Tuesday, January 27, 2015

“පෙත්තප්පුට පාළුයි”


ටිකිරි බබාගේ ගෙදර ගිරාපැටියෙක් හිටියා. පුංචිම පැටිය කාලෙ ගහක් යට වැටිල ඉඳලා තාත්තා පරිස්සමින් අරගෙන ආවා. ඊට පස්සෙ ඉරිදා පොළෙන් කූඩුවක් අරගෙන ආවා. ඒක තමයි ගිරා පැටියගෙ ගෙදර.
ටිකිරි බබා හැමදාම ඌට කන්ඩ දුන්නා. අඹ විතරක් නෙමෙයි පරිප්පු හාල් වගේ ධාන්‍ය වර්ගත් දුන්නා. ටිකෙන් ටික මේ ගිරා පැටියා ලොකු වෙන්ඩ පටන් ගත්තා. උගේ බෙල්ලේ මාලයක් වැටෙන්ඩත් පටන්ගත්තා.
දැන් ඌ කතා කරනවා. ටිකිරි බබා දැක්ක ගමන් කතා කරනවා. ටිකිරි බබාගේ ගෙදර කවුරුත් ඌට කතාකරන්නේ පෙත්තප්පු කියලා.
”පෙත්තප්පු බත් කෑවද?”
ටිකිරි බබා එහෙම අහන කොට මාලගිරවා උත්තර දෙනවා.
”පෙත්තප්පු බත් කෑවා”
”පෙත්තප්පු බත් කෑවෙ නැද්ද?”
”පෙත්තප්පු බත් කෑවෙ නෑ..”
තවත් ටික කාලයක් යනකොට පෙත්තප්පු ටිකිරිගෙ නම කියන්ඩ පටන් ගත්තා. ඇයි ඉතින් අම්මයි තාත්තයි සමහර වෙලාවට ටිකිරිට හයියෙන් අඬ ගහනවනේ.
”ටිකිරි.. ටිකිරි”
ඒක අහගෙන ඉඳලා පෙත්තප්පුත් ටිකිරි බබාට අඬගහන්ඩ පටන් ගත්තා.
”තිකිලි.. තිකිලි...” එතකොට ටිකිරි කූඩුව ළඟට එන්ඩ ඕනෑ.
”පෙත්තප්පුට පාළු ද?”
ටිකිරි බබා එහෙම අහනවා. එතකොට පෙත්තප්පුත් උත්තර දෙනවා.
”පෙත්තප්පුට පාළුයි”
එක දවසක් වත්ත පහළ තිබුණු සියඹලා ගහ මුදුනේ ගිරව් රෑනක් කෑගහනවා. පෙත්තප්පුත් කූඩුවෙ ඉඳගෙන කෑගහනවා.
ටිකිරි බබා කූඩුව ළඟට ගියා. ඒත් වෙනදවගේ ටිකිරි බබත් එක්ක කතාකෙරුවෙ නෑ.. සියඹලා ගහ මුදුණේ ඉඳගෙන කෑගහන ගිරව් එක්කමයි කතා කෙරුවේ. ඒත් ගිරා භාෂාවෙන්.. ඊට පස්සෙ සියඹලා ගහ මුදුනේ හිටපු ගිරව් රෑන ඉගිල්ලිලා ගියා. උන් කෑගහන හඬ නෑසී ගියා. දැන් පෙත්තප්පුට පාළුයි. පෙත්තප්පු කෑගහන්ඩ පටන්ගත්තා.
”පෙත්තප්පුට පාළුයි. පෙත්තප්පුට පාළුයි”
ටිකිරි බබා ආවා.
”පෙත්තප්පු බත් කෑවද?”
”පෙත්තප්පුට පාළුයි.. පෙත්තප්පුට පාළුයි”
පෙත්තප්පු ඒකමයි කියවන්නේ. ඊට පස්සෙ ටිකිරි බබාගෙ අම්මා ආවා.
”පෙත්තප්පු බත් කෑව ද?”
”පෙත්තප්පුට පාළුයි. පෙත්තප්පුට පාළුයි..”
තාත්තා ගමනක් ගිහිල්ලා හැන්දෑවෙ ගෙදර ආවා.
”පෙත්තප්පුට පාළුයි.. පෙත්තප්පුට පාළුයි”
ඈත තියාම පෙත්තප්පුගෙ කටහඬ ඇහෙන්ඩ පටන් ගත්තා. තාත්තා කෙළින්ම කූඩුව ළඟට ගියා. ටිකිරි බබයි අම්මයි කූඩුව ළඟ ඉන්නවා.
”පෙත්තප්පු කන්නේ නෑ.. එකම දේ කියනවා”
එතකොටම පෙත්තප්පු කෑගහන්ඩ පටන්ගත්තා.
”පෙත්තප්පුට පාළුයි.. පෙත්තප්පුට පාළුයි”
තාත්තා කල්පනා කළා...
”පුතේ ඌට අනික් ගිරව් එක්ක යන්ඩ ඕනෑ වෙලා. ගිරව් කියන්නෙ පුතේ රංචු රංචු ජීවත්වෙන කුරුල්ලෙක්නේ. තනියම ජීවත්වෙන කුරුල්ලෙක් නෙමෙයි. සියඹලා ගහ මුදුනෙ ගිරව් කෑගහනකොට ඌටත් යන්ඩ හිතෙන්ඩ ඇති.”
”ඔව් පුතේ ඌට දුක හිතෙන්ඩ ඇති. පව් නේ පුතේ අපි පෙත්තප්පුව මෙහෙම හිරකරගෙන ඉන්න එක”
අම්මා, ටිකිරි බබා ගෙ හිස අතගෑවා.
”පෙත්තප්පුට පාළුයි. පෙත්තප්පුට පාළුයි”
පෙත්තප්පුත් කිව්වා.
”අපි පෙත්තප්පුව නිදහස් කරමු තාත්තේ ඌ කැමති දිහාවකට යන්ඩ ඉඩ හරිමු.”
ටිකිරි බබා කඳුළු පෙර පෙර කිව්වා.
”හෙට අපේ නිදහස් දවසනේ.. අපි ඌටත් නිදහස දෙමු”
ටිකිරි බබා දැන් ඉන්නේ නිදහස් දිනය උදාවෙනකල්... පෙත්තප්පුව නිදහස් කරන්ඩ..
”පෙත්තප්පුට පාළුයි”
”හෙට ඉඳලා පෙත්තප්පුට පාළු නෑ..”
ටිකිරි බබා කිව්වා.


http://www.silumina.lk/2013/02/03/_art.asp?fn=au130203

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි