Thursday, March 3, 2016

ජාතික කැරම් ශූරයා සහ ශූරිය සමඟ කතාබහක්















එක දිගට වැඩිම ශූරතා වාර්තාව මගේ

චමිල් කුරේ

ලෝකශූරිය වීම අනාගත බලාපොරොත්තුවයි

ජෝශප් රොෂීටා


මෙවර පැවැත්වුණු ජාතික කැරම් ශූරතා තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගළ සහ මිශ්‍ර යුගල යන ඉවෙන්ට්ස් තුනම ජයග්‍රහණය කරල 12 වැනි වරටත් අපේ රටේ ජාතික කැරම් ශූරයා වෙන්න මට හැකිවුණා.
එතැනදී පිරිමි කේවල තරග අංශයේ අවසන් තරගයේදී මගේ ප්‍රතිවාදී තරග කරුවා වුණේ ලෝක ශුරයා වන නිශාන්ත ප්‍රනාන්දු. නිශාන්ත 2 – 0 ලෙස පරාජය කරලා ශූරතාව දිනාගන්න මට පුළුවන් වුණා.

නිශාන්ත ප්‍රනාන්දු වත්මන් ලෝක ශූරයා. ඔහු තමයි බොහෝ විට ඔබේ ප්‍රතිවාදියා වෙන්නෙ.
ඔව්, නිශාන්ත අපේ රටේ ඉන්න හොඳම සහ දක්ෂම ක්‍රීඩකයෙක්. මම කැරම් වලින් අගය කරන ක්‍රීඩකයෙක්. බොහෝ වෙලාවට අපි ලංකාව නියෝජනය කරමින් විදෙස් රටක තරගාවලියකට ගියා ම නිශාන්තයි මමයි තමයි හොඳටම සෙල්ලම් කරන ප්ලේයර්ස්ල වෙන්නෙ.
පහුගිය වසර 8 ක් 9 ක් තිස්සේ මේ ජාතික ශූරතාවලියේ අවසන් මහා තරගයේදී අපි දෙන්නා හමුවෙනවා. 2012 දී ඔහු මාව පරාජය කරලා ජාතික ශූරයා බවටත් පත්වුණා.

ඔබ කොහොමද ලෝක ශූරයා වන නිශාන්තව පරාජය කරන්න සැලසුම සකස් කරන්නෙ.
අපි දෙන්නා කවදාවත් එකට ප්‍රැක්ටිස් කරන්නෙ නෑ. ඒ මොකද එතකොට එකිනෙකාගේ තියෙන දුර්වලකම් ටැක්ටික්ස් හඳුනා ගන්නා නිසා. ඒ වගේ ම එකිනෙකාට තියෙන බය වගේ දේ එතකොට නැතිවෙනවා. මම බොහෝ වෙලාවට නිශාන්ත සෙල්ලම් කරන විදිහ ඔහුගේ ප්ලෑනින් ගැන දන්නවා.‍ ඒ වගේ ම මම හොඳට පුහුණුවීම් කරලා තරගයට සූදානම් වනවා.
ඉතින් මට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති නිශාන්තව පරාජය කරන්න.

ඔබේ පුහුණුවීම් පිළිබඳව කතා කළොත්.
පුහුණුවීම් ගැන කතා කළොත් වර්තමානයේ ආමි, නේවි, එයා‍ෆෝස්, යන ත්‍රිවිධ හමුදාවට ප්ලේයර්ස්ල අරගෙන ෆ්‍රැක්ටිස් කරවල ඔවුන් හොඳ තත්වයකට ගෙනැවිත් තිබෙනවා‍. ඔවුන් උදේ 8.30 ට අත්සන් කරලා සවස 5 වනතුරු එක දිගට කැරම් සෙල්ලම් කරමින් පුහුණුවීම් වල යෙදෙනවා.
‍මම සෙලාන් බෑන්ක් එකේ වැඩ කරන්නෙ. ඔවුන් මට අවසර දෙනවා ප්‍රධාන කැරම් තරගයක් තියෙද්දී මාසයකට විතර කලින් ඉඳලා ප්‍රැක්ටිස් කරන්න.
මම ප්‍රැක්ටිස් කරන්නෙ තනිවම. ඒ එක්කම හොඳ තරගවල වීඩියෝ බලනවා. මගේ වීඩියෝත් බලනවා. එහෙම බලල මගේ අඩුපාඩු මොනවද කියල දැනගෙන ඒවා හදාගන්නවා.‍
මම පුහුණුවීම් කරන්න පටන් ගන්නෙ උදේ 4.30 ට 5.00 ට විතර නැගිටලා. කැරම් සෙල්ලම් කරන්න හොඳම වෙලාව තමයි ඒ. නිශ්ශබ්දව අපිට සිත එකඟ කරගෙන සෙල්ලම් කරන්න එතකොට පුළුවන්.
ඒ වගේ ම තනිවම සෙල්ලම් කරන කොට තවත් කෙනෙක් එක්ක සෙල්ලම් කරනවට වඩා ඉත්තො ප්‍රමාණයක් දැමෙනවා‍.
තමුන්ට පොඩ්ඩක් හිතල පිටිපස්සට බ්‍රේක් කරගෙන ස්ලෑම් වලටම ට්‍රයි කරන්න පුළුවන්.
මම දවසකට පැය 4 ක් විතර එක දිගටම ප්‍රැක්ටිස් කරනවා.

ඔබ මේ සම්බන්ධව ගුරුහරුකම් ලබාගන්නෙ කාගෙන්ද?
මම කැරම් පටන් ගත්තෙ ඒ කියන්නෙ මුලින් ම ඉගෙන ගත්තෙ මගේ ආච්චිගෙන්. මගේ අම්මා කැරම් චැම්පියන් කෙනෙක්. ලොකු අම්මා අවුරුදු 20 ක් ජාතික ශූරිය වෙලා හිටියා. ඒ කියන්නෙ මගේ ඇ‍ඟේ තියෙනවා කැරම් ගේම් එක හසුරුවන්නෙ කොහොමද කියලා. ඒ මිසක් මට පෞද්ගලික පුහුණුකරුවෙක් නෑ.
අපි ජාත්‍යන්තර තරගවලට යද්දී අපිට ජාතික පුහුණුකරුවෙක් සිටිනවා. ඉතින් අපි ඔහු යටතේ මාසයක් පමණ කැරම් සම්මේලනයේ පුහුණුවීම්වල යෙදෙනවා.
ඊට අමතරව මම ඉස්සෙල්ලා කිව්වා වගේ වීඩියෝ නරඹල ඒවයින් ගන්න පුළුවන් දේවල් ටික ඔක්කොම ගන්නවා.‍ මොකද අපිට තාමත් සමහර දේවල් ඉගෙන ගන්න තියෙනවා.
අපට ප්‍රධාන ප්‍රතිවාදියා වෙන්නෙ ඉන්දියාව.
ඔව්. ඉන්දියාවත් එක්ක බලද්දී අපි පොඩ්ඩක් පල්ලෙහායින් ඉන්නෙ. මොකද ඒ අයගෙ තරගකාරිත්වය වැඩියි. ඒ රටේ ප්ලේයර්ස්ල ගොඩක් ඉන්නවා. ඒ ගොල්ලන් හැම තිස්සෙම බලන්නෙ එක එක ටැක්ටිස්වලට ගිහිල්ලා කොහොම හරි ජයග්‍රහණය කරන්න. ඒත් නිශාන්ත ඉන්දියාවෙ ලෝක ශූරයා පරදවලා අපේ රටට ලෝක ශූරතාව අරගෙන ආවා.
ඉතින් අපේ ඒ මට්ටමට ඉන්නෙ මමයි නිශාන්තයි කියල තමයි දැන් ඉන්න පුහුණුකරුවන් ඇතුළු ඔක්කොමල කියන්නෙ.
මේ අවුරුද්දෙ ලෝක ශූරතාවලිය තියෙනවා එංගලන්තයේදී තව මාස 2 කින් පමණ ඒකට ප්‍රැක්ටිස් පටන් ගන්නවා. ගොඩක් කලින් ප්‍රැක්ටිස් පටන් ගන්නෙ අපි කොහොම හරි මෙවර ලෝක ශූරතාවලියේදී ලංකාව ජයග්‍රහණය කරවන්න ඕන හින්ද.
ඉතින් මමත් බලාපොරොත්තු වෙනවා ඒකෙදි විශේෂ දෙයක් කරන්න. මගේ ඉන්ඩිවිජුවල් ඉවෙන්ට් එක සහ ටීම් චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරවන්න.

අලුත් පරපුරේ දක්ෂයින් සමඟ ඔබට ශූරතාව දිගටම රැකගන්න පුළුවන් කියල හිතනවද?
කැරම් ක්‍රීඩාවට වයස් බේදයක් නෑ. නමුත් දැන් ඉන්න ‍පොඩි අය ගොඩක් දක්ෂයි. ලංකාවේ රෑන්කින්වල 3 වැනි තැන ඉන්නෙ අනාස් අහමඩ් කියන වයස 20 ක තරුණයෙක්.
අපිට ඉස්සරහට ලේසි වෙන එකක් නෑ අපේ තැන තියාගන්න. ඒ එක්කම දැන් කැරම්වලට තිබෙන උනන්දුව සහ අලුත් ක්‍රීඩකයින්ගේ පුහුණුව සමඟ මම හිතන්නෙ නෑ තව අවුරුදු පහක්වත් අපට ගහන්න හම්බ වෙන එකක් නෑ.

ලංකාවේ වාර්තාව තියෙන්නෙ ඔ‍බේ නමින්.‍
ඇත්තටම එක දිගට වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනාගත් ලංකාවේ වාර්තාව තියෙන්නෙ මගේ නමට‍. ඒ 2004 සිට 2012 දක්වා එක දිගට අවුරුදු 8 ක් මම ජාතික ශූරතාව දිනුවා. 2012 දී නිශාන්ත ශූරතාව දිනාගත්තා. ඉන්පසු 2013 සිට මේ දක්වා මම දැන් එක දිගට 4 වතාවක් ශූරතාව දිනාගෙන තිබෙනවා.

ඔබ කොහොමද මේ දක්ෂතාව එක දිගට රඳවා ගන්නෙ.
අවුරුදු 12 ක් ශූරතාව දිනනව කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. පිටුපස හැරිල බලද්දී නිශාන්ත ෂෙරප්ඩීන් ව‍ෙග් දක්ෂ ප්ලේයර්ස්ල එක්ක කොහොමද එහෙම කළේ කියල හිතනවා වෙලාවකට.
ඒ එක්කම මම කොහොම හරි දිනන්න ඕන කියන අධිෂ්ඨානය තියෙනවා. ඒකට කැපවෙලා පුහුණුවීම් කරනවා. ඒ එක්කම මට ඒ ජයග්‍රහණය කරා යන්න වාසනාව තිබෙනවා කියල හිතනවා.

අනාගත බලාපොරොත්තු ගැන කතා කරමු.
ඉදිරිය ගැන කතා කරද්දී මේ අවුරුද්දෙත් මම කොහොම හරි දිනන්න ඕන කියල හිතුවා. මොකද වර්ල්ඩ් චැම්පියන් ෂිප් එක තියෙන හින්ද නැෂනල්ස් කියන්නෙ අපට තියෙන වැදගත්ම ටූනමන්ට් එක. ඒක පැරදුණොත් රෑන්ක් එක පොඩ්ඩක් පල්ලෙහාට එනවා.
කොහොම හරි මෙවර ලෝක ශූරතාවයේදී රටට විශේෂ ජයග්‍රහණයක් ලබා දෙන්න තමයි බලාපොරොත්තුව.

ඔබට උදව් කරන අය ගැන පැවසුවොත්.
මගේ ආච්චි කමලා වික්‍රමසිංහ. ඇය වසර 4 ක් ජාතික ශූරිය. අම්මා කැරම් ශූරියක්. මගේ ලොකු අම්මා අමිතා වික්‍රමසිංහ අවුරුදු 20 ක් ජාතික ශූරිය. ආච්චි තමයි මට කැරම් ඉගැන්නුවෙ.
මම ඉපදුණු දවසෙ ඉඳන්ම කැරම්වලට අවශ්‍ය හැම දේම ගෙදර තිබුණා.
හොඳම ඉත්තො සෙට් එක, ඩිෂ් එකේ ඉඳන් බෝඩ් එක දක්වා හොඳම දේ තිබුණා.
මගේ උනන්දුව විතරයි ඕන වුණේ. ඒ වගේ ම මම ඉගෙන ගත් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ 1998 වර්ෂයේ කැරම් සංගමයක් ආරම්භ කරල අපට ඉගැන්වූ ලලිත් බන්දුල මහතාගෙන් මම ඉගෙන ගත්තා.
ඒ වගේ ම මම සේවය කරන්නෙ සෙලාන් බැංකුවේ. 2008 වසරේ ලෝක ශුරතාව දිනලා ආවට පස්සෙ ගෙයක් සහ වාහනයක් දුන්නා. ඊට අමතරව අපි ටුවර් යද්දී අවශ්‍ය පහසුකම් විශේෂයෙන් අපට ඕන ඩියුටි ලීව් මනසට කිසිම බාධාවක් නැතුව ලබා දෙනවා. ඒ නිසා බැංකුවේ නිලධාරි මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේ ම කැරම් සම්මේලනයේ වත්මන් සභාපති ප්‍රසාද් සමරසිංහ සහ ලේකම් තුම‍ූල නාඔටුන්න මහත්වරු ඇතුළු නිලධාරි මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙන්න ඕන.
ඔවුන් ලොකු උත්සාහයක් ගන්නවා අපේ රටේ කැරම් නඟා සිටුවන්න. හොඳම උපකරණවල ඉඳල ශාලා වායු සමනය කිරීම දක්වා ජාත්‍යන්තර මට්ටමටම අවශ්‍ය පහසුකම් ලබාදෙමින් හොඳ උත්සාහයක් ගන්නවා. ඒ නිසා ඉදිරියේදී අපේ රටේ කැරම් ක්‍රීඩාවේ හොඳ ප්‍රගතියක් දක්නට ලැබේවි.
ජෝශප් රොෂීටා මෙවරත් ජාතික ශූරිය බවට පත්වෙමින් ශ්‍රී ලංකාවේ අංක එකේ කැරම් ක්‍රීඩිකාව ලෙස කිරුළ දිනාගත්තා. ඇය අවසන් වටයේදී ගුවන් හමුදාවේ චලනි ලක්මාලි 2 – 0 ලෙස පරාජය කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා.
මේ වසරේ නැෂනල් චැම්පියන්ෂිප් එක දිනාගන්න මට හැකිවුණා. මේක මගේ 5 වැනි ශුරතාව.

ඔබේ පවුලේ තොරතුරු මුලින් ම සඳහන් කරමු.
මගේ අම්මා රිවෝලි රණසිංහ. තාත්තා ජෝශප් ඩග්ලස්. දැන් ජීවතුන් අතර නෑ. මට ඉන්නේ අක්කා පමණයි ඇය ජෝශප් ඩිල්කා.

කැරම් ක්‍රීඩාව ඔබටත් පවුලෙන් ලැබුණු දායාදයක් ද?
මෙහෙමයි. අම්මයි තාත්තයි මම පොඩි කාලෙ ගෙදර විනෝදයට කැරම් සෙල්ලම් කළා. ඒත් මම පොඩි ළමයෙක් නිසා මාව ගන්නෙ නෑ.
මගේ ජීවිතයට කැරම් පටන් ගත්තෙ 2006 වර්ෂයේදී පාසල් මට්ටමෙන්. මගේ පාසල බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ බාලිකා මහා විද්‍යාලය. අපේ පාසලට PTI වලට ගුරුතුමියක් ආවා නිශානි කියලා. ඇය තමයි පාසලේ කැරම් පටන් ගත්තෙ. මමත් කැමැත්තෙන් ම ඊට සහභාගි වුණා.

මේ තරම් විශාල ජයග්‍රහණයක් තෙක් පැමිණි ගමන් මඟට මුල් ම අඩිතාලම වැටුණෙ කොහොමද?
මුලින් ම පාසලේ නිවාසාන්තර තරග කියල අපි අතරේ කැරම් ජනප්‍රිය කරවන්න නිශානි මිස් කටයුතු කළා.
ඊට පස්සෙ මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ පැවැත්වුණු තරගාවලියේදී අපි බස්නාහිර පළාතේ ශූරියෝ වුණා. ඒක තමයි අපිට ලොකු ශක්තියක් වුණේ. පාසලේදී අපට කැරම් කෝච හැටියට කටයුතු කළේ ලසන්ත චමින්ද සර්. සර්ගෙ යටතෙ තමයි අපි පාසල් මට්ටමෙන් ක්‍රීඩා තරගවලට ඉදිරිපත් වුණේ. ඊට පස්සෙ අපි සමස්ත ලංකා මට්ටමට ආවා. ඒත් අපිට ජයග්‍රහණය කරන්න ලැබුණෙ නෑ.

පාසල් වයසේද‍ීම ඔබ ජාතික ශූරිය වනවා.
ඔව්. පාසල් මට්ටමින් මම විවෘත මට්ටමට ආවා. එහිදී ජූනියර් නැෂනල් චැම්පියන් වුණා. 17 න් පහළ 19 න් පහළ සහ 21 න් පහළ ලෙස එක දිගටම කනිෂ්ඨ ජාතික ශූරිය වුණේ මම.
2009 වසරේදී මම ශ්‍රී ලංකා ශ්‍රේණි මට්ටමට ආවා.‍ එහිදී මම ලංකාවෙන් 6 වැනියා වුණා. එතකොට පාසලේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් හිටියේ.
2009 වසරේදී ම ශ්‍රී ලංකාවේ ‍ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි තැනට ආවා.

ඉන්පසු ඔබ පළමු ජාත්‍යන්තර තරගයට සහභාගි වනවා.
ඔව්. 2009 දී මම ලංකාවේ අංක 3 බවට පත්වුණාට පසු ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වුණු සාක් කැරම් තරගාවලියට සහභාගි වුණා. ඒ මගේ පළමු ටුවර් එක. මම එහි හොඳම අට දෙනා අතරින් 5 වැනි ස්ථානයට ආවා.

ඔබ ජාතික ශූරිය බවට පත්වුණේ මොන වස‍ෙර්දීද?
2010 වසරේදී මම මුලින් ම ජාතික ශූරතාව දිනාගත්තා. ඒ සමඟම මම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාව බවට පත්වුණා.
ඒ අතරතුර කාලයේ 2 වුණා. 3 වුණා. දැන් ආයෙත් වසර තුනක් තිස්සේ ලංකාවේ අංක 01 ස්ථානය රැකගෙන ඉන්නවා.

ඔබේ රැකියාව ගැනත් කතා කරමු.
මම නාවික හමුදාවට බැඳිල ඉන්නෙ. ඇත්තෙන් ම නාවික හමුදාව පැත්තෙන් ගත්තම ලබාදෙන පහසුකම් ගැන අගය කරන්න ඕන.
නාවික හමුදාව තුළ කැරම්වලට විතරක් නෙමේ සෑම ක්‍රීඩාවකට ම අවශ්‍ය සෑම පහසුකමක් ම ලබාදෙනවා.
නාවික හමුදා සංචිතයේ ලෝක ශූර නිශාන්ත ප්‍රනාන්දු, ළහිරු එෂාන් සහ මධුෂිකා කාංචනමාලා මා සමඟ කැරම් ක්‍රීඩාවේ නියැළෙනවා.

ඔබ පුහුණුවීම් කරන්නේ කොහොමද?
බොහෝ වෙලාවට තනිවම තමයි පුහුණුවීම් කරන්නෙ. තරගයක් තියෙන කොට ජාතික පුහුණුකරුගෙන් උපදෙස් ලැබෙනවා. ඒ සමඟම චමිල් කු‍ෙර්, නිශාන්ත ප්‍රනාන්දු වැනි ප්‍රවීණයන්ගෙන් ලැබෙන ගුරුහරුකම් අරගෙන කැරම් දියුණු කරගන්න කටයුතු කරනවා.

ඔ‍ෙබ් පවුලෙන් ලැබෙන සහයෝගය.
මගේ තාත්තා හදිසි අනතුරකින් නැති වුණ දා ඉඳලා අම්මා මමයි අක්කවයි හොඳින් බලාගත්තා. ඒ එක්කම මම කැරම් ක්‍රීඩාවට යොමුවුණාම කිසිම දෙයක් කියන්නෙ නැතුව අවශ්‍ය හැම පහසුකමක්ම මට ලබාදුන්නා.‍ අම්මාගේ ඒ ශක්තිය තමයි අද මම ලංකාවේ අංක 01 ස්ථානයට ගෙනාවේ.

ඔ‍ෙබ් අනාගත බලාපොරොත්තුව.
දැන් මම ලංකාවේ ජාතික ශූරිය වෙලා ඉන්නෙ. ලෝක ශූරිය වීම තමයි අනාගත බලාපොරොත්තුව. ඒ සඳහා තමයි මේ දැඩි කැපවීමකින් යුතුව පුහුණුවීම් කරන්නෙ.
චමිල් කුරේට, ජෝශප් රොෂීටා දෙදෙනාට ලෝක ශූරතා දිනා ලක්මවට කීර්තියක් අත්කර දෙන්නට හැකිවේවායි රසඳුන සුබපැතුම්.

http://www.silumina.lk/2016/02/28/_art.asp?fn=av1602289

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි