Tuesday, January 27, 2015

දේවතා එළි විතරක් නොවේ තාරකාත් මා දුටුවෙ එදා.

ප්‍රින්සිපල්ගේ කනේ පාරෙන් මං එදා දේවතා එළිත් දැක්කා

ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න
අද පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලෙ
නිදහස කියන එකේ නියම අරුත හීන් එකා කාලෙදි මං දන්නෙ නෑ. අපේ ගමේ මිනිස්සු බොහොමයක් එහෙමයි. නුවරඑළියෙ සීතල මීදුම් වළල්ලේ එතිලා අපේ ගම්වලටත් ආවා. දෙහිපෙ ගමේ අපිත් ඒ හිරිගඩු නංවන සීතල දරාගන්ඩ පුරුදුයි. උදේ ඉඳන් පොළොව කොටලා හරි හම්බ කරන්ඩ මහන්සි වෙන ඇත්තො මේ ගම්වල හිටියෙ. අදත් ඉන්නවා. හීන් ඇඳිරිය වැටෙනකම් වැඩකරලා අස්වැන්න පූදින කාලෙට ඒ එකතු කළ අස්වැන්න ඊළඟ දවසෙ උදේ පාන්දරම ඒ අය ලොරිවලට පැටෙව්වා. සීතලට හිසේ තලප්පාවක් බැඳගෙන මේ ලොරිවලට ගෝවා, තක්කාලි, මාළු මිරිස් ගෝනි පුරවලා පැටෙව්වෙ නාට්ටාමිලා නොවෙයි. අපේ දුප්පත් අම්මලා.
අරුණැල්ලත් එක්කම අපේ ගොවිබිම්වලට ඇදුණු ලොරි තට්ටුවකට මුවහ වෙලා මාත් මේ මිනිස්සුන්ගෙ නිදහස පැතුවා. පුදුමය කියන්නෙ ඒ නිදහස අප ළඟම තිබුණත් ඒක අල්ලන්ඩ අපට වරම් නොතිබුණු එක. මාත් ඉපදුණේ 1948 අවුරුද්දෙ.
හරියටම කිව්වොත් ලංකාවට නිදහස ලැබිලා මාස හතරකට පස්සෙ. අම්මලාගෙන් පස්සෙ පරම්පරාව අපේ පරම්පරාව නිදහස් කරලා අපේ මහා සමාජයට එව්වෙ නිදහස් අධ්‍යාපනය කිව්වොත් වැරැදි නෑ. ඒ ගැන පුරෝගාමීව කැප වෙමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්මයා ලංකාව පුරා ඇතිකළ මුල්ම මධ්‍ය විද්‍යාල අතරින් අපේ ඉස්කෝලෙත් එකක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත කොට්ඨාසයේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයය කියලයි ඒක නම්වර ලැබුවෙ.
ප්‍රවීණ රංගධර කෘතහස්ත නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන්ගේ අධ්‍යාත්මය ඇතුළු හද පුරා හෝරා කීපයක් කළ කතාවේ සමුදයාර්ථය මට වැටහුණේ එලෙසය. ඒ අධ්‍යාත්මය නිහඬව කී දේ වචනවලට නැඟීම මම නොමසුරුව කළෙමි. එහෙත් ඒ මුවමඬල මට කී ඉතිරිය ද කියන්නට අවසර.
මං මුලකුරට ගියේ ගමේ ඉස්කෝලෙ. දෙහිපෙ ප්‍රාථමික මිශ්‍ර පාසලට. දුප්පත් දරුවන්ට ඉහළට නඟින හිණිමඟ එදාත් ශිෂ්‍යත්වෙ. අව්කාෂ්ටකේ පොළොවත් එක්ක ඔට්ටු වන අපේ අම්මලා හා නෑදෑයො සියල්ලටම එකම ප්‍රාර්ථනයයි තිබුණේ. ඒ ශිෂ්‍යත්වෙන් දරුවන් මොන දහිරියක් දාලා හරි පාස් කරවන්ඩ. මාත් ඒ විදියටම දෙහිපේ ප්‍රාථමිකයෙන් 1959 දි ශිෂ්‍යත්වෙ පාස් වුණා. අපේ ජීවිතය පුරා ගුලිවෙච්ච ඒ සෞන්දර්යාත්මක කලාත්මක චින්තනය පෝෂණය කරගන්ඩ තරමක් හෝ පහසුකමක් හොයාගන්නා සිහිනයක් අනෙක් අයට වගේම මටත් තිබුණා. මාත් ශි්‍යෂ්‍යත්වය පාස්වෙලා පොරමඩුල්ල සෙන්ට්‍රල් එකට ආවා.
මේ ඉස්කෝලෙ විවිධප්‍රසංග, සමිතිවල යම්බඳු ක්‍රියාකාරකම් දැකලා මටත් හැඟීමක් ආවා. සාමාන්‍යයෙන් සෙන්ට්‍රල්වලට උරුමව තිබුණු වේදිකාවක් අපේ ස්කෝලේ තිබුණා. පාසලේ අනෙකුත් ගොඩනැඟිලිවලට වඩා මගේ සිත් ගත් තැන පුංචි දවසෙදිත් ඒ වේදිකාව.
එදා ශිෂ්‍යත්වය දීමනාවට රජයෙන් ලැබුණු රුපියල් 32යි ශත 50යි. කෑම බීමත් එක්ක නේවාසිකාගාර පහසුකම ලබන්නයි ඒ මුදල ලැබුණෙ. යමක් කමක් තිබූ දරුවො අරමුදල ගෙවලා ගෙවීමේ පදනමටත් නේවාසිකාගාරගත වුණා. මං ගමේ ඉඳන් ලොකු ඇඳුම් පෙට්ටියක් කරගහගෙන නේවාසිකාගාරයට ආවත් මුල්ම දවස් ටිකේ මං ගත කළේ පුදුමාකාර දුක්බර ජීවිතයක්. වීරයා වගෙ ආවාට මොකද? හැමදාම අඬන එකයි කළේ. සාමාන්‍යයෙන් පාසල් වෙලාව පසුවුණාම ළමයින් නිදහස් වෙනවා. ඔවුන් හිතුමතේට වැඩකරනවා. එහෙත් නේවාසිකාගාරයේ ඒවා බෑ. උදේ 5ට අවදි වෙන්ඩ ඕනෑ.
5.30 ඉඳන් 6.30 වෙනකම් පාඩම් කරන්නම ඕනෑ. ඊළඟට ස්කෝලෙට යන්ඩ ඕනෑ. හවසටත් එහෙමයි. හැන්දෑවෙ පහත් හයත් අතර පමණයි ක්‍රීඩාකරන වෙලාව. ඊට පස්සෙ ආයිත් පාඩම් වැඩ. දැඩි විනය නීති පද්ධතියක් තිබුණා. වෙලාවට වැඩකිරීම, පිළිවෙළට කටයුතු කිරීම, පිරිසුදුව සිටීම මේ හැමදේම මගේ ජීවිතයට කාන්දු කළේ පාසල් නේවාසිකාගාරෙ. සපත්තු පොලිස් කරගන්ඩ, ඇඳුම් පිරිසුදුව අඳින්ඩ, කොණ්ඩය වෙලාවට කොටට කපා තියාගන්ඩ, අනවශ්‍ය වචන කතා නොකරන්ඩ, කල්ලි නොවැටෙන විදියට ළමයින් තබාගන්න අපේ කෘත්‍යාධිකාරිතුමා නිතරම මහන්සි ගත්තා. එතුමාගේ නම ඩී.වික්ටර් ඊ.පීරිස්. නුවර පළාතෙන් ආපු වැදගත් මහත්මයෙක්. අන්තර් වැඩ මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටත් එතුමා ළමයින් යොමු කළේ විශේෂ අවධානයෙන්.
අපේ ගම්වල සොකරි, කිඳුරු කමතේ පන්සල් මඩුවෙ පෙන්වන අවස්ථා තිබුණත් අපි සමාජ නාට්‍ය දැකලා තිබුණෙම නෑ. කුවේණි, ජනේලය, ඉබිකට්ට, මුහුදු පුත්තු වගෙ නාට්‍ය කොලොම්තොට පෙන්වන බව අසා තිබුණත් දැක තිබුණෙ නෑ. මං මුලින්ම නාට්‍ය උගත්තෙ පොත්වල පෙළ කියවලා. මෙහෙම යනකොට වැඩිහිටි නේවාසික ශිෂ්‍යයෙක් ගමට ගියාම ‘දේවතා එළි’ නාට්‍යය දැකලා තියෙනව. ඔහු ඒ අනුව අපේ දුප්පත් ස්ටේජ් එකේ ගුණසේන ගලප්පත්තිගේ ‘දේවතා එළි’ ළමයින් සම්බන්ධ කරගන හදලා පෙන්වන්ඩ තීන්දු කළා. ඉංග්‍රිසි සර් වික්ටර් මහත්මයත් අපට උදව් කළා. මං කළේ ‘මනෝශිල’ චරිතය.
අර සමිතියේදී අපි නොයෙක් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් කරන්ඩ ඕනෑ. එතැනදි පෙන්වූ යම්බඳු කුසලතාවක් තේරුම් ගෙනයි ගුරුතුමා මා ‘මනෝශිල’ චරිතෙට ගත්තෙ.
අපේ විදුහල්පතිතුමාත් හරිම අපූරු පුද්ගලයෙක්. එතුමා තමයි ස්කෝලෙ හුඟාක් දියුණු කළේ. කන්දක් උඩ තියෙන මේ ස්කෝලෙට කාලයකදි කන්ද උඩරට පුංචි සරසවිය කියලා නමකුත් පටබැඳුණා ඒ මහත්මයගෙ කාලෙ. එතුමා පිය සෙනෙහසින් හැම දරුවෙක් දෙසම බැලුවෙ. සුනිල් ශ්‍රියානන්ද සංගීත ගුරුතුමා මගේ ජීවිතයට එළියක් වුණා. ජන ගායනා නාද රටා ගැන මා උනන්දු කළේ එතුමාගේ සංගීත දැනුමයි.
අපේ පාසලේ සමිතිය සිංහල සාහිත්‍ය සමිතිය වශයෙන් මුල්කාලෙ තිබුණේ. ඒක රංග සභාව ලෙස වෙනස් වුණේ මගේ සභාපතිත්වයෙන්. අවුරුද්දකට සැරයක් අපි ප්‍රසංගයක් කරනවා. මේ ප්‍රසංගයේදී තමයි අපි අපේ ‘කලර්’ පෙන්වන්නෙ. අනෙක බෝයිස් හොස්ටල් ඩේ. හරිම අපූරු සුන්දර අත්දැකුම් ගෙනාපු දවස.
මේ නේවාසික දිනයේදී අපි මොකක් හරි අලුත් නිර්මාණාත්මක වැඩ කරනවා. එදා බ‍්‍රහස්පතින්දා දවසක් වුණත් මං අසනීප වෙන්නෙ නෑ. ඇයිද? දන්නවද එහෙම කීවෙ. බොහෝ වෙලාවට මං බඩ අල්ලගෙන බ්‍රහස්පතින්දාට හොස්ටල් එකේ ඉන්නවා. වැඩිහිටි ළමයින් ඇවිත් මට බඩේරුදාවට බෙහෙත් අරන් දීලා ගමට යවනවා. ඒ නිසාම සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඔක්කොම ගමේ සෙල්ලම් කරන්ඩ පුළුවන්නෙ. ඒ නිසා බොහෝ බ්‍රහස්පතින්දාට බඩේ අමාරුව. ටිකක් ගැටවරයා වෙනකොට එහෙම පැනලා ගිහින් තමයි සමහර විට නුවරටත් ඇවිත් නාට්‍ය චිත්‍රපට බැලුවෙ. අපේ ඉස්කෝලෙ නේවාසික සිසුවියන් ද වෙනම ගොඩනැඟිල්ලක ඉන්නා නිසා ‘ගර්ල්ස් හොස්ටල් ඩේ’ එකකුත් තියෙනවා. එදාට අපේ එකටත් වඩා හරිම රසවත් අත්දැකීම්.
ජයලත් පාසලේදී මිතුරන් සමඟ...
අපට වගාකරන්ඩ, උයන්ඩ පවා ගුරුවරු උගැන්නුවා. නේවාසිකාගාරයේ උඩහ පැත්තෙ ගොම පොහොර අහුලන්ඩ යන විදියට අපි පේර කඩන්ඩත් යනවා. වැඩිය පරක්කු වුණොත් කෘත්‍යාධිකාරිතුමා එනවා. මං ඉගෙනීමට මහත් දක්ෂකම් නොපෑවාට වැඩ ටික කරගන්නවා. ශිෂ්‍ය නායක වගේ තනතුරුත් තියෙනවා. කොල්ලොත් එක්ක හරි හරියට ගහගෙන කකුල් තුවාල වෙලා ගමට වෙලා ඉන්න වෙලාවක් තිබුණා. සෙනරත් සර් කියන්නෙ ඒකයි, මේකා හැම වැඩේම කරනවා. පාඩම් කරනවා, ගහගන්නවා, සෞන්දර්ය වැඩ කරනවා, රඟපානවා, ඒ වගේම මෙයා තරම් කෑම ටිකේ ලුණු ඇඹුල් බලන්ඩ දක්ෂයෙකුත් නෑ කියලා. මට අවශ්‍ය නම් අදත් උයාගන්ඩ වුණත් පුළුවන්.
එක් වතාවක් ශ්‍රියානන්ද සර් හම්බවෙන්ඩ කොළඹින් තරු ටිකක් කඩා වැටුණා. ශ්‍රියානන්ද සර් කොළඹ හේවුඩ් එකටත් ගියා කාලයක්. සංගීත විද්‍යාලයට. උපාලි අත්තනායක, නවනන්දන විජේසිංහ (අභිරූපනයට අතිදක්ෂයෙක්) අනුලා කරුණාතිලක වගේ අය. තරු අතින් අල්ලන්ඩ බෑ. ඈත ඉඳන් එළිය විඳින්ඩ පුළුවන්. ඉතින්! පේන මානයේ ඉඳලා සිහින මැව්වා. කොහොමද මේ වගේ කෙනෙක් වෙන්නෙ කියලා. මේ හීනයත් එක්ක රංග සභාවේ බොහෝ කටයුතු අපි ආසාවෙන් කළා.
ගොම පොහොර අහුලලා පැළ තවාන සකස් කරන්ඩ මාත් ලොකු වුණාම අර කන්ද නඟිනවා. වැස්සියො දිගේලි කරලා තිබුණු නිසා ගොම පොහොර හිඟ නෑ. ඒත් පේර කැඩිල්ලට වඩා ලොකු වෙනකොට මගෙ හිත ගියේ අයියලා පුංචි දවසෙ අප තනිකරලා පැන්න මාවත් හොයන්ඩ. බලනකොට ඒකෙන් රිකිල්ලගස්කඩ හන්දියට හොර පාරක් තියෙනවා. මාත් ඕකෙ රූටා ගිහින් ටික වෙලාවක් ඉඳලා ඇවිල්ලා හොරෙන්ම නේවාසිකාගාරයට යනවා.
ඒ කාලෙ හැම සඳුදාම ප්‍රින්සිපල් සෙනරත් සර්ගේ රැස්වීම. රැස්වීම පැවැත්වෙද්දි මං තවත් ළමයෙක් එක්ක මොනවදෝ කීවා. ටිකක් හයියෙන් සද්දෙ ආවා. සෙනරත් සර් දෙතුන් සීයක් ඉදිරිපිට දුන්නා මට කනේ පාරක්. ‘දේවතා එළි’ නාට්‍යයේ කලින් රඟපෑවට හැබෑවටම දේවතා එළි විතරක් නොවේ තාරකාත් මා දුටුවෙ එදා. එදා ගුරුවරයා මා හික්මවන්නට ගැසූ පහර නිසා අදත් මං විනය රකිනවා.
මං වගේම මගෙ පොඩි අක්කත් ශිෂ්‍යත්වෙ පාස්වෙලා මේ ඉස්කෝලෙ කාන්තා නේවාසිකාගාරයට ආවා. ලොකු අක්කා ගෙදර ඉඳන් ආවෙ. අම්මා හදලා එවන රසකැවිලි කොල්ලොත් එක්ක බෙදාහදාගෙන කන්ඩ අපි පුරුදු වුණා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර 100, 200 ජවන හා පිටිය ක්‍රීඩාවලට ඉදිරිපත් වෙලා මාත් නිතර දිනලා තියෙනවා. ඇත්තටම මං ක්‍රීඩකයෙක් වෙයි කියලයි ගුරුවරුන් හිතුවෙ.
එක් වතාවක් ‘ගර්ල්ස් හොස්ටල් ඩේ’ එකට අපට ආරාධනා කරපු වෙලාවෙ හරි වැඩක් වුණා. සාමාන්‍යයෙන් එදාට ප්‍රණීත ආහාර බෙදන්නෙ ගැහැනු ළමයි. ඒ අය එදාට උයන්නෙ. අපේ හොස්ටල් ඩේ එකට අපි. එක මුඛරි ළමයෙක් දවසක් කියලා තිබුණා, අද අපි කොල්ලන්ට බලුකපුටු දානයක් දෙන්ඩ ලෑස්ති කළා කියලා. මේක දෙබරයට ගල් ගැසීමක්ම වුණා. මේකට කොල්ලො තරහ වෙලා කෑම වර්ජනය කළා. කොච්චර ගුරුවරු කීවත් පිරිමි ළමයි තමන්ගෙ අභිමානෙ ගැන හිතලා කන්ඩ ගියේම නෑ. මට අක්කා ගැන දුකත් හිතුණා.
අපට උඩරට නැටුම් ඉගැන්වුවෙ අමුණුගම ගුණසේන ගුරුතුමා. පසු කාලයක ඉස්කොලෙට ආපු ජී.බී.රාසිංගොල්ල විදුහල්පතිතුමාත් වේරගම සර් ආදීන් ද මතකයට නැඟෙනවා. වේරගම සර් ලී වැඩවලදි අපිට කැටයම්වල චමත්කාරය මවා පෙන්වූ කෙනෙක්. රේණුකා හේරත් හිටපු ඇමැතිනී, එස්.බී.දිසානායක ඇමැතිතුමා අපේ පාසලේමයි උගත්තේ. ඩොක්ටර් අරංකේබණ්ඩාර වගෙ අය තවත් ගොඩක් හිටියා. 1966 දි අපේ ස්කොලෙන් සරසවියට පාස් වෙච්චි 18 දෙනා අතර මාත් හිටියා. නේවාසිකාගාරෙ නීති නිසා නාට්‍ය බලන්ඩ ඈත යන්න බැරි වුණත් මං නුවරදි චිත්‍රපට නම් ඕනෑතරම් බලා තිබෙනවා. ඒ කාලෙ අපේ සිනමා වීරයා ගාමිණී ෆොන්සේකා.
පේරාදෙණිය කැම්පස් එකේදි පළමු වසරෙදිම මං චිත්‍රපටයක් රූගත කරනවා දැක්කා. ඒ හන්තානේ කතාව. ටෝනි රණසිංහ, මගේ සිත්ගත් නළුවා. ඒ කාලෙ කොල්ලො අතර ‘ටෝනි කට්’, ‘ටෝනි වෝක්’ ජනප්‍රිය වෙලා තිබුණා. පසුකාලයක ‘දෙලොවක් අතර’, ‘රන්සළු’ එනකොට ඒක වසංගතයක් වගෙ කැම්පස් එක පුරාම පැතිරුණා.
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අතරට මා පිවිසෙන්නෙ අර සිහිනය දිනාගන්ඩ. මං කොහොම හරි ඒ සිහිනය දිගේ ගමන් කළා. ඒත් ඒකට අවශ්‍ය විනය, වෙලාවට වැඩ කිරීම, දරා ගැනීම, බාධක ජයගැනීම මේ හැමදේම මට ආවෙ ස්කෝලෙන්. ඒ කාලෙ නුවර ඇසළ පෙරහර හඟුරන්කෙත පෙරහර, පොත්ගුල් විහාරය, අප අත්හරින්නේ නෑ. ඊටත් වඩා ඒ කාලෙට පොත්ගුල් විහාරය ළඟ සවිකරන ටෙන්ට් එකේ මාස 3ක් චිත්‍රපට පෙන්වනවා. මං හිතන්නෙ ස්කෝලෙ සරසවි පිවිසුම් පෙළ කාලෙත් අප ‘දෛව විපාකය’ ‘කැලෑහඳ’ වගේ ඒවා බැලුවෙ ඒ ටෙන්ට් එක යට.
මොන තරම් ජය කෙහෙළි නැංවුවත් අපිට පාසල් මතකය තරම් සුන්දර දෙයක් නෑ. අද අවුරුදු හැට පහකට ළංවෙලත් ඒ මතකය මා ජීවත් කරවනවා. පසුකාලයක සත්‍යය හා රමණීයත්වය පිළිබඳ පාඩම කලා ලෝකෙ නොයෙක් ඉසව්වලින් උගත්තත් පොරමඩුල්ල ස්කෝලෙ මට උගැන්වූ දේ ප්‍රබලයි. දැනට අවුරුදු 10කට පෙරත් අපි ආදි ශිෂ්‍යයො ටිකක් විනෝදෙට ඉස්කෝලෙට ගිහින් තරගයට දිව්වා. මා පුංචි කාලෙ දක්ෂ මීටර 100 ධාවකයෙක්. ඒත් එදා මම දිනාගත්තේ තුන්වැනි ස්ථානය. දෙවැනි ස්ථානය ගත්තෙ අද විදුලි ඉංජිනේරුවෙක් වන මුරමුදලිගේ. පළමුවැනි ස්ථානය දිනාගත්තෙ කවුද දන්නවද? එස්.බී.දිසානායක මැතිතුමා. තරගයට කී දෙනෙක් සහභාගි වුණාද? මම හදිසියෙන් මනෝගෙන් ඇසුවෙමි. පුදුමය කියන්නේ සහභාගි වුණේ 3 දෙනයි. මං තුන්වැන්නා. ඔහු හිනැහෙමින් කීවේය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි