සල්ලි අපේ; ඉස්කෝලෙ “ප්‍රින්සිපල්ගෙ”...!
රටේ ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ ඉතා වැදගත් තීන්දු කිහිපයක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ගෙන තිබේ. පළමුවන්න පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ දී කිසිදු අයථා අයකිරීමකට ඉඩක් නො තැබීම යි. දෙවන්න උසස් පෙළ සමත් ව විශ්වවිද්‍යාලයට තේරී පත් වූ සිසුනට හිසරදයක් වූ නායකත්ව පුහුණුව නවතා දැමීමට තීන්දු කිරීම ය. තෙවන්න විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් කර්නල් තනතුරු වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීම ය. මේ තීන්දු තුන ගැන ම රටේ ජනතාවගේ ප්‍රසාදය හිමි වී ඇත.
ශ්‍රී ලංකාවේ දී පාසලකට දරුවකු ඇතුළත් කරගැනීම යනු පුංචි පහේ යුද්ධයකි. ඒ සඳහා නොයෙක් උපායමාර්ග යොදන්නට ද, මහත් කැපවීම් කරන්නට ද ඇතැම් විට වංක කටයුතුවල යෙදෙන්නට ද මාපියනට සිදු වේ. දරුවකුගේ අනාගතය අධ්‍යාපනය මත රැඳී ඇති බැවින් මාපියෝ අපහසුවෙන් වුව ඉහත කී කටයුතුවල යෙදෙති. පාසලකට දරුවකු ඇතුළත් කිරීම මේ තරම් දුෂ්කර ව්‍යායාමයක් බවට පත්ව ඇත්තේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්තියක් නැති බැවින් ය. එක එක පාසල්වල විදුහල්පතිවරු තම - තමන්ගේ සිතැඟි පරිදි තම පාසලට දරුවන් ගනිති.
සමහර විදුහල්පතිවරු පාසල් සංවර්ධන සමිතියට යැයි කියමින් මුදල් අය කරති. තව සමහර විදුහල්පතිවරු කෙළින් ම අල්ලස් ඉල්ලා සිටිති. ඒ තමන්ගේ සාක්කුවට ය. තවත් විදුහල්පතිවරු පාසලේ අඩුපාඩු පෙන්වමින් මුදල් අය කරති. විදුහලට ඇති පිළිගැනීම හා ඉල්ලුම අනුව ගාස්තු ඉහළ - පහළ යයි. අම්මලාගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින විදුහල්පතිවරු ද කලාතුරකින් සිටිති. මේ සියල්ලෙන්ම බැට කන්නේ දුප්පත් - අහිංසක මාපියන් ය. නිදහස් අධ්‍යාපනයක් පවතින රටක් යැයි අප ශ්‍රී ලංකාව ගැන උදම් - අනන’මුත් පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින සම්ප්‍රදාය ශීලාචාර සමාජයකට ගැළපෙන්නේ නැත.
යා යුතු මඟ නො දන්නා නායකයන් ජනිත කරන අධ්‍යාපනය රටක ඉදිරි ගමනට වැඩක් නැතැ’යි රිචර්ඩ් ලිවිංස්ටන් ස්වාමිවරයා වරක් කියා සිටියේ ය. එය ශ්‍රී ලංකාව වැනි රටවල අධ්‍යාපනයේ ඇති දේශපාලන බලපෑම හොඳින් පැහැදිලි කරයි. විදුහල්පතිවරුන් පත්කිරීම ඔවුනට ගරු - නම්බු ලබාදීම ආදිය දේශපාලකයන් භාරගත් දා සිට රටේ පාසල් අධ්‍යාපනය පිරිහෙන්නට පටන් ගත්තේ ය. දේශපාලන බලය අතට ගත් විදුහල්පතිවරු සැකයකින් හෝ භයකින් හෝ තොරව මුදල් අයකිරීමට පටන් ගත්හ. පාසලට ඇතුළත් කිරීමට පමණක් නොව; පාසලේ ක්‍රිකට් කණ්ඩායමට දරුවකු ඇතුළත් කිරීමටත් මුදල් අය කරන පාසල් සමාජයක අපි ජීවත් වන්නෙමු.
නව අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කරන ලෙස දරුවකු පාසලකට ඇතුළත් කිරීමේ දී කිසිදු අයකිරීමක් නොකළ යුතු ය. පරීක්ෂා කළ යුත්තේ දරුවාගේ යෝග්‍යතාව පමණි. අධ්‍යාපනයට අදාළ ගනුදෙනු සඳහා යම් ලිහිල්භාවයක් ඇති කළහොත්; වගන්තිවලට මුවා වී මුදල් අය කිරීමේ හැකියාව විදුහල්පතිවරයාට ලැබේ. ඒ අනුව බලන විට කිසිදු මුදලක් අය නොකිරීමට උපදෙස් ලබාදීම ඉතා වැදගත් ය. එතැනින් නොනැවතී යම් අය කිරීමකට අර අඳින විදුහල්පතිවරයකු හෝ වෙනත් අධ්‍යාපන බලධරයකු හෝ සිටිත් ද ඔවුන් ගැන පැමිණිලි කළ හැකි ක්‍රමවේදයක් ද අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.
යහපාලනය හඳුන්වා දෙමින් ශීලාචාර සමාජයක් බිහි කළ යුතු යැයි ප්‍රතිඥා දුන් ආණ්ඩුව එය වචනයට සීමා නො කොට ක්‍රියාවෙන් ම ඔප්පු කරමින් සිටී. ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෙන ඇති ඉහත තීරණ තුනෙන් ද ඒ බව පැහැදිලි ය. මේ තීන්දු හා තීරණ ගෙන ඇත්තේ සෑම ක්ෂේත්‍රයක් ගැන ම නිරීක්ෂණය කිරීමෙන් පසු බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි. නිදසුනක් ගත හොත් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී අය කරනු ලබන අයුක්ති සහගත ගෙවීම් ගැන ද, අල්ලස් ගැන ද මහජන පැමිණිලි හා විරෝධතා විශාල ප්‍රමාණයක් නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව තිබේ. මේ සියල්ලෙන් ම පොඩි මිනිසාට අර්ථවත් දෙයක් ලැබෙන බව ඉතා පැහැදිලි ය.
නායකත්ව පුහුණුව පසුගිය ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද අලුත් වැඩසටහනකි. එය රජයේ බලධාරීන් කිහිප දෙනකුගේ වුවමනාවට සිදුවූවක් මිස අධ්‍යාපනඥයන්ගේ මගපෙන්වීම මත හෝ ජාතික අවශ්‍යතාවක් මත හෝ සිදුවූවක් ද නො වේ. සිසුන්ගෙන් වැඩි පිරිස නායකත්ව පුහුණුවට කැමැති නැති බව ද පෙනී ගොස් තිබේ. හමුදා කඳවුරුවලට හෝ වෙනත් පුහුණු මධ්‍යස්ථානවලට හෝ ගාල් කොට ලබාදෙන එම පුහුණුව හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතර කිසිදු සම්බන්ධයක් නැති බව ද සමහරු පෙන්වා දෙති. ඒ හැරෙන්නට මේ පුහුණුව සඳහා මාපියන් සැලැකිය යුතු මුදලක් ද වැය කළ යුතු ය.
අධ්‍යාපනයට සම්බන්ධ තීන්දු - තීරණ ගත යුත්තේ එම විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති උගතුන් ය. දේශපාලකයන් අත්තනෝමතික ලෙස අධ්‍යාපනයට ඇඟිලි ගසන විට රටේ අනාගතය අඳුරු වෙයි. තරුණ පරපුර නොමග යයි. නිදහසින් පසු අපේ රටේ දේශපාලකයන් වරින් - වර අධ්‍යාපන ප්‍රතිපත්ති හා විෂය මාලා වෙනස් කරමින් අධ්‍යාපනය කෙරෙහි වූ දේශපාලන බලපෑම් තීව්‍ර කරගත් බව පෙනී යයි. එහෙත් මේ බලපෑම් රටට හා තරුණ පරපුරට යහපතක් සිදුකර ඇති බවක් පෙනෙන්නට නැත. අලුත් ආණ්ඩුව කළ යුත්තේ හැකි විගස අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට එය ක්‍රියාත්මක කිරීම ය.
මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයත්, එහි ව්‍යාප්තිය හා පැවැත්මත් තීරණය කරන එක් සාධකයක් වන්නේ අධ්‍යාපනය යි. මුලින් ම ආගමික අධ්‍යාපනයෙන් ආරම්භ වූ ඉගැන්වීම අද තාක්ෂණය දක්වා ව්‍යාප්ත වී තිබේ. පාසල යනු පුද්ගලයකුගේ දැක්ම, මානසික පෝෂණය හා කුසලතා සංවර්ධනයට ලක්කරන එකම ස්ථානය යි. එය දේශපාලනයෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් හෝ දූෂිත වුවහොත් ශිෂ්ටාචාරය බිඳ වැටෙනු ඇත. පුරාණ ග්‍රීසියේ දාර්ශනිකයන් වූ ප්ලේටෝ, ඇරිස්ටෝටල් පවා අධ්‍යාපනය පොදු පරමාර්ථ සාධනය සඳහා යොදා ගන්නා ආකාරය පැහැදිලි කර දී තිබේ. ඒ අනුව රටේ පොදු යහපත සඳහා ම ජාතික අධ්‍යාපනය යොමු විය යුතුය.
නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින රාජ්‍යයක් ලෙස ශ්‍රි ලංකාවේ පොඩි මිනිසාට අධ්‍යාපනයේ පූර්ණ අයිතිය හිමිවිය යුතු ය. ඉහත සඳහන් තීන්දු තුන ම ඒ සඳහා ගනු ලැබූ යහපත් පියවර ලෙස හැඳින්විය හැකි ය.
http://www.dinamina.lk/2015/01/26/_art.asp?fn=e150126
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි