Monday, June 1, 2015

ඊයේ නික්‌ම ගිය හෙට දවසටත් ඇවැසි කලා කාරිය



සෝමලතා සුබසිංහ රංග ආචාරිණිය, රූපණ ශිල්පිණිය, ගුරුවරිය අප්‍රමාණ කලාකාරිය ඊයේ අපගෙන් සමුගත්තාය.

පෙරේදා මම, ඇය වාසය කළ ඇය අතිශයින් ප්‍රිය කළ නිවසේ උඩුමහල් තලයේ ඇය අවසන් සුවබර නින්දේ සැතපී සිටින ආකාරය දෙස බොහෝ වේලාවක්‌ බලා සිටියෙමි. එකල්හි මා අසල එම ව්‍රතයෙන්ම සිටියෝ අපගේ මහාරංගධාරිණී මාලිනි ෆොන්සේකා මැතිනිය වූහ.

"............ඒ කාලෙ, ඒ කියන්නේ මම නාට්‍ය වලට ආව මුල්කාලෙ මට සෝමලතා අක්‌ක රඟපාපු ලියතඹරා, නාට්‍යයේ එයා කරපු චරිතෙ රඟපාන්න ලැබුණා. ඒ ගැන මම පුදුමයට විතරක්‌ නොවෙයි භයටත් පත්වුණා. මොකද ඒ තරම් විශිෂ්ට විදිහට එයා ඒක කරලා තිබුණා. මට ඒකාලෙ බොහොම ලෝ පිච් එකෙන් උච්චාරණය කරන්න අමාරු සමහර අක්‌ෂර හරිම නිවැරැදි වචන වශයෙන් එයා ඩිලිවර් කරන එක මට මහා පුදුමයක්‌a වුණා. ඒක කරන්නේ කොහොමද කියලා අහපුවම සෝමලතා අක්‌කා කිව්ව "බඩෙන් කතා කරන්න" කියලා....."

රූපණ ශිල්පියෙකු වේදිකා නාට්‍යයකදී ස්‌වකීය පහළම ශ්‍රව්‍ය තානයෙන් (Lowest audible tone) අදාළ දෙබස එහි භාවික ගුණය නොසිඳෙන ලෙස උච්චාරණය කිරීම (සෝමලතාට අනුව බඩෙන් කතා කිරීම) ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවන්නේ මේ නිසඟ හැසිරවීම (modulation) රංග ශාලාවේ කෙළවරේම අසුනේ සිටින ප්‍රේක්‍ෂකයාටත් ඇසෙන්නට සැලැස්‌විය යුතු නිසාය. අපගේ බොහෝ රූපණ ශිල්පීන්ට තවමත්a වටහාගත නොහැකි එක්‌තරා රූපණ තාක්‌ෂණික ප්‍රශ්නයක්‌ වශයෙන්ල තවමත් ඉතිරිව පවත්නා මේ මනෝ කායික හැකියාවට අදාළ සියුම් ප්‍රශ්නයක්‌ මීට දශක පහකට පමණ පෙර ස්‌වකීය වෘත්තීයමය සාකච්ඡාවකට බඳුන් කළ රංග වේදිනියන් දෙදෙනකුගේ රූපණ විශ්වය කෙතරම් ගැඹුරු එකක්‌ද යන්න තවදුරටත් සාකච්ඡා කිරීම මේ මොහොතේ මගේ මාතෘකාවට අදාළ නැත.

එහෙත් සෝමලතා සුබසිංහ සෝමලතා සුබසිංහ වුයේත්, මාලිනී ෆො
න්සේකා මාලිනී ෆො
න්සේකා වූයේත් කෙසේද යන ඉඟියක්‌ ඒ තුළින් නිෂ්පන්න වීම මම නොවළකමි.

මක්‌නිසාද, හදපිරි සොවින් යුතුව වුවත් මා මේ ස්‌මරණය කරන්නට යන්නේ මේ රටේ බිහිවූ අති ශ්‍රේෂ්ඨ නිළියක පිළිබඳව නිසාය. (අති ශ්‍රේෂ්ඨ වශයෙන් මා මේ යොදන වචන පිළිබඳව මම පූර්ණ වගකීම දරමි)

මා වර්ෂ 1962 මැයි 04 දා හැව්ලොක්‌ ටවුන් ලුම්බිණි රඟහලේ දී පළමුවරට රඟදක්‌වන ලද ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ මූදු පුත්තු නාට්‍ය දර්ශනය නරඹා නැත. (එකල්හි මා අතදරුවකු බැවිණි)

එහෙත් ඒ පිළිබඳව අප කියවා සහ අසා ඇති දහසකුත් දේ තිබේ. එහිදී ගුණසේන ගලප්පත්ති, මහගම සේකර වැන්නන්ගේ වික්‍රමයන් හැරුණු කොටල සෝමදාස ඇල්විටිගල වැන්නකුගේ වික්‍රමය හැරුණු කොටල තේගිරිස්‌ ලෙස රඟපා ඇති සිරිල් වික්‍රමගේ ගේ වික්‍රමය හැරුණු කොට මා වඩාත් අසා ඇත්තේ සරා ගේ චරිතය නිරූපණය කරමින් සෝමලතා කළ වික්‍රමයය.

මම අදත් රූපණය උමතුවෙන් මෙන් හදාරන්නෙක්‌ වෙමි. එසේම, ලෝකයේ බොහෝ රටවලදී බොහෝ වේදිකා නාට්‍ය නරඹා ඇත්තෙක්‌ද වෙමි. (මා එසේ සඳහන් කරනුයේ මා මීළඟට ප්‍රකාශ කරන දෙය එබඳු බරක්‌ නොමැතිව ප්‍රකාශ නොකළ යුතු යෑයි මා කල්පනා කරන නිසාය.) ශ්‍රී ලංකාව තුළ මෙතෙක්‌ මා නරඹා ඇති සිංහල නාට්‍ය අතරින් මා තවමත් මවිතයට පත්වන භූමිකා නිරූපණයන් කීපයක්‌ පිළිබඳව මා දැන් කිව යුතුය. එකක්‌ ලෙත්තිමකීගේ පුන්තිලා නාට්‍යයේ නිහාල් සිල්වාගේ නිරූපණයය. අනෙක පරාක්‍රම නිරිඇල්ලගේ ගැලිලියෝ නාට්‍යයේ එච්. ඒ. පෙරේරාගේ නිරූපණයය. අනෙක අ-හිමි ජීවිත" නාට්‍යයේ සලමන්a ෆො
න්සේකා ගේ නිරූපණයය. අනෙක ලෝකය තනියායක්‌ නාට්‍යයේ ජයලත් මනෝරත්නගේ නිරූපණයය. අනෙක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් වරක්‌ රංජිත් ධර්මකිර්ති ලවා නිෂ්පාදනය කරනු ලැබුවා වූ චෙකොව් ගේ චෙරි උයන නාට්‍යයේ සතිශ්චන්ද්‍ර එදිරිසිංහ සහ සෝමලතා සුබසිංහ සිදුකළ නිරූපණයන්ය.

සෝමලතා මෙහි නිරූපණය කළ රැනවෙස්‌කයා ආර්යාවගේ චරිතය පමණක්‌ නොව සතිශ්චන්ද්‍ර නිරූපණය කළ ලොපකින් ඇතුළු අනෙක්‌ සියලුම චරිතයෝද විශ්ව නාට්‍යවේදයේ පමණක්‌ නොව විශ්ව රූපණ වේදයේද අතිශය කතාබහට ලක්‌වූ චරිතයෝම වෙත්. මක්‌නිසාද යත් චෙකොව් මවන සාහිත්‍යයත් නාට්‍ය පෙළත් වේදිකා නාට්‍ය කලාවේ සම්මත ආකෘතීන් අතිශය අවදානමකට ලක්‌කරන තරමේ අති සංවේදී අවස්‌ථාවන් නිසාය. චෙකොව් ඉදිරිපත්කරන සමාජ - මානව දේශපාලනික ප්‍රකාශනයන් බොහෝ විට ඔහු අනුගමනය කරන සරළ සාහිත්‍යයික රීතිය තුළ දැනෙන නොදැනෙන භාවමය කෝෂයන් වශයෙන් නිදිගතව පවතියි. වැරදි අධ්‍යක්‍ෂවරුන් වැරදි නළු නිළියන් අත ඒවා මේ සාහිත්‍යයික නින්දේදීම මියයන්නට ඉඩ තිබේ. නැතහොත් මළ හොල්මන් නැගිට්‌ටාක්‌ මෙන් ඩෙඟානටා මහත් විනාශයක්‌ වීමටද ඉඩ තිබේ. ඒ කී පරිද්දෙන්ම ශ්‍රී ජයවර්ධනපුර නිෂ්පාදනයේදී සෙසු නළු නිළියන් අතින් නාට්‍ය නැවත නැවත එසේ මරා දමණු ලැබීය. එහෙත් ඒ දුර්දාන්ත තතු හමුවේද ලොපකින් සහ රැනවෙස්‌කයා වූ ප්‍රවීණ නළු නිළි දෙපළ විශ්මය ජනක භූමිකා නිරූපණයක නිරත වූහ.

තවමත් ශ්‍රී ලංකා රූපණ කලා වේදය තුළ මෙම අවස්‌ථාවන් ගැඹුරු ලෙස සාකච්ඡාවට ගෙන නොමැතිවීම වෙනම කාරණාවකි. එහෙත් සෝමලතා සුබසිංහ වැනි අති දුර්ලභ නිරූපණ කලාකාරියක්‌ තම මතුභවයටද ගෙන යන මේ සුවිශේෂය අඩුතරමින් හඳුනාගෙනවත් නොසිsටින්නෝ නම් අප කුමන කලාකරුවෝ වන්නෝද? විචාරකයෝ වන්නෝද ?

කාල - යුග දෙකක ඉපදීම කරණ කොට ගෙන අප වැනි නිර්මාණ කරුවනට මඟහැරුණු මේ පොළොවේ උපන් විශ්මය ජනක රූපණ ප්‍රතිභාවන් කීපයක්‌ තිබේ. ඒ ජෝ අබේවික්‍රම, ගාමිණී ෆො
න්සේකා, අයිරාංගනී සේරසිංහ, සෝමලතා සුබසිංහ, මාලිනී ෆො
න්ස්‌කා, චිත්‍රසේන ආදී වශයෙනි. ඒ කුමක්‌ වුවත් මොවුනතරින් මට යම් පමණකට ඇසුරක්‌, ගුරු උපදේශයක්‌ ලබාගත හැකි වූයේ සෝමලතා සුබසිංහ මැතිණිය ගෙනි.

උගෙන අවසන් කළ නොහැකි රූපණ කලාව තම දෛනික හැදැරීමක්‌ බවට පත්කරගත් මේ පොළොවේ සිටි මහා පුරුෂයා ආචාර්ය සාලමන් ෆො
න්සේකා නම් එම මහා ස්‌ත්‍රිය සෝමලතා සුබසිංහය. මේ දැනුත් අප රටේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ත්‍රිත්වය බබළවන බොහෝ රූපණ ශිල්පියෝ ඇයගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති. වරක්‌ ඇය මට මෙසේ කීවාය.

".........ඔය උඹලගෙ සිස්‌ටම් එක වගේ නොවෙයි මගේ ක්‍රමය. ඒක ඇත්තටම ටිකක්‌ පරණ ගුරු ගෙදර ක්‍රමයට තමයි ළඟ. මගේ ගෝලයන්ගේ කලා ප්‍රශ්න, වෘත්තීය ප්‍රශ්න පමණක්‌ නොවෙයි මම සාකච්ඡා කරන්නේ විසඳන්නෙ. ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නත් මම අරගන්නවා. ඒවා සාකච්ඡා කරනවා. එකිනෙකා අතර සාකච්ඡා කරන්න හරිනවා. උඹ දන්නවද අන්තිමට ඒ කොල්ල හරි කෙල්ල හරි ඇස්‌වල කඳුළු පුරෝගෙන ඇවිල්ලා ඒ ප්‍රශ්නය ගැටලුව අර්බුදය විසඳගත්ත බව කියනවා. අපි හැම තිස්‌සෙම එකම පවුලක්‌."

ශ්‍රී ලංකාවේ අපට තවමත් අපේ අම්මා දෙවැනි බුදුන්ය. සෝමලතා සුබසිංහගේ මේ රට පුරා විසිරී සිටින දහස්‌ සංඛ්‍යාත ශිෂ්‍ය ශිෂ්‍යාවනට ඇය දෙවැනි අම්මාය.

කෞෂල්‍යා කියන්නීත "අම්මාගෙන් බැණුම් නාහපු සමහර විට ගුටි නොකාපු ගෝලයෙක්‌ ඉන්නවද කියලා මට සැකයි. ඒ තරමටම හැමෝම අම්මට අම්මගෙම දරුවන් වුණා........."

කොහොමටත් විශිෂ්ට පාසල් ගුරුවරියක වූ සෝමලතා අතිවිශිෂ්ට ගුරුවරියක වූයේ විශ්‍රාම ගැනීමෙන් පසුව විය යුතුය. ඒ ඇය එතැන් පටන් ඇයගේ මුළු මහත් ජීවිතයම නාට්‍ය කලාව, විශේෂයෙන්ම ළමා හා යොවුන් නාට්‍ය කලාව වෙනුවෙන් කැපකළ නිසාය. "කතන්දර දෙකක්‌" "තොප්aපි වෙළෙන්දා" "රන්මලී හා එකමත් එක රටක" "විකෘති" යදම් (ඔයෑ ඔර්සක දෙ Dedaබ ණසප්එයස) ඇන්ටිගනි, හිම කුමාරි ඒ සුවිශිෂ්ට කැප කිරීමේ සරුඵලදාවය.

සිනමා කැමරාව කොහොමටත් සියුම් භාව නිරූපණයනට ලැදියල ආසක්‌තය. වේදිකාවේ සේම සිනමාවේද සෝමලතා එකලෙස -වලිත වන හේතුව ඇය තමන්ට නැති දෙයක්‌ කියන්නට නොයැමය. ඇති දෙය වුවද ඇය සියුම් කැටයමක්‌ නිර්මාණය කරන්නාක්‌ මෙන් පරික්‍ෂාකාරී ලෙස ඉදිරිපත් කරයි. භාවයන් කෙතරම් උපදවා ගත්තද ඒවා පිටාර නොයවයි. (තිස්‌ස අබේසේකරයන්ගේ මහගෙදර සිහිපත් කරගන්න) අතිභාවාත්මක අවස්‌ථා (Hසටයඑeබා ෂපදඑසදබ්ක Sසඑම්එසදබ) පවා ස්‌වකීය පුරුදු පුහුණු කළ මනසින් කලාත්මක සංයමයකට පත්කරවයි. මම වරක්‌ ඇය රඟපෑ "අපි කවදත් සූරයෝ" නමැති දුර්වල වාණිජ චිත්‍රපටයක්‌ නැරඹීමි. විශ්මයකට මෙන් එහි ඇය නිරූපණය කළ කොටස පමණක්‌ ඇයත් සමඟම "ගොඩ" ගොස්‌ තිබිණි.

එසේ වුවද සාමාන්‍යයෙන් සිංහල සිනමාව තුළ සෝමලතා බහුලව දැකිය හැක්‌කේ අයහපත් චිත්‍රපට අතර නොවේ. ඒ කුමක්‌ වුව ඇය අයහපත් ලෙස රඟපෑ එකදු චිත්‍රපටයක්‌, ටෙලි නාට්‍යයක්‌ පිළිබඳව මට සිහිපත් කළ නොහැක. තම දරුවන් බඳු තරුණ පරපුරේ විශිෂ්ට සිනමා කරුවන්ගේ චිත්‍රපටවල, තිස්‌ස අබේසේකර වැනි තම සමකාලීන අද්විතිකයින් ගේ චිත්‍රපට සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වුවද සිනමාව ඇයට එතරම් තෘප්තියක්‌ ගෙන ආ තැනක්‌ නොවන බව ඇය මට පවසා තිබේ.

ඇයගේ ජීවිතය වූයේ වේදිකාවය. ලයනල් ප්‍රනාන්දු නමැති කීර්තිමත් ප්‍රභූවරයාගේ දයාබර බිරිඳ වශයෙන්ද ඇය මෙන්ම අති විශිෂ්ට නිළියක වන කෞෂල්‍යාගේ සහ ශ්‍යාමලිකා දියණියන්ගේ දයාබර මව වශයෙන්ද චන්දන බෑනනුවන්ගේ දයාබර නැන්දනිය වශයෙන්ද ගෝල බාලයන් පිරිවරා ඇය ගතකළ අර්ථ පූර්ණ ජීවිතය ඇයට ඇයගේ හදවත එහෙම පිටින්ම ඇරීනාවක්‌ හෝ ප්‍රොසීනියමක්‌ කරගැනීමට ඉඩකඩ ලබාදුන්නේ යෑයි මම සිතමි.

ඇය දැන් අඳුරට ඉඩදී සදහටම දෙනෙත් පියා සිටියද නිශ්චිත ආලෝකධාරාවලින් බැබලෙන ඇයගේ හද තුළ පවත්නා ඒ නිදහස්‌ වේදිකාව මම දකිමි.

එහි තවමත් රඟ දැක්‌වෙන නොනවතින මහා නාටකය මම දකිමි. එහි සංගීතය පරයා නැගෙන බෙර හඬ මම අසමි.

මැතිණියනි ඔබට නිවන් සුව

ජයන්ත චන්ද්‍රසිරි


http://www.divaina.com/2015/06/01/feature02.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි