Wednesday, January 8, 2014

ළමයින්ට සෙල්ලම් කරන්නට නියම කෙරෙයි!

ළමයින්ට සෙල්ලම් කරන්නට නියම කෙරෙයි!


ලෝකයේ වැඩිපුරම කියවෙන වාක්‍යය “ම‍ම ඔයාට ආදරෙයි” යන්න යැයි කියනු ලැබේ. එපරිද්දෙන් අපේ රටේ පැසුණු වියේ පසුවන්නන්ගේ කටින් වැඩියෙන්ම පිටවෙන වාක්‍යය කුමක්දැයි විමසුමක් කළහොත්, එය “අපේ ළමා කාලෙ දැන් ළමයින්ට නෑ!” යන්න බව හෙළිවෙනවා ඇත. එහෙත් එය අතීත කාමයෙන් මත් වී “ඒ කාලේ මීට වඩා කොච්චර හොඳද?” කියා කියන සුලබ කියුමක්ම නොවේ. ඒ කතාව ඇත්තය. (ඒ අතරම අද කාලයේ ළමයින් භුක්ති විඳින කොම්පියුටර්, ටෙලිවිෂන් හා සෙලියුලර්වලින් පිරුණු ළමා කාලය අද පැසුණු වියේ පසුවන්නන්ට නොතිබුණු බව ද ඒ තරමටම ඇත්ත කතාවකි)
ඒ සියල්ල අපේ හිතට ආවේ ජනවාරි පළමුවැනිදා උදේ පුවත්පත් කියවන විට දුටු අපූරු ප්‍රවෘත්තියක් නිසාය. ඒ ප්‍රවෘත්තියේ හැටියට මේ අවුරුද්දේ පටන් සියලුම පාසල් ළමයින්ට ක්‍රීඩාවලට සහභාගිවීම රජය විසින් අනිවාර්ය කර තිබේ. එසේ කර ඇත්තේ පාසල් ළමයින්ගේ නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීමට හා රටට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර ගැනීමට යැයි ඒ ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වී තිබුණේය.
දිනපතා උදේට විනාඩි 10ක් සියලුම පාසල් ළමයින් ශාරීරික අභ්‍යාසවල යෙදීම එම ව්‍යාපෘතියේ එක් කොටසක් වන අතර හෙට එනම් ජනවාරි 6 වැනිදා උදේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයයෙන් ඒ වැඩපිළිවෙළ ආරම්භ වෙයි. ඊට අතිරේකව මේ අවුරුද්දේ පටන් සෑම ළමයකුම කිසියම් ක්‍රීඩාවකට සහභාගි වීම ද අනිවාර්ය කෙරෙයි.
දැන් පැසුණු වියේ පසුවන අපේ බාල විය තනිකරම කෙළි සෙල්ලමින් ගෙවුණකි. ළමයා = සෙල්ලම කියන තරමටම ළමයි සෙල්ලමට ඇබ්බැහි වී සිටියහ. උදේ පාසල ඇරඹීමට පෙරත්, දවල් පාසල අවසාන වූ පසුත්, පාසලේ විවේක කාලයේදීත් ළමයි සෙල්ලම්ම කළහ. ඇතැම් ළමෝ පාසල් එන අතරමඟත්, පාසල් ඇරී ගෙදර යන අතරමඟත් නැවතී සෙල්ලම් කළහ. සමහරුන් පාසල් ගියේ ආවේ ක්‍රිකට් පිති, බෝල හා පාපන්දු ද රැගෙන ය.
එකල ද නගරයේ ළමයින්ට වඩා ගමේ ළමයින්ට සෙල්ලම් කිරීමේ අවස්ථා බහුල විය. ඔවුන්ගේ පරිසරයේම තිබූ ඇළ දොළ, වෙල්යාය හා කැලෑ රොද ඔවුන්ට සෙල්ලම් ගෙවල් වූ බැවිනි. සෙල්ලමට ගොස් ගෙදර එන්නට රෑ බෝ වූ කල ඒ පරම්පරාවේ උදවියට වැඩිහිටියන්ගෙන් බැණුම් අසන්නට මතු නොව ගුටිකන්නට ද සිදුවුණු වාර අනන්තය. එසේ කෙළිදෙළෙන් පිරුණු ළමා කාලය රටේ අධ්‍යාපනයේ වෙනස්වීම් සමඟ පරිවර්තනය වෙන්නට පටන් ගත් බව දැන් ඉතිහාසයට එක් වී ඇති ‍කතාවකි.
එපමණක් නොව අපේ ළමා කාලයේ නම් ක්‍රීඩාවට දක්ෂ ළමයින් හා ඉගෙනීමට දක්ෂ ළමයින් කියා දෙපිරිසක් හිටියේ නැති තරම්ය. එකල අප උගත් පාස‍ෙල් කැඩෙට් ශිෂ්‍ය භට කණ්ඩායම රටේ හොඳම ආධුනික ශිෂ්‍ය භට කණ්ඩායමට පිරිනැමෙන හර්මන් ලූස් කුසලානය දිනාගත් විටෙක එහි සාජන්ට් වූ ශිෂ්‍යයාට යුද හමුදාවට බැඳීමට ආරාධනයක් කෙරිණි. එහෙත් බාහිර වැඩවලට දක්ෂ වූ ළමයින් ඉගෙනීමට ද දක්ෂ වූ එකල ඒ සිසුවා යුද හමුදාව වෙනුවට ‍‍තෝරාගත්තේ වෛද්‍ය විද්‍යාලයය. එය හුදෙකලා සිදුවීමක් නොවේ. එකල අපේ රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට පවා එච්.අයි.කේ.ප්‍රනාන්දු, සරත් විමලරත්න වැනි වෛද්‍යවරුන් ක්‍රීඩා කළ බව අපට මතක හෙයිනි.
එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශය තරගකාරී වන්නට වන්නට එතෙක් ජීවත්වූ පාසල් ළමයා වෙනස් වන්නට පටන් ගත්තේය. අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ එක ලකුණකට ළමයෙකුගේ ජීවිත ගමන්මඟ තීන්දු කරන්නට හැකිවීමත් සමඟ ඒ එක ලකුණ ලබා දීම සඳහා ටියුෂන් පන්ති බිහිවන්නට පටන් ගත්තේය. ඊට පෙර අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා ටියුෂන් ගියේ අදක්ෂ ළමයකු නැත්නම් තුන්වැනි වතාවට විභාගයට පෙනී සිටින ළමයකු පමණය. එහෙත් පාසලේ ඉගෙනීමට අමතරව පන්තිවලට යෑමෙන් ලකුණු උපයාගැනීම අත්‍යවශ්‍ය වීමත් සමඟ ළමයා‍ෙග් කාල සටහන වෙනස් විය.
ඒ කාල සටහනේ ඉගෙනීමට ඇති තැන ක්‍රීඩාවලට නැතිව ගියේය. ක්‍රීඩා ඇතුළු පාසලේ බාහිර වැඩ කිරීම සඳහා ගත කරන කාලය ද අමතර පන්ති යෑම සඳහා වැය කරන්නට පටන් ගැනුණු හෙයිනි. ඒ සමඟ ක්‍රීඩාවලට දිගටම කාලය මිඩංගු කළ ළමයින්, තරගකාරී වන්නට පටන්ගත් විභාගවලදී ඉදිරියට යෑමට අසමර්ථ වනු ද දැකගන්නට ලැබිණි. ඉන් ඉගෙනීමට වැඩිපුර කාලය ගත කළ ළමයින් තවදුරටත් පිට්ටනියෙන් බැහැර වීමට පාර කැපුවේය.
දැන් මේ තත්ත්වය කොයිතරම් නරක අතට හැරී තිබේදැයි කිවහොත් රජයට පාසල් ළමයින් සඳහා ක්‍රීඩාව අනිවාර්යය කරන තැනට වැඩ සෑදී තිබේ. අපේ රටේ ළමයින් ක්‍රීඩාවලට ‍ෙයාමුවන්නේ ඉතා අඩුවෙන් බව ක්‍රීඩා අමාත්‍යාංශය මෙහිදී පෙන්වා දී තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියාව සමඟ සන්සංදනය කළ හොත් ඒ රටේ ක්‍රීඩාවලට සහභාගි වන ළමයින්ගේ සංඛ්‍යාව සියයට අසූවක් වන නමුදු අපේ රටේ ක්‍රීඩාවලට සහභාගි වන ළමයින්ගේ සංඛ්‍යාව සියයට හතර පහ වැනි පහත් මට්ටමක පවතින බව පෙන්වා දී ඇත.
අපේ වැනි රටවල තරුණ වයස්වල බො‍හෝ දෙනකුගේ හීනය වන්නේ ඕස්ට්‍රේලියාව වැනි රටකට පැනගැනීම යැයි සිතා බැලූ කල මෙහි ඇති හාස්‍යය හොඳින් පෙනෙයි.
පාසල් ළමයින් නැවත පිට්ටනියට යොමු කිරීම වැදගත් තීන්දුවක් වුවත් මේ සම්බන්ධයෙන් අපට එකම එක ප්‍රශ්නයක් ද ඇති බව නොකියාම බැරිය. ඒ අධ්‍යාපනය බරක් වී ඇති ළමයින්ට ක්‍රීඩාව අනිවාර්යය කිරීම ද බරක් වනු ඇද්ද කියාය. ඒ දැනටමත් ඇතැම් මධ්‍යම පන්තික මවුපියන් පිහිනීම, චෙස් ක්‍රීඩාව, ටෙනිස් ගැසීම වැනි විවිධ ක්‍රීඩා ඉසව්වලට ළමයින් පොලඹවන අන්දම අප දැක ඇති නිසාය. බොහෝවිට එසේ කෙරෙන්නේ ළමයින් ඒ ක්‍රීඩාවලට දක්ෂකම් දක්වන නිසා නොවේ. ළමයා දක්ෂ තැනකට ඔහු හෝ ඇය හෝ යොමු කිරීම කිසිසේත් අස්වාභාවික නැත. එහෙත් මවුපියන් අතර පවතින තරගයේ බිලි පූජාවන් බවට පත්වන ළමයින් බැරි මරගාතයේ ‍ෙනායෙකුත් ක්‍රියාකාරකම්වලට යොමු කිරීම නම් සුලභව දකින්නට ලැබෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශය කල්පනා කර ඇත්තේ පාසල් ළමයින් ක්‍රීඩාවට යොමු කිරීමෙන් ඔවුන් ගත කරන අස්වාභාවික ජීවන රටාව වෙනස් කිරීමය. එහෙත් මවුපියන් විසින් ක්‍රීඩාව අනිවාර්ය කිරීමේ බරද ළමයින් පිට පටවනු ඇද්ද යන්න පේන කියන්නට බැරි කාරණාවකි.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි