ආර්ථික විද්‍යාවෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ගෙනා චතුනි සහ තිළිණි
ඉංග්‍රීසි භාෂාවට බිය වී පසුබට වෙන්න එපා - චතුනි උඩුවෙල
පසුගිය දෙසැම්බර් මස 26 සහ 27 දෙදින පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවැති ‘දකුණු ආසියානු ආර්ථික විද්‍යා සිසුන්ගේ සමුළුවේ'දී(10th South Asian Economic Students Meet - SAESA) ශ්‍රී ලාංකේය සිසුවියන් වන චතුනි උඩුවෙල සහ තිළිණි නවරත්න විශිෂ්ට ජයග්‍රහණයන් දෙකක් හිමි කර ගත්හ.
දකුණු ආසියාතික රටවල සිසුන්ගේ සහභාගිත්වයෙන් පුරා දස වසරක් පැවැත්වූ මෙම සමුළුවේදී, ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය විය. දකුණු ආසියාවේ ‘නැඟි එන ආර්ථික විද්‍යාඥවරිය’ ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ චතුනි උඩුවෙල සම්මානනීය වූ අතර, ‘විශිෂ්ටතම පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තිළිණි නවරත්න දිනා ගන්නා ලදී.
ඔවුන් දෙදෙනා හා මේ කතාබහ පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ විමසනු පිණිසය.
මුලින්ම මම
චතුනි උඩුවෙල හමුවුණා.
* මොකක්ද මේ ‘SAESM’ සමුළුව...
දකුණු ආසියාතික රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආර්ථික විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන් වසරක් පාසා පවත්වන මහා සමුළුව එයයි. එහි දස වසරක ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ජයක් අත්වූ පළමු අවස්ථාව මේ. අඩුම තරමේ මින් පෙර කිසිඳු දවසක ‘Top - 10’ තත්ත්වයටවත් ශ්‍රී ලංකාව පැමිණ තිබුණේ නැහැ.
මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ විවිධ විශ්ව විද්‍යාල නියෝජනය කරන සිසුන් 10 කුගෙන් යුතු කණ්ඩායමක් සහභාගි වුණා. ඉන් හය දෙනෙක් සහභාගි වූයේ ‘පර්යේෂණ පත්‍රිකා’ අංශයෙන්. හතර දෙනෙක් තරග කළේ ‘දැනුම මිනුම’ අංශයෙන්.
මේ දෙඅංශයෙන්ම තරග වැදුණු හැමෝටම තිබූ පොදු තරගය තමයි, ‘දකුණු ආසියාවේ නැඟී එන විද්‍යාඥවරයා’ සම්මානය දිනා ගැනීම. එය තරග අවස්ථා ගණනාවකට මුහුණ දිය යුතු සංකීර්ණ තරගයක් වුණා.
* ඔබයි දැන් මේ වසර පුරාවටම ‘දකුණු ආසියාවේ නැඟී එන විද්‍යාඥවරිය...’
මටවත් හිතා ගන්න බැහැ මම එහෙම වුණා ද කියලා. ඒත් ශ්‍රී ලංකාවට - මගේ රටට ගෙනා ඒ විශිෂ්ට ජයග්‍රහණය මට කියාගන්න බැරි සතුටක්. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් බොහෝමයකින් මේ තරගයට සහභාගි වූයේ අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන්. මම තවම දෙවැනි වසරේ සිසුවියක්.
මුළු තරගයටම සිසුන් 90 දෙනෙක් සහභාගි වූ අතර, මුළු සමුළුවේම වැදගත් තරගය වූයේ ද මෙයයි. ඒ 90 දෙනා අතරින් දෙවැනි වසරේ ළාබාල සිසුවියක ලෙස මේ ජය හිමිකර ගැනීම හුඟ දෙනෙක් අගය කළා.
* කොහොම ද ඔබ මේ සංකීර්ණ තරගයට තරග වැදුණේ...
මුල්ම පියවර ලෙස ලංකාවේදී අපිට කරන්න තිබුණේ පර්යේෂණයක් ඇසුරින් රචනාවක් ලියන්න, එයින් තේරී පත්ව ගිය පසු සමුළුවේ පළමු දිනයේදී සර්ව ආර්ථිකය (Macro economics), ක්ෂුද්‍ර ආර්ථිකය (Micro economics) සහ සංවර්ධන ආර්ථිකය (development economics) කියන විෂයන් යටතේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයන්න වුණා. ඊළඟට මුහුණ දුන්නේ, රූපමය අවස්ථා ඇසුරින් තිබු තරග වටයකට.
අවසානයේ සම්මුඛ පරීක්ෂණයක්. විෂය නිර්දේශයේ විවිධ අහුමුලු වලින් සැකසු ප්‍රශ්න මාලාවක් එය. කොයි තරම් සංකීර්ණ වුණත් පියවරෙන් පියවර ඊට මුහුණ දුන්නා. මේ තාක් දුරට ඉගෙන ගත් ආර්ථික විද්‍යා පාඩම් තව තවත් හැදෑරුවා.
ඒ වගේම දකුණු ආසියාවට අදාළ වර්තමාන ආර්ථික ගැටලු පිළිබඳ හැදෑරුවා. අපි වගේ අනෙක් සෙසු කලාපීය රටවල් පිළිබඳ හැදෑරුවා. මේ වගේ විවිධ වූ අංශවලින් වෙහෙසුණා.
* ඔබ මූලිකව තරග කළ අනෙක් තරගය වූ ‘පර්යේෂණ පත්‍රිකා’ අංශයේ පර්යේෂණ පත්‍රිකාවට මාතෘකා වුණේ කුමක් ද?
සමාජ ආරක්ෂණය පිළිබඳ දේශපාලන ආර්ථිකය. (Political economy of Social Security - public sector peasion schemes)
* ඉදිරියේදී ඔබ වැඩිදුර හදාරන්නට බලාපොරොත්තු වන අංශයක් ඇති...
මම නීතියත් හදාරන නිසා, හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, ‘ජාත්‍යන්තර යුක්තිය’ (International Economic Justice) පිළිබඳ හදාරන්න.
මේ විෂයෙන් ඉගෙන ගන්නේ, සංවර්ධනය වන විට අපි කොහොම ද රටක් හැටියට සමානාත්මතාවය රැක ගන්නේ කියන කාරණය. එය පුළුල්ව හැදෑරීම මගේ ලොකුම බලාපොරොත්තුවක්. රටක් සංවර්ධනය වන විට ගිලිහී යන්නෙත් මේ සමානාත්මතාවයයි.
* මේ තරගයට ඉදිරියේදී සහභාගි වන සිසු පරපුරට ඔබ දෙන පණිවුඩය...
මට පළමුකොටම කියන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට බිය වී පසුබට වෙන්න එපා කියන එකයි. අපිට අනන්‍ය වූ ආකාරයකට ඉංග්‍රීසි බස හසුරුවමින් මේ තරගයට මුහුණ දෙන්න හැකියාව තිබෙනවා. විෂය කරුණු අතින් හොඳින් දැනුවත් වීමයි, වැදගත්ම දේ.
* ඔබ ගැනත් යමක් කියන්න...
මම කොළඹ විශාඛා විදුහලේ කලා අංශයෙන් උසස් පෙළ කළේ. අම්මගෙයි අප්පච්චිගෙයි එකම දරුවා මං. අප්පච්චි ඇඟලුම් ක්ෂේත්‍රයේ අම්මා ගෘහිණියක්.
අනික මං කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායම නියෝජනය කරනවා. නැටුම් හදාරනවා. ඒ විතරකුත් නෙවෙයි තව බාහිර වැඩ හුඟක් කරනවා. ආසාවෙන් කරන අනෙක් දේ තමයි, ස්වාධීන රූපවාහිනියේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කිරීම.
පුළුවන් වුණොත් ලබන වසරේ භූතානයේ පැවැත්වෙන SAESM හිදිත් ලංකාවට විශිෂ්ට ජයක් රැගෙන ඒමයි, මගේ අපේක්ෂාව.
ඊිළගට හමුවූ තිළිණි නවරත්න
* ඔබ ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන ආවේ තවත් අංශයකින්...
ඔව්. ඒ පර්යේෂණ පත්‍රිකා අංශයෙන්. ශ්‍රී ලංකාවෙන් මේ සඳහා තේමා හයක් යටතේ සිසුන් හය දෙනෙක් සහභාගි වුණා. ඔවුන් මුළු ආසියාතික තරගකරුවන්ට දී තිබු පොදු තේමාව වූයේ, ‘ජාතික බලශක්තිය සහ ස්වාභාවික සම්පත් අරභයා දේශපාලනමය ආර්ථිකය’ (Political Economy of Energy and natural resourse USE) යන්නයි.
මේ ලැබුණු පුළුල් මාතෘකාව යටතේ මා තෝරා ගත් විශේෂිත තේමාව වුණේ, ග්‍රාමීය අංශ යටතේ බලශක්ති ව්‍යාප්තියේ උන්නතියට දේශපාලන ආර්ථිකයේ බලපෑම යන අදහසයි.
* ඇයි ඔබ එවැනි අංශයක් තෝරා ගන්නට සිතුවේ...
මා සොයා බැලු ආකාරයට දේශපාලනමය ආර්ථික පද්ධතිය හෝ ග්‍රාමීය බලශක්තිය ඈඳුණු පර්යේෂණයක් මින් පෙර කිසිවකු කර තිබුණේ නැහැ.
සාර්ක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ග්‍රාමීය බලශක්තිය අතින් ඉතා උසස් තැනෙක සිටිනවා. බලශක්තිය වැනි රටක අත්‍යවශ්‍ය සාධකයක් කෙරෙහි විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේදී දේශපාලනමය ආර්ථිකය ක්‍රියා කරන්නේ කෙසේදැයි මගේ පර්යේෂණ පත්‍රිකාවෙන් විශ්ලේෂණය කළා. ඒ අනුවයි, ‘Political Economy of access to energy by the rural Sector in Sri Lanka යන පර්යේෂණය මා ඉදිරිපත් කළේ.
* කුමක් ද ඔබ ඉන් බලාපොරොත්තු වූයේ...
වෙන කිසිඳු සාර්ක් රටක නැති මට්ටමට අපේ රටේ ග්‍රාමීය බලශක්තිය සාර්ථකයි. එය දේශපාලනමය ආර්ථික රටාවේ හොඳ පැත්තක් පෙන්නුම් කරන සාධකයක්. දේශපාලනමය ආර්ථික තුළ නිතර කතා කරන, මහින්ද චින්තනය, බලශක්ති කේන්ද්‍රස්ථාන, ජාතික බලශක්ති ප්‍රතිපත්ති, ග්‍රාමීය බලශක්ති ව්‍යාපෘති වැනි පහළට ගලා යන ඔය පද්ධතියේ සාර්ථක පැත්ත මා විශ්ලේෂණය කළා. එය හරියටම සාර්ථක වුවහොත් මුළු රටේම බලශක්ති අවශ්‍යතාව නුදුරේදීම සම්පූර්ණ වෙනවා.
* ඔබේ පර්යේෂණ පත්‍රිකාවෙන් රටට ඇති ප්‍රයෝජනය සහ අදාළත්වය කුමක් ද...
මා දන්නා තරමට මෙවැනි මාතෘකාවක් මින් පෙර අපේ රටේ පර්යේෂණයකට හෝ විශ්ලේෂණයකට ලක්වී නැති නිසා පර්යේෂණ හදාරන සිසුන්ට කියවා දැනුම ලබා ගන්නට පුළුවන් තේමාවක්. අනික මෙය ඉතාම මූලික මට්ටමේ තිබෙන පර්යේෂණයක් නිසා මෙය පශ්චාත් උපාධිය දක්වා සංවර්ධනය කිරීමට හැකි මාතෘකාවක්. විෂය පථයක්.
වැඩිපුර කතාබහට ලක්වන හෝ ලියැවී නැති අංශයක් නිසා එය බොහෝ ඉසව් කරා ගෙන යා හැකි තේමාවක්. ඒ වගේම වැඩි අවධානයක් යොමු නොවන ග්‍රාමීය අංශයට ඉන් සාධනීය බලපෑමක් ඇති කළ හැකියි.
* කොහොම ද ඔබ මෙයට සූදානම් වුණේ...
ඇත්තටම අපිට තිබුණේ මාස හතරක කාල සීමාවක්. ඒ මාස හතර පුරා යම් මට්ටමට ගොස් දත්ත සොයන්න වුණා. ඒ ජනතාව සමඟ කතාබහ කළා. අදාළ දේශපාලනමය ආර්ථික පද්ධතිය තුළ බොහෝ අය මුණ ගැසුණා.
රටවල් හතකින් තරගකරුවන් නව දෙනකුගේ පර්යේෂණ පත්‍රිකා අතුරිනුයි මා ජයග්‍රහණය කළේ.
මාසෙකට කලින් මේ පර්යේෂණ පත්‍රිකා පාකිස්ථානයට යවන්න වුණා. එහේ විනිශ්චය මණ්ඩලයේ මහාචාර්යවරු ඒවා බැලු පසු 66% ක් ලකුණු දී තිබුණා. ඉතිරි ලකුණු ලැබුණේ සමුළුව දවසේ පැවැත්වීමට නියමිත වූ විනාඩි 15 ක ඉදිරිපත් කිරිම වෙනුවෙන්. ඉන් පසු විනිශ්චය මණ්ඩලයේ තවත් ප්‍රශ්න මාලාවකට පිළිතුරු දෙන්න වුණා. අනෙක් සෑම රටකින්ම පැමිණි ජ්‍යෙෂ්ඨ උපාධි අපේක්ෂකයන් අතරේ තුන්වැනි වසරේ සිසුවියක් ලෙස මෙය මට විශාල අභියෝගයක් සහ අලුත් අත්දැකීමක් වුණා.
අනික ඒ රටේ පර්යේෂණ සංස්කෘතිය බොහොම දියුණුයි. අපි හුඟක් දේ ඉගෙන ගත්තා.
* ඔබ ගැනත් යමක් කියන්න...
මම මියුසියස් විදුහලේ වාණිජ විෂයෙන් උසස් පෙළ කළේ. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි. ඒ හතර දෙනා මට විශාල සහයෝගයක් දුන්නා.
මං, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ තුන්වැනි වසරේ සිසුවියක්. මගේ දෙපාර්තමේන්තුවේ ආචාර්යවරු වගේම දේශකවරු වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉන්ද්‍රජිත් අපෝන්සු සහ ජ'පුර සරසවියේ ආචාර්ය වාසනා හඳපාන්ගොඩ මට හුඟක් උදව් කළා.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි