Monday, June 15, 2015

මල් කැකුළු වහල් සේවයේ

මවුපියන්ට මේ මිහිපිට දරුවන් තරම් අගනා වෙනත් වස්තුවක් නැත.ඔවුන්ගේ පණ හා සදිසි දරුවන් කෙරෙහි පවත්නේ අපරමිත දයාර්ද්‍ර බවකි.එහෙත් වර්තමානය වනවිට අසන්නට වන බොහෝ තතු මඟින් පැහැදිලි වන්නේ වසරකට දරුවන් බොහෝ දෙනක් අනතුරු නිසා මියයන බව ය. එසේ ම බොහෝ පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වෙති.මේ සෑම දෙයකටම හේතුව මවුපියන්ගේ නොසැලකිලිමත්භාවය බව නිරතුරුවම අසන්නට ලැබෙන කරුණකි.
වර්තමානය වනවිට ලොව වෙසෙන අවුරුදු 15ට අඩු ළමයින්ගෙන් මිලියනයකට අධික සංඛ්‍යාවක් අනතුරු නිසා වාර්ෂිකව මිය යයි. මේ අය අතරින් 95%කට වැඩි පිරිසක් මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවලින් වාර්තාවේ.බොහෝවිට දරුවන්අනතුරුවලට ලක් වන්නේ මාර්ග අනතුරු,දියේ ගිලීම්,පිළිස්සුම්,වැටීම් සහ විෂවීම් ආදිය හේතුවෙනි.ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ද මෙසේ ම ය.ශ්‍රී ලංකාවේ අවුරුදු පහට අඩු ළමා මරණ අතුරින් සිදුවන අනතුරු නිසා වන මරණ සිව්වැනි ස්ථානය ගනී.රිජ්වේ ආර්යා ළමා රෝහල මඟින් කරන ලද අධ්‍යයන හා පර්යේෂණ මඟින් පෙනී යන්නේ ගෘහ ආශ්‍රිතව සිදුවන ළමා අනතුරු සංඛ්‍යාව 56ක් පමණ වන බවයි.මාර්ගස්ථව සිදුවන මරණ ප්‍රමාණය 8%කි.2009 වසර තුළ අවුරුද්දට අඩු ළමා මරණ අනුපාතිකය 9.7ක් විය.එය 2010 වනවිට 12.2 දක්වා ඉහළ ගොස් තිබේ.අවුරුදු 16 ඉක්මවීමට පෙර ආසන්න වශයෙන් ළමයින් 12 දෙනක් අනතුරු නිසා ජීවිතයෙන් සමු ගනී‍.රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තු දත්ත අනුව 90%ක් පමණ දරු පිරිසක් මරණයට පත්වන්නේ හුස්ම හිරවීම නිසා ය.ශ්වසන මාර්ගය අවහිර වීමෙන් වන මරණ ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් වර්ධනයවී තිබේ.එසේ ම අවුරුදු 16ට අඩු මරණ අතර පිරිමි දරුවන් බහුල බව ද එම වාර්තා සඳහන් කරයි.රෝහල් වාර්තාවලට අනුව මේ වයස් කාණ්ඩයේ මරණවලින් 3.6% කටම අනතුරු හේතුවී තිබේ.
ශ්‍රී ලංකාව තුළ 2009 වසරේ අවුරුදු එකට අඩු වයස්වල දරුවන් ගේ මරණ අනුපාතිකය 0.6කි.අවුරුදු 16ට අඩු, මාර්ග අනතුරුවලට ලක්වූ ‍ළමයින් ගණන 3344කි.2008දී රෝහල් දත්ත පෙන්නුම් කරන්නේ අනතුරු නිසා 205866ක් රෝහල්ගත කෙරුණ බව ය.කෙසේ වුව ද දරුවන්ට සිදුවන අනතුරු හේතුවෙන් වන ආබාධවලට වැය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන855ක මුදලක් රජය වියදම් කරයි.ශ්‍රී ලංකාව තුළ ළමා හා යෞවන පිරිස් මුහුණ දෙන මේ අනතුරු ප්‍රජා සෞඛ්‍යමය අවධානයට ලක්ව තිබේ. එයට හේතුව ආබාධිත තත්ත්ව හා අකල් මරණ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බෙහෙවින් බලපාන නිසා ය.මේ නිසා ම පමණක් නොව, අප අපගේ දරුවන්ට ඇති අවදානම් තේරුම් ගෙන කටයුතු කිරීම මඟින් මේ මරණ බොහොමයක් ම වළක්වා ගත හැනීමට පුළුවන.ඒ ඒ වයස් මට්ටම හා ජීවත්වන පරිසරය අනුව අවදානම වෙනස්වන බැවින්,මවුපිය වැඩිහිටි සැම පහත කරුණු කෙරෙහි සැළකිලිමත්වීම අත්‍යවශ්‍ය ය.

උපතේ සිට මාස 06 දක්වා දරුවන්

මොවුන් ශාරීරිකව සහ මානසිකව වර්ධනය අඩු පිරිසකි. මොවුන් 100%ක්ම මවුපිය වැඩිහිටි ආරක්ෂාව මත ජීවත්වේ.මෙවන් දරුවන්ට බොහෝවිට බලපාන්නේ හුස්ම හිරවීම,කිරි ඉස්මොල්ලේ යෑමවැනි හේතු ය. මේ නිසා මවුකිරි වේලකට පසු ගුඩුස් යැවීම,මෙවැනි වයසේ දරුවන් සුරක්ෂිත කර ගැනීම සඳහා භාවිත කළ හැකි ආරක්ෂිත පියවරකි.දරුවා අවුරුදු දෙකක් යනතෙක් මෝටර් බයිසිකල්වල රැගෙන යාමෙන් වැළකී සිටිය යුතු ය.ඇඳන් වැනි උස් ස්ථානවල දරුවා තනිව දමා යෑම ද නුවනට හුරු නොවේ. සෑම විටෙකම වැඩිහිටියන් දරුවාගේ ආරක්ෂකයකු ලෙස ඔවුනතර රැඳී සිටීම මෙහිදී අත්‍යවශ්‍ය ය.එසේ ම නෑවීමේදී දරුවා වතුර බේසමේ තබා කිසිවිටෙකත් නොයා යුතු ය. ඔබගේ අවධානය ගිළිහෙන එම තත්පරය,ඔබට දරුවා අහිමි වන මොහොත වීමට පිළිවන.අඟල් දෙක තුනක් වැනි වතුර මට්ටමක ගිලී ,ඔබේ දරුවාට අනතුරක් වේයැයි ඔබ කිසි විටෙකත් නොසිතනු ඇත.එහෙත් මෙවැනි වයසක දරුවකු මිය යෑමට මේ ජල ප්‍රමාණය ප්‍රමාණවත් බව ඔබ නිතර සිතට ගත යුතු ය.අප දියේ ගිලෙන්න යන මොහොතක ඔළුව උස්සා මරණයෙන් බේරිය හැකි වුවත්,කුඩා අයට එසේ කළ නොහැකිවීම මීට හේතුවයි. මේ නිසා මවුවරුන් ලෙස තම දරුවාගේ ආරක්ෂාව කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටිය යුතු ය.

මාස 06 සිට වසර 1 දක්වා දරුවන්

ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන ක්‍රමය වන්නේ, කුඩා දරුවකු මෝටර් රථයක රැගෙන යනවානම් ,ඒ සඳහා ආරක්ෂිත අසුනක් භාවිත කරයි.එහෙත් අප රටවල මෙවැනි තත්ත්වයක් දැකිය නොහැකි ය. මේ නිසා අනතුරක් වුවහොත් ඉදිරි අසුනේ යන දරුවාගේ ජීවිතය අහිමි විය හැකි ය.අනතුරකදී ප්‍රථමයෙන් ම සිහියට නැගෙන්නේ තම ජීවිතය බේරා ගැනීම කෙරෙහි ය.දරුවාගේ ජීවිතය ගැන සිහි වන්නේ දෙවැනියට ය.මේ නිසා දරුවා ආරක්ෂිත අසුනක පිටුපස අසුනක හිඳුවාගෙන යෑම අත්‍යවශ්‍ය ය. එම පියවර අනුගමනය කළහොත් ළමා මරණවලින් 100%ක් ම වළක්වා ගත හැකි ය.
එසේ ම පියගැටපෙළ තිබේනම් ගේට්ටුවක් දමා ඔවුනට යාමට නොහැකිවන සේ එම ස්ථාන ආවරණය කළ යුතු ය.විදුලි පේනු ආවරණය කිරීමත්,විශාල වතුර භාජන තිබේනම් ඒවා ඉවත් කිරීමත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළයුතු දේ ය.

වයස අවුරුදු 1 සිට 2 දක්වා දරුවන්

බිම වැටී ඇති දේ ක්ෂණයකින් කටේ දමා ගැනීමට මොවුන් රුසියන් ය.ඇට වර්ග,ඇණ,මදුරු දඟර කැබැලි වැනි මොවුන්ට අතට හසුවන ඕනෑම දෙයක් මුවේ රුවා ගන්නා නිසා, වැඩිහිටියන් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු ය.එසේ ම දරුවා මෝටර් රථයක ගෙන යෑමේදී මවගේ උකුල මත තබා නොයෑ යුතු ය. දරුවා ආරක්ෂිත අසුනේ තබාගෙන යාම මෙහිදී අත්‍යවශ්‍ය ය.අනාරක්ෂිත ළිං තිබේනම් වසා දැමිය යුතු ය. එසේම මුළුතැන්ගෙයි ඇති ගින්දර, කැපෙන ආයුධ,උණු වතුර,ලිස්සන හා බර දේවල් අල්ලා අනතුරු සිදුකර ගැනීමට ඉඩ ඇති බැවින් මුළුතැන්ගෙට යා නොහැකි පරිදි ආරක්ෂිත ගේට්ටුවක් දැමීමට වගබලාගත යුතු ය.

අවුරුදු 2 සිට 3 දක්වා දරුවන්

මොවුන් තමන් කරමින් සිටින කාර්යය ක්ෂණයකින් නවතා වෙනත් වැඩකට යාමට රුසියන් ය.ඔවුන් සෙල්ලම් කරන්නේ පාරක් අද්දරනම්, ආරක්ෂිත ගේට්ටුවක් යෙදීම නුවණට හුරු ය.එසේ නොමැතිනම් මවුපිය ආරක්ෂාව මධ්‍යයේ එය කළ යුතු ය.මේසය උඩ ඇති උණු වතුර බඳුන් හෝ වෙනත් දේ මොවුන් ඇදීමට ඉඩ ඇති නිසා ඔවුන්ගේ අතට හසු නොවන පරිදි ඒවා තැබීමට කටයුතු කළ යුතු ය.එසේ ම වාහන පසුපසට ගැනීමේදීද වැඩිහිටියන් ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය දෙයකි. මොවුන් ජනෙල් වැනි උස් ස්ථානවලට නැගීමට තැත් කරන නිසා,මවුපිය වැඩිහිටි සැම ඔවුන්ගේ රැකවරණය කෙරෙහි විමසිලිමත් විය යුතු ය.

අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්

මොවුන් වේගවත් ය. සෑම දෙයක් පිළිබඳවම කුතුහලයෙන් යුක්ත ය.මේ අය සතුන් සමඟ සෙල්ලම් කරනවිට එය හරිම අවදානම් ය.මේ නිසා ක්‍රීඩා කිරීමේදී වැඩිහිටියන් ඔවුන් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය.පාරේ ගමන් කරනවිට දරුවා අවධානයෙන් යුතුව රැගෙන යාමට මව වගබලාගත යුතු ය.සමහර මවුවරු දරුවා අතින් අල්ලාගෙන ගියත් ,ඔහු රැගෙන යන්නේ පාර පැත්තෙන් ය.එමහරවිට දුරකථනය කනේ ගසාගෙන හෝ අනෙකුත් දරුවන්ගේ මවුවරුන් සමඟ කතාකරමින් යයි.මෙය දරුවාට අනතුරු කැන්දන මොහොත වීමට ඉඩ ඇති හෙයින් ඔබේ අවධානය අත්‍යවශ්‍ය ම ය.
දරුවාට කවදාම හෝ දිනක ජීවිතය සුරක්ෂිත කර ගැනීමට පිහිනීමේ හැකියාව පිටිවහලක් විය හැකි බැවින්,කුඩා කල සිටම පිහිනීම ඔහුට හුරු කරවීම ද නුවනට හුරු ය.
මේ ආකාරයට ඔබ කටයුතු කළහොත් කිසිම දිනක අනතුරු නිසා දරුවන් අකාලයේ මිලිනවයාවියැයි අසන්නට නොලැබෙනු ඇත.දෙයක් වූවාට පසු හඬා වැටී පලක් නැති බැවින්,දරුවාගේ ආරක්ෂාව කෙරෙහි සෑම තත්ත්පරයකම අවධානය යොමු කිරීමට උනන්දු විය යුතු ය.අනතුරු යනු වළක්වාගත හැකි දේ ය.ඒ සඳහා අවශ්‍ය වන්නේ අවධානය හා අවබෝධය පමණකි.
(සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති දේශනයක් ඇසුරින් සකස් කෙරිණි)

http://www.dinamina.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි