Sunday, January 26, 2014

ළමාසිරිගේ වාක්‍ය රචනය-2 මාතෘකාව ගුරුවරයා

ගුරුවරයා කියන්නේත් මඟ කියාදෙන කෙනෙකුටය. ගුරුවරයා මඟ කියාදෙනවා විතරක් නෙමේය. ගුණවත්කමත් කියලා දෙනවාය. එහෙනම් ගුරුවරුන් ගාව ගුණවත්කමත් තියෙන්නම ඕනෑය. හැබෑට එහෙම එකක් ගුරුවරුන් ළඟ තිබෙනවාදැයි සැකයක් තිබෙන්නේය. ඉස්සර කාලේ නං තිබුණේය. ඉස්සර කාලේ ඉස්කොලේ දැනුම විතරක් ලබා දෙන නාලිකාවක් වුණේ නැත්තේය. ගුරුවරයාද දැනුම විතරක් බෙදාහරින නාලිකාවක් වුණේ නැත්තේය. එහෙනං කළේ අහවල් දෙයක්දැයි අහන එක අහනවා අහනවාමය.


මේ වාක්‍ය රචනාවෙන් ඒකට උත්තර දෙන්න ලැහැස්තිය. 
අපි කාට කාටත් උගන්නපු ගුරුවරයෙක් හරි ගුරුවරියක් හරි හිටියේය. ඒ ගුරුතුමාලා නැත්නම් ගුරුතුමීලා අපි ගොඩවල් කීයකට දැම්මෙමුද? ගොඩවල් දෙහෙකටය. එක ගොඩකට දැම්මේ හොඳ ගුරුවරුය. අනෙක් ගොඩට දැම්මේ නරක ගුරුවරුය. හොඳ ගුරුවරයකු මහපාරේදී දැක්කත් එතුමාගේ, එතුමියගේ දෙපා ළඟ වැටී වඳින පුරුද්දක් අපට තිබුණේය. නරක ගුරුවරයකු හරි නරක ගුරුතුමියක හරි පාරේදී මුණගැසුණහොත් කලින් වගේ එයැයිගෙ දෙපා මුල දණගහලා වඳිනවාද? වඳින්න හිතෙනවාද? නැහැනේ. අපි කරන්නේ දැක්කත් නොදැක්කා වගේ අහක බලාගෙන යන එකය. පෙළක් ගුරුවරුන් හොඳ වෙන්නෙත් පෙළක් ගුරුවරුන් නරක් වෙන්නෙත් හැබෑට මොකක්ද ඒ ගොල්ලන්ගේ තියන අඩුපාඩුව මම දන්නෙමිය. අඩුපාඩුව අර අපි කලින්ම කියපු ගුණවත්කම නැති එකය. එහෙමත් නැත්නම් තිබුණු ගුණවත්කම පුස්කාපු එකය.

අද සමාජය ඉස්සර වගේ නෙමෙයිනේය. හරි සංකීර්ණය. සංකීර්ණකම් මැද්දේ තිබෙන්නේ සංකීර්ණ පවුල්ය. මොනවා හෝ කරලා බඩ ගෝස්තරේ හොයාගන්න දඟලන දැඟලිල්ල සුළුපටු නොවේය. එහෙම දඟලන්නේ තරගයක් නිසාය. පවුලේ ගෘහමූලිකයා විතරක් නෙමේය. පවුලේ හැමෝම මොනවා හෝ විකුණා සල්ලි හොයා ගන්න ඕනෑය.. විකුණන්න මොකවත් නැත්නම් ශ්‍රමයහරි විකුණන්න ඕනෑය
.

ගුරුවරයාගේ පවුලත් එහෙම්මය. ගුරුවරයාට විකුණන්න තිබෙන්නේ බඩු භාණ්ඩ නෙමේය. බඩු භාණ්ඩ විකුණන්නෝ වෙළෙන්දෝය. ඉතිං අපේ මස්සිනා නං කීවේ අද ගුරුවරයෙක් වනාහී වෙළෙන්දෙක්ය කියාය. මං නං හිතන්නේ ඒ හැමෝම වෙළෙන්දෝ නොවෙන්නෝය.

අපේ අතුල මස්සිනා ලියපු කවියක් මගේ මතකයට ආවේය. ඒත් මතක්වෙන්නේ ඒකේ හොඳම පදේ විතරක්ය. මට මතක තියෙන්නේ ඒ කවියේ “ටියුෂන් සර් ඉස්කෝලෙදී ඔරවනවා“ පේළිය විතරක්ය. ඒක නම් ඇත්තම ඇත්තය. දැන් හුඟාක් ගුරුවරුන් මුදලාලිලා තමයිය. ඔවුන්ගේ ටියුෂන් කඩ හැම අස්සක් මුල්ලක් නෑරම දකින්න ලැබෙන්නේය. සමහරුන් නළුවෝ වගේ තාප්පවල පෝස්ටර්වලය. උගන්වන්නේ මොනවාදැයි කියලා ඒවායේ තියෙන්නේ පුංචියටය. හැබැයි ගුරුවරයාගේ පිංතූරය නං ඇත්තේ මහා විසාලෙටය. ඒකෙන් කියවෙන්නේ දැන් ගුරුවරුන් රේස් එකට එකතුවෙලා තියෙන්නේය කියලාය. ඒ වුණාට ඒක සල්ලිවලින් පෝෂණය වෙච්ච ගුණවත්කමක්ය. සල්ලිවලින් ගුණවත්කම පෝෂණය කරලා හරියන්නේ නැතිය.

ගුණවත්කම කියෙන්නේ සොෆ්ට්වෙයාර් එකක්ය. ඒ කියන්නේ ක්‍රමලේඛනයක්ය. ඒක වැඩ කරන්නේ ආදරය කියන හැඟීමත් එක්කය. 
ආදරය කියන්නේ කොන්දේසි විරහිත ප්‍රේමයයි කියලා කියා දුන්නේ අපේ ජයතිලක සර්ය. ඒ සර් මට කිව්වේ අපේ විෂය නිර්දේශ පොතේ එහෙම නැහැයි කියලාය.


දැන් පංති කාමරයේ ඉන්නේ සංකීර්ණ සමාජය මැදින් ඉස්කෝලෙට ආපු ළමයින්ය. ටීචර්ලා ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ හලෝ කියන්නය. ටීචර් දන්නේ එච්චරය. හැබැයි දැන් ළමයි ජංගම දුරකථනයේ තිබෙන හැම මඟුලක්ම දන්නෝය. මේ වැඩ ඉගැන්නුවේ ටීචර් නෙමේ බව ටීචර් හොඳටම දන්නේය. එහෙනම් ළමයා ඒවා ඉගෙනකියා ගත්තේ කොහෙන්ද? එළියෙන් නේදැයි කියාලා කියන්න වෙනවාය.

එළියෙන් ඇතිවෙන නැතිවෙන සෑම සියලු දේවල් ගැනම අද ළමයා දන්නේය. එක එක ප්‍රශ්න ගැටලු හැම හැම පවුලකටම තිබෙන්නේය. මොන ස්තරයේ හිටියත් ප්‍රශ්න නැත්නම් ජීවත්වෙනවා කියන්න බැරිය. ප්‍රශ්න මැද්දෙන් ළමයා ඉස්කෝලෙට එන්නේ දැනුම තියෙන්නේ කොහෙන්දැයි විමසිල්ලෙන්ය. මේ දරුවාට විෂය නිර්දේශයේ තියෙන දැනුම විතරක් මදිය. ඒ හන්දා කරන්න ඕනැන්නේ දැනුම තියන ඉසව්වලට ළමයා යොමු කරනඑකය.


හතර වටේම දැනුම තියෙන්නේය. එක තැනකට කේන්ද්‍ර‍වෙලාහෙම නැත්තේය. මේ හතරවටේ තියෙන දැනුම් සම්භාරේ වෙත ළමයා යොමු කිරීමට නං ගුරුවරුනුත් හතරවටේ තියෙන දැනුමෙන් පොහොසත් වෙන්න ඕනෑමය. එහෙම නොවුණොත් ගුරුවරයා නිකම්ම නිකම් නාම පදයක් වෙනවාමය.

එහෙනම් ගුරුවරයා කඩ සාප්පු දාගෙන හිටියා වුණත් ළමයාට සිප්කිරි පොවන්න ඕනෑ කරන්නේ සැබෑ ආදරයෙන්ය. පාරෙදී වුණත් දැකපු හැටියේ එහෙම ගුරුවරුන්ව බදා ඉඹගන්න හිතෙන්නේ එතකොටය. මට අපේ සුනිල් මහත්තයාගේ සිංදුවක පේළි හතරක් මේ වෙලාවේ මතක් වුණේය. ඒකත් කියවාගෙන මගේ වාක්‍ය රචනාව අහවර කරන්න යනවාය. ඒක මේං මෙහෙමය.


පැන මඩ කඩිති වැව් තාවුල වැහි කාලේ 
පෙන්නා නොමඟ මඟ නොවැටී යන තාලේ 
සිප් කිරි පෙවූ මූසිලයන් උඩුමාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

http://sinhala.news.lk/2011-09-14-04-31-58/2011-09-14-04-33-01/16896----2--

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි