Thursday, March 3, 2016

හෙට උපදින දරුවකුට අවුරුදු 140ක් ආයු විඳින වරම්!


 “වයස්ගතවීම හා ආශ්‍රිත රෝගවලින් බොහොමයක්, මැඬලීමේ හොඳම ක්‍රමය සතිපට්ඨාන භාවනාවයි. නවීන පර්යේෂණ බොහොමයකින් පැහැදිලි වන්නේ ඉතා සුළු වේලාවක්, සතිපට්ඨාන භාවනාවේ යෙදීමේත් සිත එකඟකොට ගෙන සිටීමේත් ප්‍රතිඵලක් වශයෙන්, මානව ආතතිය අඩුවන බවය. වෙනෙකක් තබා, මොළයේ අන්තර්ගත මාංශ පේශිවල දිරාපත්වීම පවා සතිපට්ඨාන භාවනා ක්‍රමය මඟින්, අඩුකරගත හැකිවේ.”
-රිචඩ් ඩේවිඩ්න්, ස්නායු විශේෂඥ
අද යුගයේ අපරදිග සමාජවලින් අසන්නට ලැබෙන විස්මය උපදවන පුවතක් නම්, බටහිර විද්‍යාඥයන් විසින්, මානව ආයු කාලය බොහෝ සේ දිගු කරන ක්‍රමවේද සොයාගෙන තිබෙන බවයි. ඒ පර්යේෂණයන්හි යහපත් බලපෑම, මුළු මහත් මානව සංහතියේ ම සෙත පිණිස වෙයි.
අද ලොව මිනිසාට කොපමණ කලක් ජීවත් විය හැකි ද?
මේ පැනයට විද්‍යාඥයන් සපයන ප්‍රායෝගික පිළිතුර, අනිවාර්යයෙන් ම ඔබ මවිත කරවයි.
ඒ පිළිතුරේ ස්වභාවය සැකෙවින් මෙසේ දැක්විය හැකිවේ.
“මීයන්ගේ සාමාන්‍ය ආයුකාලය මාස 27 යි. එහෙත්, අලුතින් සොයාගත් ඖෂධයක පිහිටෙන්, සාමාන්‍ය මීයෙකුගේ වයස මාස 48 දක්වා දිගු කොට තිබේ. ඒ දීර්ඝායුෂදායි ඖෂධය විසින් මීයාගේ සාමාන්‍ය ආයු කාලය සියයට 1.77 කින් වැඩි කරන ලදී. ඒ අනුව මිනිසාගේ ආයු කාලය දෙස බලමු. මිනිසාගේ සාමාන්‍ය ආයු කාලය අද යුග‍ෙය් අවුරුදු 80 කි. ඒ අනුව, මී ඖෂධයේ පිහිටෙන් තව අවුරුදු පහකින් පමණ උපදින දරුවෙකුට අවුරුදු 142ක් ජීවත්විය හැකිය. මේ අවුරුදු පහකින් පමණයැයි කීයේ, ඒ ඖෂධය මිනිස් දරුවන්ට සුදුසුවන පරිදි දියුණු කරන්නට ගතවන කාලය ගැන සිතමිනි.
අපගේ ශ්‍රී ලාංකික ජන සංස්කෘතියේ දීර්ඝායුෂ ප්‍රාර්ථනාව, ඉතා ප්‍රබල ස්ථානයක් ගනී. අපගේ බෞද්ධ සාමයික ප්‍රකාශයකින් මෙසේ කියවේ: “සුඛී දීඝායුකො භව” (සුවපත්ව දීර්ඝායුෂව වෙසේවා.)
සිංහලයන් දෙදෙනෙකු ඔවුනොවුන් මුණ ගැසුණුවිට ආචාර සමාචාර පවත්වන්නේ ආයුබෝවන් යන ආශීර්වාද පදයෙනි. මෙය ආචාරයක් මෙන් ම සුබ ප්‍රාර්ථනයක් ද වෙයි. “ඔබට ආය‍ු‍බෝ වේවා - ඔබ දීර්ඝායුෂ්ක වේවා” යන ඒ ආචාර සමාචාර පදයේ අරුතයි.
දිවි පෙවෙත සැලසුම් කිරීම
දිගු කලක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතියෙහි, ඒ දීර්ඝායුෂ ප්‍රාර්ථනාත්මක ආචාර - සමාචාර ක්‍රමය මුල්බැසගෙන තිබුණ ද, අපරදිග නවීන රටවල මෙන්, ශ්‍රී ලංකාවේ ආයුකාලය ක්‍රමවත්ව වර්ධනය කරනු පිණිස යොමුවූ පර්යේෂණ පද්ධතියක් අපේ දේශයේ නොතිබිණි. ඇතැම් ආහාර-පාන වර්ග ආයු වර්ධනයට හිතකාමීයැයි කියන විශ්වාසය ශ්‍රී ලංකාවේ හිතකාමීයැයි කියන විශ්වාසය ශ්‍රී ලංකාවේ ගැමි චිකිත්සාව හා බද්ධව තිබේ.
එහෙත් අපරදිග ලෝකයෙහි, මානව ආයුකාලය වර්ධනය කිරීම සදහා පැවැත්වෙන අති ක්‍රමානුකූල එමෙන් ම උච්චතම නවීන ලක්ෂණ සහිත පර්යේෂණ හා චිකිත්සක මධ්‍යස්ථාන සංඛ්‍යාව තරමක් පෘථුලය. එවැනි පර්යේෂණාගාර හා ආයු වර්ධන චිකිත්සා මධ්‍යස්ථාන විසින්, ලොවට සැපයෙන මාර්ගෝපදේශකත්වය, මුළු මහත් මිනිස් වගට ම සෙත සාදයි. ඒ ප්‍රබල ආයුවර්ධක චින්තනය මඟින් ප්‍රකාශිත ඇතැම් අදහස්, ශ්‍රී ලංකාවේ අපටත් ආයු වර්ධනය පිළිබඳව ගැඹුරට හැදෑරීමේදී මහෝපකාරීය. “දීර්ඝායු විද්‍යාව පිළිබඳ ස්ටැන්ෆර්ඩ් මධ්‍යස්ථානයේ “සමාරම්භිකා ආචාර්ය ලෝරා එස්. කාස්ටන්සෙන් මහත්මිය විසින් උගන්වනු ලබන කරුණු අතර, ලොව කාගේත් ආයු වර්ධනයට හිතැති, මා ඇඟි අදහස් අන්තර්ගතවේ.
ඇය නවීන මිනිසාගේ එක් අඩුපාඩුවක් ඉස්මතුකොට දක්වයි. අවුරුදු 100ක ආයු කාලයක් ලබාගන්නට නම්, අප සතුවිය යුතු ප්‍රධාන ගතියක්, මේ විද්‍යාඥවරිය විසින් ගෙන හැර දක්වයි.
ඒ මෙසේය: “කවර දේශයක විසුවද, කවර සංස්කෘතියක වැඩුණද, දීර්ඝ කාලීනව සිය දිවිපෙවෙත සැලසුම් කිරීමේ ගතිය, ස්වාභාවික ලෙස මිනිසා තුළ පිහිටා නැත. ඒ නිසා මිනිසාට අනාගත වර්ධනය ගැන පැහැදිලිව සිතන්නට බැරිය. එසේ ම, මිනිසාට දීර්ඝයුක්ෂව සිටීම අපහසු කරන තවත් කරුණක් වෙයි. තමන්ගේ ඇතැම් ක්‍රියා නිසා සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල ගැන ද කල් ඇතිව සිතන්නට බොහෝ දෙනා අපොහොසත් වෙති.
මිනිසුන්ට, ඉතා දිගුකලක් විසීමේ කැමැත්ත තිබේ නම්, ඔවුන්, මීට පෙර නො කළ අන්දමෙන්, අනාගතය සැලසුම් කරන්නටත්, දූර්දර්ශීව සිතන්නටත් පුරුදුවිය යුතුවේ.
මෙය දීර්ඝකාලීන ජීවිතයක් කැමැති ශ්‍රී ලාංකිකයන්ටත් ඉතා අගනා පාඩමකි.
අවුරුදු 100ක් විසීමේ ආශාව ඇති අය තවත් පුරුද්දක් ඇතිකරගත යුතුය. “දැන් මා සිටින්නේ කොතැනද? මේ මොහොතේ මගේ තත්වය කෙසේද? කියා දැන ගන්නටත් ඔවුන් පුරුදුවිය යුතුවේ. අනාගතය දැක, අනාගතයට සුදුසු සේ ජීවත්වන්නට ඒ පුරුද්ද අත්‍යවශ්‍ය ඖෂධයකි.
ආචාර්ය ලෝරා මිනිසාගේ දීර්ඝායුෂ්කභාවය පිළිබඳව පෘථුල පර්යේෂණ පවත්වයි. ආර්ථික විද්‍යාඥයන්ගෙන්, වෛද්‍ය විද්‍යාඥයන්ගෙන් කාර්මික ප්‍රධානීන්ගෙන් ඇය ප්‍රශ්නයක් විමසුවාය.
“දීර්ඝකාලීන, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙත හා සම්බන්ධ වන ගති-පැවතුම් හා පුරුදු වශයෙන් ඔබ දන්නේ කවර විදියේ චර්යාවක්ද?”
මේ පර්යේෂණ මඟින් ඇය විසින් සොයා ගන්නා ලද ප්‍රධාන කරුණු තුනක් වේ,
(1) සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙත
(2) සුරක්ෂිත ධන තත්ත්වය
(3) සමාජය හා ඒකාබද්ධව සැස‍ඳෙමින් ජීවත්වීමේ දක්ෂතාවත්.
දිවිය කෙටි කරන පුරුදු
ලෝකයේ බො‍හෝදෙනා ගේ දීර්ඝායුෂ්කභාවය අඩුකරන - දිවි පෙවෙත කෙටි කරන - චර්යා දෙකක් ඇය සොයාගෙන ඇත. බොහෝ දෙනා දුම්පානය අඩු‍කොට සිටිති. කායික අභ්‍යාසවල යෙදෙති. එහෙත්, ඔවුහු තාමත්, දීර්ඝායුෂභාවයට පටහැණි ක්‍රියා දෙකක යෙදෙති. ඒ දෙක මෙසේ ය:
(1) කායික අභ්‍යාසවල යෙදෙන කාලය තාමත් අඩුය.
(2) අවාසනාවකට මෙන්, බොහෝ දෙනා වාඩිවී සිටින කාල පරිච්ඡේදයත් වැඩිය.
දීර්ඝායුෂ්කභාවයට පටහැණි ප්‍රධාන කරුණක් වශයෙන් ඇය දකින්නේ සාමාජික සබඳතා අඩුකමයි. සමහරු සිය ගෙදර - දොර අය සමඟ පවා දැඩි සබඳතා පවත්වා නොගනිනි. අසල්වැසියන් හා සමඟ ආශ්‍රය අඩුය. වැඩිහිටියන් පමණක් ‍ෙනාව, ඇතැම් දරුවන් ද එසේ සමාජ සම්බන්ධතාවලින් බොහෝසේ තොරය. නවීන රාජ්‍යයක් වන ඇමෙරිකාවේ පවා වයස 65ත් 74ත් අතර අයගෙන් සියයට 57ක් දවසකට පැය හතකටත් වැඩි කාලයක් එක තැනක වාඩිවී කල් ගෙවති. මෙය ආචාර්ය ලෝරා දක්වන්නේ ආයු කාලය කෙටි වීමේ හේතුවක් ලෙසයි. එකතැන බොහෝවේලා වාඩිවී සිටීමෙන් සිරුර ස්ථුලවේ. එය, දියවැඩියා රෝගයට හේතුවකි.
ඇමෙරිකාවේ බොහෝ දෙනාගේ ජීවන කාලය කෙටි කරන රෝගයක් තිබේ. ඒ රෝගය නම් අල්ස්හෛමර් රෝගයයි. ඇමෙරිකාවේ එක්කෝටි හතළිස් ලක්ෂයක් පමණ දෙනා ඒ රෝගයෙන් පෙළෙති. එහෙත්, අලුත් ම ආරංචිය නම් මේ රෝගය සදහටම දුරුකරන ඖෂධයක් අද තැනී තිබීමේ පුවතයි.
ඖෂධ සමඟ දීර්ඝායුෂ සඳහා යහගුණය අත්‍යවශ්‍යය. දීර්ඝායුෂ්කා භාවයට පටහැණි අභියෝග ජයගනු පිණිස, සුබවාදී චින්තනය ද අත්‍යවශ්‍ය බව ආචාර්ය ලෝරා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවට ද මෙය යහපත් ආයුවර්ධන උපදේශයකි.
දීර්ඝායුෂ ලැබීම සඳහා ජෙෆ්රි ක්ලූගර් නම් අපරදිග විද්‍යාඥයා විසින් දෙනු ලබන එක් උපදේශයක ඍජුවම බුදුසමයෙන් ලබාගත්තාක් සේ පෙනේ.
විද්‍යාඥ ක්ලූගර් විසින් පැවසෙන්නේ මරණානුස්මෘතිය, දීර්ඝායුෂ ලැබීමට හේතුකාරක වන බවය. මරණානුස්මෘති භාවනාවේ යෙදෙන අය, හැම අලුත් දවසක් ම ඉතා අගය කොට සලකති.
මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ ශ්‍රාවකයෙකු වූ මනෝවිද්‍යාඥ ඔටෝ රෑන්ක්ගේ මතය නම්, අනිවාර්ය දෙයක් වන මරණය ගැන සිය කැමැත්තෙන් ම සිත යොමු කිරීම නිසා, මරණානුස්මෘති භාවනාව විසින් මිනිසුන්ට, ජීවිතයට මූණපාන්නට නව ශක්තියක් ලබාදෙන බවය. ඒ නිසා එවැන්නෝ අනිවාර්යෙන් ම දීර්ඝායුෂ්ක වෙති.
මහාචාර්ය ක්ලූගර් මෙසේ කියයි. “ගමනාන්තයක් තිබෙන බව ස්ථිරවම දැනගත් විට, අපි සියලුදෙනා ම ඉතා හොඳ සංචාරකයන් බවට පත්වන්නෙමු.”
බුද්ධ චින්තනයට අයත් මරණානුස්මෘති භාවනාව සතු මේ දීර්ඝායුෂ්ක බලය, බටහිර විද්‍යාඥයන් විසින් සොයා ගැනීම, ශ්‍රී ලංකාවේ අපට බොහෝසෙයින් ම අගනා හෙළිදරව්වකි.
ශ්‍රී ලංකාවේ අපට විශේෂයෙන් වැදගත් වන්නේ දීර්ඝායුෂ්ක භාවය සඳහා බෞද්ධ භාවනාවේ අගය, ආයුෂ වර්ධන චිකිත්සාව පිළිබඳ බටහිර සුප්‍රසිද්ධ විද්‍යාඥයන් විසින් ඉතා ඉහළින් කෙරෙන විවරණයයි.
ඇමෙරිකාවේ කැලි‍ෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මනෝ චිකිත්සක විද්‍යාඥ මහාචාර්ය එලිස්සා ස්පල්ගේ අදහස මෙසේය:
“සතිපට්ඨාන භාවනාව නිසා මිනිසුන්ගේ අසුබවාදි චින්තනය පහවී යයි. එසේම, ඇතැම් භාවනාක්‍රම හේතුකොට, ස්වාභාවික කායික පරිහානිය පවා වළකී, වයසට යෑමේ කායික ලක්ෂණ ඉවත්වේ.
කෙනෙකුට ගැඹුරු භාවනාව අපහසු නම්, එවැන්නෙකුට, යටත් පිරිසෙයින් මේ එළඹි වර්තමාන මොහොත ගැන හෝ සිහි එළඹවා සිටිය හැකිය. එවිට කායික වශයෙන් පහළ වන වයෝ ලක්ෂණ තරමකට හෝ අඩුවේ.
බාහිර ලෝකය හේතුකොටගෙන ඇතිවන, මානසික කම්පන පවා භාවනාව නිසා අඩුවෙයි. මෙය වයසට යෑම වළක්වන හොඳ චිකිත්සාවකි.
තරමක සරල ආකාරයේ සති පට්ඨාන භාවනාව වැඩීමෙන් පමණක් වුවද, සිරුරේ වයසට යෑම අඩු කළ හැකියැයි අපරදිග විද්‍යාඥයෝ කියති. සිතේ සතුට, දීර්ඝායුෂ්කතාවයට අත්‍යන්තයෙන් ම හිතකරය. සිතේ සතුටක් නැති වයස්ගත අය, සතුටින් වෙසෙන වයස්ගත අයට වඩා අඩු කාලයකින් මිය යන බව වෛද්‍ය වාර්තා මඟින් ස්ඵුට වී ඇත. කොපමණ ප්‍රශ්න තිබුණද, සිතේ සතුට සහිත වැඩිහිටියෝ, අන් අයට වඩා සියයට තිස්පහකට අධික කාලයක් දීර්ඝායුෂ විඳිති.
සිතේ සතුටින් පසුවන වැඩිහිටියන්ගේ කායික ක්‍රියාකාරීකම්, සිතේ සතුට නැති අයගේ කායික ක්‍රියාකාරීකම්වලට වඩා හොඳ තත්ත්වයක පවත්නා බව පර්යේෂණවලින් හෙළිවී තිබේ.
විද්‍යාඥයන්ගේ නිගමනය නම්, සිතේ සතුට ඇති වැඩිහිටියන් වඩා දිගු කලක් ජීවත්වන බව බවයි. මෙයට හේතුව සුබවාදී, සෝමනස්ස චේතනාවල්, කායික අභ්‍යාස ආදියටත් වඩා වැඩිහිටියන්ගේ කායික මානසික සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් ක්‍රියා කරන බවය.
ඇමෙරිකාවේ විශේෂඥයන් විසින් ඉතා විස්මය උපදවන සිද්ධියක් අනාවරණය කොටගෙන ඇත. එනම් පදවියෙන් ඉවත්වූ ජනාධිපතිවරුන් බොහෝ කාලයක් ජීවත්වන බවය.
හිටපු ජනාධිපති ජිමී කාටර්, ධවල මන්දිරයෙන් ඉවත්ව දැනට අවුරුදු තිස්පහකි. ජනාධිපති කාටර් අදත්, කාර්ය බහුල ජීවිතයක් ගත කරයි. හිටපු ජනාධිපති බුෂ්ට (පියා) අවුරුදු 90 කි. ජනාධිපති ජිමී කාටර් ගේ වයසමය. ජනාධිපති රොනල්ඩ් රේගන් අවුරුදු 93ක් ජීවත් වූයේය.
බෞද්ධ භාවනාවේ අගය
ඒ සා භාරධුර ජගත් කාර්යයක යෙදී සිටත් ඔවුන්ට දීර්ඝායුෂ්ක වන්නට හේතුකාරක වූ සාධක සොයා ගැනීම, වයස්ගතවීමේ රහස සොයන විද්‍යාඥයන්ට බොහෝසේ ප්‍රයෝජනත් වෙයි. ඔවුන් විවිධ අභියෝගවලින්, නව ශක්තියක් ලැබ ගන්නේ විය හැකිය.
සත්ත්ව ලෝකයේ දීර්ඝායුෂ්ක සත්වයන්ගෙන් ද දිගු කළ විසීමේ රහස් සොයාගත හැකිවේ. ගොඩබිම වෙසෙන ඉතාම දීඝායුෂ්ක සත්වයන්ගෙන් එකෙකු නම් අලියායි. ඌ ශාක භක්ෂකය. හේතුව එයද අලියෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 70යි. ඉදිබුවා ද දිගුකලක් වෙසෙයි. සාමාන්‍ය වයස අවුරුදු 100 ය.
සත්ත්ව ලෝකයේ ඉතා ම දිගු කලක් වෙසෙන සත්ත්වයා හැටියට හැඳින්වෙන්නේ මූදු මට්ටියා යි (sea clam) උගේ සාමාන්‍ය වයස අවුරුදු 500 කි.
මිනිසා අර්ථවත් ආකාරයෙන් වයසට යෑමේ විද්‍යාව, පෙර - අපර දෙදිග දියුණු රාජ්‍යවල ඉතා ප්‍රබල අධ්‍යයන අංශයකි.
ශ්‍රී ලංකාව වැනි දේශයක, අධි වයස පුද්ගලයන් සුලබ නැත.
මේ දේශයේ ජනතාවට, අර්ථවත් ලෙස නිකම් සයනගතව නොව ක්‍රියාශීලීව දීර්ඝායුෂ ලද හැකිවන ආකාරය පිළිබඳ ඉතා ම උච්ච මට්ටමේ වගකිවයුතු පර්යේෂණ පැවැත්වීමට මේ කාලයයි. අපගේ ඉපැරණි ඉතිහාසයේදි අපගේ ආදි මී මුත්තන් දිගුකලක් වාසය කළ බැව, වංශකථාගත වෙයි.
ඒ පිළිබඳව ක්‍රමවත් පර්යේෂණ පැවැත්වීම, අපටත් පොදුවේ මානව වංශයටත් අතිශයින් ම ඵලදායීය.
හැත්තෑවසක් සිරිලක පාලනය කළ පණ්ඩුකාභය රජු අවුරුදු 137ක් ජීවත් වූයේය. රහස කවරේද? අප විසින් ‍ලෝකයේ නවීන තම දීර්ඝායුෂදායක දියුණු පර්යේෂණවල ක්‍රමාවලි සෙවිය යුතුවේ.
අද අපගේ ගෙදරක උපදින දරුවෙකුට, බබෝ අවුරුදු 142ක් ජීවත් වන්නැයි ආශීර්වාද කරනු පිණිස, අපගේ දීර්ඝායුෂ විද්‍යා පර්යේෂණ උච්චාකාරයෙන් දියුණු කිරීම ජාතික වගකීමකි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි