Friday, June 12, 2015

ළමයින් රකින්නන්ගේ අවධානය පිණිසයි

 මරණ දණ්ඩනය නොහොත් එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරන්නැයි සමාජය වරින්වර යෝජනා කරයි. මෑත කාලයේ එම යෝජනාව නැවත පණ ලැබුවේ ප්‍රධාන අපරාධ දෙකක් අරභයාය. ඉන් එකක් නම් මත් ජාවාරමයි. ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ අනෙක් අපරාධ ලෙස නම් කෙරිණි.
මෙකී අපරාධකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කිරීම වගකිවයුතු අංශවල මෙන්ම මුළුමහත් සමාජයේම වගකීමය. ඒ අතරතුර කළ යුතු වැදගත්ම කාර්යයට තවමත් සමාජය හෝ වගකිව යුතු අංශ නිසි අවධානය යොමු කර නැති වග ඒ පිළිබඳ විමසන කල පැහැදිලි වන කරුණකි.
දරුවන් හෝ ස්ත්‍රීන් මෙකී අපරාධයට ‍ගොදුරු නොවන ලෙස රැකබලා ගන්නේ කෙසේද යන්න මෙහි ඇති වැදගත්ම ගැටලුවය. එකී ගැටලුව විසඳීම අරභයා ආණ්ඩුව විවිධ පිළියම් ‍යොදා ඇත. එහෙත් ඒවායෙහි විධිමත් භාවය හා ප්‍රායෝගිකත්වය පිළිබඳ ගැටලු පවතී.
විශේෂයෙන්ම මෙරට දරුවන්ට රැකවරණය හා ආරක්ෂාව සැපයීම, ඔවුන්ගේ පැවැත්ම හා සංවර්ධනය යනාදී කරුණු රැසක් සම්බන්ධව රාජකාරි කරනු ලබන ආයතන රැසකි. ඒ අතර ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ප්‍රමුඛතම ආයතනය වේ. ඒ යටතේ ක්‍රියාත්මක වන තවත් ආයතන තුනකි. එනම් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂණ අධිකාරිය හා ළමා ලේකම් කාර්යාලයයි. ඊට අමතරව ද දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතන රැසකි. පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශ, අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජ සේවා අමාත්‍යාංශය, කාන්තා කටයුතු අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය යනාදී ප්‍රමුඛතම ආයතන රැසක් ද රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ද දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරයි. ලෝක ළමා දිනය ලෝක ළමා ප්‍රඥප්තිය යනාදී ජාත්‍යන්තර ළමා කටයුතුවලට මෙකී ආයතන දෙන දායකත්වය ද කැපී පෙනේ. එහෙත් අපරාධකරුට නීතිය ක්‍රියාත්මක කිරීම, දඬුවම් දීම, වින්දිතයාට උපරිම සාධාරණය ඉටුකිරීම පිළිබඳ මෙන්ම එකී අපරාධ වළක්වා ගැනීම පිළිබඳ පුළුල් කථිකාවක් ගොඩනැඟීම අද දවසේ අත්‍යවශ්‍ය කාරණාවකි.
එහිදී පෙර කී ආයතන, ජනමාධ්‍යයේ හා සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත. එසේ වුවද ඒ වගකීමෙන් මිදීමට මාධ්‍යයට හෝ සමාජයට නුපුළුවන. මාධ්‍ය හා සමාජය එකී කාරණාවට සමාන පංගුකාරයන් විය යුතුවා සේම අදාළ ආයතනවල කාර්යය භාරය නිරන්තරයෙන් ප්‍රශ්න කරමින් එහි කාර්ය භාරය සක්‍රීය කිරීමට කටයුතු කළ යුතුය.
ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල කාර්ය භාරය විමසන කළ පෙනී යන්නේ දරුවන්ට රැකවරණය මෙන්ම දරුවන්ගේ සංවර්ධනය උදෙසා එම ආයතනවල කාර්ය භාරය වුවද සෑහෙන බවය. එහෙත් විධිමත් හා කාර්යක්ෂම ලෙස සමස්ත ජනගහනය වෙතම එම සේවාවන් ලැබේද යන්න ගැටලුවකි. එමෙන්ම වෙනත් ආයතනවල ප්‍රශ්නකාරී පිළිවෙත් නිසා ද ඊට ඇතැම් බාධා ඇතිවන බව පෙනේ.
1979 වසරේදී සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ආරම්භ වූ ළමා ලේකම් කාර්යාලයට මේ වන විට වසර තිස් හයකි. මෙකී තිස් හය වසර ඇතුළත ළමා ලේකම් කාර්යාලය දරුවන් වෙනුවෙන් ඉලක්කගත කළ වැඩසටහන් මොනවාදැයි හරස්කඩ විමසා සිටියේ එහි අධ්‍යක්ෂිකා චන්දිමා සිගේරා මහත්මියගෙනි. ඇය පවසන පරිදි වයස බිංදුවේ සිට වසර පහක් යනතුරු දරුවා සම්බන්ධ වගකීම් රාශියක් පැවරී ඇත්තේ මේ ආයතනයටය.
ළමා ලේකම් කාර්යාලයේ ප්‍රධාන වගකීම වන්නේ ළමා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම, යාවත්කාලීන කිරීම හා ක්‍රියාත්මක කිරීමය. දරුවන් සම්බන්ධයෙන් මවුපියන්, වැඩිහිටියන් හා පෙර පාසල් ගුරුවරුන් දැනුම්වත් කිරීම, මාර්ගෝපදේශන කටයුතු මෙන්ම දරුවන් වෙනුවෙන් සංවර්ධන ප්‍රමිතීන් සකස් කිරීම තවත් කටයුත්තකි. වසර පහකට වරක් මුල් ළමාවිය පිළිබඳ සංඝණන සමීක්ෂණයක් කර ‍වාර්තාවක් සැකසීම තවත් කාර්යය භාරයකි. දරුවන්ට අවශ්‍ය පෙර පාසල් උපකරණ ලබාදීම පෙර පාසල් ඉදිකිරීමට අවශ්‍ය විවිධ උපකාර ලබාදීම ද දරුවන්ට කිරි වීදුරුවක් දීමට කටයුතු කිරීම ද ඒ අතර ඇති තවත් සේවාවන්ය. ගර්භණී මවුවරුන්ට පෝෂණ දීමනාව ලබාදීම ළමා ලේකම් කාර්යාලයට පැවරුණු අලුත් කාර්යයයි.
මෙකී කාරණා ඉටුකිරීම පිණිස ළමා ලේකම් කාර්යාලයේ නිලධාරි ජාලයක් ලංකාව පුරා විසිරී සිටිති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එක් නිලධරයකු බැගින් ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට එක් නිලධාරියකු බැගින් ද සිටින අතර ඔවුන්ගේ සහයට පළාත් සභාවෙන් ද නිලධාරියකු පත් කර සිටී. ළමුන්ගේ මුල් ළමාවිය ආරක්ෂාව සංවර්ධනය වෙනුවෙන් රට පුරා ළමා ලේකම් කාර්යාල‍ෙයන් පමණක් අනුයුක්ත කර ඇති නිලධාරීන් ගණන 297 කි.
මේ නිලධාරීන් පිරිස වසරකට මවුවරුන් හා ගුරුවරුන් කෙතරම් සංඛ්‍යාවක් දැනුම්වත් කිරීමට සමත්ද? එම ප්‍රශ්නය අප යොමු කළේ ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය වෙතය.
“වසරකට මවුවරු 33,500 කට පමණ දරුවන් ගැන දැනුම්වත් කිරීම් කරනවා. ප්‍රතිශතයක් හැටියට සියයට 5 ත් 10 ත් අතර පිරිසකට තමයි අපට මේ දැනුම්වත් කිරීම කළ හැකි වන්නේ. ඉතිරි සීයට 90 ක් මග හැරෙනවා. පෙර පාසල් ගුරුවරුන් දැනුම්වත් කිරීමත් එහෙමයි. අපට වසරකට රුපියල් මිලියන 450 ක් ලැබෙනවා. මේ මුදලින් අප සියලුම කටයුතු කරන්න ඕනෙ. මීට වඩා ප්‍රතිපාදන ලැබුණොත් මීට වඩා සේවයක් කරන්න පුළුවන් වෙයි.”
‍ළමා ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ වගකීම මවුවරුන් සියයට දහයකට හෝ නිසි අයුරින් ලැබෙනවාද යන්න පිළිබඳව ඒ ගැන ලබාගන්නා සහතිකය කුමක්ද යන්න ගැනත් අපි ඇයගෙන් විමසුවෙමු.
දිස්ත්‍රික් ලේකම් නිලධාරීන් ඉදිරිපත් කරන වාර්තා මඟින් ඔවුන්ගේ සේවය වාර්තා වන බවයි ඇය පැවසුවේ.
නිලධාරීන්ගේ ඇගයීම් වාර්තා මත පමණක් ඔවුන්ගේ සේවය ගැන සෑහීමකට පත්විය හැකිද යන්න ගැටලුවකි. විවෘත අර්ථ ක්‍රමයක් යටතේ බිහිවූ එම ආයතනයේ පරමාර්ථය උතුම්ය. එහෙත් එහි ප්‍රතිලාභ ගම් මට්ටමට බෙදී යන කල එහි උපරිම කාර්ය භාරය ගැන සතුටට පත්විය හැකි ද යන්න ගැටලුවකි.
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව ද අධිකාරිය ද දරුවන් සම්බන්ධ ගැටලුකාරී අවස්ථාවලදී බොහෝ විට ‍විවේචනයට ලක්වන ආයතනයකි.
1956 දී බිහිවූ මේ ආයතනයේ දැක්ම වනුයේ ළමුන්ගේ අයිතීන් තහවුරු කරමින් ඔවුනට සංවේදී වූ හිතකර සමාජයක් බිහිකිරීමය. ළමුන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට හා ප්‍රමිතීන්වලට අනුකූලව අනාථ, අත්හල හා අසරණ ළමයින් ද නීතිමය ගැටලුවලට බඳුන් වූ ළමුන් ද සුවිශේෂී කර ගනිමින් සියලු ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ට සමාන අවස්ථා උදාකර දීම මේ ආයතනයේ මෙහෙවර හැටියට සඳහන් වෙයි.
මේ මෙහෙවරෙහි ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ අප විමසා සිටියේ ප්‍රායෝගිකව එම කටයුතුවල නිරත වී සිටින වසර ගණනාවක අත්දැකීම් ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අනුයුක්තව කටයුතු කරන නිලධාරි මහතකුගෙනි. ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ලෙස සේවයේ නිරත ඔහු පවසා සිටි එක් වැදගත් කරුණක් වූයේ ළමා හිමිකම් පිළිබඳ දරුවන් හා මවුපියන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අකමැතිම පිරිස වන්නේ ගුරුවරුන් බවය. සුළු ප්‍රතිශතයක් ඒ ගැන පැහැදීමෙන් කටයුතු කළද බහුතර ප්‍රතිශතය තමන් හෝ ඒ පිළිබඳ දැනුම්වත් වීමට අකමැති බව ද ඔහු කියා සිටියේය.
හැඳි නොගා හදන හොද්දත්, දඬුවම් නොකර හදන දරුවත් පිළිබඳ පැරණි කියමනේ සිටිමින් ඔවුහු ඒ දැනුවත් වීම හෝ කිරීම ප්‍රතික්ෂේප කරති. සමාජය ගොඩනැඟීමට සමාජයේ පෙරගමන්කරුවන් ලෙස මහත් වගකීම් සම්භාරයක් පැවරී ඇති ගුරුවරුන්ගේ මෙකී හැසිරීම පැහැදිලි ලෙස රටක අවාසනාවකි. මන්දයත් ගුරුවරු යනු ළමුන්ට පමණක් නොව මවුපියන් ද ඇතුළු මුළුමහත් සමාජයටම බලපෑම් කළ හැකි ප්‍රබල කණ්ඩායමක් වන බැවිනි.
ළමා අපයෝජන වැළැක්වීමේදී ද තමන් මහත් දුෂ්කරතාවට පත්වෙන බවක් ද ඔහු පැවසුවේය. වසර 18 තෙක් දැරියකට විවාහ විය නොහැකි වුවද ඊට පෙර නීත්‍යානුකූල නොවන ලෙස විවාහ සබඳතා පැවැත්වූ වයස 16 ට වැඩි දැරියන් සම්බන්ධයෙන් පවතින නීති, ගැටලු සහගත බව ඔහු පැවසීය.
“වසර 18 අඩු ගැහැනු දරුවන් නීත්‍යානුකූල නොවන විවාහවලට එළැඹුණාම ඔවුන්ට විවාහ වීම තහනම්. ඒ වගේම පාසල් යාමටත් තහනම්. එහෙත් ලිංගික සබඳතා පැවැත්වීමට තහනමක් නෑ. ඒ වෙනුවෙන් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ඇයට වරස 18 වන තෙක් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීමට උපදෙස් දෙනවා. එමෙන්ම ඒ පෙති වර්ගත් ලබා දෙනවා. එය නීත්‍යානුකූලයි. විවාහ වීමට අවසර නැති දරුවකට ලිංගික කටයුතුවල හැසිරීම අනුමත කිරීමෙන් ළමා අපයෝජන නැවැත්වීමේ කටයුතුවලට සිදුවන්නේ බාධාවක්. අනෙක් පැත්තෙන් බොහෝ විට ඔවුන්ගේ සැමියන් ඔවුන්ට වසර 18 වන විට ඔවුන්ව මඟහැර ගිහින්. ඇතැම් විට ඔවුන්ට දරුවනුත් සිටිනවා.
එලෙස සිය අදහස් හරස්කඩට දැක්වූයේ නැ‍ඟෙනහිර පළාත නියෝජනය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධරයෙකි. ඔහු පවසන පරිදි උප්පැන්න සහතිකයේ සිට වයස අවුරුදු 18 තෙක් සියලුම අයිතිවාසිකම් කඩවීම්, ළමුන්ගේ ප්‍රවර්ධන කටයුතු, ළමා අයිතීන් ගැන දරුවන්, මවුපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන් දැනුම්වත් කිරීම, ඒ පිළිබඳ වූ ග්‍රාමීය ළමාරක්ෂක කමිටු පිහිටුවීම හා ඒවා ක්‍රියාත්මක කිරීම ආදී වගකීම් රාශියක් මෙකී නිලධාරීන් මඟින් ඉටුවෙයි.
එහිදී ග්‍රාමීය ළමාරක්ෂක කමිටු ඉතා වැදගත් යැයි හැ‍ඟෙන්නේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එක් ගමකින් නියෝජිතයන් 25 දෙනකු පමණ ඊට ඇතුළත් බැවිනි. ඒ අතර මෙකී නිලධරයා ද දරුවන් ශ්‍රම සූරාකෑමට ලක්ව ඇතිද යන්න පිළිබඳ සොයා බැලීමට හා ඒ වෙනුවෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධරයා ද ඇතුළත්ය. ඒ හැරුණුවිට ග්‍රාම නිලධාරි, සමාදාන විනිශ්චයකරුවකු, පාසලේ විදුහල්පති, හිමිවරුන් හා පූජකවරුන් වැඩිහිටියන් ඇතුළු 25 දෙනෙක් පමණ මෙකී කමිටුව නියෝජනය කරති. ඉහත නිලධරියා පැවසූ ආකාරයට මේ රැස්වීම්වලට විදුහල්පතිවරුන් කැඳවා ගැනීම ඉතා අසීරු ය.
මේ තොරතුරු අනුව බලන කල ළමා ආරක්ෂාව පිළිබඳ වගකීම් දැරීම සඳහා නිලධාරීන් පිරිසක් ආණ්ඩුවෙන් පත්කර සිටිති. එහෙත් නිරන්තරයෙන් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වන්නේ දරුවන් සම්බන්ධ අභාග්‍යසම්පන්න තොරතුරු ය.
දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මවුපියන්ගේ වගකීම කෙබඳු ද යන ගැටලුවට ඉහත නිලධරයා ලබා දුන් පිළිතුරු මෙසේය.
“මවුපියවරු කොටසක් හැමදාම සිය දරුවන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙනවා. එහෙත් එහෙම කරන්නේ සීමිත පිරිසක්. විශේෂයෙන්ම දිළිඳු පවුල්වල මවුපියන් බහුතරයක් දරුවන් ගැන කිසිදු තැකීමක් කරන්නේ නෑ. ඔවුන්ට මොන තරම් පැහැදිලි කළත් ඔවුන් හිතන්නේ එදා දවස ගැන විතරමයි.”
මෙකී ප්‍රකාශය සමඟ හෙළිවන සමාජ තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත. දරිද්‍රතාවය සමඟ දරුවන්ගේ ආරක්ෂාව, සංවර්ධනය හා අයිතීන් පිළිබඳ පරමාර්ථ හා අරමුණු කඩාකප්පල් වන්නේ එලෙසය.
ළමුන්ගේ ආරක්ෂාව එතැනින් කෙළවර වන්නේ නැත. 1998 වසරේදී අංක 50 ජාතික ළමාරක්ෂක අධිකාරි පනත යටතේ ජාතික ළමාරක්ෂක අධිකාරිය පිහිටුවන්නේ ද ළමා ආරක්ෂාව උදෙසා ය. ඒ ළමා අපයෝජන වළක්වා ගැනීම, වින්දිත ළමයා නැවත සමාජගත කිරීම, ඔවුන්ගේ අනාගතය නියාමනය කිරීම යනාදී අරමුණු ඉටුකර ගැනීම සඳහා ය. ළමාරක්ෂක අධිකාරිය ද, කාන්තා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය හා අධිකරණය යනාදී ආයතන රාශියක් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. එහිදී ළමාරක්ෂක අධිකාරිය සිය ළමාරක්ෂක නිලධාරීන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ද එකී අනුයුක්ත කර ඇත. සියලුම පොලිසිවල පිහිටුවා ඇති ළමා හා කාන්තා කටයුතු කාර්යාංශ සමඟ ද සම්බන්ධ වෙමින් ඔවුහු ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරති.
පෙර පාසල් ගුරුවරුන්, ගුරුවරුන් හා මවුපියන් ද, දරුවන් ද ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම මෙහි ඇති එක් වැඩසටහනකි. එහිදී පාසල් කමිටු පිහිටුවීම එක් පියවරක් වුවද සියලුම පාසල්වල මෙකී කමිටු පිහිටුවා නැත.
මේ අනුව බලන කල ගම් මට්ටමේ සිට ජනතා පරමාධිපත්‍ය නියෝජනය වන පාර්ලිමේන්තුව දක්වා ළමුන් වෙනුවෙන් කරන මෙහෙය අතිවිශාල බව පෙනී යයි. ඒ වෙනුවෙන් සෘජුව හා වක්‍රව සම්බන්ධ වෙන ආයතන රැසකි. නිලධාරීන් සංඛ්‍යාව ද අති මහත් ය. කමිටු, රැස්වීම් හා උත්සවවලද අවසානයක් නැත. එහෙත් දරුවෝ නිරන්තරයෙන් අනාරක්ෂිත වෙති. පීඩනයට හා හිංසනයට ලක්වෙති. සමාජ අසහනයේ ගොදුරු බවට පත්වෙති.
මෙකී අර්බුදයට එක් ආයතනයකට හෝ එක් නිලධාරින් පිරිසකට හෝ වගකීම පවරා නිහඬ වීමට හෝ අත සෝදාගැනීමට සමාජයේ කිසිම ක්ෂේත්‍රයකට නොහැකිය. සියලුම සමාජ ස්ථරයන් හා ක්ෂේත්‍ර දරුවන්ගේ අයිතීන්, ආරක්ෂාව හා සංවර්ධනයේ වගකීම භාරගත යුතුය. විශේෂයෙන්ම රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුය. දරුවන්ගේ පොත් බෑගය තුළ පිරී ඇති බරෙහි දැනුම, දරුවන්ගේ ජීවිත අවබෝධයට හා ශාස්ත්‍රීය දැනුමට කෙතරම් ඉවහල් වන්නේ ද යන්න මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එකම විෂය කරුණු පිළිබඳ පෙළපොත් කීපයකින් එකම සටහන් ඇසුරින් දැනුම දෙන අධ්‍යාපන ක්‍රමයකි අපට ඇත්තේ. එකම ප්‍රශ්න ඇති ප්‍රශ්න පත්‍ර රැසකි. එහෙත් ලිංගික අධ්‍යාපනය විධිමත් ලෙස දරුවාට හඳුන්වා දෙන විෂය නිර්දේශයක් කුමන ග්‍රන්ථයක හෝ නැත. සිය ආරක්ෂාව හා අයිතීන් පිළිබඳ වඩා හොඳින් දැනුම්වත් වී සිටිය යුත්තේ දරුවාය. එහෙත් එකී දැනුම්වත් කිරීම නැත්තේ ද දරුවාටය. එබැවින් අදාළ ආයතන හා අධ්‍යාපන විශේෂඥයෝ දැනුමෙන් හා ආකල්පවලින් දරුවන් සන්නද්ධ කිරීමට දැන්වත් අවධානය යොමු කිරීම කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනව ද මෙකී ගැටලුවට ලබාදිය හැකි ප්‍රධානතම විසඳුමකි.


http://www.dinamina.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි