මහගම සේකර

සේකර (1) චිත්‍ර ශිල්පියෙකි. (2) කවියෙකි. (3) ගීත නිබන්ධකයෙකි. (4) නවකතාකරුවෙකි. (5) කෙටිකතාකරුවෙකි. (6) වේදිකා නාට්‍ය රචකයෙකි. (7) චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. (8) තිර රචකයෙකි. (9) කලා අධ්‍යක්ෂවරයෙකි. (10) පරිවර්තකයෙකි. (11) දේශකයෙකි. (12) ආචාර්යවරයෙකි. (13) පර්යේෂකයෙකි.
ඊට පරිබාහිරව ගත් විට සේකර පොත් පිටකවර නිර්මාණ ශිල්පියකු ලෙසත් බතික් නිර්මාණ ශිල්පියකු ලෙසත් පෝස්ටර් නිර්මාණ ශිල්පියකු ලෙසත් පුවත්පත් කාටුන් ශිල්පියකු ලෙසත් එම්බ්‍රොයිඩර් නිර්මාණ ශිල්පියකු ලෙසත් මූර්ති ශිල්පියකු ලෙසත් ගුවන්විදුලි පිටපත් රචකයකු ලෙසත් අනේකවිධ කුසලතා විදහා පා ඇත.
සේකරගේ සුවිශේෂත්වය වන්නේ ඔහු තමා නිරත සෑම කලා මාධ්‍යයකින්ම ඉහළම නිර්මාණ මහිමයක් ප්‍රකට කිරීමය. එය කලාකරුවකු වෙතින් දුර්ලභ වශයෙන් පහළ වන්නා වූ ගුණාංගයකි.
සේකර වඩාත් විශිෂ්ට වන්නේ කවියකු වශයෙන් යැයි කීම විවාදයෙන් තොර කියමනකි. ඔහු ස්වකීය ජීවිත කාලයේදී කවි පොත් අටක් ප්‍රකාශයට පමුණුවා ඇත. ඒ මෙආකාරයෙනි. (1) 'ව්‍යාංගා' (කේ. ජයතිලක සමඟ) (2) 'සක්වා ලිහිණි' (3) 'හෙට ඉරක් පායයි' (4) 'මක්නිසාද යත්' (5) 'රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත' (6) 'බෝඩිම' (7) 'නොමියෙමි' සහ (8) 'ප්‍රබුද්ධ'. මේවා නූතන සිංහල කවියේ සරුසාර අස්වැන්න ලෙස අපට සැලකිය හැකිය.
සේකර එක් පැත්තකින් කොළඹ කවියත් තවත් පැත්තකින් පේරාදෙණි කවියත් අතික්‍රමණය කළ අයකු ලෙස මම දකිමි. එය කෙතරම් ද කිවහොත් මුල් කාලයේදී ඔහු නිසඳැස් කවි උපහාසයට පවා ලක්කර ඇත.
සමස්තයක් විදියට ගත් විට සේකරගේ කවිවලින් කියැවෙන්නේ අයුක්තියෙන් අධර්මයෙන් පිරි මේ ධනවාදි සමාජය විවේචක යථාර්ථවාදී දෘෂ්ටියකින් විවරණය කොට, එය පිටුදැක ධර්මය වටහාගත හැකි, සත්‍යය, සුන්දර බව දැකගත හැකි උත්තර සමාජයක් ගොඩනැංවීම පිළිබඳ යැයි සිතමි.

සේකර ඔහුගෙන් පසුව බිහි වූ රත්න ශ්‍රී විජේසිංහ ප්‍රමුඛ නව තරුණ කවි පරපුරකට ප්‍රදීපාලෝකයක් වූ ආකාරය දැක්ක හැකිය. සේකර නිසඳැස් කවිය වඩාත් සුඛනම්‍ය කළ බවත් එසේ නොවන්ට එය විශ්වවිද්‍යාලයටම සීමා වන්ට ඉඩ තිබුණු බවත් මහාචාර්ය සෝමරත්න බාලසූරිය වරක් මා සමඟ කියා සිටියේය.
ගීත රචකයකු වශයෙන් ද සේකරගේ යුග කාර්යභාරය ප්‍රශංසනීය ය. ඔහු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟ එක්ව 'මධුවන්ති' වැනි ගුවන්විදුලි වැඩසටහන් ඔස්සේ ද, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ද සරල ශාස්ත්‍රීය ගී සම්ප්‍රදායක් බිහි කළේ ය. අද සුභාවිත ගීතය ලෙස අප ආදර්ශ කර ගන්නේ එයයි. මෙහිදි ද ඇතැම් කුහක එදිරිවාදිකාරයන් සේකරගේ ප්‍රතිභාව ගර්හාවට ලක්කළ ආකාරය පෙනේ. 'මළහිරු බැස යන හැන්දෑ යාමේ', 'මා මළ පසු සොහොන් කොතේ' වැනි නිබන්ධ, කොළඹ කවීන්ගේ සමනල් අදහස්ම අලුත් ආකෘතියකින් එළිදැක්වීමක් ලෙස ය ගුණදාස අමරසේකර ප්‍රකාශ කර ඇත්තේ.
සේකර නමැති චිත්‍ර ශිල්පියා ද අතිශය නිර්මාණශීලිය. කේ. ජයතිලකගේ මතය වන්නේ සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවට බව ය. කවියේදී මෙන් ම චිත්‍ර කලාවේදී ද මුල් යුගයේ ඔහු අමුර්ත චිත්‍ර ගර්හාවට ලක් කර ඇත. එහෙත් පසුව ඔහු නිර්මාණ බිහි කළේ එම චිත්‍ර ශෛලිය ප්‍රගුණ කරමිනි. මා නිවැරැදි නම් සේකර අවස්ථා තුනකට වඩා චිත්‍ර ප්‍රදර්ශන පවත්වා නැත. ඔහුගේ චිත්‍ර නිර්මාණ විග්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකිය. (1) ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත්‍ර (2) 'තුංමංහන්දිය' චිත්‍රපටය සඳහා නිර්මිත චිත්‍ර (3) පුවත්පත් කාටුන් (4) පොත් කංචුක නිර්මාණ (5) ඉලස්ට්‍රේෂන් (සන්නිදර්ශන) (6) බතික් නිර්මාණ (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ සහ (8) පෝස්ටර්

සේකර නවකතා දෙකක් ද කෙටිකතා සංග්‍රහ දෙකක් ද ලියා පළ කර ඇත. ඔහුගේ නවකතාවක් වූ 'තුංමංහන්දිය' ඔහු විසින්ම චිත්‍රපටගත කරනු ලැබිණි. එය 70 දශකයේ හොඳම චිත්‍රපටය ලෙස ජාතික කතෝලික සිනමා පර්ෂදයෙන් බුහුමන් ලද්දේ ය. 1997 දී සිංහල සිනමාවට 50 වසරක් පිරුණු අවස්ථාවේ තේරූ හොඳ ම චිත්‍රපට දහයෙන් එකක් ලෙස ද 'තුංමංහන්දිය' තේරුණේ ය. එසේම එය 1972 දී ටෂ්කන්ට් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී ඩිප්ලෝමා සහතිකයක් ද දිනාගත්තේ ය.
'මූදු පුත්තු' (ගුණසේන ගලප්පත්ති සමඟ) සේකර ලියූ වේදිකා නාට්‍ය පිටපතකි. ඔහු ලියූ වෙනත් නාට්‍ය 'සද්දන්ත සහ තවත් නාටක', 'හංස ගීතය හා වෙනත් නිර්මාණ' යන කෘතිවල අඩංගු වෙයි.
සේකර සර් ආතර් කොනන් ඩොයිල්ගේ 'ද වයිට් කම්පැනි' නම්වූ කෘතියේ අනුවාදයක් 'ධවල සේනාංකය' නමින් පළ කර ඇත. ඒ හැරුණුකොට තවමත් අප්‍රකාශිත ඔහුගේ පොත් දෙකක් ගැන ද කියැවෙයි. එකක් 'ඊඩිපස්' නාට්‍යයේ පරිවර්තනයකි; අනික ඊට ඉහත ජී. බී. සේනානායක ද මඩවල එස්. රත්නායක ද පරිවර්තිත 'රුබයියාට්' කෘතියේ පරිවර්තනයකි.
සේකර අතිශයින් නිර්ව්‍යාජ කලාකරුවෙකි. ඔහු කොළඹ රැකියාව කොට දුම්රියෙන් ගෙදර ආ කල්හි අමුඩයක් ඇඳ ළිඳෙන් හෝ පීල්ලකින් නා ගනී. එවිට ඔහු මහා කවියා නොවේ. මහා කලාකරුවා නොවේ. ගමේ ජෝන් අයියාගේ පුතාය. සේකර 'තුංමංහන්දිය' නවකතාවේ (එසේම පසුව චිත්‍රපටයේ) අබිලිංගේ චරිතය ඔස්සේ මැවූයේ තමන්ගේ ම ප්‍රතිරූපය ම යැයි වරෙක සිතේ. ඔහු සම්මානවලින් හිස උදුමවා ගත්තේ නැත. 'තුංමංහන්දිය' චිත්‍රපටයට ටෂ්කන්ට් සම්මානය ලැබුණු බව දැනගත් විට ඔහු උපේක්ෂා සහගතව කියා ඇත්තේ 'හොඳා - හොඳා' කියා ය.
සේකර කිසිදා ධනෝපායනය උදෙසා කලාව පරිහරණය කළ අයෙක් නොවීය. ඔහු එය පිළිකුල් කළා සේය. සැබෑ කලාකරුවා සන්තුෂ්ටියට පත්වන්නේ ස්වකීය නිර්මාණයෙන්මය; රසිකයා එය වැලඳ ගත් කල්හිය.

ඔහු උපන් ගමේ ඇතැමුන් කියා ඇත්තේ සේකර මොන තරම් ප්‍රසිද්ධ පුද්ගලයකු වුවත් ගමට එක බෝක්කුවක් බැඳ දීම තරම්වත් සේවයක් කර දී නැති බවය. (අරීසෙන් අහුබුදු කලාකරුවා මියයද්දිත් ඔහුට ඔහු උපන් ගමෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයකි) සේකරගේ පිළිරුව නොයෙක් වර කඩා බිඳ දැමීම්වලට ලක්වූයේ ය. කුල සාධකයක් ද ඊට ඈඳා ගත් ආකාරය දිස්වෙයි.
ගමෙන් පමණක් නොව රටින් පවා සේකරට එතරම් යහපත් සත්කාරයක් නොලැබුණු බව පෙනේ. 'බෝඩිම' කාව්‍ය සංග්‍රහයෙන් පිටපත් කීපයක් විකුණා ගන්ට සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවක සේකර ආපසු හරවා එවා තිබුණේ පොත් මිලට ගන්ට මුදල් නොමැති බව කියමිනි.
සේකර වෙනුවෙන් අද අපට කළ හැකි යමක් ඉතිරි ව ඇත. එනම්; ඔහුගේ සමස්ත නිර්මාණ දෙස අලුත් විචාර එළැඹුමකින් යුක්තව බැලීම ය. නූතන භාෂාවෙන් කිවහොත් නව කියැවීමක යෙදීමය. මෑතදී කේ. කේ. සමන් කුමාර එබඳු උත්සාහයක් ගත්තේ ය. ('සේකරගේ නොදුටු පැත්ත' නම්වූ ලිපි මාලාව) එහෙත් එය පරිසමාප්ත වූවක් නොවීය.
මහගමසේකර නම් වූ 'නොමියෙන ප්‍රබුද්ධයා' හැදෑරීම සමකාලීන කලාවේ පැතිකඩ ගණනාවක් අධ්‍යයනය කිරීමක් වන්නේය. මේ හැදෑරීමේදී මුලින් වේට්ටියක් හා දිග බැනියමක් ඇඳගෙන සඳැස් කවි ලියමින් නිසඳැස උපහාසයට ලක්කළ, අමුර්ත චිත්‍ර ගර්හාවට ලක්කළ සේකර පසුකලෙක විශාල පිම්මක් පැන නූතනවාදී කලාවට ආ හැටි විමසා බැලීම ද කළ යුතු යැයි අවධාරණය කරමි.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි