Sunday, January 25, 2015

නව තාක්ෂණයත් සමඟ ඉදිරියට යන දරුවන් ජාත්‍යන්තරයට සූදානම් කළ යුතුයි

එඩෙක්ස් ව්‍යාපෘතිය විවෘත කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි


නව තාක්ෂණය සමඟ නව ලෝකයට ප්‍රවේශයක් ලබා දීමේදී දරුවන් ජාත්‍යන්තරය සඳහා සූදානම් කිරීම වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ එඩෙක්ස් ව්‍යාපෘතිය මගින් දොළොස්වැනි වතාවටත් සංවිධානය කළ එඩෙක්ස් එක්ස්පෝ 2015 අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා පොළ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.තාක්ෂණික මෙවලම් සමඟ සිරවී සිටින දරුවන් එමගින් ලබා ගන්නා දැනුම මෙන්ම බාහිර පරිසරයේ ගහකොළ, ඇළදොල සහ සතා සිව්පාවා සමඟ සමීප වීමත් සෙනෙහෙබර වීමත් ඉතා වැදගත් යැයිද ජනාධිපතිවරයා කීය.
අධ්‍යාපන සහතිකය තුළින් ලබන දැනුම ප්‍රායෝගික නොවීම නිසා තරුණ පරපුර සමාජය තුළ වගකීම් දැරීමේදී මතුවන අභියෝගයන්ට මුහුණ දීමේදී ගැටලු ඇතිවන අවස්ථා තමන් දැක ඇති බවද ජනාධිපතිවරයා කීය. මෙම ප්‍රදර්ශනය 300කට අධික වෙළෙඳ කුටිවලින් සමන්විතය.
දැයේ දරුවන් ජගත් තරගකාරිත්වය සඳහා සවිබල ගැන්වීමේ ජාතික මෙහෙවරක් වශයෙන් සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය 23, 24 සහ 25 යන තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනයේ මුද්‍රණ මාධ්‍ය දායත්වය දරණුයේ ලේක්හවුස් ආයතනයේ ඩේලිනිවුස් සහ ඉරිදා ඔබ්සර්වර් පුවත්පත් වේ.
උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ප්‍රදර්ශනයක් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු විවෘත කිරීමේ ලොකු වටිනාකමක් තිබෙනවා. පසුගිය අවු. 20 – 25 කාලය තුළදී කොළඹ රාජකීය විද්‍යාලය සමඟ මගේ විශේෂ සම්බන්ධකමක් තිබෙනවා. එසේම මේ විදුහලට මා ගරු කරනවා.
නව තාක්ෂණය සමඟ නව ලෝකයට ප්‍රවේශක් ලබා දීමේදී දරුවන් ජාත්‍යන්තරය සඳහා සූදානම් කිරීම කළ යුතු වෙනවා. සමහර දෙමව්පියන් සිතනුයේ තමන්ගේ දරුවන්ට තරඟය ඇත්තේ පන්ති කාමරය, පාසල හෝ ජීවත්වන ගම තුළ කියායි. නව ලෝකයේ සියලුම අංශවල පවතින තරඟකාරීත්වය තුළ අපේ දරුවන් විශ්වය ජය ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සියලුම ක්ෂේත්‍ර සඳහා යොමු කිරීම වැදගත් වෙනවා.
අපේ රටේ ඉතිහාසය දෙස බලන විට ආර්ථික සංස්කෘතික සහ ශාස්ත්‍රිය ලෙස දියුණුවක් පැවතිය. නව තාක්ෂණයට දරුවන් හැඩ ගැස්වීමේදී පාසල ප්‍රමුඛව දෙමව්පියන්ට පුළුල් වගකීමක් තිබෙනවා.මෙම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා පොළ තුළින් දරුවන්ට එළි පෙහෙලි කර දෙන මාර්ගය ඒ සඳහා වැදගත් වෙනවා. රාජකීය විදුහල දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී සාම්ප්‍රදායිකත්වයෙන් මිදී පොතපතේ දැනුම මෙන්ම සමාජයීය වශයෙන් විවිධ අංශ මගින් දරුවන්ට දැනුම ලබා දීම පිළිබඳව සතුටට පත් විය හැකිය. ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසුව ගත වූ දෙසතිය තුළ පාසලත් දරුවනුත් සම්බන්ධ වූ කාර්යයකට මා මුලින්ම සහභාගි වූයේ රාජකීය විද්‍යාලයේ මෙම ප්‍රදර්ශනයට යැයිද ජනාධිපතිවරයා කීය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා
පාසලින් පිටවන සහ තෘතීය අධ්‍යාපනය අවසන් කළ දරුවන්ට මෙම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා පොළ විශාල පිටිවහලක් වෙනවා. අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදු කළ යුතු කාලය එළඹ තිබෙනවා. ලෝකයේ දියුණු රටවල් එම තත්ත්වයට ළඟා වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කරන ලද විප්ලවීය වෙනස්කම් තුළිනුයි.
අප රටට ඇති ලොකුම සම්පත මානව සම්පතයි. අධ්‍යාපනයේ සිදු කරන විප්ලවීය වෙනස මගින් ආර්ථිකයට පිටවහලක් ලැබෙනවා. පාසල් විෂය නිර්දේශ ක්‍රමානුකූව ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම තුළින් දැනුම පදනම් කර ගත් තරුණ පරපුරක් බිහි කිරීම අපගේ බලාපොරෙ‍ාත්තුවයි. නව ආණ්ඩුව යටතේ විශ්වවිද්‍යාලවල විෂයය නිර්දේශ ප්‍රතිසංස්කරණයට ලක්කිරීමටත් එමගින් දැනුම සහ හැකියාව මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලයේදී අධ්‍යාපනයේ ඇති කළ යුතුව තිබූ අවශ්‍ය වෙනස්කම් සිදු කර නැහැ. දේශපාලනීකරණය උග්‍ර ලෙස බලපා තිබෙනවා. එම තත්ත්වය ඉවත් කර ලක්ෂ හතළිහක් පමණ වන පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය නව මගකට යොමු කිරීම අපගේ අරමුණයි.
අධ්‍යාපනය තුළින් අප රට ලෝකයේ විශේෂ ස්ථානයකට ඔසවා තැබීමත් ඒ සඳහා පාසලින් සහ විශ්වවිද්‍යාලයෙන් එළියට එන තරුණ තරුණියන්ට සුරක්ෂිත අනාගතයක් බිහි කිරීමටත් කැප වෙනවා යැයිද ඇමතිවරයා කීය. රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතණුවන් රාජකීය විදුහලේ ඉගෙනුම ලබන සමයේදී පාසල මඟින් සිදු කළ සමාජ සත්කාර වැඩසටහන්වලට එතුමා පියකු වශයෙන් උපරිම දායකත්වය ලබා දුන්නා. ඇමතිවරයකු ලෙස සිටියදී පාසලේ දෙමවුපිය රැස්වීමට සාමාන්‍ය පියකු ලෙස පැමිණ සහභාගි වුණා.
ආදි ශිෂ්‍ය සංගමය 2004 වසරේ පටන් සංවිධානය කරන මෙම ව්‍යාපෘතිය මඟින් දැයේ දූ දරුවන්ට විශාල සමාජ සත්කාරයක් කිරීමට සමත් වී තිබෙනවා. වර්තමාන ඇමැති මණ්ඩලයේ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබු දිප්තිමත් ශිෂ්‍යයින් දහතුන් දෙනෙකු ඇතුළත්ව සිටීම විදුහලට ආඩම්බරයක් බවද ගුණසේකර මහතා කීය.
එඩෙක්ස් ව්‍යාපෘතියේ සභාපති කමල් අබේසිංහ මහතා- දරුවන්ට අප ලැබුවාට වඩා හොඳ අධ්‍යාපනයක් අනාගතයක් ලබා දීම අපගේ අරමුණයි. එඩෙක්ස් එක්ස්පෝ - 2015 ප්‍රදර්ශනය සහ රැකියා පොළ මඟින් විවිධ ක්ෂේත්‍ර සඳහා රැකියා අවස්ථා හඳුන්වා දීම සිදු කෙරෙනවා. දරුවන්ගේ දස්කම්, නිර්මාණාත්මක හැකියාවන් උනන්දු කරවන අතර නාගරික මෙන්ම ගම්බද දරුවන්ටද සමානව එම අවස්ථා ලබා දීම අපගේ අරමුණයි. අපේ රටේ අධ්‍යාපනය තුළ සම අවස්ථා නැහැ. අඩු පහසුකම් සහිත පාසලකින් වුවද අයින්ස්ටයින් කෙනෙක් බිහි විය හැකියි.
වාර්ෂිකව ඉහළ ප්‍රමිතියකින් යුත් ප්‍රදර්ශන තුනක් රාජකීය විද්‍යාලයේ ස්වෙච්ඡා සංගමය සංවිධානය කරනවා. මෙවර ප්‍රදර්ශනය මගින් රැකියා අවස්ථා දෙදහස් පන්සියයක් ලබා දෙනවා. හරිත ව්‍යවසායකයින් බිහි කිරීම අපගේ අරමුණයි. වසරකට පාසල් හැර යන 140000ක් තරුණ තරුණියන්ට මෙම වෘත්තීය මාර්ගෝපදේශකත්වය ලබාදීමට කටයුතු කරනවා යැයිද අබේසිංහ මහතා කීය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත දොංලිංලී මහතාද කතා කෙළේය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ ජලාපවහන ඇමැති රවුෆ් හකීම්, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, මුදල් ඇමැති රවී කරුණානායක, ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස, දැන්වීම් කළමනාකරු වරුණ මල්ලවආරච්චි, ඊ සොෆ්ට් ආයතනයේ සභාපති දයාන් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. එඩෙක්ස් එක්ස්පෝ - 2015 ප්‍රදර්ශනය මෙම 30, 31 යන දිනවල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

ශිරෝමි අබයසිංහ

http://www.silumina.lk/2015/01/25/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි