බෞද්ධ පුනරුදය ඇති කරමින් රටට ජාතියට වැඩදායී පුරවැසියන් රැසක් බිහි කළ නාලන්දා විද්‍යාලය 2014 නොවැම්බර් 1 වැනිදා වසර අනූවට පා තැබීය. එදා මෙදා තුර විශිෂ්ටයන් රැසක් බිහි කළ නාලන්දාව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ එහි සිසු කැළ මෙහෙයවමින් සාර්ථක විභාග ප්‍රතිඵල නිරන්තරයෙන් ම ලබා ගෙන සිටින විදුහලකි.
වසර අනූවකට එළඹෙන නාලන්දාවේ දිගු ඉතිහාසය ප්‍රෞඩත්වයෙන් සපිරුණු ගමන් මඟකි. නාලන්දාවේ නියමුවන් වූ විදුහල්පතිවරුන්ගේ පරමාර්ථය දර්ශනය හා ඉලක්කය වූයේ විභාග සමත්වීම ඉලක්ක කැර ගත් සිසු පරපුරක් බිහි කිරීමට වඩා අධ්‍යාපනයෙන් විනයෙන් දක්ෂතාවයෙන් රටේත් ලෝකයේ අන් ඕනෑම තැනකටත් නාලන්දා දරුවන් සුදුස්සන් බවට පත් කිරීමටය.
නාලන්දා විද්‍යාලය බිහිවන්නේ එවකට අප රටේ බෞද්ධ විද්‍යාල පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවරක් ජාතියට ඉටුකර දුන් කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ මැදිහත් වීමෙනි.
නාලන්දාවේ නිර්මාතෘවරයා වන්නේ ගණිතඥයකු අධ්‍යාපනඥයකු සහ දේශ හිතෛෂි දේශපාලනඥයකුව සිටි පී ද එස්. කුලරත්න මහතාය. එල්.එච්. මෙත්තානන්ද මහතා නාලන්දාවේ ප්‍රථම විදුහල්පතිවරයාය.
අප රටේ ශ්‍රේෂ්ඨ උගත් සංඝ පීතෘවරයාණන් වහන්නේ නමක්ව සිටි බළන්ගොඩ ආනන්ද මෛත්‍රේ ස්වාමීන් වහන්සේ ‘නාලන්දා’ යන නම තැබීමට සහ පාසල් පාඨය ලෙස ‘අපදාන සෝභිණී පඤ්ඤා’ පාඨය යෙදීමට යෝජනා කර තිබේ.
ආනන්දයේ ශාඛාවක් ලෙස නාලන්දාව බිහි වන්නේ ආනන්දයේ එවකට ඉගෙනුම ලබමින් සිටි සිසුන් 330 දෙනකු නාලන්දාවට ඇතුළත් කර ගැනීමෙනි.
නාලන්දාව අද වන විට සිසුන් 4300 ක් ඉගෙනුම ලබන තක්සලාවකි.
එල්.එච්. මෙත්තානන්ද, මහාචාර්ය ගුණපාල මලලසේකර, ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා, ජේ.එන්. ජිනේන්ද්‍රදාස, ඩී.සී. ලෝරිස්, එම්.ඩී.එස්. ජයරත්න, එම්. ඩබ්ලිව් කරුණානන්ද, කේ.එම්.ඩබ්ලිව්. කුරුප්පු, ඩී.ජේ. එදිරිසිංහ, ගුණපාල වික්‍රමරත්න, සුගුණදාස අතුකෝරල, ධර්ම ගුණසිංහ, ඩී.ජී. සුමනසේකර, එඩ්වඩ් රණසිංහ, හේමන්ත ප්‍රේමතිලක, නාලන්දාවට නායකත්වය දෙමින් නාලන්දාව මෙහෙයවූ විදුහල්පතිවරුය.
ගතවූ වසර හතරක පමණ කාලයක් තුළ නාලන්දාව තව තවත් ඉහළට ඔසවා තබමින් නාලන්දාව මෙහෙයවීමේ නියමුවා ලෙස කටයුතු කරන්නේ වත්මන් විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතාය.
නාලන්දාවේ අතීත සිසු පරපුර දෙස බැලීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ද නාලන්දාවෙන් සිප් සතර හදාරා තිබීම පිළිබඳව නාලන්දාවට ඇත්තේ මහත් අභිමානයෙකි.
හිටපු ඇමැතිවරුන් වන අභාවප්‍රාප්ත මෛත්‍රිපාල සේනානායක, එම්.ඩී. බණ්ඩා, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල, ඩී.බී. වෙලගෙදර මහත්වරු ද ආදි නාලන්දීයයෝය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ලේකම්වරයකු ලෙස ක්‍රියා කළ මේජර් සී.ඒ. ධර්මපාල මහතා ද නාලන්දාවෙන් බිහි වූවෙකි.
වර්මානයේ සිටින ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, නිර්මල කොතලාවල, දොස්තර රාජිත සේනාරත්න, තිස්ස කරල්ලියද්ද, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ගාමිණි ජයවික්‍රම පෙරේරා ඇතුළු තවත් මන්ත්‍රීවරු කිහිප දෙනකුම නාලන්දාවට ගෞරවය ගෙන දෙන ආදි සිසුවෝය.
කොළඹ නාලන්දා විද්‍යාලය 90 වැනි වියට පා තැබීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී නාලන්දා විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතා අදහස් දක්වයි. ඡායාරූපය - සුදත් මලවීර
|
රටට හා පිටරටට ධර්මඤාණය බෙදා දෙමින් අමිල මෙහෙවරක් ඉටුකළ අපවත් වී වදාළ වජිරාරාම වාසි පූජ්‍ය පියදස්සි හිමිපාණෝ ද ආදි නාලන්දියෙකි.
කුප්පියාවත්තේ බෝදානන්ද බුද්ධංගල ආනන්ද, පාගොඩ ජනිතවංශ, කඩවත සුමිත ඇතුළු නාලන්දාවෙන් බිහිවුණ බුදු පුතුණුවන් වහන්සේලාගේ සංඛ්‍යාව විසි නමකට අධිකය.
අපවත් වී වදාළ නුගේගොඩ රේවත හිමියන් ගැනද මෙහිදී සිහිපත් කළ යුතුය.
තාරකා විද්‍යාඥ සරත් ගුණපාල, මහාචාර්ය චිත්තාදිමන්ත ඇතුළු කීර්තිධර විද්‍යාඥයන් ඇතුළු විසිදෙනකුගෙන් පමණ යුත් ආදි නාලන්දීයන් පිරිසක් නාසා ආයතනයේ සේවය කිරීමත් අප විදුහලට ආඩම්බරයට කරුණකි.
මහාචාර්ය පත්මජීව ගනේපොල ඇමෙරිකාවේ ආයතන කිහිපයක අධ්‍යක්ෂ ධුර දරන ආදි නාලන්දියෙකි.
තායිලන්ත රජුගේ ආර්ථික උපදේශක තනතුරක් දැරුවේ ද කලකට පෙර අප අතරින් සදහටම වෙන්ව ගිය ආචාර්ය ගාමිණි අබේසේකර මහතා ද දීප්තිමත් ආදි නාලන්දියෙකි.
තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න, මහාචාර්ය දසරත ගුණවර්ධන, මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග යන විද්වත්හු ද නාලන්දා නම ඔපවත් කරන ආදි සිසුහු වෙති.
ශ්‍රමදාන ව්‍යාපාරයක් මුල් කරගෙන ‘සර්වෝදය’ ව්‍යාපාරයට මුල බීජය එකතු කළ එහි නායක වන ආචාර්ය ඒ. ටී. ආරියරත්න, මහතා ඇතුළු නාලන්දාවේ ගුරුවරුන් ලෙස ක්‍රියා කළ ධර්ම ගුණසිංහ, ඩී.එස්. සේනානායක, ටී.එස්. සිල්වා සහ එවකට නාලන්දාවේ සිසුන් මෙහෙයවමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල නොදියුණු සමාජයෙන් කොන්කර ජන කොට්ඨාසයක් පදිංචිව සිටි ‘කනතොළුව’ ගම්මානය නඟා සිටුවීමට පියවර ගත්තේය. එදා නාලන්දාවේ මේ ගුරුවරුන් ඇතුළු සිසු පිරිස ශ්‍රමදාන ව්‍යාපාරයට යොමු කොට මෙහෙයවීමට මඟ පෙන්වූයේ එවකට විදුහල්පති ධුරය දැරූ එම්.ඩබ්ලිව්. කරුණානන්ද මහතාය. ශ්‍රමදාන ව්‍යාපාරයක් දීප ව්‍යාප්ත සර්වෝදය ව්‍යාපාරයක් බවට පත්වී ජනසම්මානයට හා ගෞරවයට පාත්‍රවීමේ අභිමානය ඇත්තේ ද නාලන්දාවටය.
කනතොළුව ගම්මානයට පසු නැඟෙනහිර පළාතටත් මායිම් වූ අනුරාධපුරයේ ඈත කෙළවරක පිහිටි විල්ගම් වෙහෙරට යාමට මාවතක් ශ්‍රමදානයෙන් සකස් කරදීමට නාලන්දා සිසුන්ට හැකිවිය.
රටේ කාගේත් අවධානයට යොමුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ජගත් තලයට රැගෙන යාමට මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ද නාලන්දා මාතාව දායාද කොට තිබේ.
වර්තමානයේ ලෝකයේම ප්‍රසිද්ධ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ද ආදි නාලන්දියෙකි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ බන්දුල වර්ණපුරය. රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, කුමාර ධර්මසේන ඇතුළු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ 30ක් පමණ නාලන්දාවෙන් ජගත් තලයට ගිය ක්‍රිකට් තරුය. අභාවප්‍රාප්ත අරුණ රණසිංහ ද මේ අතර සිටි බව සිහිපත් කරමි.
පාසලකින් ප්‍රථම වරට චෛත්‍යයක් ඉදිකිරීම අතින් ද නාලන්දාව ඉතිහාස පොතට එක්වෙයි. ඒ නාලන්දා ධර්මග්‍රාම සංසදය මඟින් ඓතිහාසික මහසෙන් පුර දලුක්ගල ග්‍රාමයේ නාලන්දා සෑය ඉදිකර සසුනට පූජා කිරීමය.
නාලන්දාවේ දරුවන්ට සිප්සතර කියා දුන් ගුරුමෑණිවරු සහ පියවරු විශ්‍රාම ලබා විදුහලෙන් සමුගත් පසු ඔවුන්ට විවේක කාලය ගත කර පැමිණීමට විශ්‍රාම නිකේතනයක් ද කඩුවෙල ඉදිකර තිබේ. මේ සඳහා ඉඩම පරිත්‍යාග කළේ ද නාලන්දාවේ සේවය කර විශ්‍රාම ලැබූ රුද්‍රිගු ගුරු මෑණියන්ය.
නාලන්දය බිහි කළ කලාකරුවෝ ද රැසකි. මේ අය අතර කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, යූ.ඒ.එස්.පෙරේරා ( සිරි අයියා) හෙන්රි ජයසේන, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කිවිපති සුගතමුණි ඤාණසිරි, කමල් දේශප්‍රිය, ගාමිණී හෙට්ටිආරච්චි සහ සමන් ද සිල්වා ඇතුළු පිරිසක් සිටිති.
කරුණාරත්න අබේසේකර, ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා, කමල් දේශප්‍රිය ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන් ලෙස ද අනභිභවනීය නමක් දිනා ගත් ආදි නාලන්දීයෝය.
එල්ටීටීඊ යුද්ධයේ දී රට බේරා ගැනීමේ සටනේදී හමුදා සේවාවල නිරතව සිට රට වෙනුවෙන් දිවි දුන් ආදි නාලන්දීය රණවිරුවන්ගේ සංඛ්‍යාව 41කි. මේ මොහොතේ ඔවුන් සිහිපත් කරන්නේ ඔවුන් පිළිබඳ මතකයන් එක්කරමින් සදා බැතියෙනි.
ක්‍රීඩා ඉසව් 34 සිසුන්ගේ දක්ෂතා සඳහා විදුහල පවත්වාගෙන ගිය ක්‍රිකට් - රගර්, වොලිබෝල්, පිහිණුම්, කරාටේ, වූෂූ, ජවන හා මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා රැසකින්ම නාලන්දාව සෙසු විදුහල් පරදවා ජයග්‍රහණ ලබා ගත් වාර අපමණය.
ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගම් නාලන්දාවට ඉටු කරන්නේ අමිල මෙහෙවරකි. බෞද්ධ සංගමය - සිංහල සංගමය, තාරකා විද්‍යා සංගමය, කලා සංගමය, සන්නිවේදන අංශය, පියසර සංගමය, කඳු නඟින්නන්ගේ සංගමය ඇතුළු නාලන්දාවේ පිහිටුවා ඇති සංගම් 46ක් නාලන්දාව ඔසවා තබන්නට ගන්නා වෑයම ප්‍රශංසනීයය.
අනූවැනි වසරට පා තබන මොහොතේ නාලන්දාවේ අරමුණ තවත් වසර දහයක් ගිය තැන වසර 2025 දී එළැඹෙන නාලන්දාවේ සියවස් උලෙළට නාලන්දාව සූදානම් කිරීමය.
එසේම අනූව වසරට පා තැබීමෙන් පසු ලබන වසර (2015) නොවැම්බර් 1 වැනිදා දක්වා වූ එළැඹෙන වසර පුරාම නාලන්දාවට වසර අනූවක් පිරීම සමරමින් ක්‍රියාකාරකම් සිදු කිරීමය.
ඩෝල්ටන් වක්වැල්ල
1963 - 64 නාලන්දා විද්‍යාලයීය
ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති
http://www.silumina.lk/2014/11/09/_art.asp?fn=af14110912