“මා වැඳ වැටෙන්නේ ඔබට නොව ඔබේ නමින් දුක්ගන්නා මනුෂ්‍යාත්මයටයි”
මේ ප්‍රකට කියමන ඇතුළත් වන්නේ පියඩෝර් ඩොස්ටොයෙව්ස්කි ලියූ “අපරාධය සහ දඬුවම” කෘතියෙහි ය. මිනිසා අභ්‍යන්තරයෙහි සැඟවී සිටින උදාර මිනිසා අවදිවූ මොහොතක් එයින් ඇඟවේ.
තරුණ විශ්වවිද්‍යාල සිසුවකු වූ රැස්කොල්නිකොව් මෙසේ වැඳවැටෙන්නේ තමාට වඩා වයසින් අඩු දැරියක වන සෝනියාගේ දෙපා මුල ය. ඇය දරිද්‍රතාව නිසා ලිංගිකසේවා සපයන්නියක හැටියට වීදි බසී. ඔහු දරිද්‍රතාව නිසා, කාමර කුලිය පවා ගෙවා ගත නොහැකිව බඩගින්නෙන් ද නිබඳ පීඩා විඳින්නෙකි.
දෙදෙනාම පීඩිතයෝ ය. පීඩිත දැරියගේ දුක්විඳින මිනිස්කම වෙනුවෙන් පීඩිත තරුණයා වැඳවැටේ. මිනිස්කමේ අසිරිය සාහිත්‍ය ඔස්සේ, මතුකළ දුර්ලභ සහ සියුම් ම අවස්ථාවකි ඒ.
සැබෑ ජීවිතයෙහිදී ද විරළ වශයෙන් හෝ මෙබඳු අත්දැකීම් ලැබෙන අවස්ථා තිබේ. අප විසින් කළ යුතුව ඇත්තේ එබඳු අවස්ථා මතුකර ගැනීම සහ එහි ආලෝකය මිනිස් හදවත්වල අඳුර නැසීම පිණිස, පෙරාදීම ය.
තමාට ළමා කාලයක් නොතිබිණැයි ඇන්ටන් චෙකොෆ් නමැති ලේඛකයා පැවසීය. ඔහු මහා ලේඛකයකු වූයේ අහිමිවූ ළමාවියෙහි වේදනා ගින්න, ලොව නිවා සනහන මහා සාහිත්‍යයක් බවට පත්කිරීමෙනි. මයිකල් ජැක්සන් නමැති විශිෂ්ට ගායකයාගේ ගී මහෝඝය බිහිවූයේ අහිමි වූ ළමාවියෙහි වේදනා ගින්න ලොව සනහන ස්වරයක් බවට පත්වීමෙනි.
අහිමිවූ ළමා විය පිළිබඳ වේදනාව ලෝකය සුවපත් කළ හැකි අපූර්ව නිර්මාණ සමුදායක් බවට පත් කිරීම අතින් ඔවුන් මිනිස් වග වෙතින්, සදා වන්දනාවට පාත්‍ර වෙයි. අප වැඳවැටිය යුත්තේ ඔවුන් නමින් දුක්ගත් මිනිසත්බවට ය. ඒ මිනිසත්බවෙහි අසිරිය ඔවුන්ගේ කලා නිර්මාණ ඔස්සේ අප හදවත් ස්පර්ශ කරයි.
මේ පූර්විකාව ලියන ලද්දේ සෝභාශක්ති ජේසුදාසන් ගැන කියන්නට ය. ඔහු හතළිස් හැවිරිදි ය; ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකි: අපරාධය සහ දඬුවම පොතේ රැස්කොල්නිකොව් සහ සෝනියා යනාදී චරිතවලට ද, ඇන්ටන් චෙකොෆ්, මැක්සිම් ගෝර්කි හා මයිකල් ජැක්සන් යනාදී සැබෑ ලොවෙහි චරිතවලට ද ළමාවියක් නොතිබූ පරිදි සෝභාශක්ති ජේසුදාසන්ට ද ළමා විය අහිමි විය. එසේ අහිමි වූයේ ශ්‍රී ලංකාවේ දශක තුනක් දිග්ගැසුණු කුරිරු යුද්ධය නිසා ය. ජේසුදාසන් මුලින් කී සියලු චරිතවලට වඩා බිහිසුණු ඉරණමකට මුහුණ දුන්නේ ය.
එම බහ තෝරන වියෙහිදී එල්. ටී. ටී. ඊ. ළමා සොල්දාදු බවට පත්වන්නට ඔහුට සිදුවිය. දෙමළ දරුවන් බලහත්කාරයෙන් ළමා සොල්දාදුවන් බවට පත් කිරීමේ එල්. ටී. ටී. ඊ. වියරුව නිසා, දහස් ගණනක් මියයද්දී ජේසුදාසන්ගේ දිවි බේරුණේ රටින් පලා යෑම නිසා ය. එහෙත් ප්‍රංශයේදී ජීවත්වීම සඳහා කුලී වැඩ කරමින් බොහෝ දුක් විඳින්නට ඔහුට සිදුවිය.
යුද්ධයෙහි කුරිරු අත්දැකීම් ඇසුරෙන් 2001දී ඔහු ලියූ Gorilla නවකතාව ඔහුට හොඳ සහ නරක ප්‍රතිඵල දෙක ම ගෙනාවේය. ලෝක මට්ටමේ පාඨකයෝ අපූරු නවකතාකරුවකු ලෙස ඔහු හඳුනාගනිද්දී ලංකාවේ ඊනියා මාධ්‍ය ඔහු කොටියකු ලෙස අර්ථකථනය කළහ. එහෙත් සත්‍යය නම් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ කෲරත්වය එම කෘතියෙහි නිරූපණය වී තිබීම ය.
ඔහු 2011දී සෙන්දගාල් නමැති දෙමළ චිත්‍රපටියෙහි රඟපෑවේ ය. ඔහු මේ වන විට කෘති කිහිපයක් පළකර ඇත. ඒවා ඉංග්‍රීසි බසින් පළවී ඇතත් සිංහල බසට පරිවර්තනය වී නොමැත.
ඔහු මෑතකදී ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ ඔහුගේ ජීවන විත්තිය ද ඇතුළත් කර නිර්මාණ වූ ‘දීපන්’ චිත්‍රපටිය කෑන්ස් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටිය හැටියට සම්මාන ලැබීමෙනි. ඔහු එහි ප්‍රධාන චරිතය ද රඟපායි. ශ්‍රී ලාංකීය තරුණයකු තරුණියක සහ දැරියක සමඟ දේශපාලන සරණාගතයන් හැටියට ප්‍රංශයට ගොස් ජීවත්වීමට දරන උත්සාහය චිත්‍රපටියට ප්‍රස්තුත වෙයි.
හිංසනයෙහි බිහිසුණු බව, සෙනෙහස අහිමිවීම නිසා ඇතිවන ආත්මානුකම්පාව සහ සුහදයන් වියෝවීම නිසා ඇති වන වේදනාව චිත්‍රපටියෙහි සියුම් අයුරින් විවරණය වන බව විචාරකයන්ගේ අදහස වී තිබේ.
දීපන් චිත්‍රපටිය ඉහළම සම්මානයක් දිනාගැනීම පිළිබඳ වගේ වගක් නැතිව සිටින මොහොතක ප්‍රංශයේ ජීවත්වන මංජුල වෙඩිවර්ධන කවියා, මේ ගැන ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය කතිකාවක් ඇති කිරීම සඳහා වෙහෙස දැරීය.
එහෙත් ජේසුදාසන්ගේ මිනිස්කම අවබෝධකර ගැනීමේ හැකියාව අහිමි ලේඛකයන් සිටීම සිහිපත් කරනවිට ඇති වන්නේ සංවේගයකි.පසුගියදා යුද්ධයෙන් මියගිය ඥාතීන් සමරා පහන් දැල්වීම පිළිබඳ සාහිත්‍යකරුවන්ගේ මත විමසීමක් ජාතික පුවත්පතකින් කියවන්නට ලැබිණි. මෙයින් සිදුවන්නේ ත්‍රස්තවාදයට ගිනි පිඹීමක් බවට කවියකු හා ගීතරචකයකු කරුණු දක්වා තිබීම මසිත බියක් ජනිත කිරීමට හේතුවිය. “මෙහෙව් අයටත් ශිල්ප සෑදේ” යන කවි පදය මට සිහිපත් විය.
මිනිස්කමේ අගය ගැන ලියන කවීන්ගේ හදවත්වලින් මිනිස්කම පලාගියේ කුමන හේතුවක් නිසාද?
‘සෝභාශක්ති ජේසුදාසන්”
එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමාපියන්ට තර්ජනය කර ඔබ උදුරාගෙන යන විට ඔබේ දෑසෙහි මැලවී ගිය කාන්තිය මට අඳුර මැදින් මතුව පෙනේ. විස්කෝතුවක් හපමින් ඊළඟට සිදුවන්නේ කුමක්දැයි අවිනිශ්චිත ව බලාසිටි බාලචන්ද්‍රන්ගේ බිය රැඳුණු දෑස ද එපරිදිම ය. නැවත යුද්ධයක් ඇති නොවන පරිදි බිඳුණු හදවත් යාකරන දේශපාලන පරිසරයක් නිර්මාණය කිරීම අප රටේ වත්මන් පාලකයන් හිස් මත පැටවී තිබෙන මහඟුතම වගකීම වේ.නිදහෙස් අරුණලු වැටෙමින් පවතී. ඒ අතරතුර ලේ පිපාසාවෙන් ඉව අල්ලන දේශප්‍රේමියෝ ජාතිභේද වැපිරීමට වෙර දරති.
එම හතුරු බලවේග පරදවා නිදහසේ අදහස මහ පොළොවේ මුල් අල්ලන මතුයම් දිනෙක ඔබ ඔබේ මව් රටට පැමිණ, ඔබට අහිමි වූ ළමා විය, අද ළමා විය ගත කරන්නන්ගේ දෑස්වල කාන්තියෙන් දකින බව මට නිසැක
ය
ය
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි