදී එකල ප්‍රකට කවියකු වූ බඹරකොටුවේ සුධර්ම හිමි කුමාරගමගේ කුලුපග මිතුරෙකි. ඒ හිමි­ෙයා් ඉංග්‍රීසි ඉගෙනීම සඳහා අප විදුහලට පැමිණ සිටියහ. (එකල සිසුන්ට වැඩි වයස් සීමාවක් තිබුණේ නැත) රත්නපුර සීවලී විද්‍යාලයේ සිසුන් වූ අපි සුධර්ම හිමිගේ සහාය ලබාගෙන රත්නපුර සීවලී කලා මණ්ඩලය (ර.සි.ක.) නමින් සංවිධානයක් පිහිටුවාගෙන දේශන පැවැත්වීම සඳහා සුප්‍රකට කවීන් ගෙන්වා ගතිමු. සුධර්ම හිමිගේ මිතුරකු වූ කුමාරගම එකල සේවය කළේ රත්නපුරයට නුදුරු කොලොන්න ප්‍රදේශයේය. සුධර්ම හිමි මඟින් අපේ කලා මණ්ඩලයේ දේශනයකට කුමාරගම කවියා ගෙන්වා ගතිමු.
මහනුවර දිස්ත්‍රික්කයේ නාරම්පනාව නමැති සුන්දර ගමේ 1918 ජනවාරි 18 වැනිදා උපන් කුමාරගම හත්දෙනකුගෙන් යුත් පවුලක දෙවැන්නාය. රජයේ පාසලක මුල් ගුරුවරයකු වූ පුංචි බණ්ඩාර කුමාරගමත් කේ. එම්. බණ්ඩාර මැණිකේ මහත්මියත් කුමාරගමගේ දෙමාපි­ෙයා්ය.
මඩොල්කැලේ වේරපිටිය විද්‍යාලයට මුලින්ම ඇතුළත් වූ කුමාරගම සිසුවා පසුව තෙල්දෙණියේ විද්‍යාලෝක විද්‍යාලයේත් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබ 1930 වසරේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය.
තරුණ සිසුවකු වශයෙන් මහනුවරට පැමිණි කුමාරගම පාසල් ගොස් ඇත්තේ මහනුවර ත්‍රිකුණාමල වීදියේ (ඩී.‍ එස්. සේනානායක වීදියේ) දැනට අබාන්ස් වෙළෙඳ ‍සල ඇති තැන විසූ නාරම්පනාවේ වෙද මහතාගේ නිවසේ සිටය. එකල සුප්‍රකට වෛද්‍යවරයකු වූ නාරම්පනාව වෙද මහතා කුමාරගමගේ ළඟම ඥාතිවරයෙකි.
දුම්බර කඳු රැළියෙන් වට වූ නාරම්පනාවේ ස්වාභාවික සෞන්දර්යයෙන් රසවත්ව සිටි කුමාරගම මහනුවර පැමිණීමෙන් පසු එහිදී දක්නට ලැබුණේ වඩාත් ශාන්ත නිසල පරිසරයකි.
නුවර වැවේ සහ අවට පරිසරයේ ශාන්ත සුන්දරත්වයෙන් රස විඳිමින් ඔහු කවි ලියන්නට පටන්ගෙන ඇත්තේ පාසල් වියේ සිටියදීමය.
එදා ඔහු ලියූ කවියක් මෙසේ ය.
නිසලය සාන්තය ගස්වැල් වැව අවට
මා විසි කළේ පොඩි ගල් කැටයක වැවට
රස රැළි වළලු දී දිය රඟ ගති රුවට
එක කවියකින් නොකළැකි මොනව ද ලොවට
එකල පැවැති මැට්‍රිකියුලේශන් විභාගයෙන් සමත්ව රජයේ ලිපිකරුවකු ලෙසින් සේවයට බැඳුණු කුමාරගම ක්‍රමයෙන් උසස්වීම් ලැබ ආදායම් නිලධාරියකු (D. R. O.) ලෙස පත්වීමක් ලැබුවේය. කවි ලියමින් විනෝද වෙමින් සිටි ඔහු විවාහ වී සිටියේ නැත. කවිය ඔහුගේ බිරිය බවට පත්ව තිබිණි.
කුමාරගම වන්නියේ ආදායම් පාලක නිලධාරී ලෙස සේවය කළ කාලයේ නිවාඩු ලත් විට ඔහු පාසල් වියේ නැවතී සිටි මහනුවර නිවසට පැමිණ විවේකීව සිටියේය. එහි සිටි තවත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ විමලරත්නගේ ඥාති සොහොයුරකු වූ ඩී. බී. කුමාරගම මහතාත් මැණික්දිවෙල මහතාත් (පසු කලෙක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් වූ) යන අය සමඟ විනෝදයෙන් කාලය ගෙවීමට කුමාරගම පුරුදුව සිටියේය. මගේ වැඩිමහල් සොහොයුරු අභාවප්‍රාප්ත ගාමිණී බුලත්ගමත් ඩී. බී. කුමාරගමත් මිතුරන් වූ නිසා අපි ද නිතර ඒ නිවසට යෑමට පුරුදුව සිටියෙමු.
කුමාරගම අභාවප්‍රාප්ත වී හරියටම වසර හතරකට පසු පූජ්‍ය හික්ගොඩ ඛේමානන්ද හිමියන්ගේ සහ ප්‍රේමතිලක මාපිටිගම (පසුව ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂව සිටි) මහතාගේ මැදිහත් වීමෙන් 1966 දෙසැම්බර් 28 වැනිදා පළ කරන ලද කුමාරගමගේ 'මහ පාර' නමැති පොතේ එතෙක් පළ නොවී තිබුණු ඔහුගේ කෘතී රැසක් දක්නට ලැබේ.
එම පොත ගැන හැඳින්වීමක් ලියන ආචාර්ය වල්පොළ රාහුල හිමියන් මෙසේ සඳහන් කර ඇත.
කුමාරගමගේ කවි නවීනත්වයට හා පාරම්පරික සම්ප්‍රදායට ගැති නොවූ 'විප්ලවකාරි' නිවහල් බවකට පත්ව තිබුණා පමණක් නොව, ඔහුගේ පිරිසිදු සිතත් තාරුණ්‍යය හා දාර්ශනිකත්වයත් එයින් පිළිබිඹුව පැවතුණි.
කුමාරගම විසින් ලියන ලද මෙතෙක් කිසිවක පළ නොවූ කවි රැසක් මා ළඟ තිබුණු නමුත් දැන් ඒවා අස්ථාන ගත වී ඇත.
කුමාරගමගේ මලණුවන් මියගිය අවස්ථාවේ ඔහු විසින් මෙසේ ලියන ලදි.
මොන මොන වෙලාවෙත් ඇවිදින විට දි රටේ
වනපෙත් උයන් වතුවල ඇති හතර වටේ
වටිනාකමක් නැති මල් ගොමු නුවන ගැටේ
සුවඳැති රුවැති පැණි ඇති මල් බිමට වැටේ
කඳුළත් හිනාවත් ලොව අමුතුම දෙකකි
එනමුත් ඒ දෙකම පිටවන තැන එකකි
හිනැහෙන්ට ද අඬන්ට ද නොදැනුම දුකකි
මා වියරුව ද නැද්දැයි මට නම් සැකකි
රාහුල හාමුදුරුවන් සඳහන් කළ පරිදිම කුමාරගමට යමක් ඒ අයුරින්ම කියන්ට වුවමනා වූ විට පැරැණි සම්ප්‍රදාය බිඳ දමා හිතට එන දෑ එලෙසම ලියයි. ඔහුගේ 'මහ පාර' පොතේ ඇති මෙ කව ඊට හොඳ නිදසුනකි.
මහ පාරේ නව වැලි දා
දවසක් නැත ගතවුණේ
රාලහාමි පොලිසියේ
රාලහාමි ඇවිදිනවා
ජරස්! බරස්!
ජරස්! බරස්!
රාලහාමි ඇවිදිනවා...
කුඩා කෙල්ල මහ පාරේ
බඩගින්නේ ළතැවෙනවා
ඇගේ අතේ පොල් කටුවකි
මළකඩ කෑ ටිං කබලකි
රෑ මුරයට ඉන්න අපේ
රාලහාමි ඇවිදිනවා
ජරස්! බරස්!
ජරස්! බරස්!
රාලහාමි ඇවිදිනවා...
වන්නියේ සේවය කරද්දී වැව් බැම්ම දිගේ මොටෝ රිය පදවාගෙන යද්දී ඒ අසල වැවේ තනිවම දිය නාමින් සිටි සුරූපී තරුණියක දුටු කුමාරගම කවියා හිතෙන් කවිය හදාගෙන ගොස් මෙසේ ලියා තැබුවේය.
ලස්සන තරුණියක් දුටු විට එතන හද
දැක්කෙමි නාන හැටි තනියම වැවෙහි හිඳ
එක්කරගෙන යන්ට හිතුණත් අතින් ඇද
රැක්කෙමි දිසාපතිකම දුක් විඳල ලද
කුමාරගම ජීවත්ව සිටි මුළු කාලයේම සේවය කර ඇත්තේ, වන්නිය, පස්සර, අලියාවැටුණු වැව, කොත්මලේ සහ කොලොන්න ආදි දුෂ්කර ප්‍රදේශවලය. ඒ වනගත ගැමි පරිසරය ඔහුගේ කවිත්වය වඩාත් ඔප් නැංවීමට හේතු වන්නට ඇත.
හේරත් හාමි, අයියනායක, සහ ආරච්චි රාල වැනි වටිනා කවි පන්ති ඔහු අතින් ලියැවී ඇත්තේ ඒ දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදී සිටියදීය.
විමසිල්ලට ලක්විය යුතු ඔහුගේ තවත් කවියක් මෙසේ ය.
ඉර හඳ තිබේ බටපොතු පෙට්ටියක වසා
ලොව හොඳ නොහොඳ ඇත මගෙ ලේ බිඳු ද අසා
ලෝකය වටකුරුය කීවොත් එය ද මුසා
බල්ලෝ බුරති හඳ හතරැස් නොවන නිසා
මානව දයාවෙන් පිරුණු හදවතක් නැති කෙනකුට කවිත්වයක් පිහිටන්නේ නැත. ඒ බව කුමාරගමගේ කවිත්වයෙන් පැහැදිලි වෙයි. ඔහු ලියා ඇති හැම කවියකින්ම ඒ බව පැහැදිලි වෙයි. නූගත් අහිංසක ගැමියන්ගේ චර්යාවන් දෙස ඔහු බැලුවේ සානුකම්පික හැඟීමකින් යුතුවය. ගැමියන්ගේ පාරම්පරික විශ්වාසයන් සහ ඇදහිලි නිවැරැදි කරන්ට ඔහු ගියේ නැත. ඒවා තමා නොකළත් ඒ දෙස දයානුකම්පාවෙන් බලා සිටියේ මෙසේ ය.
සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලෙක දැවටීම
මා නොකෙරුවත් නො කරමි එය ගැරහීම
කුමාරගම වන්නියේ සිටියදී ලියන ලද කවි අතුරින් වඩාත්ම අගනා කවිපෙළක් ලෙස 'අයියනායක' කවිපෙළ හැඳින්විය හැකිය. වනගත ගැමි පරිසරයේ වෙසෙන අහිංසක මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ හැඟීම් නිර්ව්‍යාජ ලෙස මේ කවිවලින් පිළිබිඹු වෙයි. වනගත දෙවි දේවතාවුන් කෙරෙහි ඔවුන්ගේ ඇති ගෞරව සම්ප්‍රයුක්ත බියජනක බව කුමාරගම මනා ලෙස කවියෙන් විස්තර කරයි.
දෙවි දේවතාවුන් වෙසෙන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකට ද දැනේ
මොළයෙන් තමා ලෝකයෙ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ
මළ හිරු බැස යන හැන්දෑවේ වනය මත තෙරපී සඳ රැස් ගලා යන චමත්කාරය දැක කවියා උද්දාම වී මෙසේ කියයි.
වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳ රැස් ගලන විට තෙරපී වනය මත
එක දෙවියෙක් නොවේ දහසක් එතැන ඇත
සෞන්දර්ය ලෝලීයකු වූ ජීවිතයේ යථාර්ථය මනැසින් දැක කවි ලියූ කුමාරගම කවියා හදිසියේ බරපතළ ලෙස රෝගාතුරව සිටියදී රෝහල්ගත වීමට කලින් කවි දෙකක් ලියා පී. බී. අල්විස් පෙරේරා කවියාට තැපැල් කර යවා ඇත. ඒ ඔහුගේ අතින් ලියැවුණු අන්තිම කවි දෙකය.
එය මෙසේ ය.
අලුත් එළියක ලකුණු මතු වෙයි
එදෙස හිරු රැස් අනුව යන්නම්
මගේ අදහස් මැරෙන්නේ නෑ
ඔබට එය අඩු නැතිව දෙන්නම්
උදෑසන මල් වී පිපෙන්නම්
රෑට හඳ එළියකින් එන්නම්
ඔබේ සුවඳත් මගේ සුවඳත්
එකට කැටි කළ සුළඟ වෙන්නම්
ගමෙන් පිට ඈත පළාත්වල මුළු කාලයම ගෙවී ගියත් තමා දිනූ ගම ඔහුට අමතක වූයේ නැත. කොහේ කොතැනක විසුවත් තමාට හිමි උරුමය ඇත්තේ නාරම්පනාවේ බව ඔහු ලියා තැබුවේය.
නිතරම නිවෙස් වූ හුදු වාසනාවට
කඳු වැටිවලින් මා දිනු ගම උනා වට
මෙලෙසට ගමෙන් පිට පියවර ගෙනා වට
මා උරුමයකි මගෙ නාරම් පනාවට
වෙනසට පත්වුවද අද ඔබෙ මුහුණු වර
සැනසුම ලබමි නම සිහි වන සියලු වර
ඔබ හැර මෙසේ අද පසුවන නමුදු දුර
රැක ගනු මැනවි මගෙ ඇටකටු තුරුලු කර
කුමාරගම ලියූ පරිදිම ඔහුගේ දේහය මිහිදන් කරන ලද්දේ ඔහුගේ උරුමය වූ නාරම්පනාවේ නිවස අසලම ඇති කඳු ගැටයකය.
පසුගිය දා මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැතිව සිටි ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා කුමාරගම කවියාට උපහාරයක් වශයෙන් නාරම්පනාව විද්‍යාලය විමලරත්න කුමාරගම මහා විද්‍යාලය යනුවෙන් නම් කළේය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි