උතුරේ දියණියක් ඝාතනයට ලක්වූවාය. පුරවැසියෝ වීදි බැස්සාහ. දේශපාලකයෝ අවස්ථාවාදී වූහ. සිවිල් සංවිධාන සාමාජිකයෝ පුරුදු පරිදි සිය හඬ අවදි කළහ. ජනමාධ්‍ය එය සිය ප්‍රධාන ශීර්ෂ පාඨය කර ගත්තේය. ඒ අතර රට කැළඹූ කොටකෙතන ඝාතනයේ නඩු තීන්දුව ද ප්‍රකාශයට පත්විය.
එම තීන්දුවෙන් චුදිතයෝ නිදොස් වී නිදහස් වූහ. එකී නිදහස්වීම අලුත් ගැටලු කීපයක් මතු කර තිබේ.
එසේ නම් මෙතෙක් කාලයක් පොලිසියත්, පැමිණිලිකරුවනුත්, ඔවුන්ගේ නීතිඥයනුත් හඹා ගොස් ඇත්තේ නිර්දෝෂී පුද්ගලයන් පසුපසද? එය එසේ නම් සැබෑ ඝාතකයන් සැඟව සිටින්නේ නීතියේ ඇස්වලට වැලි ගසමින් ද? ඔවුන් සෙවීමට පොලිසිය යළි ක්‍රියාත්මක වන්නේද? නැතිනම් මේ තීන්දුවෙන් කොටකෙතන ඝාතන සිදුවීම කෙළවර වන්නේද?
කොටකෙතන ඝාතනයේ නඩු තීන්දුව සමඟ එවැනි ගැටලු මතුවීම ඉතා සාධාරණය. එහෙත් මේ ලිපියේ අරමුණ එකී ගැටලුවලට විසැඳුම් සෙවීම නොවේ. එවැනි ඝාතන නොහොත් ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ සිදුවීමෙහි ප්‍රාථමික අවස්ථාව පිළිබඳ යම්කිසි කරුණු සොයා බැලීමකි.
මෙවැනි සිදුවීමක් වූ වහාම ජන සමාජයද ජනමාධ්‍යය ද ඊළඟට සිය විමැසුම් ඇස හෙළනුයේ නීතිය දෙසට ය. පොලිසිය හා අධිකරණය ඊට ලබා දෙන සාධාරණ තීන්දුව හා විසැඳුම දෙසටය. එකී ක්‍රියාපිළිවෙත හා තීන්දුව පිළිබඳ වැඩි වශයෙන් ඇත්තේ විවේචන ය. දෝෂාරෝපණ ය. එහෙත් වරදකරුවන්ට ලැබෙන දඬුවම දෙස දත් නියවමින් බලා සිටිනවාට වඩා වැරැදි වැළැක්වීමේ රාජකාරි පැවරී ඇති නිලධාරින් සම්බන්ධයෙන් සමාජයේ ඇති මතය කුමක්ද? අවම තරමේ එවැනි පිරිසක් රාජකාරිවල නියැලෙන බවට හෝ ජනතාව දැනුම්වත්ද? ජනතාව තබා එකී නිලධරයන් භාරව සිටින ප්‍රධානියා වන ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවම්වත්ද? තමාට සිටින නිලධාරින් සංඛ්‍යාව ගැන හෝ ඔවුන්ගේ රාජකාරිය ගැන ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත්ද?
ගමක ජනතාව තමන් වෙනුවෙන් සිටින නිලධරයන් ලෙස හඳුනාගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද? ග්‍රාම සේවා නිලධාරි, සමෘද්ධි නිලධාරි, ගොවිජන නිලධාරි යනාදී අතලොස්සක් වූ නිලධාරින් පිරිසක් හැරුණු විට සෙසු නිලධාරින් ගැන ජනතාවට හැඟීමක් නැත. එකී නිලධාරින්ට ජනතාව ගැන හැඟීමක්ද නැත. පහත දැක්වෙන්නේ එකී නිලධාරින් කිහිපදෙනෙකුගේ තනතුරු පමණි.
පවුල් සෞඛ්‍ය නිලධාරිනි
පුර්ව ළමාවිය සංවර්ධන නිලධාරි
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි
තරුණ සේවා කටයුතු නිලධාරි
වනිතා කටයුතු නිලධාරි
මානව සම්පත් නිලධාරි
සමාජ සේවා නිලධාරි
ජාතික ඒකාබද්ධතා නිලධාරි
මේ ආදී වශයෙන් තනතුරු තිහකට අධික සංඛ්‍යාවක් එක් ගමක් වෙනුවෙන් රාජකාරි ඉටුකරන බව එක් ප්‍රාදේශීය ලේකම්වරයකු අප හා පවසා සිටියේය. නිශ්චිත වශයෙන්ම සිය නිලධාරි සංඛ්‍යාව ගැන පැවසීමට ඔහු එෙවලෙහි දැනුම්වත් වී සිටියේ නැත.
කෙසේ වූවද ඔහු කියා සිටියේ ගම සම්බන්ධයෙන් වු ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉටුනොවන බවය. බලපෑම් මඟින් එකී කාර්යයන් ඉටුකරගත නොහැකි බවත් අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනස්වීම බවත් ඔහු කියා සිටියේය. සිය තනතුර වෙනුවෙන් මාසිකව වැටුප ලබා ගන්නා මෙකී නිලධාරින්ගේ ආකල්පමය වෙනස ඇති කරන්නේ කවුද? කවදාද?
ගමක් වෙනුවෙන් තිහකට අධික නිලධාරින් පිරිසක් සේවයට අනුයුක්ත කර තිබුණද ඉහත සඳහන් කළ නිලධාරින් කිහිපදෙනාට වුවද ළමා අපයෝජන ස්ත්‍රී දූෂණ අවම කිරීම උදෙසා සක්‍රීයව දායකවීමේ හැකියාව ඇත. දරුවන් හා ස්ත්‍රීන් ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට ඔවුන්ට තරම් අවස්ථාව ලැබෙන පිරිසක් වෙන නැති තරම් ය. එහෙත් මෙවැන්නෝ ගමකට අනුයුක්ත කර තිබේද යන්න පිළිබඳ හෝ ජනතාව දැනුම්වත් වී නොතිබීම ඛේදනීය තත්ත්වයකි.
ළමා අපයෝජන හා ස්ත්‍රි දූෂණ සම්බන්ධයෙන් මාධ්‍යයේ හැසිරීම කෙබඳුද යන්න විමසා බැලීම එකී නිලධාරින් පිළිබඳ විමසා බැලීම හා සමාන වැදගත්කමක් ඇත්තේය. මේ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය අදහස් දැක්වූයේ මෙසේය.
“ළමා අපයෝජනයකදී හෝ ස්ත්‍රී දූෂණයකදී හෝ එවැනි අවස්ථාවක සිදුවන ඝාතනයක දී වර්තමාන ජනමාධ්‍ය හැසිරෙන ආකාරය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වන්න බැහැ. මීට පෙර ඉන්දියාවේ වෛද්‍ය සිසුවියක සමූහ දුෂණයට ලක්ව මියගියා. එහිදී ඉන්දියාවේ ජනමාධ්‍යය හැසිරුණේ දැඩි වගකීමෙන්. ඉන්දීය ජනමාධ්‍ය සියල්ල ජනමාධ්‍ය ආචාර ධර්ම ඉහළින්ම සුරැකි අවස්ථාවක් ලෙසයි මා ඒ අවස්ථාව දකින්නේ. ඔවුන් කිසිවිටෙක ඒ සිසුවියගේ සැබෑ නම භාවිතා කළේ නෑ. ඡායාරූපය පළ කළේ නෑ. මවුපියන්ගේ හෝ ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ ඡායාරූප පළ කළේ නෑ. අධිකරණ කටයුතු පවා ඔවුන් වාර්තා කළේ දැඩි හික්මීමකින්. ඉන්දියානු ජනමාධ්‍ය වාර්තාකරණයෙන් කිසිවිටෙක එම සිසුවිය නැවත අගතියට පත්වුණේ නැහැ.
එහෙත් පසුගියදා සමූහ දූෂණයකින් ඝාතනය වූ උතුරේ සිසුවියට කළ හැකි උපරිම නිග්‍රහය අපේ රටේ ජනමාධ්‍ය විසින් කරනු ලැබිණ. ඇයගේ මරණය හා අධිකරණ වාර්තා සම්බන්ධයෙන් පළ කර තිබූ වාර්තාවලින් පැහැදිලි වූයේ උගත්, ශිෂ්ටසම්පන්න මාධ්‍යවේදීන් හා මාධ්‍ය ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ නැති බවයි. මේ සිදුවීමේදී ඇතැම් තොරතුරුවල කර තිබූ ශීර්ෂපාඨ පවා අතිශයින් ග්‍රාම්‍යයය. මෙරට මාධ්‍ය හැසිරුණේ මේ භාවිතා කරනුයේ වල්බූරු නිදහසක් දැයි සිතෙන තරමට මිය ගිය සිසුවියට නැවත නැවත අපහාස කරමිනි.
එසේම මේ සිද්ධිය දේශපාලන සංසිද්ධියක් දක්වා දුර දිග ගියේය. එකී සමාජ ක්‍රියාවලිය ඇතුළත නැවත ජාතිවාදය කරා ගෙන යෑමේ උත්සාහයකුත් තිබිණ. මේ සියලු කාරණා හෙළා දැකිය යුතුය. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් කියමින් සිටියේ ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. ඔහු පවසා සිටියේ දුර්ජන සමාජ කණ්ඩායමක් හෝ පුද්ගලයකු අතින් විපතට පත්වන දරුවකුගේ හෝ කාන්තාවකගේ මානව අයිතීන් නැවත සිය දහස් වාරයක් ජනමාධ්‍ය විසින් කඩකරනු ලබන බවය.
ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන පිළිබඳ මෑතකාලීන වාර්තා දෙස බලන කල සැබැවින්ම මෙකී විවේචනයේ දෝෂයක් නැතැයි සිතේ. මේ සිදුවීම් පිටුදැකීමේ අරමුණ උදෙසාම ලියන ඇතැම් ලිපි මාලාවන් පවා සකස් වී ඇත්තේ විටෙක තවත් ස්ත්‍රී දුෂණයකට රුකුල් දෙන අයුරිනි.
ජනමාධ්‍යයට වර්තමානයේ ඇත්තේ දැඩි තරගකාරිත්වයක් බව සැබෑවකි. එහෙත් එකී තරගකාරිත්වය ජය ගත යුත්තේ සමාජ වගකීම් ආරක්ෂා කර ගනිමින් මිස තවදුරටත් සමාජ ව්‍යසනයට මඟපාදමින් නොවේ.
මෙහිදී අවධානය යොමු කළ අනෙක් කරුණ වූයේ වින්දිතයන් හා චූදිතයන්ගේ ස්වභාවයයි. මේ සම්බන්ධයෙන් හරස්කඩට අදහස් දක්වා සිටි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී නිරංජි විජේවර්ධන මහත්මිය හා එම විශ්වවිද්‍යාලයේම අපරාධ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසා සිටියේ අපරාධ සිදුකරන බහුතරය වින්දිතයා හොඳින් දන්නා හඳුනන්නකු බවය. අමරසිංහ මහතා පවසා සිටියේ සීයට අනූනවයක්ම දරුවන් අතවරයට පත්වන්නේ දන්නා හඳුනන පිරිස අතින් බවය. එබැවින් ඇතැම් අවස්ථාවල මේ සිද්ධීන් වාර්තා නොවන බව ද හෙතෙම පවසයි.
මෙහිදී දන්නා පිරිස කවුරුන්ද යන්න විග්‍රහයක යෙදීම වැදගත්ය. ලේ ඥාතීන්, ඥාතීන්, හිතවතුන්, ගුරුවරුන්, දේශපාලනඥයන්, පොලිස් නිලධාරින් යනාදී කී නොකී සමාජ ස්ථර නියෝජනය කරන්නන් මීට ඇතුළත්ය. නිරංජි විජේවර්ධන මහත්මිය මෙහිදී පවසන්නේ වින්දිතයන් බවට ගැහැනු හා පිරිමි දරුවන් යන දෙකොට්ඨාසයම ඇතුළත් වූවද බහුතරයක් මෙකී අවදානමට ගොදුරු වන්නේ ගැහැනු දරුවන් බවය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ අතීතයේදී බොහෝවිට මේ ඉරණමට ගොදුරු වූයේ බිදුණු පවුල්වල දරුවන් වුව මෙකල එසේ නොවන පවුල්වල දරුවන් පවා අතවරවලට ලක්වන බවය. මෙකී වරදකරුවන්ට මරණීය දණ්ඩනය නියම කළ යුතු බව ඇගේ අදහසය.
ජන සමාජයේ ලිංගිකත්වය පිළිබඳ ඇති දැනුමෙහි අල්ප බවද මෙකී අපරාධවලට තවත් හේතුවක් බවයි අමරසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ ඒ පිළිබඳ ඔහු හරස්කඩට දැක්වූ අදහස්ය.
“ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය දරුවන්ට ලිංගික අධ්‍යාපනයට ලබාදෙන ඉඩ ප්‍රස්ථාව සීමිතයි. මවුපියන්, වැඩිහිටියන් සිතන්නේ ඒ පිළිබඳ දරුවන්ගෙන් වසන් කළ යුතු බවයි. ලිංගික අතවරවලට දරුවන් පත්වීමට මෙයත් එක් හේතුවක්. අවම තරමින් තම ශරීරය ස්පර්ශ කිරීමට වෙනත් අයකුට ඉඩ නොතබන ලෙසට හෝ දරුවන් සරල දැනුවත් කිරීමක් හෝ වැඩිහිටියන් කළ යුතුයි. එහිදී ඊට විරුද්ධවීමට, එතැනින් වහා ඉවත්ව යාමට හෝ සිය මවුපියන්ට හෝ භාරකරුවකුට ඒ පිළිබඳ දැනුම්දීමටවත් දරුවන් දැනුම්වත් කර තිබීම ඉතා වැදගත්.
ඒ වගේම මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී එහි ප්‍රායෝගික අඬුලුහුඬුකම් තිබෙනවා. මෙවැනි පැමිණිලිවලින් සියයට හතළිහක්ම සැකකරුවන් සොයාගෙන නැති පැමිණිලි ලෙස අහක යනවා. තවත් සීයට තිහක් පමණ නඩු නිශ්චිත සාක්ෂි නැති නිසා අවසන් වෙනවා. ඊළඟට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි බව පවසමින් තවත් සීයට විස්සක් විතර නඩු අහෝසි වෙනවා. මේ අයුරින් බලන විට වැරදිකරුවන් වී දඬුවම් ලබන්නේ සීමිත පිරිසක්.
එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමෙන් මේ අපරාධ නැවැත්විය හැකි යැයි සිතීම අමාරුයි. පවතින නීතිය හරිහැටි ක්‍රියාත්මක වනවා නම් තිබෙන නීති ප්‍රමාණවත්. මේ අපරාධ නැවැත්වීම සඳහා ප්‍රායෝගික ජාතික ප්‍රතිපත්ති ගොඩනැඟීම අත්‍යවශ්‍ය යි. ”
ළමා අපචාර සහ ස්ත්‍රි දූෂණය යනු ශිෂ්ටසම්පන්න සමාජයක් අනුමත කරන දේ නොවේ. ඓතිහාසික උරුමය සංස්කෘතිය පිළිබඳ උස් හඬින් කතා කරන මිනිසුන් සිටින මෙසිරිලකෙහි දිනෙන් දින නැගෙන අපරාධ රැල්ල මැඩීම නීතිය ක්‍රියාවේ යොදවන උදවියගේත් නීති පනවනු ලබන ව්‍යවස්ථාදායකයේත් කාරියකි. එහෙත්, එකී පිරිස ලවා නීතිය ක්‍රියාවේ යොදවා ගැනීමේ පරම අයිතිය ඇත්තේ පොදු මහජනතාවටය. ඔවුන් ඒ අයිතිය පිළිබඳ අවදියෙන් නොසිටීම බරපතළ ප්‍රශ්නයකි.
සුමේධා නවරත්න
http://www.dinamina.lk/
2 comments:
මාධ්‍ය මෙහෙවර කෙබඳු විය යුතුද ? යන්න සරළ අන්දමින් පෙන්වා දෙන මේ ලිපිය මීට.ත් වඩා ප්‍රසිද්ධිය ලැබිය යුතුමය. කාම අපරාධ පමණක් නොවෙයි තවත් විවිධ අපරාධ පින්තාරු කරමින් ඒවා සාමාන්‍යයෙන් සමාජයේ පවතින දේවල් විදිහට සමාජ ගත කිරිම මාධ්‍ය හැසිරීම තුළ දක්නට හැකි කණගාටුදායක ලක්ෂණයකි. මේ ලිපිය ඉතාම වටිනා එකකි. ස්තුතිය පුදන්නෙමි.
//එහෙත් වරදකරුවන්ට ලැබෙන දඬුවම දෙස දත් නියවමින් බලා සිටිනවාට වඩා වැරැදි වැළැක්වීමේ රාජකාරි පැවරී ඇති නිලධාරින් සම්බන්ධයෙන් සමාජයේ ඇති මතය කුමක්ද? අවම තරමේ එවැනි පිරිසක් රාජකාරිවල නියැලෙන බවට හෝ ජනතාව දැනුම්වත්ද? ජනතාව තබා එකී නිලධරයන් භාරව සිටින ප්‍රධානියා වන ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවම්වත්ද? තමාට සිටින නිලධාරින් සංඛ්‍යාව ගැන හෝ ඔවුන්ගේ රාජකාරිය ගැන ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත්ද?// මේ ගැන කඩිනම් අවධානය යොමු වී පවතින අඩුපාඩුව පියවීමට කටයුතු සැලසේවා
කාම අපරාධ කරන්නවුනට රජ කාලයේ ඩඬුවම් දිය යුතු වග මගෙ හැඟීමයි, අසල්වැසියන් සහෝදරයින් හෝ නෑයින් එක්ව නීතිය අතට ගෙන හෝ මෙවන් අය පිටුදැකිය යුතුය .අනවශ්‍ය ප්‍රාචාරයක් දෙමින් ඒ මුවාවෙන් ප්‍රචාරණැ කටයුතු කරණ මාද්‍ය නිසා මේවාට තවත් උල්පන්දම් ලැබෙන වගේ මම විශ්වාස කරමි, මේවාට තරයෙ විරුද්ධ වෙන කාලය පැමිණ ඇත. කලෝචිත අදහස් මාලවකි
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි