

දඹුල්ලෙන් මඩාටුගමට හැරී නාමල් උයන දක්වා යන ගමනේ ද සැතැපුම් 6 ක් 7 ක් ගිය තැන දඹේවටන හමුවෙයි. සුන්දරත්වයෙන් අනූන මේ දඹේවටන ගම වෙල් ඉපනැල්ලෙන් ප්‍රාණවත් වී ඇත. දඹේවටන ගමේ දරුවන්ට අකුරු කරන්නට ඇති දඹේවටන ප්‍රාථමිකය ඒ ගමේ දරුවන්ට පමණක් නොව අද රටටම මහත් සම්පතක් මෙන්ම අගනා පාඩමක් ද කියා දෙයි.
දඹේවටන ප්‍රාථමිකය සතු අක්කර 8 ක පමණ භූමි භාගය 2001 වසර වන තෙක්ම ගන කැලෑවෙන් වැසී තිබිණ. මේ භූමි භාගයෙන් වැඩි ප්‍රමාණයක් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොගෙන වල් වැදී තිබු අතර දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන්වී තිබුණේ සුළු භූමි ප්‍රමාණයකි. ඒ භූමියේ වූයේ ගොඩනැඟිලි කීපයක් හා ක්‍රීඩා පිටියක් වැනි අත්‍යවශ්‍ය දේ පමණකි.
මේ අක්කර ගණනක පාසල් භූමියෙන් එහා ඉඩම වෙන්වූයේ අඹ ඇතුළු පලතුරු වර්ග රැසක් පර්යේෂණ කරමින් ව්‍යාප්ත කරන කෘෂි ආයතනයකටය. ඒ එල්ලාවල හෝර්ටිකල්චර් පෞද්ගලික සමාගමටය. මේ ආයතනයේ නිර්මාතෘවරයා වනුයේ ටොම් එල්ලාවල මහතාය.
අක්කර 140 කින් යුතු පාසල් භූමිය මායිමේ පිහිටි මේ පර්යේෂණ ආයතනයේ නවතම අඹ වර්ග බිහිකිරීම සඳහා පර්යේෂණ පැවැත්විණ. නවීන තාක්ෂණික ක්‍රම හරහා මේ පර්යේෂණ දියත් කරන්නට ටොම් එල්ලාවල මහතාට සහාය වූයේ ජුවාන් කාලොස් නමැති පිලිපීන ජාතිකයාය.
දිනෙන් දින කළ අත්හදා බැලීම්වලින් අනතුරුව එල්ලාවල මහතා ලොවේ කොතැනකටවත් නොදෙවැනි වර්ගයේ සුවිශේෂී අඹ වර්ගයක් සොයා ගන්නේය.

මිලෙන් අධික හා දුර්ලභ, රසයෙන් අනූන මේ අඹ ගෙඩියේ කතාවට දිගු ඉතිහාසයක් ඇතත් එයින් බිඳක් මේ හරහා ගෙතුණේ මේ අඹ, කැලෑවට ගිය පාසල් බිමේ වගා කර එයින් ලැබෙන ආදායමෙන්ම නඩත්තු කරන දඹේවටන පාසල ගැන කියන්නටය.
“මේ අඹ වගාව පාසල් භූමියේ පටන්ගන්න කොට විදුහල්පති වෙලා හිටියේ මම. මුලින්ම මේ අදහස ෆාම් එකෙන් එනකොට අපි මේ ගැන පාසල් සංවර්ධන සමිතිය හා ගුරු දෙමවුපියන් සමඟ සාකච්ඡා කළා. මේ වන විට පාසල් භූමියේ අක්කර 7 ක්ම කැලෑවට ගිහින් තිබුණේ. අපි ගමේ හැමෝම එකතු වෙලා පාසල් භූමිය සුද්ද කර එළිපෙහෙළි කළා. මේ වටිනා අඹ පැළ වගේම ගෙඩි පල දරනකම් සියලු තාක්ෂණික දැනුම වගේම නඩත්තු කටයුතු ෆාම් එක හරහා කරලා ආදායමෙන් සියයට 50 ක් පාසලට දෙන්නත් පොරොන්දු වුණා.
2001 වසරේදී අපි මේ ආකාරයට මුල් අඹ පැළ 80 හිටෙව්වා. මෙහි ඉන්නකොට මට කණ්ඩලම පල්ලේගම මහා විදුහලට මාරුවක් ලැබුණා. අපි මේ ව්‍යාපෘතිය ඒ පාසලෙත් ආරම්භ කළා...” යැයි දඹේවටන පාසලේ හිටපු විදුහල්පති එම්. ඩි. රත්නසූරිය මහතා අප හා පැවසුවේය. ඔහු දැන් පයාගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
අති සුවිශේෂි TJC අඹ පැළ 80 කින් ආරම්භ වූ පාසල් භූමිය දිනෙන් දින සරු පලදාව කරා ළඟා වෙන්නට වූ අතර අඹ පැළ ගණන ද ටිකෙන් ටික වැඩි වන්නට විය. ඒ සඳහා පාසලට කිසිඳු වෙහෙසක් දරන්නට සිදු නොවූයේ එල්ලාවල හෝර්ටිකල්චරල් සමාගම ඒ සඳහා කැපවී කටයුතු කළ නිසාය.

අඹ අයිති මේ පාසලේ දරුවන්ට, ගුරුවරුන්ට, ගමේ අයට. අපි පලදාව ලබා ගන්නේ මේ හැමෝටම බෙදමින්...” යනුවෙන් වීරසූරිය බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ ව්‍යාපෘතියට මුල සිටම දායක වූ එල්ලාවල හෝටිකල්චරල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාය.
පාසල දිනෙන් දින ප්‍රගතිය කරා ළඟාවූයේත් ප්‍රතිඵල ඉහළ නැංවූයේත් මේ ව්‍යාපෘතියට පින්සිදුවන්නටය.
“.... සෑම වසරකම අඹ ආදායමෙන් විශාල මුදලක් පාසලටත් හිමි වෙනවා. කැලෑව, ඒ විදියටම තිබුණානම් අපේ පාසලට අනාගතයක් නැහැ. පසුගිය වසරේ අඹ ආදායමෙන් අපි පාසලේ අඩුපාඩු සම්පූර්ණ කළා. ලක්ෂ 4 ක වියදමින් පාසලට බුදු ගෙයක් හැදුවා. බිමේ සෝදාපාළුව වළක්වගන්න ක්‍රම යෙදුවා. පාසලට ආරක්ෂක වැටක් ඉදිකළා. පරිගණාකාගාරයක් හැදුවා. මේ පාසලට දෙමවුපියන්ගෙන් ශත 5 ක මුදලක් අය කරන්නේ නැහැ. පාසල් සංවර්ධන ගාස්තු පවා අය කරගන්නේ නැහැ.

ගැටලුවලින් තොරව පාසලේ අඩුපාඩු සපුරා ගන්නට ඔහුට මේ හරහා ලැබෙන්නේ විශාල දායකත්වයක්. අද දඹේවටන ප්‍රාථමිකය ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්වන දරුවන් සිටින පාසලකි. ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ නංවමින් පාසලේ ගුණාත්මක භාවය නැංවීම සඳහා සෑම වසරකම මේ මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් වෙයි.
“අඹ ව්‍යාපෘතියෙන් ලැබෙන ආදායෙමන් කොටසක් ළමයින්ගේ සාධන මට්ටම වැඩි කිරීමට යොදවනවා. අපි පහ වසර ශිෂ්‍යත්වයට යන දරුවන්ට මේ මුදලින් පෙරහුරු ප්‍රශ්න පත්‍ර කට්ටල ලබා දුන්නා. දෙමවුපියන්ගෙන් කිසිඳු මුදලක් අය කළේ නැහැ. පසුගිය වසරවල මේ ප්‍රාථමිකයෙන් සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් ශිෂ්‍යත්වය සමත්වුණා...” ඒ උප ගුරු ඩී. එම්. නිමල් දිසානායක ය.


කහ පැහැති වර්ණයෙන් යුතු විශාල අඹ ගෙඩි මේ පාසල් දරුවන්ට නම් අලුත් දසුනක් නොවේ. බිම වැටුණු අඹ ගෙඩියක් කපාගෙන කන්නට ගලක් ගසා අඹ ගෙඩියක් බිම හෙළන්නට මේ දරුවෝ කිසිසේත් උත්සාහ නොකරති. පුංචි දරුවන් අඹ කන්නට ආස කළත් ඉතා අමාරුවෙන් හැදෙන මේ අඹ ගෙඩි ඔවුන් අතින් සුරැකේ.
දඹේවටන පාසල අද අන් පාසල්වලට ද ආදර්ශයකි. ඉඩකඩ ඇති තරමට කුඩා කෘෂි උයනක් හෝ තනන්නට ඕනෑම පාසලකට හැකියාවක් ඇත්තේය.
මහා පරිමාණයෙන් නොකළත් දරුවන්ගේ සුරතින් ගසක් සිටුවා ඒ ගස පල දරතොත් ඔව්හු ගහට කොළට පවා ආදරය කරන්නට පෙළඹෙති. අද අක්කර ගණනක පාසල් භූමි පිරී යන්නේ ගහකොළින් නොව හිස් ගොඩනැඟිලිවලිනි. ගහට කොළට පරිසරයට ආදරය කරන දරු පිරිසක් බිහි කරන්නට නම් දරුවන්ටත් ගහකොළ අතපත ගාන්නට හුරු කළ යුතුය.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි